26 April, 2024

Blog

පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීම ප‍්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2016 වර්ෂය සඳහා වූ අයවැය කතාව පසුගිය නොවැම්බර් 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, අනතුරුව ගෙවී ගිය සති කිහිපය තුළ ඒ පිළිබඳ විවාදය පවත්වනු ලැබීය. රටක අයවැයක් යනු අදාළ ගිණුම් වර්ෂයේ රජයේ ආදායම් සහ වියදම් ගැන විස්තරයක් පමණක් ම නොව, එම වසර තුළ රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත සංවර්ධන වැඩසටහන් හා ඒ හරහා ළඟා කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක පිළිබඳ සවිස්තරාත්මක විග‍්‍රහයක් ද ඊට ඇතුළත් වන්නේය. වෙනත් වචනවලින් කියතොත්, පාර්ලිමේන්තුව තුළ වාර්ෂිකව කරනු ලබන අයවැය විවාදය රටේ ඉදිරි ගමනට තීරණාත්මක වන අතර, ඒ නිසා ම ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ද මන්ත‍්‍රීවරු හැම කෙනෙක් ම අයවැය විවාදය කෙරෙහි විශේෂ සැලකිල්ලක්, නිසි ගෞරවයක් ලබාදීමට බැඳී සිටින්නාහ. එහෙත්, පසුගිය සති කිහිපය තුළ අපේ පාර්ලිමේන්තුවේ සමහර මැති-ඇමතිවරුන්ගේ හැසිරීම් රටාවලින් නම් එවැනි ආකල්පයක් පිළිඹිබු නොවීය.

උදාහරණයක් ලෙස, පසුගිය දෙසැම්බර් 11 වැනි සිකුරාදා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වූ කොළඹ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් මහතා තාජුඞීන් ඝාතනය ගැන අදහස් දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ අතිශය උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූයේය. මුජිබුර් රහුමාන් මන්ත‍්‍රීවරයා දිගින් දිගට ම තාජුඞීන් ඝාතනය පිළිබඳ කරුණු දක්වමින් සිටියදී ඒ අසළට පැමිණි “ඒකාබද්ධ” විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ඔහුට බැණ වදිමින් පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු සභා ගර්භය ගාලගෝට්ටියක් බවට පත්වූයේ යැයි මාධ්‍ය වාර්තා කොට තිබුණේය. තවද, මෙම සිද්ධියට දිනකට පෙර (එනම් පසුගිය දෙසැම්බර් 10 වැනිදා), පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා අයවැය විවාදයේ අදහස් පළකරමින් සිටියදී, එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහතා දිගින් දිගට ම ඔහුට බාධාකිරීම හේතුවෙන් ද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූයේය. ඒ අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මහතා විසින්, “පඩත්තලයා”, “දුෂ්ටයා”, “වාචාලයා” වැනි දරුණු වචන භාවිත කිරීමෙන් පාර්ලිමේන්තු සභා ගර්භය දැඩි ලෙස උණුසුම් වූ බව දැනගන්නට ඇත්තේය. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජේ්‍යෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා විසින් මීට මාස කිහිපයකට ඉහතදී, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පමණක් නොව ඕනෑම ශිෂ්ට සමාජයක ප‍්‍රසිද්ධියේ නොකිය යුතු අන්දමේ අසභ්‍ය වචන පවා භාවිත කළ බව, මෙහිලා කනගාටුවෙන් වුවද මතක් කළ යුතු වන්නේය.

අප මේ ගෙනහැර දැක්වූයේ පසුගිය සති කිහිපය තුළ පාර්ලිමේන්තුවේ පැවැත්වුණු අයවැය විවාදයේදී මන්ත‍්‍රීවරුන් වෙතින් දක්නට ලැබුණු නොමනා හැසිරීම් රටා පිළිබඳ උදාහරණ දෙකක් පමණය. වර්තමානයේ අපේ පාර්ලිමේන්තුව තුළ විනය හා සම්ප‍්‍රදායයන් පිරීහී ඇති ආකාරය මේ දිනවල නිරන්තරයෙන් දකින්නට අසන්නට ලැබෙනාතර, එවන් උදාහරණ ගණනාවක් ම මෙහිලා ගෙනහැර දැක්විය හැකිය. විශේෂයෙන්, පාර්ලිමේන්තු වාදවිවාද රූපවාහිනියෙන් දැක බලාගැනීමට ජනතාවට මෑතක සිට අවස්ථාව ලැබී ඇති හෙයින්, තමන් විසින් තෝරා පත්කර යවන ලද මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හැසිරෙන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව ද ජනතාවට ලැබී ඇත්තේය. අඩුම තරමින්, වාදවිවාද පැවැත්වෙන අවස්ථාවේ හෝ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැුඳී සිටීමට තරම් වූ ස්වයං විනයක් (හැදියාවක්) ඇතැම් මන්ත‍්‍රීවරුන් වෙතින් දක්නට නොලැබෙන අතර, සිය කතාව පැවැත්වීමෙන් පසුව හෝ තමන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබීමෙන් පසුව බොහෝ දෙනෙකු සභා ගර්භයෙන් පිටව යනු දක්නට ලැබෙන්නේය.

එහෙත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සභා ගර්භයට පැමිණෙන අවස්ථාවන්හිදී නම් ඔවුන්ගෙන් ලකුණු දමාගැනීමට, සමහර මන්ත‍්‍රීවරුන් කඩිමුඩියේ දිව එන ආකාරය හාස්‍යය උපදවන තරම්ය. වඩාත් හාස්‍යයට හේතුවන්නේ, කිසියම් ඇමතිවරයෙකු හෝ මන්ත‍්‍රීවරයෙකු කතාවක් පටන් ගත්විට, සමහර මන්ත‍්‍රීවරුන් වහා දිවවිත් ඔහුට පිටුපසින් අසුන් ගැනීමය. මෙහිදී ඔවුන්ගේ ඉලක්කය වන්නේ කථිකයා හරහා තමන්ගේ මුහුණ ද රූපවාහිනී තිරයට ඇතුළු කරගැනීම බව පැහැදිලිය. එපමණක් නොව, කිසියම් ඇමතිවරයෙකු හෝ මන්ත‍්‍රීවරයෙකු කතාවක් කරද්දී ඔහුට සවන් දෙනු වෙනුවට, ඇතැම් මන්ත‍්‍රීවරුන් තැන් තැන්වලට වී තම තමන්ගේ සාකච්ඡුා පැවැත්වීම ද, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විනය පිරිහීමට තවත් හේතුවක් වී ඇත්තේය. රටේ අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගන්නා වැදගත් ආයතනයක් වන පාර්ලිමේන්තුව තුළ මෙයාකාරයට විනය පිරිහීම පිළිබඳව හා එහි ප‍්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීම පිළිබඳව, ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ද මන්ත‍්‍රීවරුන් එකසේ වගකිව යුතුය. ආධුනික මන්ත‍්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති ජේ්‍යෂ්ඨ මන්ත‍්‍රීවරුන් ද එකසේ වගකිව යුතුය.

අද තත්ත්වය මෙතරම් කනගාටුදායක වුවද, ගුණාත්මකභාවය අතින් අතීතයේ අපේ පාර්ලිමේන්තුව මීට වඩා ඉහළ මට්ටමක පැවති බව ඉතිහාසයට එබී බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැනගත හැකිය. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසුව තෝරා පත්කර ගන්නා ලද ප‍්‍රථම රාජ්‍ය මන්ත‍්‍රණ සභාව පනස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඉන් 18 දෙනෙක් ම නීතිඥයෝ වූහ. එක් ඉංජිනේරුවෙක් මෙන්ම වෛද්‍යවරු දෙදෙනෙක් ද ඒ අතර වූහ. ගුරුවරුන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද පළමු රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සිටි අතර, ඉඩම් හිමි වැවිලිකරුවෝ 15 දෙනෙක් ද ඒ අතර වූහ. එදාමෙදා තුර ගතවූ වසර 85ක කාලය තුළ, පාර්ලිමේන්තුවේ ගෞරවය රැුකගනිමින් රටේත් ජනතාවගේත් උන්නතිය උදෙසා අවංකව කැපවුණු මන්ත‍්‍රීවරුන් කොතෙකුත් සිටි අතර, අදටත් අප රට තුළ යම් මට්ටමකින් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකී පවතින්නේ ඔවුන්ගෙන් ඉටුවුණු ඒ මෙහෙවර නිසාවෙනි.

නිදසුනක් ලෙස, වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා දශක හතරක කාලයක් මන්ත‍්‍රීවරයෙකුව සිටිමින්, ලාංකේය පාර්ලිමේන්තුවේ ගෞරවය ඉහළට ඔසවා තැබූ විශිෂ්ඨ ගණයේ උගතෙකි, බුද්ධිමතෙකි. එංගලන්තයේ විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකක් ම ලබා සිටි නිසා, “ඩබල් ඩොක්ටර්” නමින් හඳුන්වනු ලැබූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දේශන දේශපාලන විද්‍යාව හදාරන සිසුනට අත්පොතක් බඳුය. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායයන් ලංකාවට හඳුන්වාදීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇන්.ඇම්. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සකස් කිරීමේදී ද මූලිකත්වය ගෙන කටයුතු කළ ආදර්ශමත් මන්ත‍්‍රීවරයෙකි. ඇන්.ඇම්.ගේ දේශපාලන සගයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ද, පාර්ලිමේන්තුවේ කීර්තිනාමය රැුකගැනීම උදෙසා ඇන්.ඇම්.ට නොදෙවෙනි සේවයක් ඉටු කළ මන්ත‍්‍රීවරයෙකි. ඇන්.ඇම්. පරිද්දෙන්ම, කොල්වින් විසින් ද පාර්ලිමේන්තුවේ කරන ලද කතා ක‍්‍රියාකාරී දේශපාලනඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද එකසේ ප‍්‍රයෝජනවත්ය. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරය ඒකාධිපතිත්‍වයකට මං පාදන බව කියමින්, කොල්වින් ආර්. ද සිල්වා මහතා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකගැනීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේය.
මෙයාකාරයට, ලාංකේය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ලෝකය පුරා ම ගෞරවාදරයට පාත‍්‍රවූ මන්ත‍්‍රීවරුන් බොහොමයක් සිටි අතර, ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ද මෑත කාලයේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන්නට පෙරාතුව, කදිරගාමර් මහතා ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ නැත. ඒ වනවිට ඔහු කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකු නොවූවා පමණක් නොව, එක් වතාවක් හෝ දේශපාලන රැුළියක් අමතා තිබුණේ ද නැත. එහෙත්, 2005 අගෝස්තු 12 වැනිදා එල්ටීටීඊ මිනීමරුවෙකු අතින් ඝාතනයට ලක්වන තෙක්, දශකයක කාලයක් තිස්සේ ලක්‍ෂ්මන් කදිරගාමර් නමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා අතින් සිදුවූ සේවය අති මහත්ය. මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ හොඳම විදේශ අමාත්‍යවරයා ලෙස සැලකෙන කදිරගාමර් මහතා, වසර 85ක ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වූ විශිෂ්ඨ මන්ත‍්‍රීවරුන්ගේ ලැයිස්තුවට අනිවාර්යයෙන් ම එකතු වන්නෙකි.

කෙසේ වුවද, යටකී පරිදි, මෑත කාලයේ ලාංකේය පාර්ලිමේන්තුවේ විනය හා ගෞරවය තදින් ම පිරිහී ඇත්තේය. 1994 අගෝස්තුවේ සිට 2000 ඔක්තෝබර් දක්වා වසර හයක කාලයක් කතානායකවරයාව සිටි කේ.බී. රත්නායක මහතා ද, පාර්ලිමේන්තුවේ විනය ඛේදණීය ලෙස පිරිහීම පිළිබඳව කිහිප වරක් ම අවධාරණය කර සිටියේය. කේ.බී. රත්නායක මහතා පමණක් නොව දේශපාලන විශාරදයන් හා විද්වතුන් බොහෝ දෙනෙකු පසුගිය කාලය තුළ මේ ගැන කොතෙකුත් අනතුරු ඇඟවූවද, ඒ සියල්ල බීරි අලින්ට වීණා වැයීමක් පමණක් වූ බවක් පෙනෙන්නේය. එමෙන්ම, රටක උත්තරීතර ම ආයතනයක් ලෙස සැලකෙන පාර්ලිමේන්තුව තුළ ඊට නොගැලපෙන මෙම නොමනා හැසිරීම් රටා, ඉහත කී පරිදි, ආධුනික මන්ත‍්‍රීවරුන් මෙන්ම ජේ්‍යෂ්ඨ මන්ත‍්‍රීවරුන් වෙතින් ද එකසේ දිස්වන්නේය. පාර්ලිමේන්තුවේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති සමහර ජේ්‍යෂ්ඨ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම් රටා නවක මන්ත‍්‍රීවරුන්ට කිසිසේත් ම ආදර්ශයක් නොවන්නේය. මෙය එක්තරා අන්දමක දුර්වල මානසික තත්ත්වයක් දැයි සැක සිතෙන තරමට, සමහර මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම පිළිගත නොහැකි මට්ටමක පවතින්නේය.

මේ සම්බන්ධයෙන් සමාජයීය මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ලෝ පුරා බොහෝ දේශපාලනඥයන් තුළ සාවද්‍ය ස්වයං තක්සේරුවක් පවතින අතර, සැබෑ තත්ත්වය වසන් කොට සමාජය ඉදිරියේ තමන්ව පුම්බා පෙන්වීමට සමහර දේශපාලනඥයෝ නිරන්තර උත්සාහයක නිරත වෙති. මේ නිසාම, ඇතැම් විට ඔවුන්ගේ ස්වයං පාලනය අඩුවී ස්වයං විනය බිඳී යා හැකිය. එක්තරා සීමාවකට වඩා ස්වයං විනය අඩුවූ විට, ඔවුන්ගේ හැසිරීම ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයක් කරා ද වර්ධනය විය හැකිය. තවද, දේශපාලනඥයන් පමණක් නොව ඕනෑම පුද්ගලයෙකු සතුව දීර්ඝ කාලයක් තිස්සේ පැවති බලය හා තනතුරු අහිමි වූ විට ද, ඔහු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් රටාවන්ට යොමුවීමට ඉඩ ඇත්තේය. පරාජිත මානසිකත්‍වයක් යටතේ දේශපාලනඥයන් වෙතින් ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් දිස්වීම, මනෝ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බලනා විට අස්වාභාවික සංසිද්ධියක් නොවන්නේය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ මැති ඇමති පදවි දරමින් බැබලෙමින් සිටි සමහර උදවියට, වත්මන් පාර්ලිමේන්තුවේ නවක මන්ත‍්‍රීවරුන්ට යහපත් ආදර්ශයක් ලබාදෙමින් කටයුතු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ නිසා විය හැකිය.

එසේ වුවද, ජාතික වශයෙන් විශේෂ වැදගත්කමක් ඇති මෙබඳු කාරණාවලදී හුදු මනෝ විද්‍යාත්මක විග‍්‍රහයන් පමණක් ප‍්‍රමාණවත් නොවන අතර, මේ සඳහා දේශපාලන පක්‍ෂ නායකයන්ගේ ක‍්‍රියාකාරී මැදිහත්වීමක් අවශ්‍ය වන්නේය. මෙයාකාරයට නොමනා ලෙස හැසිරෙන දේශපාලනඥයන්ගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවන හානිය ගැන ජනතාව දැනුවත් කිරීමට, සිවිල් සංවිධාන මෙන්ම බුද්ධිමතුන් ද ඉදිරිපත් වීම අවශ්‍ය වන්නේය. මෙයාකාරයට පාර්ලිමේන්තුවේ විනය පිරිහීමට හා පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීමට තවදුරටත් ඉඩදුනහොත්, එය පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් නොව මුළු රටේ ම අනාගතයට අහිතකර ලෙස බලපානු ඇත්තේය. එබඳු පසුබිමක් තුළ, පාර්ලිමේන්තුවේ ක‍්‍රියාකාරිත්‍වය පිළිබඳවත්, පොදුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳවත් ජනතා විශ්වාසය බිඳවැටීමට ඉඩ ඇත්තේය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.