22 September, 2020

Blog

‘පොදු අපේක්ෂාවක්’ නැති තැන කෙසේ නම් ‘පොදු අපේක්ෂකයෙකු’ සොයාගන්නද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

අද ප‍්‍රශ්නය එයයි. ‘පොදු අපේක්ෂකත්වය’ ගැන කතා කරන විවිධ කොටස් අතර ඇති බව පෙනෙන්නේ, පොදු අපේක්ෂාවක් නොව, පුද්ගලබද්ධ අපේක්ෂාවන් ය. එම පුද්ගලබද්ධ අපේක්ෂාවන් ‘පොදු අපේක්ෂාවේ’ නාමයෙන් සමාජගත කර ගැනීමේ පරිසරය සකස් කරගන්නා එක ක‍්‍රමයක් වන්නේ, ‘අවම අපේක්ෂාව’ සහ ‘උපරිම අපේක්ෂාව’ අතර සීමා ඉර හැකි තාක් බොඳ කිරීමට කටයුතු කිරීමයි.

‘අවම අපේක්ෂාව’ හෙවත් ක්ෂණික අපේක්ෂාව යනු කුමක්ද? මහින්ද රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමීමයි. ‘උපරිම අපේක්ෂාව‘ යනු කුමක් ද? ශිෂ්ට සම්පන්න සමාජයක් ඇති කර ගැනීමයි. ඊට අයත්වන බොහෝ දේවල් තිබේ. නීතියේ ආධිපත්‍යය, රාජ්‍ය සේවයේ නිර්-දේශපාලනීකරණය ඇතුළු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සම්මත ප‍්‍රමිතීන් යළි අත්පත් කර ගැනීමේ ආයාසයේ සිට ජාතික ප‍්‍රශ්නයට තිරසාර දේශපාලනික විසඳුමක් සොයා ගැනීම දක්වා වන විශාල සහ පෘථුල පරාසයක එම ‘උපරිම අපේක්ෂාව’ ලඹ දෙයි. මේ දෙක, එකිනෙකින් වෙනස් නැත. ඓන්ද්‍රිය වශයෙන් ඒ දෙක එකිනෙක හා බද්ධව ඇත. එහෙත්, එසේ වූ පමණින්, ‘උපරිම අපේක්ෂාව’ සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය මුල් පියවර සහ හදිසි කොන්දේසිය වන ‘අවම අපේක්ෂාව’ හෙවත් හදිසි අවශ්‍යතාව, ‘උපරිම අපේක්ෂාවේ’ තිරසාර සහතිකයක් ඉල්ලා සිටීමෙන් බිල්ලට යැවිය යුතු නැත. ඒ ඇයි?

‘අවම අපේක්ෂාව’ වන රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමීම, අනිවාර්යයෙන් ‘උපරිම අපේක්ෂාව’ කරා යොමු වෙතැ යි කිව නොහැකි බව ඇත්ත. දැනට ඉදිරිපත්ව ඇති නම් අතුරින් මාදුළුවාවේ සෝභිත හිමි, රනිල් වික‍්‍රමසිංහ, කරූ ජයසූරිය හෝ චන්ද්‍රිකා කුමාරණතුංග ආදීන්ගෙන් කෙනෙකු පොදු අපේක්ෂකත්වයෙන් බලයට පත්වීමෙන් පසු විවිධ හේතු මත එම ‘උපරිම අපේක්ෂාවට’ පයින් ගැසීමට ඉඩ තිබේ. එහෙත් ඊට වඩා තිරසාරත්වයකින් පැවසිය හැකි එක දෙයක් තිබේ. එනම්, රාජපක්ෂ පවුල් පාලනය පෙරලා නොදැමීම, අනිවාර්යයෙන්ම ‘උපරිම අපේක්ෂාව’ නිෂේධ කරන බවයි. ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක‍්‍රමය රාජාණ්ඩු ක‍්‍රමයක් බවට පරිවර්තනය කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් පත්කර ගැනීමේ ප‍්‍රතිවිපාකයක් වශයෙනි. මේ නිසා, රාජපක්ෂ පවුල් පාලනය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආපස්සට දැක්කීමකින් මෙහා දෙයක් නොවන බව, එම පවුල් පාලනය වෙනුවෙන් තවමත් කඹුරන අයවළුන් හැරුණු කොට, මේ වන විට වෙන කිසිවෙකු තුළ සැකයක් තිබිය හැකි කාරණයක් නොවේ. එය ප‍්‍රත්‍යක්ෂයකි.

ඉතිං, රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමිය යුත්තේ ඇයිද යන ප‍්‍රශ්නයට දිය හැකි පිළිතුර ද, අවමය සහ උපරිමය වශයෙන් වෙන් කොට හඳුනාගත හැකිය. අවමය වන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීමයි. උපරිමය වන්නේ, එසේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීම හරහා, ඉහත කී ශිෂ්ට සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප‍්‍රයත්නයකට තෝතැන්නක් විය හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමයි. එම කර්තව්‍යය සාපේක්ෂ වශයෙන් දීර්ඝ කාලීනයි.

මේ මොහොතේ දේශපාලනික පරාමිතිය කැටි කොට දක්වතොත් එසේ ය.

මෙරටේ සාමාන්‍ය ජනතාවට අප සිතනවාට වඩා ඒ අවබෝධය තිබේ. ඌවෙන් ඒ පිළිබඳ ප‍්‍රබල ඇඟවීමක් කෙරුණි. දැනට එම අවබෝධය ඔවුන්ට නැත්නම් ඉතා සීග‍්‍රයෙන් එම අවබෝධය කරා ඔවුන් ළඟා වෙමින් සිටින බව වෙන කවුරු නැතත් රාජපක්ෂ ජනාධිපතිවරයා දනී. වෙන කිසි වරදක් නිසා නොව, තමාගේ පවුල් බලයට අභියෝග කිරීම හේතුවෙන් මීට කලකට පෙර තමා විසින්ම ඇමති මණ්ඩලයෙන් දොට්ට දැමූ මංගල සමරවීරගේ දෙපා ළඟට රටේ ජනාධිපතිවරයා ගියේ එබැවිනි. එයින් පෙනී යන්නේ කුමක් ද? දැන් සිදුවන ආකාරයෙන් ආණ්ඩු විරෝධය පෙළ ගැසුණොත්, තමා පරාජය විය හැකි බව, විපක්ෂය සිතනවාට වඩා තදින් මේ මොහොතේ ජනාධිපතිවරයාමත් සිතන බවයි. මංගල සමරවීර හමුවීමට ජනාධිපතිවරයා යන්නේ, ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය මංගල සමරවීර හරහා නිවැරදි මාවතට ගැනීමට නොව, එක පැත්තකින් විපක්ෂ බලවේග අඩපණ කරන අතරේම, රාජපක්ෂ පවුල් බලය පිළිබඳ කලකිරී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් විපක්ෂයට එක් වීම වැළැක්වීමටත් ය. එබැවින් දැන් රාජපක්ෂ පවුලේ හදිසි දේශපාලනික ව්‍යාපෘතිය වී ඇත්තේ, ‘පොදු අපේක්ෂකත්වය’ හැකි හැම ආකාරයකින්ම ව්‍යර්ථ කිරීමයි.

එම සැලැස්මේ එක අංගයක් වන්නේ, ‘පොදු අපේක්ෂකයා’ රටේ ජනතාව ඉදිරියේ විහිළුවක් බවට පත්කිරීමයි. එම විහිළුවට, ඇතැමුන් නොදැනුවත්වත්, තවත් අය හිතාමතාමත් විවිධාකාරයෙන් සම්මාදම් වෙති. පොදු අපේක්ෂකයා වශයෙන් විග්නේෂ්වරන්ව යෝජනා කිරීමේ සිට ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සුනේත‍්‍රා බණ්ඩාරනායක හෝ මෛත‍්‍රී වික‍්‍රමසිංහ මැතිණියන් යැයි කීමට තරම් එය අද දුරදිග ගොස් තිබේ.

මැති ඇමති පිරිසක් විපක්ෂයට එක් වුණොත්, තම පවුලේ පරාජයට නිසැකවම එය හේතු විය හැකි බවට අවබෝධයක් ජනාධිපතිවරයාට තිබේ. ඉතිං, එම පිරිස විපක්ෂයට එක්වීම අධෛර්යමත් කිරීමට මංගල සමරවීර සොයාගෙන ජනාධිපතිවරයා මොරටු යන විට, මංගල සමරවීරව මොන ආකාරයකින් හෝ ආණ්ඩුවේ ඔඩොක්කුවට තල්ලූ කිරීමටත්, ආණ්ඩුවෙන් විපක්ෂයට එක් වීමට නියමිත මැති ඇමතිවරුන් මීයන් සහ ගෙම්බන් යැයි හඳුන්වමින් ඔවුන්ව ඉන් අධෛර්යමත් කිරීමටත්, විපක්ෂයේ ඇතැම් නායකයන් කටයුතු කිරීමෙන් පෙනී යන්නේ, අප ඉහතින් කී ‘පොදු අපේක්ෂාව’ වෙනුවට, ඔවුන්ගේ පුද්ගලබද්ධ අපේක්ෂාවන් මේ දේශපාලනික සමීකරණයේ පොදු ගුණාකාරය බවට පත්වෙමින් ඇති බවකි.

ඊයේ (13) මුත්තයියා පිටියේ පැවති රතන හිමියන් සංවිධානය කළ ‘පිවිතුරු හෙටක්’ ජන රැුලියට විශාල සෙනගක් ආහ. පසු ගිය සතියක දෙකක කාලය තුළ ප‍්‍රධාන විපක්ෂයේ පැවති ඉහත කී අර්බුදය මේ වන විට යම් තාක් සමනය වී ඇතැ යි යන සංඥාවක් එම රැුලියේදී දකින්ට ලැබුණි. හේතුව, රනිල් වික‍්‍රමසිංහ, කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස සහ මංගල සමරවීර එම රැුලියට සහභාගී වීමයි. පසු ගිය දා ආණ්ඩුවට එක්වීමට නියමිතව සිටියේ යැයි කියූ මංගල සමරවීර එහි දී ජනතාව අමතා තමන්ගේ ස්ථාවරය පැහැදිළි කරනු ඇතැ යි එහි රැුස්ව සිටි ජනතාව උදක්ම බලාපොරොත්තු වූහ. එහෙත් එවැන්නක් සිදු නොවුණි. ඒ ඇයි? තමාගේ දේශපාලනය වන්නේ රටේ ජනතාව වෙනුවෙන් නැගී සිටීමට මිස පුද්ගල අපේක්ෂා වෙනුවෙන් රාජපක්ෂ පවුලේ ඔඩොක්කුවට වැටීමට නොවේ යැයි එම රැුළියේදී මංගල සමරවීර කීවේ නම්, අද සියලූ මාධ්‍යයන්හි හෙඩිම සරසනු ඇත්තේ එයයි. අනිත් අතට, තම පක්ෂයේ පැවති මතභේද රටේ ජනතාවගේ නාමයෙන් දැන් විසඳාගෙන රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමීමේ පොදු සටනට දැන් තමන් එක පයින් සූදානම් යැයි සජිත් පේ‍්‍රමදාස කීවේ නම්, වෙනසක් අපේක්ෂාවෙන් සිටින මුළු රටටම එය මහත් සහනයක්, සැනසීමක් වනු ඇත. නැත, එසේ සිදුවිය යුතු නැත. වේදිකාව අයිති ‘පිවිතුරු හෙට’ ව්‍යාපාරයටයි. එහි වීරයා විය යුත්තේ රතන හිමියන් ය. එසේ හෙයින් උන්වහන්සේ පැයකට ආසන්න කාලයක් රසායනික පොහොරවලින් සිදුවන හානිය ගැන කතා කළහ.

විවිධාකාරයෙන් ජනතාව වල්මත් කැරැුවීමේ සහ ව්‍යාකූල කැරැුවීමේ දැවැන්ත මෙහෙයුම පසුපස සිටින මහින්ද රාජපක්ෂගේ සහායට මාධ්‍ය මුදලාලිලා කිහිප දෙනෙකු සිටින බව දැන් මුළු රටම දනිති. වර්තමානයේ ට්‍රෝජන් අශ්වයා වන්නේ මේ මාධ්‍ය මුදලාලිලා ය. ග‍්‍රීක සාහිත්‍යයේ ට්‍රෝජන් අශ්වයාව නිරූපණය කෙරෙන්නේ, සද්භාවයෙන් පිරිනැමෙන තෑග්ගක් වශයෙනි. එහෙත් ඒ යෝධ අශ්වයා තුළ සිටින්නේ එම සමාජය යටපත් කර ගැනීමට සැඟවී සිටින මහා සේනාවකි. අද ඒ ට්‍රෝජන් අශ්වයාගේ කාර්යභාරය, රාජපක්ෂ පවුල් පාලනය වෙනුවෙන්, ඉහත කී මාධ්‍ය මුදලාලිලා විසින් භාරගෙන ඇත.

ඔවුහූ සතියේ දවස් හතට ‘පොදු අපේක්ෂයන්’ හත් දෙනෙකුම අපට ඉදිරිපත් කරති. ඒ අනුව මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා වන බව සඳුදා අපට දැන ගැනීමට ලැබෙයි. අඟහරුවාදාට ඒ පොදු අපේක්ෂකත්වය යන්නේ රනිල් වික‍්‍රමසිංහටයි. බදාදාට චන්ද්‍රිකා කුමාරණතුංග පොදු අපේක්ෂිකාව වන්නීය. බ‍්‍රහස්පතින්දා කරූ ජයසූරියගේ වාරයයි. සිකුරාදා අර්ජුන රණතුංග කරළියට එයි. සෙනසුරාදා සහ ඉරිදා සුනේත‍්‍රා බණ්ඩාරනායකට සහ මෛත‍්‍රී වික‍්‍රමසිංහට (රනිල් වික‍්‍රමසිංහගේ බිරිඳට) වෙන් කෙරේ. මේ දින හතේම අනිත් පැත්තෙන් පොදු අපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂ වන බවට, රාජ්‍ය මාධ්‍ය ආයතන වගබලා ගනී.

ජනතාව දැන් මංමුලා වෙති. විපක්ෂය ගැන සැක පහළ කරගනිති. සමස්ත විපක්ෂය විහිළුවක් වශයෙන් ගැනීමට පෙළඹෙති. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ සැලැස්ම තුළ ඇති ප‍්‍රධාන ප‍්‍රහාරයක් වන්නේ, එම මූසල හැඟීම ජනතාව තුළ ජනිත කැරැුවීමයි.

සරත් ෆොන්සේකාගේ පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු බා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50 ක් වැය කිරීමට තරම් ‘ධනවත්’ රාජපක්ෂ පාලනය ඉදිරියේ විපක්ෂය සතුව ඇති එකම ‘ධනය’ වන්නේ, රටට අවංක වීමයි. මේ අගාධයෙන් රට ගොඩ ගැනීමේ සැබෑ හැකියාවක් ඔවුන්ට ඇතැ යි ජනතාවට හැෙඟන්නේ, ඒ අවංක භාවය හැම පැත්තකින්ම පෙනෙන්ට තිබුණොත් ය. එය, ‘අපි දැන් එකමුතුයි’ කියා අත්වැල් අල්ලාගෙන ලක්ෂ වාරයක් ජප කළත් වැඩක් නැත. මුළු රටටම එය පෙනෙන්ට තිබිය යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    3

    කවුරු මොනවා කියුවත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂ ‘රජ’ කෙනෙක් කලේ නැත. එම සංශෝධනයෙන් කලේ මහින්දගේ රජයට දේශපාලන ස්තාවරත්වයක් ලබා දීමයි. දේශපාලන ස්තාවරත්වයක් නැතිව යුද්ධ දිනන්නත් බැරිය රටක් දියුනු කරන්නත් බැරිය. පකිස්ථානයට සහ තවත් නොයෙක් රටවලට වෙලා තිබෙන්නේ එයයි. අද ලංකාවේ සාමය තිබෙන්නේ රටේ පවතින දේශපාලන ස්තාවරත්වය නිසාය. කැමති උවත් අකමැති උවත් දේශපාලන ස්තාවරත්වය රඳා අැත්තේ ජනපති තනතුර මතය. ජනපති බලතල අනිසි ලෙස පාවිචචි කිරීම, පවුල් ගස් හැදීම සහ ඥාති හිත මිතුරු සංග්‍රහය කවරු කලත් වැරදිය. එ්වා ගැන මහජනයා දැනුවත්කල යුත්තේත් එ්වාට තිත තැබිමට කටයුතු කල යුත්තේ විරුද්ධ පක්‍ෂයයි. නමුත් නහය කැතැයි කියා මුහුන කපා ගැනීමට අප විරුද්ධය.

    වසර හයකින් එනම් 2016 දී ජනාධිපති රාජපක්‍ෂ මැතිවරණයකට මුහුනදීම වැලැක්වීමේ බලයක් හෝ ක්‍රමයක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නැත. එළඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පැරදුනහොත් ඔහු සහ පිරිවර ගෙදර යායුතුය. වැරදි තිබේ නම් මහින්දටත් ජයලලිතාට මෙන් නඩු පවරා හිරේ යැවිය යුතුය. මහින්ද රාජපක්‍ෂ විසින්ම ජනාධිපතිවරණ වන්දය නියමිත දිනට වසර 2කට කලින් එනම් 2014 දී ලබා දෙන බව කියයි. එසේ කරන්නේ නම් මහින්ද තරම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් රටේම නැති බවයි මට නම් පෙනෙන්නේ.

    දැන් ඉතින් මහින්ද දිරවන්නේ නැති අයට 2016 වන තෙක් බලා සිටින්නට අවශ්‍ය නැත. තමන්ව ගෙදර යැවීමේ අවස්ථාව මහින්දම විපක්‍ෂයට ලබාදී අැත. නමුත් ජවිපෙය ජනාධිපතිවරණය නියමිත දිනට කලින් එපා කියයි. හිටපු අගවිනිසුරු මහින්දට තුන් වරක් බැරි බවට තර්ක කරයි. නමුත් දැන් ශේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවන් ඔවුන්ගේ මතය ප්‍රකාෂ කර අැත.

    සෝභිත හාමුදුරුවෝ ජනාධිපති තනතුර නැති කරන්න විපක්‍ෂයේ බොහෝ පක්‍ෂ එක්සත් කර අැතිසේය. නමුත් විවිධ මත දරන විපක්‍ෂය එක මිටකට ගත්තත් පලාත් සභා රේස් එක නම් පරාදය. උතුරු පලාත් සභාව පමණක් ජාතිවාදී චන්දවල පිහිටෙන් ටිඑන්එ් එක දිනුවේය. ටිඑන්එ් එක දීනූ දා පටන්ම බලකරන්නේ ත්‍රස්තවාදය නැතිකල හමුදාව උතුරෙන් පන්නා දමන්නය. ඊයේ පෙරේදා රතු නිල් කොල පමණක් නොවෙයි නා නා පාට පක්‍ෂ වල අයත් එකම වේදිකාවකට නැග්ගේ ජනාධිපති තනතුර නැති කරන්න සහාය දෙන බව ශපථ කරන්නටය. නමුත් බහුතර චන්දදායකයාට මේ අයගේ මෑත අතීතය මතක් කර දිය යුතුය.

    ජනාධිපති තනතුර අහෝසි කරන්නට ලිඛිතව පොරොන්දු දුන් චන්ද්‍රිකා ජනාධිපති තනතුරේ දිගටම වසර 11ක්ම රස වින්ඳා පමණක් නොව අැය ගෙදර යැවූයේ හෙල උරුමය දැමූ නඩුවේ පිහිටෙන්ය. ජනාධිපති තනතුර අහෝසි කිරීමේ චන්ද්‍රිකාගේ ව්‍යවස්ථාව කඩාකප්පල් කල සහ ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමට මූලිකයෙක්වූ රනිල් අද ජනාධිපති තනතුර අහෝසි කිරීමට ශපථ කල සහ පොදු අපේක්‍ෂක බවට පත්වීමට බලාපොරොත්තුවන අයෙක් බව ප්‍රකටය. මට මතක් වෙන්නේ අර නරියාට මිදි තිත්තවූ කතාවය. යුද්ධයට සහාය දීමට එජාප මංත්‍රිවරු 17ක් සමග මහින්දගේ රජයට එකතුවී යුද්ධය ඉවරකිරීමට පෙර තනියම අාපසු එජාප මහගෙදරට ගොස් ටෙලි පබාටත් අඩු මනාප ගත් කරු තවත් ඉල්ලුම් කරුවෙකි. හමුදාවේ සිටිද්දීම ජනාධිපති වීමට කුමන්ත්‍රණ කර හිරේ ගිය සහ පැරදුනත් දිනුවායයි ගනන් හදන ෆොන්සේකා තවත් අයෙකි. මේ අයට අසීමිතව මුදල් පොම්ප කරන්නේ බටහිර තානාපති කාර්යාල සහ ඔවුන්ගේ එන්ජීඔි වලිනි. අවංකවම මේ අයට අැත්තේ ජනාධිපති තනතුර අහෝසි කිරීමද කුහකකමද ඉර්ෂියාවද බල තන්හාවද යන්න ප්‍රශ්ණයකි. කාරනය මොකක් උනත් ජනාධිපති තනතුර අහෝසි කලහම රටට යහපතක් වෙනවානම් කමක් නැත.

    අැත්ත කියන්නේ නම් පොදු අපේක්‍ෂකයාට සහාය දෙන පක්‍ෂවල අරමුනු සහ ප්‍රතිපත්ති එකිනෙකට පරස්පරය. ඔවුන්ගේ එකම පොදු අරමුන රජපක්‍ෂ පැන්නීම පමණය. ටිඑන්එ් එකේ යටි අරමුන රට බෙදීමය. මුස්ලිම් කොංග්‍රසය ජාති-අාගම් පදනමින් පරිපාලන එ්කකයක් ඉල්ලයි. ජේවීපි එකේ අරමුන පොල්පොට් වැනි අන්ත වමේ රජයක් පිහිටුවීමය. එජාපෙට අවශ්‍ය අන්ත දක්‍ෂිණාන්ෂික අමෙරිකාවට පක්‍ෂ රජයක් පිහිටුවීමය. ෆොනීට අැත්තේ අරමුනක් හෝ ප්‍රතිපත්තියක් නැති බල තන්හාවය. අැමෙරිකාවට අවශ්‍ය වන්නේ ලංකාව නැවත බටහිරයන්ගේ යටත් විජිතයක් කිරීමය. දැන හෝ නොදැන මේ නස්පැත්ති හවුල ලංකාව අස්ථාවර කර අාඬි හත් දෙනාගේ කැඳ හැලිය කරන්නට වලිකනවාය.

    දැන් අපි පොදු අපේක්‍ෂකයා දිනුවායයි මොහොතකට උපකල්පනය කරමු. ජනාධිපති තනතුර අහෝසි කරන ගමන් අළුතින් ව්‍යවස්ථාවක් සාදනවාද එසේ නැතිනම් ජනාධිපති තනතුර අහෝසි කර ඉන්පසු අළුත් ව්‍යවස්ථාව සාදනවාද යන්න පොදු අපේක්‍ෂකයින් පැහැදිලිව කියන්නේ නැත. කලින් සෝභිත හාමුදුරුවෝ නම් කීවේ ජනාධිපති තනතුර මාස හයෙන් අහෝසි කර පාර්ලිමේන්තුවෙන් පත්කරන අගමැතිට සහ ඔහුගේ කැබිනටි එකට රට බාරදී අාපසු පන්සලට වඩින බවය. මනාප ක්‍රමය, පොලිස් සහ ඉඩම් බලතල, සහ 13++ ගැන සෝභිත හාමුදුරුවෝ කතා කරන්නේ නැත්තේ කපටිකමටයි. එවා විසඳීම පාර්ලිමේන්තුවෙන් පත්කරන අගමැතිට බාර කරනවා විය හැක.

    එකක් කිව යුතුය. ජනාධිපති තනතුර අහෝසි කිරීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක චන්දය අව්‍යශ බව නීති විශේෂඥයෝ අපට කියාදී අැත. අද පාර්ලිමේන්තුවේ බහුතර මංත්‍රි සහාය අර පොදු අපේක්‍ෂක ජනපතිට නම් ලැබෙන්නේ නැත. එනිසා ජනාධිපති තනතුර අහෝසි කිරීමට ඔහු පාර්ලිමේන්තුව විසුරවා අළුතින් මංත්‍රිවරු පත්කර ගත යුතුය. දැන් තිබෙන මනාප ක්‍රමයට අළුතින් පත්වෙන්නේත් දැන් සිටින මංත්‍රිලාම හෝ ඔවුන්ටත් අන්ත මුදල් බලයෙන්ම මංත්‍රිලා වන හොර තක්කඩි ඔලිගාච්ලාම බව කිවයුතුය. ඉතාම ජනප්‍රිය අවධියේත් චන්ද්‍රිකාට ලැබුනේ එක් බහුතර අාසනයක් පමණි. එනිසා පොදු අපේක්‍ෂක ජනපති යටතේ කිසිම පක්‍ෂයකට ඉදිරි පාර්ලිමේන්තු චන්දයකින් තුනෙන් දෙකක් තබා බහුතර අාසන සංඛ්‍යාවක්වත් ලැබෙනවා බොරුය. එවිට මංත්‍රිලාට සෑම සතියකම හෝ මාසයකම ඉතාලියේ මෙන් නව අගමැති කෙනෙක් පත්කර ගතහැක. වසරක් යනවිට බොහෝ මංත්‍රිලාට හිටපු අගමැති වියහැක. එනිසා ජනාධිපති තනතුර අහෝසි කිරීම ගැන පොදු අපේක්‍ෂක ජනාධිපති කරන වැඩේ ගැන බොරු බන කියන්නේ නැතිව තුනෙන් දෙක ලබා ගන්නේ කෙසේදැයි වියන්ගොඩ අපට පහදා දියයුතුය.

    සියළුම පක්‍ෂ එකම කරත්තයේ බඳින්න දැන් රතන හාමුදුරුවොත් සෝභිත හාමුදුරුවන්ට එකතුවෙලාය. අපි දැන් බලා සිටින්නේ මේ අාඬින්ගේ හවුල ජාතීවාදී උතුරේ දෙමළ චන්ද ලබාගැනීමට රට බෙදන්නට වලිකන ටිඑන්එ් එකට සහ ජාති-අාගම් වාදී මුස්ලිම් කොංග්‍රසයට දෙන පොරොන්දු දෙසයි.

  • 0
    1

    මෙම පවතින ක්‍රමය හානිකරය. ඒ ගැන විවාදයක් නැත.මොහොතකට අපි සිතමු විධයක් ක්‍රමය නැතිවී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත වුව කියා.
    එවිට අපට ඇත්තේ පෙර පරිදි අගමැති වරයෙකි.ඉතිහාස පාඩම් බැලුවොත් එම අගමැති පාලන තුලින් සියලු ප්‍රශ්න විසදුනු බව නොපෙනේ.
    අගමැති තනතුර පාර්ලිමේන්තු මතයට නතු වීම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්.එහෙත් අපට අවේනික දේශීය ගැටළු කිහිපයක් ඇත.
    උතුරේ බෙදුම්වාදී කල්ලිය,නැගෙනහිර මුස්ලිම් ව්‍යාපාරය හා කඳුකරයේ ඉන් දියන් සම්භවයක් ඇති ජනතාවගේ කේවල් කිර්රේම් වලට මෙම ප්‍රජාතන්ත්‍රවාදී රජය නිරතුරුවම ලක් වීම නොවලක විය හැක.
    වත්මන් දේශපාලන වාතාවරණය අනුව ස්ථාවර බලවත් රජයක් ගෙන යාමට මෙය බාධාවක් නොවේදැයි මඳකට සිතේ,
    විශේෂයෙන් තමිල් නාඩුව හා දෙමල දිඅස්පොරව උකුසු ඇසින් අපට වරදින තුරු හා අප දුර්වල වන තුරු බල සිටින අවදියක මෙය නුවනට හුරු ක්‍රියාවක්දැයි ගැටළුවක් ඇතිවේ.
    විධායක ජනතිපති ක්‍රමය ” රාජපක්ශේ රෙජීමය ” කිසිදු ලැජ්ජාවක් නැතුව තම පැවැත්ම වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ යොදවා ගෙන ඇත.
    රටේ නීතිය බල්ලට ගොස් කබලෙන් ලිපට වැටෙන තත්වයට ජනතාව පත්ව ඇත.අවාසනාවට ජනතවට ප්‍රබල විකල්පයක් නැති කමින් තවදුරටත් මෙම වංචාකාරී පාලනය වින්ද දර ගැනීමට සිදුවී ඇත.
    විපක්ෂයේ පොදු මෙහෙයුම සාර්ථක වුවහොත් එය රට යහපාලනයක් කර (අනිවාර්යයෙන්ම පවතින ක්‍රමයට වැඩ හොඳ) යොමු කරවනු ඇත.
    යම් කෙනෙකු රට වෙනුවෙන් ඇති කැපවීම අවන්කවම පෙන්වා එම නායකත්වය එලි දැක්විය යුතුය.සොබිත හිම ගෙන් ආ වැඩපිලිවෙල පුළුල් කතිකාවකට මග පෙන්විය යුතුය.

    අපට විධයක් ක්‍රමය තවදුරටත් පවත්වා ගෙනගොස්,එය අමෙරිකාවේ මෙන් congress සහ senate බලතල වලටේ යටත් වූ තනතුරක් ලෙස වෙනස් කළහොත් එයට ප්‍රජතත්රික අගයක් එක කල හැක.කලාපීය වශයෙන් රට අස්ථාවර කිරීමට යම් බලවේග උත්සහ කළහොත් එයට මුහුණ දීමට ප්‍රබල පුද්ගලයෙකු අපට ඇත එවන් අවස්ථාවක.අප තවමත් අප එරුණු බෙදුම්වාදී මඩෙන් සම්පුර්ණයෙන්ම ගොඩ ඇවිත් නැති නිසා අපට දුර්වල නායකත්වයක් කර යාමට අවකාශ නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.