26 April, 2024

Blog

උතුර ගැන සංවේදී විපක්ෂයක් අවශ්‍ය කර තිබේ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

අද මහින්ද රාජපක්ෂ දකුණේ ඡන්දදායකයා කෙරෙහි ‘සංවේදී’ වෙමින් විදුලි බිල සහ ගෑස් මිල අඩු කෙළේය. පෙට‍්‍රල්/භූමිතෙල් මිල අඩු කෙළේය. තවත් බොහෝ දේවල් එළැඹෙන අයවැයෙන් ජනතාවට ලැබෙනු ඇත. ශක‍්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වුණා සේ හිටිහැටියේම ඔහු මෙසේ ජනතාව කෙරෙහි ‘සංවේදී’ වීම, එළැඹෙන ඡුන්දයට එලන දැළක් බව දැන් දකුණේ සිංහල-බෞද්ධයා පවා දනී.

උතුර ගැන විපක්ෂය සංවේදී විය යුත්තේ එසේ උතුරේ ඡන්ද ඇන්දවීමට නොවේ. සිංහල දේශපාලනය තුළ මෙතෙක් කල් සුළු ජාතීන්ගේ දුක්ගැනවිලි ගැන යම් තරමක හෝ සංවේදී භාවයක් තිබුණේ, වාමාංශික ව්‍යාපාරයටත්, දකුණේ වෙසෙන ප‍්‍රගතිශීලී සහ බුද්ධිමත් ප‍්‍රජාවටත්, යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ සංවිධාන ජාලයටත් ය. ඊට අමතරව, සුළු ජාතික අයිතීන් ගැන යම් තාක් යථාර්ථවාදීව බැලීමේ ප‍්‍රවණතාවක් විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළින් විටින් විට ප‍්‍රකට විය. පරණ වම මුළුමණින් උතුර අතහැර දමද්දී පවා එක්සත් ජාතික පක්ෂය සුළු ජාතීන්ට හිතවත් පක්ෂයක් වශයෙන් කටයුතු කෙළේය. අදටත්, සුළු ජාතීන් එක්සත් ජාතික පක්ෂය වටා වැඩියෙන් පෙළ ගැසෙන්නේ එබැවිනි. එසේම, 2005-2009 කාලය තුළ උතුරු-නැගෙනහිර යුද්ධයේ දී ඇති වූ සියලූ ව්‍යසනයන් තිබියදීත්, 2010 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට උතුරු-නැගෙනහිර දේශපාලන පක්ෂ සහ ජනතාව පියවර ගත්තේ ද එබැවිනි.

දැන් ඊළඟට එළැඹෙන ජනාධිපතිවරණයේදීත්, සුපුරුදු පරිදි සිංහල-බෞද්ධ හදවතට ආමන්ත‍්‍රණය කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැරසෙන විට, එක්සත් ජාතික පක්ෂයත් ඒ අයිතියට හරි හරියට තරගයට බැසිය යුතු යැයි සිතන පිරිසක් අද එක්සත් ජාතික පක්ෂයේ සිටිති. එම කඳවුරේ නායකත්වය දරණ බව පෙනෙන්නේ සජිත් පේ‍්‍රමදාසයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්, එක්සත් ජාතික පක්ෂයත් සිංහල-බෞද්ධ ජාතිවාදී පදනමට ගොනු වුණොත් තත්වය කුමක් වෙයිද? සිංහලයා වෙනුවෙන් පෙනී සිටින අතරේම, දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙනුවෙනුත් පෙනී සිටීමට දකුණේ විපක්ෂයට ඇති බාධාව කුමක් ද?

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පරාජයෙන් පසු, සිංහල දකුණ සමග වෙනත් ආකාරයක සම්බන්ධයකට යා යුතු බවට, දෙමළ දේශපාලනයේ මධ්‍යස්ථ ප‍්‍රවාහය විසින් තීරණය කොට ඇති වර්තමාන තත්වය තුළ, දකුණේ ප‍්‍රධාන පක්ෂ දෙකම සිංහල-බෞද්ධ වුණොත්, ඒ මගින් අර කී මධ්‍යස්ථ දෙමළ දේශපාලනය නැවත වරක් අප තල්ලූ කරනු ඇත්තේ, කොටි සංවිධානයට සමාන දේශපාලනයකටයි. දකුණේ කිසි දේශපාලනයක් සමග සහජීවනයක් හෝ සම්මුතියක් ඇති කර ගැනීමේ මොනම ඉඩක්වත් නැතැ යි සිතන තත්වයක් තුළයි, එතෙක් උතුරේ ක‍්‍රියාත්මක වූ සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රචණ්ඩ දේශපාලනයට එදා යොමු වුණේ.

ටිකක් මේ ගැන හිතා බලන්න: යුද්ධය පැවති අවුරුදු 25 කට වැඩි කාලය තුළ, යුද-විරෝධී දකුණේ සිංහලයන් හංවඩු ගැසුණේ, දේශද්‍රෝහීන් වශයෙනි. යුද්ධය අවුරුද්දෙන් අවුරුද්ද මෝරද්දී, යුද්ධයට එරෙහි වීම දකුණේ ප‍්‍රගතිශීලී ප‍්‍රවාහයට කෙමෙන් අසීරු වන කටයුත්තක් බවට පත්විය. ඒ කාලය වන විට, එක දිගටම යුද්ධයට එරෙහිව පෙනී සිටියේ ඉතා අතලොස්සකි. අනිත් හැමෝම, නා නා ප‍්‍රකාර සමාවන් සහ යුක්ති සහගත කිරීම් මධ්‍යයේ යුද කඳවුරට මාරු වූහ. 2009 මැයි මාසය වන විට, දෙමළ ජනතාව සඳහා අනුකම්පාවක් සහ බුරුලක් විය හැකි මොනම අදහසක්වත් ප‍්‍රකාශ කිරීම එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු යැයි හංවඩු ගැසීමට හොඳටම ප‍්‍රමාණවත් විය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ දෙමළ ජනතාව අතර ගොඩනැගුණු ඓන්ද්‍රීය සම්බන්ධතාවේ ස්වභාවය තේරුම් ගැනීම, එදා මේ කියන තත්වය තේරුම් ගැනීම සඳහා පමණක් නොව, අද අප පත්ව ඇති තත්වය තේරුම් ගැනීම සඳහා ද අතිශයින් වැදගත් වෙයි. එක්තරා අවස්ථාවකින් පසු උතුරේ දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග අනන්‍ය වූ බව, කවුරු කැමති වුවත් අකමැති වුවත්, පිළිගත යුතු සත්‍යයකි. එහෙත් ඒ සත්‍යය බැහැර කිරීමට, එනම්, දෙමළ ජනතාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය එකක් නොව, දෙකක් යැයි කියන විදග්ධ කතාවට බර දීමට එදා පාලකයන්ට අවශ්‍ය කළ එක හේතුවක් වුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීම, දෙමළ ජනතාව විනාශ කිරීමකින් තොරව කළ නොහැකි බව තේරුම් ගෙන සිටීමයි. ඊළඟට, දෙමළ ජනතාවටමත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කර දැමීමක් අවශ්‍යව ඇති බව ලෝකයාට පෙන්වීමටයි. එම කාරණා දෙක තහවුරු කිරීමෙන් පසු, එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමේ දී ඇති වන දෙමළ ජනතා විනාශය, ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ නොවැළැක්විය හැකි’ තත්වයක් වශයෙන් ලෝකයා ඉදිරියේ සාධාරණීකරණය කළ හැකි වන්නේය. ලෝකයේ මොනම ත‍්‍රස්තවාදී සංවිධානයක්වත් හමුදාමය වශයෙන් මැඩලීමට ගන්නා ප‍්‍රයත්නය, සමානුපාතික නොවන බරකින් එම සමස්ත ජනතාව මත මුදාහැරීමට සිදුවන්නේ නම්, එය හමුදාමය විසඳුමක් වශයෙන් වර්තමාන ලෝකය තුළ අනුමත කෙරෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම, එල්.ටී.ටී.ඊ. සංවිධානය අනවශ්‍ය විස්වාසයක් තබාගෙන සිටියේ ද මේ කාසියේම අනිත් පැත්ත ගැනයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය තම අරමුණ වන වෙනම රාජ්‍යයක් සඳහා තම ජනතාව සිංහල ආණ්ඩුව ඉදිරියේ ප‍්‍රාණඇපකරුවෙකු වශයෙන් අල්ලාගෙන සිටීමට දේශපාලනිකව තීරණය කිරීමත්, ශිෂ්ට ලෝකයා ඉදිරියේ පිළිනොගැනෙන බව ඔවුන් ගණන් හදා තිබුණේ ද නැත.

කෙසේ වෙතත්, දෙමළ ජනතාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය එක් මොහොතකින් පසු එකිනෙකා හා අනන්‍ය වීමත් සමග, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නන් ඉබේම එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටින්නන් වශයෙන් අනන්‍ය වන්නට විය. මේ තත්වය, යුද විරෝධීන් කෙරෙහි ගැටළුකාරී තත්වයක් නිර්මාණය කළ අතර, අනිත් පැත්තෙන්, යුදවාදීන්ට සහ සිංහල-බෞද්ධ දේශපේ‍්‍රමීන්ට මනාව ගැළපෙන ප‍්‍රහාරක අවියක් නිර්මාණය කර දුන්නේය. 2009 මැයි මාසය වන විට ඉතා පැහැදිළි ලෙස කඳවුරු දෙක බෙදී ගියේ ඒ රේඛාව ඔස්සේ ය. ඉතිං. එදා මේ රටේ දකුණේ වෙසෙන ජනතාවගෙන් සියයට 90 ක් ම දේශපේ‍්‍රමී ජයග‍්‍රහණයකට හිමිකම් කී අතර, ඉතා සුළුතරයක් සදාකාලික දේශද්‍රෝහීත්වයක ඒජන්තයන් බවට පත්වුණි.

මේ වනාහී කාසියේ එක පැත්තකි. එය අදාළ වන්නේ අතීතයටයි. අද එල්.ටී.ටී.ඊ. සංවිධානයක් නැත. දැන්, වර්තමානය සහ අනාගතය ඒ කාසියේම අනිත් පැත්ත බවට පෙරැුලෙමින් තිබේ. අද වන විට දෙමළ ජනතාව කොටින්ගෙන් ‘ගලවාගෙන’ තිබේ. අන්තිම කොටියා දක්වා මීට පස් වසකට පෙර විනාශ කරන ලදි. අනිත් කොටින්ව (කරුණා, කේ.පී. සහ දයා මාස්ටර් වැන්නන්) සිංහල රාජ්‍යයට අන්තර්ග‍්‍රහණය කරගන්නා ලදි. ඉතිං, දැන්වත් දෙමළ ජනතාවට, තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග දීග කෑමට තල්ලූ කරන ලද ඓතිහාසික දුක්ගැනවිලිවලින් නිදහසක් තිබිය යුතුය. ඒ අනුව, ජාතියක් වශයෙන්, භාෂාවක් වශයෙන්, සංස්කෘතියක් සහ ආගමක් වශයෙන්, තමන්ට නිදහසක් අවශ්‍ය බව ඔවුන්ට හැෙඟ්. එය විශේෂ වරප‍්‍රසාදයක් නොව, ජාතිය, ආගම, සංස්කෘතිය වැනි හේතුකාරක මත, මොනම ආකාරයකවත් වෙනන් විදිහක සැළකුම් ලැබීමෙන් නිදහස් වීමට ජනතාවකට ඇති අවශ්‍යතාවයි. එහි දී, හමුදා නිල ඇඳුම් නොපෙනෙන පරිසරයක්, හමුදා කඳවුරු නැති පරිසරයක්, තමන්ගේ භාෂාවෙන් වැඩ කළ හැකි පරිසරයක් ඔවුන්ට අවශ්‍ය ය. ලංකාව යන සමස්ත රටේ දේශපාලනික ව්‍යුහය තුළ, සංඛ්‍යාවෙන් පමණක් නොමැනෙන, ජනතාවක් වශයෙන් වශයෙන් ද සැළකිල්ලට ගැනෙන, යම් අර්ථවත් කාර්ය භාරයකට ඔවුන් හිමිකම් කිව යුතුය.

එහෙත් මේ දේවල් එම ජනතාව විසින් අද ඉල්ලා සිටීම, දකුණ අදටත් සළකන්නේ ‘නැවත කොටියා හිස එසවීමක්’ වශයෙනි. මේ ප‍්‍රබන්ධය ආණ්ඩුව නිර්මාණය කරන්නේ, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලනික ප‍්‍රවාහයන් ඒ තුළ හිර කැරැුවීමටයි. ජනාධිපතිවරණයක් ඉද්දර තියාගෙන එය සාර්ථක කර ගැනීම පහසු වෙතැ යි ආණ්ඩුව සිතයි. ඒ උගුලට එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් හසු වුවහොත්, පැරණි ඉතිහාසයම අළුත් වටයකින් නැවත රඟදෙනවා නොඅනුමානයි. එනිසා, රටේ නාමයෙන් සහ ඉදිරි පරම්පරාවන්ගේ නාමයෙන් ඒ අපරාධයට විපක්ෂය මෙවර හසු විය යුතු නැත. සිංහලයා වෙනුවෙන් මෙන්ම, දෙමළ සහ මුස්ලිම් මිනිසා වෙනුවෙන් ද, බෞද්ධයා වෙනුවෙන් මෙන්ම, හින්දු, ඉස්ලාම් සහ ක‍්‍රිස්තියානි ආදී අනෙක් සෑම ආගමක් වෙනුවෙන් ද පෙනී සිටීමට ශක්තිය, මැතිවරණයක් ඉදිරියේ තබාගෙන පවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විපක්ෂයට තිබිය යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    As far as the post-independence nation-building efforts are concerned, in the nation-state of Ceylon, both the UNP and SLFP have resorted to various degrees of Sinhalese-Buddhist chauvinism to capture political power and retain it.That said, comparatively speaking, the UNP, of course, has tried far more innovative things than the SLFP, to resolve the national question. Indeed, external influences, doubtless,have always been, and still is, and will always be, a crucial factor in the equation.

  • 0
    0

    රාඡපක්ෂ රඡයේ වැරදි කොතෙකුත් තිබේ. වැරදි පෙන්වාදී අකටයුතුකමිවලට පහර ගැසීම කලයුතුය. නමුත් අකටයුතුකමිවලට පහර ගැසීම සහ රඡය කරන හැමදේම වැරදිලෙස දැකීම යනු දෙකක්ය. වියන්ගොඩලා කරන්නේ දෙවැන්නය.

    වියන්ගොඩ ලියන්නේ 2005-2009 යුද්ධය සිංහලයා විසින් දෙමළාට පැටවූ එකක් ලෙසය. නමුත් සත්‍ය නම්
    වසර 25ක්ම හැමදාම රටේ කොහේ හෝ බොම්බ පත්තුවුන බවය. අද මැද පෙරදිග මෙන් එදා ලංකාවේ මිනිස් බොම්බ පත්තු වීම රටේ සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුනි. එසේ නොවුනේ නම් එ් ඉතා ටික කලකට පමනි. වසර 25ක් පුරාම ලංකික පුරවැසියන් සහ LTTEය අතර තිබුනේ ගැටුමක් නොව මාරාන්තික යුද්ධයකි. LTTEය විසින් බෝධිය අසල සිල් ගත් සිංහලයන් පමනක් නොව පල්ලියේ යාඥාකරන මුසල්මනයන්ද බුරුතු පිටින් මරා දැම්මේය. පැය විසිහතරක් තුල සියලු මුසල්මනයන් යාපන අරධද්වීපයෙන් පන්නා දැම්මේය.

    රඡයේ සංඛයා ලෙඛණ අනුව 1981 දී යාපන ද්‍රිස්ත්‍රික්කයේ සිංහලයින් 5648ක් සහ මුසල්මන්යින් 11,839ක් විය. නමුත් 2012 දී යාපන ද්‍රිස්ත්‍රික්කයේ සිටින්නේ සිංහලයින් (හමුදාවන්ද අැතුලුව) 3366ක් (0.6%) සහ මුසල්මන්යින් 2139ක් (0.4%) පමණක් බව සංඛයා ලෙඛන කියයි. නමුත් අර මා කලින් සදහන් කල යාපනයෙන් පන්නා දැමූ සිංහල සහ මුසල්මන් මිනිසුන්ටවත් නැවත එ් අය සිටි තැන්වල පදිංචි වීමට යාපනයේ දෙමළ දෙශපාලඥයන් සහ ඡනතාව ඉඩ දෙන්නේ නැත.

    TNA මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියන්නේ 150ක් පමණ සිංහලයින් ශ්‍රි ලංකා හමුදාව විසින් පරන කෝච්චි ස්ටේෂමට 2010 දී ගෙනැවිත් දමා අැති බවයි. එ් කිසිවෙක් ලඟ ඔවුන් යාපනයේ පදිංචිවී සිටි බව ඔප්පු කිරීමට ලිපිලේඛන නැති බව ප්‍රේමචන්ද්‍රන් චෝදනා කරයි. නැගෙනහිර ද්‍රිස්ත්‍රික්කයේ සිංහලයින් පදිංචිකලා මෙන් උතුරේ පදිංචි කිරීමට ඉඩ නොදෙන බව ප්‍රේමචන්ද්‍රන් කියයි. යාපනයේ ඉපිද අනාථයන්වූ සිංහලයින් ගැන ලිපියක් 2014 සැප්තැම්ඹර් 28 ඉරිදා දිවයින පත්‍රයෙහි පලවිය. වියන්ගොඩලාට තිසරණීලාට කවදාවත් සිංහලයාට සිදුවන අසාධාරණය පෙනෙන්නේත් නැත ලියන්නේත් නැත. සිංහලයා සුලු ඡාතීන්ට කෙතරම් සාධාරණ උවත් මේ බැලයන් ලියන්නේම සිංහලයා කරන අකටයුතුකම්ය. 2001 දී ගම්පහ ද්‍රිස්ත්‍රික්කයේ දෙමළ ඡනගහනය 65302 කි. නමුත් 2012 දී එය 80071 ක් වි අැත. නමුත් සිංහලයා එ් ගැන කිසිවිටකත් කෑ මොරදෙන්නේ නැත.

    මිනිස් බොම්බ එවා බස්, කොච්චි සහ ප්‍රසිද්ධ ස්ථානවල මිනිසුන් මරා සිවිල් වැසියන් භීතියට පත්කලේ දෙමළ කොටින්ය. LTTE ප්‍රශ්ණය යුද්ධයෙන් හෝ සාකච්චාවලින් ඡේඅාර්ගේ සහ ප්‍රේමදාසගේ යුඑන්පියට විසදන්නට බැරිවූ විට දකුනේ මිනිස්සු එය සාමයෙන් විසදීම සඳහා චන්ද්‍රිකාට චන්දයදී ඡනාධිපති කලේය. චන්ද්‍රිකා සාම තවලම් යමින් යුද්ධය වවාගන කනබව දකුනේ බහුතර ඡනතාව තේරුම්ගත්තේය. නමුත් විකල්පයක් නැතිකමට නැවත සාමයෙන් LTTEය සමග ප්‍රශ්ණ විසදාගැනීම සදහා රනිල්ව අගමැති කලේය.

    බටහිරයන්ට කහින එන්ඡීඔි කාරයන් හැමදාමත්ම කීවේ ලංකාවේ අැත්තේ ඡනවාර්ගික ගැටුමක් බවත් එය සාමයෙන් බේරාගතයුතු බවත්ය. රනිල් වචනයේ පරිසමාප්තයෙන්ම බටහිර ගැත්තෙක්ය. එන්ඡීඔි කාරයන්ට නියම අවස්ථාව ලැබුනේය. නෝර්වේ කාරයන්ගේ උපදෙස්පිට රනිල් විසින් රටේ 1/3 ක් පිරාපකරන්ට ලියවිල්ලකින්ම බාරදී කොටි තහනම ඉවත් කර හමුදා කපොලුත් ඉවත් කලේය. කොටින්ට සන්නිවේදන උපකරන නොමිලයේම සැපයුයේය. වියන්ගොඩලා උයන්ගොඩලා කුසල්ලා අකුසල්ලා සාමය උදාවූ බවට බෙරිහන් දුන්නේය.

    වැඩි දිනක් නොගොස්ම කොටි හමුදා කදවුරු ඉදිරියට පැමිණ හමුදා භටයින්ට රෙද්ද උස්සා පස්ස පෙන්නුවේය. හමුදා භටයෝ එ් සියල්ල ඉවසුවේය. නමුත් ටික කලකින්ම කොටි පිස්තෝල කල්ලි ක්‍රියාත්මක විය. කොළඹ නගරය මැද කොටි මහ දවල් හමුදා සහ පොලිස් බුද්ධි අංශ සාමඡිකයින් ඝාතනය කලේය. සාම සාකච්චා වලින්ද LTTEය ඉවත්විය. ඡාත්‍යන්තර දැලක් අැති නිසා අප කලබල නොවිය යුතු බව රනිල් සහ අැබිත්තයෝ දේශනාකලේය. එන්ඡීඔි කාරයන් බටහිරයන්ව ගෙන්වා හමුදා වියදම් අඩු කරගතහැකි අයුරු හමුදා ලොක්කන්ට පැහැදිලි කලේය. නමුත් කොටි ඔවුන්ගේ අවසාන යුද්ධයට සූදානම් වන බව මොලේ කඳුලක් හෝ අැති සියල්ලන්ටම අවබෝධ වි තිබුනි.

    LTTEයට තිබුනේ ඡනවාර්ගික ගැටුමක් නම් ඔවුන් රනිල්ගේ UNP රඡය සමග පටන්ගත් සාම සාකච්චා වලින් ඉවත්වන්නේ නැත. LTTEයට අවශ්‍යවූයේ තැනතැන හියුමන් බෝම්බ සහ කලේමෝ බෝම්බ පත්තුකර මහඡනයා භිහිසුනු කරන යුද්ධයකින් ඊලම දිනාගැනීමය. සිවිලියන්ලා කොපමන මලත් එකල වෝ ක්‍රයිම් කථා තිබුනේ නැත. LTTEයට සහ ඔවුන්ගේ ප්‍රොක්සි TNA එකට අනුව ඊලම සාමයෙන් දීනාගැනීම අපැහැදිලි ක්‍රියාවකි. ඔවුන්ට අවශ්‍යවූයේ මහින්ද රාඡපක්ෂ ඡනාධිපති කර ඔහු සමග යුද්ධයකට ගොස් ඊලම යුද්ධයෙන් දිනාගැනීමටය. LTTEය සහ ඔවුන්ගේ ප්‍රොක්සි TNA එක 2005 ඡනාධිපතිවරණයේදී රනිල්ට චන්දය දෙන්න එපා කියා දෙමළ ඡනතාවට කීවේ එම පැහැදිලි අරමුන අැතිවය. අද TNA එක කරන්නේ පට්ටපල් බොරුවකි.

    2005 ඡනධිපතිවරණයේදී පැහැදිලිවම සිංහලයා දෙකට බෙදුනේ යුද්ධයෙන් සාමය ලබා ගන්නවාද කතාවෙන් රට දෙකඩ කරනවාද යන්න තීරණය කිරීමටයි. දෙමළ වැසියන් නම් ටික දෙනෙක් අැරෙන්නට 90%ක්ම LTTEයට පක්ෂපාති් වූයේ දෙමළ ඊලම කඩාගන්නටය. හරියටම වියන්ගොඩ කියන විධියට යුද්ධයේදී දකුණේ වෙසෙන ජනතාවගෙන් සියයට 90 ක් ම දේශපේ‍්‍රමී ජයග‍්‍රහණයකට පක්ෂ උනා සේය. කෙසේ හෝ මහින්ද යුද්ධය ඉවරකලා පමණක් නොව බටහිරයන්ගේ උපදෙස්වලට යට නොවී ත්‍රස්ත කල්ලියද විනාශ කලේය. එනිසයි අද අපට සාමය තිබෙන්නේ. මොන වැරදි තිබුනත් මහින්ද චන්ද දිනන්නේ එනිසයි.

    LTTEයට විරුද්ධ යුද්ධය දිනීමට මහින්ද නුසුදුසු බරක් දැම්මා යයි වියන්ගොඩ කියයි. අැමරිකාවෙ සිටින පයිලට් අැෆ්ගනිස්ථානයේ තලිබාන්ලාට සහ සිවිල් වැසියන්ට ඩ්‍රෝන් පුහාර එල්ල කර මරා දමනවා නම් එක මොන වර්ගයේ සාධාරණ ප්‍රයත්නයක්දැයි මට නම් නොතේරේ. බිරින්දෑවරුන් සහ ලමයින් සමග සිටි බින් ලාඩන් මරා දැමීමට අැපැචි චොපර්වලින් නේවි සීල් භටයින් 50ක් එවීම මොන වර්ගයේ සමානුපාතික බලය යෙදීමක්දැයි වියන්ගොඩ අපට කියාදියයුතුය. මේවා නම් බටහිරයන්ටම ගැලපෙන තර්කය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.