25 September, 2020

Blog

මෛත්‍රී නිමේෂය ගිලිහී නොයන්නට නම් කළ යුත්තේ කුමක්ද​?

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වූයේ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සෙවීමේ බහුජන ව්‍යාපාරය තුළිනි. මෙරට ජනයාට පොදු අපේක්ෂකයෙකු මූලිකවම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් තුළ වූ බලවත් අපේක්ෂාව ඉටු කර ගැනීමටය. මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමටත් පෙර සිටම පොදු අපේක්ෂකයා කවරෙකු වුවත් ඔහු හෝ ඇයගේ ජයග්‍රහණය සහතික කිරීමට පෙළ ගැසෙමින් තිබුණු දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය යටතේ නිහඬ විප්ලවයක් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමෙන් මෙරට ජනයා අපේ දේශපාලන ඉතිහාසයේ මෛත්‍රී නිමේෂය උදා කළේය.

බලවත් කණගාටුව නම් ජනයා ඉමහත් අවදානමක් ගනිමින් දිනා ගත් මෙම මෛත්‍රී නිමේෂය ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් දින සියයක් ඉක්ම යාමටත් පෙර අප අතින් ගිලිහී යාමේ අවදානමට අද අප මුහුණ පා සිටීමයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට විධායක බලය පවරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යළි මෙරට ස්ථාපිත කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට තමා කැපවන බවට ජනාධිපති මෛත්‍රී ජනයාට සහතික වී ඇත. එසේ තිබියදී තමා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඒ සඳහා ලබා ගැනීමට ඔහු අසමත් වීමට ඉඩ ඇත යන බිය අද සමාජයේ පැතිරී ඇත. පාර්ලිමේන්තු විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව දිගින් දිගට ප්‍රසිද්ධියේ අදහස් පළකිරීම තම පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට එරෙහිව ප්‍රසිද්ධියේ කැරැල්ලක් ගැසීමකි. මෙම තත්වය පිළිගැනීම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් සේ පෙනී යා හැක. නමුත් නායකයා යනු අනුගාමිකයන්ගේ මතය අනුව කටයුතු කරන්නෙකු නොව තමන් පෙනී සිටින අදහසට අනුගාමිකයන් දිනා ගැනීමට කැප වී කටයුතු කරන්නෙකි.

ජනාධිපති මෛත්‍රී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එළඹ ඇති ස්ථාවරය දිනවීම සඳහා තම පක්ෂ සාමාජිකත්වය දිනා ගැනීමට කැප වී ඇති බව ජනතාවට ඒත්තු යන පරිදි විද්‍යාමාන විය යුතුය. නොඑසේ නම් දැනටමත් යෝජනා කෙරී ඇති අදහසක් වන ජනාධිපති මෛත්‍රීත් ඔහුට සාධාරණ වන කුමන හෝ හේතු මත වුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ස්ථාවරයෙන් පසු බැස ඇති හෙයින් තම පක්ෂය ලවා ඊට විරෝධය පළ කරන්නේය යන මතය ජනතාව අතර තහවුරු වනු ඇත. එසේ වුවහොත් මෛත්‍රී නිමේෂය අප අතින් ගිලිහී යනු ඇත.

Maithri Sජනවාරි අට වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයේ දී හුදෙක් මහින්ද රාජපක්ෂ රෙජිමය බලයෙන් පහ කිරීම පමණක් වුව ඉමහත් ජයග්‍රහණයක් ලෙස සළකන්නට ජනයා පෙළඹෙන්නට ඉඩ තිබුණු බව සැබෑය. නමුත් එම අවම අපේක්ෂාව උපරිමය ලෙස සළකා කටයුතු කිරීමට පෙළඹීම රාජපක්ෂ රෙජිමය පරාජය කිරීම හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි මෙරට ස්ථාපිත කිරීම පිළිබඳ දිගු කාලීන ජන අභිලාෂය සැහැල්ලු කොට සැළකීමකි.

මෛත්‍රී නි‍මේශයෙන් ප්‍රකාශයට පත් වූයේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජනයා විසින් ඉමහත් වැර වෑයමෙන් සහ කැපවීමෙන් රැක ගැනීමට අත් නොහැර උත්සාහ කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් හා බැඳුණු අරගලයය යන්න අප කිසිසේත්ම අමතක නොකළ යුතුය. නූතන ලාංකේය සමාජයේ ශක්තිය රැඳී ඇත්තේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් රැක ගැනීමෙහි ලා බව අප වටහා ගත යුතුය. අපගේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය විනාශ කිරීමට ගත් සියලු උත්සාහයන් හැමෙකක්ම ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ පරාජය කරන්නට මෙරට ජනයා සමත් වී ඇත. ජේ ආර් ජයවර්ධන රෙජිමය 1978 විධායක ජනාධිපති ක්‍රමය යෝජනා කළ අවස්ථාවේ සිටම මෙරට ජනයා ඊට තම බරපතළ විරෝධය දක්වා ඇත. 1994 දී චන්ද්‍රිකා කුමාරණතුංගත් 2005 දී මහින්ද රාජපක්ෂත් බලයට එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් ඔවුහු ඒ පොරොන්දුව කඩ කළහ.

එහෙයින් මෛත්‍රී නිමේෂය අත් නොහැර රඳවා තබා ගන්නට නම් ජනාධිපති මෛත්‍රී කළ යුත්තේ තමන් බලයට පත් කළ නිහඬ ජන විප්ලවය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තිබූ බලවත් අපේක්ෂාව වෙනුවෙන් දිගටම පෙනී සිටීමයි, ඒ වෙනුවෙන් කටයුතු කිරීම යි. ඒ සඳහා ඔහු තම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒ සඳහා දිනාගැනීමට කටයුතු කළ යුතුය, නායකත්වය දිය යුතුය. ඒ බව ජනතාවට පෙනී යා යුතුය.

දැනටමත් යෝජනා කෙරී ඇති පරිදි යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දින ජනාධිපති මෛත්‍රී පාර්ලිමේන්තුවට ගොස් තමන් විසින්ම එය ඉදිරිපත් කරමින් එහි වැදගත්කම පිළිබඳ මූලික කරුණු ඉදිරිපත් කිරීම කළ යුතුය. ඒ සඳහා ඡන්දය දෙන ලෙස තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. එසේ තිබියදීත් ඔවුන් මහින්ද රාජපක්ෂගේ සහ චම්පික රණවකලාගේ ජාතිවාදී ආස්ථාන පිළිගෙන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට කටයුතු කළ හොත් පාර්ලිමේන්තුව වහා විසිරුවා හැර මහ මැතිවරණයකට යා යුතුය.

එබඳු මැතිවරණයකදී ජනාධිපති මෛත්‍රී යළිත් කටයුතු කළ යුත්තේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවට තම මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දුවන දේශපාලන පක්ෂවල සහ පුද්ගලයන් ගේ ජයග්‍රහණය සඳහා ය. ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙළ එම පිරිස් අතර සංවාදයෙන් සකස් කර ගත හැකිය. එසේ කරන්නේ නම් මෙරට ජනතාව යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගැනීම සඳහා වන තම නිහඬ විප්ලවය ඉදිරියට ගෙන යන අයුරු අපට බලාගත හැකි වනු ඇත.

මහ මැතිවරණයකින් යළිත් මහින්ද රාජපක්ෂ අගමැති වීම වැළැක්වීමේ මඟ ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය සහතික කළ බහුජන බලවේගය කෙරෙහි විශ්වාසය තබමින් ඔවුන් සමග එක්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමයි. එසේ නොමැතිව ජනයා අතර පදනමක් නැති හෙළ උරුමය වැනි ජාතිවාදී පක්ෂ වල තර්ජනවලට යටවීම නොවේ. මුල සිටම අනාගත ජනාධිපතිකමක් පිළිබඳ යටි අදහස පෙරදැරි කොට ගෙන පොදු අපේක්ෂක ව්‍යාපාරයේ නායකත්වය ඩැහැ ගන්නට උපා යෙදූ චම්පික රණවක ගේ කුමන්ත්‍රණවලට අසු නොවන්නට ජනාධිපති මෛත්‍රීට දේශපාලන විචක්ෂණභාවය ඇතැයි අපි සිතමු.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය රනිල් ගේ අවශ්‍යතාවයක් ලෙසින් හංවඩු ගැසීම මෙම කුමන්ත්‍රණයේ කොටසකි. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම රනිල් ගේ අවශ්‍යතාවක් නොව රනිල් ගේ දේශපාලන ගුරු ජේ. ආර්. ජයවර්ධන විසින් එය යෝජනා කළ දින සිට එයට විරෝධය පළකළ මෙරට බහු ජනතාවගේ සහ එයට නායකත්වය දුන් වාමාංශික සහ ප්‍රගතිශීලී ව්‍යාපාරයේ අවශ්‍යතාවක් බව ජනයා දනිති. එහෙයින් සැබැවින්ම ගත් කළ රනිල් ට යැයි කියමින් චම්පික මෙම ප්‍රහාය එල්ල කරන්නේ අන් කා හටවත් නොව ජනාධිපති මෛත්‍රී ටය. මන්ද යත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ ජනතා අපේක්ෂාවට මෙවර නායකත්වය දුන්නේ ඔහු බැවිනි.

තමන් දිනා ගත් මෛත්‍රී නිමේෂයේ නිසි ඵල තමනට නෙලා ගත හැකි වේවිදෝ? යන සැකය ආරම්භයේදීම ජනයා අතර තිබුණු බව පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම ජනයා භාරගත් සුපරික්ෂාකාරී ශුභවාදී ආකල්පයෙන් පෙනෙයි. ඔවුන් මෙම දුෂ්කර ජයග්‍රහණයේ සතුට භුක්ති වින්දේ ප්‍රීතියෙන් කුල්මත්ව වීදී බැස ඉමහත් උත්සවශීයෙන් එය ප්‍රකාශ කරමින් නොවේ, තම තමන් අතරමය, බොහෝ දුරට නිහඬවය. අපට ප්‍රීති සාද පවත්වමින් සැබැවින්ම සතුටු විය හැක්කේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව දියාරු නොකොට සම්මත කරගත හොත් පමණක් බව ජනයා දනිති.

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුවේ ගිනි පෙනෙල්ලෙන් මෙරට ජනයා කිහිප විටක්ම බැට කා ඇත. යළිත් වරක් මෙම පොරොන්දුව කඩ කිරීම මෙරට ජනයා – විශේෂයෙන් තරුණ ජනයා අතර ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඉමහත් කළ කිරීමක් ඇති කරනු ඇත. තරුණයන් ගේ මෙම කළකිරීම සමාජ වෛරයක් බවට හරවා එයින් වාසි ගන්නට ජනාන්දෝලකයන්ට අවස්ථාව සැළසෙයි. එය මේ රටේ අනාගතයට කිසිසේත්ම සුභදායී නොවේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    This system is very complicated. Most impprtant is to implement what ever best and important for the society by involving who have more power to influence the decision.We cannot see who is arriving at the important decisions on be half of the society, most practicable way to perceive the origin of that decision is looking at the nature of the decision which is going to be implemented may be hurry. Observe who are the persons who are mostly in need of such a decision (to whom it is advantageous and and is powerful to influence such a decision) in this society I feel we could observe how things are happening only in that way but not abserviny externally. Observing recent past would carefully help.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.