15 October, 2019

Blog

ලෝකයාගෙන් කොන්වීමක් කරා: පරණ මියන්මාර ශෛලිය

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ශ‍්‍රී ලංකාව පිළිබඳ ලෝකයාගේ ගෞරවය නැති වන විට, ඒ හේතුවෙන් ඇති වන ප‍්‍රතිවිපාක ගණනාවකි. ඇතැම් ඒවා කුඩා ය. ඇතැම් ඒවා බරපතල ය. එහෙත්, ලෝකයේ රටවල් අතරේ අතීතයේ ශ‍්‍රී ලංකාව හිමිකරගෙන සිටි ස්ථානය සමග සසඳන විට, ඒ සියල්ල, සාපේක්ෂ වශයෙන්, පෙර නොවූ විරූ තරම් ය.

අපගේ විහින් ලෝකයාගේ අවමානයට ලක්වීම

කැනඩා ආණ්ඩුවේ ඇතැම් ක‍්‍රියා සම්බන්ධයෙන් එරට අධිකරණය බොහෝ විට ආණ්ඩුවට එරෙහිව ගොස් ඇතත්, කිසි විටෙක එරටේ අගවිනිසුරුවරයාව අත්තනෝමතික ආකාරයෙන් දෝෂාභියෝගයට ලක්කොට නැතැ යි, මේ සතියේ ලංකාවේ සංචාරයක යෙදුණු කැනඩා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු කොළඹ පැවති සිය ආරාධිත දේශනයක දී කළ ආන්දෝලනාත්මක සඳහන, ඔහුගේ සත්කාරකයා වූ මෙරට විදේශ ඇමති ජී. එල්. පීරිස්ට බෙහෙවින් රිදුම් දී තිබේ. එම සම්මන්ත‍්‍රණයේ ස්වකීය කතාවේ දී එකී සඳහන ගැන අදහස් දැක්වූ අපේ ඇමතිවරයා, එය ‘අයෝග්‍ය සහ නුසුදුසු’ ප‍්‍රකාශයක් බව කියා සිටිමින්, ‘ඔබේ රට ගැන එවැනි ප‍්‍රකාශයක් කැනඩාවේ සංචාරයකදී මා නම් හීනෙන්වත් නොකරනු ඇතැ’ යි ද මතක් කර දී තිබුණි. (ඬේලි මිරර්: මාර්තු 23*

ශ‍්‍රී ලංකාවට තිරසාර විදේශ ප‍්‍රතිපත්තියක් සහ විධිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්ධතියක් තිබුණු කාලයේ, හිස් කයිවාරුවලින් නොව, හරවත් බුද්ධිමත් භාවයෙන් යුතුව ලංකාව නියෝජනය කරන රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් සිටි කාලයේ මෙවැනි ප‍්‍රකාශයක් ලංකාවට පැමිණි විදේශීය පාර්ලිමේන්තු නියෝජිතයෙකුගෙන් පළ විණි නම්, බොහෝ දෙනා විශ්මයට පත්වනු නියති. එහෙත් අද ලංකාව ඒ කියන කිසි යහගුණයකට හිමිකම් නොකියන බව ඕනෑම කෙනෙකුට පෙනෙන්ට ඇති දෙයකි.

මේ නිසා අද ලංකා ආණ්ඩුවේ නියෝජිතයන් එවැනි කියමන්, කතාවට කියන්නා සේ, මෝඩ පහේ විරිත්තිල්ලකින් ඉවසා වදාරන්නට උගත යුතුව තිබේ. කෙසේ වෙතත්, අපේ ඇමතිවරයා හීනෙන් කරන හෝ නොකරන දේවල් කවරේ ද යන්න ඔහුගේ අයිතියක් වෙතත්, තමා නම් එවැනි කටකැඩිච්ච කතාවක් කැනඩා ආණ්ඩුව සම්බන්ධයෙන් එරටේ දී නොකරන බවට ඔහු කළ ප‍්‍රකාශය, සත්තකින්ම හිස් බසකි. ඒ වෙන කිසිවක් නිසා නොව, කැනඩාවේ කිසි අගවිනිසුරුවරයෙකු නින්දා පරිභවයට ලක්කොට, හමුදා බලය යොදා ඔහුව හෝ ඇයව පන්නා දැමීමට සහ නිහීන ආකාරයෙන් අධිකරණ පද්ධතියට පහර දී අකාමකා දැමීමට, කැනඩා ආණ්ඩුව කිසි විටෙකත් කටයුතු කරනු ඇතැ යි සිහිබුද්ධිය ඇති කිසිවෙකුට සිතාගත නොහැකි බැවිනි.

එහෙත් ශ‍්‍රී ලංකාව, කිසි අනුකම්පාවක් හෝ චාරයක් නැතිව කර ඇත්තේ හරියටම ඒ දෙයයි. ඉතිං, රටකට එන අමුත්තෙකු කරන එවැනි ප‍්‍රකාශයක් සත්කාරක රටේ දෘෂ්ටි කෝණයෙන් තරමක් කර්කශ සේ පෙනී යා හැකි වෙතත්, අවාසනාවකට මෙන්, අමුත්තාගේ කතාව සත්‍යයක්ම වන්නේය. කෑකෝගසමින් විරෝධය පෑවාට එම සත්‍යය, බොරුවක් වන්නේ නැත.
‘ප‍්‍රතිපත්තිගරුක’ රටවල් සඳහා වන සහයෝගීතාව

මේවා සුළු සිදුවීම් වෙතත්, ඒ මගින් පෙන්නුම් කරන්නේ, එන්න එන්නම ලෝකයා ඉදිරියේ ශ‍්‍රී ලංකාව පත්වන අවමානයේ තරමයි. ගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ ඇමරිකානු යෝජනාවෙන් පෙන්නුම් කළ පරිදි එකී සාමාජිකයන් අතරේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගොඩනැගෙමින් ඇති දැඩි ආකල්පයත්, ලංකාවේ නීති සහ යුක්ති විනිශ්චය යාන්ත‍්‍රණ පද්ධතිය ‘ජාත්‍යන්තර ප‍්‍රජාවට සෑහීමට පත්විය හැකි’ මට්ටමට සකස් කරගත යුතු යැයි ඉන්දියාව කියා සිටි විශේෂ ප‍්‍රකාශයත් මගින් මනාව පෙන්නුම් කරන්නේ, ලංකාව මේ මොහොතේ ලෝකයා ඉදිරියේ කොන් වෙමින් ඇති තරමත්, ලංකාවේ වර්තමාන නායකත්වය විසින් ඉතා අපරීක්ෂාකාරී අන්දමින් ජාත්‍යන්තර ප‍්‍රජාවේ දෝෂ දර්ශනයට ලංකාව පත්කරනු ලබන අන්දමත් ය.
නාටකීය සිදුවීම් අතර හිනාවට කාරණා ද තිබුණි. ඇමරිකානු යෝජනාවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීම, ‘ප‍්‍රතිපත්ති ගරුක රටවල සහයෝගීතාවේ දුර්ලභ මොහොතක්’ වශයෙන්, ජිනීවා නුවර සිටින ලංකාවේ නිත්‍ය නියෝජිතයා හඳුන්වා තිබීම ඊට නිදසුනකි.

මහ බලවතුන් තමන්ගේ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් වගනොකියමින් කුඩා රටවල් පස්සේ පැන්නීම තුළ ප‍්‍රතිපත්ති ගරුක භාවයක් නැති බව නොකිවමනා ය. ඇමරිකාවේ විවිධ ආණ්ඩු ආයුධ ජාවාරම්කරුවන්ට කත්අදින හැටි නිර්දය සේ හෙලිදරව් කළ මයිකල් මූවර්ගේ අද්විතීය වාර්තා චිත‍්‍රපටිය පෙන්නුම් කරන පරිදි, ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදු කෙරුණු නානාවිධ මානව අපහරණයන්ට අදාළව ඇමරිකානු ප‍්‍රතිපත්ති සම්පාදක ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් සහ ඩික් චෙනී වැන්නන් ලෝකයේ දරුණුම යුද අපරාධකරුවන් වශයෙන් ගිණිය හැකිය. කිසි දඩුවමකට යටත් නොවෙමින් ඔවුන් ක‍්‍රියා කොට ඇති ආකාරය, මයිකල් මූවර් පෙන්වා දෙන පරිදි, තමන්ටත් නීතියෙන් ගැලවී එසේ ක‍්‍රියා කළ හැකි යැයි වෙනත් රටවල අධම ඒකාධිපතියන්ට දුන් ආදර්ශයක් මෙනි.

එනිසා, ජාත්‍යන්තර යුක්ති ධර්මයේ රෝද කැරකැවෙන්නේ පක්ෂග‍්‍රාහීව බව අවිවාදිත ය. එහෙත් බලගතු රටවල් එසේ නිදැල්ලේ හැසිරෙන බලකාමී දේශපාලනය කවදත් එසේම විය. කුඩා රටවල නායකයන්ට ඒ ආකාරයෙන්ම තමන්ටත් සිය පුරවැසියන්ට සළකන්නට අයිතියක් ඇතැ යි කීමට, ඒ මාර්ගයෙන් අවසරයක් සැපයෙන්නේ නැත. ජාත්‍යන්තර දේශපාලනයේ උච්චාවචනයන් තුළ එවැනි තර්කයක් මොන තරම් නිස්සාර විය හැකි ද යන්න, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පළමු වසරේ සිසුවෙකු වුව ද දනී.
මේ ආණ්ඩුව ‘ප‍්‍රතිපත්තිගරුක’ ද?

කරුණු එසේ තිබිය දී, ජිනීවා නුවර දී ලංකාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කළ රටවල ‘ප‍්‍රතිපත්තිගරුක භාවයක්’ පිළිබඳ උදම්අනන ලංකාවේ නියෝජිතයාගේ තර්කය ලංකාව දෙසටම එල්ල කළොත් ලැබෙන චිත‍්‍රය කවරාකාර ද? ආණ්ඩුවේ අධම ක‍්‍රියා වසා ගැනීමේ නිහීන ආවරණයක් වශයෙන් පාවිච්චි කළ ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’, ආණ්ඩුව අපේක්ෂා නොකළ ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් කළ විට එහි අඩංගු අවම නිර්දේශ පවා ක‍්‍රියාත්මක නොකර මගහැරීම තුළ ඇති ‘ප‍්‍රතිපත්තිගරුක’ භාවය කුමක් ද? මහජනතාවගේ දැන ගැනීම සඳහා නිදහස් කළ යුතු යැයි ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ නිර්දේශ කළ උදලාගම කොමිෂන් වාර්තාව කෝ? එය, ආණ්ඩුවේ වෙනත් ලිපිගොනු අතරේ අස්ථානගතව ගොස් ද? අවුරුදු හයක් තිස්සේ හොරගල් අහුලමින් කල්දැමූ ත‍්‍රිකුණාමලයේ අවාසනාවන්ත ශිෂ්‍ය ඝාතනය, දැන් ලඝු=නොවන විමර්ශනයක් සඳහා යොමුකොට ඇතැ යි කීම, අප විසින් හුරේ දමා පිළිගත යුතු යැයි ආණ්ඩුව සිතන්නේ ද?

රටේ සාමාන්‍ය අපරාධකාරයෙකුටත් වඩා නිහීන අන්දමින් අගවිනිසුරුවරියට සැළකීම තුළ ඇති ප‍්‍රතිපත්තිගරුක භාවය කුමක් ද? ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව බොදුබල සේනාව අවුළුවන ආගමික වෛරය, ප‍්‍රතිපත්තිගරුක වන්නේ කෙසේ ද? මේ අන්තවාදය, තමිල්නාඩුවේ දී බෞද්ධ භික්ෂූන්ට පහර දුන් අන්තවාදය තරමටම භයානක ය.
ලෝකයාගෙන් කොන් වූ පරණ මියන්මාරය පාරේ අපත් යාම

එහෙත් මේ සියල්ලටම වඩා, ආණ්ඩුව ඇතුළේ පවතින පටලැවිල්ල අපූරු ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවට එරෙහිව ජයගත් ඡුන්දය වැනි වැදගත් කාරණයක් සම්බන්ධයෙන් පවා පැහැදිළි ප‍්‍රතිපත්තියක් ආණ්ඩුවට නැති බව එදාම පෙන්නුම් කෙරුණි. එම යෝජනාවේ සැර බාල කිරීමට උදව් වීම ගැන එදා එක් කැබිනට් ඇමතිවරයෙක් ඉන්දියාවට ප‍්‍රශංසා කෙළේය. එහෙත් අනිත් පැත්තෙන්, ලංකාවේ දෙවැනි බලවතා වශයෙන් සැළකෙන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කෙළේ, ඉන්දියාව එම යෝජනාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීම ගැන බලවත් අප‍්‍රසාදය පළ කිරීමයි. එපමණක් නොව, තමිල්නාඩුවෙන් ලංකාවට ගොඩබසින කෙනෙක් වෙතොත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්වීමේ අවදානමට ලක්විය හැකි බවටත්, ඉතා මෝඩ අන්දමින් ඔහු කෑගැසුවේය. (21 මාර්තු: ‘ලංකා ටෲත්’*

මේ තත්වය යටතේ පරණ මියන්මාරය සමග සැසඳීමකට නොගොස් සිටීම අසීරු ය. මියන්මාරය හෙවත් ඉස්සර හැඳින්වූ පරිදි බුරුමය, එක්තරා කාලයක දී ඒ කලාපයේ වී වගා කළ ප‍්‍රධාන රට විය. එහෙත් පසුව ඇති වු හමුදා ආඥාදායකත්වයක් යටතේ ගතවූ දීර්ඝ කාලයක් තුළ, ජාත්‍යන්තරයේ කොන්වීමටත්, ඒ මගින් ආර්ථික විනාශයටත් ගොදුරු වු ඒ රට ගිය මගේම දැන් අප ද යමින් සිටින සෙයක් පෙනේ. ලෝකයෙන් ලබාගන්නා ප‍්‍රකෝටි ගණන් ණයවලින් දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්, අධිවේගී මහා මාර්ගයක්, සුරංගනා උද්‍යාන සහ නවතමයෙන් ඉදිවන සුඛෝපභෝගී හෝටල් ආදී විගඩම් ඉදිරියේ සිංහල ප‍්‍රජාවෙන් බහුතරය බැටළු රැුලක් සේ වහල් භාවයෙන් නමස්කාර පූර්වකව සිටිද්දී, දරාගත නොහැකි මහපරිමාණ ව්‍යාපෘති සඳහා ආණ්ඩුවට ණය සැපයූ රජයේ බැංකු එම ණය බරෙන් දෙදරුම් කමින් සිටිද්දී, අප මුහුණදෙමින් සිටින මේ අභාග්‍යයට වැරදිකරුවන් වන්නේ රාජපක්ෂවරුන් නොවේ.

අපේ නාමයෙන් ගනු ලබන මෙවැනි තීරණවල ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක කල්තියා හඳුනා ගැනීමට අසමත් අපම ය.

*2013 මාර්තු 24 වැනි දා පළවූ Towards International Isolation, Old Myanmar Style ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    lipiya vadagat mweni lipi sinhate perla laba denne mage wade mame karannam

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.