26 April, 2024

Blog

“නිර්ප්‍රභූ තැනැත්තියට කතා කළ හැකිද?” – සුමතිගේ ඉන්ගිරින්දු චිත්‍රපටිය

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

දෙමළ වීම නිසාම දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි  නලින් ද සිල්වා අසා ඇති ප්‍රශ්නයට එක් පිළිතුරක් වන චිත්‍රපටියකි සුමති ගේ ඉන්ගිරින්දු. මෙම චිත්‍රපටිය ලාංකේය උඩරට දෙමළ ප්‍රජාව පිළිබඳ වෙයි. උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනකොටස් වල දේශපාලන නියෝජිතයන් වශයෙන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව සිටින ප්‍රභූහු දේශපාලනය සහ ආර්ථික කරුණු මුල් කෙට ගෙන ලංකා රජය සමඟ විවිධ මට්ටමින් කේවල් කරමින් සිටිති. නමුත් කන්ද උඩරට දෙමළ වතු කම්කරු ජනතාවගේ තත්වය කුමක් ද? ඔවුහු නීතියෙන් ලංකාවේ පුරවැසියෝ ය. ඔවුන්ට ඡන්ද බලය තිබේ. ඔවුන් ගේ ඡන්දයෙන් බලයට  පත් දේශපාලන නියෝජිතයෝ ද සිටිති. නමුත් ඔවුන්ට ලංකා රජය සළකන්නේ පුරවැසියන්ට සැළකිය යුතු පූර්ණ ආකාරයෙන්ද?

ඔවුන් අති මහත් බහුතරය ගේ පවුල් අදත් ජීවත් වන්නේ එක් කාමරයකින් සැදුම් ගන්නා ක්‍රප්‍රකට ‘ලැයිං කාමර‘ නිවාස වලය. මෙම තනි කාමර නිවසේ පවා ඔවුනට වාසය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ අවම වශයෙන් එම පවුලේ එක් සාමාජිකයෙකුවත් එම නිවස අයිති වත්තේ ක්‍රියාකාරී ශ්‍රමයේ නිරත වන තාක් පමණි. එසේ නොවන දිනට එම පවුලට එම නිවස අහිමි වෙයි. මෙහිදී වතු හිමියා නිවස් හිමි කරුවා වෙයි. කම්කරුවා නිවසෙහි  කුලියට සිටින්නා බඳුය. සාමාන්‍ය කුලී නිවැසියෙකු ගේ තත්වයෙන් ලැයිං කාමර නිවැසියාගේ තත්වය වෙනස් වන්නේ නිවැසියා ගෙවල් කුලී ගෙවනවා වෙනුවට වතු හිමියා සහ රජය නියම කරන මිළට තම ශ්‍රමය වතු හිමියාට විකිණීමට බැඳී සිටීමයි. මෙය විසි එක් වැනි සියවසේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින්නේ යැයි සහ ප්‍රජාතන්ත්‍රවාදී යැයි  කියනු ලැබෙන රටක එහි පුරවැසියන් සම්බන්ධයෙන් තිබිය යුතු තත්වයක් ද?

යටත් විජිත සමයේ සිට බොහෝ කලක් යන තෙක්ම වතුකරයේ දෙමළ ජනතාවට වත්තෙන් පිටත පදිංචි වීමට අවසරවත් නොතිබූ ඇපයට බැඳුණු ශ්‍රමය පිළිබඳ කොන්දේසි තව දුරටත් එලෙසින්ම වලංගු නැතත් ප්‍රජාවක සාමාජිකයෙකු වීම නිසා වසන්නට නිවසක් වෙනුවට ශ්‍රමය කැප කිරීමට සිදුවීම ඔවුනට පුරවැසියන් ලෙස ලාංකේය සමාජයේ හිමි තැන කියා පාන්නක් නොවේද?  තමන් සේවය කරන වත්තේ නේවාසයට බැඳී තිබීම නිසා ඔවුන් ජිවත් වන්නේ ලාංකේය සමාජයේ සෙසු දෙමළ ජන කොටස් මත් ජීවත් වන ලෙසින් එම පොදු සමාජයේ කොටස් කරුවන් ලෙසින් නොව එයින් බැහැර කළවුන් ලෙසිනි. වත්තේ රැකියාවෙන් ඉවත්ව ඉන් පිටත රැකියාවල් සොයා යාමේ සහ පිටත පදිංචි වීමේ “නිදහස“ උඩරට දෙමළ වතු කම්කරුවනට ඇතත් ඔවුන් බොහෝ දෙනෙකුට එය යථාර්ථයක් නොවන්නේ ඔවුන් ඒ සඳහා ප්‍රායෝගිකව සූදානම් කිරීමක් උඩරට දෙමළ වතු කම්කරු පවුල් වල සාමාජිකයන් වීමේ හේතුවෙන් සිදුනොවන බැවිණි.

ඔවුන්ට තමන් ලබන වැටුපෙන් කොටසක් ඉතිරිකොටගෙන තම පවුලේ සාමාජිකයන්ගේ ආර්ථික සහ සමාජීය අභිවෘද්ධිය සඳහා එය ආයෝජනය කිරීමේ අවස්ථාවක් නොමැත්තේ ඔවුන්ට ලැබෙන වැටුප් පවුලේ එදිනෙදා නඩත්තුවට වත් ප්‍රමාණවත් නොවන හෙයිනි. වෘත්තීය සමිති කේවෙල් කිරීම් හේතුවෙන් ඔවුන්ගේ සමස්ත දෛනික වැටුප සියලු එකතු කිරීම් කළ විට අද වන විට රුපියල් 620 දක්වා ඉහල නැඟිය හැකි නමුත් මෙම දෛනික වැටුප ලැබීම සඳහා මාසයකට වැඩ කළ යුතු දින ගණන සහ කළ යුතු වැඩ ප්‍රමාණය හා බැඳුණු කොන්දේසි සහ වැටුප් වලින්  කෙරෙන අඩු කිරීම් යටතේ අවසානයේ අති මහත් බහුතරයක් වතු කම්කරුවන් ලබන්නේ තනි පුද්ගලයෙකුට යැපීමට තරම් නොවන ඉතාම අඩු වැටුපක් බව ගණන් බලා තිබේ. මෙම තත්වයෙන් ඔවුනට තරමක් හෝ සහනයක් ලැබෙන්නේ පවුලක සාමාජිකයන් කිහිප දෙනෙකුටවත් වත්තේ වැඩ ලැබෙන්නේ නම් පමණි. නමුත් එය පිළිබඳ කිසිදු සහතිකයක් නැත.

KKKඉතින් දෙමළ වතු කම්කරුවකුට ලබාගත හැකි සමස්ත දෛනික වැටුප මාසයකට ඇති දින ගණනින් වැඩි කොට ලබාගන්නා සංඛ්‍යාව වතු කම්කරුවකුගේ ම සාමාන්‍ය වැටුප යැයි ගණන් බලා ඒ හා සසඳන විට සිංහල සුළු ගොවියෙකු ලබන්නේ යැයි ගණන් බැලූ ආදායම පහළය යන පදනම මත දෙමළ වතු කම්කරුවන්ට ඉහළ ජීවන තත්වයක් ඇතැයි ඇතැම් සිංහල ජාතිකවාදීන් ඉදිරිපත් කරන තර්කය සංඛ්‍යානමය වශයෙන් ගත් කළ වුවත් ව්‍යාජ එකක් වනු ඇත.

ඊටත් වඩා වැදගත්වන්නේ වතු කෘෂිකර්මයේ ව්‍යුහාත්මක ලක්ෂණ හා ගැට ගැසුණු සමාජීය පසුගාමී තත්වයක් දෙමළ වතු කම්කරුවනට උරුමව තිබීම යි. අධ්‍යාපනය පිළිබඳ කරුණ මෙයින් ප්‍රමුඛය. දිළිඳු සිංහල ගොවීන් ගේ දරුවනට නිදහස් අධ්‍යාපනය හරහා එක පරම්පරාවක් තුළ ඉහළට නැඟ ගැනීමේ අවස්ථාව ලබාගත හැකි වුවත් අධ්‍යාපනය හරහා කම්කරු මටට්මින් ඉහළට නැඟ ගත හැකි වන දෙමළ වතු කම්කරු දරුවන් ගණන ඉතාම අල්ප ය. වතු කම්කරු ප්‍රජාවේ දරුවනට ලබා ගත හැකි අඩු පහසුකම් සහිත රාජ්‍ය අංශයේ අධ්‍යාපනයේ දිළිඳු මට්ටම නිසා විවෘත ශ්‍රම වෙළෙඳ පොලේ රැකිය සඳහා තරඟ කිරීමේ දී වතු කම්කරු දරුවන්ට වතු අංශයෙන් පිටත වුව හිමි වන්නේ කම්කරු මටටමේ හෝ ඊට ආසන්න තලයේ අඩු ආදායම් රැකියාය.

මෙලෙස ලංකාවේ වතු කෘෂිකර්මයේ ව්‍යුහාත්මක ලක්ෂණ හා ගැට ගැසුණු උඩරට දෙමළ වතු කම්කරු ජනතාවගේ දුක්ඛිත ජීවිතය අපට පෙන්නුම් කරන්නේ මෙම ජනතාව බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් විසින් ඉන්දියාවෙන් මෙහි ගෙන්වන ලද දෙමළ ජාතිකයන් වීම නිසා ඔවුන්ට අද හිමි තම නාමික පුරවැසිභාවය පවා වුව ගරුත්වයෙන් යුතුව භුක්ති විඳීමේ දී දිළිඳුම සිංහල ගොවියන්ට වත් තිබෙන අවස්ථා අහිමිවී ඇති බව නොවේද?

ඉතින් ලංකාවේ ජනවාර්ගික ගැටුමේ පසුබිම තුළ උතුර සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ ජන කොටස්වල දේශපාලන අයිතින් දිනා ගැනීම පිළිබඳ පවත්නා ජාත්‍යන්තර අවධානය දිනාගත් කතිකාව පසුබිමෙහි උඩරට දෙමළ වතු කම්කරු ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ කරුණට හිමි තැන කුමක් ද? ඔවුන් ගේ අභිලාෂයන් කෙසේ නියෝජනය විය යුතුද?

කලෙක ලංකාවේ ආර්ථීකයේ ජීවනාලිය වූ මෙරටට විදේශ විනිමය වැඩිම ප්‍රමාණයක් උපයා දුන් අදත් මෙරටට විදේශ විනිමය උපයන ඉතා කටුක දුෂ්කර ජීවිතයක් අතීතයේ ගෙවූ අදත් දුෂ්කර තත්වයන් යටතේ ශ්‍රමය සපයන උඩරට දෙමළ වතුකම්කරුවන් ට ලංකා රජය පූර්ණ පුරවැසියන් ලෙස සළකන්නේ ද?

සුමති තම ඉන්ගිරින්දු චිත්‍රපටිය නිර්මාණය කිරීමෙන් අප හමුවේ තබන ආසන්න කරුණ මෙය යැයි සිතමි.

නමුත් ඉන් ඔබ්බට යමින් ඒ හා බැඳුණු සංකල්පීය කරුණු ගණනාවක් සුමති තල කිහිපයකදී අපගේ අවධානයට යොමු කරයි. ඉන් පළමුවැනි තලය ජාතිය, ජාතිකත්වය සහ අනන්‍යතාව පිළිබඳ සංකල්පීය කරුණු වලට අදාලය.  ලාංකේය ජාතිය තුළ දෙමළ ජන ප්‍රජාවන් ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ දී උඩරට දෙමළ වතුකම්කරුවන් ට හිමි තැන කුමක් ද?

ඉන් ඔබ්බට යන අනෙක් සංකල්පීය තලට මා දැනටමත් ඉඟි කොට ඇති පරිදි  අනෙකා නියෝජනය පිළිබඳ ය. සුමති තම චිත්‍රපටයෙන් මතු කරන පරිදි ලාංකේය දෙමළ ජනයා ගේ අයිතිවාසිකම් පිළිබඳ උතුර නැගෙනහිර කේන්ද්‍ර කොට ගත් කතිකාවෙන් බැහැර කළ අනෙකා උඩරට දෙමළ වතු කම්කරු ජනතාවයි.

උතුරේ අගනුවර යාපනයෙහි මැද පන්තික දෙමළ ක්‍රිස්තියානි පවුලක උපත ලැබූ සුමති උඩරට දෙමළ වතු කම්කරු නිර්ප්‍රභූ අනෙකා විසින් කැඳවනු ලැබ ඇත. එලෙස තමා කැඳවනු ලැබූ අනෙකා නියෝජනය කරන්නට ගත් සුමති ගත් උත්සාහය යි ඉන්ගිරින්දු.

අනෙකා දැන ගන්නට නියෝජනය කරන්නට අනෙකා ට හඬක් දෙන්නට අපට අවශ්‍ය වන්නේ මන්ද? අනෙකා පිළිබඳ අප දක්වන ආකල්පය අප ම පිළිබඳ ප්‍රකාශනයක් නොවේද? අප අනෙකා දැනගන්නේ කෙසේද? අනෙකා නියෝජනය කළ හැකිද? එය කරන්නේ කෙසේද?

“නිර්ප්‍රභූ තැනැත්තියට කතා කළ හැකිද?“ යනුවෙන් ගයාත්‍රි ස්පිවැක් ඇසූ සුප්‍රසිද්ධ අලංකාරෝක්තිමය නමුත් න්‍යායික ප්‍රශ්නය ද මෙය මය. ස්පිවැක් මෙහිදී මතු කළේ යටත් විජිතවාදී කතිකාව විසින් අපේ සිතීමේ ක්‍රමයම සකස් කොට තිබීම පිළිබඳ ගැටළුව මඟ හැර අපට අනෙකා නියෝජනය කළ හැකිද? යන ප්‍රශ්නය නම් සුමති ඉන්ගිරින්දු නිර්මාණය තුළින් එයට පිළිතුරක් සපයන්නට උත්සාහ කොට තිබේ.

සුමති අනෙකා ගේ කැඳවීමට සවන් දී ඔවුන් මුහුණට මුහුණ හමුවීමට තීරණය කළාය. සුමති ගේ උත්සාහය අනෙකාට හඬක් ලබා දීමයි. සුමති යෝජනා කරන්නේ කතිකාවෙන් බැහැර කළ අනෙකා සාකච්ඡාව ට ඇතුළු කිරීමය.

සුමති මෙය කරන්නේ සිනමාවේ සම්මතයට එරෙහිව යාමෙනි.  ඇය තම චිත්‍රපටිය නිර්මාණයේදී වෘත්තාන්ත, වාර්තා යනාදී සම්මත ෂොනරයන් ඉක්මවා යමින් ඒ සියල්ල තම අරමුණ සඳහා යොදා ගනියි. සම්මත නිශ්චිත ආකෘතියක් අනුව නොතැනූ හෙයින් ඉන්ගිරින්දු එහි ආකෘතිය වෙත අපගේ අවධානය ඇද ගනියි. එමගින් චිත්‍රපටයෙන් නියෝජනය කරන දෑ පිළිබඳ සිතා බලන්නට අපට බලකරයි.

මෙම චිත්‍රපටියේ කතාන්දරයක් තිබේ. එහි චරිත තිබේ. එහි නමුත් අවධානය යොමු කෙරන්නේ  වෘත්තාන්ත චිත්‍රපටියක කෙරෙන්නාක් මෙන් ඔවුන් ගේ පෞද්ගලික චරිත විකාශය හෝ ඒවා අතර සබඳතා වර්ධනය වන ආකාරය පිළිබඳ නොවේ. එම චරිත ඔවුන් අයිති ප්‍රජාවේ නියෝජනාත්මක චරිත ලෙස ඉදිරිපත් කරමින් ඒවා මුහුණ පාන අත්දැකීම් ඇසුරෙන් ප්‍රජාවේ කතාන්දරය මතු කිරීමටය.

එහි වාර්තාමය ලක්ෂණද අඩංගු වෙයි. ඒ සඳහා ප්‍රකාශිත  ලේඛණ,  පුවත් පත් වාර්තා සහ ඡායාරූප වාර්තා යොදා ගනියි. අතීත වාර්තා රඟදැක්වීමෙන් වාර්තාමය රංගනයක් ඇතුළත් කර ගනියි. නාටකයක වාද්‍ය වෘන්දය හා සමානව චිත්‍රපටයේ වෘතාන්තය මැද වාද්‍ය වෘන්දයක් අතීත කතාව ගීයට නඟමින් වර්තමානයට අර්ථ සම්පාදනය කරයි. මෙලෙස එය මාධ්‍ය සම්මිශ්‍රණයක් යොදා ගනියි.

චිත්‍රපටයේ එන කතා වාර්තාව සහ වාර්තා කතාව සුමති අපට ඉදිරිපත් කරන්නේ එහි එන චරිත එය දකින ආකාරයෙනි. ප්‍රධාන චරිතය වන ගොළු බිහිරි අනාථ යුවතිය එස්තර් වල්ලි තමා අවට සිදුවන වැදගත් හැම දේම පාහේ දකියි. ඇකෝඩියන් වාදක පීටර් ද සිදුවන දේ පිළිබඳ නිහඬ නිරීක්ෂයෙකි.

චිත්‍රපටයේ කතාන්දරය ඒක රේඛීය ආකාරයට ගලා නොයයි. සුමති හිතා මතා අතීතය සහ අනාගතය හරහා එහා මෙහා යාමක් කරයි.  තිරයේ පෙන්නුම් කරන දෙයින් එක්තරා දුරකට අපගේ අවධානය දුරස්ථ කරන ලෙසින් හඬ පටය යොදා ගනියි. මේ සියලු දෙයින්  කතාවට සම වැදීමේ අපේ අභිලාෂය සමගින් ගොඩ නැඟෙන සමෝධානය බිඳෙයි, අප චිත්‍රපටයෙන් විලෝපනය කරයි, එනිසා චිත්‍රපටයට සම වදිනවා වෙනුවට ඉන් කියන දෑ පිළිබඳ සිතන්න‍ට අප යොමු කරවයි.

චිත්‍රපටයෙන් නිරූපිත පරිදි මෙම ප්‍රජාවේ මිනිස්සු සහ ගැහැණු අන් ජනවර්ගයක අන් තැනෙක මිනිස්සු සහ ගැහැණු මෙන් සාමාන්‍ය මිනිස්සු වෙති.  ඔවුහු විවිධ මටටමින් තමන් අතරේ හැදෙන අනාථ ගොලු බිහිරි දැරිය රැක බලාගන්නට කාරුණික වෙති, නමුත් නපුරු ද වෙති.  ඔවුහු සහයෝගයෙන් කටයුතු කරති, ගැටුම් ද ඇති කර ගනිති. තම සැබෑ ජිවිතය පිළිබඳ පිටතට සඟවති, බොරු කියති. තම තමන් අතර රණ්ඩු සරුවල් කරති. තම අසරණ භාවය නිසා ඇතිවන කෝපය අනුන් මතින් පිටකරන්නට පෙළඹෙති. ඇතැම් පිරිමි ගැහැණු සැක කරති, ස්ත්‍රිය තම තෘප්තිය සඳහා ඇති දෙයක් ලෙස සළකති, ස්ත්‍රීන්ට පහර දෙති, අඩම්තේට්ටම් කරති. ගොළු බිහිරි ස්ත්‍රියකට පවා ලිංගික අතවර කරන්නට නොපැකිළෙති. පිරිමින් වශයෙන් ගෙදරට ආදායම් ගෙන එන්නට  සම්මතයෙන් බැඳී ඇති හෙයින් ඒ පිළිබඳ වෙහෙසෙති. තම අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තීය සමිති කටයුතු වලට, දේශපාලනය ට සහභාගී වෙති, උනන්දුවක් දක්වති, සමහරු ඒවා මඟ හරිති. ජීවිතයේ දුක් කම් කටොළු වලින් තැවෙති.  සාමුහිකව ක්‍රීඩා, සංස්කෘතික කටයුතු වලට සහභාගී වීමෙන් සතුටක් විනෝදයක් ලබති.

සුමති අප හමුවේ නඟන්නේ මෙබඳු සාමාන්‍ය මිනිසුන් අයත් ප්‍රජාවක සාමාජිකයන්ට  අන් මිනිසුන් හා සමානව සළකන්නට ලංකා රජය අපොහොසත් වී ඇත්තේ මන්ද? යන්නයි. ඒ පිළිබඳ ලාංකිකයන් වන අප කුමක් සිතමු ද?

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.