24 April, 2024

Blog

රසායනික පොහොර තහනම සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබද පුරෝකතනයක්

හිරාන් බි. ජයසුන්දර –

එක්දාස් නමසිය පනස් අට වසරේ එක්තරා දිනක චීනයේ තහනම් නගරයට එක්වූ දහස් ගණන් ජනතාව අමුතුම ආකාරයේ උත්සවයකින් සිය ආත්මීය නායකයාණන් වන මාවෝ සේතුං හට සිය උත්තමාචාරය දැක්  වූහ. එය නිරාගමික කොමියුනිස්ට් පාක්ෂිකයන් හට අමුතු දෙයක් වූ ලොව මානව ඉතිහාසයේ වාර්තා වුන විශාලතම බිලි පුජාවකි. එදින බිලි කෙරුනේ 194, 432 කින් යුතු ගේ කුරුළු බිල්ලකි.  ඇත්ත වශයෙන්ම මේ සංඛ්‍යාව එක් දිනකදී පමණක් චීනයේ බිජිං පළාතේ පමණක් මරා දැමුණු කුරුල්ලන් ගණන වන අතර දිනපතා ගේ කුරුල්ලන් මරා දැමීම සදහා මිලියන 3 ක් පමණ පිරිසක් යොදවා තිබිණ. වසර ගණනකදී ගේ කුරුල්ලන් මෙන්ම පොදුවේ සියලු පක්ෂීන් මිලියන ගණනක් මිනිසාගේ මේ මහා බිලි පුජාව නිසා මරණයට ලක් විය. ලෝක ඉතිහාසයේ මිනිසා විසින් කරන ලද විශාලතම පාරිසරික හානිය නිමවී වසරක් ගත වෙද්දී ලෝක මානව ඉතිහාසයේ විශාලතම මිනිස් සංහාරය ලෙස සැලකෙන මහා චීන සාගතය (1959-61) සිදුවන අතර එයින් මිනිසුන් මිලියන 78 කට වඩා මිය ගිය බවට වාර්ථා වී ඇත. මෙය හිට්ලර් විසින් ආරම්භ කරන්න යෙදුනු දෙවන ලෝක යුද්ධයේ මියගිය මිලියන 75 කට වඩා වැඩි මිනිස් ජිවිත ගණනකි. දෙමාපියන් සිය දරුවන් සහ දරුවන් සිය දෙමාපියන් මරා ආහාරයට ගත බව කියවෙන මේ මහා ජන සංහාරය සහ සාගතය පිළිබඳව කතා කිරීම අදටත් චීනයේ තහනම් මාතෘකාවකි. මේ මහා ව්‍යවසනය තුලින් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා ගත හැකි පාඩම සොයා ගැනීමට පෙර මානව ඉතිහාසයේ සිදුවූ මේ භයානක සංසිද්ධියට හේතුව සොයා යා යුතුය.

1949 සිදුවූ චීන කොමියුනිස්ට් විප්ලවයෙන් වසර 9 කට පසු මාවෝ සේතුන් විසින් එතෙක් චීනයේ වසර දහස් ගණනක් පැවති කෘෂි ආර්ථික රටාව වෙනස් කර කෘෂිකර්මය මුළුමනින්ම රජයේ පරිපාලනයට ලක් කරන ලදී. මහා පිම්ම ලෙස හැදින් වූ මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය මගින් පුද්ගලික ගොවිපලවල් තහනම් වූ අතර කොමියුනිස්ට් පාලනය මගින් නීර්ණය කරන විධික්‍රම මගින් කෘෂිකර්මය සහ පරිසරය පාලනය විය. මහා ගේ කුරුළු සංහාරය එහි එක් ප්‍රතිපත්තිමය තීරණයක් පමණි. මාවෝ ගේ ගණනය අනුව, ගේ කුරුල්ලන් වසරකට ආහාරයට ලබා ගන්න ධාන්‍ය ප්‍රමාණය ටොන් ගණනකි. ඇත්ත වශයෙන්ම, විද්‍යාත්මක දත්ත අනුව කුඩා පක්ෂීන් දිනකට සිය ශරීර බර මෙන් භාගයක් හෝ ඊට සමාන ආහාර ප්‍රමාණයක් ලබා ගනී. මෙම සරල ආර්ථික නිර්නකයේ අවසන් ප්‍රථිපලය වුයේ මාවෝ සේතුං විසින් ගේ කුරුල්ලන් වැනසීම සදහා මිලියන ගණනාවක බලකායක් පත් කිරීමයි. ඔවුන් මිලියන ගණනක් ගේ කුරුළු කුඩු කඩා දමා මහා සංග්‍රාමය පටන් ගත් අතර අධික ශබ්ද මගින් ඔවුන් බිය කර ගස් වල වසා සිටීම ඔවුනට අවහිර කළහ. එහි ප්‍රතිඵලය වුයේ ගේ කුරුල්ලන් මෙන්ම වෙනත් කුරුළු විශේෂ සහ ලේනුන් වැනි කුඩා සතුන් අධික වෙහෙසට පත්ව මිය යාමයි. මේ සමගම මියන් සහ වෙනත් සතුන් සංහාරයද සිදු විය. එමගින් පක්ෂීන් මෙන්ම කුඩා කෘදන්තයන් සහ ඔවුන් ආහාරයට ගන්නා ආහාර දාමයේ කටුස්සන් සහ උරගයන් පරිසර පද්ධතියෙන් තුරන් වීම සිදුවිය. මාවෝගේ පැතුම ඉටු විය. නමුත් එක ගැටළුවක් පමණක් විය. මෙතෙක් කල් පරිසර පද්ධතියේ සමතුලිත තාවය නැති වී දහස් ගණන් කෘමි විශේෂ ගොවි බිම් ආක්‍රමණය කරන්නන්ට විය. ඔවුනගේ ස්වභාවික සතුරන් නැති වීමෙන් කෘමි ගහනය පුපුරා ගිය අතර මෙහි කෙටි කාලින ප්‍රතිඵලය වූයේ පළගැටියන් වැනි කෘමින් රංචු වශයෙන් වගාබිම් ආක්‍රමණය කිරීමයි. මිලියන ගණන් ගොවි බිම් කෘමින් විසින් විනාශ කරන ලදී. චීන මහා සාගතය ආරම්භ විය. ස්වභාව ධර්මය මුළුමනින්ම මිනිසුන් සදහාය යන මෙම භයානක සංකල්පය මගින් 1959-60 වසර වලදී පමණක් මිලියන 78 ජනතාවක් සාගතය නිසා මිය ගියහ. එසේම ලෝක ඉතිහාසයේ මිනි මස් කෑම ඉහලින්ම වූ ශෝකජනක සහ බියකරුම කාලයක් ලෙස මේ යුගය හැදින් වේ. මේ මහා කුරුළු සංහාරයේ කෙටි කාලින ප්‍රතිඵල පමණි. එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල චීනය මෙනම් සමස්ථ අග්නි දිග ආසියාවම මේ වන විටත්  විදවමින් සිටී. චීනයේ බලපෑම් මත සහ විශාල චීන ප්‍රජාවක් වෙසෙන තායිලන්තය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල්ද මිනිසුන් අතර මිනිසාට පරිසරය පාලනය කල හැකිය යන සංකල්පය ක්‍රියාත්මක විය. චීනයේ මාවෝ අවශ්‍ය වූයේ පුරාණ චීනය එක රැයකින් මකා දැමීමයි. කෘෂිකර්මය සහ පරිසරය සම්බන්ධ ආසියානු වටිනාකම් ක්‍රමයෙන් නැති විය. මේ හැම රටකම මිනිසුන් කෘමින් ආහාරයට ගන්න පුරුදු විය. අදටත් චීනයේ තබා උතුරු තායිලන්තයේ චියන්මයි කලාපයේ විශාල වනාන්තරයකට ගියද ඔබට එකදු සතකු හමු වන්නේ නැත.  තරම් පරිසර පද්ධතිය විනාශ වී ඇත. එසේම ලොව මේ වන විටත් වැඩිම කෘමි නාශක සහ පලිභෝධ නාශක භාවිතා කරන්නනේ චීනයයි. ඉතා විශාල ලෙස පලිභෝධ නාශක භාවිත කරන බව කියන ලංකාවේ (මෙය  උපක්‍රමික බොරුවකි ) හෙක්ටයාරයක් සදහා වසරකට පලිබෝධනාශක කිලෝ 0.7 පාවිච්චි වෙද්දී චීනයේ එම අගය වසරකට කිලෝග්‍රෑම් 13.7කි. මහා චීන සාගතය සම්බන්ධ සිද්ධින් භයානක කතාව මේ වන විටත් චීනය විසින් සගවා ඇති නමුත්, මාවෝ විසින් ඇදහු පරිදි  ස්වභාව ධර්මය යටපත් කල හැක යන චින්තනය මේ වන විටත් එහි මුල් බැසගෙන ඇත.

කුරුළු විනාශයෙන් මාවෝගේ ප්‍රධානතම අරමුණ ඉටු වී ඇත.  පිළිබදව ඇත්තේ ඉතා අනුවේදනීය කතාවකි. චීනය මෙන්ම අග්නිදිග ආසියාවම බුදු දහමේ උගන්වෙන දයාව කරුණාව සහ මෛත්‍රී පදනම් වූ ජනතාවක් වසන ප්‍රදේශයකි. කුරුළු සංහාරය ජනතාව අතර ප්‍රචලිත කිරීමට මාවෝ වයස අවුරුදු 12-16 වයසේ කොලු ගැටයින් යොදා ගැනුන අතර ඔවුන් අතර තරග පැවැත් වින. කුරුල්ලන් මරා වීරයන් වූ මේ අනාගත පුරවැසියන් සිය පාලනයේ අනාගත භාර කරුවන් විය. දයාව කරුණාව සහ මෛත්‍රී සාරධර්ම මෙන්ම බුදු දහමද වේගයෙන් චීනයෙන් අතුරුදහන් විය. පසුව අග්නිදිග ආසියාවේ සියලු බෞද්ධ රටවල මහා මිනිස් සංහාර සිදු වූ බව ඔබ දන්නවා ඇත. මේ දීර්ඝ කතාව සහ ඉන් සිදුවූ සමාජ ආර්ථික බලපෑම පිලිබදව පිටු ගණනක් ලිවිය හැකි වූවද, මේ ලිපිය මා පාදක කර ගන්නේ සිය දේශපාලනීය අරමුණු සදහා රටක කෘෂිකාර්මික සහ පාරිසරික ප්‍රතිපත්ති වෙනස් කිරීමෙන් වන භයානක ප්‍රතිඵල ලෝක ඉතිහාසයේ ඇති හොදම උදාහරණය මගින් ගෙන හැර පෑමටයි. එය අද ශ්‍රී ලංකාවට කොතරම් ගැලපේද? එක රැයකින් කිසිදු ආකාරයක විද්‍යාත්මක අධ්‍යනයකින්  තොරව සිදු කරන ලද රසායනික පොහොර තහනම මෙන්ම, පාරිසරික සම්බන්ධ තීරණ ගැනීම පුද්ගලික අංශයේ සමාගමකට පැවරීම ආදී දේශපාලනික තීරණ මගින් සිදු විය හැකි කෙටි කාලින මෙන්ම දීර්ඝ කාලින ප්‍රතිඵල වල බලපෑම ඇතැම් විට මෙරට පරම්පරා ගණනකට අහිතකර ලෙස එල්ල විය හැක.  පිළිබඳව​ ලෝකයේ වෙනත් රට වල අත්දැකීම් සමග පුරෝකථනය කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය යනු මේ රටේ ජීවනාලියයි. මෙරට ජනතාවගෙන් 30% ක් පමණ කෘෂි ක්ෂේත්‍රය මත සිය ජීවිකාව ගෙන යයි. සිය දල දේශීය නිපැයුමෙන් 7.4% කෘෂි ක්ෂේත්‍රයෙන් ලබා ගන්නා ලංකාව ආහාර අවශ්‍යතාවයෙන් 50% පමණ මෙරටදී නිපයනු ලබයි. ආසියාවේ ආහාර සුරක්ෂිතා දර්ශකවල පහල අගයක හෙවත් අවධානම් කලාපයේ සිටින ශ්‍රී ලංකාවේ උපදින දරුවන්ගෙන් 16 % ක්ම  අඩු බර උපත් ලෙස ජීවිතය ආරම්භ  කරයි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 අඩු ගැහැණු දරුවන් අතරින් 14-8% ක් උසට සරිලන බරකින් යුක්ත සෞඛ්‍යය සම්පන්න නොවන දරුවන් වේ. මෙය ලොව ඉතාම ඉහල ප්‍රතිශතයක් වන අතර සෝමාලියාව, යේමනය චැඩ් ජනරජය වැනි ඉතාම දුප්පත් රට වලද මීට වඩා අඩු ප්‍රතිශතයක් වාර්තා කරයි. සිය දළ ජාතික ආදායමින් 0.01% කටත් වඩා අඩු මුදල් ප්‍රමාණයක් හෙවත් ආසියාවේ අඩුම ප්‍රතිශතයක් කෘෂි ක්ෂේත්‍රයේ පර්යේෂණ හෙවත් ආයෝජන සදහා යොදවන ලංකාවේ කෘෂි උපාධිධාරින්ගෙන් 85-90% අතර ප්‍රමාණයක් අදාල ක්ෂේත්යෙන් පිට සිය රැකියා කරයි. සිය දළජාතික ආදායමෙන් 0.03% ක් කෘෂිකර්මාන්තයෙන් ලබා ගන්නා සිංගප්පුරුව ජාතික අදායමෙන් 1.94% ක් කෘෂි පර්යේෂණ සදහා යොදවයි.

මෙවන් ඉතා අවම සහ නොදියුණු කෘෂිකර්මාන්ත සංවර්ධන අවදියක පසුවන ශ්‍රී ලංකාවේ සත්‍ය කෘෂි ආර්ථික සංවර්ධනය සහ ආහාර නිපැයුම වසර ගණනාවක සිට එකතැන පල්වන රටාවක ඇත. ලංකාවේ සාම්ප්‍රදායික බෝග වන තේ සහ කුරුදු වගාව දැවැන්ත පසුගමිත්වයකට පත්ව ඇති අතර වී සහ කුකුළු මස් ආශිත වෙළදපලේ යම් උද්දීපනයක් ලබා ගැනීමට සමත් වී ඇත්තේ වී සහ ඉරිගු වැනි ධාන්‍ය භෝග වල නව දියුණුකළ ප්‍රබේධ සහ රසායනික පොහොර භාවිතය නිසාය.

මෙයින් රසායනික පොහොර ඉතා වැදගත් කාර්යභාරයක් ශ්‍රී ලංකාව වැනි රටවල සිදු කර ඇත. 20 වන සියවසේ දෙවන භාගයේදී මිනිසා විසින් ආහාර නිෂ්පාදනයේ ඵලදායිතාවය ඉහල නැංවීමට ඉඩ සලසා දුන් විද්‍යාත්මක සහ තාක්ෂණික නව්‍ය උත්පාදන ගණනාවක් තිබේ. මෙම  සියල්ලටම වඩා වායුගෝලීය නයිට්‍රජන් මගින් නයිට්‍රජන් පොහොර නිපදවීමේ හැකියාව සොයා ගැනුන අතර එම සොයා ගැනීම මානව වර්ගයා වෙත ඉතිහාසයේ ඉහලම බලපෑම ඇති කළේය. විසිවන සියවසේම සිදුවූ සද තරණය, අභ්‍යවකාශ තරණය ආදී ජනප්‍රිය සිදුවීම් මෙන්ම වෛද්‍ය සහ පරිගණක ක්ෂේත්‍ර වල සිදුවූ මහා සොයා ගැනීම් පරදා රසායනික පොහොර සැදීමේ ක්‍රියාවලිය සොයා ගත් ෆිට්ස් හැරිස් සහ කාල බෝෂ් යන දෙදෙනා මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා ඉදිරියෙන් සිටි. මේ වනවිට නයිට්‍රජන් පොහොර ප්‍රධාන කරගත් රසායනික පොහොර මගින් නිෂ්පාදනය වන ආහාර ප්‍රමාණය මගින් ගෝලීය ජනගහනයෙන් අඩකට පමණ ජිවත් වීමට ඉඩකඩ සලසා දෙයි. තවත් වචන වලින් කිවහොත්, රසායනික පොහොර තිබුනේ නැතිනම්, මේ වන විට ශ්‍රී  ලංකාවේ ජනගහනය දැනට ඇති මිලියන 21 වඩා භාගයක් හෝ ඊට අඩු අගයක් ගනු ඇත. ඉන්දියාව වැනි රටවල ජනගහනය 35% ක් පමණ වනු ඇත. හරිත විප්ලවය ලෙස හැදින් වන මේ පිටුපස ඇති මානව විප්ලවය අති විශාලය.

එසේ හෙයින්ම, රසායනික පොහොර ලෝක දේශපාලන වේදිකාවේ ඇති විශේෂ ස්ථානයක් ලබාගෙන ඇත. ඉන්දියානු, පකිස්තානු මෙන්ම වෙනත් ආසියානු සහ ලෝක දේශපාලනයේ ඇති සංවේදී ස්ථානයක් පොහොර වෙළදපල සහ සැපයීම ලබා ගෙන ඇත. 1970 වසරේ සිට බලයට පත්වූ සියලු ශ්‍රී ලංකේය රජයන් බලයට පත් වීමේදී පොහොර සහනාධාරය සහ පොහොර සැපයීම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත් කරගෙන ඇත. ඇතැම් විශාල ප්‍රජත්නතවාදී රාජ්‍යන් බෙදී වෙන් නොවී පවතින්නේද පොහොර සහ වාරිමාර්ග වැනි කෘෂිකාර්මික යෙදවුම් සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තීන් නිසාය.

රසායනික පොහොර මෙන්ම හරිත විප්ලවයේ අනෙකුත් ප්‍රධාන කාර්‍ය භාරයක් ඉටු කරන ලද්දේ කෘෂි පර්යේෂණ මගින් වැඩිදියුණු කරන ලද හෙවත් නව වැඩි දියුණු කල භෝග ප්‍රබේද වේ. මෙම වැඩිදියුණු කරන ලද ප්‍රබේද සහ රසායනික පොහොර අතර ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධයකි. රසායනික පොහොර භාවිතයෙන් තොරව මෙම විශේෂ වග කල නොහැකි අතර එමගින් අපේක්ෂිත ප්‍රතිඵල අස්වනු ලබා ගත නොහැක. ශ්‍රී ලංකාවේ පමනක් වී වගාවේ මෙම නව ප්‍රබේද හෙවත් බී ජි පරම්පරාවේ වී වර්ග මගින් හෙක්ටයාරයක අස්වැන්න මෙට්‍රික් ටොන් 0.5 සිට 4.5 – 5  මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් දක්වා වැඩි කර ඇත. ඇත්ත වශයෙන්ම මෙම අස්වනු ප්‍රමාණය පර්යේෂණ ක්ෂේත්‍ර වල දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි නමුත් නියමිත ජල සම්පාදන ක්‍රම සහ තාක්ෂණික ක්‍රම නොමැති වීමෙන් 15 වසරකට වඩා එකතැන පල්වෙන තත්වයකට පත්ව ඇත. ජාතික වශයෙන් මෙම  අස්වනු වැඩිවීම රටක ආර්ථිකයකට කොතරම් වැදගත් දැයි කිවහොත් සාමාන්‍යය හෙක්ටයාරයක අස්වැන්න ටොන් භාගයකින් වැඩි වීම රටක එක පුද්ගල දල දේශීය නිපැයුම 14.19% කින් වැඩිවන අතර කෘෂිකර්මාන්තයේ ශ්‍රම දායකත්වය 4.6 – 5.6 % දක්වා අඩු කරන බව සොයා ගෙන ඇත. එයින් පිළිඹිමු වන්නේ කෘෂිකර්මාන්තට මෙන්ම  අනෙකුත් ආර්ථික ක්‍රියාවලින්ටද ජාතික ආහාර නිපැයුම දැඩි බලපැමක් ඇති කරන බවයි. යම් ආකාරයකින් පොහොර භාවිතය අඩු වීමෙන් මෙරට සහල් නිපැයුමේ අස්වැන්න හෙක්ටයාරයක අස්වැන්න මෙට්‍රික් ටොන් 3.0 ක් වැනි අගයකට අඩු වුවහොත් මෙරට දල දේශීය නිපැයුම 40% කින් පමණ අඩු විය හැකි අතර කර්මාන්ත සහ සේවා අංශවල රැකියා 15% කින් පමණ අඩු විය හැකිය.

කෘෂි රසායනික සහ පොහොර තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය තිරකයන්ගේ ප්‍රධානම තර්කය වුයේ එමගින් වන පාරිසරික ගැටලුවයි. වකුගඩු රෝගය සහ ඊට අදාල පාරිසරික ප්‍රශ්න මෙහි ඉතා සංවේදී ලෙස හුවා දක්වයි. කෙසේ වුවද, කෘෂි රසායන භාවිතා කිරීමට වඩා මෙම පරිසර දුෂණය පිටිපස ඇත්තේ මෙරට රාජ්‍ය තන්ත්‍රය වටා පවතින දුෂණ වළල්ලයි. මේ රටේ කෘෂිකර්මාන්තයට මෙරට පාලකයන් කරන ලද ඉහලම විනාශය පොහොර සහනාධාරයයි. 1962 වසරේදී මුලින්ම නව දියුණු කරන ලද වී වර්ග ජනතාව වෙත ජනප්‍රිය කිරීමේ පියවරක් ලෙස හදුන්වා  දුන් පොහොර සහනාධාරය මෙරට සිදු වූ විශාලතම දේශපාලන වංචාවකි. ආණ්ඩු වෙනස් කිරීමට පවා බලගතු වූ පොහොර සහනාධාරය සියලුම බෝග ෂදහා ලබා දෙන බව වත්මන් රජයේද ප්‍රධානම මැතිවරණ පොරොන්දුවකි. එකම ආසියානු නිෂ්පාදකයෙක් අරමුණු කරගෙන කිසිදු ජාත්‍යන්තර ප්‍රමිති සහ විගණනයක් නොමැතිව රජයේ දේශපාලකන් සහ ඊට හිතවත් නිලධාරීන් විසින් මෙහෙය වූ පොහොර සහනාධාරය වෙනුවෙන් ඇතැම් වසරවල ශ්‍රී ලංකාව අයගේ දල දේශීය නිපැයුමෙන් 2.3% කි වියදම් කර ඇත. එසේම, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී අත්‍යවශ්‍යය ආරථික ආයෝජන වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මේ සදහා යොදවා ඇති අතර වසර 5 ක් සදහා මෙම සහනාධාරයට විනාශ කල මුදලින් මෙරට මහවැලි ව්‍යාපාර මෙන්  ආයෝජන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක  කල හැකිව තිබුණි. සහනාධාරය මගින් ගොවින් ස්ව ශක්තියෙන් නැගිටිය නොහැකි වහලුන් බවට පත් කල සේම එමගින් අනවශ්‍ය ලෙස පොහොර පරිසරයට මුදා හරින. එසේම කිසිදු සාධනීය ප්‍රමිතියකින් තොරව ගෙන්වන ලද පොහොර මගින් ඇතැම් රටවල කාර්මික අපදෘව්‍ය ටොන් ගණනින් ලංකාවට මිලදී ගැනින. පොහොර ප්‍රමිතිගත කිරීම සහ සමග බැදුණු දුෂණ වළල්ල පිළිබදව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බලධාරීන් නොදන්නවා යයි හිතන්නට බැරිය. ශ්‍රී ලංකාවේ වත්මන් කෘෂි අමාත්‍යවරයා මෙම  මාෆියාව සම්බන්ධයෙන් අවධාරණය කර ඇත. කෙසේ වුවද, හැකි නම්, ඊලග මැතිවරණයේදී මෙම සහනාධාරය නොදෙන බව මෙරට පාලකයන් හට සපථ කල හැකිද?

එසේම, මා මුලදී දක්වා ඇති පරිදි ආසියානු රටවල මේ වන විට 50% ජන ගහනයකට ජිවත් වීමට අවශ්‍ය ආහාර රසායනික පොහොර මගින් ලබා දෙන අතර ගොවින් ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රැකියා වල නියුතු 30-60 % ක් අතර මිනිසුන් ප්‍රමාණයකට ජීවනාලිය සපයයි. ඊට සාපේක්ෂව ලොව 8 වැනියට වැඩිම අධික සාන්ද්‍රගත මත්පැන් පරිභෝජනය කරන ශ්‍රී ලංකාවේ දිනකට 65-66 අතර මිනිසුන් මත්පැන් නිසා පමණක් මිය යන අතර පළමුව එසේ නම් කල යුත්තේ මත්පැන් තහනම් කිරීමය.

එසේම, රසායනික පොහොර තහනම් කිරීමේදී රජය විසින් උදම් අනන ප්‍රධාන උද්යෝග පාඨයක් වන්නේ ලොව මෙම ප්‍රතිපත්තිය කල ප්‍රධාන රට ශ්‍රී ලංකාව වනු ඇති බවයි. අවාසනාවකට​ මෙම ලෝක වාර්තාවට ලංකාවේ පාලකයන්ට හිමිකම් කිව නොහැක්කේ පොහොර සහ කෘෂි ද්‍රව්‍ය වෙලදපලෙන් ලබා ගැනීමේ නොහැකියාව (මුදල් නැතිකම) හෝ ආර්ථික සම්බාධක පැනවීමෙන් ඒවා ගැනීම නොහැකි වීමෙන් ඉබේම රසායන තහනම් කරගත් රටවල් මේ ලොව තව ඇති බැවිනි.  වාර්තාවට අනුගාමිව තවත් වාර්තාවන්ට ඔවුන්  ඉබේම හිමිකම් කියන්නට හැකි වුනේ සමගම එම රටවල දහස් ගණන් මිනිසුන් සාගත වලින් මිය යාමට සැලැස්සු බැවිනි.

1994 සිට මේ දක්වා මිලියන ගණනින් මියයන දුෂ්කර මාර්තුව හෙවත් උතුරු කොරියානු සාගතය මගින් මේ වන විට ලක්ෂ ගණනක් මිනිසුන් මරණයට පත් වී ඇත. මීට හේතුව වුයේ එතෙක් උතුරු කොරියාවේ දරදඩු රෙජීමය සදහා ආධාර ලබාදුන් සෝවියට් සංගමය 1980 සිට කරන ලද දේශපාලන ප්‍රතිසංස්කරණ හේතු කොටගෙන උතුරු කොරියාව වෙත ලබා දුන් ආධාර ණය මුදල් නැවත ඉල්ලා සිටීමයි. එසේම කිම් රාජවංශය වෙත කරන ලද ණය සහ ද්‍රව්‍ය ආධාර නවත්වන ලද අතර විශේෂයෙන්ම කෘෂිකාර්මික යෙදවුම් සදහා මුදල් සහ ආධාර නොමැති වීම හේතුවෙන් උතුරු කොරියාව දැඩි ආර්ථික බිදවැටිමකට ලක් විය. ශ්‍රී ලංකාව මෙන් නොව (ශ්‍රී ලංකාව තාවකාලික ශ්‍රම සංක්‍රමණය විශ්වාසය තබා ඇති ප්‍රේෂණ ආර්ථිකයකි). 1990 වසර වන විටත් සියයට සියයක් ස්වයංපෝෂි කෘෂි ආර්ථිකයක් තිබු උතුරු කොරියාව රුසියානු ණය ප්‍රධාන සහ පොහොර නැවැත්වීමෙන් දැඩි ආර්ථික කම්පනයකට ලක් විය. (කොමියුනිස්ට් රුසියාවේ මුලික අරමුණක් වූයේ කිසිදු රටකට ආරථික වශයෙන් තනියෙන් නැගී සිටීමට ඉඩ ලබා නොදී සහනාධාර දීමයි. රුසියාව කොමියුනිස්ට් පාලනය කඩා වැටීම සමගම උතුරු කොරියාව මෙන්ම නැගෙනහිර යුරෝපයේ රටවල් බොහොමයක් මේ වන විට අන්ත අසරණව සිටි). මෙහිදී ඉතාම හාස්‍යයට ලක් වන කරුණ වන්නේ ලංකාවේ රජයේ ඇතැම් ප්‍රකාශකයන් මෙන්ම උතුරු කොරියානු පාලකයන්ද පොහොර නවත්වීමේදී කරන ලද ප්‍රකාශ එක සමාන වීමයි. එහිදී පළමුව ගොවීන්ගේ අස්වැන්න ආණ්ඩුව වැඩි මිලට ලබා ගෙන පාරිභෝගියනට අඩු මිලට ලබා දෙන බව ප්‍රකාශ විය. දෙවැන්න, පොහොර ලෙස මළ මූත්‍රා භාවිතා කිරීම සඳහා වන ආර්ථික පීඩනයක් ජනතාවට එල්ල කිරීමයි. නමුත් 1993 වන විටත් උතුරු කොරියානු ආහාර නිපැයුම 90% කින් පමණ අඩු වූ අතර එහිදී ඔවුන්ගේ උදව්වට පැමිණියේ චීනයයි. චීනය, පොහොර වෙනුවට ඔවුන්ගේ ආහාර අතිරික්ත කොරියාවට ලබා දුනි. වසර 1994 වන විට සමස්ථ ආහර අවශ්‍යතාවයෙන් 70% ක් චීනය ලබා දුන් අතර එම වසරේම චීනය තමන්ගේම ධාන්‍ය හිඟයකට හා දැඩි මුදල් අවශ්‍යතාවයකට මුහුණ දුන් අතර එබැවින් උතුරු කොරියාවට ලබා දුන් ආධාර තියුනු ලෙස කපා හැරියේය. එහි ප්‍රතිඵලය වුයේ මිලියන 3-5 කට වඩා උතුරු කොරියානුවන් සාගතයෙන් මරණයට පත් වීමයි. මෙම ප්‍රමාණය අදටත් පිටත ලෝකයට රහසක් වුවත් ඡන්දය නොදීම අපරාධයක් ලෙස සැලකෙන උතුරු කොරියාවේ 1998 ජාතික මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළේ ඡන්දදායකයන්ගෙන් සියයට 55 ක් පමණි. එනම් ඉතුරු 45%ක් වැඩිහිටි ජනගහනයට සිදු වුයේ කවරක්ද? නැවතත් මේ පිලිබදව කිය යුත්තේ රටවල ආහාර ප්‍රතිපත්ති සමග සෙල්ලම් කිරීම නුවනට හුරු නොවන බවයි.

එසේම මේ රටේ වැසිකිලි වලට ආර්ථික වටිනාකම් ලබා දීමට හීන මවන කේවට්ටයන් හටද මෙහිදී උතුරු කොරියාවම ආදර්ශයට ගත හැක. ඇත්තෙන්ම මේ වන විට උතුරු කොරියාව පොහොර වෙනුවට මිනිස් මලපහ වලින් නිපයු පොහොර භාවිතයට ගනී. නමුත් විවිධ පර්යේෂණ මගින් කොරියානු ජාතිකයන්ගේ ආහාර මාර්ගයේ දැවැන්ත පරපෝෂිතයන් නිරීක්ෂණය කිරීම සමඟින්, උතුරු කොරියානු ආහාරයේ මේ භයානක තත්ත්වය තහවුරු කර ඇත. එසේම කෘෂි විද්‍යා පර්යේෂකයින් කිසිවෙක් මානව අපද්‍රවය ආහාර බෝග සදහා අනුමත නොකරන අතර මේ මගින් දීර්ඝ කාලීනව ලෝක වෙළදපලේ අතිශය කීර්තිමත් නාමයක් දිනා ඇති ලංකාවේ තේ, කුරුඳු වෙළදපලවල් මෙන්ම ලොව වාණිජ කාබනික කෘෂි වෙළදපලේ පුරෝගාමී රටක් ලෙස ඉතා විශිෂ්ඨ නාමයක් ඇති ලංකාවේ කාබනික ආහාර අපනයනයට මෙමගින් දීර්ග කාලීනව පසුබෑම් ඇති විය හැක.

ශ්‍රී ලංකාව සිය රසායනික පොහොර ආනයනය නවත්වද්දී, ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය ආදී ආසියානු රටවල් කොවිඩ් වසංගතය සමග අඩාල වුන සේවා අංශයේ කඩාවැටීමෙන් ආර්ථිකයට වූ හානිය පුරණය කිරීම සදහා සිය කෘෂි නිෂ්පාදනය විශාල ලෙස ඉහල දමමින් පවතී. එසේ නොමැති වුවහොත් ඉන්දියාව බංගලාදේශය වැනි රට වල ආහාර හිගයක් ඇති විය හැක. මේ වන විට සාපේක්ෂව අඩු වී ඇති ලෝක වෙළද පලේ පොහොර මිල මෙම වසරේ මැද භාගයෙදී ඉහල යනු ඇති විශ්වාස කරයි. එබැවින්, ආසියාවේ විශාල කෘෂි ආර්ථිකයන් ඇති රටවල් ජාත්‍යන්තර වෙළදපලේ මේ වන විට සිය පොහොර නිපැයුම සහ මිලදී ගැනීමේ අරගලයක දී සිටී. බිලියන 4 කට ආසන්න ලෝක ජනගහනය වසරකට 2% වඩා වර්ධනය වන පසුබිමක සහ කෘෂිකර්මාන්තය සදහා යොදා ගත හැකි සියලු ඉඩම් දැඩි සුරකෑමකට ලක්ව ඇති අවස්ථාවක නව තාක්ෂනය සහ රසායන පොහොර භාවිතය හැර රාජ්‍යන් හට වෙනත් විකල්පයක් නැත.

පොහොර සහ වෙනත් කෘෂි යෙදවුම් ආහාර නිෂ්පාදනය සමග ඒකාබද්ධ වුන ආහාර සුරක්ෂිතතාවය සහ සාගත තත්වයන් ලක්ෂ ගණන් ජනතාවගේ ජිවිත සමග කරන විහිළුවක් බවට පත් කල නොහැක. ඉන්දියාවේ ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි ශත 15 ක් වටිනා පොහොර නොලැබී ගියහොත් තිරිගු රාත්තල් 10 ක් ඉන්දීය ගොවියාට අහිමි වේ. එමගින්, ආසන්න වශයෙන් 15 දෙනෙකු බඩගින්නේ සිටිය යුතුය. නැතිනම් ඉන්දියාව රුපියල් 74 කට (ඩොලර් 1 කට) බාහිර වෙළඳපොලෙන් තිරිගු ලබා ගත යුතුය. ලංකාවේ මෙවන් පර්යේෂණ කර නොමැති නමුත්, ඉතා වේගයෙන් පහල යන රුපියලේ වටිනාකම අනුව ලෝක වෙළද පොලෙන් ආහාර මිලදී ගැනීම ලංකාවට අතිශය අභියෝගයක් වනු ඇත. 

මෙබැවින්, පොහොර ආනයනය නැවැත්වීමෙන් බරපතල සමාජීය, දේශපාලන සහ ආර්ථික ගැටළු වලට මුහුණ දීමට අනාගත ශ්‍රී ලංකාවට සිදු වනු ඇත. යේමනය, උගන්ඩාව, කොරියාව, වෙනිසියුලාව සහ දකුණු සුඩානය යන රටවල මෙසේ කෘෂිකර්මාන්තය බිද වැටීමෙන් දක්නට ලැබුණු සාගත තත්වයන් අනුව ශ්‍රී ලංකාවේ ඇති විය හැකි ප්‍රතිවිපාක පහතින් විශ්ලේෂණය කර ඇත.

එහිදී, පොහොර වෙළදපලේ ඇතිවන කළු කඩ තත්වයන් හේතුවෙන් කෙටි කාලින වශයෙන් කෘෂි ක්ෂේත්‍රයේ විශාල ප්‍රාග්ධන සහ මුල්‍ය සම්පත් හිගයකට මුහුණ පෑමට සිදු වන අතර සුළු පරිමාණ ගොවින් දැවැන්ත ණය බරක සිරවෙනු ඇත. ඔවුන්ගේ සිය දිවි හානි වීම් බහුල විය හැකිය. මධ්‍යපරිමාණ ගොවින් සහ පොහොර සහ කෘෂි රසායන නිරන්තරව යොදා ගන්න එළවලු ගොවින් සිය ඉඩම් වගාවන් සදහා නොයෙදවිමෙන් වෙලදපොලේ දැඩි ආහාර හිගයක් ඇතිවනු ඇත. එළවලු මිල 100-150% දක්වා ඉහළ යනු ඇති අතර මෙම තත්වය ඉදිරි මාසයක් ඇතුලත දක්නට ලැබෙනු ඇත. එමෙන්ම, ඉතාම ඉහල  ප්‍රාග්ධන වියදමක් යොදා සිදුකරන ආවරණ බෝග වගා කර්මාන්තය සහමුලින්ම බිදවැටෙන අතර එමගින් විශාල පවුල් ප්‍රමාණයක් හට ජීවිකාව අහිමි වේ. එමෙන්ම, එම ආවරණ වගාවන්හි පමණක් කල හැකි විශේෂතා බෝග සදහා තිබෙන නියත වෙළදපොළවල් (හෝටල්, ගුවන් සේවා සහ  විදේශ වෙළදපොළවල්) ගැනුම්කරුවන් අහිමි වීමෙන් එම කර්මාන්ත දීර්ඝ කාලීනව  බිද වැටීමකට ලක්වේ. ජාත්‍යන්තර වෙලදපොලේ ශ්‍රී ලංකාව වැනි රටවල කුඩා පරිමාණ නිෂ්පාදකයන් හට දීර්ඝ කාලයක් මුළුල්ලේ ගොඩ නැගු වෙළඳපල අහිමි වීම ඉතා සංවේදී වන්නේ අඛණ්ඩ සැපයුමක් සහ පාරිභෝගිකයන් ඉල්ලා සිටින ප්‍රමාණ දිය නොහැකි වුවහොත් වෙනත් රටවල නිෂ්පාදකයන් එම වෙළඳපොල අයිති කර ගන්නා බැවිනි.

උදාහරනයක් ලෙස, 1970/6 වසර වල සමගි පෙරමුණු ආණ්ඩුව මගින් වැවිලි සමාගම් ජනසතු කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ තේ සඳහා තිබු එතෙක් යුරෝපීය වෙළඳපලේ සියයට 50 වෙළඳපොල පංගුව හෙවත් ලංකාවේ තේ අධිරාජ්‍ය බිද වැටුණු අතර වසර 45 කට පමණ පසුවද එය නැවත ලබා ගත නොහැකි වී ඇත. මේ වන විට යුරෝපීය වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ තේ වෙළඳපල පංගුව සියයට 7 ක් පමණ වේ. ඇත්තවශයෙන්ම වී තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තේ සන්නාමයන් බිද වැටී අතරමැදි රටවල් ඔවුනගේ සන්නාමයන් භාවිතයෙන් අපේ තේ මිලදී ගෙන යුරෝපිය රටවලට යැවීමයි.

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය තුල රැකියා වියුක්තිය ඉහල යාමක් සිදු වන්නේ අපනයන ආශ්‍රිත වෙළදපලේ, විශේෂයන්ම තේ වෙළදපොලේ ඇති වන දැවැන්ත බිද වැටීම හේතුවෙනි. යුරියා නැති වුවහොත් මාස තුනක් වැටි කෙටි කාලයකදී තේ අස්වැන්න 40-50% ක් අතර ප්‍රමාණයක් අහිමි වනු ඇත. එසේම ඉරිගු වැනි ගොවින් හට ඉතා ආර්ථිකව ලාභදායි වගාවන් අවහිර වීමෙන් ඔවුනට සිය මුලික අවශ්‍යතා සදහා මුදල් සොයා ගැනීම දුෂ්කර වනු ඇත. එමෙන්ම, කුකුළු පාලනය වැනි කර්මාන්ත සදහා අවශ්‍ය ආහාර නොමැති බැවින් එම කර්මාන්තවලට අවශ්‍ය සත්ත්ව ආහාර වැඩි මිලකට පිට රටින් ගෙන ඒමටත් මිල ගණන් ඉහල යාමෙන් ප්‍රධාන සත්ව ප්‍රෝටීන අවහිර වීමෙන් කෙටි කාලින මන්දපෝෂණ තත්වයක් විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වයස 10-20 අතර යෞවනියන් අතර ඇති විය හැක. මෙයද සාමාන්‍යයෙන් මාස තුනක් වැනි කෙටි කාලයකදී අත්විඳිය හැකිය. ලොව රටවල් අතර හතර වැනියට අඩුම සත්ව මාංශ ආහාරයට ගන්නා ශ්‍රී ලංකාවේ යම් තරමින් හෝ ආහාරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල එකතුවන්නේ ලභාදයි ප්‍රෝටීන ප්‍රභවයක් වන බිත්තර වලින්  පමණි. බිත්තර වල මිල අධික ලෙස ඉහල යාමෙන්, ඇතැම්විට ළදරු මරණ අනුපාතය පවා ඉහල යා හැක.

එමෙන්ම, මෙහි ප්‍රතිඵල ඉතා භයානක වන්නේ මේ වන විට ශ්‍රී ලංකාව දැඩි කොවිඩ් අර්බුධයක සිරවී සිටින බැවිනි. ආහාරයේ මුලික පෝෂ්‍ය පදාර්ථ හිග වීමෙන් කොවිඩ් වැනි වසංගත රෝග ඉතා පහසුවෙන් සමාජය තුල පැතිරී යා හැකිය. එසේම, ග්‍රාමීය වශයෙන් මිනිසුන් අනීතික ආරථික උත්පාදන කෙරෙහි නැඹුරුතාවක් දක්නට ලැබෙන අතර එය පහල මැදි ආදායම් රටවල  මත්ද්‍රවය, ගණිකා වෘත්තීය ලෙස ප්‍රවණතා කිහිපයකින් දක්නට ලැබේ. මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල දැනටමත් සමාජ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වන අතර කම්පන වලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රධාන මෙවලමක් ලෙස සමාජ ආරක්ෂණ දැල් ඇතුළු සමාජ ආරක්ෂණය වැඩි වැඩියෙන් පිළිගැනේ. දරුණු ආහාර හිගයකදී මෙම සමාජ ආරක්ෂණ පද්ධති බිද වැටීමක් පහසුවෙන් ඇති විය හැක.

මෙම ප්‍රතිපත්තියේ මධ්‍යකාලින ප්‍රතිඵල වනුයේ, දේශීයව නිෂ්පාදනය වන ආහාර මිල අතිශය ඉහල යාමෙන් ආනයන ආදේශක වන සෝයා, පරිප්පු වැනි ද්‍රව්‍ය සදහා ඉතා ඉහල ඉල්ලුමක් ඇති වීමයි. නැතිනම් හිගයක් නිර්මාණය වීමයි. එමෙන්ම, ආහාර මිලදී ගැනීම සදහා විශාල මුදලක් සිය ආදායමෙන් ගෙවන්නට සිදු වීමෙන් අධ්‍යාපන සහ සෞඛ්‍යය වැනි සේවාවන් ලබා ගැනීමට පහල ආදායම් සහිත පවුල් ඒකක සදහා ඉමහත් අභියෝගයක් වනු ඇත. එසේම, කෘෂි අංශය සමග කෙලින්ම සම්බන්ධ නොවන ග්‍රාමීය මට්ටමේ සේවා අංශවල (ත්‍රිරෝද සේවා වැනි) සහ කුඩා පරිමාණ වෙළදසැල් වල ආදායම් අහිමි වීමෙන් එම සේවා අංශය මගින් යැපෙන පවුල් වල දුප්පත්බව තවත් තීව්‍ර වනු ඇත. මෙම  තත්වයන් දෙසැම්බර් මස වන විට දැකිය හැකි වනු ඇත.

එසේම, දීර්ඝ කාලීනව හෙවත් ඉදිරි වසර 2 ක් වැනි කාලයක් තුල මෙම ප්‍රතිපත්තිය එලෙසම පැවතුනහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික ඵලදාව ඉතා දරුණු ලෙස පහල යනු ඇති අතර, වැඩිහිටි ආයු කාලය අඩු වීම සහ මරණ අනුපාතය ඉහල යාම අපේක්ෂා කල හැකි වේ. එසේම මිනිසුන් අධ්‍යාපනය ආදී අවශ්‍යතා එතරම් වැදගත් කොට නොසැලිකීමෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළදපල ආර්ථිකය බිද වැටෙනු ඇත.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර, ඝන අපද්‍රව්‍ය වලින් සහ වැසිකිලි වලින් මේ සදහා විකල්ප සොයන උපදේශකයන් හටද මතක කල යුත්තේ ලංකාවේ දැනට වෙලදපොලේ තිබෙන කාබනික ලේබල් ගසා ඇති පොහොර වලින් සියයට එකක්වත් කාබනික පොහොර නොවන අපද්‍රව්‍ය බවයි. එම අප ද්‍රව්‍ය පිලිස්සීමෙන් හෝ වෙනත් ක්‍රම වලින් මුල් ඝන අපදෘව්‍ය තත්වයෙන් වෙනස කර ඇති අතර මුලික සංඝටක වන නයිට්‍රජන්, පොටෑසියම් පොස්පරස් අවම ලෙස 0.5 % ක් හෝ නොමැත.  මේවගේ කිසිම තත්ව පාලනයක් නොමැති අතර බොහෝ විට කාර්මික සහ නාගරික අපද්‍රවය භාවිතයෙන් සකස් කරන මෙම නිෂ්පාදන වල ඇති බැර ලෝහ සහ විෂ රසායන කෙලින්ම කෘෂි පද්ධතියට එකතු විය හැක. එසේම, යම් තත්ත්ව පාලනයකින් නිෂ්පාදනය කරන කාබනික පොහොර වල ඇත්තේ සියයට එකක් තරම් වූ නයිට්‍රජන් ප්‍රමාණයකි. එනම්, යුරියා ටොන් එකක් වගාවට යොදන විට (යුරිය පොහොර වල නයිට්‍රජන් ප්‍රතිශතය 46% කි), කාබනික පොහොර ටොන් 46ක් දැමිය යුතුය. මෙය වී වගාව සදහා කොහෙත්ම කල නොහැකි අතර තේ වගාවේ නම් තේ ගසේ අඩියක් පමණ උසට පොහොර දැමිය යුතුය. හෙක්ටයාරයක බෝග වගාකරන ගොවි මහතකු ටොන් 1 පොහොර සදහා රුපියල් 2000 ක් ප්‍රවාහනයට වැයකලද  පොහොර ටොන 46ක් සදහා රුපියල් 92000 ක් පොහොර ප්‍රවාහනය  සදහා පමණක් දිය යුතුය. සාමානයෙන් ලංකාවේ වී ගොවියකුගේ හෙක්ටයාරයක ආදායමද ඊට බොහෝ සෙයින් අඩුය.

මෙබැවින් ආර්ථික, සමාජීය මෙන්ම තාක්ෂණික වශයෙන් ඉතා පහත මට්ටමක ඇති දිරා යන කුණු රොඩු මත ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්ති තීරණ ගැනීම ඉතා අවදානම් වේ. කාබනික කෘෂිකර්මය දියුණු කිරීම අනාගත ශ්‍රී ලංකාවේ අතවශ්‍ය කටයුත්තකි. එහි කිසිම් තර්කයක් නොමැති අතර මෙහිදී මතක තබා ගත යුතු වන්නේ කාබනික කෘෂිකර්මය යනු කුණුරොඩු වලින් කරන ගොවිතැනක් නොවන බවත්, ඉතා ඉහල මිලදී ගැනීමේ හැකියාවක් සහිත ගනුදෙනු කරුවන් සදහා සදහා ඉහලම තාක්ෂණික මග පෙන්වීම් ඔස්සේ කරන වාණිජ කෘෂිකර්මාන්ත අංශයක් බවත්ය. උදාහරණයක් ලෙස ලංකාවේ සාමාන්‍ය තේ කිලෝවක් පිට අපනයන කරනුයේ රුපියල් 650 කට යයි සිතමු. කාබනික තේ කිලෝවක් අපනයන කරනුයේ රුපියල් 1400-3000 දක්වා මිලකටය. හේතුව තේ කිලෝවක් සදහා වැය කරන මිල ඉතා අධික වීමයි. සිය එදිනෙදා ආහාරය ඉතා අපහසු ආර්ථික සිමා මැද සොයාගන්නා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට කාබනික ආහාර ගන්න ලෙස බල කිරීම සහ මාරිඇන්ටොනෙට් රැජිනගේ පාන් නැත්නම් කේක් කන්න කීම අතර වෙනසක් නොමැත.

මෙසේ හෙයින්, රටක කෘෂි ප්‍රතිපත්ති අත්හදා බැලීම සහ දරදඩු තීරණ ගැනීම අතිශය භයානක බව ශ්‍රී ලංකාවේ පාලකයන් තේරුම් ගත යුතුව ඇත.

*මෙම ලේඛකයා ශ්‍රී ලංකාවේ සහ විදේශ ප්‍රතිපත්ති සම්පාදන ආයතනවල පුළුල් පරාසයක සේවා පළපුරුද්දක් ඇති කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකි.

Print Friendly, PDF & Email

Latest comment

  • 5
    0

    No doubt, introduction of organic manures instead of inorganic fertilizers. But it should be produced in the same counrty where the applications would be after its production.

    එක් රටකින් තවත් රටකට කාබනික් පොහොර ආනයනය කිරීම සමහර ව්‍යාපාරිකයින්ට ලාභදායී ව්‍යාපාරයක් විය හැකි නමුත් එය අනිවාර්යයෙන්ම නව පාරිභෝගිකයින්ගේ සහ ඔවුන්ගේ රටවල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය.
    කාබනික් පොහොර නිෂ්පාදනයේ දී ක්ෂුද්‍ර ජීවීන්, කෘමීන් සහ අනෙකුත් ජීවීන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. සඳහන් කරන ලද ක්ෂුද්‍ර ජීවීන් හා කෘමීන් නොමැතිව, පොහොර සෑදීමේ ස්වාභාවික ක්‍රියාවලිය සිතාගත නොහැකිය. මෙම කෘමීන් හා ක්ෂුද්‍ර ජීවීන් රටින් රටට වෙනස් වේ. නිෂ්පාදනයේ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ කාබනික් පොහොර රට තුළ නිෂ්පාදනය කළ යුතු බවයි. ඕස්ට්‍රේලියාව හා ඒ හා සමාන රටවල් තම මහාද්වීපයෙන් නිපදවන එවැනි කාබනික් පොහොර ආනයනය කිරීමට කිසි විටෙකත් ඉඩ නොදේ. ඒවායින් සමහරක් නව පාරිභෝගිකයින් විසින් ආනයනය කරන විට ක්ෂුද්‍ර ජීවීන් සඳහා දෛශික බවට පත්විය හැකිය. අද අප ලොව පුරා සිටින ලෝක ජනගහනය සැලකිය යුතු සංඛ්‍යාවක් විනාශ කරන වසංගතයකට මුහුණ දී සිටිමු. එබැවින් පොහොර වර්ග, ඔවුන් ක්ෂුද්‍ර ජීවීන් ප්‍රවාහනය කරන්නේ නම්, ආනයනකරුවන් ඉදිරියේ ඇති අන්තරාය, නව ආකාරයේ සෞඛ්‍ය ගැටලු පැතිරවිය හැකි නව ආකාරයේ ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාප්ත කිරීමට සැබවින්ම ඉහළ ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.