26 April, 2024

Blog

ශිෂ්ට ලෝකය කිසිසේත්ම අනුමත නොකරන සබරගමු ප්‍රහාරය හෙළා දකිමු

කරු ජයසූරිය

කරු ජයසුරිය

කරු ජයසුරිය

කොළඹ බදුල්ල මහා මාර්ගයේ පඹහින්න මංසන්ධීයේ අඛණ්ඩ සාමකාමී සත්‍යග්‍රහයක නිරතව සිටි සබරගමු විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ශිෂ්ට වටිනාකම් සහිත,  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් අනුගමනය කරන රටක කිසිසේත්ම නොවිය යුතු සිදු වීමකි.   ප්‍රජාතන්ත්‍රවාදය තුල සාමාකාමී උද්ඝෝෂන පැවැත්වීම සඳහා අනුලංගනීය අයිතියක් ඇති අතර,  සබරගමු සරසවි සිසුන්ගෙන් එම අයිතිය හොර ගැනීමේ හැකියාවක් කිසිවෙකුට නොමැත.   

සබරගමු සරසවි සිසුන් සත්‍යග්‍රහයක් අරඹා තිබුණේ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තහනම් කිරීම, සිසුන් කිහිප දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම හා විශ්ව විද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස මානව හිමිකම් කොමිෂම ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බල කරමිනි.  දේශපාලන මැර ප්‍රහාරයට ලක් වූයේ එබදු අහිංසක අරමුණින් දියත් වූ සත්‍යග්‍රයකට ය.  සිද්ධිය දුටුවන් පවසා තිබූ ආකාරයට හා පොලිසිය තම පරීක්ෂණ මගින් තහවුරු කර ගෙන තිබූ ආකාරයට මෙම පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ  එම ප්‍රදේශයේ රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු කණ්ඩායමකට ය.  එබැවින්,  මේ ප්‍රහාරයේ වගකීමෙන් මිදීමේ කිසිදු සදාචාරාත්මක හා නෛතික හැකියාවක් වත්මන් රජයට නොමැත.

පැහැදිලි ලෙසම,  මෙම මිලේච්ඡ ප්‍රහාරය මෑත කාලයේ දී විශ්ව විද්‍යාල ප්‍රජාව සම්බන්ධයෙන් වත්මන් රජය අනුගමනය කළ අත්තනෝමතික ප්‍රතිපත්තියේ ම දිගුවකි.  සිසු ප්‍රශ්න දෙස සංවේදීව ඒ දෙස බලනවා වෙනුවට බලයෙන් මත්ව තම අධිකාරී බලය යොදමින් උඩඟු ලෙස ඒවා මර්දනය කිරීමට වත්මන් රජය හැමවිටම උනන්දු වූ බව රහසක් නොවේ.   අප මේ මොහොතේ රජයට අවධාරණය කර කියා සිටිනුයේ සුවිශේෂි සමාජ නියෝජනයක් වන සරසවි ප්‍රජාවගේ ගැටළු දෙස දැන්වත් මැදිහත් සිතින් යුතුව බලන ලෙස ය.

ඉතිහාසය පුරා ම සරසවි ශිෂ්‍ය ප්‍රජාව සමග අත්‍යන්තයෙන් බැඳී ඇති සාධකයක් වනුයේ ඔවුන් තුල ඇති සටන්කාමීත්වයයි.  සරසවි සිසුන් ස්වභාවයෙන් ම සටන් කාමීය.   විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙස, ශිෂ්‍ය නායකයෙකු ලෙස වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට එය අප අමුතුවෙන් අවබෝධ කර දිය යුතු නැත.

අනෙක් අතට, සබරගමු සිසුන්ගේ ඉල්ලීම් ඔවුන්ට පමණක් අදාළ වූ ඒවා නොවේ.  ඒවා රටේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියට ම අදාළ වූ ඉල්ලීම්ය.   විශ්ව විද්‍යාල සිසුන්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට නිසි වේදිකාවක් ඔවුන්ට තිබිය යුතුය.  ශිෂ්‍ය සංගම් තහනම් කළ පසුබිමක තමන් මුහුණ දෙමින් සිටින ගැටළු ඉදිරියට රැගෙන ඒමේ හැකියාවක් ඔවුන්ට නොමැත.  තම ගැටළු ඉදිරිපත් කිරීමට වෙනත් ප්‍රවේශ සිසුන් සොයනුයේ එවැනි පසුබිමකය.

සැබැවින්ම,  සිසු අරගලවලට බලපා ඇති හේතු පිළිබද විශ්ව විද්‍යාල පාලන අධිකාරින් හා ඒ සම්බන්ධ වගකිව යුතු ආයතන නිවැරදිව කරුණු සොයා බලා පිළියම් යොදන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වන්නේ නැත.   නමුත් ගැටළුව වනුයේ ඒ සදහා සංවේදී වීමට තරම් නිහතමානීත්වයක් පාලක ප්‍රජාව තුල නොමැති වීමය. ඔවුන් හැම විමට ශිෂ්‍ය ඉල්ලීම් දෙස බැලීමට පුරුවව සිටිනුයේ සතුරු ආකල්පයෙනි.  එය දැන්වත් නතර කළ යුතුය.  මතුව ඇති සිසු ගැටළු විසදිය යුත්තේ ඒ සම්බන්ධ බලය ඇති පරිපාලකයන් හා ශිෂ්‍ය ප්‍රජාව අතර සිදු වන බුද්ධිමය සංවාදයකින් මිස පඹහින්නේ දී කළාක් මෙන් ශාරීරික ගනුදෙනුවකින් නොවේ.  එහිදී ප්‍රාදේශීය දේශපාලනඥයන් ට සිසු ගැටළු විසදීමට බලයක් ලබා දුන්නේ කවුරුන්ද යන්න අමුතුවෙන් විස්තර කර දිය යුතුව නැත.   ඔවුන් ක්‍රියාත්මක වූයේ තමනට ඉහළින් ලැබුනු අණ මත බව සුපැහැදිලිය.

සබරගමුව විශ්ව විද්‍යාලය මේ වන විට වසා දමා තිබේ.  ශිෂ්‍ය ගැටළුවලට පරිපාලනය ලබා දී ඇති ලාභ පිළිතුර එයයි.  එවැනි සරල ක්‍රම වේදයකින් මෙවැනි ගැටළු කළමනාකරණය කර ගත හැකි වෙතැයි වගකිව යුත්තන් සිතන්නේ නම් එය මුලාවක්ම පමණි.   බලධාරීන් මේ මොහොතේ කළ යුත්තේ විශ්ව විද්‍යාල වසනවා වෙනුවට ශිෂ්‍යන්ට ඇති සැබෑ ගැටළු කෙරෙහි සැලකිලිමත් වී ඒවා ආමන්ත්‍රණය කිරීමය.

මේ වන විට සබරගමු විශ්ව විද්‍යාලයේ භෞතික සම්පත් හි ප්‍රමිතිය හා ශිෂ්‍ය ප්‍රජාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇත්තේ බරපතල තත්ත්යකි.  මීට වසර තුනකට ඉහතදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත් වූයේ වගකිවයුත්තන් සිසු ආරක්ෂාව වෙනුවෙන්  නිසි අවධානය යොමු කර නොතිබූ බැවිනි. එසේම වසරකට ඉහතදී නේවාසිකාගාරයේ බිත්තියක් කඩා වැටුණු අතර, වාසනාවකට මෙන්  ඒ අවස්ථාවේ කිසිවෙකුත් එහි නොසිටියේය.    ශිෂ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සබරගමු සරසවිය තුල මෑත කාලයේ දැකගත හැක්කේ එවැනි අපකීර්තිමත් ඉතිහාසයකි.  එබැවින්, ශිෂ්‍ය ඉල්ලීම් කෙරෙහි සානුකම්පිතව බලමින් ඒවා කෙරෙහි නිසි ප්‍රතිචාර දැක්වීමේ යුතුකමක් සංවේදී යැයි ආත්ම වර්ණනා කරගන්නා රජයකට ඇත.    සබරගමුව සරසවි සිසු ගැටළුව මේ තරම් උග්‍ර තත්ත්වයකට ගෙන ගියේ රජය ඒ සදහා කිසිදු සූදානමක් නොපෙන්වීම තුලය.

ශිෂ්ට ලෝකය කිසිසේත්ම අනුමත නොකරන මෙම ප්‍රහාරය හෙළා දකිමින් අප රජයට බල කරනුයේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම නතර කර දැන්වත් සරසවි ප්‍රජාව මුහුණ දෙමින් සිටින සැබෑ ගැටළු පිළිබදව නෙත් හැර වගකීම් සහගත ප්‍ර වේශයකින් යුතුව ඒ දෙස අවධානය යොමු කරන ලෙස ය.

*කරු ජයසූරිය පා.ම – එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති  – නිකුත් කළ නිවේදනය –  2014-10-13

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    සබරගමු විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරය නොකලයුතු සහ අශිෂ්ට ක්‍රියාවක් බව පළමුවෙන්ම කිවයුතුය. සිසුන් කිහිප දෙනෙකුගේ පන්ති තහනම හරිද වැරදිද යන්න මම නොදනිමි. ලෝකයේ කිසිම රටක් මානව හිමිකම් කොමිෂම් දෙන සියළු නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත. සුපිරි ප්‍රඡාතන්ත්‍රවාදය තියනවායයි කියන අැමරිකාව වත් එසේ කරන්නේ නැත. සිසුන් කිහිප දෙනෙකුට පන්ති තහනම් කර අැත්නම් ප්‍රඡාතන්ත්‍රවාදී විදිහට එ් අයගේ පන්ති තහනම් ඉවත්කර ගැනීමට කටයුතු කිරීම ඔවුන්ගේ අයිතියකි. දැන් කාලයක සිට මේ ශිෂ්‍යයන් අට්ටාල හදාගන සත්‍යග්‍රහ කරගන යනවානේ. දීර්ග කාලයක් සත්‍යග්‍රහ කලත් එ්වාට මහඡන සහයෝගය දිනාගන්න බැරි නිසා අළුතින් සෑදු නේවාසිකාගාරයක් උසස් අධ්‍යාපන අැමති විසින් සිසු අයිතියට පත්කරන අවස්ථාවේදී බොරු කරුනු කාරනා මත එය අවහිර කර ප්‍රසිද්ධයක් ලබා ගැනීමට කටයුතු කිරීම වැරදි බවයි මට නම් පෙනෙන්නේ.

    ‘වැහිපීලි නතැයි’ කියමින් එ්වාට වියදම් කල රුපියල් ලක්ෂ හාරදහසක වන මුදල් ගසාකාලා යයි චෝදනා කිරීම සහ එනිසා එසේ අළුතින් සෑදු කාන්තා නේවාසිකාගාරය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විවෘත කිරීමට අට්ටාලයේ සිසුන් තවත් 500ක පමන කණ්ඩායමක් සමග පෙලපාලි ගොස් මහා මාර්ගය අවහිර කිරීම කොතරම් ශිෂ්ඨදැයි කරූ කිවයුතුය. එම අළුතින් සෑදු ගොඩනැඟිල්ල ප්‍රමිතියකට ඉදිකර නැතැයි යන්න සිසුන් කරන තවත් චෝදනාවකි. ප්‍රමිතියට නැති නිසා ශිෂ්‍යාවන් එහි රඳවා තැබීම අනතුරුදායක බවටද මේ අය චෝදනා කරන බව අප පත්තර වල දැක්කෙමු. අැත්තටම අදාල ගොඩනැඟිල්ල ප්‍රමිතියට නැතිනම් කලයුත්තේ සාධක සහිතව කරුනු ඉදිරිපත් කිරීම මිස බහුබූත කතා කීම නොවෙයි.

    එසේම ‘අළුතින් සාදන ශිෂ්‍ය නේවාසිකාගාරය අසල යුද හමුදා කඳවුරක්‌ තිබෙන හෙයින්’ එහි මුල්ගල් තැබීමටත් ඔවුන් විරුද්ධ බව ප්‍රසිද්ධයේ පැවසීය. නමුත් වෙනත් වාර්තා අපට කියන්නේ එ් අසල හමුදා කදවුරක් නැති බවත් අැත්තේ හමුදා නිවුාඩු නිතේතයක් බවයි. මෙහිදී කරුණක් කිව යුතුය. මේ අය කියන විදියට අති විශාල පනාගොඩ හමුදා මූලස්ථානය සහ කදවුරු අසල සිසුන්ට අදාල කිසිවක් නොතිබිය යුතුය. නමුත් අළුතින් ඉදිවූ මහින්ද රාඡපක්ෂ විද්‍යාලයත් නැනෝ තාක්ෂණ විශ්ව විද්‍යාලයත් පිහිටා අැත්තේ පනාගොඩ කදවුරේ සිට කිලෝමීටර කිහිපයක් දුරිනි. මේවා කට තියන පලියට කියන්නට දෙයක් නැති කමට කියනදේ බව මොලේ කඳුලක් අැති අයකුටත් පෙනේ.

    කරූගේ අඳෝනා ලිපිය නිසා ශිෂ්‍යයන් සම්බන්දයෙන් යුඑන්පි පාලන සමයේ කෙරුවාව සොයා බැලීමට මට සිත්විය. එහිදී මුලින්ම කිවයුත්තේ කරූගේ ලිපියට මූලික සාධකයවූ පන්ති තහනමට ලක්වී අැති එනිසාම අට්ටාලයට සාදා එයට අරක් ගත් ශිෂ්‍යයන් ඡේවීපී හෝ එයින් බිදී ගිය පෙරටුගාමී පක්ෂ වල ගෝලයන් බවට තර්ක විතර්ක අවශ්‍ය නැති බවයි. යුඑන්පිය මෙන්ම ප්‍රඡාතන්ත්‍රවාදය ගැන අද අපට දේශණ පවත්වන ඡේවීපීය ශිෂ්‍යයන්ට කල කී දෑද මක්කර දිය යුතුය.

    අපේ මතකයේ හැටියට 1980 ගනන් වල (එඡාප සහ ඡේවීපී) ශිෂ්‍ය සටන් වල කෙලවරක් තිබුනේ නැත. එකල ශිෂ්‍ය සංවිධාන තුනක් විය. නිදහස් ශිෂ්‍ය සංගමය (ISU) මුලින්ම පිහිටුවා ගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේය. දෙවැන්න ඡාතික චින්තන කන්ඩායමයි. තුන්වැන්න සමාඡවාදී ශිෂ්‍ය සංගමය (SSU)යි. එඡාප පවුල් පසුබිමක් අැති නමුත් දුප්පත් පවුලකින් එන දයා අානන්ද පියසිරි හේවපතිරණ ශිෂ්‍යයා 1986 ISU නායකයා විය.

    83 කෝලාහලවලට සම්බන්ධයයි බොරු චෝදනා මත ඡේඅාර් විසින් ඡේවීපීය තහනම් කර තිබූ එම අවධියේ ඡේවීපීයේ මූලික අරමුනක් වුයේ මුලු විශ්ව විද්‍යාල ශිෂ්‍ය පද්දතියම ඡේවීපී ග්‍රහනයට ගැනීමය. 1986 ඡේවීපී කඩාකප්පල් කිරීම් පටන්ගත්පසු එඡාප විසින් ඡේවීපීය මෙන්ම සමාඡවාදී ශිෂ්‍ය සංගමය (SSU)ද තහනම් කලේය. එසේම එඡාප විසින් දියත්කර තිබූ ඡේවීපී මර්ධනයේද නිමක් නොතිබුනි. එනිසාම ඡේවීපීයේ ඉහත අරමුණ සක්සාත්කර ගැනීමට ප්‍රභල අභියෝගයක්වූ දයා පතිරණ ශිෂ්‍යයාව දෙසැම්ඹර් 15, 1986 උඳුවප් පොහෝ දින රාත්‍රියේ ඡේවීපීයේ මැර කන්ඩායමක් විසින් පැහැරගෙන ගොස් කුලි මිනීමරුවෙක් ලවා දසවද දී මරා දැම්මේය.

    කරූ මේ ලියන්නේ බිඳක්වූ ඉහත තම පක්ෂයේ සහ ඡේවීපෙයේ අතීතයවත් නොදැනද නැතිනම් ඡේවීපී කාරයින්ට සහ පෙරටුගාමීන්ට ඉල්ලන ඔිනෑ දෙයක් දීමට තරම් දැන් පූර්ණ සාධාරණවෙලාද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.