20 April, 2024

Blog

ඕස්ට්‍රේලියාවේ දෙමළ සංක්‍රමණිකයන්ගේ තත්ත්වය

ෆ්‍රාන්සස් හැරිසන්

ෆ්‍රාන්සස් හැරිසන්

ගිනිගෙන දැවෙන නිවර්තන තාපය තුළ එළිමහනේ එළන ලද ටාර්පෝලීන් රෙද්දක් මත, සිය කකුළේ සහ උකුළේ සිදු කරන ලද බැරෑරුම් ශල්‍යකරම දෙකකින් පසුව යොදන ලද කඩමාළු වෙළුම්පටි ද සහිතව ඔහු දුක්ඛිත ලෙස වැතිර සිටියේය. එහෙත් තමා බොහෝ සෙයින් භාග්‍ය සම්පන්නයැයි තේවම්ගේ අදහස විය. තාවකාලික රෝහලක් බවට පත් කරන ලද පාසල් ගොඩනැගිල්ලෙන් ඔහුව ඉවත්කරනු ලැබුවේ හරියටම එක් දිනකට පෙර ය. පසු දින ම එම රෝහලට එල්ල වූ ෂෙල් ප්‍රහාරයෙන් ඔහු ද එම රෝහලේ සිට මරණයට පත් අටදෙනාගෙන් එකෙකු හෝ තුවාල ලද්දවුන් බොහෝ ගණනින් එකෙකු වන්නට ඉඩ තිබිණි. නියමුවන් රහිතව හෝ සහිතව සෝදිසි ගුවන් මෙහෙයුම් වල යෙදුන රජයේ ගුවන්යානාවලට පැහැදිලිව පෙනෙන ලෙස ගොඩනැගිල්ලේ වහලේ රතු කුරුසයක් ඇඳ තිබීම අදාළ වු දෙයක් නොවීය.

උතුරු ශ්‍රී ලංකාවේ ජීවත් වූ වෙළඳ සැල් හිමියෙකු තේවම්ට) බිරිඳක සහ දරු දෙදෙනෙකු වූහ. ඔහු යුද අපරාධ පිලිබඳ සාක්ෂිකරුවෙකි. අගලකට වැද ආවරණයක් සෙවූ ඔහුගේ මව ෂෙල් ප්‍රහාරයන්ගෙන් ඝාතනය කෙරිණ. තවමත් ඔහුගේ ශරීරය පුරාද බිහිසුණු සහ විශාල තුවාළ කැළැල් දක්නට ලැබේ. මීට වසර දෙකකට පෙර ඔහුට ඕස්ට්‍රේලියාවේ සරණාගත තත්ත්වය ලැබිණි. එහෙත් තවමත් ජීවිතය ඇරඹීමට නිදහසක් ඔහුට ලැබී නැත. ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නැතැයි යන සහතිකය නොලද දෙමළ ජාතිකයන් 51 එක් දෙනා අතුරෙන් තේවම්ද එක් අයෙකි. කම්පාකරවන සුළු දෙය නම් ඒ කුමන හේතුවක් නිසාද යන්නවත් ඔහුට දැනුම් දී නොමැති වීමයි.

මෙම ආරක්ෂණ පැහැයුම් ක්‍රියාවලිය( security clearance process) කෙසේ සිදුවන්නේ දැයි යන්න අපැහැදිලිය. ශ්‍රී ලංකාවෙන් පැමිණෙන දෙමළ සරණාගතයන් ඕස්ට්‍රේලියාව විසින් දැඩි ලෙස විමර්ශනය කිරීමේ අරමුණ, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බොහෝ රටවල තහනමට ලක් වූත්, ඕස්ට්‍රෙලියාවේදී නොවූවද යෞවනයන් සිය සංවිධානයට බඳවා ගැනීමේ නිරත වූත්, ස්වඝාතක බෝම්බ ප්‍රහාරයන් පිලිබඳ පූර්වගාමීන් වූත්, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් පැමිණිම වළක්වාළීමට විය හැකිය. මෙය තේරුම්ගත හැකි දෙයක් වුවද එය විසින් වැදගත් කරුණු ගණනාවක් නොතකා හැර තිබේ.

සරණාගතයන් පිලිබඳ උපදේශනයේ නිරත වන අය විශ්වාස කරන අන්දමට ඔස්ට්‍රේලියාවේ ආරක්ෂණ විමර්ශන ක්‍රියාවලිය පදනම්ව ඇත්තේ මෙම සරණාගතයන් බේරී ගැලවී ආ ශ්‍රී ලංකා රජය විසින් ම ලබා දෙන ලද තොරතුරු මතය. ශ්‍රී ලංකා රජය වෙත මෙම සරණාගතයන්ගේ නම් ලැයිස්තු යවමින් ඔවුන්ට එරෙහිව නීතිමය චෝදනා පවතීද යන්න විමසා සිටීම විකාරයක්ලෙස පෙනී යනු ඇත්තේ යුද්ධයෙන් දිවි ගලවාගැනීමට සමත්වූවන්ට නඩු පවරා ඇත්තේ කොතරම් කලාතුරකින්ද යන්න ඔබ දන්නේ නම් පමණි. බොහෝ විට සිදුවනුයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස සැකපිට රඳවා තබාගනිමින්, පසුව නිදහස් කිරීම සඳහා විශාල පරිමාණයෙන් අල්ලස් ලබාගෙන ඔවුන්ව මුදාහැර රටින් පලායාමටද සහාය දීමයි. රැඳවියන් නිතිපතා වධබන්ධනයන්ට ලක්කරමින්, ඔවුන්ට තේරුම්ගත නොහැකි භාෂාවකින් ලියන ලද පාපෝච්චාරණයකට අත්සන් තැබීමට බල කෙරේ. යුද කලාපයේ ජිවත් වූ ඕනෑම වැඩිහිටියෙකු ශ්‍රී ලංකා බලධාරීන්ට අනුව සැකකටයුතු පුද්ගලයෙකි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ නීතිඥයන් විසින් දැන් ලේඛනගත කර ඇති පරිදි, ඔවුහු ශ්‍රී ලංකා රජයේ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව සාක්ෂිකරුවන්ද වෙති.

බ්‍රිතාන්‍යයේ දී දෙමළ සරණාගතයන් සත්තකින්ම තමන් කැරැළිකාරි සංවිධානයේ සාමාජිකයන් බව ඔප්පු කිරීමට වෙහෙස වෙති. ඒ අධිකරණය හමුවේ තමන් යුද්ධයෙන් පසුව වුවද අනාරක්ෂිත බව තහවුරු කිරීමට ය. ඔවුන්ගේ අභියාචනාවන් ස්ථාවර කරනු වස්, මම එක් පුද්ගලයෙකු කොටි සංවිධානයේ සාමාජිකයෙකු බව තහවුරුකරමින් අභියාචනාවන් සඳහා ප්‍රකාශ ලබා දී ඇත්තෙමි. ඕස්ට්‍රේලියාවේදී දෙමළ සරණාගතයන් තමන්ට සංවිධානය හා තිබූ සබඳතාවන් සැඟවීමට වෑයම් දරති. ඒ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තමන් තර්ජනයක් වනු ඇතැයි සළකා තම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන බිය හේතුවෙනි.

කොටි සංවිධානය විසින් පාලනය කරන ලද ප්‍රදේශවල සෑම පවුලකින්ම – ඔවුන් ඊට කැමැති වූවද, අකැමැති වූවද – එක් ළමයෙකු සටන් කිරීම සඳහා, සංවිධානයට භාරදීම සඳහා නීතියක් පැවැති බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය. එමෙන්ම සංවිධානය විසින් පවත්වාගෙන ගිය පරිපාලන ව්‍යුහය වෙත ප්‍රදේශයේ සිවිල් වැසියන්ට බදුගෙවීමටද, එහි වැඩකටයුතුවලට ගෙවීමකින් තොරව තම ශ්‍රමය ලබාදීමට ද සිදුවිය.

එක්සත් ජාතින් විසින් පවසන පරිදි වර්ග කීලෝමීටර් 35ක් ඇතුළත මාස 5ක් තුළ 70000කට අධික සාමාන්‍ය වැසියන් ඝාතනයට ලක් වූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී දිවිගලවාගත්තවුන් විශාල සංඛ්‍යාවක් සමග මම කතා කර ඇත්තෙමි. ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයට පහසුකම් සැළැසූ නොර්වේජියානු නියෝජිත එරික් සොල්හයිම් පවසන අන්දමට, සිදුවීම්වල තීව්‍රතාව සහ වේගය අනුව 2009 ශ්‍රී ලංකාවේ සිදුවීම් නිසැකව මෙම සියවසේ දී ලෝකයේ සිදු වූ දරුණුතම සිදුවීම් වේ.

දිවිගලවාගත්තවුන් ගැඹුරු මානසික කම්පනයන්ට ගොදුරු වී ඇති අතර බොහෝ විට සිය දිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවන් දක්වයි. මට මුණගැසුන ශක්තිමත් සටන්කරුවන් අතර යළි අවි ගැනී‍මට අවශ්‍ය වූ කිසිවෙකු නොවීය. ඔවුහු ඒ අදහස ඉවත්කරගෙන ඇත. බොහෝවුන්ට අවශ්‍යව ඇත්තේ කොහේ හෝ තැනක නිහඬව සැඟ වී සිටිමින්, සුණු විසුණු වී විසිර ගිය ගිය ළදරුවන්ගේ හිස් මොළ, තුවාළ ලැබ දුක්ඛිත මරණයකට ගොදුරුවෙමින් සිටියවුන්ගේ විලාපයන් ආදිය පිළිබඳ බිහිසුණු මතකයන්ගේ ගොදුරක් වු තම ජීවිතය යළි ගොඩනගාගැනීමට ය. මෙම බිඳ වැටුනු මිනිසුන් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවේ.

ආරක්ෂාවට තර්ජනයක්වනුයේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට එරෙහිව අඛණ්ඩව සිදුවන හිංසාකිරීම් ය. එය විසින් තවත් සිවිල් යුද්ධයක තර්ජනයක් දල්වමින් ඇත. කොටින් පරාජයට පත් වූ විට ජාතීන් අතර ප්‍රතිසන්ධානයක් ඇතිකිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා රජය හමුවේ විවරව පැවතිණ. නමුත් දැන් ඒ අවස්ථාව ඉක්ම ගොස් ය. යුද්ධයෙන් දිවි ගළවාගත් දෙමළ ජනතාව රැඳවීම්, වධබන්ධන සහ කොල්ලකෑම්වල ගොදුරකි. සෑම පුද්ගලයන් 5 දෙනෙකුටම එක් හමුදා සෙබලෙකු බැගින් උතුරේ රඳවා ඇත. සැබැවින්ම යුද්ධයෙන් පසුව හමුදාව ප්‍රමාණාත්මකව වර්ධනය කර ඇත. ආරක්ෂක හමුදා විසින් ස්ත්‍රීන්ට, විශේෂයෙන්ම හිටපු කොටි සාමාජිකාවන්ට එරෙහිව සිදු කරන ලිංගික අතවර බහුල ය. අඛණ්ඩව කල්ලි වශයෙන් සිදුකරන ලිංගික අතවර, පහරදීම් සහ දුම්වැටිවලින් කරන පිලිස්සීම්වලට, ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයක් තුළ දින 47ක් තිස්සේ ගොදුරු වූ දෙමළ තරුණියක් මට පසුගිය නොවැම්බරය තරම් මෑතකදී මුණගැසිණි. ශ්‍රි ලංකාවේ හැම දෙයක්ම හොඳින් සිදුවන බවට ප්‍රකාශ නිකුත් කරන ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඇය මුණගැසිය යුතුය. ඇය යුරෝපයට එනු දැක්මට බොහෝ දෙනෙකුන් කැමැතිය.

අද ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ජනතාවට එරෙහිව උත්සන්න වෙමින් පවතින පීඩනයට එරෙහිව කෝපය බුබුළු ලමින් පවතී. සෑම පවුලකින්ම එක් අයෙකු හෝ මරණයට පත්ව තිබුනද, දිවිගලවාගත්තවුන් විසින් මළවුන් සිහිපත් කර ආගමික වතාවත් පැවැත්වීම බලධාරීන් විසින් වළක්වන ලද ආකාරය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවී පිල්ලෙයි විසින් ලේඛන ගත කොට තිබේ. අර්බුදයේ කිසිදු මූල හේතුවක් විසඳා නැත. ජයග්‍රහණයෙන් මත්ව ඇති රජය, දෙමළ ප්‍රදේශවලට බලය බෙදා හැරීම ප්‍රතික්ෂේප කර ඇත. ජීවිතයේ සියල්ල අහිමි කර නින්දාවට පත්කරනු ලැබ ඇති තවත් පරම්පරාවක් තුළින් ප්‍රචණ්ඩ ක්‍රියාවන් යළිත් මතුවීම කාලය සම්බන්ධ ගැටළුවක් පමණක් වී ඇත.

මේ අතර යුද අපරාධ සිදුවෙමින් පවතින විට හමුදාවේ ඉහළ නිලයන් හෙබැවූ අණ දෙන්නන් දැන් රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලබන ව තානාපතිවරුන් ලෙස විදේශයන්හි පත්වීම් ලැබ ඇත. පිළිගත් සරණාගතයන් කූඩු කිරීමට විශාල වෙහෙසක් දැරීම වෙනුවට නිදැල්ලේ සැරිසරන යුද අපරාධකරුවන් ඉලක්ක කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරන්නේ නම් වඩාත් යහපත්ය.

*(තේවම් යනු සරණාගතයාගේ සත්‍ය නම නොවේ.)

*ෆ්‍රාන්සස් හැරිසන් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ සිදුවීම් පිලිබඳව ලියැවුන Still Counting the Dead: Stories from Sri Lanka’s Hidden Warපොතේ කතුවරිය වන අතර බීබීසි ගුවන් විදුලියේ හිටපු ශ්‍රීලංකා වාර්තාකාරිනියක ලෙසද කටයුතු කර ඇත. මෙය, ඇය විසින් මාර්තු 25 වෙනිදා Asian Correspondent වෙබ් අඩවියට The plight of Australia’s Tamil refugees මැයෙන් ලියන ලද ලිපියේ සිංහල අනුවාදයයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.