25 October, 2021

Blog

ඊජිප්තුවේ තවත් ‘තියනමෙන් චතුරශ‍්‍රයක්’?

ජොනතන් පවර්

ඊජිප්තුවේ රඟගත වීමට යන්නේ, කලකට පෙර චීනයේ ‘තියනමෙන් චත‍්‍රරශ‍්‍රයේ’ සිදු වූ ඒ මහා මිනිස් ඝාතනය ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත් වූ පසු බලහත්කාරයෙන් පලවා හරින ලද මොහොමඞ් මෝර්සිට සහාය දක්වන, ‘මුස්ලිම් සහෝදරත්වයේ’ ජනතා උද්ඝෝෂණය කුඩුපට්ටම් කිරීමට, නව සිවිල්/මිලිටරි පාලනය මේ වන විට සපථ කොට සිටී.

ජොනතන් පවර්

යෝධ සන්නද්ධ රාජ්‍ය බලයකින් මිස මේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමේ හැකියාවක් ඇති බවක් පෙනෙන්ට නැත. විරෝධතාකරුවන් අතර පවුල් පිටින් (බොහෝ විට ඉතා කුඩා වියේ) ළමුන් ද සිටින ඡුායාරූප රූපවාහිනියෙන් අපට දැකගන්නට ලැබේ. පොලීසිය සහ, බාගෙවිට හමුදාවත් මොවුන්ට එරෙහිව මුදා හැරියොත් ඇති විය හැකි අහිංසක ජීවිත විනාශය, ‘තියනමෙන් චතුරශ‍්‍රයේ’ අත්දැකීම ළදරුවෙකු බවට පත්කරනු ඇත. මුළු රටම එයින් ගිනි ගනු ඇත. එහි අවසන් ප‍්‍රතිඵලය වනු ඇත්තේ විනාශකාරී සිවිල් යුද්ධයකි.

දීර්ඝ කාලයක් බලය හෙබැවූ අධිපති පාලනයක් පෙරලා දැමීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයක අවසානය නොව, එහි ආරම්භය සනිටුහන් කරන්නක් බව, ලෝක ඉතිහාසය පුරා අපි උගෙන ඇත්තෙමු. ඊජිප්තුව ඊට වෙනස් වන බවක් පෙනෙන්ට නැත.

කෙසේ වෙතත්, ‘අරාබි වසන්තයට’ මග වැරදී ඇති සෙයකි. මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකාවේ රටවල්වලින් සියයට 72 කට සහ එහි වෙසෙන ජනයාගෙන් සියයට 85 කට තවමත් මූලික දේශපාලනික අයිතීන් සහ සිවිල් නිදහසේ උරුමය අහිමිව ඇති බව, ‘‘ෆී‍්‍රඩම් හවුස්’’ පර්යේෂණ ආයතනය මගින් කළ අධ්‍යයනයක් මගින් පෙන්නුම් කෙරේ. අධිපතිවාදී රාජ්‍ය තන්ත‍්‍රයක සිට මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ගමන් ගත් සහ සිවිල් අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට සහාය පාන මධ්‍යස්ථ දේශපාලන නායකයන්යෙන් යුත් එම කලාපයේ එකම රට, ‘අරාබි වසන්තයට’ මුල පිරූ ටියුනීසියාවයි. එහි ප‍්‍රවෘත්ති මාධ්‍ය ශක්තිමත් ය. සිවිල් සමාජය වැඩිවිය පත්ව සිටී. එහෙත් මෑතක දී සිදුවූ ඇතැම් දේවල් නිසා, එම රටේ පවා සියල්ල සර්වප‍්‍රකාර නොවන බවක් පෙනේ.

මේ කලාපයේ බොහෝ රටවල පරිහානියට වගකිව යුත්තේ එම රටවල නායකයන්මයි. එහෙත් සිරියාව හැරුණු කොට වඩාත් විනාශයට පත් ඉරාකයේ අවාසනාවන්ත වර්තමානයට වගකිව යුත්තේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සහ බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ පාලන තන්ත‍්‍රයන් මගින් ඉරාකයට එරෙහිව දියත් කළ ආක‍්‍රමණයයි. එරටේ වෙසෙන සුන්නි සහ ෂීයයිට් මුස්ලිම් නිකායිකයන් අතර අද කෙරෙන මිනිමරා ගැනීම, ඒකාධිපතිත්වයක් ඕනෑවට වඩා වේගයෙන් අවසන් කිරීමේ සහ හිංසනය මගින් එසේ කිරීමේ අවදානම කියාපාන අනතුරු ඇඟවීමකි. ඉතා කුරිරු ආකාරයෙන් ඉරාකය පාලනය කළ සදාම් හුසේන්ගේ රාජ්‍ය තන්ත‍්‍රය අවසන් විය යුතුව තිබුණි. එහෙත් එය සිදුවිය යුතුව තිබුණේ මෙසේ නොවේ. (විශේෂ ඉරාක විරෝධතා ආකල්ප නොදරන විශාල පිරිසකට, සදාම් හුසේන්ගේ ඉරාකය, සෞභාග්‍යමත්, හිතකර සහ සාමකාමී රටක් වු බව බොහෝ දෙනා අද අමතක කරති).

එහෙත් ‘‘පසුගිය සියවසේ පළමු සහ දෙවැනි ලෝක යුද්ධවලින් පසුව ඉස්මතු වූ සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියක් පසුපසම, එය නොඉවසන නැඹුරුවක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම සහ එහි උචිත භාවය පවා පොදුවේ ප‍්‍රශ්න කරන නැඹුරුවක් පැවති’’ බව, පෙබරවාරි මාසයේ ‘විදේශ කටයුතු’ සඟරාවට ලියමින් ෂෙරී බර්මාන් පෙන්වා දෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය හටගන්නා විට, සැකය සහ පසමිතුරුකම් බොහෝ විට පුපුරා යයි. එහෙත් එය හැම විටකම සිදුවන්නේ, 1970 දශකයේ ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ සහ ග‍්‍රීසියේ හෝ, 1980-90 දශකවල ලතින් ඇමරිකාවේ බොහෝ රටවල සිදුවූ ආකාරයෙන්ම නොවේ.

සත්තකින්ම, ජර්මනිය, ඉතාලිය සහ ප‍්‍රංශයේ පවා පුපුරා යාම් සිදුවු බවට ඉතිහාසය දෙස් දෙයි.

ප‍්‍රංශය ගැන සළක බලතොත්, 1789 ප‍්‍රංශ විප්ලව සමයට අප හැරී බැලිය යුතුය. එය, රජුට එරෙහිව පැනනැගුණු ජනතා කැරැල්ලකි. එහෙත් රජු පෙරලා දැමීමෙන් පසු බිහිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයේ දී බලය ඩැහැගත්තේ අන්තවාදීන් ය. රොබෙස්පියර් බලයට පැමිණියේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ධවල භීෂණයෙන් ඔහු මුළු රටම ගිනි තිබ්බේය. සමූහ දණ්ඩන ඝාතනවලින් ජනතාව බියවැද්දුවේය. එසේ වෙතත්, දෙවැනි ලෝක යුද්ධය ඇවෑමෙන් එම රටේ ස්ථාපිත කෙරෙන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අවශ්‍ය කෙරෙන පදනම ප‍්‍රංශ විප්ලවයෙන් ශක්තිමත් කොට තිබුණි. රජ ක‍්‍රමය යටතේ එතෙක් පැවති වැඩවසම් ධූරාවලියක් මත සැපයුනු අනුග‍්‍රාහක ක‍්‍රමය වෙනුවට, පුද්ගල දේපළ අයිතිය සහ නීතියේ සමානාත්මතාව මත පදනම් කෙරෙන වෙළඳපොළ ආර්ථිකයක් විප්ලවයෙන් බිහි කෙරුණි. ඒ හරහා, පුරවැසි භාවය, පුරවැසි අයිතීන් සහ සුජාත ආණ්ඩුකරණය පිළිබඳ ජනතා ආකල්ප වෙනස් කෙරුණි.

ඉතාලිය, පළමු ලෝක යුද්ධයට පෙරාතුවම ප‍්‍රජාතන්ත‍්‍රීය කෙරුණි. එසේ වෙතත්, යුද්ධය නිසා තත්වය දුෂ්කර විය. රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන සමාජවාදීන් සහ (වර්තමාන ඊජිප්තුවේ ‘මුස්ලිම් සහෝදරත්වයට සමානත්වයක් උසුළන) කතෝලිකවාදීන් සිටියේ එකිනෙකාට පසමිතුරුවයි. 1922 දී රජතුමා, දෙවැනි ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සහායකයෙකු වූ බෙනිතෝ මුසෝලිනීගේ ෆැසිස්ට්වාදයට රට පැවරුවේය. යුද්ධයෙන් පසුව, මුසෝලිනීව ලයිට් කණුවක එල්ලා මරා දැමීමෙන් පසුව, ඉතාලියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කෙරුණි. ඒ ආකාරයෙන්, පිරික්සුම් අභ්‍යාසයකින් පසු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්හදාබැලීම නතර වූ තැනින් ආපසු පටන් ගැනීමට, ඉතාලිය සමත් විය.

ජර්මනිය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය වුණේ, පළමු ලෝක යුද්ධයෙන් පසු යුරෝපය පුරා හඹා ගිය කෙටිකාලීන ප‍්‍රජාතන්ත‍්‍රිය රැුල්ල තුළයි. එහෙත් යොවුන් ජරමානු ජනරජය, සමාජ ගැටුම්, දේශපාලන අස්ථාවරත්වය සහ අන්තවාදයෙන් බැටකෑවේය. වාමාංශිකයෝ සහ දක්ෂිණාංශිකයෝ වීදි සටන්වලට පිළිපන්හ. පළමු ලෝක යුද්ධයෙන් පසුව අත්සන් කෙරුණු වර්සායි ගිවිසුම යටතේ, යුද්ධයේ ජයග‍්‍රාහකයන් වෙත වන්දි වශයෙන් සැපයීමට ජර්මනියට බල කෙරී තිබූ හානිපූර්ණ යෝධ ගෙවීම්වලට අමතරව, ලෝක මහා අවපාතය ද හේතුවෙන් ජර්මනිය අර්බුදයෙන් අර්බුදයට පත්විය. මේ තත්වය යටතේ රටේ වර්ධනය වූ දැවැන්ත විරැකියාව අස්සේ හිට්ලර් බලයට ආවේය. වැඩි කල් නොගොස් ඔහු යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පසෙකට වීසි විය. නැවත එය පණගැන්වුණේ, දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් පසුවයි. කෙසේ වෙතත්, හිට්ලර්ගේ පාලනය යටතේ බිහි කෙරුණු මහා සංහාරයට යටින්, කලින් පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ නිදහසේ ආත්මය, සාමූහික ජරමානු ජනතා විඥානය තුළ නොමැරී පැවතුණි. එනිසා, යුද්ධයෙන් පසු එය යළි පණගැන්වීම අසීරු කටයුත්තක් නොවුණි.

එය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අගය වටහා ගැනීමේ දුෂ්කර මාවතයි. ‘අරාබි වසන්තයේ’ කොටස්කරුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සොයාගනු ඇත්තේ ඒ සා භීෂණයක් සහ කලබැගෑනියක් තුළින් නොවෙති යි යන්න අපේ අපේක්ෂාවයි.

‘මුස්ලිම් සහෝදරත්වයේ’ සහායට වීදි බට ජනතා උද්ඝෝෂණවලට වෙඩි තැබීමෙන් සිදුවිය හැකි අනර්ථය ඊජිප්තු පාලකයන් වටහාගත යුතුව තිබේ. ඔවුන්ටත් යාමට අවශ්‍ය කරන්නේ, යුරෝපය ගමන් ගත් ඒ කාලකණ්ණි ඉතිහාස මගේම ද?

*2013 අගෝස්තු 14 වැනි දා  The Citizen හි පළවූ Is Egypt going to have another Tianamen Square? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.