22 September, 2020

Blog

ජාත්‍යන්තර පරික්ෂණයක් අත්‍යාවශ්‍ය වන්නේ ඇයි?

ගාමිණී වියන්ගොඩ –

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඇතුළු මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට රාජකාරියක් වශයෙන් බොරු කියන කවුරුත් පෙනී සිටින්නේ එක දෙයක් වෙනුවෙනි. එනම්, අවනීතිය වෙනුවෙනි.

දකුණේ ආණ්ඩුව දෙමළ ජනතාවට කවදත් බෙදුවේ වෙනම හැන්දකින් බව පැහැදිළිය. එසේ නොවුණි නම්, යුද්ධයක් ද නොතිබෙනු ඇත.

එහෙත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ කාරණයේ දී හැසිරී ඇත්තේ ඊටත් තරමක් ඈතට යමිනි.

ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දකුණේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිංහල පක්ෂ සියල්ලම දේශපාලනය කෙළේ හැඳි දෙකක් අතේ තබාගෙනයි. එකක්, සිංහලයන්ටයි. අනික, දෙමළ ප‍්‍රධාන සුළු ජාතීන්ටයි. මේ විෂම සැළකිල්ල එම පක්ෂවලට උරුම වුණේ, මැතිවරණ දේශපාලනයේ ප‍්‍රායෝගික ගතිකත්වයන් සැළකිල්ලට ගත යුතු වූ බැවිනි. එහිදී, ජාතිය පමණක් නොව, කුලයත් එම පක්ෂවලට වැදගත් වී තිබේ. ඒ ඒ ආසනවලට පත්කරන ඡුන්දාපේක්ෂකයන් හැම විටකම එම පළාතේ කුලයේ කෙනෙකු වන බවට වගබලා ගැනීම අර කී ප‍්‍රධාන ප‍්‍රවාහයේ (සම්ප‍්‍රදායික වම ද ඇතුළුව) සියලූ පක්ෂවල අවධානයට ලක්ව ඇති කාරණයකි. එසේ තිබිය දී, ජාතිය ගැනත් දෙයාකාරයකින් සැලකීමට එම පක්ෂ (යම් අවදියකින් පසු, සම්ප‍්‍රදායික වම ද) ඉදිරිපත් වීම පුදුමයක් නොවේ. එයින් පෙනෙන්නේ, කුලය සහ ජාතිය වැනි පසුගාමී සාධක වෙනස් කර ගැනීම වෙනුවට එක දිගටම ඒවා පවත්වා ගැනීමට හේතු වන සහ කාර්යක්ෂමතාව අතින් තමන්ගේ බල ව්‍යාපෘතියට පහසු මාර්ගයක් විය හැකි ඒ සෑම සාධකයක්ම නොවලහා ප‍්‍රයෝජනයට ගැනීමට මේ කියන සෑම පක්ෂයක්ම පෙළැඹී ඇති බවයි. එහි දී, මහින්ද රාජපක්ෂ සහ ඔහුට පෙර සිටි වෙනත් පාලකයන් අතර බරපතල වෙනසක් නැත.

එහෙක් මේ සාධක (ජාතිය සහ ආගම) පාවිච්චියට ගැනුණු ආකාරයේ දී මහින්ද රාජපක්ෂ ඔහුට පෙර සිටි පාලකයන්ගෙන් වෙනස් වෙයි.

බලයේ සිටින පක්ෂයක් රාජ්‍යයට එරෙහි ඕනෑම බරපතල අභියෝගයක දී, ජාති කුල මල භේද පසෙකින් තබා, සීරුවෙන් වැඬේ දීම සිරිතයි. 87-90 කාලය තුළ දකුණේ තරුණයන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ දේ කෙළේය. එවිට, වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට එරෙහිව ජිනීවා නුවරට ගොස් කරුණු දැක්වීය. ‘බලහත්කාර අතුරුදහන් කැරැවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුවට’ ලංකාවට පැමිණ මේ සිදුවීම් විභාග කර බලන්නැ යි එදා ඉල්ලා සිටියේ ද, එවක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂමයි. එවිට, රටක් වශයෙන් ලංකාවේ ස්ෙෙරීත්වය පිළිබඳ කිසි ප‍්‍රශ්නයක් මහින්ද රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට තිබුණේ නැත. ඊට සමාන ආකාරයෙන්, යුද්ධයේ අවසාන කාලයේ සිදු වී යැයි කියන අපරාධ විභාග කර බැලීමට අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සැරසෙන විට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එය රටේ ස්වෛරීත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් සේ පෙනී යයි. එහෙත් අද විරුද්ධ පක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයට එය ප‍්‍රශ්නයක් සේ පෙනෙන්නේ නැත. විරුද්ධ පක්ෂයක් වශයෙන් සිටින තාක් කල්, පාලක පක්ෂයක් විසින් කරන අපරාධ විවේචනය කිරීමත්, එම විරුද්ධ පක්ෂයම ආණ්ඩු බලය ලබාගත් පසු එම අපරාධයම කිරීම වරදක් නොවීමත්, අපේ දේශපාලනයේ සදාතන ලකුණක් බවට පත්ව ඇත. වඩා වැදගත් වන්නේ එය නොවේ. රාජ්‍යයට එරෙහි දකුණේ අභියෝගය ඉදිරියේ, ජාතිය, කුලය, ආගම ඈ ක්ෂුද්‍ර ගනයේ මැතිවරණ සාධක පසෙකින් තැබීමට එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සිදුවු අතර, එම සාධකම වර්තමාන යුද්ධයේ දී අනිත් පැත්තෙන් තමාගේ වාසිය සඳහා ආදරයෙන් වැළඳ ගැනීමට, මහින්ද රාජපක්ෂට ‘වාසනාව’ පෑදීමයි.

ජාතිය සහ ආගම, මෙවර හතුරා වෙත දමා ගැසිය හැකි ‘නිල නොවන’ අවියක් විය. ‘බෙදුම්වාදයට එරෙහි වීම’ සහ ‘ත‍්‍රස්තවාදය පිටුදැකීම’ යන සාකල්‍ය සටන්පාඨ පසුපසින්, මෙවර ප‍්‍රාතිහාර්යයක් සේ ක‍්‍රියා කෙළේ එකී සාධක දෙකයි. එය, මූසිල පරාජය කැරැවීමට ගුත්තිල ඇදුරා අහසට වීසි කළ ගුලිය බදු විය. මෙය, 87-90 කාලයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොලද වරප‍්‍රසාදයකි.

කෙසේ වෙතත්, 87-90 කාලයේ ලංකාවේ බලයේ සිටියේ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ නම්, එදා ඇති වූ අපරාධවල ස්වභාවය අංශු මාත‍්‍රයකින්වත් වෙනස් නොවන බවත්, මෙදා යුද්ධයේ අවසාන කාලයේ බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂය නම්, මේ කියන යුද අපරාධ මීට වඩා අඩු වන්නේ නැති බවත් කෙනෙකු අමතක නොකළ යුතුය.

ඒ පොදු කාරණය සැලකිල්ලේ තබාගෙන ඉතිරි කාරණා කිරා බැලීම වැදගත් ය.

පවතින ආණ්ඩුව කරන අපරාධ ගැන සොයා බලන්නැ යි එදා මහින්ද රාජපක්ෂ විසින් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටීම ලංකාවේ ස්වෛරීත්වයට ඇඟිලි ගැසීමකට අතවැනීමකැ යි නොකී දකුණේ පොදු සිංහල සමාජය, එම ස්වෛරීත්වයම දඩමීමා කරගෙන අද ජාත්‍යන්තර පරීක්ෂණයකට විරුද්ධ වන ස්වකීය පාලකයාට විරුද්ධ නොවන්නේ ඇයි?

ඊට දිය හැකි පිළිතුර තුළ ඉහත කී ජාතිය විශාල පදාසයක් නියෝජනය කරයි. අපේ අනාගත ජාතික සංහිඳියාවට ඇති ලොකුම බාධාව ඒ අගතිගාමී ජාතික ආකල්පයයි. ඊට අමතරව, විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණු නායකයන් අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනය කෙරුණේ කෙසේ දැයි දැන ගැනීමේ උවමනාවක් ද, සමස්තයක් වශයෙන්, දකුණේ සමාජයට එදා තිබුණේ නැති බවත් මෙහි දී සිහිපත් කිරීම වටී. එවැනි පරීක්ෂණයක පොදු අවශ්‍යතාව යම් ආකාරයකින් හෝ මතු වුණේ, බලය ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක පෙරමුණට එන, ඊට පසු කාලයකදී ය. ඒ දවස්වල රටේ නොයෙක් තැන්වල වළවල් හෑරුණි. ඇටකටු ගොඩගැනුණි. ඒ ව්‍යායාමය අවසන් වුණේ, විජය කුමාරණතුංගව පවා ඝාතනය කෙරුණේ, එක්සත් ජාතික පක්ෂයෙන් බවට ජනාධිපති කොමිෂන් සභාවක් ලවාම කියවා ගැනීමෙනි. අවසානයේදී ‘පරිවාසය’ හරහා සත්‍යය වැළලී ගියේය.

මේ සියලූ දේවල් හරහා ටිකෙන් ටික වැඞී ගියේ පාලකයාගේ සහ රාජ්‍යයේ සාපරාධීත්වය නොසළකා හැරෙන සමාජ පුරුද්දකි. පේ‍්‍රමවතී මනම්පේරි සම්බන්ධයෙන් ඉෂ්ට කළ සාධාරණත්වය, ඇගේ පසුගාමීන් වන විජේවීර ඇතුළු පිරිසට නොදීම, ‘සාමාන්‍ය’ දෙයක් සේ ගැනීමට, සමාජයක් වශයෙන් අපව පුහුණු කැරැවුණි. අද මහින්ද රාජපක්ෂ ප‍්‍රයෝජනයට ගන්නේ එම සමාජ උදාසීනත්වයයි. එය හුදෙක්, සිදු වූ අපරාධ වැළලීමට පමණක් නොව, මත්තටත් අපරාධ කිරීමට අවශ්‍ය කරන අවනීතික සමාජ පසුබිමක් අළුතෙන් ගොඩනගා ගැනීමටත් ඔහු අද පාවිච්චි කරමින් සිටී.

මේ නිසා, ජාත්‍යන්තර පරීක්ෂණයක් අද අපට අවශ්‍ය කරන්නේ හුදෙක් අදාළ වැරදිකරුවන්ට දඬුවම් දීමට සහ එම අපරාධවලට ලක්වූ අදාළ වින්දිතයන්ට වන්දි ගෙවීමට පමණක් නොවේ, රටක් සහ සමාජයක් වශයෙන් හැව ඇරීමක් ජනතාවක් වශයෙන් අපේ පැත්තෙන් ද නොපමාව කළ යුතුව ඇති බැවිනි. එය අපටම කරගත හැකි දෙයක් නොවන බව අප විසින්ම මේ වන විට ඔප්පු කොට තිබේ. අඩු වශයෙන්, ඉතා මෑතක දී මාතලෙන් සොයාගත් ඇටකටු හිමි මිනිසුන් ගැනවත් අවශ්‍ය පමණට දකුණ සංවේදී වුණේ නැත. එය වර්තමාන ජනාධිපතිවරයා පමණක් නොව, කලින් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ඇතුළු හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය ද ඇහැටම ඇඟිල්ලෙන් ඇන අපට පෙන්වා දී ඇති කටුක සත්‍යයකි.

මේ නිසා අප වෙනුවෙන් පිටස්තරයෙකු විසින් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබේ. ඒ තරමට, අවනීතිය ලංකාවේ එකම නීතිය බවට අද පත්ව ඇත. පොත්පත්වල ලියැවී ඇති නීතිය අනුව ගත්තොත් මේ වන විට සිරගෙදරක හෝ අත්අඩංගුවේ සිටිය යුතු ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුව මුස්ලිම් ප‍්‍රදේශයකට ගොස් එම ජනතාව හම ගැසීමට මහ දවල් කෑගහන විට පොලීසිය බලා සිටි සැටි ගිය ඉරිදා ජිනීවා නුවර සිටි පිටරට්ටු පවා දැක ගත්හ. එදා ? මුස්ලිම් ජනතාවගේ දේපළ මේ මැරයන් ගිනිබත් කෙළේ ඇඳිරි නීතිය තිබියදීමයි. එදා පැනවූ ඇඳිරි නීතිය, තහනමක් සහ වාරණයක් නොව, මැරයන්ට සැලසූ අවසරයක්ම විය. අවනීතියම නීතිය බවට පත්ව ඇති බවට තිබෙන මෑතම උදාහරණය එයයි.

මහින්ද රාජපක්ෂ පාලනය විසින්, රටේ අගවිනිසුරුවරියව අවනීතියෙන් පන්නා ගන්නා ආකාරයෙන්ම, පහළම පෙළේ ප‍්‍රාදේශීය සභා මිනීමරු මන්ත‍්‍රීවරයෙකුව අවනීතියෙන්ම ආරක්ෂා කර ගැනීමට දඟලන තරමින් පෙන්නුම් කරන්නේ කුමක් ද?

නීතියක් නැති රටකි. මෙය, නීතියේ ‘ආධිපත්‍යය’ නැති රටක් නොව. නීතියම නැති රටකි. නීතියක් නැතිව මොනම පරීක්ෂණයක්වත් කෙසේ නම් සිදුවන්නද? ජාත්‍යන්තර පරීක්ෂණයක් අපට අවශ්‍ය කරන්නේ ඒ නිසා ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.