26 April, 2024

Blog

සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්ණ​ – 2 කොටස

කරුණාරත්න පරණවිතාන​ –

කරු පරණවිතාන​

ජිව්හා කති අසත්‍ය නබෝලේ – දිව කපා දැමුවද අසත්‍යයක් නොපවසන්න

අපි නවත්වපු තැනින් පටන් ගනිමු. අනෙක් සෑම දේශපාලනයක් මෙන්ම පරිසර දේශපාලනයද සියයට සියයක් නිවැරදි නැත. එයින්ද වැරදි සිදුවේ. එසේම එය වැද වැරදි කරයි. මේ අතර සමහර පරිසරවාදීන් කල්පනා කරන්නේ අහිංසක පරිසරවාදයට මේ වින්නැහිය වෙලා තිබෙන්නේ දේශපාලනකයන් පරිසර ප්රශ්න වලට අත දැමීම නිසා එනම් පරිසරවාදය දේශපාලනීකරණය වීම නිසා බවය. මෙය සාවද්‍ය කල්පනාවකි. පරිසරවාදයේ අලුතින් දේශපාලනීකරණය වීම⁣ට දෙයක් නැත. පරිසරවාදය මතුවූයේම දේශපාලන ව්‍යාපාරයක් ලෙසය. සමාජ ව්‍යාපාර, (social movements), මතවාද (ideologies), හරිත පක්ෂ, (green parties ) ආදී ස්වරූපයෙන් පරිසරවාදය මතුවූයේම දේශපාලනය තිඹිරිගෙයකය. වර්තමානයේ දේශපාලන විද්‍යාව උගන්වන පාඨ ග්රන්ථ වල පරිච්ඡේදයක් හො දෙකක් පරිසරවාදය හෝ හරිතවාදය විග්රහ කිරීමට වෙන් වී ඇත. පොදු දේශපාලනයේ විවිධ ස්වරූප තිබෙනවා මෙන්ම පරිසර දේශපාලනයේද විවිධ ස්වරූප ඇත. (මේ විවිධත්වය ගැන ඉදිරි ලිපියකින් කතා කරමු)

මේ ලිපියේ අපගේ ඉලක්කය වන්නේ පරිසර දේශපාලනයට සිදුවන වැරදි තේරුම් ගැනීමය. වැරදි තොරතුරු ඉදිර්පත් කිරීම ඒ අතර ප්රධානය. මේ වැරැද්ද සජීව චාමිකර අතින් මුල් වරට සිදුවූවක් නොවේ. පරිසරවාදයේ සම්භාව්‍ය චින්තකයන් අතින්ද සිදුවූවකි. මෙය තේරුම් ගැනීමට අපට පරිසර දේශපාලන චින්තකයන් කිහිප දෙනෙකු ගැන කතා කිරීමට සිදුවේ.

සංශයවාදී පරිසරවාදියා (the skeptical environmentalist)

එවන් එක් චින්තකයකු වන්නේ සංශයවාදී පරිසරවාදියා: ලොකයේ යථා තත්වය මැනගැනීම(the skeptical environmentalist: measuring the real state of the world) නම් සුප්රකට කෘතිය ලියූ බ්යොන් ලොම්බෝර්ග් (Bjorn Lomborg) ය. ⁣1998 දී පළ කළ මේ කෘතියෙන් ලොම්බෝර්ග් පෙන්වා දුන්නේ බොහෝ පරිසරවාදීන් පරිසර විනාශය ලෙස පෙන්වාදෙන තරුණු සංඛ්‍යා දත්ත මගින් තහවුරු වන්නේ නැති බවය. ජනගහනයේ අධික වර්ධනය, බලශක්ති මූලයන් සිදී යාම, වන හායනය, ජීවීන් වදවීයාම, ජලය හිග වීම ගෝලීය උණුසුම වැඩිවීම ආදී කරුණු පරිසරවේදීන් අතිශයෝක්තයෙන් යුතුව මන්තර ගයන්නාක් මෙන් ආනුභවික සාක්ෂි වගින් තොරව එක දිගට කියාගෙන යන බවය. මේ ක්රියාව හදුන්වාදීම⁣ට ඔහු litany යන සංකල්ලය භාවිතා කළේය. එහේත් ලොම්බෝර්ගේ අරමුණ වූයේ පරිසර ප්රශ්න යටගැසීම නොවේ. ඔහු දැවැන්ත පරිසරවාදියෙකි. යථා තත්වය සංඛ්‍යා දත්ත මගින් තහවුරු කරගනිමින් ප්රශ්නය තේරුම් ගෙන ඒ අනුව රාජ්‍ය ප්රතිපත්ති සහ සම්පත් යොදා ගනිමින් පරිසර ප්රශ්න විසදා ගැනීම ඔහු යෝජනා කළේය

එහෙත් ලොම්බෝර්ගේ කෘතියට විශාල වශයෙන් විරෝධතා එල්ල විය. එහි විධි ක්රමය ගැන ප්රශ්න කෙරිණි. බුද්ධිමය වංචාවන් (plagiarism) ගැන චෝදන ඔහුට එල්ල විය. ඔහුට බුද්ධිමය වංකභාවය (intellectual dishonesty) පිළිබද චෝදනාවද එල්ල ව්ය. පොතට එරෙහිව රාජ්‍ය මට්ටමේ පරීක්ෂණ ඉදිරිපත්විය. ඒ අතර මේ කෘතිය වෙනුවෙන් අපමණ ප්ර්ශංසාද ඇගයීම්ද ගලා ගෙන එන්නට විය. පරිසරවාදය උනන්දු වන කාටත් මෙය නැතිවම බැරි කෘතියක් විය. කතුවරයාද නිකම් සිටියේ නැත. ඔහු තම කෘතිය වෙනුවෙන් පෙනී සිටියේය. පරීක්ෂණ වලට මුහුණ දුන්නේය. කෘතිය පළ වී වසර විස්සකට වැඩිය. අදටත් ලොමබෝර්ගේ කෘතිය පිළි ගන්නා අය මෙන්ම එයට බැට දෙන අයද පරිසරවාදී කදවුර තුළම දක්නට ඇත.

පරිසර සන්නිවේදනයේ අචාරධර්ම

පරිසර සන්නිවේදනය පමණක් නොව සම්ස්ථ මානව සන්නවේදනයම අචාරධාර්මික විය යුත බව ගැඹුරින් විශවාස කළ මහා පරිසරවාදියෙක් මෑතකදී මියගියේය. ඒ නෝර්වීජියානු ජාතික මහාචාර්ය ආන් නාස් (Arn Naess) ය. සම්භාව්‍ය පරිසරවාදයේ එන ගැඹුරු හරිතවාදය (deep ecology) සංකල්පය ඉදිරියට ගෙන ගියේ ඔහුය. ආන් නාස් ඉදිරිපත් ක⁣ළේ අනෙකක් නොව වාචික සංවරයයි. එය බෞද්ධයන්ට ආගන්තුක සංකල්පයක් නොවේ. පොදු අවකාශයේ කතා පවත්වන ව්ට. සමමන්ත්රන වල දේශන පවත්වන විට,ජනමාධ්‍යයේ අදහස් දක්වන විට, මහජන අවකාශයෙහි ලියන විට, පිළි පැදිය යුතු ආචාර ධර්ම මාලාවක් ආන් නාස් හදුන්වා දුන්නේය. ඒවා මෙපරිදිය:

1. avoid tendentious tendentious irrelevance. (අගතිගාමී ලෙස අදාල නොවන දේ. බැහැර කරන්න. පුද්ගලික මට්ටමේ පහර දීම් නොකරන්න)

2. avoid tendentious quoting. (අගතිගාමී උපුටා දැක්වීම් වලින් වළකින්න. තමන්ට අයුතු වාසි ලබා ගැනීම සදහා උපුටා ගැනීම් විකෘති නොකරන්න)

3. avoid tendentious ambiguity. (අගතිගාමී ව්‍යාකූලභාවයන්ට ඉඩ නොතබක්න)

4. avoid tendentio use of men. (අගත්ගාමීව මිනිසුන්ට නිකරුනේ වාචික හිංසා නොකරන්න)

5. avoid tendentious statement of facts.(කරුණු සංඛ්‍යා ලේඛන ආදිය අගතිගාමීව භාවිතා නොකරන්න)

6. avoid tendentious tone of presentation. (මහජන අවකාශයට අමතන විට අපහාස අවලාද, අතිශයෝක්ති, විවෘත තර්ජන, බඩයටින් පහරදිම්, අවමන් කිරීම් ආදියෙන් සමන්විත අගතිගාමී ශෛලියෙන් බැහැර වන්න)

දේශපාලනයට ආචාර ධර්ම අවශ්‍ය යැයි සිතන කිසිවෙකුට ආන් නාස් ඉදිරිපත් කළ මෙම සන්නිවේදන ආචාර ධර්ම නොවැදගත් යැයි බැහැර කළ නොහැකිය. පරිසර දේශපාලනය අත්‍යන්තයෙම ආචාරධර්මිකය. එය මිනිස් සමාජය මතු නොව සමස්ථ ජීවයේම පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින්නකි. එසේ නම් පරිසර දේශපාලනය සත්‍ය්‍ය මත සහ ආචාර ධර්ම මත පිහිටාකළ යුතුව තිබේ. වැරදීම් සිදුවය හැකිය. එවිට ඒවා පිළිගනිමින් වැරදි සාදා ගනිමින් ඉදිරියට යාම එම සද් දේශලාලන භාවිතාවේම අංග ලක්ෂණයකි.

*ජිව්හා කති අසත්‍යන බෝලේ (දිව කපා දැමුවද අසත්‍ය නොපවසන්න)යන පදය ගත්තේ පදය ගත්තේ ඉන්දියාවේ සුප්රකට ගුජරාට බසින් ලියවුන භජන් ගීයක් වන ‘වෛෂනව ජනතෝ’ ගීයෙනි. මෙය මහාත්මා ගාන්ධි තුමාගේ ප්රියතම ගීයක් බව ප්රකටය. මේ ගීයේ විවිධ ගායකයන් ගයනා යූ ටියුබ් වීඩියෝ සියය ගණනක් ඔබට සොයා ගත හැකිය. ජිව්හා කති අසත්‍යන බෝලේ පදය එන්නේ ගීතවයේ මැද අවසන් කොටසේය. උමාරියා සිංහ වංශ එය ගයන් අයුරු රස විදින්න.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.