26 April, 2024

Blog

චීන ආයෝජන ලංකාවට එන්නේ ඇයි ?

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් මාර්තු සැසියෙන් පසු මෙරටට ආර්ථික සම්භාධක පැනවීමට උත්සාහ කළහොත් රුසියාව හා චීනය එයට ඉඩ නොතබණ බවට ආණ්ඩුවේ බලසම්පන්නයින් විශ්වාස කරන අතර, චීනය විසින් ලබා දෙන ආධාර හා ණය මත මේ ආර්ථිකය වර්ධනය කළ හැකි බවත් ඔවුන්ගේ තර්කය වන්නේ ය. චීනය අප වැනි රටවලට ආධාර කරන්නේ අපේ සංවර්ධනය වෙනුවෙන් යැයි සිතීම තරමක මුලාවකි. විශාල වශයෙන් චීනය ආයෝජනය කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ පමණක් නොවේ. ඔවුහු දැන් ලෝකයේ හැම තැනටම පය ගසති. ඕස්ත්‍රේලියාවේ සිට අග්නිදිග ආසියාව හරහා අපි‍්‍රකාවටත් ලතින් ඇමෙරිකාවටත් ඔවුන් මහ පරිමාන ආයෝජන සමගින් ගොඩ බැස ඇත. ඒ කිසිවක් ඒ රටවල් සංවර්ධනය කිරීමට නොවේ.

චීනය විශාල වශයෙන් ඕස්ත්‍රේලියාවේත් අපි‍්‍රකානු රටවලත් ආයෝජනය කර ඇත. ඕස්ත්‍රේලියානු පතල් කර්මාන්තයේ දැනට වැඩිමනත් ඇත්තේ චීන ආයෝජන යයි කියනු ලැබේ. පසුගිය අවුරුදු පහේ දී චීන සමාගම් ඕස්ත්‍රේලියානු ලෝහ පතල්, ස්වභාවික වායු හා ඛනිජ සම්පත් මිල දී ගැනීම් සඳහා ඩොලර් බිලියන 28.6 ක් ආයෝජනය කර ඇත. පසු ගිය අවුරුද්දේ ඕස්ත්‍රේලියානු පතල් කර්මාන්තයේ වැඩිමනත් ආයෝජන කර ඇත්තේ එතරම් ප‍්‍රසිද්ධියක් ඇති විශාල චීන සමාගම් නොවේ යැයි ව්‍යාපාරික ඇලිස්ටෙයා කෝඩන් ඕස්ත්‍රේලියානු ‘‘බිස්නස්’’ පුවත් පතට කියා තිබිණ.

කාම්බෝජයේ විශාලම ආයෝජකයා චීනය ය. 2013 ඔක්තෝම්බර වන විට වසර 08 ක කාලය තුල ඩොලර බිලියන 9.2 ක චීන ආයෝජන කාම්බෝජයට පැමිණ තිබිණ. කාම්බෝජයේ ප‍්‍රධානම ද්විපාර්ශවීය වෙළඳ ගනු දෙනුකරු ද චීනය ය. එවගේම කාම්බෝජයට වසරකට පැමිණෙන සංචාරකයින්ගෙන් බහුතරය ද චීන ජාතිකයින් ය.

චීන වාණිජ අමාත්‍යාංශයට අනුව, 2012 වසරෙහි චීන සමාගම් 2,000 ක් අපි‍්‍රකානු රටවල් 50 ක ආයෝජනය කර තිබිණ. 2009 සිට 2012 අතර කාලයේ අපි‍්‍රකාවට ගලා ආ චීන ආයෝජන වාර්ෂිකව සියයට 20.5 කින් වැඩි වී ඇත. එහෙත් මේ නිල චීන දත්ත එතරම් නිවැරදි නැතැයි චීන ආයෝජන ගැන විපරම් කරන්නෙකු වන ඩෙබොරා බ්‍රොටිගම් ඇයගේ ‘‘චීන-අපි‍්‍රකානු ආයෝජන හා ආර්ථික සහයෝගිතා’’ නම් නිබන්ධනයෙහි සටහන් කර ඇත. මේ නිල දත්ත මත දකින චීන ආයෝජන වලට මලයාසියාවේ ඇතැම් සමාගම් අපි‍්‍රකාවේ කර ඇති ආයෝජන ද එකතු විය යුතු යැයි අදහසක් ඇත. චීන ව්‍යාපාරිකයින් ඔවුන්ගේ රටෙහි නීති සහ බදු අය කිරීම් මග හැරීමට මලයාසියාවේ, හොංකොං ¥පතේ සහ වෙනත් එවැනි රටවල සමාගම් පිහිටුවා ඇතැයි අනාවරණය වී ඇත.

මේ ආකාරයට විදේශයන්හි ආයෝජනය කරන්නේ චීන ආණ්ඩුව ද ? නැතිනම් වෙනත් චීන ආයෝජකයින් සිටිත් ද ? වත්මන් චීනයේ ආයෝජකයින් ප‍්‍රධාන වශයෙන් දෙවර්ගයකි. කොටසක් චීන ආර්ථිකය, ඩෙං සියාපිං විසින් වෙළඳ පල ආර්ථිකයකට සේන්දු කළ පසු මහ පරිමාන ව්‍යාපාරිකයින් බවට පත්ව, තමන්ගේම සමාගම් පිහිටුවා ගෙන ඇති අලූත් සල්ලිකාරයින් ය. දෙවැනි කොටස, චීන රාජ්‍ය සමාගම් ඔස්සේ ආයෝජනය කරන, චීන රාජ්‍යයේ ඉහළ තනතුරු වල ඉන්නා නිලධාරී පිරිස් ය. එබැවින් චීන රජයෙන් ලැබෙන ආධාර, ණය සහ ආයෝජන, බොහෝ විට චීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධානියෙකු කොමිස් බෙදා ගන්නා ව්‍යාපෘතියක කොටසකි. චීනය දැන් අතිශය දූෂිත රටකි. ඔවුන්ගේ ආර්ථික මැදිහත්වීම් ගණන් බැලෙන්නේ චීන ආණ්ඩුවේ ප‍්‍රධානියෙකුට සල්ලි පොට්ටනි බැඳීමට ඇති ඉඩ අනුව පමණි. එනිසාම ඔවුන් ගේ ආයෝජන මත දියුණු වූ අව වර්ධිත රටක් නැත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තනතුරු මතින් චීන ආණ්ඩුවේ ප‍්‍රධානම නිල වලට පත් වන පුද්ගලයින් ගේ දූදරුවන් හා ආසන්න ඥාතීන් වත්මන් චීනයේ ඉන්නා යෝධ සල්ලිකාරයින් හා ව්‍යාපාරිකයින් බවට පත්ව ඇත්තේ එළෙසින් ය. ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර හවුල (ෂක්‍ෂන්‍) විසින් පසුගිය අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේ පමණ සිට නොවැම්බර දක්වා චීනයේ ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් 22,000 කගේ පෞද්ගලික වත්කම් පිළිබඳ රහස්‍ය තොරතුරු එක්රැුස් කර ඇත. ඉන් ඇතැමුන් වත්මන් චීනයේ ඉතාම බලසම්පන්න පුද්ගලයින් ය. විශේෂයෙන් කොමියුනිස්ට් පක්ෂයේ මහජන ජාතික කොන්ග‍්‍රසයේ සාමාජිකයින් අතුරින් ධනවත්ම 15 කු ඒ අතර ඇත. ඒ අතර, වත්මන් චීන ජනාධිපති සී ජින්පිංග් ගේ මස්සිනා සහ හිටපු අගමැති වෙන් ජියාබා ඕ ගේ පුතා සමග මස්සිනා විසින් බටහිර ඉන්දීය කොදෙව්වේ බි‍්‍රතාන්‍ය වර්ජින් දූපත් හි පිහිටුවා ඇති සමාගමක් පිළිබඳ තොරතුරු ද ඇත. ඔවුන්ගේ බොහෝ වත්කම් එකතු කෙරෙන්නේ එවැනි කුඩා දූපත් රාජ්‍යවල ය.

හිටපු චීන අගමැති ලී පෙං ගේ දියණිය වන ලී සියා ඕලින් වත්මන් චීනයේ බලවත්ම රැුජින යැයි කියැවේ. ඇය ක්‍යසබ් ඡුදඇර ෂබඑැරබ්එසදබ්ක ෘැඩැකදචපැබඑ සමාගමේ ප‍්‍රධානියා ය. එය හොංකොං හි ලියාපදිංචි පෞද්ගලික සමාගමක අනුබද්ධ සමාගමක් ලෙස වාර්තා වේ. ඇමෙරිකානු ෆෝබ්ස් ආයතනයට අනුව ඇය ලෝකයේ ඉන්නා බලවත්ම ව්‍යාපාරික ස්තී‍්‍රන් 50 දෙනා අතුරින් එක් අයෙකි. නවීන චීනයේ පියා ලෙස සැළකෙන ජනාධිපති ඩෙං සියාපිං ගේ බෑණා වන ජූ ජියාචං තවත් එවැනිම යෝධ ව්‍යාපාරිකයෙකි. ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ඇමතිවරුන්, කොමියුනිස්ට් පක්ෂ නායකයින් වැනි මහා බලවතුන්ගේ දූ දරුවන් අද මහා ඩොලරපතීන් ය. ටයිම් ස`ගරාව වරක් ලියා තිබුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ වත්මන් මධ්‍යම කාරක සභිකයින්ගේ වත්කම්, ඇමෙරිකානු සෙනේට් සභිකයින්ගේ වත්කම් වලටත් වඩා ඉහළ බව ය. රාජ්‍ය බලවතුන්ගේ මේ දූ දරුවන් අද හඳුන් වන්නේ රාජ්‍ය කුමර කුමරියන් ලෙස ය. ඔවුන්ගේ වත්කම් චීනයෙන් පිටමං කිරීමට අවශ්‍ය විදෙස් සමාගම් හැදීම, බැංකු කලමනාකරණය වැනි කාරණා සඳහා විශේෂඥ උපදෙස් සහ සේවා සැපයුම් කර ඇත්තේ ලෝකයේ වෘත්තිමය වශයෙන් ඉතාම ඉහළ ගරුත්වයක් ඇති ප‍්‍රයිස්වෝටහවුස් කූපර්ස් වැනි විගණන හා මූල්‍ය කලමනාකරණ සමාගම් දෙක තුනකි.

ඒ ආකාරයට චීනයේ අලූත් අර්ථපතීන් 2011 වසරෙහි චීනයෙන් පිටමං කළ වත්කම් වල අගය ඩොලර බිලියන 600 ක් යැයි ලෝක කලූ සල්ලි වෙළඳ පල ගැන සෙවිල්ලෙන් ඉන්නා ජාත්‍යන්තර සංවිධානයක් වන ඨකදඉ්ක ත්‍සබ්බජස්ක ෂබඑැටරසඑහ සංවිධානය ඔවුන්ගේ 2013 වාර්තාවක කියා තිබිණ. ඒ වන විටත් ඩොලර බිලියන 3,800 ක් පිටතට ගෙන ගොස් තිබිණැයි ඔවුන් ගණන් හදා තිබිණ. එවැනි පසුබිමක, අපේ රටේ චීන ආයෝජන ගැන අලූතින් සිතා බැලිය යුතු ය. චීන සමාගම් හවුල් වූ පමණින් මේ ආයෝජන, චීන රජයේ ඇත්ත නිල ආයෝජන යැයි සහතිකයක් නැත.

කොළඹ වරායේ ඩොලර මිලියන 500 ක ආයෝජනය කරනු ලැබූයේ චීන සමාගමක් විසිනි. චීනයට කිසිදු සම්බන්ධයක් නැතත් පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව අවසානයේ ජනාධිපති රාජපක්ෂ චීනයට ස්තුති කරන්නට අමතක නොකළේ ය. පශ්චාත් යුධ ප‍්‍රතිසංස්කරණ වියදමින් ඩොලර බිලියන 1.1 ක් ලබා දීමටත් ආධාර වශයෙන් 2012 වසරේ ඩොලර මිලියන 16 ක් ලබා දීමටත් චීනයට ස්තුති කරනු ලැබිණ. වරාය ආශී‍්‍රතව මුහුද ගොඩකර හදන අලූත් දූපත් නගර වල කතාව ද චීන ආයෝජන ගැන කියන්නේ ඔවුන්ගේ අලූත් අර්ථපතීන් හා ඔවුන්ගේ වුවමනාවන් ගැන කතාවකි.

චීන ආයෝජන කොතැනකවත් පරිසර නීති අනුව කෙරෙන්නේ නැත. අද කාම්බෝජයේ එය බරපතල ප‍්‍රශ්නයක් ලෙස එරට පරිසරවේදීහු මතු කරති. අපි‍්‍රකාවේද එය එසේ ය. එළෙසින්ම කිසිදු පරිසර තත්ත්ව ඇගයුමක් නොමැතිව ආරම්භ කෙරෙන හෙක්ටෙයාර් 233 ක කොළඹ වරායෙන් දකුණට ඉදිකෙරෙන දූපත් නගරය සඳහා මෙතෙක් කිසිදු විදේශ ආයෝජන ව්‍යාපෘතියකට නොදුන් සහන කන්දරාවක් ලබා දී ඇත. අවුරුදු 25 ක බදු සහනයක් දී ඇත. අවුරුදු 10 ක කාලයකට විදේශ උපදේශකයින් 30 කුට ආදායම් බදු සහන ලබා දී ඇත. එහි තේරුම චීන ජාතිකයින් 30 කු කිසිදු බදු අයකිරීමකින් තොරව චීනයෙන් ලබා දෙන ණය මුදල් නැවත වෙනත් රටක වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේ වාසිය ලබා ගෙන ඇති බව ය. එවගේම මේ කෘතිම දූපතෙන් හෙක්ටෙයාර් 100 ක අයිතිය එය ඉදිකරන චීන සමාගමට හිමි වේ.

මේ සමස්ථ දූපතම නිදහස් කලාපයක් ලෙස නම් කෙරේ. එහි යෝධ නිවාස සංකීර්ණ ඉදි කරන බවටත්, ගොල්ෆ් පිටි, ටෙනිස් පිට්ටනි, පිහිණුම් තටාක, නවීන සූදු පිටි, ගෘහස්ථ කී‍්‍රඩාගාර වැනි දේ ඉදි කෙරෙන බවටත් වාර්තා වේ. එවැනිම තවත් දූපතක් හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිකරන බව ද වාර්තා වන්නේ ය. එය ද චීන ව්‍යාපෘතියකි. එවැනි නිදහස් කලාප, රටේ සාමාන්‍ය පාලනයෙන් හා සාමාන්‍ය ජනතා ඇසුරෙන් ඉවත් කර හැදීමට චීනයට ඇති උනන්දුව කුමක් ද ? ඒ සඳහා මේ ආණ්ඩුව නීති රීති හා සැළසුම් කිරීමේ සම්මත පිළිවෙත් අත හරින්නේ ඇයි ?

මීට දසකයකට පෙර මෙවැනි විනෝද සංකීර්ණ සඳහා චීන අර්ථපතීහූ කාම්බෝජය වෙත ගියහ. එහි ඔවුන්ට විශාල නිවාස සංකීර්ණ ඉදි කළ පමණින් නිදහසේ විනෝද වීමේ හැකියාවක් නොලැබිණ. එනිසා ඔවුන්ගේ අලූත් සල්ලි වියදම් කිරීමේ සීමා පැවතින. එයට විසඳුම් ලෙස ඔවුන් කාම්බෝජයේ ස්ථිර පදිංචිය සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්ති සකස් කර ගැනීමට උනන්දු වූවත් එමගින් කාම්බෝජ නීති වලින් සම්පූර්ණ නිදහස ලැබීමටත් කාම්බෝජය හරහා ඔවුන්ගේ ආදායම් පහසුවෙන් සංසරණය කර ගැනීමටත් ඉඩ නොතිබිණ.

ඔවුන්ගේ ප‍්‍රශ්නය, ඔවුන්ට එවැනි පහසුකම් චීනයේ ඉදිකර, චීන ජනතාව ඉදිරියේ ඇමෙරිකානුවන්ටත් නැති සැප විඳින්නට නොහැකි වීම ය. චීනයේ දුප්පත්කම දැවැන්ත ප‍්‍රශ්නයකි. දුප්පත් පොහොසත් පරතරය, 1995 සිට 2009 වන විට සියයට 26 කින් ඉහළ ගොස් ඇත. පසුගිය චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ළ`ගා වන විට, ඒ හේතුවෙන් දූෂණයට විරුද්ධ මත ප‍්‍රකාශ කිරීම්, චීන විසමුම්තීන් අතර ප‍්‍රධාන තේමාවක් විය. එබැවින් ඉකුත් ජනවාරි 14 වන දින වත්මන් ජනාධිපති සී ජින්පිං, දූෂණය සහමුලින් ඉවත් කරන බවටත් වැරදිකරුවන් කවරෙකු වූවත් ද`ඩුවම් කරන බවටත් චීන නිල පුවත් සේවයට ප‍්‍රකාශයක් කර තිබිණ. ඉන් දින 12 ට පසු චීන නව ජනතා ව්‍යාපාරයේ නායකයෙකු ලෙස පිළිගැනෙන වෘත්තියෙන් නීතිඥයෙකු වන සූ සීයොංට විරුද්ධව පවරා තිබූ නඩුවකින් ඔහු වරදකරු කෙරිණ. චෝදනාව වූයේ ජන සමාජයේ අනවශ්‍ය බෙදීම් ඇති කිරීම ය. චීන විසම්මුතිවාදීන් කියා තිබූ අයුරු සූ සීයොංට විරුද්ධව නඩු පවරා ඔහුව වරදකරුවෙකු කෙරුවේ ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් ඔවුන්ගේ වත්කම් ප‍්‍රකාශ කළ යුතු යැයි ප‍්‍රසිද්ධ ඉල්ලීම් කළ හෙයිනි. ඒ අතර, ප‍්‍රාන්ත කිහිපයක දූෂණයට විරුද්ධව පෙනී සිටි කි‍්‍රයාකාරීන්ද අත් අඩංගුවට ගනු ලැබිණ.

එවැනි චීන පසුබිමක, මෙහි ඉදිකෙරෙන කෘතිම දූපත් නගර ඔවුන්ට ඒ වෙනුවෙන් ලැබෙන අලූත් නිදහස් ප‍්‍රදේශයන් ය. ඒවායේ ඔවුන්ට රිසි සේ විනෝද වන්නට පුළුවන. චීන සමාජය පමණක් නොව, ශී‍්‍ර ලාංකික සමාජය ද ඒ දූපත්වල ජීවිත දකින්නේ නැත. ඒවාට හවුල් වන්නට ද ඉඩක් නැත. ඒවාට එන යන මුදල් කන්දරාව ගැන තොරතුරු ලැබෙන්නේ ද නැත. ඒවා විශේෂ පහසුකම් සහිත, අධි සුඛෝපබෝගී විනෝදාගාර පමණක් නොව, චීන බලධාරීන්ට ඔවුන්ගේ කලූ සල්ලි අපුල්ලන්ට සියලූ අවසර ඇති වෙල්ලාවන් ය. එවගේම ඒවාට හවුල් වන්නට මේ රටේ පිං කළ අයටත් අවස්ථා ලැබෙනු ඇත.

චීන ආයෝජන සම්බන්ධ දේශපාලන කතාවේ අඩුව ඇත්තේ, මේ යෝධ දූෂණ යාන්ත‍්‍රණය චීන රාජ්‍යයේ දේශපාලන අධිකාරය ආසියානු කලාපයේ පවත්වා ගැනීම වෙනුවෙන්, ශී‍්‍ර ලංකාවේ පිහිටීම සළකා ආයෝජනය කරන්නේය යන සරළ කිරීමෙහි ය. ඇත්ත කතාව නම්, ඉතාම දූෂිත චීන රාජ්‍ය ඔවුන්ගේ දූෂිත මහ නායකයින් ගේ නීති විරෝධී වත්කම් සඳහා උපයෝගිතාවක් ලබාදීම වෙනුවෙන්, කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයක් ගැන නොතකා කුඩා අධිකාරවාදී ආණ්ඩුවක පැවැත්ම වෙනුවෙන් ආධාර කිරීම ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.