25 April, 2024

Blog

දෘෂ්ටිවාදය හා දේශපාලනය: 1983න් පසු ලංකාව තේරුම් ගැනීමට බුද්ධිමය වෑයමක්

නිර්මාල් රංජිත් දේවසිරි

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

දෘෂ්ටිවාදය හා දේශපාලනය: 1983න් පසු ලංකාව තේරුම් ගැනීමට බුද්ධිමය වෑයමක් – නිව්ටන් ගුණසිංහ සමරු දේශනය- 2015 මාර්තු 16

පළමුවෙන්ම, නිව්ටන් ගුණසිංහ අනුස්මරණ දේශනය පැවැත්වීමේ වරප‍්‍රසාදය මට හිමිකර දීම සම්බන්ධයෙන් සංවිධායකයින්ට ස්තූතිවන්ත වෙමින් මගේ කතාව පටන් ගැනීමට කැමතියි.

මා නිව්ටන් ගුණසිංහ හඳුනාගන්නේ 1980 ගණන් වල මැද දී මා කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණ ලංකාවේ වාම දේශපාලනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා වකවානුවේ දීය. ඔහු එවකට ලංකාවේ වාම දෙශපාලන කඳවුරේ සිටි බුද්ධිමය දැවැන්තයෙක් විය. එවකට ලංකාවේ රැුඩිකල් වාමාංශික කඳවුර තුළ සිටි සම්ප‍්‍රදායික වාමාංශික පරිකල්පනයෙන් ඔබ්බට ගොස් වාමාංශික දේශපාලනය ගැන සිතීමට උත්සාහ කළ කුඩා ක‍්‍රියාකාරී කණ්ඩායමට නිව්ටන් බුද්ධිමය පහන් ටැඹක් විය. මගේ වාසනාවට ඒ මට ද ඒ කුඩා කණ්ඩායමේ පරිවාරයේ සිට වුව, කේන්ද්‍රයත් සමග ගණුදෙණු කරමින් ම ඒ කුඩා කණ්ඩායම දේශපාලන වශයෙන් ඇසුරු කිරීමේ හැකියාව ලැබුණි.

මට ප‍්‍රථම වතාවට අන්තෝනියෝ ග‍්‍රාම්ෂ්චි සහ ලූයී අල්තූසර් යන නම් දෙක අසන්නට ලැබුණේ නිව්ටන් ගුණසිංහ හරහා ය. ඇත්ත වශයෙන්ම මේ නම් දෙක අප වෙත පැමිණීම වාමාංශික චින්තනය සම්බන්ධයෙන් ගත්කළ විප්ලවීය හැරවුමක් විය. දේශපාලනය සහ දෘෂ්ටිවාදය අතර තීරණාත්මක සම්බන්ධය රැුඩිකල් වාමාංශික දේශපාලනයේ ගැටලූවක් ලෙස තේරුම් ගැනීමට අපට මේ ආරම්භක අවදියේදී හැකියාව ලැබෙන්නේ මේ චින්තකයින් දෙදෙනා හරහාය. පසුව දීප්ති කුමාර ගුණරත්න හරහා අප වෙත පැමිණෙන මිචෙල් ෆූකෝ, ෂාක් ලකොන් සහ ෂාක් ඩෙරිඩා හරහා මේ නව රැුඩිකල් වාමාංශික කතිකාව තව දුරටත් තියුණු කිරීමට හැකියාව ලැබේ.

නිව්ටන් ගුණසිංහ සහ 80 දශකයේ මැද වාමාංශික කතිකාව

නිව්ටන් ගුණසිංහ විසින් යෝජිත විචාරාත්මක කතිකාව තුළින් බැලීමේ දී 1985 මැද වනවිට රැුඩිකල් වාමාංශය ඉදිරියේ මූලික වශයෙන්ම බුද්ධිමය වශයෙන් නිරාකරණය කරගත යුතුව තිබූ දේශපාලන අභියෝග දෙකක් තිබුණී. එකක් නම් ලංකා සමසමාජ පක්ෂයත් සමග ඇරඹි වාමාංශික ව්‍යාපාරයේ දේශපාලන අවසානය පිළිබඳ ගැටලූවයි. මෙය තීරණාත්මක සිදුවීම් දෙකක් මගින් සලකුණු විය. පළමු වැන්න 1977 දී වාමාංශික දේශපාලන පක්ෂ ලැබූ තීරණාත්මක මැතිවරණ පරාජයයි. දෙවැන්න මෙම වාමාංශික පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලැබූ 1980 මහා වැඩවර්ජනය පරාජයට පත්වීමයි.

ආචාර්ය නිව්ටන් ගුණසිංහ

ආචාර්ය නිව්ටන් ගුණසිංහ

ඇත්ත වශයෙන්ම පැරණි වාමාංශයේ බිඳවැටීමේ ආරම්භය සලකුණු වූයේ 1953 හර්තාලය සමග බව මගේ අදහසයි. ඒ සිදුවීම පැරණි වාමාංශයේ දේශපාලන සීමාව සලකුණු කළේය. ඉන් පසුව අපිට දැකිය හැක්කේ වාමාංශික පක්ෂ දේශපාලන ක‍්‍රමය තුළ ඉෂ්ට කරනු ලබන කාර්යභාරය ක‍්‍රමාණුකූල ලෙස වියැකී යාමයි. කෙසේ වෙතත් මේ කරුණ වෙනම සාකච්ඡුා කළ යුත්තකි.

දෙවෙනි අභියෝගය වූයේ පැරණි වාමාංශයේ දේශපාලන වියැකීයාමට සමාන්තරව මතු වූ නව වාමාංශයේ ප‍්‍රමුඛ සහ වඩාත් බලපෑම් සහගත ප‍්‍රකාශනය වන ජනතා විමුක්ති පෙරමුණ සිංහල-බෞද්ධ ජාතිකවාදය සමඟ සම්මුතිගත වීමයි. මේ සම්මුතිගත වීමට 1983 ජූලි සිදුවීම් වලින් පසු මතුවන නව දේශපාලන සංදර්භය තුළ විශේෂ වැදගත්කමක් ලැබේ.

නිව්ටන් ගුණසිංහ අභියස තිබූ ප‍්‍රමුඛ බුද්ධිමය අභියෝගය වූයේ මෙම නව තත්වය සංකල්පගත කරන්නේ කෙසේද සහ මේ නව තත්වය තුළ රැුඩිකල් දේශපාලන විකල්පයක් පිළිබඳ කතිකාව ස්ථානගත කරන්නේ කෙසේද යන්නයි. නිව්ටන් ගුණසිංහ විසින් අන්තෝනියෝ ග‍්‍රාම්ෂ්චි සහ ලූයී අල්තූසර් භාවිත කරනු ලබන්නේ මේ නව තත්වය තේරුම් කිරීම සඳහාය.

මා මෙම දේශනයේ ඉතිරි කොටසින් උත්සාහ කරන්නේ නිව්ටන් ගුණසිංහ විසින් තම ප‍්‍රමුඛ බුද්ධිමය-දේශපාලන අභියෝගය ලෙස සැලකූ පශ්චාත්-83 ජූලි අවධිය පිළිබද අවලොකනයක් කිරීමටයි.

1983 ජූලි

1983 ජූලි යනු ලංකාවේ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයකි. එය එසේ වන්නේ, සාමාන්‍යයෙන් 83 ජූලි පිළිබඳව, විශේෂයෙන්ම දෙමළ ජනයා පිළිබඳ සහවේදනාවෙන් කතා කරන, ලිබරල් හා වාමාංශික කොටස් වල දෘෂ්ඨිපථ ලක්ෂයේ සිට බැලීමෙන් පමණක් ම නොවේ, සාමාන්‍යයෙන් 83 ජූලි අමතක කර දැමිය යුතු හෝ, වඩාත් නිවැරදිව කියන්නේනම් නොසිදුවීමක් ලෙස සැලකීමට කැමති සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිපථ ලක්ෂයේ සිට සලකා බැලූවත් මෙය වැදගත් කඩ ඉමකි.

අපගේ සාකච්ඡුාවේ පහසුව සඳහා පශ්චාත්-83 දේශපාලනය කතිකාවන් දෙකක් අතර ගැටුමක් මගින් නීර්ණය වූ කතිකාමය අඩවියක් ලෙස හඳුනා ගනිමු. එම කතිකාවන් දෙක වන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදය සහ සිංහල-බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාමය කඳවුරයි. සාමාන්‍යයෙන් පිළිගැනීම වන්නේ පශ්චාත්-83 තත්වය අභියෝගාත්මක එකක් වූයේ සිංහල-බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාමය කඳවුරට බවයි. නමුත් මගේ අදහස වන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරටත් මෙම තත්වය අභියෝගාත්මක එකක් වූ බවයි.

සිංහල-බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාමය කඳවුර සම්බන්ධව ගත්කළ පශ්චාත්-83 තත්වය අභියෝගාත්මක වූයේ මන්ද යන්න අතිශයින් පැහැදිළිය. එම අභියෝගය නම් පශ්චාත්-යටත්විජිත ලංකාවේ තීරණාත්මක දේශපාලන ජන කොට්ඨාශය වන සිංහල-බෞද්ධ දකුණේ අධිපති දෘෂ්ටිවාදය තුළ සුජාතභාවයක් ලැබීමට මෙම සිංහල-බෞද්ධ ජාතිකවාදයේ කේන්ද්‍රීය අභිලාෂවලට අනුගත වීම අනිවාර්යතාවයක් වීමයි. එසේ අනුගත නොවන සෑම දේශපාලන කණඩායමක්ම සිංහල-බෞද්ධ දකුණේ දෙශපාලන භූමියෙන් අතුගෑවි යාමේ ඉරණමට මූණ පා සිටියේය. ඇත්ත වශයෙන්ම, එහි මාක්ස්වාදී අක්තපත‍්‍රය නිසා ප‍්‍රකාශිත වශයෙන් ජාතිකවාදය වැළඳ ගැනීමට නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණට ද දේශපාලන භූමිය තුළ රැුඳී සිටීමට සිංහල-බෞද්ධ ජාතිකවාදය සමඟ අසීරු සංධානයකට එළඹීමට සිදුවී තිබුණේ එබැවිණි.

කෙසේ වෙතත් අප මෙහිදී වඩාත් තියුණු ලෙස සලකා බැලිය යුත්තේ සිංහළ-බෞද්ධ ජාතිකවාදී කඳවුරට මෙම පශ්චාත්-83 තත්වය අභියෝගාත්මක එකක් වූයේ මන්ද යන්නයි.

1983 ජූලි සිදුවීම් එක්තරා අතකින් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ම ප‍්‍රතිඵලයක් වූ අතරම, අනෙක් අතට සිංහල-බෞද්ධ ජාතිකවාදයට අභියෝගයක්ද වීය. සිංහල-බෞද්ධ ජාතිකවාදී මනඃඍෂ්ටිය මුහුණ දුන් සහ තවමත් මුහුණ දෙන තීරණාත්මක අභියෝගයක් වන්නේ එහි ප‍්‍රධාන සංඝඨකය(ක්) වන සම්භාව්‍ය බොද්ධ චින්තනයේ අඩංගු විශ්වීය මෙන්ම අවිහිංසාවාදී ප‍්‍රවේශය සහ සිංහල-බෞද්ධ ජාතිකවාදය වර්තමානයේ මුහුණදෙන දේශපාලන අභියෝග අතර සංහිඳියාවක් ඇතිකරගන්නේ කෙසේද යන්නයි. මෙම ව්‍යායාමය බෙහෙවින්ම උභතෝකෝටිකමය එකක් වන්නේ වර්තමාන සිංහල-බෞද්ධ ජාතිකවාදී දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීමේ පැත්තෙන් ගත් කළ කිසියම් ප‍්‍රඩණ්ඩකාරී හැසිරීමක් ඉල්ලා සිටින බැවිණි. 1983 ජූලි සිදුවීම් සහ ඉන් පසුව තීව්ර වූ දෙමළ සන්නද්ධ සටන්කාමීන් සහ සිංහල-බෞද්ධ ජනයාගේ දේශපාලන හා දෘෂ්ටිවාදී සහයෝගය මත මූලික වශයෙන්ම පදනම් වූ රාජ්‍යය අතර ඝට්ඨනය විසින් මෙම ගැටලූව ප‍්‍රමුඛ එකක් බවට පත්විය.

විශේෂයෙන් මේ ගැටලූව මුල්කරගෙන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ විවේචකයින් සිංහල-බෞද්ධ ජාතිකවාදයට විරුද්ධය අති ප‍්‍රබල බුද්ධිමය සහ දේශපාලන ප‍්‍රහාරයක් දියත් කර තිබුණි. මා දකින ආකාරයට මෙම සිංහල-බෞද්ධ ජාතිකවාද විරෝධී ප‍්‍රති කතිකාවේ තිබූ මූලික ආචාරධාර්මික සීමාවක් වූයේ සිංහල-බෞද්ධ ජාතිකවාදී මනස වෙත සහවේදනාවකින් යුක්තව බැලීමට තිබූ නොහැකියාවයි. කෙසේ වෙතත් එම නොහැකියාව සවිඥානික එකකට වඩා ව්‍යුහාත්මක අවශ්‍යතාවයක් බවට පත්වී තිබූ නොහැකියාවක් යැයි කීමට පුළුවන. එවැනි සහවේදනාවක් සහිත කතිකාවක සඳහා ඇත්ත වශයෙන්ම හැකියාවක් පැවැතියද යන්න සිතා බැලීමේදී මට අපූරු සිදුවීමක සිතට නැගේ. එම සිදුවීම මෙහිදී සඳහන් කිරීම වැදගත් වන්නේ අපගේ කතා නායකයාත් එහි කොටස් කරුවෙක් නිසාය.

1984 දී එනම් පශ්චාත් 83 ජූලි සංධර්භය තුළ හටගත් අතිශයින් වැදගත් දෘෂ්ටිවාදී සංසිද්ධියක් වූ ප‍්‍රකට ‘‘සංස්කෘතිය පිළිබඳ ‘දිවයින’ විවාදය’’ [1] අතර තුර එවකට තවමත් අන්ත සිංහල-බෞද්ධ ජාතකවාදියකු බවට පත්වී නොතිබුණු ආචාර්ය නලින් ද සිල්වා අදාළ විවාදයට තුඩුදුන් මහජන පුස්තකාලයේ සම්මන්ත‍්‍රණය අරභයා අපූරු ප‍්‍රකාශයක් කළේය. අදාල ලේඛනය මේ අවස්ථාවේදී සපයා ගැනීමට දුෂ්කර නිසා එය මට මතක හැටියට වාර්තා කරමි. ඒ මෙසේය:

‘‘මේ සම්මන්ත‍්‍රණය සඳහා යොදාගෙන ඇති මාතෘකාවම වැරදිය. ප‍්‍රශ්නය ඇසිය යුතුව තිබුණේ ‘සිංහලයාට ශ්‍රේෂ්ට සංස්කෘතියක් තිබේද?’ යනුවෙන් නොව, සිංහලයාට ශ්‍රේෂ්ට සංස්කෘතියක් තිබේ, එහෙත් එම සංස්කෘතිය වෙනත් ජනකොට්ඨාශ මත බලෙන් පැටවීමට යාම අයහපත්ය යනුවෙනි. එසේ වුවත් ප‍්‍රශ්නය මේ ආකාරයේන් මතුකරන පිරිස්වලට සිංහල ජනයා වෙත එම පණිවිඩය ගෙනයා හැකි යැයි මම නොසිතමි.’’

මෙම ප‍්‍රකාශයට සම්මන්ත‍්‍රණයේ බුද්ධිමය අරමුණ පැත්තෙන් ගත්කළ සාධාරණ පිළිතුරක් දීමට හැකි වුව ද, ඒ මොහොතේ පැවැති දේශපාලන සංදර්භය තුළ මේ ප‍්‍රකාශය මගින් යෝජිත දේශපාලන ස්ථාවරය සලකා බැලිය යුතුව තිබුණි. කෙසේ වෙතත් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ විවේචකයින් ඒ අවස්ථවේ නලින් ද සිල්වාගේ මේ ප‍්‍රවේශය සාධනීය ලෙස සලකා බැළුවේ නැත. වෙනෙකක් තබා මෙම දිවයින විවාදය පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කරනු ලැබූ සෙරීනා තෙන්නකොන් විසින් පවා මේ පිළිබඳව අවධානය කර නොතිබුණි.

කෙසේ වෙතත් ගැටලූව තව දුරටත් සංකීර්ණ වන්නේ ආචාර්ය නලින් ස සිල්වා මහතාට පවා එම ස්ථාවරය වැඩි කාලයක් දරා සිටීමට නොහැකි වූවා ය යන කරුණ සැලකිල්ලට ගන්නා විටයි.

කෙසේ වෙතත් මා මෙහි දී විශේෂයෙන් අවධානයට ලක් කරන්නේ 83 ජූලි සිදුවීම් මගින් සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාව සසළ කිරීම සිදු කෙරුණේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳවයි. එක් අතකින් සිංහල-බෞද්ධ ජාතිකවාදය මගින් මූලික වශයෙන් උත්සාහ දරනු ලැබුවේ මේ සිදුවීම සහ සිංහල-බෞද්ධ ජාතිකවාදය අතර සම්බන්ධයක් නොමැති බව අවධාරණය කිරීමටයි. කෙසේ වෙතත් මෙම උත්සාහය මුළුමනින්ම සාර්ථක එකක් වූයේ නැත. විශේෂයෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ කතිකාව තුළින් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සදාචාරාත්මක අක්තපත‍්‍රය තදින් ප‍්‍රශ්න කරනු ලැබූ තත්වයක් තුළ ජාතිකවාදී කතිකාව කිසියම් සෙලවීමකට ලක්වී තිබුණු බව පෙනේ. මේ සෙළවීම හොඳින් පෙන්වන සංසිද්ධියක් අපට මේ දිනවල නිරීක්ෂණය කළ හැක. එනම් මේ දිනවල සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය වන ‘මහරජ ගැමුණු’ චිත‍්‍රපටය සහ එම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා විසින්ම චිත‍්‍රපටයේ තිරනාටකය පදනම් කරගෙන රචනා කරන ලද නවකතාව හරහාය.[2]

මෙම කෘතිය එක්තරා ආකාරයකින් 1983 ජූලි සිදුවීම් වලට පසුව ගණනාත් ඔබේසේකර විසින් සිංහල-බෞද්ධ හෘද සාක්ෂ්‍යය අරභයා මතුකරනු ලැබූ සුප‍්‍රකට පැනයට පිළිතුරක් ලෙස සැලකිය හැක (Obeyesekera, 1988). මෙම කෘතිද්වය මගින් මූලික වශයෙන් උත්සාහ කරන්නේ ප‍්‍රමුඛතම සිංහල-බෞද්ධ ඓතිහාසික පුරාවෘත්තමය වීරවරයා වන ‘දුටුගැමුණු’ වර්තමාන සිංහල-බෞද්ධ මනඃඍෂ්ටියට ගැලපෙන ලෙස පුනරුත්ථාපනය කොට ඉදිරිපත් කිරීමයි.

මෙම කෘතිද්වය තුළ අපට හමුවන දුටුගැමුණු සහ එළාර මහාවංශය තුළ අපට හමුවන දුටුගැමුණු සහ එළාරට මුළුමනින්ම ප‍්‍රතිවිරුද්ධ වේ. මහාවංශය තුළ අපට හමුවෙන්නේ යුධ ජයග‍්‍රහණයෙන් පසු වරදකාරී හැඟීම නිසා පශ්චාත්තාපයට පත්වී සිටින දුටුගැමුණු කෙනෙකි. නමුත් ජයන්ත චන්ද්‍රසිරිගේ කෘතියේ එන දුටුගැමුණු තුළ එවැනි වරදකාරිත්වයක් දක්නට ලැබෙන්නේ නැත. ඊට ප‍්‍රතිවිරුද්ධ ලෙස වරදකාරිත්වය දක්නට ලැබෙන්නේ එළාර තුළයි. තමන් ලංකාව ආක‍්‍රමණය කිරීම මගින් වරදක් කර ඇති බවත් සිංහලයා යහපත නියෝජනය කරන බවත්, දුටුගැමුණු එම යහපත බවේ ප‍්‍රතිමූර්තිය බවත් එළාර හොඳින් දනී. එළාර ද යහපත් ගතිවවින් යුත් මනුෂ්‍යයෙක් වුව ද බලකාමියෙකි. නමුත් දුටුගැමුණු එවැන්නෙක් නොවේ. ඔහු එළාරට වඩා සදාචාරත්මක වශයෙන් උත්තරීතර වන අතර එළාර ද එය හොඳින්ම දනී.

මගේ යෝජනාව වන්නේ මෙම ප‍්‍රතිනිර්මාණිත දුටුගැමුණු සහ එළාර වර්තමාන සිංහල-බෞද්ධ මනඃඍෂ්ටියට ගැලපෙන පරිදි කරන ලද ගොඩනැංවීමක් බවයි. මෙම ගොඩනැංවීම 1983 ජූලි වලින් පසු සිංහල-බෞද්ධ ජාතිකවාදයට එල්ල වූ ප‍්‍රහාර වලට එරෙහිව මතු වූ ප‍්‍රති කතිකාවේ මස්තකප‍්‍රාප්තිය ලෙස හැඳින්විය හැකිය. මෙම ප‍්‍රති කතිකාව බිහිවූයේ 1983 ජූලි වලට පසුව සිංහල-බෞද්ධ ජාතිකවාදයට එල්ල වූ බුද්ධිමය ප‍්‍රහාරයට විරුද්ධය ප‍්‍රති-ප‍්‍රහාර එල්ල කළ බුද්ධිමය කතිකාව තුළින්. විශේෂයෙන්ම නලින් ද සිල්වා සහ එල්ලාවල මෙධානන්ද හිමි යන අයගෙ බුද්ධිමය මැදිහත්වීම් තුළ දැකිය හැකිය (ද සිල්වා, 2010, මෙධානන්ද, 2006).

පශ්චාත්-83 ජූලි අවධියේ දේශපාලනය සහ දෘෂ්ටිවාදය

පශ්චාත් 83 ජූලි අවධියේ දී සිංහල-බෞද්ධ ජාතිකවාදයේ පැහැදිළි පුනර්ජීවනයක් ඇති විය. එය සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෙවන රැුල්ල ලෙස හැඳින්වීමට පුළුවන. 19 වන ශතවර්ශයේ මැද දී ඇති වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය මුහුකුරා යාමෙන් සහ දේශපාලනීකරණය වීමෙන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ පළමු රැුල්ල නිර්මාණය විය. එහි දේශපාලන කූටප‍්‍රාප්තිය සිදුවූයේ 1956 මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග‍්‍රහණය තුළිනි.

කෙසේ වෙතත් මෙම ජයග‍්‍රහණයේ පැවැති සුවිශේෂත්වය වන්නේ ඉක්මනින්ම අළුතින් නිර්මාණය වූ දේශපාලන තන්ත‍්‍රය මෙහෙයවනු ලැබූ ප‍්‍රභූ කණ්ඩායමේ න්‍යාය පත‍්‍රය සහ සිංහල-බෞද්ධ ජාතිකවාදය විසින් පරිකල්පනය කරන ලද දේශපාලන මනඃඍෂ්ටිය අතර ආතතියක් ඇතිවීමයි. 56 ට දේශපාලන නායකත්වය දුන් එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ගේ ලිබරල් මනස විසින් ලංකාවේ බහු වාර්ගික දේශපාලන යථාර්ථය කෙරේ සාධනීය ලෙස යොමු වීමට දරන ලද උත්සාහය සහ සිංහල-බෞද්ධ ජාතිකවාදී මනඃඍෂ්ටියේ ඍජු ප‍්‍රකාශකයින් වූ බෞද්ධ භික්ෂූන් අතර ඒ ප‍්‍රවණතාවයට එරෙහිව මතු වූ විරෝධය මගින් මේ ආතතිය සංයුක්ත ලෙස ප‍්‍රකාශයට පත් විය.

පශ්චාත් 56 අවධිය තුළ අපට දැකිය හැක්කේ සිංහල-බෞද්ධ ජාතිකවාදී මනඃඍෂ්ටිය සහ ආණ්ඩුකරණ ප‍්‍රභූ තන්ත‍්‍රයේ ඉහළම ස්ථරය අතර විටින් විට විවිධ ආකාර වලින් වර්ධනය වූ මෙම ආතතියයි. මෙම ආතතිය තීරණාත්මක කූටප‍්‍රාප්තියකට පත්වන්නේ 1987 ජූලි මාසයේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමගයි.

ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව ගොඩනැඟුණු නව දේශපාලන බලමුළුව තුළ අපට සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෙවන රැුල්ළේ දෙශපාලන ආගමනය කළලමය මට්ටමින් හඳුනා ගැනීමට පුළුවන. කෙසේ වෙතත් පශ්චාත් 87-ජූලි දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නැගිටීම මගින් අධිනිෂ්චය කරනු ලැබූ තත්වයක් තුළ මෙම කළලමය මට්ටමේ පැවැති නව සිංහල-බෞද්ධ ජාතිකවාදී සංධානයට එහි දේශපාලන කූටප‍්‍රාප්තියට ලඟා වීමට හැකියාව ලැබුණේ නැත. මෙම කූටප‍්‍රාප්තිය අපට දක්නට ලැබෙන්නේ ඊට 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කිරීමත් සමගයි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැුල්ල පරාජයට පත්වීම සිංහල-බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතිය ද ලැබූ දැවැන්ත පරාජයක් ලෙස පෙන්නුම් කිරීමට පුළුවන. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ මෙම පරාජය විසින් ජාතිකවාදී නොවන දේශපාලන න්‍යායපත‍්‍රයකට සිංහල-බෞද්ධ දේශපාලන දකුණ තුළ ඉඩකඩ විවිර වීමයි. මෙම ජාතිකවාදී නොවන දේශපාලන පෙළගැස්මේ කූටප‍්‍රාප්තිය වන්නේ 1993 දී හා 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ ලැබූ මැතිවරණ ජයග‍්‍රහණ මාලාවයි.

1994 න් පසු සිංහල-බෞද්ධ ජාතිකවාදයේ පුනරාගමනය

1994 න් පසු සිංහල-බෞද්ධ ජාතිකවාදයේ පුනරාගමනය හා එහි දෘෂ්ටිවාදීමය ප‍්‍රතිසංවිධානය විස්තරාත්මක ලෙස සාකච්ඡුා කළ යුත්තකි. මා සිතන ආකාරයට මෙම ඉතා වැදගත් නමුත් තවමත් ප‍්‍රමාණවත් ලෙස සිදුවී නොමැති බුද්ධිමය කාර්යයේ යතුර ඇත්තේ ‘ජාතික චින්තන’ ව්‍යාපාරය සහ 90 දශකයේ මැද භාගයේදී තීරණාත්මක අදියරකට පත්වන නව බෞද්ධ ප‍්‍රබෝධය නිසි පරිදි තේරුම් ගැනීමට උත්සාහ කිරීම තුළයි. එකිනෙක සමඟ යම් යම් අතිපිහිතවීම් තිබුනත් වෙන වෙනම තේරුම් ගත යුතු මේ ව්‍යාපාර දෙක පසුගිය දශක දෙක තුළ ලංකාවේ දේශපාලන රසායනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරමින් සිටී.

ජාතික චින්තන ව්‍යාපාරය එක්තරා ආකාරයකට මෙම දේශනයේ මුළ දී සඳහන් කළ වාම දේශපාලන පරිකල්පනයේ පරාජය ට දැක්වූ ප‍්‍රතිචාරයක් වුවද ඉක්මනින්ම එම වාම අඩංගුව අහෝසි වී දක්ෂිණාංශික අන්ත ජාතිකවාදී ව්‍යාපාරයක් බවට පත්වීම දැකිය හැකිය.

මෙම ව්‍යාපාරයේ සම නිර්මාතෘන් දෙදෙනා වූ නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යන් දෙදෙනාම 1977 දී ජේ. ආර්. ජයවර්ධන විසින් ආක‍්‍රමණශීලී ලෙස පහසුකම් සපයන ලද ධනේශ්වර ආර්ථික ව්‍යාපෘතියේ හා ඒ හා බැඳුනු පරිභෝජනවාදී මෙහෙයුමේ විවේචකයෝ වූහ. නමුත් එම ජයවර්ධන ව්‍යාපෘතියේ කූටප‍්‍රාප්තිය වන 2005-2015 රාජපක්ෂ ව්‍යාපෘතියේ ප‍්‍රමුඛ සහායකයින් වීම මගින් එහි ‘වාමාංශික’ අඩංගුව වියැකී ගොස් තිබීම අපට මනාව දැකගත හැකිය.

1990 දශකයේ මැද දී ඇතිවන නව බෞද්ධ පුනර්ජීවනය විශාල දේශපාලන විභවයක් සහිතව හැඩගැසුණු ආගමික-සංස්කෘතික ව්‍යාපාරයකි. ආරම්භක අවධියේදී එහි තීරණාත්මක ප‍්‍රකාශකයා වූ ගංගොඩවිල සෝම හිමි ගේ මැදිහත්වීම පැවැති පක්ෂ දේශපාලන බෙදීම් වලට ඉහලින් පැවැති එකක් වුව ද ඉක්මනින්ම එයට දේශපාලන පැහැයක් ලැබීම දක්නට ලැබේ. විශේෂයෙන්ම මුස්ලිම් දේශපාලනය සමග ඔහුගේ පැවැති විරසකය මෙම ව්‍යාපාරය දෙශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මකය. ජාතික චින්තන ව්‍යාපාරය මූලික වශයෙන්ම දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම් වලට එරෙහිව සිංහල-බෞද්ධ දේශපාලන මනස සංවිධානය කිරීමේ නියැලිණි නම් සෝම හිමිගේ ව්‍යාපාරය මුස්ලිම් දේශපාලනයට විරුද්ධව සිංහල-බෞද්ධ දේශපාලන මනස සංවිධානය කිරීමේ නියැලිණි. මෙම ව්‍යාපාර දෙකම වර්තමානය දක්වාම එකිනෙකින් පෝෂණය ලබමින් සිංහල-බෞද්ධ දේශපාලනය පෝෂණය කිරීමේ නියැලී සිටී.

සමාලෝචනය

1983න් පසු ඇති වූ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ නව පිබිදීම 2005 මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය සමඟ කූටප‍්‍රාප්තියට පත් වුව ද ඒ සමඟම එහි සීමාව සලකුණු වීමද දක්වට ලැබේ. එනම් මේ ව්‍යාපාරයේ තාර්කික වර්ධනය විසින් සිංහල-බෞද්ධ නොවන ජනකොටස් බැහැර කරනු ලැබීමේ යථාර්ථයයි. 2015 ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක ලෙස නිරාවරණය වූයේ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ මෙම දේශපාලන සීමාවයි. 2015 ජනවාරි පරාජයෙන් පසුව මෙම සිංහල-බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය නව දේශපාලන පුනරාගමනයකට සූදානමින් සිටින අතර ඊට සැලකිය යුතු ජන සහයෝගයක්ද ගොණු වෙමින් සිටින බව පෙනේ. එසේ වුවද මේ ව්‍යාපාරය මුහුණ දෙන ගැටලූව වන්නේ 2015 ජනවාරි ජනාධිපතිවරණ පරාජයෙන් නිරාවරණය වූ එහි සීමාවන්, එනම් සිංහල-බෞද්ධ නොවන ජනකොටස්වලට අඩුම තරමින් කෙටිකාලීනය හෝ ආමන්ත‍්‍රණය කරන්නේ කෙසේද යන තීරනාත්මක අභියෝගය ජයගෙන නොතිබීමයි. කෙසේ වෙතත් තවමත් සිංහල-බෞද්ධ දේශපාලන මනඃඍෂ්ටිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ ව්‍යාපාරයට ඇති විභවතාවය අතිමහත්ය.


1] මේ සම්මන්ත‍්‍රණය සහ ඒ අරබයා වූ ‘දිවයින’ විවාදය පිළිබඳ වැඩි විස්තර සඳහා බලන්න, තෙන්නකෝන් (1998)

2] මේ නවකතාව පිළිබද මේ සාකච්ඡුාවට අදාළ විග‍්‍රහයක් ම විසින් අන් තැනක සිදුකරනු ලැබ ඇත (දේවසිරි, 2013)

ආශ‍්‍රිත කෘති

ද සිල්වා, නලින්, (2010) අපේ ප‍්‍රවාද (විසිදුනු ප‍්‍රකාශකයෝ: බොරලැස්ගමුව)

දේවසිරි, නිර්මාල් රංජිත්, (2013) ‘යුද්ධයට පසු ඉතිහාසය’: පශ්චාත් යුධ වකවානුවේ සිංහළ-බෞද්ධ සාමූහික මනසේ ඓතිහාසික සවිඥානකත්වය (*

තෙන්නකෝන්, සෙරීනා (1998), ශ‍්‍රී ලංකාවේ සංස්කෘතිය හා මතවාදය පිළිබඳ දේශපාලනය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය: කොළඹ

මෙධානන්ද, පූජ්‍ය එල්ලාවල, (2006) සිංහලයේ විමුක්තිදායකයා දුටුගැමුණු රජතුමා (දයාවංශ ජයකොඩි සහ සමාගම: කොළඹ)

Obeyesekere, Gananath (1988), A Meditation on Conscience, (Social Scientist Association: Colombo)

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    What is new told in this article? There are serious intellectual efforts to understand the ethnic issue in Sri Lanka and this writer has not referred to any of them; he is just one lethargic kind of so-called intellectuals in Sri Lanka. What does he mean by ‘fantasy’? one cannot just use the concepts in psychoanalysis here and there. The writer says it is an ‘effort’? This is just a polemical effort and has not done justice for an intellectual like Newton. This is truly not personal and we are really worried about the writer’s arrogance for not reading the genuine intellectual efforts on the issue and just expressing what he imagines in his head as intellectual thinking. At least he must study ‘conflict theories or political theories’ or bring a truly historical and anthropological perspective rather than uttering something as an analysis. This is truly generalizing and just mundane.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.