4 December, 2020

Blog

ආණ්ඩුව යළිත් ඉදිරි පිම්මේ

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

සමාජ තන්ත‍්‍රයේ විස්මිත වෙනස්කම් ඇති කර ගැනුණේ, ජනවාරි මාසයෙන් ඇරඹුණු පශ්චාත්-ජනාධිපතිවරණ කාලයේදී ය. තර්ජනයට ලක්ව සිටි දේශපාලනික විමතිකවාදීන් සහ සුළුතර ප‍්‍රජාවන්ට අස්වැසිල්ලක් ගෙන දෙමින්, පැවති ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වූ ඝාතක කල්ලි පිළිබඳ බිය මේ කාලයේදී මුලිනුපුටා දැමුණි. මේ කියන බිම් මට්ටමේ සාධනීය වෙනස්කම් සමග, 19 වැනි සංශෝධනය හරහා ප‍්‍රධාන පෙළේ දේශපාලනික ප‍්‍රතිසංස්කරණයක් ඇති කෙරුණි. ඒ මගින් ජනාධිපතිවරයා සතුව පැවති බොහෝ අත්තනෝමතික බලතල ඉවත් කෙරුණු අතර, සංවරණ සහ තුලන පද්ධතියක් ස්ථාපිත කෙරුණි.

කෙසේ වෙතත්, අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව එක තැන පල්වෙන ගතියක් පෙනෙන්ට තිබුණි. විශේෂයෙන් පසුගිය මාස තුන ඇතුළත යම් අවිනිශ්චිත බවක් මෝරා වැඩුණි. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට අවස්ථා දෙකකදී තුඩුදුන් යහපාලනය මත පදනම් වූ ප‍්‍රධාන සටන් පාඨ නන්නත්තාර වන සෙයක් පෙනෙන්ට තිබුණි.

ඊට අමතරව, පසුගිය සති කිහිපය ඇතුළත, දූෂණය සහ බැඳියාවන් අතර ගැටුමකාරීත්වයට අදාළ ප‍්‍රශ්න අරභයා ආණ්ඩුවේ සාමාජිකයන් අතරේම සිදුවන ගහබැණ ගැනීම් දැක ගත හැකි විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සම-අනුග‍්‍රාහකත්වය දැක්වීම හැරුණු කොට, ජනතා පරිකල්පනය ඇවිලවිය හැකි ආකාරයේ කිසි වෙනසක් සිදු වුණේ නැත. බටහිර රටවල් සමග ශ‍්‍රී ලංකාව එතෙක් පවත්වාගෙන ගිය නෝක්කාඩුව එම යෝජනාවට සහයෝගය පළ කිරීම මගින් සමනය කෙරුණු අතර, බටහිර ලෝකයේ ආර්ථික කක්ෂයට ආපසු ඇතුලූ වීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාව අත්කර ගත්තේය.

එහෙත් එම එකඟතාව තුළ දෙපැත්ත කැපෙන ගතියක්ද තිබුණි. ඒ වනාහී, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන් වැදුණු පිරිස් පාවා දීමක් වශයෙන් දේශපාලනික විපක්ෂය විසින් එය හඳුන්වන ලද්දේ එබැවිනි. ඉස්ලාමීය ලෝකයේ සහ බටහිර ලෝකයේ සිදුවන දේවල් කෙරෙහි ලෝක අවධානය යොමුවී පවතින මොහොතක, එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනී සමන්තා පවර් මේ අවස්ථාවේ ලංකාවට පැමිණීම මගින් කියාපාන්නේ ලෝක ප‍්‍රජාව ඉදිරියේ ශ‍්‍රී ලංකාව අත්කරගෙන සිටින විශේෂිත ස්ථානයයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමරිකානු විශේෂ අනුග‍්‍රහය පවා ලංකාවට අත්වීමට ඉඩ ඇත. සමන්තා පවර් යනු, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ ඉතා සමීපතමයෙකු බව කියැවේ.

මේ සන්දර්භය තුළ, ආණ්ඩුවට නව ජවයක් සපයා ඇති වර්ධනයන් දෙකක් තිබේ. එකක් වන්නේ, ජනතාවට සහන සලසා දී තිබෙන අයවැයයි. දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ අත්කර දෙන ආයෝජන, දිළිඳු භාවය ඉද්දර සිටින ජනතාව එතරම් අගය කරන්නේ නැත. මූලික ආහාර ද්‍රව්‍ය සහ ගෑස් වැනි භාණ්ඩ මිළ අඩු වීම ඔවුන්ගේ ක‍්‍රය ශක්තියට ක්ෂණික වාසියක් ගෙන දෙයි. ඒ මගින් ආණ්ඩුවේ දේශපාලනික ස්ථාවරත්වයත් සහතික කෙරේ. එම අවකාශය ප‍්‍රයෝජනයට ගනිමින්, ජිනීවා යෝජනාවෙන් ඉල්ලා සිටින දේශපාලනික ප‍්‍රතිසංස්කරණ වැනි විවාදාපන්න දේශපාලන තීරණ ගැනීමේ හැකියාවක්ද ආණ්ඩුවට ලැබේ.

සීග‍්‍ර ක‍්‍රියාවලිය

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා පියවර ගන්නා බවට ආණ්ඩුව කර ඇති ප‍්‍රකාශයත් ජනතාව අතරේ සාධනීය ප‍්‍රතිචාරයක් ඇති කිරීමට හේතු විය හැකිය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම එකී ප‍්‍රකාශය තුළ මුල් තැනක් ගෙන තිබේ. මේ යෝජනා දෙක කෙරෙහිම කැමැත්තක් සාමාන්‍ය ජනතාව අතර තිබේ. 1978 ව්‍යවස්ථාවට බොහෝ කලකට පෙර සිටම ආණ්ඩුවේ අධිකාරී මධ්‍යගත භාවය පිළිබඳ ප‍්‍රශ්නය මතු වී තිබුණත්, බලය අනවශ්‍ය අන්දමින් කේන්ද්‍රගතව පැවතීමේ මූලය වශයෙන් ජනතාව දකින්නේ ජනාධිපති ක‍්‍රමයයි. බලය එසේ කේන්ද්‍රගත වීම කාලයක් තිස්සේ උග‍්‍ර විය. දෙවැනි ප‍්‍රතිසංස්කරණය වන්නේ, මුළු දිස්ත‍්‍රික්කයක්ම ආසනයක් වශයෙන් සළකා, සමානුපාතික නියෝජනය මත පදනම් වන වර්තමාන මැතිවරණ ක‍්‍රමයයි.

යහපාලනය පිළිබඳ ප‍්‍රතිඥා මත මේ ආණ්ඩුව බලයට පත්කර ගැනීමට ඡන්දය පාවිච්චි කළ ජනතාව තුළ එවැනි දේශපාලනික ප‍්‍රතිසංස්කරණ ඔස්සේ යම් විශ්වාසයක් ජනිත කැරැුවිය හැකිය. එසේ වෙතත්, අවශ්‍ය තරමින් ධෛර්ය සම්පන්නව ආණ්ඩුව ක‍්‍රියා නොකරන බවටත්, ආණ්ඩුව විසින්ම චෝදනාවට ලක්කළ දූෂණ සහ දණ්ඩමුක්ති සිදුවීම් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට දඬුවම් නොපමුණූවන බවටත් ජනතාව තුළ ඇත්තේ කලකිරීමකි. ආණ්ඩුව අද මුහුණදෙන ප‍්‍රශ්නය වන්නේ, ඔවුන් කැප වී සිටින නීතියේ ආධිපත්‍යයට අදාළ ක‍්‍රියාපරිපාටිය මන්දගාමී එකක් වීමයි. නඩු පැවරීමාදියෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා සංයුක්ත සාක්ෂි අවශ්‍ය කෙරේ. මේ අතර, බලයේ සිටි අයවළුන්ට එරෙහිව දූෂණ චෝදනා ඔප්පු කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වන බව, වෙනත් රටවල එවැනි සිදුවීම්වලින් පෙනෙන්ට අත්දැකීමකි. දීර්ඝ කාලයක් තිස්සේ අධිකාරීවාදී සහ දූෂිත පාලන තන්ත‍්‍රයන් තිබූ පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවලින් හිටපු පාලකයන් පැහැර ගත් ධනය ආපසු සොයා ගැනීමට සහ රටට ගෙන ඒමට දීර්ඝ කාලයක් ගතවී තිබේ. එහිදීත්, නැති වූ සියලූ සන්තකය ආපසු සොයා ගැනීමට හැකි වී නැත. ඊට අමතරව, චූදිතයෙකුට ඇති නීතිමය ආරක්ෂණ ක‍්‍රමවේද නිසාද නඩු විභාග සඳහා කල් ගත වෙයි. යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණයන් විභාග කිරීම් සම්බන්ධයෙන් ඇති විය හැක්කේද එවැනි තත්වයකි. එවැනි නඩු විභාග අවසන් කිරීමට ඉන්දුනීසියාව සහ කාම්බෝජය වැනි රටවලට දශක දෙකේ සිට හතරක් දක්වා වන දීර්ඝ කාලයක් ගත වු බව මෙහිදි පෙන්වා දීම වටී.

මෙවැනි නඩු විභාග කි‍්‍රයාවලීන් සඳහා ගත වන දීර්ඝ කාලයට ප‍්‍රතිපක්ෂව, අනිත් පැත්තෙන්, මාස හයක් වැනි කෙටි කාලයකින් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට ආණ්ඩුවේ නායකයෝ අපේක්ෂා කරති. ජාතික එක්සත් ආණ්ඩුවක් පිහිටුවාගෙන ඇති නිසා මේ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්දය ලබා ගැනීමට හැකි වේය යන්න ඔවුන්ගේ අපේක්ෂාවයි. මේ ආණ්ඩුවට නායකත්වය සපයන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේනත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් ය. සම්ප‍්‍රදායිකව එකිනෙකාට පසමිතුරුව සිටි මේ පක්ෂ දෙක දැන් එකම ආණ්ඩුවක් තුළ කටයුතු කිරීම, පෙර නොවූ විරූවකි. ඒ අද්විතීය සහයෝගීතා හවුල ඉහත කී කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා උපයෝගී කරගත හැකිය.

බොරු වළවල් කිහිපයක්

අනිත් අතට, මේ සහයෝගීතා හවුල අනවශ්‍ය අන්දමේ පීඩනයට ලක්කළොත් කඩා වැටෙන්ට පුලූවන. ආණ්ඩුවත් ඒ සමග අවසානයකට පත්වෙනු ඇත. මීට කලින් අවස්ථාවක, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවට සිදුවුණේ එයයි. 2000 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඇගේ ආණ්ඩුව කඩා වැටුණි. මේ නිසා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඉදිරියේ ඇති අභියෝගය ඉමහත් ය. ඉදිරියේදී බොහෝ බොරු වළවල් තිබෙන්ට පුලූවන. උදාහරණයක් වශයෙන්, විධායක ජනාධිපති ක‍්‍රමය කෙරෙහි සෑම පාර්ශ්වයකම විරෝධයක් නැති බව සැළකිල්ලට ගත යුතුය. තනි සමස්තයක් වශයෙන් මුළු රටම එකට ඡන්දය පාවිච්චි කරන අවස්ථාව එයයි. ඡන්දදායකයන් වෙසෙන්නේ උතුරේ වේවා, දකුණේ වේවා, නැගෙනහිර හෝ බස්නාහිර වේවා, ඔවුන්ට ඡුන්දය පාවිච්චි කිරීමට ඇත්තේ එකම අපේක්ෂකයන් පිරිසකි. මෙය, වාර්ගික, ආගමික සහ ප‍්‍රාදේශීය ප‍්‍රභේදයන් මත බෙදී සිටින රටක එක්සත් භාවය එක් තැන් කරන වටිනා අවස්ථාවකි. අනිත් අතට, පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනතාව ඡුන්දය පාවිච්චි කරන්නේ තමන්ගේ පළාතේ අපේක්ෂකයන්ටයි. වෙනත් පළාත්වල ඡන්දාපේක්ෂකයන් ඔවුන්ට වැදගත් නැත. එහි අදහස වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔවුන්ගේ අවධානය පළාතකට යොමු වෙනවා මිස රටක් වශයෙන් සැළකිල්ලට නොගැනෙන බවයි. ජනාධිපතිවරණයකදී එසේ වන්නේ නැත.

අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේදී, බලය බෙදා හැරීම සහ ජාතීන් අතර බලය බෙදා ගැනීම පිළිබඳ ප‍්‍රශ්න ඉස්මත්තට එයි. මේ ප‍්‍රශ්න නිසා, වාර්ගික සහ ආගමික වශයෙන් හැම පාර්ශ්වයකම ජාතිකවාදී හැඟීම් උත්සන්න කරනු ලැබීමෙන්, අතීතයේ ඇතැම් ආණ්ඩු පෙරැුලී තිබේ. මේ දක්වා, පශ්චාත්-යුදමය දේශපාලනික විසඳුමක් ගැන සාකච්ඡාවක් දියත්ව නැත. එම ප‍්‍රශ්නය, අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ ප‍්‍රයත්නයේදී ඉස්මත්තට එනු නියති. දැන් අපට අපේක්ෂා දල්වා ගැනීමට සිදුව ඇත්තේ, ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරත්, විවිධ වාර්ගික සහ ආගමික සුළුතරයන් නියෝජනය කරන කුඩා පක්ෂත් අතර තිරසාර දේශපාලනික විසඳුමක් සඳහා වන එකඟතාවක් ඇති කර ගැනීමට හැකි වේය යන අපේක්ෂාවයි.

ආණ්ඩුවේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ප‍්‍රයත්නය සඳහා කුඩා පක්ෂවලත් සහයෝගය ලබා ගත හැකිව තිබීම සතුටට කාරණයකි. ඒ කෙරෙහි විවේචනයක් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවලින් මෙතෙක් එල්ල වී නොතිබීම වැදගත් ය. ඒ සඳහා යොදා ගැනීමට නියමිත ක‍්‍රියාවලිය ගැන හෝ ඒ සඳහා දී තිබෙන මාස හයේ සීමිත කාල පරාසය ගැන හෝ ඔවුන් විවේචනය කරන්නේ නැත. එහි අදහස වන්නේ, ඉදිරියේ ඇති වීමට නියමිත ප‍්‍රතිසංස්කරණ ගැන යම් අනියම් එකඟතාවක් ඔවුන් අතර ඇති බවයි. ඔවුන්ව එසේ එකට බැඳ තබන්නේ යහපාලන අපේක්ෂාව මගිනි. එහි ප‍්‍රමුඛ පුරුක වන්නේ වගවීමයි. බොහෝ කොට පුළුල් ලෝකය තුළ දක්නට නැත්තේ එයයි. එනම්, තීරණ ගන්නා පිරිස් ඒ පිළිබඳ වගවීමෙන් බැඳී නොසිටීමයි. දැනට ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනී සමන්තා පවර් ශ‍්‍රී ලංකාවට ඇමරිකාව සෑම ආධාරයක්ම දෙන බව කීවාය. මන්ද යත්, සමාජ තන්ත‍්‍රයේ සෑම අංශයකින්ම යහපාලනය සඳහා සහයෝගය ලබා ගැනීමට සමත් වීමත්, ඒ නිසාම එය තිරසාර ජයග‍්‍රහණයක් කර ගැනීමට සමත් රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබීමත් නිසා ය.

*2015 නොවැම්බර් 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Government Regains Forward Momentum” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.