15 December, 2017

Blog

ජිනීවා ක‍්‍රියාවලිය තුළ විදේශීය විනිසුරන් පිළිබඳ දේශපාලනය

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසි වාරයෙන් පසුව එළැඹි සති අන්තයේ මම පොත් මාරු කර ගැනීම සඳහා කොළඹ මහජන පුස්තකාලයට ගියෙමි. කලින් ලබාගෙන ඇති පොත් භාර දීමට පෝලිමේ සිටින අවස්ථාවේ එහි සිටි තවත් පුස්තකාල සාමාජිකයෙක් මා ලඟට ආවේය. සිවිල් සමාජය නියෝජනය කිරීම සඳහා ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ මා සාමාජිකයෙකු වශයෙන් සිටි වග ඔහු රූපවාහිනියෙන් දැක තිබුණි. විශේෂයෙන් දෙමළ මාධ්‍ය තුළ ජිනීවා සමුළුව ගැන විශාල මාධ්‍ය ආවරණයක් සපයා තිබුණි. යුද්ධයෙන් දිවි බේරා ගත් වින්දිතයන්ට නොපමාව වන්දි ගෙවීමට වගබලා ගත යුතුව ඇතැයි ඔහු උදක්ම ඉල්ලා සිටියේය. එවැනි පිරිස් සඳහා රැුකියා අවශ්‍ය බවත්, ඔවුන්ගේ දරුවන් බලාකියා ගැනීම සඳහා මුදල් අවශ්‍ය බවත්, ඊට අමතරව, ආබාධිතයන් සඳහා කෘත‍්‍රීම අංගෝපාංග සැපයිය යුතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

යුද්ධයෙන් පීඩාවට පත් වින්දිතයන්ට තවම සහන සැලසී නැත. තමන්ගේ ආදරණීයයන් පිළිබඳ ආගිය අතක් නොදන්නා බොහෝ දෙනා, තමන්ගේ පාරම්පරික ඉඩකඩම්වලින් අස්වාමී කොට ඇති බොහෝ දෙනා, පවුලේ ජීවිකාව උපයා දුන් පුද්ගලයා නැති වීමෙන් දරිද්‍රතාවට පත්ව ඇති බොහෝ දෙනා සහ යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සිටින බොහෝ දෙනා, තමන්ට තම රට තුළදී නොලැබෙන සහනය අපේක්ෂාවෙන් ජිනීවා දෙස නෙත් අයා බලා සිටිති. එම සහන ඔවුන්ට සැලසිය යුතු බව කියමින්, ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකා රජයේ ද සම-අනුග‍්‍රහයෙන් 2015 ඔක්තෝබර් මාසයේදී සම්මත කර ගත් යෝජනාව ප‍්‍රකාර සහන මේ දක්වා යථාර්ථයක් වී නොමැත. ජනතාවගේ අපේක්ෂා සමුදාය දෙස බලන විට, ඉහත කී කාරණා සම්බන්ධයෙන් මේ දක්වා ආණ්ඩුව පැත්තෙන් ඉෂ්ට සිද්ධ වී ඇති ප‍්‍රමාණය මොන විදිහකින්වත් නොසෑහෙයි. එක් කාරණයක් සම්බන්ධයෙන් පමණක් සෑහීමකට පත්විය හැකි තත්වයක් තිබේ. එනම්, නීතියට හසු නොවී නීති උල්ලංඝණය කිරීමට පැවති නිදහස දැන් අහෝසි වී තිබීමයි.

ශ‍්‍රී ලංකාව පොරොන්දු වූ කාරණා ඉෂ්ට කිරීම කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට අමතර කාලයක් දීමට, ජිනීවා නුවර නිල සැසි වාරය අතරවාරයේ පැවති අතිරේක මණ්ඩපවලදී මානව හිමිකම් කණ්ඩායම් සහ දෙමළ ඩයස්පෝරා නියෝජිතයෝ කැමැත්තක් නොදැක්වූහ. පොරොන්දු ක‍්‍රියාත්මක කිරීමට ලැබී ඇති කාලය තව අවුරුදු දෙකකින් දීර්ඝ කර ගැනීම සඳහා වූ ආණ්ඩුවේ එකී ප‍්‍රයත්නයට එයින් බොහෝ දෙනා විරෝධය පෑහ. නීති උල්ලංඝණයන් නිසා පීඩාවට පත් වින්දිතයන් යුක්තිය පතා දීර්ඝ කාලයක් රස්තියාදු කැරැුවීමට, ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටින පිරිස් තුළ කැමැත්තක් නැත. එකී වින්දිතයන්ට හැකි ඉක්මණින් සහන සැලසිය යුතුව ඇති බව ඔවුන්ගේ අදහසයි.

කාලය දීර්ඝ කිරීම

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව අපේක්ෂා කරන අමතර කාලය ලබා ගැනීමට බොහෝ විට හැකියාව තිබේ. ඇත්ත වශයෙන්ම, ඇමරිකාව ඇතුළු මූලික කණ්ඩායමේ නායකත්වයෙන්, ශ‍්‍රී ලංකාවේ ද සහභාගීත්වයෙන් මේ සැසි වාරයේදීත් යෝජනාවක් ගෙන ඒමට නියමිත බව කියැවේ. 2015 යෝජනාවේ අඩංගු පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා දෙවසරක අමතර කාලයක් ලබා ගැනීම සඳහා වන එම යෝජනාව, ඇමරිකාව, එක්සත් රාජධානිය සහ මොන්ටිනෙග්රෝ යන රටවල මූලිකත්වයෙන්, ශ‍්‍රී ලංකාවේ ද සහභාගීත්වයෙන් යුතුව ගෙන එන බව, ‘සංහිඳියා යාන්ත‍්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ’ මහ ලේකම් මනෝ තිත්තවැල්ල කියා තිබේ. ශ‍්‍රී ලංකාව මත, දේශපාලනික හෝ ආර්ථික සම්බාධක පැනවීම සඳහා ලෝකයේ කිසි රටක් අද ඉදිරිපත් වෙතැයි සිතිය නොහේ. අද ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් සහ රටේ ජනතාවගේ ජීවන තත්වය සම්බන්ධයෙන් ගත් විට එය යහපත් ලක්ෂණයකි.

ජිනීවා නුවර නිල සම්මන්ත‍්‍රණයට අතිරේක වශයෙන් පැවති විවිධ සාකච්ඡාවලදී ඉතා වැදගත් රටවල්වල දූත පිරිස් මුණගැසීමට ශ‍්‍රී ලංකා දූත පිරිසට හැකි විය. ඒ අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් බින් රාඞ් සයිඞ් අල් හුසේන් ඇතුළු බොහෝ බලගතු රටවල විවිධ දූත පිරිස් ද වූහ. එක්සත් ජාතීන්ගේ ක‍්‍රියා පරිපාටි තුළ වර්තමානයේ තීරක කාර්ය භාරයක් ඉෂ්ට කරන ඔවුන්ගෙන් ඇතැමෙක් මීට පෙර ශ‍්‍රී ලංකාව සමග කටයුතු කොට ඇති අතර, වෙනත් රටවල්වලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ තත්වය පිළිබඳ සංසන්දනාත්මක ඇගැයීමක් කිරීමට සමත් වෙත්. ඔවුන් තුළ ශ‍්‍රී ලංකාවේ සමස්ත වර්ධනයන් පිළිබඳ පැහැදීමක් ඇති වීමට ඉඩක් ඇති අතර, ලෝකයේ වෙනත් තැන්වල අසතුටුදායක තත්වයන් සමග ශ‍්‍රී ලංකාව සැසඳීමට ඔවුන්ට හැකියාව තිබේ. උදාහරණයක් වශයෙන්, මියන්මාරයේ නායිකා අවුන් සාන් සූ කී කෙරෙහි ලෝකයා තුළ ඇත්තේ අපේක්ෂා භංගත්වයකි. ඇය සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබ ඇතත්, ඇගේ රටේ බරපතල මානව හිමිකම් උල්ලංඝණය වීමේ තත්වය මොන ලෙසකින්වත් අඩු වී ඇති බවක් නොපෙනේ.

ලංකාවේ ජීවත් වන විවිධ ජාතීන්ට අයත් කණ්ඩායම් අතර වාර්ගික සම්බන්ධතා වර්ධනය කර ගැනීමටත්, පොදුවේ ගත් විට රටේ ජනතාවගේ ජීවන තත්වයන් උසස් කරලීමටත් තමන් කැප වන බව බොහෝ දෙනාට ඒත්තු ගැන්වීමට, විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට හැකි විය. ජිනීවා නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ‍්‍රී ලංකා දූත පිරිස එක්ව විවිධ හමුවීම් සංවිධානය කළහ. ඒවාට, ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාවෙන්, දෙමළ ඩයස්පෝරාවෙන්, රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රජාවෙන් සහ මාධ්‍ය ක්ෂේත‍්‍රයෙන් සියයට අධික පිරිසක් සහභාගී වූහ. එම හමුවීම්වලදී, ඔවුනොවුන්ගේ අදහස් දැක්වීම්වලට අවස්ථාව සලසන ලදි. ඔවුන් ඉදිරිපත් කළ සෑම පැනයකටම නොපැකිලව පිළිතුරු සැපයීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පැයක කාලයක් වෙනුවෙන් සංවිධානය කොට තිබු එම හමුව පැය දෙකකට ආසන්න කාලයක් දක්වා දිග් ගැස්සුණි.

දෙමුහුන් යාන්ත‍්‍රණය

යම් තරමක ගැටළුවක් වන්නේ, යුද අපරාධ විමසා බැලීම සඳහා යෝජිත, විදේශ විනිසුරන්ගෙන් සමන්විත, දෙමුහුන් අධිකරණය පිළිබඳ කාරණයයි. බරපතල මානව හිමිකම් උල්ලංඝණය කළවුන්ව වගවීමෙන් බැඳ ගැනීම සහ ඔවුන්ට දඬුවම් පැමිණවීම, සංක‍්‍රාන්ති යුක්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ පද්ධතිය හා නිසගයෙන් බැඳී පවතින එක් අංගයකි. ප‍්‍රශ්නය වන්නේ එය කොතෙක් දුරට සාක්ෂාත් කර ගත හැක්කේද යන්නයි. දෙමුහුන් අධිකරණය ඒ සඳහා වන අනිවාර්ය විසඳුමක් නොවේ. 2003 දී කාම්බෝජයේ පිහිටුවන ලද දෙමුහුන් අධිකරණ පද්ධතිය තුළ, අවුරුදු 14 ක වෑයමකින් පසුවත්, විනිශ්චයාවසානයකට ළඟා විය හැකි වුණේ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් පමණි. ඒ සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 200 කි. ඊට අමතරව, විදේශ විනිසුරුන් ප‍්‍රසිද්ධියේ ඔවුනොවුන් අතරේ ප‍්‍රශ්න ඇති කර ගැනීම සහ අදාළ ආණ්ඩුවේ බලපෑම් නිසා එම තනතුරුවලින් ඔවුන් ඉල්ලා අස්වීමේ සිදුවීම් ද වාර්තා වී තිබේ.

අධිකරණ පද්ධතිය මුළුමණින් කඩා වැටී නැති රටවල, තීරක ක‍්‍රියාවලිය තුළට විදේශීය විනිසුරන් රැුගෙන ඒමට එරෙහි බරපතල විරෝධයක් තිබේ. සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳ ඉතා මෑත කාලීන සාර්ථක උදාහරණය වන කොළොම්බියාවේ මේ ක‍්‍රියාවලිය සඳහා යොදා ගත්තේ දේශීය විනිසුරුවරුන් ය. උපදේශක කාර්ය භාරය සඳහා පමණක් විදේශීය විශේෂඥ සහාය ලබා ගන්නා ලදි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, අගමැති රනිල් වික‍්‍රමසිංහත් යන දෙදෙනාම විදේශ විනිසුරුවරුන් යොදා ගැනීම ගැන සිය නොකැමැත්ත ප‍්‍රකාශ කොට තිබේ. මන්ද යත්, දේශපාලනිකව ගත් විට රට ඇතුළෙන් ඊට විරෝධයක් පැන නගින බව ඔවුන් දන්නා නිසා ය. මහජන පුස්තකාලයේ දී මට ආමන්ත‍්‍රණය කළ පුද්ගලයාට අවශ්‍ය කෙළේ, ආණ්ඩුව මගින් යුද වින්දිතයන්ව හොඳින් බලාකියා ගැනීමයි. ඒ සමගම, මළගියවුන් වෙනුවෙන් පළිගැනීම වෙනුවට ඔහු වැදගත් කොට සැළකුවේ ජීවතුන් අතර සිටින අයවළුන් ජීවත් කැරැුවීමයි. වින්දිතයන් යුක්තිය අපේක්ෂා නොකරන බවක් මෙයින් අදහස් නොවේ. එහෙත් දැන් ඔවුන්ට අවශ්‍ය කරන්නේ ජීවන නඩත්තුවයි.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් භාර ගන්නා ලද 2015 ඔක්තෝබර් යෝජනාව ක‍්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් වන මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව තුළ විවේචනාත්මක ස්වරයක් ගැබ් වෙයි. ‘ශ‍්‍රී ලංකාවේ සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලියේ මන්දගාමී ස්වභාවයත්, අතීත අපරාධ පිළිබඳ වගවීමට ආමන්ත‍්‍රණය කෙරෙන විධිමත් උපාය මාර්ගයක අඩුවත් විසින් තිරසාර සාමය, සංහිඳියාව සහ ස්ථාවරත්වය සඳහා වන ප‍්‍රවේගය බාල කරවන’ බව එහි සඳහන් වෙයි. යුද අපරාධ සඳහා දෙමුහුන් යාන්ත්‍ර​ණයක් ස්ථාපිත කළ යුතු බව එක්සත් ජාතීන්ගේ නිර්දේශයයි. මානව හිමිකම් සඳහා උරදෙන උද්ඝෝෂකයන් ඒ සඳහා පෙනී සිටිනු ඇත. එහෙත් දේශපාලනය යනු කළ හැකි දේවල් තෝරා බේරාගෙන කිරීම පිළිබඳ කලාවකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවසාන තීරණය නිශ්චය කෙරෙනු ඇත්තේ එහි සාමාජික රටවල් 47 නියෝජිතයන්ගේ තීරණය මගිනි. දේශපාලනික වශයෙන් කළ නොහැකි දෙයක් ශ‍්‍රී ලංකා ආණ්ඩුව මත පැටවීමට ඔවුන් උත්සාහ ගනිති යි සිතිය නොහේ.

*2017 මාර්තු 6 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “The Politics of Foreign Judges in the Geneva Process” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.