26 April, 2024

Blog

මහජනයාගේ දැවැන්ත ශක්තිය

එච්. එල්. සෙනෙවිරත්න

එච්. එල්. සෙනෙවිරත්න

එච්. එල්. සෙනෙවිරත්න

වර්තමාන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එහි දේශපාලනමය සහ ආර්ථික අතුපතර පිළිබඳ පුළුල් මට්ටමින් මාධ්‍ය සාකච්ඡා සිදුවී ඇත. ඒ තරමටම වැදගත්, එහෙත් යන්තමින්වත් අවධානය යොමු නොවූ පැතිකඩක් නම් සංස්කෘතිය සහ ආචාර ධර්ම පිළිබඳ අංශයයි. සමාජයේ මුල් බැසගත් හොඳ නරක පිළිබඳ විඥානය සහ  සදාචාරයට  සහ සාධාරණත්වයට දක්වන ගරුත්වය ඊට ඇතුලත් වේ. සරල පරිභෝජනය ඉහළින් අගය කිරීමත්  ඊට සමගාමීව අධික සුඛවිහරණය පිළිකුල් සහගතව දැකීමත් අප සමාජයේ ආවේනික ලක්ෂණ වේ. මෙම සිතුවිලි සහ සාරධර්ම ප්‍රධාන වශයෙන් ජනතාව අදහන විවිධ ආගම්වල හර පද්ධතියෙන් උරුම වන ඒවාය. සාමාන්‍යයෙන් මේවා සමාජ සංකීර්ණත්වය නිසා යටපත්වීම නිසා, සුළු කඩකිරීම් යම්කිසි ප්‍රමාණයකට නොසලකා හැරීමේ ප්‍රවනතාවක් මහජනයා තුල පැවතුනත්, පොදු හදිසි තත්වයක් පැන නැගුන අවස්ථාවලදී තම දැවැන්ත ශක්තිය පාවිච්චි කරමින් තීරණාත්මක  කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ජනයා පුබුදුවා ලීමට සමත්වේ.

එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ විසින් 1956 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් කළ අවස්ථාවට මඳ කලකට පසු නවකතා කරුවෙකු හා විද්වතෙකුවූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිබන්ධයේ පදනම වුයේ මේ කල්පනයයි. `බමුණු කුලයේ බිඳ වැටීම’ නමින් වූ එම නිබන්ධය සම්භාව්‍ය කෘතියක් බවට පත්විය. එම කෘතිය විසින් විමර්ශනයට භාජනය කරන සමාජ- දේශපාලනමය වාතාවරණය වර්තමාන තත්වයට බොහෝ සේ සමාන විය. ඥාතීන්ගෙන්, වංශිකයන්ගෙන් සහ හෙන්චයියලාගෙන් සමන්විත රාජපක්ෂ රෙජීමය, ප්‍රාග් 1956 යුගයේ ආකෘතියට සමාන්තරවූ සමාජ විද්‍යාත්මක  වශයෙන් නව බමුණු කුලයකි. වික්‍රමසිංහයන්ගේ උදාහරණ මගින් බොහෝ විට සඳහන් කෙරුනේ බහුතර සිංහල බෞද්ධයන් ගැන වුවත් ඔහු අදහස් කළේ ආගම් සහ ජාති භේද වලින් තොර රටේ සාමාන්‍ය ජනතාව බව පැහැදිලිය.

rajapaksa_llrc-report colombotelegraphවික්‍රමසිංහයන් සඳහන් කළ දේ සංක්ෂේපයෙන් මෙසේය: කෙතරම් වර්ධිත හෝ ප්‍රාග්තම වූවත් සියලු සංස්කෘති වටිනාකමින් එක හා සමානය.  මෙම සත්‍යය වටහා නොගැනීම නිසා 1956 ට පෙර බලය අත් පත් කරගෙන සිටි දේශපාලන පන්තිය  තමන් බටහිරින් උකහා ගෙන සිටි සංස්කෘතිය, දේශීය සංස්කෘතියට වඩා උසස්යයි විශ්වාස කළහ. මෙසේ දේශීය සංස්කෘතියට දැක්වූ  අවඥාසහගත ආකල්පය සහ මහජනතාව කෙරෙහි පෙන්වූ උඩගුබව නිසා ඔවුන්ගේ බරපතල කඩා වැටීමක් සිදු කරමින් 1956 දී ප්‍රතික්‍රියාවක් සිදුවිය. වික්‍රමසිංහයන්, බ්‍රිතාන්‍ය පාලනයේ මිත්‍රයෙකු නොවුවත් ඔහුගේ විවේචනය ඉලක්ක කළේ 1956 මැතිවරණයට දශකයට පෙර ඉවත්ව ගිය යටත් විජිතවාදී පාලකයන් නොවේ. යටත් විජිත සමයේ අවසාන භාගයේ සිටි වෘත්තිමය නිලධාරීන් දේශීය සංස්කෘතියට දක්වන ලද පිළිගැනීම වෙනුවෙන් ඔවුන් සම්බන්ධයෙන් යම්කිසි අන්දමක අගය කිරීමක් කළේය. ඔහුගේ නිර්දය  විවේචනය වුයේ බටහිර සංස්කෘතියේ සියුම් ලක්ෂණ අගය කිරීමට අසමත්වූ දේශීය අනුකරණය කරන්නන් ඉලක්ක කරගෙනය. මෙම පන්තිය බටහිර සංස්කෘතියෙන් උකහා ගෙන ඔවුන්ගේ අසභ්‍ය හැසිරීම් රටාවට අනුගත කර ගත්තේ ඉතාමත් නොගැඹුරු හා බාහිර ලක්ෂණයන් වූ උග්‍ර භෞතිකත්වයත් අපරිමිත පරිදි අභිලාෂයන් පිණවීමත්ය. ඔවුහු බලයෙන් හා සුරාවෙන් මත්වී සිටීම නිසා යථාර්ථයෙන් ඈත් වුහ. මෙම පංතියේ අධික වස්තුව හා සුඛවිහරණය හඹා යාම, ශතවර්ෂ ගණනක් තිස්සේ `මැදි පිළිවෙත’ට හුරුවී සිටි ජනතාවගේ සංවේදී බවට නුරුස්සන්නක් විය.  වික්‍රමසිංහයන්ගේ මතය අනුව, පොදුවේ ගත් කල, ඔවුන් කුඩු පට්ටම් වී යන අන්දමේ කඩා වැටීමට හේතු වුයේ 1956 ට පෙර පාලකයන් ජනතාවගේ සාර ධර්ම හා සංස්කෘතිකයට  සංවේදී නොවීමයි.

1956 විරුද්ධ පක්ෂය තම ප්‍රචාරණ ව්‍යාපාරයේදී බමුණු කුලයේ පිරිහීමේත් අසභ්‍ය බවේත් ප්‍රධාන තේමාව කර ගත්තේ ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැති වරයා විසින් පවත්වනු ලැබූ භෝජන සංග්‍රහයකි. භෝජන සංග්‍රහයේ ප්‍රධාන කෑම වර්ගය වුයේ බදින ලද වහුමස්ය.  මෙය, ශ්‍රී ලාංකික බහුතරය විසින් පිළිකුලෙන් සැලකුණ අතර  විරුද්ධ පක්ෂය  මෙය තම ප්‍රචාරණ ව්‍යාපාරයේ කැපී පෙනෙන ප්‍රධාන ආයුධය කර ගත්තේය. ඊට අමතරව, මැතිවරණය, කාරුණික බුදුන් වහන්සේ සහ දුෂ්ඨ මාරයා අතර යුද්ධය මාර යුද්ධය ලෙස නම් කරන තවත් ප්‍රචාරයක් දියත් කළේය. මෙම උද්යෝගිමත් විරෝධය වර්තමාන පොදු අපේක්ෂකයාගේ ව්‍යාපාරයට ආදර්ශයක් වූ බවක් පෙනෙන්නට තිබේ.

1956 ට පෙර අවධියේදී බමුණු කුලය තම විශේෂත්වය ආරෝපනය කර ගත්තේ බටහිර සංස්කෘතිය තුල ලබා  ගන්නා තත්වය මත වූ අතර වර්තමාන බමුණු කුලය තමන්ගේ විශේෂත්වය හුවා දක්වන්නේ `ත්‍රස්තවාදය පරාජය කිරීම මතය. ඒ සඳහා ගෞරවය වෙනත් උරුමක්කාරයන්ට නොදෙනවා පමණක් නොව ඔවුන්ට දඬුවම් පමුණුවමින් තමන්ට තනිකර පවරා ගනී. මේ ජයග්‍රහණය, කෑමට, බීමට විනෝද වීමට, හොඳින් හෝ නරකින් වස්තුව රැස් කර ගැනීමට,  දුප්පතුන් මත බදු බර පැටවීමට, ජාතික වත්කම් විකුණා දැමීමට, නිදහසේ කවර හෝ නීති විරෝධී දෙයක්  කිරීමට හා කිසිවෙකුගේ ප්‍රශ්ණ කිරීමකින් තොරව පොදුවේ අවශ්‍ය සැම දෙයක්  කිරීමට ලැබූ බලයක් සේ හුවා  දක්වති.

රාජපක්ෂ පාලනය, ප්‍රාග් 1956 බමුණු කුල සංස්කෘතියේ ඇතුලත්ව තිබුණු ස්වාධීන රාජ්‍ය සේවයක් හා අධිකරණයක් වැනි ධනාත්මක කිසිවක් නොව අසාධුම ලක්ෂණ වැළඳගෙන ඇත. මහජනයා මෝඩයන්ය යන අවඥා සහගත පරිකල්පනය ඇතුලත් රෙජීමයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවලිය දෙස හෙලන ඉතා ලුහුඬු බැල්මකින් වුවද පෙනී යන්නේ 1956 නැවත නිරූපනයක් සඳහා අවශ්‍ය සාධක රාශියක් තිබෙන බවය.

මද පමණින් මත්පැන් පානය කිරීම සහ ඉඳ හිට සුළු පරිමානයේ සූදු ක්‍රීඩාවක යෙදීම ගැන  සිංහල ජාතිකයන් දැඩි  අප්‍රසාදයක් නොතිබුන ද බුද්ධාගම අනුව ප්‍රතික්ෂේප කර තිබුන මත්පැන් වෙළඳාම සහ සංවිධානාත්මක සූදුව ගැන දැඩි පිළිකුලක් පැවතින. එසේම සාමාන්‍ය ගැමියා අධික කෝලය සහිත අයෙක් නොවුවද, බටහිර පන්නයේ සාමුහික නැටුම් හා කාන්තාව කාමුක ලෙස පිළිබිඹු කරන විනෝදය සඳහා වූ නැටුම් ගැන ඔහුගේ ප්‍රසාදයක් නොවීය. රෙජීමය මේ ගැන දැනුවත්ව සිටිමින්, `මතට තිත’ නමින් උද්යෝග පාඨයක් ප්‍රසිද්ධියට යොදා ගැනීමෙන් පෙනී යන පරිදි අනිසි ලෙස වාසි ලබා ගත්තේය. ඒ අතරම, හිතවතුන්ට අනුග්‍රහය ලබා දීමේ පියවරක් ලෙස පෙර රෙජිමයන් විසින් නොකළ ප්‍රමාණයට මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කර ඇත. මේ, මහා පරිමානයේ මත් කුඩු ජාවාරම් කාරයන්ට රැකවරණය ලබා දීමේ චෝදනාවලට අමතරවය.

කැසිනෝ මගින් මහා පරිමානයේ සුදු ක්‍රීඩාව පවත්වා ගෙනයාම රෙජීමයේ හිතවතුන්ට අනුග්‍රහය ලබාදීමේ සහ ආර්ථික සංවර්ධන සැලැස්මේ මුලික අංගයකි. රඟපාන නාට්‍යන්ගනාවන් යෙදවීම කැසිනෝ සංස්කෘතියේ වැදගත් අංගයකි. මේ සියල්ලටමා වඩා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ජනාධිපති පුත්‍රයෙකුට  අයත් සමාගමක් විසින් සංවිධානය කරනු ලබන රාත්‍රී මෝටර් රථ රේස් දකින්නට ලැබුණි. වාර්තා වන අන්දමට මේ හා එක්ව යන විනෝද සංදර්ශන සහිත රේස් තරඟයක් පුජනිය ස්ථානයක් වන දළදා මන්දිරය අසල පවත්වා ඇත. වික්‍රමසිංහයන්ගේ තර්කය නිවැරදි නම් මෙවැනි කෙලෙසීම් නිසා ගැමි ඡන්දදායකයන් බහුතරය අතර රෙජීමයේ කීර්තිය නැවත පිළියම් කළ නොහැකි තරමට පලුදු වනු ඇත. ප්‍රාග් 1956 බමුණු කුලය තීරණාත්මක ලෙස පරාජය වීමට හේතු වුයේ හුදෙක් මෙවැනි පැවතුම් වලට සම්බන්ධ වී සිටීම නිසාය

ප්‍රාග් 1956 බමුණු කුලය සම්බන්ධ මතකයන් සිහියට නංවන කරුණක් නම් රෙජීමයේ ප්‍රමුඛයන් විසින් කරන  අපහාසාත්මක ප්‍රකාශයන්ය. ඉතා මෑතදී සිදුවුවක් නම් උසස් අධ්‍යාපන  අමාත්‍යවරයා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයකි. වාර්තා අනුව, චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය නිරුවත් කර වීථි දිගේ ඇදගෙන යායුතුයයි ඇමතිවරයා ජනවාරි 8 වැනි දින රූපවාහිනියෙන් පවසා ඇත. රෞද්‍රකම හා  ද්වේශය අතින් මෙම ප්‍රකාශය මතක් කර දෙන්නේ 1956ට පෙර සිටි  ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිවරයා, දේශපාලනයට පිවිසෙන බෞද්ධ භික්ෂුන් තාර ගා හිටුවපස් ගසා පණපිටින් වැළලිය යුතු බවට වූ කුප්‍රසිද්ධ ප්‍රකාශයයි.

වික්‍රමසිංහයන්ගේ න්‍යාය අප විසින් පිළිගතහොත්, රෙජීමයේ සාරධර්ම සහ සංස්කෘතික ක්ෂේත්‍රවල ක්‍රියාවලිය  පමණක්ම පොදු විපක්ෂ අපේක්ෂකයාගේ පහසු ජයක් තහවුරු කිරීමට සමත් වනු ඇත. එපමණක් නොවේ. සමාජයීය සහ ආර්ථික කටයුතු හා විදේශ ප්‍රතිපත්තිය, පාලනය ආදිය පිලිබඳ රාජපක්ෂ රෙජීමයේ ක්‍රියාවලිය අසාර්ථක වූ අවස්ථා අපමණය. මැතිවරණ නීති, රාජ්‍ය සම්පත් අවභාවිතය, මාධ්‍ය ඒකාධිකාරයක් පවත්වා ගෙන යාම, විපක්ෂයේ ව්‍යාපාරයට අතවර කිරීම හා ඔවුන්ගේ ආචාරශීලී බව සහ සාධාරණත්වය ගැන වූ ඔවුන්ගේ වෙනත් ආචාර ධර්ම කෙලෙසන ක්‍රියා වලින් ඔබ්බට දැකීමට නොහැකිවන තරමට මහජනයාගේ ඇස්වලට වැලි ගැසිය හැකියයි විශ්වාස කළ නොහැකිය. ජාතිය, අනන්‍යතාවය සහ ජය උද්දාමය පිළිබඳ උද්යෝග පාඨ මගින් සීමිත කාලයකට ජනයා වසඟ කර ගැනීමට හැකි නමුත් සැමදාටම කළ නොහැකිය. බුද්ධ වචනය වුවත් විමසීමෙන් තොරව  සාමාන්‍ය ගැමියා පිළිනොගන්නා බවට වික්‍රමසිංහයන් කරන ප්‍රකාශයට යම්කිසි වටිනාකමක් දිය යුතුය.  අප සමාජයේ බෞද්ධ ඇදහීම් වල බොහෝදුරට පුදපූජාවලට ප්‍රමුඛත්වය දෙනු ලැබුවත් එහි ගැඹුරු හර පද්ධතිය තුලින් යම් බලපෑමක්‌ අදහන්නන් අතර පවතී. ඉහත සඳහන් සාධක සාමුහිකව ගත් කල, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොමැතිවීමේ අවදානම හැරෙන්නට, වර්තමාන බමුණුකුලයේ නායයාමක් වැනි බිඳ වැටීමක් සිදුවනු දැකීමට ආසන්න බවට සැකයක් නැත. යන්තමින් ලබන ජයග්‍රහණයක් වුවත් ජාතියක් වශයෙන් තෘප්තිමත් වීමට හේතුවකි. එයින් ගම්‍ය වන්නේ, අවශ්‍ය නම් සෑම මැතිවරණයක් පාසා, තම පාලකයන් වෙනස් කිරීමේ අයිතිය තෝරා ගත් රජය විසින් පුරවැසියන්ට පවරා ඇති බව සහ මෑත ඉතිහාසය නොමග යාමක් හෝ නපුරූ සිහිනයක් බවය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.