19 April, 2024

Blog

මුස්ලිම් විරෝධී වෛරී ව්‍යාපාරය: ආණ්ඩුව තීරණාත්මක පියවර ගත යුතුය

ජයන්ත ධනපාල සහ මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර

මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ

2013 මාර්තු 07

මුස්ලිම් විරෝධී වෛරී ව්‍යාපාරය: ආණ්ඩුව තීරණාත්මක පියවර ගත යුතුය
හිතවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි,

බහුතර සිංහල ප‍්‍රජාව නියෝජනය කරති යි කියන අන්තවාදී කණ්ඩායම් කිහිපයක් මගින් දියත් කොට ඇති, නිතිපතා විසකුරු වන සහ කර්කශ වන මුස්ලිම්=විරෝධී වෛරී ව්‍යාපාරය, තීරණාත්මකව වහා ව්‍යර්ථ කරන්නැ යි, ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටී. ඔබ දන්නා පරිදි, පසුගිය මාස කිහිපය තිස්සේ මේ ව්‍යාපාරය උත්සන්න වී තිබේ. මුස්ලිම් පල්ලිවලට ප‍්‍රහාර එල්ලවන අතරේ ප‍්‍රචාරක දැන්වීම් සහ වෙබ් අඩවි හරහා ආගමික විශ්වාසයන්ට රිදවන නින්දා සහගත අසභ්‍ය පණිවිඩ සමාජගත කෙරෙනු අපි දුටුවෙමු. මුස්ලිම්=විරෝධී පෙළපාලි සහ මහජන රැුස්වීම් පවත්වන අතරේ මුස්ලිම් ව්‍යාපාරික ආයතන වර්ජනය කරන්නැ යි කරන ඉල්ලීම් ද අපි දුටුවෙමු.

වර්ගවාදී ගැටුම්කාරී තත්ත්වයන් ඇවිලවීමේ ඕනෑම ප‍්‍රයත්නයක දී, එවැනි තර්ජන ඉවත් කොට, ප‍්‍රහාරයට ලක්වන ප‍්‍රජාවේ ආරක්ෂාව සහතික කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ ආණ්ඩුවට ය. ජනතාව විසින් ජනාධිපතිවරයෙකු සහ වෙනත් මහජන නියෝජිතයන් ඡුන්දයකින් පත්කරගනු ලබන්නේ, සමානාත්මතාව, පුද්ගල ආරක්ෂාව, ගරුත්වය සහ ආගමික නිදහස ඇතුලූ මිනිස් අයිතිවාසිකම් සහිතව සියල්ලන්ට ජීවත්විය හැකි පරිසරයක් තහවුරු කෙරෙති යි යන අපේක්ෂාවෙනි. එම අපේක්ෂාව ආරක්ෂා කරදීමට අපොහොසත් වීම, ආණ්ඩුවක් සතු වගකීම් බරපතල ලෙස පැහැර හැරීමක් වන අතර ඒ හේතුවෙන් රටටත් ජනතාවටත් රුදුරු ප‍්‍රතිවිපාකවලට මුහුණදෙන්නට සිදුවන බව, අතීතයේ ඔප්පු කොට තිබේ.

බහුත්වවාදී සමාජයක විශේෂිත ජන වර්ගයකට එරෙහිව දියත් කෙරෙන වෛරී ව්‍යාපාරයක් වෙතොත්, ආණ්ඩුවත් ජනතාවත් ඒ ගැන බරසාර අවධානය යොමු කරමින්, එය අපේ ඓතිහාසික, සමාජයීය, ආර්ථික සහ විදේශ ප‍්‍රතිපත්ති යථාර්ථයන් තුළ තබා සැලකිල්ලට ගැනීම වටී. විශේෂිත ජන වර්ගයකට එරෙහි ප‍්‍රචණ්ඩත්වය දියත් වීමත්, වාර්ගික ශෝධනයක අවදානමත් හැබෑවටම අද මතුවී ඇතැ යි අපි සිතමු. ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය සහ වෛරය අවුළුවන පරිසරයක, මිනිස් ජීවිතය සහ පුද්ගල ආරක්ෂාව බිංදුවට වැටෙන සැටි, 1983 ජාතිවාදී භීෂණයේ මතකය මගින් අපට නිරතුරුව සිහිගන්වයි. වෛරී ව්‍යාපාර නොවැරදීම තුඩුදෙන්නේ භීතිය රජයන අසරණ හැඟීමකටයි. ඕනෑම මොහොතක අනතුරට භාජනය වීමේ ශක්‍යතාව ඉලක්කගත ප‍්‍රජාව තුළ ජනනය වීම නිසා භීතිකාව සමාජගත වන්නේය. එවැනි තත්ත්වයක් තුළ එම ප‍්‍රජාව අනතුරට ලක්කෙරෙනවා පමණක් නොව, මුළු සමාජයමත් වර්ගවාදී හිංසාවට ගොදුරු වීමේ සැකයෙන් ඔද්දල් වන්නේය.

මෑතක දී ත‍්‍රිකුණාමලේ දී පවත්වන ලද නිදහස් සමරු උළෙලේ දී, ජාතිවාදී අසහනය පතුරුවන්නන්ට එරෙහිව ඔබ පැහැදිළිව කතා කිරීම අපි අගය කරමු. එහෙත් වර්තමාන වෛරී ව්‍යාපාරය මැඩලීමට හෝ අපේ සමාජය තුළ මුස්ලිම් ප‍්‍රජාව සතු නිසි තැන ගැන ඔවුන් තුළ සහතික විශ්වාසයක් ජනනය කළ හැකි සංයුක්ත සහ තීරණාත්මක පියවර කිසිවක්, ඔබේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවෙන් මේ දක්වා අරගෙන නැත. ඔබම දෙන ලද සහතික වීම් එක පැත්තකින් ද, සහෝදරඝාතක තිස් අවුරුදු යුද්ධයක විනාශයෙන් සහ විඳවීමෙන් පසු වහා අත්කරගත යුතු යැයි ඔබේ ආණ්ඩුව කී තිරසාර සාමයක බලාපොරොත්තුව තවත් පැත්තකින් ද තිබියදී, මෙම තත්ත්වය තේරුම් ගැනීම අසීරු ය.

මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි වෛරී ප‍්‍රචාරය ඉදිරියේ ආණ්ඩුවේ නිශ්ශබ්දතාවත්, විශේෂයෙන් මාධ්‍යයේ අයථා භාවිතය තුළින් විද්‍යමාන තුෂ්ණීම්භූත ප‍්‍රතිචාරයත්, ජාතික මෙන්ම ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝණය කිරීමකි. මාධ්‍යයේ එම අයථා භාවිතය, භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහසක් වශයෙන් ගෙනහැර පෑම, ජාතීන් අතර විරසකය සහ හිංසනයේ ක‍්‍රියාකාරීකයන්ට දෙන අනුග‍්‍රහයකි. ජාතික පොදු සෞඛ්‍ය සේවාවන්ට සහ ඊට අදාළ ගිවිසුම් ප‍්‍රකාර වගකීම්වලට අනුකූල පවුල් සැලසුම් සහ ප‍්‍රජනන සෞඛ්‍ය පිළිවෙත් අගතියට පත්කෙරෙන පරිදි, සහමතික වැඩිහිටියන් සඳහා වන වන්ධ්‍යාකරණ වැඩසටහන් තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය, ප‍්‍රතිපත්තියක් වශයෙන්මත් දෝෂ සහගත වීමට අමතරව, එය මුස්ලිම්=විරෝධී ප‍්‍රචාරකයන්ට දෙන ලද වරදානයක් වශයෙන් පොදු සමාජය තුළ අර්ථගැන්වීමේ ඉඩකඩක් ද ඇත්තේය.

ඕනෑම ප‍්‍රජාවක් සිය අනන්‍යතාව බලහත්කාරයෙන් තහවුරු කිරීමට ක‍්‍රියා කිරීම බහුත්ව සමාජයක ගැටුම්කාරී ආතතීන් ඇති කරයි. යම් ආගමික කණ්ඩායමකට අදාල ප‍්‍රශ්නයක් මතුවන්නේ නම්, උදාහරණයක් වශයෙන් මෑතක දී උද්ගතව ඇති ‘හලාල්’ සහතිකය පිළිබඳ ප‍්‍රශ්නය වැනි අවස්ථාවක දී කළ යුත්තේ, ඊට අදාළ කරුණුවල සත්‍යාසත්‍යතාව සාවධානව පරීක්ෂා කරමින්, වගකීමෙන් යුතුව සහ අපක්ෂපාතීව එය විමසුමට ලක්කිරීමයි. සමාජයට ද ඒ පිළිබඳ නිවැරදි තොරතුරු සැපයිය යුත්තේ, ගැටුම් නිරාකරණය කිරීම සඳහා මිස ඒවා තව තවත් ඇවිළවීම සඳහා නොවේ.

ඒ නිසා, වර්තමාන මුස්ලිම්=විරෝධී ව්‍යාපාරය සහ එහි අනුග‍්‍රාහකත්වය හෙළාදකිමින්, ඒ ප‍්‍රශ්නය අරභයා ආණ්ඩුව ගැනීමට බලාපොරොත්තු වන ඉදිරි පියවර ගැන ජාතිය අමතා ප‍්‍රකාශ කරන්නැ යි, ජනතාව තෝරා පත්කරගත් රාජ්‍ය නායකයා වශයෙන්, අපි ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමු. පටු ජාතිවාදී දේශපාලනය පිළිකෙව් කෙරෙන එවැනි නොසැලෙන සහ තිරසාර ක‍්‍රියාමාර්ගයකින් පමණක්ම සාමය රැුක ගැනීමට හැකි වන බවත්, ජාතික සහජීවනය සහ රටේ ආරක්ෂාව ස්ථාපිත කෙරෙන පරිසරයක් ගොඩනැගීමට හැකි වන බවත්, අපි විශ්වාස කරමු.

ජයන්ත ධනපාල සහ මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර
*ෆ‍්‍රයිඬේ ෆෝරම් වෙනුවෙන්:
ජයන්ත ධනපාල, මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර, අතිපූජ්‍ය දුලීප් ඞී. චිකේරා, ආචාර්ය දීපිකා උඩගම, මහාචාර්ය අර්ජුන අලූවිහාරේ, ශාන්ති ඩයස්, ඈන් අබේසේකර, ලංකා නේසයියා, ෆයිස්=උර් රහමාන්, ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න, අහිලන් කදිරගාමර්, ජේ. සී. වැලිඅමුණ, ජාවිඞ් යූසුෆ්, ඩැනේෂ් කාසි චෙට්ටි, දමාරිස් වික‍්‍රමසිංහ, පූජ්‍ය ආචාර්ය ජයසිරි පීරිස්, ආචාර්ය ඒ. සී. විස්වලිංගම්, මහාචාර්ය කැමීනා ගුණරත්න, මහාචාර්ය රංජිණී ඔබේසේකර, ආචාර්ය උපතිස්ස පෙතියාගොඩ, ආචාර්ය දේවනේසන් නේසයියා, චන්ද්‍රා ජයරත්න.

*‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ විද්වත් එකතුව වෙනුවෙන් ජයන්ත ධනපාල සහ මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියන ලද විවෘත ලිපියේ
සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.