24 April, 2024

Blog

රට බෙදීමේ තර්ජනය ජය ගත හැකි දේශපාලන මැද පිළිවෙත ගොඩ නැඟීම

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ජනාධිපතිවරණ සටනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිපත්ති මාලාවේ ප්‍රමුඛතම කරුණ ත් එම කඳවුරේ අවසාන ප්‍රචාරක තුරුම්පුවත් වන්නේ ජාතික ආරක්ෂාව යි. මෛත්‍රීපාල සිරිසේන ට බලය දුන හොත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් මගින් විදෙස්ගත එල්ටීටීඊ කණ්ඩායම් වල සහායෙන් ලංකාව දෙකට බෙදා රට අස්ථාවර කෙරෙනු ඇතැයි මොවුහු කියති.

මේ පිළිබඳ මාධ්‍ය විවාද වලදී මහින්ද කඳවුරේ ප්‍රධාන කථිකයා බවට පත්ව සිටියේ ආචාර්ය දයාන් ජයතිලක ය. මෛත්‍රීපාල බලයට පත් කළ හොත් රට බෙදනු ඇතැයි කියන විචාරකයන්ට දයාන් ජයතිලක ගෙන් කරුණු උපුටා දක්වමින් පිළිතුරක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

ඇමරිකාව මුල් වන වි‍දේශ බලපෑමක් ලංකාවට එල්ල වීමට ප්‍රධාන හේතුවක් ලෙස දයාන් ජයතිලක පෙන්වා දී ඇත්තේ ලංකාව රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන ඊස්රායෙල් මොඩලය නොහොත් ආකෘතිය යි. 2014 ජූලි මස ‘ලංකාව ඊස්රායෙල් උගුල් වලට ගොදුරක් වී ඇත’ යැයි මැයෙන් ලියූ ලිපියක ඔහු කියා සිටියේ මෙය අන්තවාදී දෙමළ බලවේගවල නැගීමට සහ බටහිර බලවේග වලට ලංකාවේ යුද ජයග්‍රහණය ට යටින් වල කැපීමට ඉඩ සලසා ඇති බවයි. යුද්ධයෙන් පසු සමයේ ලංකාවේ ක්‍රියාවට නැංවූයේ පලස්තීනය සම්බන්ධයෙන් ඊස්රායෙලය අනුගමනය කරන ආකෘතිය බවත් ඩයස්පෝරාවේ සහ තමිල් නාඩුවේ දෙමළ ඊලාම් අන්තවාදී බලවේග යලිත් වරක් අවුළුවාලන්නේ මෙම මෙම කරුණ බවත් දයාන් ජයතිලක කියා සිටියේය. ලංකාවේ ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශ අනුගමනය කරන වැඩ පිළිවෙල මේ අනුව සකස් වී තිබේ. ඊස්රාය‍ලය යටත් කර ගත් පලස්තීන ප්‍රදේශ පාලනය කිරීමේ කර්කශ බලපෑම ලංකාවේ දේශීය ප්‍රතිපත්ති වල පිළිබිඹු වන බව ඔහුගේ තර්කය වීය. මේ එළඹුම දිවයිනේ උතුරේ දෙමළ බහුතරය සමග පශ්චාත් යුද සංහිඳියාව, ලංකාව රාජ්‍ය තාන්ත්‍රික ව හුදකලා වී ගෝලීය වේදිකාවේ එය වට කොට තිබීම, බොදු බල සේනා වැනි මුස්ලිම් විරෝධී කොටස් රටේ රළ නැගීම යනාදියේ ස්වරූපයෙන් මනාව පිළිබිඹු වන බව ඔහු කියා සිටියේය.

වත්මන් රජය උතුරේ දෙමළ ජනයා සම්බන්ධයෙන් පමණක් නොව දකුණේ ජනයා සම්බන්ධයෙන් ද තවමත් අනුගමනය කරමින් සිටින්‍නේ ඉහත ඊස්රායෙල් මොඩලය බව ජනතාවගේ ප්‍රජාතන්තීය අයිතීන් මර්ධනයට සහ ඔවුන් බියවැද්දීමට රජයේ බුද්ධි අංශ සහ හමුදා යොදා ගන්නා ආකාරයෙන් ඉතා පැහැදිළිය. මෛත්‍රීපාල සිරිසේන ගේ රජය මෙබඳු මර්ධනකාරී පිළිවෙත් අනුගමනය නොකොට සංහිඳියාව මුල් කොට ගත් ජනතා හිතවාදී පිළිවෙතක් අනුගමනය කරනු ඇති බව ඔහු ගේ දේශපාලන ව්‍යාපාරයේ සංයුතියෙන් සහ ඔහුගේ ප්‍රතිපත්ති මාලාවෙන් පැහැදිළි වෙයි.

2013 සැප්තැම්බරයේ ‘කොටි සංකේතවාදයක්නැත, හමුදා ඉවත්කර ගැනීමක් නැත’ මැයෙන් ලිපියක දයාන් ජයතිලක තර්ක කළේ ලංකාව බෙදා වෙන් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරය තමනට වාසි සහගත භාහිර සාධක ලෙස ගන්නා දේවල් නම් තමිල් නාඩුවේ බෙදුම්වාදී රළ නැගීම සහ ලංකාව සම්බන්ධයෙන් ඇති ලෝක ජන මතයේ වැඩෙන නිශේධනාත්මක භාවය යි.

Maithriමේ පිළිබඳ අප‍ගේ නිරීක්ෂණය නම් මෝඩි ඉන්දියාවේ බලයට පත්වීම සමගින් තමිල් නාඩුවේ බෙදුම්වාදී රළ නැගීම බෙහෙවින් අඩු වී තිබේ. මෛත්‍රීපාල සිරිසේන ගේ දේශපාලන ව්‍යාපාරය සිංහල ජාතිකවාදී බලවේග මෙන්ම දෙමළ සහ මුස්ලිම් දේශපාලන බලවේග එකට එක් කරන මාධ්‍යමික ව්‍යාපාරයක් ලෙසින් තහවුරු වෙමින් පවතී. එහෙයින් ඔහුගේ රජය බලයට පත් වූ විට ලංකාව සම්බන්ධයෙන් ඇති ලෝක ජන මතය සාධනීය පාර්ශ්වයට හැරීමට නියමිතය.

‘ජනමත විචාරන රතු අවදානම් දැන්වීම, රුදුරු සුනාමිය බිඳුණු දේශය’ යන මැයෙන් දයාන් ජයතිලක 2014 වසරේ ඔක්තෝබර් මස ලියූ ලිපියක 2015 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ රෙජිමය පාර්ලිමේන්තුව කල් දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානමක් ඇතැයි පළවූ පුවතක් පිළිබඳ අනතුරු ඇඟවීය.

1982 දී ජනාධිපති ජේ ආර් ජයවර්ධන පැවැත්වූ ජනමත විචාරණය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ එය ස්ථාවරභාවය සහ ආරක්ෂාවේ නාමයෙන් කළා නමුත් ඉන් සහභාගිත්වය සහ වෙනස සඳහා වන පාර්ලිමේන්තු මාවත වසා මැතිවරණය කල් දැමීමෙන් දේශපාලන සහ සමාජ මත‍යේ සමතුලිතභාවය පාර්ලිමේන්තුවෙන් වීදියට මුදා හැරීම සිදුවූ බවයි. එයින් ලංකාව දශක තුනක් පුරා හුදු ම්ලේච්ඡභාවය කරා පහත බැස්ස බවයි. එය ‍රුදුරු චංචලතාව සහ උග්‍ර අනාරක්ෂිතභාවය දශක ගණනාවකට මුදා හැරිය බවයි.

මේ පසුබිමේ සිට බලන විට මහින්ද රාජපක්ෂ රජය යටතේ පාරවල් හැදීම, හැම දිස්ත්‍රික්කයකම යුද හමුදා කඳවුරු පිහිටුවීමේ සැලැස්ම, නිරායුධ පුරවැසි කළබල ඇති වන අවස්ථාවලදී පවා යුද හමුදාව යෙදවීමට නීති හැදීම, යුද හමුදාවන්හි විශේෂ සේවාව සඳහා වැඩියෙන් පිරිස් බඳවා ගැනීමේ සැළසුම්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව බුද්ධි අංශ මගින් විනිවිදීම සහ බොදු බල සේනාවට සැළසූ අ‍නුග්‍රාහිකත්වය සහ නීත්‍යානුකූලභාවය යනාදියේ සැබෑ තර්කණය තේරුම් ගත හැකි බව දයාන් ජයතිලක පෙන්වා දෙයි. ඔහු දක්වන පරිදි උතුර පාලනයට ඊස්රායලයේ බටහිර ඉවුරේ-ගාසා තීරයේ පාලන ක්‍රමයේ සම්මිශ්‍රණයක් යොදා ගන්නා අතර දකුණේ වැලිවේරිය රතුපස්වල මොඩලය යොදා ගනු ඇත.

ලංකාවේ ජනමතවිචාරණයක් පැවැත්වීමෙන් අනතුරුව හැදෙන දේශපාලන පිරමිඩයේ උඩින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෘශ්‍ය ප්‍රතිරූපයත් ඒ පසුපස පාලක වරිගයත්, රාජ සේවකයන්, අබිසාරිකාවන්, සහ කූට්ටාලි ධනපතියන් සහ එහි බහු බිලියන ඩොලර් අධිරාජ්‍යය – ආරක්ෂක ආයතන හෝ ‘රාජ්‍ය ආරක්ෂණ සංස්ථාපනය’ සහ බලාත්මක කරන්නන්ගේ ප්‍රධානියා යන අයගෙන් සමන්විත කාටලය පවතිනු ඇතැයි දයාන් ජයතිලක කියයි.

ඉහත දයාන් කියන කරුණු අපට පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ යලිත් වරක් ජනාධිපති වුවහොත් 1982 ජනමත විචාරණයෙන් මුදා හළ හා සමාන අස්ථාවරභාවයක් යලිත් රටේ ඇති වීමට ඉඩ ඇති බවයි. එය බෙදුම් වාදී ජාත්‍යන්තර බලවේග වල මැදිහත් වීමට මෙරට තව තවත් විවෘත කරනු ඇත.

2014 අප්‍රේල් මාසයේ ‘දේවතන්ත්‍රවාදී ෆැසිස්ට්වාදය සහ නිලීන බෙදුම්වාදය’ මැයෙන් බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ලියමින් දයාන් ජයතිලක විපක්ෂයට කියා සිටියේ මීට එරෙහි දේශපාලනයක් සඳහා චන්ද්‍රිකා කුමාරතුංග සහ සහ ජෙනරාල් සරත් ෆොන්සේකා වහාම පාර්ලිමේන්තුවට යවන ලෙසයි. එයින් ඉදිරි මැතිවරණ වලට පෙර ඔවුන් රජයේ දැඩි කම මොළොක් කොට වාතාවරණය වෙනස් කරනු ඇතැයි ඔහු කියා සිටියේය. තවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදහත් මතධාරීන් එක්සත් ජනතා නිදහස් සංධානයෙන්, පවුල්-ආධිපත්‍යයේ රෙජිමයෙන් වෙන් කර ගන්නැයි මෙහි ලා දයාන් ජයතිලක විපක්ෂයට කීවද ඔහු කීවේ එය කළ යුත්තේ ජනාධිපතිවරණට නොව පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කොට බවයි. දේශපාලන කේන්ද්‍රය යළි ගොඩ නඟන්න, මාධ්‍යමික සභාගයක් නිර්මිත කරන්න, ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ මැද මාවත යළි විවෘත කරන්න යැයි ඔහු විපක්ෂයට කියා සිටියේය.

දයාන් ගේ තර්කය වූයේ මෙම විපක්ෂ ව්‍යාපාරය පුළුල්තම වියහැකි බහු-පාක්ෂික එක්සත් පෙරමුණ ගොඩ නැගිය යුතු නමුත් ඒ රනිල් ට හෝ චන්ද්‍රිකා ට නායකත්වය දෙමින් නොවන බවයි. මෙම පෙරමුණේ මතවාදය සහ ස්වරූපය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සහ බහුත්වවාදී, නාගරික නොව විශ්වදේශීය විය යුතු බවයි. එය ‘ජාතික/දේශප්‍රේමී’, ‘ප්‍රජාතන්ත්‍රවාදී’, සහ ‘ජනප්‍රිය/බහුජන/සමාජීය (ග්‍රාමීය)’ අංශ තුන එකතැනට ගෙන ආ යුතුයි. එය මහින්ද රාජපක්ෂ නොව පවුල් කතිපයාධිපතිකාරය සහ පාලනය කිරීමට පවුලට ඇති දේවමය අයිතිය ඉලක්ක කර යුතුයැයි ඔහු කියා සිටියේ මහින්ද ගේ ජනප්‍රියත්වය සහ ඔහුට ඇති ගරුත්වය හේතු වශයෙන් සඳහන් කරමිනි.

2014 අප්‍රෙල් මස 2015 ‘මැතිවරන, පරදුවට තැබෙන දේ’ මැයෙන් ලියූ ලිපියක දයාන් ජයතිලක තර්ක කළේ මහින්ද රාජපක්ෂ පැකේජයක නැතහොත් සියල්ල ඊට ඇතුලු කරගන්නා රාමුවක පාලක වරිගයක කොටසක බවයි. ප්‍රශ්නය ඔහු නොවේ, රාජපක්ෂ වරිගය සහ ඔවුන්ගේ පාලනය චිරස්ථායී කිරීම යැයි ඔහු කියා සිටියේය. අවශ්‍ය වන්නේ ඉරානයේ වත්මන් දේශපාලන නායක හසාන් රෝව්හානි වැනි දේශපාලන මධ්‍යස්ථ මතධාරී යෙකැයි ඔහු කියා සිටියේය.

ඔහු අපේක්ෂා කළ ආකාරයට නොවෙතත් දැන් ජනාධිපතිවරණය මුල් කොට ගෙන මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීම සමගින් දයාන් ජයතිලක ඉල්ලා සිටි වෙනස් කම් සිදුවෙමින් පවතී යන්න අපේ විශ්වාසය යි. චන්ද්‍රිකා සහ සරත් ෆොන්සේකා මෛත්‍රීපාල සිරිසේන සමග දේශපාලනයට අවතීර්ණ වීම දේශපාලන කේන්ද්‍රය යළි ගොඩ නැඟීම සඳහා, මාධ්‍යමික සභාගය ඉදි කිරීම සඳහා, ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ මැද මාවත යළි විවෘත කිරීම සඳහා අඩිතාලම දමා ඇත.

මෙම මාධ්‍යමික ව්‍යාපාරය ගොඩ නැගිය යුත්තේ මහින්ද ට එරෙහිව නොව රාජපක්ෂ පවුලට එරෙහිව බව දයාන් ‍ගේ තර්කය වුවත් නමුත් ඔහු නොදුටු පොදු විපක්ෂය වටහා ගත් කරුණ බව පෙනෙන්නේ මහින්ද පවුලෙන් වෙන් කළ නොහැකි බවයි. මහින්දට පවුලේ බලපෑම ඇත්තේ පුතා වෙනුවෙන් රෙජීමයේ පාලනය දිග්ගස්සා ගැනීම සඳහා ය.

පොදු විපක්ෂය කියා සිටිනු ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ලංකාවට හසාන් රෝව්හානි කෙනෙකු වනු ඇති බවයි.

2014 අප්‍රේල් මස ‘ඇමෙරිකානු-ශ්‍රී ලංකා සබඳතා’ මැයෙන් ලියූ ලිපියක දයාන් ලංකාවේ දේශපාලනය කෙරෙහි ඇමරිකානු බලපෑම ගැන සාකච්ඡා කරමින් සඳහන් කළේ ඇමෙරිකානු එංගලන්ත හවුලකින් මෙහෙයවෙන ජාත්‍යන්තර විමර්ශණය සඳහා වන බලපෑම පිළිබඳ කරුණේ දී ලංකාව මේ වනවිට බටහිර අතපෙවීම් වලට ලක්වූ රටවලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බවයි. ලංකාව සම්බන්ධයෙන් බටහිර අතපෙවීම එන්නේ දැනටමත් පවතින ගැටුම (සිරියාව), මහා පරිමාණ ප්‍රචණ්ඩත්වය (කොලොම්බියාව), අසාර්ථක රාජ්‍යය (සුඩානය/ ඩාර්ෆූර්), අල්ලාගත් ප්‍රදේශ (ඊස්රායෙලය/පලස්තීනය), හෝ ආවෘත, අද්විතීය ලෙසින්ම පාහේ විකෘතිරූපී තත්වය (උතුරු කොරියාව) යනාදියට අදාළ පසුබිමක නොව සහමුලින්ම අලුත් භූමිතලයකය.

තවද, ලංකාව තුළ මෙවැනි බටහිර මැදිහත් වීමකට ඉන්දියාවේ විරෝධතාව තිබේ. ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අවම වැඩ සටහන ඒ පිළිබඳ ඉන්දියාවේ අවම අපේක්ෂාවන් හා සමාන බව බව දයාන් කියයි. මෙම අවම වැඩ සටහන සිංහල සහ දෙමළ ජනයා අතර වඩා වැඩි සමතෝලනයක් ඇතිවනු දැකීම සහ රෙජීමයේ හැසිරීම බටහිර ලිබරල් ප්‍රජාතන්‍ත්‍රවාදී ප්‍රතිමාන සමග වඩා අනුගතවන තැනට පත් කිරීම අපේක්ෂා කරයි.

නමුත් මීට එහාට යමින් ඇමෙරිකාව තම දේශීය සගයන් වන රනිල් සහ / හෝ චන්ද්‍රිකා ට මහින්ද රාජපක්ෂ මැතිවරණ ක්‍රියාදාමය තුලින් පරාජය කළ නොහැකි නිසා භාහිර මාර්ග මගින් එනම් ජාත්‍යන්තර ආයතන සහ නීතිය මෙන්ම භාහිර ආර්ථික පීඩනය යොදා රෙජීමය වෙනස් කිරීම සහ පශ්චාත්-යුද ලාංකේය පර්යාය යලි හැඩ ගැස්වීම අපේක්ෂා කරන බව දයාන් කියයි.

ඒ දයාන් 2014 අප්‍රේල් මාසයේදී කළ විග්‍රහ යයි. නමුත් අද වන විට භාහිර මාර්ග කෙරෙහි ‍විදේශීය බලවේග යොමු වීමට ඇති හේතු පහවී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙම ගැටලු විසඳා ගැනීමේ විකල්ප මාවත මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක වීමත් සමගින් තහවුරු වී ඇත. එහෙයින් බටහිර සහ ඉන්දියාවේ අවම වැඩ සටහන ට කැමැත්ත පළ කරමින් ලාංකේය ජනයා මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ව්‍යාපාරය වටා එක් වීම නිසා රට බෙදීමේ තර්ජනය පරාජය කිරීමේ හැකියාව වෙන කවරදාකටත් වඩා අද මතු වී ඇත.

2014 අප්‍රේල් මාසයේදී දයාන් ජයතිලක ‘ජිනීවා හිදී භයානක පරාජයක්’ යන මැයෙන් ලියූ ලිපියක තර්ක කළේ ලංකාවේ ඡන්දයෙන් බලයට පත්වන ඕනෑම රජයක් හඳුනාගත් සිදුවීම ලැයිස්තුවක් පිළිබඳ ස්වාධීන පරීක්ෂනයක් ද ඇතුළුව උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ අවංකව ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඇමෙරිකාවට ලංකාවේ අවශ්‍ය යුද කඳවුරක් නොවේ යැයි ඔහු කියා සිටියේය. ඔහු දුටු ගැටළුව වූයේ ලංකාවට බලපෑම් කිරීම නවත්වන්නට ඇමෙරිකාවට අවශ්‍ය අවම දේ යුද කඳවුරු සම්බන්ධයෙන් පමණක් නොව දෙමළ අයිතිවාසිකම් සහ ස්වාධිප්‍යතය සම්බන්ධයෙන්ද, ඉවැන්ජලිකල් ක්‍රිස්තියානුවන්ට එල්ල කළ ප්‍රහාර සහ පොදුවේ ගත් කළ ආණ්ඩුකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිමාණ අතින් ද ගත් කළ රෙජීමය විසින් ඉඩදීමට කැමති උපරිමයට එහා යෑමයි. දෙමළ ජනයා සමග පළාත් මට්ටමින් බලය විමධ්‍යගත කිරීම සහ දේශපාලන සංහිඳියාව අතින් සැබෑ ප්‍රගතියක් අත් පත් කරගැනීම වෙනුවෙන් වගවීම පිළිබඳ ඉල්ලීම පස්සට තැබිය හැකිය යන හුවමාරුව පිළිබඳ යෝජනාවක් 2009 කෙරී-ලූගර් වාර්තාවේ සඳහන් වීය. මෙලෙස ඇමෙරිකාවේ ස්ථාවරය ඉදිරිපත් කළ විට ලංකා රජය එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී යැයි දයාන් ජයතිලක කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන ගේ නවරජය උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ  ක්‍රියාත්මක කරන බව තම ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශ කොට තිබේ. මෙවර සංහිඳියාව මුල් කොට ගත් වැඩ පිළිවෙලක් තුළින් ජනවාර්ගික සහ ආගමික සංහිඳියාව ගොඩ නඟා එමගින් ඉහත කෙරී -ලූගර් වාර්තාවේ යෝජනා යළි පනගන්වා වගවීමේ ක්‍රියාවලිය මෙහෙයවීම ලංකාව අතට ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ගේ නවරජයට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.