මෙවර ජනාධිපතිවරණ සටනේදී අතිවිශාල පුරවැසි ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි විය. ඡන්දයේ ප්‍රතිඵලය කවරක් වුවත් ඒ පුරවැසි මැදිහත්වීම පමණක් වුව ඉතා වැදගත් දෙයකි. මේ මැතිවරණය පොදු අපේක්ෂා ව්‍යාපාරය විසින් ජයගන්නා බවට දැන් සැකයක් නැත. යට කී පුරවැසි මැදිහත්වීම ඒ ජයග්‍රහණයට දායක වූ වැදගත් කොටසකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාල හා සම්බන්ධ අප කිහිපදෙනෙකුට තුළට පුරවැසි වගකීම පිළිබඳ වැදගත්කම අත්දැකීමෙන්ම වටහා ගැනීමට ලැබුණේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජන මාලාවේදීය. එහිදී අපට ප්‍රදේශයේ සිටින වාමාංශික කණ්ඩායම්ද වෘත්තීය ක්‍රියාකාරිකයන්ද දැන හඳුනා ගන්නට ලැබිණ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වන අප කිහිපදෙනෙකුට මෙය ඉතා වැදගත් අත්දැකීමක් විය. එතැන් සිට අප විවිධ මහජන සංවාදයන්ට සහභාගි වූ අතර රාජපක්ෂ රෙජීමය සාමය, සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යැයි හඳුන්වන දේවල් ඒ කතිකාවලදී සාකච්ඡාවට ලක් විය. ඒ නිසා අපේ සාමූහිකත්වය වර්ධනය විය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වන විටත් අපේ පුරවැසි ක්‍රියාකාරකම් යාන්ත්‍රණය මැනවින් ක්‍රියාත්මක වෙමින් තිබිණ.
නිදර්ශනයක් මෙසේය. වර්ෂ 2010 සැප්තැම්බර් 8 වැනිදා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දවසේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කළු පටි පැළඳ දේශනවලට යා යුතු යැයි අප කීපදෙනෙකු කතා කළද එය ක්‍රියාත්මක කළ නොහැකි විය. සහභාගිත්වය මදි විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී එසේ කළු පටි පැළඳ ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතට විරෝධය දැක්වූයේ දෙදෙනෙකු පමණි. ඉන් වසරකට පමණ පසු 18 වැනි සංශෝධනය ගෙනාවේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතිබහුතරය ඊට විරුද්ධ වන්නට තිබිණි. ඊට හේතුව ඒ වන විට ආචාර්ය වැඩවර්ජනය ඔස්සේ බොහෝ ආචාර්යවරුන්ගේ සමාජ සවිඥානකත්වය වර්ධනය වී තිබුණ නිසාය.
මෙවර මැතිවරණය එන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු මධ්‍යම පාන්තික උගතුන් බහුතරයට වැටහී තිබුණු කාරණයක් නම් වර්තමාන රෙජීමය පරාද නොකර රටට අනාගතයක් නැත යන්නයි. විචාරශීලී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පවා රෙජීමය තීරක බලය දරන්නේ තමන්නේ නියම නියෝජිතයන් නොවේය යන කාරණය වැටහිණ. ඒ නිසා ඔවුහු පක්ෂ යාන්ත්‍රණයෙන් බාහිරව රෙජිමයට විරුද්ධව ක්‍රියාකාරී වූහ. මේ ක්‍රියාකාරී වීමේ මධ්‍යස්ථාන ලෙස පැවතියේ විවිධ පුරවැසි කණ්ඩායම්ය. මහනුවර අපි එවැනි පුරවැසි සංවිධාන ලෙස සංවිධානය වීමු. මේ ලියන මා ද ඇතුළු අපි කිහිපදෙනෙකු කිසිම දේශපාලන පක්ෂ මූලස්ථානයකට අඩියවත් නොතියා මේ මැතිවරණයේදී ක්‍රියාකාරී වීමු. පුවත්පත් සාකච්ඡාවලින් මූණ නොපෙන්වූ අතිවිශාල පිරිසක් ස්වේඡාවෙන්ම වැඩට බැස්සේය.
අන් කිසිම මැතිවරණයකට වඩා මේ මැතිවරණයේදී සයිබර් අවකාශයද තීරණාත්මක ලෙස භාවිත විය. ඒ අවකාශය වූකලි ක්‍රියාකාරිකයන් මුණ ගැසෙන අලුත් අඩවියක් විය. සෙල්ෆෝනය සහ ඩිජිටල් කැමරාව අතිශයින් පැතිර ගොස් පුරවැසි තොරතුරු තාක්ෂණ ශක්තියද වැඩි වී තිබිණ. විවිධ තොරතුරු වහා හුවමාරු විය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වෙන අවස්ථාවේදීම සමාජ මාධ්‍ය ලෝකයේදී ආණ්ඩුව පරාජයට පත් විය. මේ ජනාධිපතිවරණය පොදු අපේක්ෂා ව්‍යාපාරය විසින් ජයග්‍රහණය කිරීමේ එක් තීරණාත්මක උපකරණයක් ලෙස සමාජ මාධ්‍යයන් ඉතිහාසයට එක්වෙනු ඇත. මීට මාස හයකට විතර කලින් බහුතර තරුණ පිරිස බොදුබල සේනා වැනි අන්තවාදී ව්‍යාපාර වෙත ආකර්ෂණය කරන්නට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය බෙහෙවින් දායක වුවද ජනාධිපතිවරණය නිවේදනය කරන දවස එන විට සමාජ මාධ්‍ය ග්‍රාහකයන්ට බොබසේ එපා වී තිබිණ. ඒ එපා වීම සිදු වූයේ ඥානසාර හිමි වැනි අයගේ නිර්-භික්ෂු චර්යා ෆේස්බුක් මගින්ම දැනගන්නට ලැබුණ නිසා යැයි කියන්නට පුළුවන. මෙම ජනාධිපතිවරණය එන විට ෆේස්බුක් වෙත වීඩියෝ කොටස් එක් කිරීමේ මෘදුකාංගද බෙහෙවින් දියුණු වී තිබිණ. විමල් වීරවංශ වැනි අය ජෝක් කර දැමීමේ කාර්ය වඩාත් කෙරුණේ ෆේස්බුක් මගිනි.
ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍ය වෙත ආ කිහිප දෙනාගේ තර්ක පරාජය කරන්නට මෛත්‍රී කණ්ඩායමේ අයටත් වඩා දායක වූයේ ෆේස්බුක් සාමාජිකයන්ය. ඉතා නිර්මාණශීලි විහිළුද ප්‍රතිතර්කද ගොඩනැගිණි. ඒවා සාපේක්ෂ වශයෙන් අසභ්‍යභාවයෙන් පිරිපහදුකමක්ද පෙන්වීය. ඉන් පෙනුණේ සෑහෙන තරම් උගත් පිරිසක් මේ ව්‍යාපාරයට දායක වූ බවය.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ පිරිමි කණ්ඩායමකි. ඒ අතරින් ජනාධිපති වන ඔහු තේරීම පුරවැසි අපට බාරය. යටකී අන්දමින් පුරවැසි ක්‍රියාකාරීත්වයට දායක වූ අපට ජනතාව යෝජනා කරන්නේ ඔහු මෛත්‍රීපාල සිරිසේන බවය. ඔහු නායකත්වය දෙන පොදු අපේක්ෂා ව්‍යාපාරය යෝජනා කරන ප්‍රතිසංස්කරණ වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවකට පදනම දමන බව අපට පෙනේ.
එහෙත් ඔහු බලයට ගෙන ඒමෙන් නැවතීමට හැකියාවක් නැත. අපට දැනට ගොඩනගා ඇති පුරවැසි වේදිකා සියල්ල භාවිත කොට අලුත් ජනාධිපති වන ඔහු මත යටකී ප්‍රතිසංස්කරණ උදෙසා පීඩනයක් ඇති කළ යුතුය. ජයග්‍රහණයෙන් පසු ඔහු වටා රොද බඳින අශිෂ්ට මිනිසුන් ජනාධිපතිවරයාට සමීප වී බලය තහවුරු කරගන්නට පෙර ඔවුන් හෙළිදරව් කළ යුතුය. අලුත් පත් වූ අපේ ආණ්ඩුව විවේචනය කිරීම නරක යැයි නිහඩවීම සුදුසු නැත. අප ආණ්ඩුව විචේනය කළ යුත්තේම එය අපේ නිසාය. මහින්ද රෙජීමය අපේ යැයි කියමින් එයට ආ වැඩූ අය එය විනාශය කරා ගෙන ගිය හැටි අපට මතක තිබිය යුතුය. අලුත් ආණ්ඩුවේ ජැක්සන් ඇන්තනී වහා හඳුනා ගෙන අභියෝග කළ යුතුය. අලුත් ආණ්ඩුවේ හඩ්සන් සමරසිංහට රේඩියෝව උඩුබුරන යන්ත්‍රයක් බවට පත් කරන්නට ඉඩ නොදිය යුතුය.
අපි බොහෝ දෙනෙකු පොදු අපේක්ෂා ව්‍යාපාරය බලයට ගේන්නට අපට හැකි පමණින් දායක වීමු. අපි ඒ මැදිහත්වීම කළේ පක්ෂයක ඉහළින් එන නියෝග අනුව නොවේ. නුවර සිට ක්‍රියාත්මක වූ අප බොහෝ දෙනෙකු සිරිකොත හෝ මෛත්‍රී මූලස්ථානය පැත්ත පලාතේ ගොස් නැත. එහෙත් අපි පුරවැසියන් සේ ඈත සිට ක්‍රියාකාරී වීමු. ගම්දනව්වල ඇවිද්දෙමු. මහින්ද රෙජීමය කළ ලොකුම වරද නම් ගම්වල ඉන්නේ මැට්ටන් යැයි සලකා ඔවුන් අන්දවන්නට ඡන්දෙට බැසීමයි. මහජනයා හමු වූ සෑම විටෙකම අපට සිතුණේ නිසි දැනුම තර්කානුකූල ලෙස ඉදිරිපත් කළ විට වටහා ගන්නා විශාල පුරවැසි පිරිසක් අපට සිටින බවයි. බලවත් යැයි පෙනෙන ආණ්ඩු බලයෙන් වැටී බලු වී යන්නේ එවැනි පුරවැසියන් නිසාය.විදේශ කුමන්ත්‍රණ නිසා නොවේ. ඒ කාරණය අලුත් ආණ්ඩුවටත් හොඳ පාඩමකි. කවුරු කොහොම ප්ලෑන් ගැහුවත් හමුදා කුමන්ත්‍රණ වැනි දේ මේ රටේ කෙරෙන් නැත්තේද ඒ පුරවැසි ශක්තිය නිසාය.
නොබෝ දිනකින් මහ මැතිවරණයක් එන්නේය. එවිටද අප ජීවත්වන තැන්වල සිට සක්‍රීයව මැදිහත් වී උගත්කම් සහ ශිෂ්ටකම් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට යවමු.