26 April, 2024

Blog

කිරි කළයේ ජනවරම තව තවත් ඉහළට

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

සාමාන්‍යයෙන් ජූලි මාසය රටේ දේශපාලනය කළඹවන සිදුවීම්වලින් ගහණ බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. ඉතිහාසයද ඒ සඳහා අවශ්‍ය තරම් සාක්ෂි සපයන්නේය. යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කළේ 1975 ජූලි මාසයේය. එය තිස් අවුරුදු යුද්ධයේ ආරම්භය විය. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම 1957 ජූලි මාසයේ අත්සන් තැබූ අතර ඉන්දු – ලංකා ගිවිසුම 1989 ජූලි මාසයේ අත්සන් තැබීය. ඒවාද සමාජයේ බරපතළ ගැටුම්කාරී සිදුවීම්වලට පසුබිම් විය. 1980 ජූලි වැඩ වර්ජනය හා 1983 ‘කළු ජූලිය‘ ද මෙරට ජනතාවට කිසිදා අමතක වන්නේ නැත. ඒ අතුරින් අතිශය අප්‍රසන්නතම සිදුවීම වන්නේ 1983 ජූලි 23 – 25 දිනවල සිදු වූ ‘කළු ජූලිය‘ බවට විවාදයක් නැත.

මෙවර ජූලි මාසය ආරම්භ වූයේද එක්තරා දේශපාලන මෙහෙයුමක් සමඟය. අධි ඇසළ පොහොයද යෙදී තිබූ එදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වීමේ උපාය මාර්ගික මෙහෙයුමක තවත් එක් පියවරක් සැලසුම් සහගතව ක්‍රියාත්මක විය. පසුගිය ජනවාරි 8 වෙනිදා සිදු කරනු ලැබූ නිහඬ විප්ලවයෙන් අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන් ඔහු යළි පාර්ලිමේන්තු මැතිවරණය හරහා බලයට ගෙන ඒමට විමල්,වාසු, දිනේෂ්, උදය කල්ලිය විසින් හුදෙකලා සටනක් ලෙස ආරම්භ කොට පසුව ක්‍රමයෙන් ව්‍යාප්ත වී එහි තීරණාත්මක අවස්ථාවක් එදිනට යොදාගෙන තිබුණි. එය පූර්ව සැලැස්මකට අනුව එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් රටටම පෙනෙන්නට විකාශය කරන ලද අතර එමගින් එහි අනපේක්ෂිත අසාර්ථකත්වයද ඒ මගින් රටටම ප්‍රදර්ශනය වීම වැළැක්විය නොහැකි විය.

මා විසින්ද එදින එකී රූපවාහිනී සජීවී විකාශය නැරඹීමෙන් පසු ‘කිරි කළයයි ගොම හැළියයි යා කිරීමේ මැදමුලන මෙහෙයුම‘ යනුවෙන් ඒ පිළිබඳ දේශපාලන විග්‍රහයක්ද ඉරිදා ලංකාදීප පුවත්පත සඳහා එදිනම ලියා යැවීය. එහෙත් ඉන් දින දෙකක් ඉක්මවූ ජූලි දෙවන සිකුරාදා සවස සියලු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නිවේදනයක් මගින් පසුගිය ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුවක් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාව දැඩි වික්ෂිප්ත භාවයකට ඇද දමනු ලැබීය. ඉන් කියවුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයක් මත එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දීමට තීරණය කර ඇති බවය. එතැන් සිට මේ දක්වාම රට පුරා සිදුවන දේශපාලන සංවාද සියල්ලටම පොදු මාතෘකාව වී ඇත්තේ එම කාරණාවය.

Maithripala‘කිරි කළයයි ගොම හැළියයි යා කිරීමේ මැදමුලන මෙහෙයුම‘ නමැති මාගේ ලිපිය පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවන අවස්ථාව වන විටත් එමගින් මා පුරෝකථනය කළ පරිදිම ජනවාරි 8 නිහඬ විප්ලවයේ ප්‍රධාන පාර්ශවයන් දෙක අතිශය බරපතළ මතවාදී යුද්ධයක පැටලෙමින් තිබුණි. මේ වන විටත් එය සමහන් වී නැත. එහි වඩාත් ඛේදජනක සිදුවීම බවට පත් වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතාමත් සීඝ්‍රයෙන් සමාජ අපවාදයට බඳුන් වෙමින් තිබීමය. විශේෂයෙන් ඊයේ එනම් ජූලි 6 වෙනි සඳුදා සියලුම පාහේ පුවත්පත් කාටූන්වලද එතුමා නිර්දය විවේචනයට බඳුන් කර ඇත්තේ ඔහු මේ රටේ විධායක ජනාධිපතිවරයා නොවේද යන කාරණයද පසෙක දමමිනි. ඔහු විසින් ගන්නා ලද එක්තරා යහපාලන විරෝධී තීන්දුවක් සම්බන්ධයෙන් පොදු ජනතාව තුළ කැකෑරෙමින් පවත්නා හද කකියවන වෛරය හා පිළිකුළ ඔහු විසින්ම නායකත්වය ලබාදුන් යහපාලන ක්‍රමවේදයට අනුව එසේ පිටකරන්නට නැඹුරු වී තිබීම පිළිබඳව කිසිවකු හෝ පුදුම වන්නේද නැත. එසේම මෙහි බොහෝ දෙනා යටි හිතින් ඒ ගැන සතුටු වන්නේ එක් අතකින් මෙය එක්සත් ජාතික පක්ෂය ඇතුළු සමස්ත යහපාලන කඳවුරේ නිසැක විජයග්‍රහණය සහතික කිරීම සඳහා ලැබී ඇති වෙස් වළාගත් ආශීර්වාදයක් බවටද පත්ව ඇති නිසාය.

ඒ අනුව ඉහත ‘කිරි කළය‘ ලකුණින් මා සංකේතවත් කළ ජනවාරි 8 විප්ලවයේ යහපාලන කඳවුර එසේ බරපතළ කළකිරීමකට බඳුන් වී ඇත්තේ පරාජිත මහින්ද රාජපක්ෂ මහතා යළි තරඟයට ඉදිරිපත්වීම නිසා නොව තම කඳවුරේ නායකයා විසින්ම ඊට ආධාර අනුබල දුන් බව පැවසෙන නිසාය. අනෙක් අතට මීට සතියකට පෙර මෛත්‍රී – මහින්ද හමුවක් සිදු වූ බව සියලු පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත්ව තිබූ අවස්ථාවේ දෙපාර්ශවයම විසින් කඩිමුඩියේ නිකුත් තළ මාධ්‍ය නිවේදනයක් මගින් එය ප්‍රතික්ෂේප කළද මෙවර මෙම ප්‍රවෘත්තියට අදාළව හැට දෙලක්ෂයක් ජනතාව දැඩි කණස්සල්ලකට, පීඩනයකට හා ප්‍රතිවාදීන්ගේ අපහාස, උපහාසවලට ලක්වෙමින් තිබියදීත් ජනාධිපතිවරයාගේ නිහඬතාවය කිසිසේත් ඇදහිය නොහැකිය.

මාගේ ඉහත ලිපිය මගින් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන යහපාලන කඳවුර ‘කිරි කළය‘ ලකුණින් සංකේතවත් කළ අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ප්‍රතිවාදී කඳවුර උපමා කළේ ‘ගොම හැළිය‘ ටය. එදා එම ලිපිය කියවා මට කොතෙකුත් ප්‍රශංසා කළ අයට අමතරව ඇතැම්හු එය අසාධාරණ විග්‍රහයක් නොවේදැයි මගෙන් විමසූහ. ඔවුන් ගේ ප්‍රධානම ගැටළුව වූයේ ඔය කියන තරම්ම රාජපක්ෂ පාලනය ඇත්තටම දූෂිතද යන්නය. මා එදා ඔවුන්ට පෙන්වා දීමට උත්සාහ කළ ප්‍රධානම කාරණය නම් අපට ඇත්තේ මහින්ද රාජපක්ෂ නමැති මිනිසා හෝ දේශපාලඥයා හෝ හිටපු ජනාධිපතිවරයා සමඟ වූ පුද්ගලික ආරවුලක් නොව ඔහුගේ රාජ්‍ය පාලන ක්‍රමවේදය විසින් අපේ රට ආපස්සට රැගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී, පවුල්වාදී, කල්ලිවාදී, අන්ත දූෂිත, වංචනික දේශපාලන භාවිතාව පිළිබඳව පවත්නා අප්‍රසන්නභාවය හා පිළිකුල බවයි. එය යළිත් මහින්ද රාජපක්ෂ මහතා විසින් පමණක් නොව කෙදිනක හෝ කවුරුන් විසින් හෝ මේ රටේ ක්‍රියාවට නැංවීමට කුමන හෝ ඉඩ ප්‍රස්ථාවක් නොදී එය මෙම ඓතිහාසික අවස්ථාවේම මුලිනුපුටා දැමීම අපගේ ප්‍රධාන ඉලක්කය බවද එයට ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සැවොම එක්විය යුතු බවද මා ඔවුන්ට දැඩිව අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිවරයකු මෙන්ම සිය ප්‍රථම ධූරකාලය තුළ රට වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව මා එවැනි බරපතළ විවේචනයක් ඉදිරිපත් කරන්නේ කුමන සහේතුක පදනමක් මත දැයි කෙනෙකු මගෙන් විමසන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් කළහැකි සාක්ෂි බොහොමයක් මා සතුව ඇත. ඒවා මා පමණක් නොව මේ වන විට රටේ අස්සක් මුල්ලක් නෑර වෙසෙන සියලු දෙනාම පාහේ දන්නා කරුණුය. එම නිසා තමිල්නාඩුවේ ජයලලිතා මහා පරිමාණ දූෂණ, වංචාවලට උසාවියෙන්ම වැරදිකාරිය වී සිර දඬුවමකටද ලක්ව වසර හයක දේශපාලන තහනමක්ද සහිතව ලබාදුන් නඩු තීන්දුව ඉහළ උසාවියකින් ඉවත දමා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ පූර්වාදර්ශය අනුව යමින් ඔවුන් මේ උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අදාළ එකී චෝදනාද සරල සාමාන්‍ය සිදුවීම් බව පොදු ජනතාවට ඒත්තු ගැන්වීම සඳහාය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ගල් ගසා මරා දමන බවට ඔහුගේ ගෝල බාලයන් තර්ජනය කරන්නේ ඒ අනුවය. කෙසේ වුවද එකී සාක්ෂි සියල්ල පසෙකින් තබා මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මා මෙසේ ඉදිරිපත් කරනු ලබන චෝදනා හුදෙක් මාගේ පෞද්ගලික ද්වේශසහගත මතවාදයන් යැයි කෙනෙකුට හිතෙන්නේ නම් එය එසේ නොවන බව ඔප්පු කිරීම සඳහා තවත් මූලයන් කිහිපයක් උපුටා දැක්වීමට මම අදහස් කරමි. එබැවින් මී ළඟට මා මතුකරන ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වන්නැයි මහින්දවාදී පාර්ශවයේ නියෝජිතයින්ට මම අභියෝග කරමි.

විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම පිණිස 1982 වර්ෂයේ පැවති පළමු ජනාධිපතිවරණයේ සිට මේ දක්වා ජනාධිපතිවරණ හතක් පවත්වා ඇත. පළමු විධායක ජනාධිපතිවරයා වන දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට එකී ජනාධිපතිවරණ සඳහා ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක නියෝජනය කරමින් ඉදිරිපත් වී ඇති අපේක්ෂක සංඛ්‍යාව දහයකි. ඒ ජේ.ආර්.ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව, ආර්.ප්‍රේමදාස, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග, ගාමිණී දිසානායක, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන යන දස දෙනාය. ඒ අතුරින් අද ජීවතුන් අතර සිටින්නේ චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන යන පස් දෙනා පමණි. 2015 ජනාධිපතිවරණය පැවැත්වුනේ එම පස් දෙනාගෙන් දෙදෙනෙකු අතරය. මෙහිදී මා පෙන්වා දීමට උත්සාහ කරන්නේ එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉතිරි තිදෙනාම ඔහු වටා පෙළ ගැසුන බවත් ඔවුන් හතර දෙනාම එක් වී මහින්ද රාජපක්ෂ මහතා අත්තනෝමතික, ඒකාධිපති, පවුල්වාදී, අන්ත දූෂිත පාලකයකු බවට ප්‍රසිද්ධියේ චෝදනා කළ බවත්ය.

තවද ඔවුන් අතුරින් චන්ද්‍රිකා කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉපැරණි සාමාජිකයින්ද වෙති. අනෙක් අතට ඔවුන් හතර දෙනාගේ සිවිල් වටිනාකම හා තරාතිරම අනුව එසේ එල්ල කරනු ලබන චෝදනා සරලව ප්‍රතික්ෂේප කිරීමටද කිසිවකුට අයිතියක් නැත. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වූ කලී දෙවරක් මේ රටේ විධායක ජනාධිපති ධූරය හෙබවූ තැනැත්තියකි. මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමානයේ එම තනතුර හොබවයි. රනිල් වික්‍රමසිංහ මහතා තුන්වරක් මේ රටේ අග්‍රාමාත්‍ය පදවිය හොබවා ඇති අතර දීර්ඝ කලයක් කැබිනට් අමාත්‍යවරයකු හා විපක්ෂනායකවරයා වශයෙන් කටයුතු කර ඇත. සරත් ෆොන්සේකා මහතා හතළිස් වසරක හමුදා සේවයක් සහිත හමුදා පතිවරයකු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අයෙකි. යුධ ජයග්‍රහණයේ පළමු ගෞරවය ජාතියෙන් උරුම කරගත් තැනැත්තා මෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයා බවටද පත් වූ අයෙකි. එහෙයින් මෙබඳු චරිත හතරක් ඒකමතිකව එක හඬින් ඉදිරිපත් කරනු ලබන චෝදනා සමූහයට අදාළව එහි පැවතිය යුතු විශ්වසනීයත්වය පිළිබඳ කිසිදු ගැටළුවක් පැන නගින්නේ නැත. ඒවා සරල ලෙස බැහැර කිරීමද කෙසේවත් කළ නොහැකිය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ සහායක කණ්ඩායමට එරෙහිව එල්ල වී ඇති එකී චෝදනා සමූහය ඉදිරියේදී නීතිය හමුවේ විභාග වන විටක ඔවුන්ට අත්වන ඉරණම පිළිබඳ සිතාගත හැකිය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ සමස්ත දූෂිත කල්ලිය හා බැඳුනු සංස්කෘතියද එහි ක්‍රියාකාරකම්ද එකම ‘ගොම හැළියක්‘ ලෙස මා හැඳින්වූයේ ඒ නිසාය. ඊට අදාළ ඉහත කී චෝදනාවලින් කොටසක් මේ වන විටත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නීතියට අනුකූලව විමර්ශනය වෙමින් පවතිනවාය. ඒවායේ ප්‍රතිඵල ඉදිරියේදී එකින් එක එළි දැක්වෙන විට ඔවුන්ට අත්වන ඉරණම කෙබඳුද යන්න හොඳින්ම දන්නේ ඔවුන්ය. ඊට පෙර කෙසේ හෝ යළි රාජ්‍ය බලය සියතට ගැනීමට ඔවුන් වෙහෙසෙන්නේ ඒවායින් ගැලවීමට ඉඩක් සලසා ගැනීම සඳහාය. පාර්ලිමේන්තු මැතිවරණය වර්තමානයේ ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ ඒ වෙනුවෙන්ය. මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති කරන්නැයි ජනාධිපතිතුමා ළඟ දණින් වැටී මෙතරම් පින්සෙන්ඩු වෙන්නේ ඔවුන්ට වෙන කළහැකි කිසිවක් ඉතිරිව නැති නිසාය. අනාගතයේ දිට්ඨ ධම්ම වේදණීය කර්මය ස්ථිර වශයෙන්ම ඔවුන් සොයා පැමිණීම අනිවාර්ය වී ඇති තත්වයක් යටතේ එය මඳකට හෝ පමා කරගැනීම පිණිස මෙවැනි පින්සෙණ්ඩුවීම්වලට ඔවුන් හිත හදාගෙන ඉවරය.

කෙසේ වුවද මෙම ලිපිය ලියන ජූලි 7වන අඟහරුවාදා වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට අදාළව කිසිදු සෘජු ප්‍රකාශයක් සිදුකර නැත. එහෙත් පසුගියදා මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයට මුල්ගල් තැබීමේ උත්සවයේදී එතුමා විසින් සිදුකරන ලද ප්‍රකාශය ව්‍යංගයෙන් සඥා කරන්නේ ඔවුන්ගේ ඉල්ලීමට ඔහුගෙන් කිසිදු ඉඩක් නොලැබෙන බවය. ජනවාරි 8 වෙනිදා මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව විසින් සිදු කරන ලද නිහඬ විප්ලවය කෙසේවත් ආපසු හැරවීමට තමා ඉඩ නොදෙන බව ඔහු විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. යම් හෙයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රිලනිප හෝ එජනිස යන කුමකින් වුවද තමා නායකත්වය සපයන කණ්ඩායමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදුන හොත් අනිවාර්ය උභතෝකෝටිකයකට මැදි වන්නට ඔහුට සිදුවනවාය.

එක් අතකින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේදීද ඉන් පසුවද එල්ල කළ ඉහත කී චෝදනා සමූහයත් ඒවාට අදාළව ආරම්භ කර පවත්වා ගෙන යන විමර්ශන ක්‍රියාවලියත් අතර ඔහු අතරමං වන්නේය. අනෙක් අතට හැට දෙලක්ෂයක් ජනතාව කෙසේවත් පාවා නොදෙන බවට ඔහු තවදුරටත් ශපත කර ඇති ප්‍රතිඥාව එහෙමපිටින්ම අවලංගු වී යන්නේය. මෑතකදී නිතර නිතර ප්‍රකාශ කළ පරිදි ශ්‍රිලනිපය දෙකඩ වීමෙන් ආරක්ෂා කරගැනීම සඳහා තමා එසේ කළ බවක් පෙන්වාදීම තවදුරටත් වලංගු විත්තිවාචකයක් වන්නේ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට එකඟවීම තුළින්ම එදා ඔහු තබා ඇත්තේ අමු අමුවේම ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ ආරම්භක පියවර බව මේ වන විටත් ඔහුට එරෙහිව දස අතින් චෝදනා එල්ල වන්නේය.

එහෙයින් සිය මරණය පෙනි පෙනී ජීවිත අවදානම පසෙකින් තබා එතුමා ජනාධිපති පුටුවට කැඳවා ගෙන ආ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජ්‍ය පූජක පක්ෂයද, දේශපාලන ඉතිහාසයේ සුවිශේෂතම කැපකිරීමක් කළ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සෙසු දේශපාලන පක්ෂද, නීතිඥ එකමුතුව, පුරවැසි බලය, අලුත් පරපුර, පිවිතුරු හෙටක් ඇතුළු සිවිල් සංවිධාන සමූහයද ඇතුළත් ඒ මහා ජනපවුර හා එතුමා අතර ලෙයින් කඳුළින් දහදියෙන් අත්සන් තැබූ අධිෂ්ඨානයේ ගිවිසුමට හානියක් වියහැකි තීන්දුවක් ඔහු අවසානයේ ප්‍රකාශයට පත් කරන්නේ නම් එයද එතුමා බලයට පත්කළ යහපාලන ‘කිරි කළයට‘ සැඟවුන වාසියක් අත්පත් කරදීම සඳහා මිස කිසිවිටෙකත් එකී ‘ගොම හැළියේ‘ පැවැත්ම උදෙසා නම් නොවිය හැකිය. එහෙයින් තවදුරටත් පූර්ව නිගමනවලට එළඹෙන්නේ නැතිව සියල්ල ඉවසා දරා සිටිමින් එකී වාසිය දෝතින් රැගෙන ‘කිරි කළය‘ දිනවීම සඳහා තව තවත් කැපවන ලෙස යහපාලන සහෝදරත්වයෙන් ඉතා හෘදයාංගමව ඉල්ලමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.