20 April, 2024

Blog

මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් – කොටස II

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි මාලාවේ පළමුවන කොටස නොවැම්බර් මස 13 වන දා පළ කොට​ ඇත]

පූර්ව යටත් විජිත සහ යටත් විජිත පාලනය

පූර්ව යටත් විජිත ලංකාව, ප්‍රාදේශීය රාජධානිවලින් මෙන්ම, කුල වැදගත්කම විසින් ආගමික සහ වාර්ගික ගැටළුව යටපත්කර දමන ලද දමිල සහ සිංහල වැඩවසම් වංශාධිපතීන් අතර පැවති සුහදතාවයේ සංකලනයකින්ද නිරූපනය වුනු බොහෝ සෙයින් ධූරාවලිගත වැඩවසම් සමාජයක් වූයේය. මතභේද පැන නැගුනේ ජනවාර්ගික ද්වේෂය නිසා නොව, වංශාධිපතීන් අතර පැවති එදිරිවාදිකම් හේතුවෙනි. දිවයිනේ ධනවාදය දේශිය තත්ත්වයන්ගෙන් පැන නැඟුනා නොව, යටත් විජිත හාම්පුතුන් විසින් ඔවුන්ගේ ආර්ථික හා ව්‍යුහාත්මක අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ආරෝපනය කරන ලද්දකි. සියලු ජනප්‍රජාවන්ට අයත් වූ ප්‍රභූ පිරිස් මෙම යටත් විජිත ව්‍යවසායයේ පර්යන්තයෙහි කටයුතු කරමින් ඔවුන්ගේ වස්තුව හා සමාජ තත්වයන් තහවුරු කර ගත්හ. එබැවින් ඔවුහු යටත් විජිත හාම්පුතුන් ගේ අනුග්‍රහය මත යැපුනහ.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයෝ, ප්‍රභූ පැළැන්තියේ දිගු කාලීනව පැවති කුල,වාණිජ සහ දේශපාලන උවමනාවන්ගෙන් සමන්විත ලංකාවේ සමාජ සැකැස්ම තුල පැවති විභේධනයන් ප්‍රයෝජනයට ගැනීමෙහිලා අතිශයින් දක්ෂවුහ. සිංහලයන් අතර පැවති මෙම ප්‍රභේද නම් වෙරළබඩ පෙදෙස්වල විසූ වඩා ව්‍යවසායික වූ සිංහලයන් සහ “උඩරට” ඉඩම් හිමි පෙලැන්තිය අතර පැවති වෙනස්කම්‍ ය. දෙමල ප්‍රභූ පැලැන්තිය අතර පැවති වෙනස්කම්‍ වූයේ කිතුනු හා හින්දු ප්‍රභූන් අතර පැවති ආගමික වෙනස්කම්‍ ය. ජනවාර්ගික විෂයයන් වැදගත්බවට පත් වූයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම පුළුල් කරනු ලැබූ විට දී පමණකි; ඒ දේශපාලන තනතුරු ලබා ගැනීමේ දී එම විෂයයන් නිසැකවම සාර්ථක වන මාධ්‍යයක් බවට පත්වීමත් සමගය.

විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු සහ රාජ්‍ය සේවයේ වැනි වෘත්තීන් තුළට දමිලයන් විශාල වශයෙන් පත්ව සිටි බව අවිවාදිත කරුණකි. සිංහල ජාතිකවාදීන් බොහෝ දෙනා තර්ක කරන පරිදි, යටත්විජිත ආණ්ඩුවේ වෙනස්කම් කිරීමේ ප්‍රතිපත්ති නිසා මෙසේ සිදුවූවා නොව, ඔවුන්ගේ භූගෝලීය ස්ථානගත වීමත් ඇමෙරිකන් මිෂනරි අධ්‍යාපනයත් නිසා සිදුවූවකි. කඳු රහිතවූත්, ගංඟා නොමැති තරම්වූත් උතුරු හා නැඟෙනහිරට එහි පිහිටි නිල්වන් කෙත්වතු කඩතුරාවක් වෙයි. පස දකුණට සාපේක්‍ෂව ගත්විට නිසරු වුවද, බොහෝ දෙනා එහි වාසය කරමින් ගොවිතැන් කටයුතුවල යෙදෙති. එහි මහා පරිමාණ කර්මාන්ත නොමැත. යැපුම් මට්ටමේ වු කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය වෙයි. ගොවිතැන් හා ධීවර කර්මාන්තය හැරුණු විට අධ්‍යාපනික ආයතන සහ ව්‍යාපාර, දැඩි ඉල්ලුමක් සහිත රාජ්‍ය සේවය හා වෘත්තීන් වෙත පිවිසෙන්නට උතුරු නැගෙනහිර ජනයාට, විශේෂයෙන් එහි ප්‍රභූ පෙලැන්තියට හැකියාව ලබා දෙමින්, ඔවුන් සැබවින්ම පෝෂනය කළේය.

අනෙක් අතට, සිංහල ප්‍රභූ පෙලැන්තිය මත්පැන්, විශේෂයෙන් රා වෙළඳාමත්, රබර් සහ පොල් වගාවන් තුලිනුත් ඉතා වාසිදායක අවකාශයකට පදනම දැමූහ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් රඳා පැවතුනේ ප්‍රධාන වශයෙන් තේ ද, ඉන් පසුව රබර් සහ පොල් ද ආධිපත්‍යය ඉසිළූ වැවිලි අංශයත් සීඝ්‍රයෙන් පළල් වෙමින් පැවති රාජ්‍ය අංශයත් මතය. නිදහස ලැබීමෙන් පසු පැවති ආණ්ඩු, කෘෂිකාර්මික මිල ගණන් දිගුකාලීනව පහත වැටීම, ජනගහනය වැඩිවීම හා වර්ධනය වන ශුභසාධන ක්‍රමයට මුහුණ දී සිටියේය; මෙයින් රටේ සමාජ නිර්මිතිය සහ ආර්ථික සුබසිද්ධිය කෙරෙහි බලපැමක් එල්ල විණි.

දේශපාලන හා ව්‍යාපාරික ප්‍රභූ පෙලැන්තිය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම්, වැඩිවන ජනගහනයේ අපේක්‍ෂාවන් සපුරා ලන්නට තරම් ප්‍රමාණවත් නොවීය; මෙයින් බහුතර ජනප්‍රජාවේ දේශපාලණ හාම්පුතුන්ට සහ ධනවත් යයි පෙනුනු සිංහල නොවන අයට එරෙහිව තිබූ විරෝධතා පැසවා ලූයේය. සිංහල දුක් ගැනවිලි ආමන්ත්‍රණය කිරීමේදී නිර්ලජ්ජිත ලෙස එකිනෙකා පරයන්නට තරඟ වැදුනු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය යන ප්‍රධාන පක්‍ෂ දෙක එම විරෝධතා ආණ්ඩු බලය දිනා ගන්නට අයුතු ලෙස යොදා ගත්හ. මෙයින් එල්ල වුනු පීඩාවට මුහුණ දෙන්නට සිදු වූයේ දමිලයන්ට යි. මෙහි පහත දැක්වෙන්නේ, ආචාර්ය ගොඩහේවාගේ දෝෂාරෝපනයෙන්/අනුශාසනාවෙන් පහසුවෙන් ඔහු මඟ හරින, වර්ගවාදී බද්ධ වෛරයත් සමඟ එකට සන්ධි වී ඇති මෙම අඳුරු ආර්ථික අසමානතා ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක විස්තර කිරීමක් හා ගවේෂණය කිරීමකි.

වැවිලි ආර්ථිකය

යටත්විජිත වතු ආර්ථිකය ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම් වර්ධනය කරන්නට ආධාර වූයේය. එහෙත්, තවමත් විසඳන්නට ඉතිරි වී තිබෙන දේශපාලන, ආර්ථික හා සමාජ ගැටලු රාශියකට එයින් මඟ පෑදීනි. වතු ආර්ථිකය සඳහා විශාල ඉඩම් කට්ටි මෙන්ම ලාභ ශ්‍රමය ද අවශ්‍ය වූයේය. 1840 අංක 12 දරණ රජයේ අනවසර ඉඩම් ආඥා පනත, 1885 ධාන්‍ය බද්ද සහ 1897 මුඩු බිම් පණත මගින් ඉඩම් අත්පත් කර ගන්නා ලදි. හිමිකම් පිළිබඳ ඔප්පු නොමැති ඉඩකඩම් කිරීට දේපොළ​ බවට පත් කොට බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට විකුණා දමනු ලැබීය. මෙය ඕස්ට්‍රේලියාවේ ‘ටෙරා නූලියස්’ නීතිය අනුව ආදිවාසීන්ගේ භූමිය පැහැර ගැනීමත් සමඟ සංසන්දනය කළ හැකිය. ධාන්‍ය බද්ද මඟින් බ්‍රිතාන්‍යයෝ දිළිඳු බවට පත් ගොවීන් පලවා දැමූහ. 1856 විහාර හා දේවාල ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත යොදා ගනිමින් බ්‍රිතාන්‍යයන් විසින් විහාර හා දේවාල ඉඩම්ද පවරා ගන්නා ලදි. මේ අතර වාරයේ, ඇතැම් රදළ අධිපතීහු විශාල ඉඩම් කට්ටි නින්දගම් වශයෙන් අත්පත් කර ගත්හ.

මේ වන විට යටත්විජිතවාදීහු අසල්වැසි දකුණු ඉන්දියානු ආර්ථිකය විනාශ කර දමා තිබුනු අතර, බොරු පොරොන්දු දීමෙන් රැකියා විරහිතයන් වතුවගා වැඩ කිරීමට පොළඹවා ගන්නා ලදි. සිංහල ගොවීන් ගැන සැකයෙන් පසුවුනු බ්‍රිතාන්‍ය යටත්විජිත හාම්පුත්තු ඒ වන විටත් දීනබවට පත්කොට ගෙන තිබුනු ඉන්දියානු ශ්‍රමය කෙරෙහි වැඩි කැමැත්තක් දැක්වූහ. එතැන් සිට, ඉන්දියානු ශ්‍රම බලකායේ විශාල කොටසක් දිවයිනට ගෙන ආ ඔවුහු, උඩරට ඉඩම් අහිමි ගොවීන් අතර එම රැකියා විරහිතයන් අත හැර දැමූහ. යටත්විජිතවාදයට පක්‍ෂ නැගී එන ධනේශ්වර පන්තිය මෙසේ ඉන්දියානු ශ්‍රම බලකාය දිවයිනට ගෙන එන්නට සහාය දුන්නේය. ප්‍රවාහණයේදී යොදා ගන්නා ලද අමාණුෂික විධික්‍රම, අහිතකර ජීවන තත්වයන් සහ රෝගාබාධ විසින් සිය ගණන් දෙනාට මරණය උරුම කළේය.

මේ අතරතුර, පරිපාලන ශ්‍රම අවශ්‍යතාවය සපුරාගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය පාලනයට සේවය කිරිම සදහා සියළු ජනප්‍රජාවන් අතරින් දේශීය පරාධීන පංතියක් වර්ධනයකර ගැනීම මගිනි. ඔවුහු යටත් විජිත පාලනයට සේවය කරනු වස් ඉංග්‍රීසි ඉගෙන ගන්නටත්, බ්‍රිතාන්‍ය සිරිත් විරිත් සහ සම්ප්‍රදායයන් අනුගමනය කරන්නටත් කැමැති වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇතැම් සිංහලයන්ට, දමිලයන්ට, මුසුල්මානුවන්ට සහ ලන්සින්ට යටත් විජිත තත්ත්වයන් පෙරලා දමන්නට අවශ්‍ය නොවීය. කෙසේවෙතත්, ජනතාවගේ බහුතරයක් බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය කොට තිබුනු යටහත්බව ඔවුන්ට දැක්වූයේ නැත; බ්‍රිතාන්‍යයන්ට සිය අරමුණු සාක්‍ෂාත් කර ගන්නට නම් ‘ස්වදේශික’යන්ගේ විරෝධය පෑම බිඳ දැමීය යුතු විය.

යටත් විජිත අධ්යාපනය

පූර්ව යටත් විජිත යුගයේ දී, බෞද්ධ භික්‍ෂූහු මූලික වශයෙන් දකුණේ කුඩා සිංහල ප්‍රභූ පෙලැන්තියකට පන්සල් තුල අධ්‍යාපනය ලබා දුන්හ. භික්‍ෂූන් බවට පත්වීමට කැමති ගිහි ජනයා වෙනුවෙන් සාමාන්‍යයෙන් පිරිවෙන් වෙන් කොට තබා තිබුනි. එපරිද්දෙන්ම, බ්‍රාහ්මණයෝ හෝ උගත් වෙල්ලාලර්වරු උතුරේ හින්දු කෝවිල් වල අධ්‍යාපනය ලබා දුන්හ. මෙම ජන ප්‍රජාවන් දෙකේම වරප්‍රසාද ලත් කුල ක්‍රමයක්ද, පවුල් ද පැවතුනි. ඔවුහු විවිධ වෘත්තීන් සඳහා විශේෂ පුහුණුවක් ලදහ. දැනුම පවරා දුන්නේ කුල කේන්ද්‍රීය පවුල් ධාරාවක් ඔස්සේය.

යටත්විජිතකරණයත් සමඟ දිවයිනට අධ්‍යාපනයේ යුරෝපීය ආකෘතිය අවතීර්ණ විය. අරමුණ වූයේ යටත් විජිත පාලනයට සේවය කිරීම සඳහා ශිෂ්‍යයන් සූදානම් කිරීම යි. දකුණේ සහ උතුරේ සාම්ප්‍රදායික අධ්‍යාපනය නොකඩවා කර ගෙන ගියද, බොහෝ දෙනා නූගතුන් වූහ. මෙම අඩුපාඩුව තිබුනේ වූවද, සාර්ථක ලෙස කටයුත්තක නිමග්න වෙන්නටත්, ඵලදායී ලෙස සේවයේ යෙදෙන්නටත් ඔවුහු සමත් වූහ. පෘතුගීසි පාලනය පවතිද්දී, මිෂනාරිවරු පහත රට රෝමානු කතෝලික ආගම පෝෂණය කරන්නට පාසැල් 100 ක් පමණ පිහිටුවා ලූහ. පසුව, ලන්දේසීහු ලංදේසි ප්‍රතිසංස්කරණ පල්ලියේ මිෂනාරි ව්‍යායාමයන්ට සහාය වෙන්නට ප්‍රාථමික පාසල් පද්ධතියක් ඇති කළහ. ඔවුන් අනුගමනය කළ බ්‍රිතාන්‍යයෝ, ලන්දේසි පාසල් බොහොමයක් ආරම්භයේදී වසා දැමූ නමුත් ඉක්මණින් රජය අරමුදල් සැපයූ පාසල් සහ ක්‍රිස්තියානි පාසල් ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තේය.

මෙම ව්‍යාප්තිය මෙසේ සිදුවූවද, අධ්‍යාපනයේ අසමාන ස්වභාවය තවත් පැතිරී ගියේය. ක්‍රිස්තියානි සංවිධාන පෞද්ගලික පාසැල් පද්ධතියේ ආධිපත්‍යය දැරූ අතර, ඔවුන්ගේ ඉගැන්වීමේ මාධ්‍යය වූ ඉංග්‍රීසි, දියුණු වෙන්නට තිබෙන හොඳම මාවත පිරිනැමීය. නිරිතදිග ප්‍රදේශයේ කේඳ්‍රගතව තිබීම හේතුවෙන් මෙම පාසල් වැඩි වශයෙන්ම ක්‍රිස්තියානි හා දෙමළ සිසුන් ආකර්ෂණය කර ගත්හ. අධ්‍යාපන මාධ්‍යය ලෙස දෙමළ සහ සිංහල භාෂාව භාවිත කළ ආයතන ප්‍රාථමික පාසැල් ලෙස දිගටම ක්‍රියාත්මක විය. යටත් විජිත ව්‍යවසායයේ කනිෂ්ඨ සහකරුවන් වශයෙන් යටත් විජිත පරිපාලනයේ තනතුරු හොබවන්නට අපේක්‍ෂා කළ සහ එම තනතුරු පුරවාලූ ප්‍රභූ පවුල්වල පිරිමින්ට ඉංග්‍රීසියට සීමාවූ ද්විතීයික ආයතන ආකර්ෂණීය වූයේය.

භාෂාව සහ ආගම

නිදහසින් පසු කාල පරිච්ඡේදය තුල “ස්වභාෂාවන්” (එනම්, දේශීය භාෂාවන් වන සිංහල සහ දෙමළ) වෙත ප්‍රමුඛස්ථානය ලබා දීමේ අදහසට සියලුම දේශපාලනඥයන් පාහේ යටත්විජිත පාලන කාලයේ දී අනුග්‍රහ දැක්වූහ. කෙසේ වෙතත්, 1944 තරම් මුල් කාලයේදීම පවා, සිංහල රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුනි. ඒ හා සමඟම, සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂාවන් සහ ඒ දෙකම ඉගැන්වීමේ, රාජ්‍ය සේවා විභාග පැවැත්වීමේ සහ නීති සම්පාදනය කිරීමේ භාෂා ලෙස ප්‍රකාශයට පත් කිරීමටද සංශෝධන ඉදිරිපත් කර තිබුනි. කෙසේ වෙතත්, සංශෝධිත යෝජනාව අනුමත කොට, එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව උපදෙස් දෙන්නට කමිටු පත් කොට තිබිය දීත්, එම ප්‍රතිපත්තිය අවලංගු වී යන්නට ඉඩ හරින ලදී.

ඉහත සඳහන් පසුබිම් තොරතුරු ආශ්‍රයෙන් ආචාර්ය ගොඩහේවා ඉදිරිපත් කරන තර්කණ පරීක්ෂාවට ලක් කොට, එම තර්කණ ඓතිහාසික වාර්තාවත් සමඟ කෙතෙක් දුරට ගැලපේදැයි බලමු.

(මතු සම්බන්ධයි)

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.