ලෝකයේ ජනරජය යන වදනෙන් දැක්වෙන “බලය ජනතාව විසින් දරනු ලැබේ” යන රටවල් 159 අතරින් – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය – ලොව තෙවනියට දිගම නම දරන රටයි. එහෙව් ජනරජයක පාලක පන්තියේ යහපත සඳහා පොදු ජනතාවට දුන් පොරොන්දු අතහැර දැමිය යුතුද? සිය මිතුරන් සෑම කෙනෙකුම සතුටු කිරීමට දහසය ලක්ෂ පනස් දහසක් වන ග්‍රාමීය ගොවි ජනතාව පිටු දැකිය හැකිද? මේ ලංකාවේ ආර්ථිකයේ පදනම වන ගොවීන් සහ ඔවුන්ගේ ජීවිතය පිළිබද කතාවයි. ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයින් කිසිදු සීමාවක් නොමැතිව සිය ඉඩම් වගා කිරීමේ නිදහස පිළිබඳ පොරොන්දු ඉටු කිරීම පසෙකලා, පාරට වැටී ඇති ගොවින් දරුණු අපරාධකාරයන් ලෙස සලකන විට ගොවියෙකු ලෙස හැඟෙන්නේ කෙසේද? මේ ඔබ දකින ගොවියාගේ සබැ කතාවයි.
ඔබ ඇමරිකානු පුරවැසියකුගේ ලංකා ගමන සමරන විට ගොවින් පාරවල් වල උද්ඝෝෂණය කරන්නේ ඇයිද යන්න ඔබ දැනගත යුතුය.
1. මම සහ පවුලේ පස් දෙනෙක් දිවි රැකගන්නේ අක්කරයට අඩු අප සතු කුඩා ඉඩමෙනි. එය ලෝකයේ ගොවියෙක් සතු අඩුම ඉඩම් ප්‍රමාණයයි. ලංකාවේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් සියයට 80 කට වඩා දායක වන්නේ මම වගේ සුළු ගොවින්. ඒ වගේම ලංකාවේ ජනගහනයෙන් සියයට 30 කට වඩා ඉන්නේ මම වගේ ගොවියෝ. ඒ අතර කුඹුරු ගොවිතැන් කරන, පොඩි තේ වතු කරන, කුරුදු වගා කරන අය ඉන්නවා. ඒ ඔක්කොම මම වගේ – රටටම කන්න දුන්නත් – අපේ දවසක අදායම රුපියල් ලැබෙන්නේ රුපියල් 400 ට අඩු ආදායමක්. ඒ කියන්නේ අපි ඔක්කොම ඉන්නේ ලෝකයේ දරිද්‍රතා මට්ටමට පහලින්. ඒ ඩොලර් දෙකට අඩු නිසා. ඒ වුනත්, කොළඹ ඉදන් හෝ පිටරට ඉදන් මගේ කතාව කියවන, ඔබට නොතිබිය හැකි විශාල හා තීරණාත්මක වගකීම් මට තිබේ: ලෝකයේ වැඩියෙන්ම බත් කන රටක ඒ කියන්නේ එක මනුස්සයෙන් අවුරුද්දකට සහල් කිලෝ 165 ක් පරිභෝජනය කරන ලංකාවේ ආහාර ස්වයංපෝෂිත වීමට හේතුව මායි. ඒ වගේම, ජීවිතේට ගොවිබිමක් දැක නැති කෘෂි ප්‍රතිපත්ති තීරකයින්ට අවශ්‍ය ආහාර වලින් සියයට 60ක්ම ලබා දෙන්නේ මමයි. කොරෝනා ආදී මොන වසංගත ආවත්, මම මගේ ගොවිකම නැවැත්තුවේ නැත. ඒ මගේ වගකීමයි. මා වැනි ගොවීන් මෙරටට වසරකට රුපියල් බිලියන 1,113 ක් ආර්ථික ආදායමක් ලබා දෙන අතර රුපියල් බිලියන 400 ක් පමණ වාර්ෂික අපනයන අදායමක් ලංකාවට ගෙනදෙයි. ඉතින් ලංකාවේ මිනිසුන් 4 දෙනෙක්ගෙන් එක කෙනෙක් මම වගේ ගොවියෙක්. ඡන්දදායකයෝ අට දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ම ගොවියෝ. ඉතින් ඡන්ද කාලෙට “මට මඩ සෝදාගෙන එන්න කියනව රජ වෙන්න“.
2. ඒ වුනත්, ලංකාවේ ආර්ථිකයේ මගේ දායකත්වය දැන් අඩු වෙලා කියල මහා බැංකුවේ ආර්ථික පණ්ඩිතයෝ කියනවනේ. නිදහස ගන්නකොට 50% විතර තිබ්බ කෘෂිකර්මයේ දායකත්වය දැන් 7% කට විතර අඩු වෙලාලු. එත් මිලියන 7 ක් ජනගහනයක් තිබ්බ ලංකාවේ සහල් වලින් විතරක් 75%ක් විතර ආනයන කරපු 1950 ගණන් වලට වඩා, සහලින් ස්වයංපෝෂිත – තුන් ගුණයකින් ලංකාවේ ජනගහනය වැඩි වීමට මගේ දායකත්වය ගැන ආර්ථික පණ්ඩිතයෝ දන්නේ නැතුව ඇති. ඒ එකකටම, මගේ ආදරණිය බිරිඳ ඉන්නේ මැදපෙරදිග, නුපුහුණු ගෘහ සේවිකාවක් විදියට. ලෝකේ වැඩියෙන්ම තරුණ අම්මලා තාවකාලික සංක්‍රමණිකයන් වෙලා ඉන්නේ ලංකාවේ. මගේ දරුවෝ දෙන්න වගේ මිලියන ගානක් දරුවන්ට ඒ අයගේ කුඩා කාලේ ඉන්න වෙන්නේ අම්මල නැතුව. ඒ අම්මලාගෙන් 80%ක් ගොවි පවුල් වල අය. ලංකාවේ ලොකු මහතුරුන්ට අලුත් වාහන ගෙන්න ඩොලර් හොයල දෙන්නේ මගේ නෝනා.
3. ආර්ථික පණ්ඩිතයන්ට අනුව, ලංකාව කියන්නේ ලෝකයේ මැදි ආදායම් සහිත සුරපුරක්. ආර්ථික වර්ධන වේගේ රොකට් වගේ උඩ යනවා. ඒ වුනත්, මට නම් ඔය කියන එක දෙයක් වත් ලැබිල නැත. ලංකාවේ ගොවියෝ ඔක්කොම ණයකාරයෝ. ඒ කියන්නේ ගොවිකමේ ආදායමෙන් 90% කම යන්නේ ගොවිකමේ වියදමටයි. ඉතුරු 10% න් තමයි, ලුණු ටිකේ ඉදන්, අඳින ඇදුම් වලටයි ළමයින්ගේ අධ්‍යාපනයටයි ඔක්කොටම තියෙන්නේ. ඒ වුනත්, අපියි මේ රටේ අනික් මිනිස්සුයි ජිවත් කරන්නේ අපි. එත් මේ ගමන යන්න ලංකාවට පුළුවන් වෙයිද? මේ අදායමෙන් අලුතින් කුඹුරක් ගොඩ කරන්නවත්, අලුතින් තාක්ෂණයක් මිලදී ගන්නවත් මට පුළුවන් කමක් නෑ. එදා වේල හොයාගන්න කරන දෙයකින් මොන ආයෝජනද?
4. ලෝකයේ වැඩිම සියදිවි නසාගැනීම් වාර්තාවන ලංකාවේ මා මෙන්ම ගොවිතැනට සම්බන්ධ පුද්ගලයින්ගේ සියදිවි නසා ගැනීම් බහුලය. එනම්, සියදිවි නසා ගන්නන්ගෙන් 83%ක්ම ගොවි පවුල් වල පුද්ගලයන්ය. ලංකාවේ ගොවියන් වන අපි ලෝකයේ වඩාත්ම දේශගුණික විපර්යාස වලින් බැට කන ජනතාවය. සෑම අවුරුද්දකම මගේ අදායම 25% ක් පමණ මේ නිසා විනාශ වන අතර, අපගේ ඉඩම් වලින් 50%ක් පමණ වසරකට දේශගුණික විපර්යාස නිසා ආදායම් නොලබන තත්වයකට පත්ව ඇත. ඒ වගේම, අලි පහර දීමෙන් මියයන මිනිස්සු 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ම ගොවීන්ය. අපේ ආදායමෙන් 20% පමණ වන සතුන් විනාශ කරයි.
5. මම රුපියල් 25 කට වෙළදපොලට දෙන කෘෂි නිපැයුමක්, මගේ භාණ්ඩය විකුණන මුදලාලි විකුණන්නේ රුපියල් 100 කටය. ඒ කියන්නේ රුපියල් 75 ක් ඔහුගේ ආදායමයි. මම අර රුපියල් 25න්, බීජය ගැනීමේ සිට අස්වැන්න නෙලීම දක්වා සියලු වියදම් දැරිය යුතුය.
ඉතින්, මේ ඔක්කොම ප්‍රශ්ණ තියෙද්දී, මම මේ වන විට ලොකු මහත්තුරුන්ට වස කවලා කියල ඒ අයගේ රුපවාහිනී වල කියනවා. ඒ අයට කාබනික ආහාර ඕනලු. ඒ හින්ද, පොහොර ටික නවත්තල. අවුරුදු ගානක් තිස්සේ දාපු පොහොර එක පාර වස වෙලා.
මගේ ගොවිතැන මේ වනකොටත් සියයට 50කින් විතර විනාශයි. කාබනික තියා, මේ අවුරුද්දේ ගෙදෙට්ට ඕනේ කෑම ටිකවත් හොයාගත්තේ නැත්තම් උකසට තිබ්බ පොඩි ඒකිගේ කරාඹු දෙක සින්න වෙයි.
ඉතින්, පාරට බැහැල කෑ ගහනවා හැරෙන්න වෙන මොන කරන්නද?