26 April, 2024

Blog

ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ගුටිකෑම සහ සජින් වාස් වතිකානු යෑම

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

රාජපක්ෂ පාලනය තුළ පහර දීම සහ ඝාතනය කිරීම ක‍්‍රියාත්මක වන්නේ විවිධ අදියර හරහා විවිධ ක‍්‍රමයට ය. එක් අදියරක් වුණේ, රාජපක්ෂ පාලනය විසින් රටේ ඇති කරනු ලබන නොපනත්කම්වලට එරෙහිවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් පෙනී සිටි ප‍්‍රගතිශීලී සහ බුද්ධිමය කොටස් සෘජුව දඩයමට ලක්කිරීමයි. අද මෙන්ම ඒ දවස්වලත් රාජ්‍ය මාධ්‍ය තුළ එම පිරිස් හැඳින්වුණේ, බටහිර-ගැති දේශද්‍රෝහී එන්.ජී. ඕ. රොත්තක් වශයෙනි. එහි දී, පෝද්දල ජයන්තගේ අතපය කැඩුවේය. තවත් බොහෝ මාධ්‍යවේදීන්ට රට හැර යාමට සැලැස්සුවේය. ලසන්ත වික‍්‍රමතුංග වැන්නන්ට එවැනි ‘වාසනාවක්’ පවා ලැබුණේ නැත. ඔහුව අධි-ආරක්ෂිත ප‍්‍රදේශයකදීම, මහ දවල් ඝාතනය කෙරුණි. මේ අතර, සුදු වෑන් ප‍්‍රපංචය ලංකාවේ දේශපාලනික සංස්කෘතිය තුළ බියකරු යථාර්ථයක් බවට පත්කෙරුණි. ඉස්සර මෙන් දැන් සුදු වෑන් නැතැ යි අද ඇතැමුන් පම්පෝරි ගසන අතරේ, තවමත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියගේ පස්සෙන් විටින් විට මැර කණ්ඩායම් පන්නති.

තවත් අදියරක් එළැඹෙන්නේ, යුද ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත්වන රාජපක්ෂලා, රාජ්‍යකරණය ස්වකීය පවුල් ව්‍යාපෘතියක් වශයෙන් තිරසාරව ගොඩනැගීමට තීරණය කිරීමත් සමග ය. එතැන් සිට, ඕනෑම විරෝධතාවක් සැළකෙන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට එරෙහි දේශපාලනික විරෝධයක් වශයෙන් නොව, රාජපක්ෂ පවුලේ අනාගත දේශපාලන ව්‍යාපෘතියට එරෙහිව කෙරෙන සාපරාධී ක‍්‍රියාවක් වශයෙනි. එවැනි අයවළුන්ට නිර්දය ලෙස දඬුවම් කෙරුණි. සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් රාජපක්ෂලා හැසිරුණු ආකාරය ඊට දෙස් දුනි. ඒ සමස්ත ක‍්‍රියාදාමය තුළ තිබුණු එකම දේශපාලනය වුණේ වෛරය සහ පළිගැනීම පමණි. රාජපක්ෂ පවුලට එරෙහිව සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රාජපක්ෂලාට පෙනුණේ, ‘කන්නට දුන් අත හපා කෑමක්’ වශයෙනි. මේ හා සමානවම, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහිව මුදාහැරුණු වෛරය සහ කෝපය, රජ කාලයේ මිස පශ්චාත්-නිදහස් ලංකා ඉතිහාසයේ කිසි විටෙක දකින්ට නොලැබුණු තත්වයකි. ඇගේ එක් නඩු තීන්දුවක් රාජපක්ෂ පවුල දැක්කේ ‘අෙඟ් ඉඳන් කණ කෑමක්’ වශයෙනි.

Sajin Vass Gunewardenaදැන් පැමිණ ඇත්තේ තවත් අදියරකි. එහි දී, රාජපක්ෂලා කෙරෙහි තුන් හිතකින්වත් අහිතක් නොහිතූ අයවළුන් ද එක රැුයකින් අඝාත සතුරන් බවට පත්විය හැකිය. මෙවැනි අයවළුන්ව හඳුනාගනු ලැබෙන්නේ එක්තරා ආකාරයක ධූරාවලි තර්කණයකිනි. එහෙත් එම ධූරාවලිය, ප‍්‍රජාතන්තී‍්‍රය නිලතල ව්‍යුහයකින් සැදුම්ලත් සම්මත අර්ථයේ එකක් නොවේ. උදාහරණයක් වශයෙන්, සජින් වාස් ගුණවර්ධන වැන්නෙකු ධූරාවලීගත කිරීමේ දී ඉන්නේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට බොහෝ පහළිනි. ඔහු ‘මොනිටර්’ නාමධාරී සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු පමණි. එහෙත්, ක‍්‍රිස් නෝනිස්ට පහර දෙන සජින් වාස් ගුණවර්ධන එම සිද්ධියේ අශෝභන උණුසුම තිබියදීම ජනාධිපතිවරයාගේ වතිකානු සංචාරයටත් තෝරා ගැනේ. පාප් වහන්සේ සමග වන සාකච්ඡුා හමුවට එක්වීම එදා ඔහුට වැළැකුණේ, රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකුට පහර දීම අශීලාචාර ක‍්‍රියාවක් සේ කතෝලික පල්ලිය සළකන නිසා නොව, ක‍්‍රිස් නෝනිස් කතෝලික පල්ලි ධූරාවලියේ ප‍්‍රබල තැන්වලට බලපෑම් කළ හැකි කතෝලිකයෙකු වූ නිසා ය. යම් හෙයකින් ක‍්‍රිස් නෝනිස් කතෝලික නොවුණි නම්, සජින් වාස් ගුණවර්ධන පාප් වහන්සේවත් වැඳ පුදා ගනු ඇත.

රටක් මෙහෙයවන සම්මත රාජ්‍ය පද්ධතිය (පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, අධිකරණය සහ වෙනත් රාජ්‍ය ආයතන) වෙනුවට යම් පවුලක් ආදේශ වූ විට, ඒ රටේ බල ධුරාවලිය ගොඩනැගෙන්නේ, එම පවුල කේන්ද්‍ර කර ගනිමිනි. මොනිටර් මන්ත‍්‍රීවරයෙකු වන සජින් වාස් ගුණවර්ධන වර්තමාන ලංකාවේ විදේශ සේවයේ බල කේන්ද්‍රය බවට පත්ව, මහාචාර්යවරයෙකු වන ජී. ඇල්. පීරිස් විදේශ ඇමතිවරයා එම අමාත්‍යාංශය වෙනුවෙන් ලෝකය පුරා කරක් ගසන රබර් සීල් එක බවට පත්ව ඇත්තේ ඒ තතු යටතේ ය.

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ක‍්‍රිස් නොනිස්ට, මේ සජින් වාස් ගුණවර්ධන ගිය සතියේ දවසක හොඳටම පහර දුන් බව දැන් මුළු රටම දනී. මේ සිද්ධිය රටට වාර්තා නොවන්නට බලධාරීන් මොන තරම් උත්සාහ ගත්තත්, මෙවර එය සාර්ථක වුණේ නැත. ඇතැම් වාර්තා දක්වන පරිදි, කොමසාරිස්වරයා පළමු පහරින් බිම වැටුණු පසු, මොනිටර් මන්ත‍්‍රීවරයා ඔහුට පයින් ද පහර දී ඇත. මේ සිද්ධියෙන් සතියක් යන්නටත් මත්තෙන් පාප් වහන්සේ බැහැදැකීමට ජනාධිපතිවරයා ගිය සංචාරයටත් සජින් වාස් එක් කර ගැනීමට, එම අශෝභන සිද්ධිය ජනාධිපතිවරයාට බාධකයක් නොවීය.

කෙසේ වෙතත්, රාජපක්ෂ පවුල් බල ධූරාවලිය මහිමය ලංකාවේ භූගෝලීය සීමාවෙන් එහාට බලපවත්වන්නේ ඇතැම් සීමාවන්ට යටත්වයි. උදාහරණයක් වශයෙන්, ලංකාව ආර්ථික/උපායමාර්ගික නව යටත් විජිතයක් කර ගැනීම අරමුණු කොට මෙහෙයවෙන චීන ව්‍යාපාරික ව්‍යාපෘතිවලට රාජපක්ෂ පවුල් බලය විශාල ප‍්‍රශ්නයක් නොවේ. අප‍්‍රිකාවේ සහ ආසියාවේ නොදියුණු රටවල්වලට අත දිග හැර ණය සහ අවි ආයුධ පවා සපයන චීනය, ඒ කිසි රටකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හෝ මානව හිමිකම් ආරක්ෂාවක් ඉල්ලා සිටින්නේ නැත. හේතුව, චීනයේමත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ මානව හිමිකම් ශික්ෂාවන් නැති බැවිනි. එහෙත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ යහපාලනයේ දීර්ඝ සම්ප‍්‍රදායක් ඇති ධනපති යුරෝපයට, ලංකාවේ රාජපක්ෂලාගේ වැඩවසම් අපේක්ෂා පෑහෙන්නේ නැත. ඒ නිසා ඔවුන් ණය හෝ වෙනත් ආධාර ලංකාවට සපයන විට, පාලකයාගෙන් යම් වගවීමක් ඉල්ලා සිටී. රාජපක්ෂලා ඇතුළු ඔවුන්ගේ කේවට්ටයන් සහ හෙංචයියන් උදේ හවා බටහිරට බනින්නේ එබැවිනි. ඒ සියල්ලට අමතරව, ක‍්‍රිස් නෝනිස් සාමාන්‍ය කතෝලිකයෙකු නොවී, ලංකාවේ කතෝලික පල්ලි ධූරාවලියේ බලගතු පවුලක සාමාජිකයෙකු වීමත්, පාප් වහන්සේ බැහැදැකීමේ කණ්ඩායමෙන් සජින් වාස් ගුණවර්ධනව අවසාන මොහොතේ ඉවත් කිරීමට ඉවහල් විය.

අප පාසල් යන අවදියේ දෙවිදිහකින් පංති භාර මොනිටර්වරු පත්කෙරුණි. ඇතැම් පන්තිවල දී මොනිටර්වරයා වුණේ, පංතියේ සිටි ඉගෙනීමෙහි අදක්ෂ, හයිරංකාර ශිෂ්‍යයෙකි. එවැන්නෙකු එම තනතුරට පත්කිරීමේ හේතුව වුණේ, එක පැත්තකින් මොනිටර්ගේ චන්ඩිකමින් පංතිය මෙල්ල කර ගැනීමට ගුරුවරුන්ට සැපයුණු පහසුවයි. අනිත් පැත්තෙන්, මොනිටර්වරයෙකුට පැවරුණු බාහිර සේවාවන් නිසා අධ්‍යාපන කටයුත්තට සිදුවිය හැකි හානියට දක්ෂ ශිෂ්‍යයෙකු ගොදුරු නොකරනු පිණිසයි. උදාහරණයක් වශයෙන්, විවේක කාලයට විනාඩි පහළොවකට කලින්, පංතියට අවශ්‍ය බනිස් ගෙන ඒමට යවන්නේ මොනිටර්වරයාවයි. පංතියට අවශ්‍ය වෙනත් කළමනා විදුහල්පති කාර්යාලයෙන් ගෙන ඒම සහ ඇතැම් අවස්ථාවල කඬේ යාමට පවා යොදාගැනෙන්නේ ඔහුවයි. ඉගෙනීමට ඇති කාලය එවැනි අතිරේක මෙහෙවර සඳහා නාස්ති වීම, මෙවැනි ශිෂ්‍යයෙකු සම්බන්ධයෙන් එතරම් ප‍්‍රශ්නයක් නොවන බව, එදා පංති භාර ගුරුවරයා සිතන්ට ඇති.

තවත් අවස්ථාවලදී මොනිටර් තනතුරට පත්කෙරුණේ පංතියේ දක්ෂම ශිෂ්‍යයාවයි. ඔහු අධ්‍යාපනයේ දී දක්වන කුසලතාව සහ ඔහුගේ යහ-කල්ක‍්‍රියාව අනිත් ශිෂ්‍යයන්ටත් ආදර්ශයක් කරනු වස් එවැන්නෙකු මොනිටර් තනතුරට පත්කිරීමට ගුරුවරු සැලකිල්ලට ගන්ට ඇති.

සජින් වාස් ගුණවර්ධන යනු, මුලින් කී වර්ගයේ මොනිටර්වරයෙකි. අපට ඔහුව මුලින් හමුවන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළයි. ඊට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැති කාලයේ ඔහු රනිල් හමු වී උසස් තනතුරක් අපේක්ෂා කළ අවස්ථාවේ, සජින් වාස් ගුණවර්ධන ඒ වන විට පැටලී සිටි ඇතැම් නඩු සහ වෙනත් අශෝභන සිද්ධීන් හේතුවෙන් රනිල්ගෙන් ඔහු ප‍්‍රතික්ෂේප විය. (මේ ගැන විස්තරාත්මක වාර්තාවක්, 2006 ජුලි 02 වැනි දා, සොනාලී සමරසිංහ ‘සන්ඬේ ලීඩර්’ පත්තරේ ලීවාය. එය, පසුගිය 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළකොට තිබුණි).

අතීත කැරැුට්ටුව නිසා රනිල්ගෙන් ප‍්‍රතික්ෂේප වූ සජින් වාස් ගුණවර්ධනට ඔහුගේ කැලෑසියේ ඔහුට ගැලපෙන රාජ්‍ය නායකයා, එදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තුළින් හමු විය. එතැන් පටන් මේ පුද්ගලයා, කැබිනට් මණ්ඩලයටත් ඉහළින් රට කරවන්නෙකු බවට පත්වුණේ නිතැතිනි.

එක වාස් ගුණවර්ධන කෙනෙක් දැන් ඉන්නේ හිරේ ය. සජින් වාස් ගුණවර්ධනත්, බි‍්‍රතාන්‍යයේ හෝ ඇමරිකාවේ පුරවැසියෙකු විණි නම්, ක‍්‍රිස් නෝනිස්ට පහර දීමේ වරදට අද වන විට ඔහුත් සිටිනු ඇත්තේ හිරේක ය. එහෙත් ඔහුගේ වාසනාවට සහ රටේ අවාසනාවට, ඔහු ජන්මලාභයෙන්, ඉංග‍්‍රීසි හෝ ඇමරිකානු ‘අධිරාජ්‍යවාදී’ සුද්දෙකු නොවී, රාජපක්ෂ ලංකාවේ දේශපේ‍්‍රමී සිංහල කළු සුද්දෙකු විය.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    ක‍්‍රිස් නෝනිස්ට සඡින් වාස් විසින් කනේපාර දීම හෝ තඩිබෑම හරියයි කිසිවෙකු කියනවා මා අසා නැත. නමුත් එම පහරදීම පුද්ගලික සාදයකදී සිදුවූවක් යයි කියවෙන නිසා කලින් තිබූ අාරවුලක් මත කිසියම් කතා බහක් දුරදිගගිය යෑමෙන් පටන්ගත් රන්ඩුවටක් වියහැකි බව දෙදනාම නොදන්නා එනිසාම මධ්‍යස්ථයෙක් වන මට නම් සිතාගත හැක. වාස් වන්ඩිකම්වලට බර අයෙක් බවට ප්‍රසිද්ධනම් සහ නෝනිස් තැන්පත් දූරදක්නා නුවනක් අැති උගත් අයෙක් නම් නෝනිස්ට තිබුනේ එම සාදයේදී වාස් මගහැරීමය. නෝනිස්ට තිබුනේ තම තත්වය අාරක්ෂාකරගෙන අසංවරයෙක් සමග වාදයකට නොයාමය.

    එඡාපයේ අැත්තෝ ඡනාධිපති තනතුරේ අානුභාවය වසර 17ක් බුක්ති වින්දේය. ඡේඅාර් මෙන්ම චන්ද්‍රිකාත් වසර 11ක් ඡනාධිපතිකමේ රස වින්දේය. සඡින්ට වඩා නරක මිනීමරුවන් තක්ඩින් හොරු වංචාකාරයන් සහ නුසුදුස්සන් ඡේඅාර් මෙන්ම චන්ද්‍රිකාද තනතුරුවලට පත්කර ගත්තේය. එය අැගේ අයිතිය යයි කියා උගත්තු නිහඩ වූහ. එසේනම් කවුරු අාශ්‍රය කලයුතුද තනතුරුවලට පත්කලයුතුද නැද්ද යන්න තීරණය කිරීමෙ අයිතිය මහින්දටත් අැත.

    වන්ද්‍රිකාට අවශ්‍යතාවයක් තිබුනේ නම් රනිල් සමග එකතුවී අගමැතිට බලය පැවරෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට හැකියාව තිබුනි. එසේ නොකල චන්ද්‍රිකා අද සෝභිත හාමුදුරුවන්ට එකතුවී ඡනාධිපති තනතුර අහෝසි කිරීමට කතාකරන්නේ කුහක කමටය.

    මම මේ කරන්නේ සොනාලි ලියූ කරුනු වල හරි වැරදි සෙවීමක් හෝ සඡින් වාස්ට සුදු හුනු ගෑමක් හෝ නොවන බව පළමුවෙන්ම කිව යුතුය. සොනාලිගේ ලිපියේ අැති දෑ වැරදි නම් එවා සඡින් වාස් නිවැරදි කරගතයුතුය. වැරදි කල හෝ නොකල සඡින් වාස් තනතුරු වලට පත්කිරීම ඡනාධිපතිගේ අභිමතයකි.

    නුසුදුස්සන් තනතුරුවලට පත්කිරීමට නොහැකිවනසේ අනපනත් සම්පාදනය කිරීම පක්ෂ විපක්ෂ කාගේත් යුතුකමකි. ප්‍රශ්ණය වන්නේ කාටකාටත් නුසුදුස්සන් පෙනෙන්නේ විපක්ෂයේ සිටින විට වීමය. කසේවෙතත් විවේචනය කිරීම විපක්ෂය සතු කාරියකි. එ් අතින් බලනකොට වියන්ගොඩලා කරන්නේ විපක්ෂයේ කාරියක්ම නම් තමන් ලගට ගැනීමට පෙර සඡින් වාස්ට පව් සෝදාගන එන්නයයි රනිල් කි බව පෙන්වාදීම හොඳ දෙයකි. නමුත් රනිල් විසින් ස්ත්‍රි දූෂකයෙකු සහ මිනීමරුවෙක්වූ ගෝනවල සුනිල්ව ඔහු ලගට ගැනීමට පෙර එසේ කී බවක් නම් අප අසා නැත. ගෝනවල සුනිල්ව තනතුරුවලින් පමනක් නොව ඡීවිතයෙන්ම අයින් කලේ අද නීතියේ අාධිපත්‍ය අපට ලබා දීම සදහා මහා සටනක් කරන ඡේවීපිියයි.

    ධනපති යුරෝපයට, ලංකාවේ රාජපක්ෂලාගේ වැඩවසම් අපේක්ෂා පෑහෙන්නේ නැති බවත් එනිසා ඔවුන් ණය හෝ වෙනත් ආධාර ලංකාවට සපයන විට ඔහුගෙන් යම් වගවීමක් ඉල්ලා සිටීන බවත් වියන්ගොඩ කියයි. එ් කතාව නම් පට්ටපල් බොරුවකි. අද යුරෝපය පිළිපදින්නේ අැමරිකාවේ ක්‍රියාවලිය බව නොදන්නෙක් නැත. තුන්වන ලෝකයේ රටවල්වලට බටහිරයන් අඹරන බව නොදන්නේ උන්ගේ ගැත්තෝ පමනි. බටහිරයන්ගේ කෙලි හරියටම හදාරන්නට නම් කලක් අැමරිකා ඔත්තුසේවයේ පූර්ණකාලීන ක්‍රියාකාරිකයෙකුවූ John Perkins විසින් ලියා 2004 දී publish කල ‘Confessions of an Economic Hit Man’ පොත කියවිය යුතුය. මහඡන චන්දයෙන් තේරී පත්වූ දකුනුඅැමරිකානු ඡනාධිපත්වරුන්ට ඔහු ලග අැති රිදී උන්ඩයක් ගැන කියා බහුඡාතික අැමරිකානු සමාගම්වලට වාසිදායක වන අාකාරයට එම රටවල අාර්තිකය කැරකෙවූ අාකාරය පර්කින්ස් ඹහුගේ පොතෙන් මොනවට පැහැදිලි කරඅැත.

    බටහිරයන්ගේ ප්‍රඡාතන්ත්‍රවාදය තමන්ට අවැසි අයුරින් රටින් රටට වෙනස්වන බව බටහිර ගැති වියන්ගොඩලාට නොපෙනෙයි. ලිබියාවේ ගඩාපිගේ එකාධිපතිවාදයට විරුද්ධඋන බටහිරයන් සවුදියේ අාගම් අන්තවාදයට සහ බහරේනයේ ඡනතා මර්දනයට විරුද්ධ වන්නේ නැත. ප්‍රඡාතන්ත්‍රවාදය ගෙනඑ්මට යයි කියා බටහිරයන් විසින් ලිබියාවට බෝම්බ දමා කල්ලි සාදා ගඩාපි අමාරුවෙන් රැකගත් එකමුතුකම විනාශ කලේය. සිරියාවට ප්‍රඡාතන්ත්‍රවාදය ගෙනඑ්මට යයි කියා ත්‍රස්තයන්ට අායුධ දුන්නේත් බටහිරයන්ය. අද එම ත්‍රස්තයන්ගෙන් කොටසක් (ISIL) බටහිරයන්ටම පාරාවලල්ලක් වී අැත. බටහිරයන් අතේ දුරින් තියාගත් තරමට ශ්‍රි ලංකාවට ගුනය.

    චීනය නත්තල් පප්පෙක් නොවන බව නොදන්නේ බූරුවෝය. තමන්ට වාසියක් නොමැතිව අසල් වැසියෙක්වත් අද තවකෙකුට අාධාරයක් කරන්නේ නැත. එනිසා චීන්නුන්ගෙන් නිකන් කන්න බලාපොරොත්තු වීම මුග්ධ ක්‍රියාවකි. නමුත් චීනය අපේ ඡනාධිපතිට රිදී උන්ඩ පෙන්වූයේවත්, බොරු සාම ගිවිසුම් වලට බල කලේවත්, ත්‍රස්තවාදීන් කොටුකල විට උන් බේරා ගැනීමට වලිකෑවේත් නැත. චීනය සහ ශ්‍රි ලංකාව අතර ප්‍රශ්ණ නැත, අැත්තේ මිතුදමකි, ගනුගෙනුව හුදෙක්ම අාර්තිකමය එකකි. චීනය එදා (1952 දී) අපට රබර් වලට හාල් දුන්නේය. අද අපේ යටිතල පහසුකම් වර්ධනයට අවශ්‍ය ණය සහ වෙනත් අාධාර චීනය විසින් සපයන්නේ කොන්දේසි විරහිතවයි. බටහිරයන් ශ්‍රි ලංකාවට අභූත චෝදනා එල්ලකරන විට එ්වාට විරුද්ධව අප සමග කෙලින් හිටගනියි. බටහිරයන් කරන්නේ GSP වැනි ගුලි දී එ්වා කපා හරින බවට තර්ඡන කිරීමයි.

    අද වනවිට අැමරිකාව ලෝකයට US $ ට්‍රිලියන 17.7ක් ණයවී අැති අතර එය වැඩිවන මීටරය හැම මිනිත්තුවේම කැරකෙයි. අැමරිකාව එක් රටකට වැඩිම ණය ප්‍රමාණය වන ට්‍රිලියන 1.7 හෙවත් එරටේ මුලු ණයෙන් 10% ක් ණයවී අැත්තේ චීනයටය. කොටින්ම බටහිරයයන් අද යැපන්නේත් චීනයෙන් යයි කිවහොත් එය නිවැරදිය.

    අදවන විටත් ශ්‍රි ලංකාවට වැඩිම ණය දී අැත්තේ චීනය නොව ඡපානයය. නමුත් වියන්ගොඩලා කියන්නේ චීනය විසින් ශ්‍රි ලංකාව නව යටත් විජිතයක් කර ගැනීමට යෑමේ උත්සාහයක් අැතිි බවයි. කෙසේවෙතත් වීනය මෙන්ම ඡපානයත් ශ්‍රි ලංකාවට ණය දෙන විට බටහිරයන් මෙන් කොන්දේසි පනවන්නේ නැත. 1950 අග පාසල් යන කාලයේදී USAID වලින් සැපයූ පිටි වලින් අපි බනිස් කෑ බව හෝ බත් නොකා පාන් කෑ බව හෝ එම ණය වසර 50ක් පුරාම ගෙවූ බව මහ බැංකු වාර්තාවල සදහන්ව අැතත් එ් බව හෝ එනිසා කුඹුරු පුරන් වීම ගැන වචනයක්වත් වියන්ගොඩලා නොලියන්නේ [Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.