24 October, 2017

අපතයන් සමග සහවාසය

සිංහ රත්නතුංග - කර්තෘ - ද සන්ඩේ ටයිම්ස්

සිංහ රත්නතුංග – කර්තෘ – ද සන්ඩේ ටයිම්ස්

ජාතික ආණ්ඩුවක් ගැන අදහසක් තමන් යෝජනා කෙළේ මොන කරුමයකටදැ යි අගමැති රනිල් වික‍්‍රමසිංහ දැන් සිතනවා ඇති. ඒ තරමට, සිය පක්ෂ ක‍්‍රියාකාරිකයන්ව ප‍්‍රධාන කැබිනට් තනතුරුවලට පත්කර ගැනීම සඳහා ඔහුට කිරීමට ඇති සටන සුළුපටු නොවේ. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම යටතේ ඇමති මණ්ඩලයක් පත්කර ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බව මුල පටන්ම පෙනෙන්ට තිබුණි. අගෝස්තු 17 වැනි දා රනිල් වික‍්‍රමසිංහගේ පක්ෂය ලබා ගත් ආසන සංඛ්‍යාව අනුව, අවශ්‍ය නම්, තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටත් ඔහුට හැකියාව තිබුණි. එහෙත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමත්, ජාතික එක්සත් ආණ්ඩුවක් පවත්වාගෙන යාමත් සඳහා අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම ඉදිරියේ ඇති උදාර මුත් දුෂ්කර අරමුණ වෙනුවෙන් කැපවීම ඇත්තෙන්ම වේදනාකාරී හිසරද ගොන්නක් කෙනෙකු තුළ ඇති කරවන්නකි.

එම ක‍්‍රියාවලිය තුළ, තම පක්ෂය ජයග‍්‍රහණය කරා ගෙන ගිය කණ්ඩායමට හිමි විය යුතු ඇමති පදවිවලින් බොහොමයක්, පසු ගිය මැතිවරණයෙන් පරාජයට පත් විපාක්ෂිකයන්ට මෙන්ම, පසුගිය පරාජිත පාලනය තුළ අපකීර්තිමත් වාර්තාවක් ඇති අයට පවා පරිත්‍යාග කිරීමට දැන් ඔහුට සිදුව තිබේ. අලූත් කැබිනට්ටුව නම් කිරීම, මේ වන විට තුන් වරක්ම කල් ගොස් තිබෙන්නේ එබැවිනි.

මැතිවරණයෙන් පරාජිත අපේක්ෂකයන්ව පාර්ලිමේන්තුවට පමණක් නොව, කෙලින්ම ඇමති මණ්ඩලයට පවා පස්ස දොරෙන් ගෙන ඒමට ජනාධිපතිවරයා ගත් තීරණයේ නීරස තිත්ත දැනටමත් දැනෙමින් තිබේ. එවැනි තීරණ ඔහු ගන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඔහුගේ නායකත්ව පදනම සරිකර ගැනීමට බව ඇත්ත. එහෙත් එම කල්ක‍්‍රියාව ඔහුගේ පූර්වගාමියාගේ කල්ක‍්‍රියාවෙන් වෙනස් වන්නේ කෙසේද? තමාගේ ආණ්ඩුවට ඇත්තේ බාබර් සාප්පුවක වැනි කැරකෙන දොරක් යැයි එම පුර්වගාමියා වරක් කළ ප‍්‍රකාශය කවුරුත් දනිති. එනම්, කැමති කෙනෙකුට කැමති විටෙක පැමිණිය හැකි සහ කැමති විටෙක පිට වී යා හැකි තැනක් බවයි. එහෙත්, ආණ්ඩු බලය සහිත ස්ථානයකදී දොරටුවක් කැරකෙන්නේ එක පැත්තකට පමණක් බව එම පාලකයා හොඳින් දැන සිටියේය.

Opposition leader Ranil Wickramasinghe listens to journalists during a National Council coalition party news conference in Colomboජාතික ලැයිස්තුවක් ඇති කර ගැනීමේ පරමාර්ථය වුණේ, ඡන්දයෙන් පරාජය වන ඇට්ටර දේශපාලඥයන්ව පාර්ලිමේන්තුවට ගැනීම නොව, මැතිවරණයකට තරග කළ නොහැකි බුද්ධිමතුන් සහ වෘත්තිකයන් පාර්ලිමේන්තුවට ඇතුළත් කර ගැනීමයි. එම අභිලාෂය තුළ එකම ප‍්‍රශ්නයකට තිබෙන්නේ, පාර්ලිමේන්තුවේ සිටිය යුතු මුත්, විශේෂිත දේශපාලනික වාතාවරණයන් තුළ ඊට තේරී පත්වීමට අසමත් විය හැකි, සුනිල් හඳුන්නෙත්ති වැන්නන් පාර්ලිමේන්තුවෙන් පිටමං වීමට ඇති ඉඩකඩයි.

වටින්ගොඩින් ඇසෙන දේශපාලනික හාහෝව අනුව, මැතිවරණයෙන් පරාජිත විපක්ෂ අපේක්ෂකයන් පල්ලියේ කොත මතට හෝ නැග ගනු වස්, හඳ ඉල්ලා මොරදෙන බව කියැවේ. ඔවුන් ‘ලොකු’ ඇමතිකම් ඉල්ලන්නේ, ඊට අඩු, එහෙත් වැදගත් ඇතැම් ඇමති පදවි ගැන ඇස් ගසාගෙනයි. එවැනි පිරිස් සැනසිය යුතුව ඇත්තේ, තරුණ ජයග‍්‍රාහී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ව දැඩි කණස්සල්ලට පත්කරමිනි.

ජාතික ආණ්ඩුවක් ඇති කොට පවත්වා ගෙන යාමට නම්, මේ තත්වයට යට වීමට අගමැතිවරයාට සිදුවෙයි. හැම දෙයකම දොස් දකින්නන් මෙය හඳුන්වන්නේ, පරණ ජෝකර්ලාගේම කාඞ් කුට්ටමක් ඇනීමක් වශයෙනි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් ජනතා අභිලාෂය පොකට් ගසා ඇති බව පැහැදිළියි. ඊටත් එහා යන ඔහුගේ පක්ෂ ලේකම්වරයා, විධායකයේ සහයෝගය සමග තමන්ටත් ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි බවට පාරම්බායි. මේ වූ කලී, අගෝස්තු 17 වැනි දා ලත් ජනවරම සෙල්ලමට ගැනීමක් නොවන්නේදැයි ප‍්‍රශ්න කිරීමටත්, ආපසු හැරී බලන විට අවසානයේ ලබාගෙන ඇත්තේ, මහින්ද රාජපක්ෂව බලයෙන් පහ කර ගැනීමක් පමණක්ම නොවන්නේදැයි ප‍්‍රශ්න කිරීමටත් ස්වෛරී ඡන්දදායකයාට නොහැක්කේද?

එයම, රාජපක්ෂව නැවත බලයට ගෙන ඒමට දැඟලූ පිරිසේ මුඛ්‍ය ජයග‍්‍රහණයකි. එතකොට, ඔහුගේ දූෂිත පාලනය හෙබැවූ අනිත් අයගේ තත්වය කුමක්ද? සිය ඇමතිවරුන්ට දූෂණය වීමට එදා ඔහු ඉඩ හැරියා විය හැකිය. එහෙත්, එම ඇමතිවරුන්මත්, දූෂිතයෝ වූහ. දැන් ඔවුන් බොහෝ විට විරාජමාන වීමට යන්නේ, එදා ඔවුන් දැරූ ඇමති ධුරවලමයි. අප ඇති කර ගැනීමට යන ‘ජාතික ආණ්ඩුව’ එවැන්නකි.

තමාගේ දූෂිත ඇමතියන් රැුක ගැනීමෙන් තමන් වෙත ඔවුන්ගේ පක්ෂපාතීත්වය දිනාගත්තේ යැයි රාජපක්ෂ මහතා විශ්වාස කරන්ට ඇත. එහෙත් කලක් තමාගේ අනුගාමිකයන්ව සිටි අයගේ සැබෑ පක්ෂපාතීත්වය, පවතින දේශපාලනය තුළ තීන්දු වන්නේ කෙසේදැයි දැන ගැනීමට දැන් ඔහුට හැකි වනු ඇත. ඔවුන් ඔහුව ඉතිහාසයේ කුණු කූඩයට දමනු ඇත. නව ජනාධිපතිවරයාගේ සහ නව ‘ජාතික ආණ්ඩුවේ’ පැණි හට්ටියට ඔවුන් ඇඹලයන් සේ ඇදෙනු ඇත.

2015 ජනවාරි-ජුලි අතර කාලයේ අත්හදාබැලූ ජාතික ආණ්ඩු ක‍්‍රියාවලිය තුළ අප අත්දුටු දේවල් අනුව බලන විට, දේශපාලනික සදාචාරය සමග දෛනික දේශපාලනික ඕනෑඑපා කම් නිතර පෑහෙන්නේ නැති බව පැහැදිළි ය. එම අත්හදාබැලීම වූ කලී, යහපාලනයේ හොඳම ආදර්ශය නොවුණි. අගෝස්තු 17 වැනි දායින් පසු ගොඩනගා ගැනෙන ආණ්ඩුව සඳහා වන ඇමතිකම් කේවල් කරන වර්තමාන පොරය, හොඳ ඉදිරි ගමනක පෙරනිමිති කියාපාන්නක් නොවේ. තමන්ට එරෙහිව ප‍්‍රකාශයට පත්ව ඇති මහජන අප‍්‍රසාදය අස්සේ පවා, තමන්ට තනියෙන් ආණ්ඩුවක් ගෙන යා හැකි යැයි අවබෝධතා ගිවිසුමේ එක් පාර්ශ්වකරුවෙකු කීම, ඊටත් එහා නරක පෙරනිමිත්තකි. මේ නිසා, පක්ෂ දෙක අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම ක‍්‍රියාත්මක කළ යුත්තේ, එහි ලියැවී ඇති වචන අනුව පමණක් නොව, එහි ගැබ්ව පවතින සාරය ද සැළකිල්ලට ගනිමින් බවට වගන්තියක් එම අවබෝධතා ගිවිසුමට දැන්මම ඇතුළත් කළොත් හොඳ ය.

පසුගිය ජනවාරි-ජුලි කාලය තුළ ගෙන ගිය යහපාලන ආණ්ඩුව තුළ සාමූහික කැබිනට් වගකීම පිළිබඳ තැකීමක් නොවුණු බව අපි දුටුවෙමු. දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කරන කතා අනුව පෙනෙන්නේ, යෝජිත ‘ජාතික ආණ්ඩුව’ තුළත් එක හඬකින් කතා කිරීමේ ඉඩකඩක් ඇති නොවන බවකි.

නරකම දෙය විය හැක්කේ, කැබිනට් මණ්ඩලය තුළට පස්ස දොරෙන් රිංගවන නව ඇමතිවරුන්, රාජපක්ෂ පාලනය තුළ ඔවුන් හුරු පුරුදුව සිටි පරණ සෙල්ලමටම නැවත යොමු වීමට ඇති ඉඩකඩයි. අලූත් ඇමති ධුර පිරිනැමීමෙන් පසු මේ තත්වය සමනය නොවුණොත්, අගමැතිවරයාට පූර්ණ පාලනයක් නැති ආණ්ඩුවක් බිහි වීමට ඇති අවකාශය වැඩි ය. එහෙත් ඡන්දදායකයන්ගෙන් බහුතරයක් සහ අගමැතිවරයාගේ සභාගයට සහයෝගයක් දක්වතැයි පෙනෙන උතුරේ ඡන්දදායකයන් එදා ඡන්ද පොළවල්වලට පැමිණියේ එවැනි දෙයක් අපේක්ෂාවෙන්ද?

අනිත් අතට, ජනාධිපතිවරයාද, යම් හෙයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවකට ආසන්න වෙතොත් එම සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කැමැත්තෙන් සිටින බව මැතිවරණය ආසන්නයේදී හිටපු ජනාධිපතිවරයාට ලියා දැන්වීමත්, බළලා මල්ලෙන් එළියට පැනීමක් වැන්න. ඔහු පැහැදිළිවම ආශා කෙළේ එවැන්නකි. එය, එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රසාදයට හේතු වූවක් නොවේ.

ඇමති මණ්ඩලය පිහිටුවා ගැනීමේ වර්තමාන නූල් සූත්තර බල ගනුදෙනුව තුළ පෙනෙන්නේ, හැදෙන ආණ්ඩුව සරළමතික ‘සහවාස ආණ්ඩුවක්’ මිස, කියන විදිහේ ‘ජාතික ආණ්ඩුවක්වත්’, අඩු වශයෙන් ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබීමට කැමැත්තක් දක්වන ‘ජාතික සමගි ආණ්ඩුවක්වත්’ නොවන බවයි. දේශපාලනික ව්‍යවහාරය තුළ සහවාස ආණ්ඩුවක් වැටෙන්නේද, ‘භේද භින්න ආණ්ඩු’ ඝනයටයි.

විධායකය හොබවන ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකයට නායකත්වය සපයතැයි අපේක්ෂා කරන අගමැතිවරයා අතර බල දෝලනය ඉදිරියටත් පවතින සෙයක් පෙනෙන්ට තිබේ. ඒ දෙස මුළු රටම ඉතා සැලකිල්ලෙන් බලා සිටිනු ඇත. මැතිවරණය තුළ තමා අපක්ෂපාතී වන බව ජනාධිපතිවරයා එදා කියා සිටියේය. එහෙත් ඔහු එසේ සිටියේ නැත. ඔහු සහ අගමැතිවරයා අතර සිදුවන බල ගනුදෙනුවේදී, වැඩි වාසියක් උසුලන්නේ ඔහු ය. මන්ද යත්, ආණ්ඩුවේ මෙන්ම කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රධානියා ඔහු වන බැවිනි. අනිත් අතට, ඔහුගේ පාක්ෂිකයෝ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද සිටිති. විපක්ෂය මේ මොහොතේ බාල්දු වී සිටියත්, එළැඹෙන තත්වයන් යටතේ හැරෙන පැත්තකට ඇණේ ගැසීමට ජනාධිපතිවරයාට හැකියාව තිබේ.

වාසනාවට, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනට වැඩිමනත් පසමිතුරන්ම නොවේ. එහෙත් සහවාස ආණ්ඩු, ඊට සම්බන්ධ පාර්ශ්ව වෙනස් පක්ෂවලින් සමන්විත වන විට, සාමාන්‍යයෙන් ගැටුම්කාරී වන්නේය. මහින්ද රාජපක්ෂව පරාජය කිරීමේ පොදු අරමුණ දැන් සාර්ථක කරගෙන ඇති තත්වය තුළ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විය හැකි දෙපැත්තට ඇදීම් ඉදිරියේදී සිදුවීමට නියමිත ය.

එතකොට, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා උද්‍යෝගයෙන් මොරදුන් මෑත කාලීන ජනතා බලවේගයේ දැන් තත්වය කුමක්ද? ඒ හඬ දැන් ගොළු වී ගොසින්ද? දැන් රට සිටින්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ එකී වෑයම බෙලහීන වීමේ ඉරණමට හිත හදාගෙනද? 19 වැනි සංශෝධනය හරහා එහි අඬපඩු කපා දැමීම වෙනුවට, දැනට සිටින ජනාධිපතිවරයා එක වරක් පමණක් එම ධුරය හොබවන බවට දුන් පොරොන්දුවට වශී වී, විධායක ජනාධිපති ක‍්‍රමය අහොසි කිරීමේ රටේ උනන්දුව දැන් පිළිගන්නට වීසි කොටවත්ද? අප මේ සිටින්නේ, විධායක ජනාධිපති ක‍්‍රමයේ තිස්හත් වැනි වියේ ය. පෙනෙන්ට ඇති පරිදි, ඉදිරියටත් එය නිරුපද්‍රිත වීමට යන සෙයකි.

*2015 අගෝස්තු 30 වැනි දා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Cohabitation with Bad-fellows” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.