20 April, 2024

Blog

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වෙත විවෘත ලිපියක්: ස්ථිර ඡන්ද වල සිට පාවෙන ඡන්ද දක්වා

රංග කලංසූරිය

ආචාර්ය රංග කලංසූරිය

ආචාර්ය රංග කලංසූරිය

හිතවත් අනුර ,

මේ ලෝකයේ සියල්ල වෙනස්වන සුළු බැවින් මිනිසුන්ටද එය අදාළය. මේ සනාතන දහමට පිටුපාන්නට දේශපාලන පක්ෂවලටද නොහැකිය. එබැවින් ඔබත් ඔබගේ පක්ෂයත් ගැන කිසිදු විවාදයක් නැත.

ඔබට මෙම ලිපිය ලියන්නට මා අදහස් කළේ දින කීපයකට ඉහත ‘පුරවැසි බලය’ විසින් කැම්බල් පිටියේ සංවිධානය කළ රැස්වීමේදී ඔබට සවන් දීමෙන් අනතුරුවය. ඇත්ත වශයෙන්ම මටත් වඩා ඔබගේ කතාවකට සවන් දිය යුතුමයැයි තදින්ම කියා සිටියේත්, ඒ සඳහා අවස්ථාවක් ලැබෙන තුරු පුල පුලා බලා සිටියේ ත් මගේ බිරිඳත්, ඇගේ මිතුරියන් කීප දෙනෙකුත් බව මෙහි දී සඳහන් කළ යුතුය. එබැවින් එදින මම ඔවුන් කැටුව කැම්බල් පිටියට පැමිණියෙමි. මා ඔබ අගය කරන්නකු නොවන බව මින් කිසිසේත් අදහස් නොකෙරේ.

විවාදයක් නැත – මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රබලතම කථිකයා වන්නේ ඔබ ම විනා අන් කිසිවකු නොවේ. ඔබ කරුණු සහිතව, අර්ථාන්විතව සහ ගැඹුරකින් යුතුව – එමෙන්ම හාස්‍ය රසයෙන් ද අනූනව අසන්නා ඇද බැඳ තබා ගන්නේ අති දක්ෂ ලෙසිනි. නිවැරැදි දෙය නිවැරැදි තැන කීම සඳහා උචිතම වදන් තෝරා ගන්නා ඔබේ වාග් මාලාව, අසා සිටින්නාට ඉතා ප්‍රිය ජනකය. දේශපාලන වේදිකාවේ තරුව ලෙස ඇතැම් අය ඔබ හඳුන්වන මුත්, මා කැමැති ඔබ ප්‍රබල සන්නිවේදන හැකියාවක් ඇති සැබෑ දේශපාලකයකු ලෙස දකින්නට ය. [තරු සංකල්පය ඔබට කිසිසේත් ඔබින්නේ නැති බව කිවමනා නොවේ]. සැබෑ දේශපාලකයකු යනුවෙන් මා අදහස් කළේ දැනුම, විනය, අවංකබව, ආදී දේශපාලකයකුට තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වලින් පිරිපුන් වීම යි.

Anura Kumara JVPඔබේ දේශපාලන පක්ෂය – ජවිපෙ – අපට අමුතු සුරංගනා කතාවක් නොවේ. සිය දශක පහක දේශපාලන ඉතිහාසයේ ජවිපෙ මුහුණ දුන් තරම් අමිහිරි අත්දැකීම්, ශ්‍රී ලංකාවේ අන් කිසිදු දේශපාලන පක්ෂයක් මුහුණ දී ඇතැයි මම නොසිතමි. ස්ථිර දත්ත හා සංඛ්‍යාලේඛන නැතත්, ජවිපෙ දියත් කළ අසාර්ථක කැරැලි දෙක නිසා අහිමි වූ ජිවිත සංඛ්‍යාව (ජවිපෙ මෙන්ම ජවිපෙ නොවන), පසුගිය වසර 30 මුළුල්ලේම රටේ පැවැති ජනවාර්ගික අරගලය නිසා අහිමි වූ ජිවිත සංඛ්‍යාවට වඩා වැඩි විය යුතුය.

අනුර, මම දැන් නැවතත් මේ ලිපියේ ආරම්භයේදී ඔබේ පක්ෂය ගැන කළ සඳහනට හැරෙන්නම්. 90 දශකයේ ආරම්භයේදී සිය නව නැගිටීමත් සමග තමා මැතිවරණ ජයගත හැකි අන්දමේ අභියෝග වලට මුහුණ දියහැකි දේශපාලනික ප්‍රවාහයක් බව ජවිපෙ ඔප්පුකර ඇත. මිලිටරිවාදය වෙනුවට එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිගෙන ඇතිවා පමණක් නොව, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උණ්ඩයෙන් නොව ඡන්දයෙන් බලාත්මක කළ යුතු බවට ගෙන යන අරගලයේ ප්‍රබලතම කොටස්කරුවකු බවටද පත්ව සිටී. ඔබේ පක්ෂයට මිලියන ගණන් ජනතාව ඡන්දය නොදෙන මුත්, සත්තකින්ම ප්‍රධාන දේශපාලන පක්ෂ වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මිලියන ගණන් ජනතාව ඔබට සවන් දෙනු ඇත. ඔබ විසින් ඇති කරන බලපෑම ඉමහත් ය. එබැවින් ඔබේ හඬ තීරණාත්මකය- ජවිපෙ වශයෙන් ඔබට නොවන මුත් අනෙක් අයට ය.

එහෙත් අනුර, ඔබේ කථා විලාශය හා භූමිකාව, අලුත් ඡන්ද දායකයන් ඔබේ පාර්ශ්වය වෙත ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇති බව මෙහිදී කිව යුතුම ය. ජවිපෙ නොවන අය (ප්‍රධාන වශයෙන්ම ප්‍රබල එජා පාක්ෂිකයන්) අනාගත මහ මැතිවරණයකදී ඔබ වෙනුවෙන් සිය ඡන්දය භාවිත කිරීමට කැමැති බව ප්‍රකාශ කරනු මට බොහෝ විට ඇසී තිබේ. ඔබ ඔවුන් ස්ථිර ඡන්ද දායකයන්ගේ සිට පාවෙන ඡන්ද දායකයන් බවට හරවා ඇත්තෙහිය. එහෙත් ඔවුන් තවමත් පක්ෂයක් වශයෙන් ජවිපෙ ට සිය ඡන්දය දීමට කැමැති නැත. කරුණාකර මා වරදවා වටහා නොගන්න. මා කියන්නේ ඔබට පක්ෂය හැර ගොස් වෙනත් පක්ෂයකට එකතු වෙන්න කියා නම් නොවේ. නමුත්, ඔබට පුද්ගලිකව ලැබෙන්නට යන මෙම ජනප්‍රිය ඡන්ද, පක්ෂයට ලැබෙන ඡන්ද බවට හරවා ගැනීමට සුදුසු වූ ක්‍රමෝපායයක් ජවිපෙ ගොඩ නගා ගත යුතුය. ඔබගේ විශාලතම අභියෝගය එයයි.

මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද? බොහෝ දුරට, ප්‍රතිපත්ති මට්ටමින් පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම මගින් විය හැකිය. වත්මනෙහි ඉදිරියට පැමිණ ඇති දේශපාලනික ආර්ථික ප්‍රවණතා වන ප්‍රාග්ධනවාදී ප්‍රතිපත්ති සඳහා යාමට ඔබට යෝජනා කිරීමක් මින් අදහස් නොකෙරේ. මින් අදහස් කරනුයේ නවතාවයෙන් යුතුව සිතන්නටත්, සම්ප්‍රදායයෙන් බැහැරව සිතන්නටත් ය. උදාහරණයක් වශයෙන් ගතහොත් ජවිපෙ, ශිෂ්‍ය අරගල පිළිබඳ සිය ආස්ථානය නැවත සිතා බලන්නට අවශ්‍යය. එනම් අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන සම්ප්‍රදායික වීදි සටන් වලින් ඔබ්බට එය ගෙන යා යුතුය. මෙම ප්‍රතිසංවිධාන සමාජයේ සියලු පාර්ශ්ව වල පැහැදිලිව දැකගත හැකි විය යුතුය.

පක්ෂය හැර ගිය අය දිනා ගැනීම [පක්ෂය නැවතත් එකමුතු කිරීම] තවත් අභියෝගයකි. ප්‍රබල ලෙස දක්නට නොලැබුණද, මා සිතන ආකාරයට ඔවුහු ද අභ්‍යන්තරිකව ප්‍රබල බලපෑමක් ඇති කරති. විමල් ගේ පක්ෂය හැර යෑම නම් වෙස් වලා ගත් ආශිර්වාදයක් විය හැකි නමුදු, මා මෙහිදී සඳහන් කරන්නේ ගුණරතනම් කණ්ඩායම ගැනය.

මා මෙම කරුණු ගෙන හැර පෑවේ ප්‍රධානකොටම කාරණා දෙකක් හේතුවෙනි. එකක් නම්, ඔබ මගේ කැමැත්ත දිනා ගත් දේශපාලකයකු බවට පත්ව සිටීමයි. අනෙක, ඔබේ නායකත්වය යටතේ ජවිපෙ ලබා ඇති වෙනස සම්පූර්ණයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී එකක් වීමයි. පුර වැසියන් වශයෙන්, අපගේ යුතුකම වන්නේ ඔබගේ වැනි දේශපාලන ප්‍රවාහයන් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ ප්‍රබල හඬක් බවට පත් වීමට උපරිම වශයෙන් ධෛර්යමත් කිරීමයි. වෙනසක් සඳහා ඉඩක් මෙන්ම, එම වෙනස ඇති වීම සඳහා ක්‍රමවේදයක් තිබිය යුතුය. ඔබගේ නායකත්වය යටතේ ජවිපෙ එම වෙනස්වීම සිදු කර ගනිමින් සිටින බව මා පුද්ගලිකව සිතන මුත් ජනතාවට ඒ වෙනස දැනිය යුතුය.

ඔබට ජය,

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.