19 September, 2020

Blog

විධායක ජනාධිපති ක්‍ර​මයක් තුළ සුළු ජාතික අවශ්‍යතා ආරක්ෂා කෙරෙන්නේ නැත

ජාවිඩ් යූසුෆ්

ජාවිඩ් යූසුෆ්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය අවසන් ය. අඩු වශයෙන් ඊළඟ මාසයක කාලය තුළවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමු වනු ඇත්තේ අයවැය විවාදය වෙනුවෙනි. අතුරු වාර්තා විවාදය සඳහා ව්‍යවස්ථා සභාවේ සැසිවාර තුනක් පමණක් මුලින් සැලසුම් කොට තිබුණත්, එම විවාදයේදී තව තවත් මන්ත‍්‍රීවරුන්ට සිය අදහස් කියාපෑමට අවස්ථාවක් දීම සඳහා, එය සැසිවාර පහක් දක්වා දිග් කරන ලදි.

රටේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සැකසීම සඳහා අදහස් ප‍්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් උනන්දු වීම අගේ කටයුතු වුවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව තුළදී පළ කෙරුණු අදහස් මත පදනම්ව කුමන කාරණා අලූත් ව්‍යවස්ථාවට ඇතුළත් කර ගත යුතුද නැද්ද යන්න සොයා බලන නිලධාරීන්ට පැවරී ඇත්තේ සුළුපටු කාරියක් නොවේ. ව්‍යවස්ථා සභාව පිහිටුවා ගැනීමේදී සම්මත කර ගත් යෝජනාව තුළ අදහස් කෙරුණු ක‍්‍රියාවලියට අනුගතව මන්ත‍්‍රීවරුන් විසින් අදහස් පළ කරන ලද්දේ නම් ඉහත කී නිලධාරීන්ගේ කර්තව්‍යය වඩාත් පහසු වන්නට තිබුණි. මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එහි අන්තර්ගතය විස්තර කරන්නේ, 73 වාරයක් රැුස් වූ සැසිවාරවලදී ඉදිරිපත් වූ ‘අදහස් උදහස් නිරූපණය කෙරෙන ප‍්‍රතිපත්ති සහ සූත‍්‍රණයන්’ වශයෙනි.

‘මේ අතුරු වාර්තාව තුළ, ප‍්‍රතිපත්ති සහ සූත‍්‍රණයන් පිළිබඳ මෙහෙයුම් කමිටු සාමාජිකයන්ගේ නිරීක්ෂණ සහ අදහස් ද ඇතුළත් වන්නේය’ යනුවෙන් එහි තවදුරටත් සඳහන් වෙයි. එම නිරීක්ෂණ සහ අදහස්, වාර්තාව සමග ඇමුණුම් වශයෙන් ඉදිරිපත් කොට ඇත.

වෙනත් වචනවලින් කිවහොත්, ඇමුණුම්වල අඩංගු වන්නේ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව එකඟ නොවන මතවාදයන් ය. නැතහොත්, මෙහෙයුම් කමිටුවේ පැවති සාකච්ඡාවන්ට තවදුරටත් එක් කළ යුතු කරුණු ය. ඉදිරිපත්ව ඇති විකල්ප යෝජනා ගැන තමන්ගේ අදහස් දක්වා, යම් යෝජනාවකට තමන්ගේ එකඟත්වයක් නැතොත් ඒ වෙනුවට තමන් යෝජනා කරන විකල්ප යෝජනා මන්ත‍්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද්දේ නම්, ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයන්ට ඔවුන්ගේ කාර්යය පහසු වන්නට තිබුණි. එහෙත් අවාසනාවකට එවැන්නක් සිදු වී නැත.

ව්‍යවස්ථා සභාවේ දින පහේ විවාදය තුළ එක කාරණයක අඩුවක් පෙනෙන්ට තිබුණි. එනම්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ ඉතා වැදගත් විෂයය සම්බන්ධයෙන් සුළු පක්ෂ දරණ අදහස් ය. අලූත් ව්‍යවස්ථාවක් සඳහා වන ජනමත විචාරණයක් පැවැත්වීමේ අවස්ථාවක් ඇති වුවහොත්, ඒ කාරණය සම්බන්ධයෙන් සුළු ජාතික පක්ෂ දරණ මතය වැදගත් වනු ඇත. මේ නිසා, අතුරු වාර්තාව සමග අමුණා ඇති ලේඛන තුළ සුළු ජාතික පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් කවරේදැ යි සොයා බැලීම වැදගත් ය.

දෙමළ ජාතික සන්ධානය තමන්ගේ නිරීක්ෂණ ඇමිණුම් තුළ විධායක ජනාධිපති ක‍්‍රමය ගැන අදහසක් දක්වා නැත. එබැවින් ඒ විෂය සම්බන්ධයෙන් අතුරු වාර්තාවේ සඳහන් යෝජනාව සමග ඔවුන් එකඟ වන්නේ යැයි උපකල්පනය කළ හැකිය. ඒ ගැන වාර්තාව තුළ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවට පොදු එකඟත්වයක් තිබුණි.’’ දෙමළ ජාතික සන්ධානය තමන්ගේ ඇමිණුම තුළ සඳහන් කර ඇති පහත සඳහන් නිරීක්ෂණයෙන් ද ඒ බව තවදුරටත් තහවුරු වෙයි: ‘‘පිළිගත හැකි එකඟත්වයක් ඇති කර ගනු වස්, අතුරු වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප‍්‍රධාන පක්ෂ දෙක එකඟ වන මූලික ප‍්‍රතිපත්ති පිළිබඳව සලකා බැලීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් ය.’’

රිෂාඞ් බද්යුද්දීන්, ඩග්ලස් දේවානන්ද, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන්ගේ නමින්, ඒ.සී.එම්.සී සහ ඊ.පී.ඞී.පී. සහ එස්.එල්.එම්.සී. සහ ටී.පී.ඒ. යන පක්ෂවල ‘ඒකාබද්ධ යෝජනාවක්’ වශයෙන් ඉදිරිපත් කොට ඇති ඇමුණුම තුළ, ජනතාව විසින් සෘජුව තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙකු සිටිය යුතු බවත්, ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළ යුතු බවත් කියා සිටී. මීට අමතරව, තවත් නිර්දේශයක් ඉදිරිපත් කරන ඒ.සී.එම්.සී. පක්ෂය ජනාධිපති ක‍්‍රමයේ දැනට පවතින ආකාරයේ වෙනසක් සිදු නොවිය යුතු බව කියා සිටී. ව්‍යවස්ථා සභාවේ විවාදය තුළදීත් එස්.එල්.එම්.සී. පක්ෂය විසින් මේ සම්බන්ධයෙන් තවත් අදහස් දැක්වූ බව කියැවේ.

විධායක ජනාධිපති ක‍්‍රමය සුළු ජාතීන්ට වැඩදායක බවටත්, සුළු ජාතික අයිතීන් ඒ මගින් ආරක්ෂා කෙරෙන බවටත් මිථ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ සමාජගතව තිබේ. එහෙත් එය සැබෑවක් නොවන බව අවුරුදු 40 ක් තිස්සේ අප ලබා ඇති අත්දැකීම් හරහා ස්ඵුට වෙයි. එපමණක් නොව, විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ තරම් සුළු ජාතීන් වෙනත් ක‍්‍රමයක් යටතේ පීඩාවට පත්ව නැති බවත් පැහැදිළිව පෙනේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල සන්නද්ධ ගැටුම් තීව‍්‍ර වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති වීමෙන් පසුව ය. ඒ දශක තුනක කාලය තුළ දෙමළ ජනතාව ඒ ගැටුමෙන් හොඳටම බැටකෑහ. සන්නද්ධ ගැටුමට කෙලින්ම සම්බන්ධ නොවුණත් මුස්ලිම් ජනතාව පවා බරපතල ලෙස ඉන් විඳෙව්වෝය. එහිදී, විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ ඇතැයි කියන කිසි ආරක්ෂණයක් එම ජනයාට ලැබුණේ නැත.

පසුගිය පාලන සමයේ, 2012 පටන්, ඉන් පෙර නොවූ විරූ අඩන්තේට්ටම්වලට සහ ප‍්‍රහාරයන්ට මුස්ලිම් ප‍්‍රජාව ගොදුරු වුහ. එම තත්වය වළක්වාලීමට විධායක ජනාධිපති ධුරයට හැකි වුණේ නැත. විධායක ජනාධිපති ධුරයේ බල මහිමයෙන් තමන්ගේ දුක් ගැනවිලිවලට ආමන්ත‍්‍රණය කෙරෙනු ඇතැයි මොන තරම් ඉවසීමෙන් යුතුව මුස්ලිම් ප‍්‍රජාව බලා සිටියත් එවැනි සහනයක් නම් ඔවුන්ට ලැබුණේ නැත.

ජනාධිපතිවරණයකදී මුළු රටම තනි කොට්ඨාශයක් වශයෙන් සැලකෙන නිසාත්, ඒ හේතුවෙන් රාජ්‍ය නායකයා තෝරා ගැනීමේ අවස්ථාව සුළු ජාතීන්ටත් ලැබෙන නිසාත්, ඔවුන්ගේ අයිතිවාසිකම් එවැනි පුද්ගලයෙකු යටතේ සහතික වෙනු ඇති බවට ඇතැම්හු තර්ක කරති. එහෙත් ශ‍්‍රී ලංකාවේ අතීත අත්දැකීම් අනුව පෙනී යන්නේ, එක ජනාධිපතිවරණයකින් පසු ඊළඟ ජනාධිපතිවරණය එන තෙක්, සුළු ජාතීන් සඳහා වන ප‍්‍රමාණවත් රැුකවරණයක් නොසැපයෙන බවයි. ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා සුළු ජාතික ඡුන්ද වැදගත් වීම කරණ කොටගෙන යම් කිසි ආරක්ෂණයක් ඒ මගින් සුළු ජාතීන් වෙත සැලකෙතැයි අප පිළිගන්නේ නම්, තුන් වැනි වරටත් බලයට පත්වීමට බලා සිටි මහින්ද රාජපක්ෂ මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ යුතුව තිබුණි. ඉලක්කගත ප‍්‍රහාරයන්ගෙන් එම ජනතාව ආරක්ෂා කර ගත යුතුව තිබුණි.

තවද, සුළු ජාතික ඡුන්දවලින් තොරව කෙනෙකුට ජනාධිපති විය හැකි බව 2005 සහ 2015 ජනාධිපතිවරණවලින් පෙන්නුම් කෙළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නියෝග ප‍්‍රකාරව 2005 ජනාධිපතිවරණය උතුරු නැගෙනහිර ජනතාව වර්ජනය කිරීම තුළ මහින්ද රාජපක්ෂ බලයට පත්වීම සැලකිය හැක්කේ, දෙමළ ඡන්දවලින් තොරව කෙනෙකු ජනාධිපතිවරයෙකු වශයෙන් බලයට පත්වූ අවස්ථාවක් වශයෙනි. යුද ජයග‍්‍රහණයෙන් පසුව 2010 දී නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්නේ මුළුමණින්ම පාහේ සිංහල ඡුන්දවලිනි. සුළු ජනතාවගේ ඡන්දයෙන් වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන බලයට පත්වීම, විධායක ජනාධිපති ක‍්‍රමයෙන් සුළු ජාතීන්ට සෙතක් නැති බව නිෂ්ප‍්‍රභ කරන්නක් නොවේ.

විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ සුළු ජාතීන්ට ඊනියා ආරක්ෂණයක් සැලසෙතැයි සිතීම මිථ්‍යාවක් බවට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ස්වාධීන සහ ගෞරවනීය විද්වතුන් දෙන්නෙකු වශයෙන් සැලකෙන, ආචාර්ය රොහාන් එදිරිසිංහ සහ ආචාර්ය අසංග වැලිකල නොයෙක් වර තර්ක කොට තිබේ. ආචාර්ය අසංග වැලිකල ඔහුගේ එක් ලිපියක එය අගේට පැහැදිළි කෙළේය. එහිදී මෙම ප‍්‍රශ්නය තමන් විසින්ම ඉදිරිපත් කරන ඔහු ඊට මෙසේ පිළිතුරු දෙයි:

‘‘එහෙත් 2015 දී විශාල වශයෙන් පාවිච්චි වූ සුළු ජාතික ඡුන්ද නොවන්නට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති නොවීමට පවා ඉඩ තිබිණි ය යන සත්‍යය මගින් මෙහි ප‍්‍රතිපක්ෂය ඔප්පු කෙරේ ද? මම එසේ නොසිතමි. හේතුව, ඒ සුළු ජාතික ඡුන්ද ඔහු වෙනුවෙන් පාවිච්චි වුණේ මොනම විදිහක හෝ කොන්දේසියක් යටතේ නොවුණ හෙයිනි. ඊටත් වඩා, සුළු ජාතීන්ගේ ඉල්ලීම් පිළිබඳ මොනම විදිහක හෝ සඳහනක් නොකිරීමටත් එදා පොදු විපක්ෂය පරිස්සම් වූ බැවිනි. එසේ තිබියදී, එම සුළු ජාතීන් වෙනුවෙන් කිසි පොරොන්දුවක් පොදු විපක්ෂයෙන් එදා නොදුන් බවත් මෙහිදී අමුතුවෙන් කිව යුතු නැත. එසේ නොකෙළේ, හැකි තාක් මහ ජාතියේ ඡුන්ද ප‍්‍රමාණයක් රාජපක්ෂ වෙතින් තමන් වෙතට කඩා ගැනීමට බවත් පැහැදිළි ය. ඒ තත්වය යටතේ, 2015 ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු සුළු ජාතීන්ට ඉතිරි වුණේ, අලූත් ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ හොඳ හිතත්, විනීත කමත් පිළිබඳව තබා ගත හැකි යම් විශ්වාසයකට/බලාපොරොත්තුවකට වැඩි දෙයක් නොවේ. හැකි වෙතොත් සහ අවස්ථාවක් ලැබෙතොත්, තමන්ගේ ප‍්‍රශ්නවලට එම ආණ්ඩුවෙන් යම් ප‍්‍රතිචාරයක් ලැබෙතැ යි යන විශ්වාසයකට/බලාපොරොත්තුවකට වැඩි දෙයක් නොවේ. හුදෙක් එවැනි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි වූ පමණින්, මේ විධායක ජනාධිපති ක‍්‍රමය තුළ සුළු ජාතීන්ට ඈතින්වත් ආරක්ෂාවක් සැලසෙතැයි යන නිගමනයකට අපට එළැඹිය හැකි ද?’’

විධායක ජනාධිපති ධුරයේ ස්වභාවය කෙසේද යත්, යම් ජනාධිපතිවරයෙකු බලයට පත්වූ පසු නිතැතින්ම එම තැනැත්තා ජනතා ග‍්‍රහණයෙන් නිදහස් වන්නේය. විධායක ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුවේ ඕනෑ එපාකම්වලට යට නොවන ආයතනයක් වන බව ජේ. ආර්. ජයවර්ධන එදා කිව්වේ එබැවිනි. යමෙකු ජනාධිපතිවරයෙකු වශයෙන් බලයට පත් වූ සැණින්, කිසිම සුළු ජාතියකට හෝ ඔවුන්ගේ නියෝජිතයෙකුට තම ප‍්‍රජාවගේ අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා එම ජනාධිපතිවරයා ළඟට කිට්ටු වීම උගහට ය.

මේ වනාහී, වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ආකෘතියේ සපුරා ප‍්‍රතිලෝමයයි. පාර්ලිමේන්තු ක‍්‍රමය යටතේ, මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීම කෙරෙහි කෙලින්ම බලපෑමේ හැකියාවක් සුළු ජාතීන්ට ලැබෙන අතර, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අගමැතිවරයාට සහ ඇමති මණ්ඩලයට, පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත්, සමීප වීමේ හැකියාවක් එම සුළු ජාතීන්ට ලැබෙන්නේය. මැතිවරණයක් අත ළඟ තිබියදී පමණක් නොව, එක දිගටමත් මන්ත‍්‍රීවරයා කෙරෙහි යම් බලපෑමක් අභ්‍යාස කිරීමේ හැකියාවක් ජනතාවට ලැබෙන්නේය. ඊටත් වඩා, අගමැතිවරයා සහ ඇමතිවරුන් වෙත පහසුවෙන් ළඟා වීමට ඒ මන්ත‍්‍රීවරුන්ට හැකියාව ඇති තත්වය තුළ මේ සුළු ජාතීන්ගේ ඕනෑ එපාකම් ආණ්ඩුවේ අවධානයට ලක් කිරීමටත් ඔවුන්ට බල කෙරෙන්නේය. එම ක‍්‍රමය තුළ, සුළු ජාතීන් ඇතුළු සමස්ත ඡුන්දදායකයා ගැන, හුදෙක් පැවැත්ම සඳහාම නිරන්තර අවධානයෙන් සිටීමට, අගමැතිවරයාට සේම ආණ්ඩුවටත් සිදු වන නිසා, සුළු ජාතීන් සඳහා එවැනි ක‍්‍රමයක් වඩාත් යෝග්‍ය වෙයි.

(එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හැරුණු කොට) පාර්ලිමේන්තුවේ සිටින වෙනත් මුස්ලිම් දේශපාලඥයන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා සහයෝගය නොදැක්වීම පුදුමයට කාරණයක් නොවේ. මේ සියලූම දේශපාලඥයන් එදා රාජපක්ෂ රෙජීමය තුළ අගේට පෑහී සිටි පිරිසකි. මුස්ලිම් ජනතාව ඉතා දුෂ්කර අඩියකට වැටී සිටි අවස්ථාවේ පවා ඔවුන් සිටියේ රාජපක්ෂ තුරුලේ ය. එසේම, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ප‍්‍රකාශන සැකසීමේ හෝ මැතිවරණ ව්‍යාපාර දියත් කිරීමේ කාර්යයක ඔවුන් නිරතව සිටියේත් නැත. ඇත්ත වශයෙන්ම ඔවුන් හැම කෙනෙකුම මෛත‍්‍රිපාල සිරිසේන සඳහා සහයෝගය පළ කොට සිටියේ ජනාධිපතිවරණයට දින කිහිපයකට කලිනි. ඒ, හුළං හමන අත ඉතා හොඳින් පසක් කර ගැනීමෙන් අනතුරුව ය.

*2017 නොවැම්බර් 14 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු  Minorities Suffered The Most Under Executive Presidency නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මේකට ඇත්තටම comment එකක් ලියන්න අවශ්‍යත් නැති තරම්. ඒ මොකොද කිව්වා නම් මේකේ මාතෘකාවම ඇති. “විධායක ජනාධිපති ක්‍රමයක් තුල සුළු ජාතික අවශ්‍යතා ආරක්ෂා කෙරෙන්නේ නැත” කියන කොට ඒකම අනිත් පැත්තට ඒ කියන්නේ “විධායක ජනාධිපති ක්‍රමයක් නොමැතිව සිංහල ජාතිය සහ බුද්ධාගම ආරක්ෂා කෙරෙන්නේත් නැත” කියලා හොඳටම පැහැදිලියි. මොන හේතුවක් නිසාවත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොවිය යුතුයි.
    .
    විධායක ජනාධිපතිව දුර්වල කරන්න නොයකුත් දේවල් කරනවා. හැමදේකටම මිනිස්සු ඒ හින්දා ජනාධිපතිතුමාට බනිනවා. මුල අවුරුදු දෙකේම රනිල් සහ ඇමතිවරු කලේ ඒක. හැම එකම ජනාධිපති පිටින් යැව්වා. පස්සේ තමයි මිනිස්සුන්ට තේරුනේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියල. ආපහු Aava Group එක කල එලි බැහැල. රට පුරා මිනී මැරුම්, සමහර ඒවා අබිරහස්ලු. දැන් අලුත්ම එක ගිංතොට. Aava කියන්නේ පිහි, කිනිසි, කඩු,මෝටර් සයිකල් වලින් වැඩ පෙන්වන කුඩා කල්ලියක්. හරියට කිව්වොත් mini-guerilla කණ්ඩායමක්. කපනව, කොටනවා, ඊට පස්සේ අහු නොවී පැනල යනවා. දැන් තුන්වෙනි/හතර වෙනි පාරට සාගල කිව්ව Aava කල්ලිය නිරායුධ කරනවලු. ගිය අවුරුද්දේ ඉඳන් කියන්නේ, ඇයි මේක මෙහෙම වර්ධනය වෙන්නේ දුන්නේ? ඇත්තටම නොහැකියාවද? ඇත්තටම මෙහෙම වෙන්න පුලුවන්ද? රටේ නීතිය මෙහෙම වල් වදින්න පුලුවන්ද? මට නම් තේරෙන්නේ මේ තියන්නේ අසාමන්‍ය තත්වයක්. මෙහෙම වෙන්න බැහැ. එක පැත්තකින් රනිල් පොලීසිය තුඅන්ටහතරට කැඩුවා. එක කොටසක් පොලිස්පතිගෙ නියෝග අහනව, අනිත් කොටසට ඇමති නියෝග දෙනවා, අනිත් කොටසFCID කෙලින්ම වග කියන්නේ අගමැතිට. රටේ අවිනිශ්චිත භාවයක් ඇතිවුනේ මේ හින්දා. ඒ හින්දා සියක් වෙනි පාරටත් කියනව නීතිය සහ සාමය අමාත්‍යංශය ජනාධිපතිතුමා යටතට අරන් IGPට දෙන්න ඕනේ රටේ සාමය පවත්ත ගෙන යන්න. ඉස්සර වුනේ එහෙම. රනිල් තමයි වෙනස් කලේ ඒක. ඒ නිසයි රට පුරා අද නොයෙකුත් කල්ලි හැදිලා තියෙන්නේ, මිනී මරන්නේ, අභිරහස් දේවල් සිද්ධ වෙන්නේ. සාගලට ඇමති කෙනෙක් විදියට විතරක් නෙමෙයි, නීතිය සහ සාමය පවත්වා ගැනීම ගැනවත් පලපුරුද්දක් හෝ අවබෝධයක් නැහැ. නමුත් IGP කියන්නේ අවුරුදු ගානක් පොලීසියේ ඉඳපු දක්ෂ නිලධාරියෙක්. පුළුවන් ලේසියෙන්ම මේ තත්වය මැඩ පවත්තන්න බලය දුන්නොත්. ඒ නිසා සාගලට වෙන අමාත්‍යංශයක් දීල නීතිය සහ සාමය ජනාධිපතිතුමා යටතට අරන් බලය දෙන්න ඕනේ IGP අතට රටේ සාමය ඇති කරන්න.

    • 0
      0

      නමුත් පැහැදිලිවම එකක් කියන්න ඕනේ. නීතිය සහ සාමය අමාත්‍යංශය දේශපාලන පලිගැනීම් වලට යොදා නොගත යුතුයි. ජනාධිපතිතුමා මුල් වෙන්න ඕනේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලි ගැනීම නතර කරන්න. රනිල් FCID එක හැදුවේ දේශපාලන පලි ගැනීම් කරන්නමයි. ප්‍රජාතාන්ත්‍රික නොවෙන ක්‍රමයකට අනිත් පැත්ත දුර්වල කරන්නයි ඕනේ වුනේ. රටේ සාමය තියෙන කොටත් සාමාන්‍ය අවස්ථාවකදීත් මෙහෙම අවිනිශ්චිත භාවයක් රටේ ඇති වෙනවා නම්, පළාත් පාලන චන්දයක් එහෙම නැත්නම් ඊළඟ ජනාධිපතිවරණය එනකොට කොහොම තියෙයිද? මේ පාර හැදෙන්නේ එතනට. මිනී මරා ගන්න, ගෙවල් ගිනි තියෙන, දේශපාලන ප්‍රතිවාදීන්ට හිරිහැර කරන පෙර සහ පසු මැතිවරණ කාලයක ඉදිරියෙ ඇති වෙන්න යන බවට ලකුණු දැනටම හැදෙනවා. ඒ නිසා ඒක පාලනය කරන්න නම් නීතිය සහ සාමය රජයේ නිලධාරියෙක් වෙච්ච IGPට දීල, ඉස්සර IDP ලා රටේ සාමය ඇති කරපු විදියට වැඩ කරන්න ඉඩ දෙන්න ඕනේ. දැන් කියයි ඇමතිගෙන් හෙමේ බලපෑමක් නැහැ කියලා. හැබැයි එක බොරුවක්. අනිත් එක දැන් Aava Group එක ගොඩ දුර ඇවිල්ල. ඒ නිසා ඉදිරයට උතුර පාලනය කර ගන්න බැරි වෙන්න පුළුවන්. එක්කෝ දැන්මම සම්පූර්නයෙන්ම නැති කරන්න ඕනේ, නැත්නම් ස්ථිර අර්ධ හමුදා-පොලිස් පාලනයක් උතුරට දෙන්න ඕනේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.