26 April, 2024

Blog

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ චිලී අත්දැකීම්

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන 22 වන සංශෝධනය සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර වන බල තුලනය ජනාධිපතිවරයාට වාසිදායක අන්දමින් කෙළවර වන බව පෙනෙන්නට තිබෙන අතර 17 සහ 18 ව්‍යවස්ථා සංශෝධන මෙන් ව්‍යවස්ථාදායක සභාව මගින් ජනාධිපතිවරයාගේ බලය එක්තරා ප්‍රමාණයකට තුලනය වේ.

ලංකාව මෙන්ම චිලි රට ද ව්‍යවස්ථා සංශෝධන කාර්යයේදී අර්බුද වලට ලක්වී ඇති රටකි. වර්ෂ 1829 දී ස්පාඤ්ඤයෙන් නිදහස ලැබූ චිලිය 1925 දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලදී. චිලියේ ඔගස්ටෝ පිනෝචේ විසින් 1980 දී ඇති කරන ලද ව්‍යවස්ථාව විසි වතාවක් පමණ සංශෝධනය කර තිබේ.

ව්‍යවස්ථාව සම්බන්ධ ලංකාවේ ප්‍රශ්ණය සිරස් අතට සහ තිරස් අතට බලය නොබෙදීමයි. මධ්‍යයේ පාර්ලිමේන්තුවේ බලය අභිබවා ජනාධිපති බලය ක්‍රියාත්මක වේ.අනෙක් අතට පළාත් සභා වලට විහිදී යා යුතු බලය මධ්‍යයේ ඒකරාශී වී ඇත. චිලියේ මුලික ප්‍රශ්නය වන්නේ  පිනෝචේ විසින් ස්ථාපිත කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවාට අනුග්‍රහය දක්වන ව්‍යවස්ථාව හේතුවෙන් රටේ තීව්‍ර වූ ආදායම් බෙදී යාමේ විෂමතාවයි.

චිලි ව්‍යවස්ථාවට 1989 දී කළ ප්‍රථම සංශෝධනය ජනමත විචාරණයක් හරහා කරන ලද්දකි. වර්ෂ 2013 දී හිටපු  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන සමාජවාදී පක්ෂයේ මිචෙල් බැචලේ චිලි ජනාධිපති වූ විට ඇයගේ මැතිවරණ පොරොන්දුවක් වූ නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් පෙළපාලි පැවැත්විණ. ඇයගේ ව්‍යවස්ථාව සම්බන්ධ ඉලක්ක වූයේ අධ්‍යාපන සහ බදු ප්‍රතිසංස්කරණ සහ රටේ ආදායම් බෙදීමේ විෂමතාව අවම කිරීමයි. 

වර්ෂ 2019 ඔක්තෝබර් මස නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් කැළඹිලි සහ කෝලාහල ඇතිවිය. වර්ෂ 2020 ඔක්තෝබර් මස ජනමත විචාරණයකදී නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත්  සහ එය සකස් කල යුත්තේ මහජනයා විසින් තෝරා  ගන්නා ලද ව්‍යවස්ථා සභාවක් විසින් බවත් ජනතාව තීන්දු කරන ලදී. වර්ෂ 2021 මැයි මස ව්‍යවස්ථා සභාව මහජන ඡන්දයෙන් තෝරා ගන්නා ලදී. 

මෙම ව්‍යවස්ථා සභාවේ ආසන 17 ක් ආදිවාසී ජනතාව සඳහා වෙන් කරන ලද අතර එහි ස්ත්‍රී පුරුෂ නියෝජනය සම තත්ත්වයේ විය. ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 155 න්  65 දෙනෙක් ස්වාධින අපේක්ෂකයෝ වූහ. ව්‍යවස්ථා සභාව මූලික වශයෙන් සමන්විත වූයේ වාමාංශික නැඹුරුවක් ඇති නියෝජිතයන්ගෙනි. ව්‍යවස්ථා සභාව උත්සාහ කළේ සම්පුර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. සම්පාදනය කරන අතරතුරදී එම ව්‍යවස්ථාව ලොව පුරා ප්‍රසංශාවට ලක් විය. ව්‍යවස්ථාව අනුව අධිකරණයද ඇතුළු සියලු රාජ්‍ය ආයතන වල ස්ත්‍රීන් සමසේ නියෝජනය විය යුතුය. පාරිසරික අයිතිවාසි කම් අනුව ඉඩම් ජලය සහ වාතය ආරක්ෂා වේ. රාජ්‍යයට ලිතියම් සහ හයිරෝකාබන් ඇතුළු පතල් කර්මාන්තයට පුර්ණ අයිතිය දීම යන්තමින් වැලකි තිබුණි. චිලියේ දල ජාතික නිෂ්පාදිතයෙන් 11% ක් පතල් කර්මාන්තය විසින් උපයනු ලැබේ. 

ව්‍යවස්ථාව විසින් ජාතික සෞඛ්‍ය සේවයක්ද ජාතික අධ්‍යාපන සේවයක්ද යෝජනා කර තිබුණි. ඒ අනුව සියලුම ඉගැන්වීමේ ආයතන එක ඒජන්සියක් යටතට පත් කරන අතර සියලුම මට්ටම් වල පොදු අධ්‍යාපනය ගාස්තු අයකිරීම් වලින් තොර වේ. සෙනේට් සභාව අහෝසි කිරීමට ද ප්‍රාදේශීය සභා පිහිටුවීමටද යෝජනා විය.

ව්‍යවස්ථා සභාව මෙහෙයවන ලද්දේ ආචාර්ය උපාධියක් සහිත ආදිවාසී කාන්තාවක විසිනි. ජනගහනයෙන් 11% ක් විවිධ ආදිවාසී කණ්ඩායම් වලට අයත් වන අතර ඔවුන්ට නිසි පිළිගැනීමක් සමාජයේ නැත. මෙවර එම අයිතීන් යෝජිත ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇත. බොහෝ දෙනා එක්සත් ජනපදයේ මෙන් සංක්ෂිප්ත ව්‍යවස්ථාවක් බලාපොරොත්තු වූ නමුත් ව්‍යවස්ථාව ඉතා දිර්ඝ විය. යෝජිත ව්‍යවස්ථාව ලෝකයේ දීර්ඝතම ව්‍යවස්ථාවක් වූ අතර එය ඡේද 499 කින් සමන්විත විය. අනාගතයේ සිදුවිය හැකි සියලුම් දේ පරිකල්පනය කිරීමට ව්‍යවස්ථා සභාව උත්සාහ ගෙන තිබුණි.

මේ අතරතුර  2022 මාර්තු මස හිටපු දක්ෂිණාංශික ජනාධිපතිවරයා පරදවා සමාජවාදී පක්ෂයේ ගේබ්‍රියෙල් බොරික් ජනාධිපති ලෙස පත්විය. ඔහු නව ව්‍යවස්ථාවට ඔහුගේ පූර්ණ සහයෝගය දැක්විය.

ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද ව්‍යවස්ථාවේ ඡේද වරින්වර ප්‍රකාශයට පත්වූ බැවින් එහි කටයුතු ගැන ජනතාව අවදියෙන් සිටියහ. කෙසේ වෙතත් ජනතා අනුමැතිය 50% ඉක්මවුයේ නැත. අවසානයේදී එය වාමාංශික ව්‍යවස්ථාවක් ලෙස හඳුන්වනු ලැබිණ.

වර්ෂ 2022 සැප්තැම්බර් 4 දින පැවැත්වූ ජනමත විචාරණයකින් යෝජිත ව්‍යවස්ථාව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එය ප්‍රතික්ෂේප වුයේ 61.9% ක වැඩි ඡන්දයෙනි. මේ අතර ගේබ්‍රියෙල් බොරික් ගේ ජනප්‍රියතාව 39% දක්වා පහත වැටී ඇත.

යෝජිත ව්‍යවස්ථාවෙන් ආදිවාසී ජනතාවට ලැබී ඇති පිළිගැනීමද දේශපාලන ක්‍රමයේ කර ඇති බරපතල වෙනස්කම් ද විවේචනයට ලක්වී තිබුණි. 

ජේ. ආර්. ජයවර්ධන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කළේද ඔගස්ටෝ පිනෝචේ චිලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකළේ ද එකම යුගයේය. රටවල් දෙකම සිය ව්‍යවස්ථා අහෝසි කිරීම සඳහා දීර්ඝ අරගල වල නිරත වේ. රටවල් දෙකම සංශෝධන විස්සකට අධික සංඛ්‍යාවක් බැගින් කර ඇත. චිලිය ව්‍යවස්ථාව සම්බන්ධ ජනමත විචාරණ ගණනාවකට මුහුණ දී ඇති අතර ලංකාව ඒ සම්බන්ධව ජනමත විචාරණ මග හරිමින් සිටියි. චිලියේ ව්‍යවස්ථාව බොහෝ සෙයින් සංශෝධන හරහා පිනෝචේ ගේ ව්‍යවස්ථාවට වඩා වෙනස් ස්වරුපයක් ගනී. 

චිලියේ අත්දැකීම ලංකාවේ ව්‍යවස්ථා සම්පාදනය ගැන අවදියෙන් සිටින සියලු දෙනා ගේම අවධානයට ලක් විය යුතු යයි සිතමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.