23 April, 2024

Blog

රාජපක්ෂ වියරුවෙන්: එජාප

ජනවාරි 08 වෙනි දින ලබන නියත පරාජයෙන් වියරු වැටී සිටින රාජපක්ෂ රෙජීමය කොක්කෙන් හෝ කෙක්කෙන් මැතිවරණය ජය ගැනුමට බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටිති. එම තත්ත්වය කෙතරම් ද කියතොත් රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා ඉතා බරපතල ලෙස තම බලය අත්තනෝමතික ආකාරයෙන් නිර්ලජ්ජිතව මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොදා ගනිමින් ඇත. මැතිවරණ නීති තඹයකට මායිම් නොකරමින් “ඡන්ද දන්සැල්” පවත්වමින් වැඩ ඇල්ලූ රාජපක්ෂ මහතා හදිසියේ “වෙස්සන්තර” චරිතයට පණ පොවමින්, සිල් රෙද්දේ සිට රෙදි සෝදන මැෂිම දක්වා අඩුම කුඩුම අද ජනතාවට බෙදමින් සිටී. මේ ආකාරයෙන් “අල්ලස්” ලබා දීම රටේ මැතිවරණ නීතියට පටහැනි බව ට නීතිඥයෙකු වන එතුමා නොදන්නවා යැයි අප නොසිතමු. අල්ලස් ලබා දීමට අමතරව බලහත්කාරය ද අඩුවකින් තොරව මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය තුල දැකගත හැකි ය.

Mahinda Hitlerමේ වන විට ජනතා බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍යන්හි තත්ත්වය අතිශයින් ම කණගාටුදායක ය. අද රාජ්‍ය මාධ්‍ය ආයතනවලින් ගෙන යනු ලබන ජනතාවගේ බුද්ධියට නිගා දෙන ප්‍රචාර සැබැවින්ම ජුගුප්සාජනකය. රාජ්‍ය මාධ්‍ය ආයතන හා තමන්ගේ නිල නොවන පාලනය යටතේ ඇති සියළු මාධ්‍ය ආයතන උපයෝගී කර ගනිමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයක් මේ මොහොතේ දී රාජපක්ෂ පාලනය දියත් කරමින් සිටිති. රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ බංකොලොත් භාවය තව දුරටත් ප්‍රදර්ශනය කරමින් යළි යුද්ධය, තම බල දේශපාලනික අවශ්‍යතාව වෙනුවෙන් නිර්ලජ්ජිතව විකුණමින් ඇත. කදුළු පමණක් පෙන්වමින් , ආබාධිත සෙබළුන්, ඡන්ද බලය නොමැති පාසල් ළමුන්, තම දුෂ්ට දේශපාලන උවමනාවන් උදෙසා අමු අමුවේ ඔවුන් පාවිච්චි කරමින් සිටිති. එහි කූටප්‍රාප්ති අවස්ථාව දැන් එළඹ තිබේ. රාජ්‍ය බලහත්කාරය පෙන්වමින් පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය ඔස්සේ “යුද්ධය” පිළිබද මතක යළි සිහිපත් කිරීමේ නින්දිත උත්සාහයක රජය නිරත විය.

සැබැවින්ම, මිනීමරු කොටි ත්‍රස්තවාදීන් සමග අද හෙළුවෙන් එක පෙලට සිටගෙන සිටිනුයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ය. ප්‍රභාකරන්ගේ මරණයෙන් අනතුරුව එල්.ටී.ටී.ඊ යේ නායකත්වයට පත් වු කුමරන් පත්මනාදන් අද සිටිනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ය. ශ්‍රී දළදා මාළිගාව වැනසීමට මෙන්ම, මහ බැංකු ප්‍රහාරය, කටුනායක ප්‍රහාරය, ඔරුගොඩවත්ත තෙල් සංකිර්ණයට එල්ල කළ ප්‍රහාරය, මරදාන බෝම්බය, පිටකොටුව බෝම්බය ආදී එල්.ටී.ටී.ඊ යේ මෙහෙයවීමෙන් දකුණේ සිදු වූ සෑම මිලේච්ඡ ක්‍රියාවකට ම අවශ්‍ය අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, විදේශියන් හි සිට මෙරටට එවනු ලැබුවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ජාලයේ ජාත්‍යන්තර ප්‍රධානියා හා අවි සැපයුම්කරුවා ලෙස කටයුතු කළ කේ.පී නොහොත් කුමරන් පද්මනාදන් ය. ඒ, කේ.පී අද රජයේ ආරක්ෂාව යටතේ සියළු වරදාන වරප්‍රසාද භුක්ති විදිමින්, මහින්ද රාජපක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් කිලිනොච්චියේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටී. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාව උත්කර්ශයට නැංවීම වෙනුවෙන් පසුගිය දා ප්‍රදර්ශනය කරන ලද ඒ,  චිත්‍රපටියේ ප්‍රධාන නළුවන් වූ බොහෝ දෙනෙකු දෛවයේ සරදමකට මෙන් අද සිට ගෙන සිටිනුයේ රාජපක්ෂ රෙජීමය සමග ය.

සැබැවින්ම එම චිත්‍රපටය වත්මන් ජනාධිපතිවරයාට හා රජයට පාරා වළල්ලක් මය. 1985 මැයි 14 වෙනි දා බෞද්ධ බැතිමතුන් 129 දෙනෙකු අමු අමුවේ මරා දැමූ ජය ශ්‍රී මහා බෝධි ප්‍රහාරය, 1987 පෙබරවාරි 07 වැනිදා සිදු වූ සුප්‍රකට අරන්තලා භික්ෂු සංහාරය ට වගකිව යුතු,  1990 ජූනි 11 වැනි දා වාලච්චනේ තිරුක්කෝවිල් කැලයේ දී අමු අමුවේ නැගෙනහිර පළාතේ නිරායුධ පොලිස් නිලධාරීන් හයසියක් මරා දැමූ, 1998 ජනවාරි 25 දින බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බදු ශ්‍රී දලදා මන්දිරයට බෝම්බ ගසමින් 11 දෙනෙකු මරා දැමූ ඒ ආකාරයේ අති මහත් විනාශයක් සිදු කළ කරුණා අම්මාන්, වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. එපමණක් ද නොව ඔහු, පංච මහා බලවේගයේ ප්‍රකාශනයක් යැයි කියන ශ්‍රී.ල.නි.ප යේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකි.  එල්.ටී.ටී.ඊ යේ නැගෙනහිර පරාජයෙන් අනතුරුව යාල වනයට පසු බැස රන්මිනිතැන්න, බුත්තල ඇතුලු ප්‍රදේශ රැසක අහිංසක ගම් වැසියන් මරා දැමූ, රාම් හා නගුලන් ද අද මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ දැති රෝද බවට පත් ව තිබේ. වත්මන් රජය සමග ගොනු වී සිටින භයානක ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුව ඉන් නතර නොවේ. දයා මාස්ටර්, පිල්ලෙයාන්, වැනි ලේ පිපාසිත ත්‍රස්තයන් ද අද පෙළ ගැසී සිටිනුයේ දේශප්‍රේමීත්වය හා ඩයස්පෝරාවේ අවලාද ගැන පැය 24 ම නන් දොඩවන රාජපක්ෂ රෙජීමය සමග ය.  ඊට සාපේක්ෂව බලන විට මේ රටට ආදරය කරන, තම දේශප්‍රේමීත්වය ප්‍රායෝගිකව ඔප්පු කළ, සියළු බලවේග අද පෙලගැසී සිටිනුයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමගය.

යුද ජයග්‍රහණය මහ පොළොවේ ඇත්තක් බවට පත් කරමින්, ඊට අවශ්‍ය හමුදා නායකත්වය ලබා දුන් සරත් ෆොන්සේකා මහතා මෙන්ම, එයට මතවාදීමය නායකත්වය සැපයූ ජාතික හෙළ උරුමය ද ජනාධිපතිවරණයේ දී නියෝජනය කරනුයේ මෛත්‍රීපාල කඳවුර ය. මෙරට මධ්‍යස්ථ භික්ෂු නායකත්වයේ ඉදිරි පෙළ නායකයෙකු වන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ සහාය ද හිමිව ඇත්තේ එයට ය.

අනෙක් අතට,  සිංහල බෞද්ධ සංවිධාන , ප්‍රධාන පෙළේ සිංහල බෞද්ධ නායකයන්, දේශප්‍රේමී බලවේග රැසක් එම කඳවුර ශක්තිමත් කරමින් සිටිති. එවැනි සන්දර්භයක දී යුද්ධය තම දුෂ්ට බලදේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් විකිණීමේ කිසිදු සදාචාරාත්මක හැකියාවක් රාජපක්ෂ රෙජීමයට තවත් නොමැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වටා ගොනුව සිටින මෙම බලවේග දෙස ප්‍රවේශමෙන් බැලීමෙන් ම සැබෑ දේශප්‍රේමීයා හා ත්‍රස්තවාදියා කවුරුන්ද යන්න ජනතාවට පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.

රජය හා ඊට සම්බන්ධ ප්‍රධානීන් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, පැහැදිලිව ම මැතිවරණ කොමසාරිස්වරයාට කරන අපහාසයකි. එය අප තේරුම් ගත යුත්තේ පවතින ඒකාධිපති වියරුවේ ප්‍රකාශනයක් ලෙසටය. එය රට තුල ඇති දේශපාලන අධමත්වයේ ප්‍රකාශනයකි. අප වෙනස් කළ යුත්තේ මේ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය ය. ජනතාවට අවැසි ඒ වෙනස සිදු කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සපථ වී ඇත. ඊට රටේ සෑම කොණකින් ම ජාති කුල මල ආගම් භේදයකින් තොරව සුවිශාල ප්‍රතිචාරයක් හිමිව තිබේ. ගල්මුල් ප්‍රහාරවලින්, වෙඩි තැබීම්වලින්, බොරු අවලාදවලින් ඒ ගමන නතර කළ හැකි යැයි යමෙකු සිතන්නේ නම්, එය ඔහු කර ගන්නා විශාල අත් වැරැද්දකි. හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ අඳුර හා ආලෝකය අතර ඇති වෙනස ජනතාව අද තේරුම් ගෙන ඇත. යුග පෙරළියකට ජනතාව දැන් සූදානම් ය. ඒ තීන්දුව දැනටමත් ඔවුන් තීරණය කර හමාර ය. තම මතය ප්‍රකාශ කිරීමට ජනවාරි 08 වැනිදා උදා වෙන තෙක් ජනතාව අද නොඉවසිල්ලෙන් යුතුව බලා සිටිනුයේ එබැවිනි.

*එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය -2015 ජනවාරි 04

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.