26 April, 2024

Blog

දෙමළ ජාතිකයෙකු හෝ මුස්ලිම් ජාතිකයෙකු ජනාධිපති වශයෙන් තෝරා ගැනීමට ශ‍්‍රී ලංකාව ලෑස්තිද?

ලංකාමිත්‍ර​ –

‘දේශපාලනික ආඥාදායකත්වය සහ සමාජ අසහනය විසින් ආගමික අන්තවාදය අවුලූවනු ලැබේ.’ ~ බෙනාසීර් බූතෝ

ලන්ඩන් නුවර අද ජනගහනය මිලියන 8.6 කි. 1939 සිට එම නගරය වාර්තා කොට ඇති වැඩිම ජනගහනය එයයි. වඩාත් අපූරු කාරණය වන්නේ, මේ ජනගහනයෙන් සියයට 44 ක්ම කළු ජාතිකයන් සහ වාර්ගික සුළු ජාතීන්ගෙන් සමන්විත වීමයි. 2001 වන විට ඔවුන්ගේ නියෝජනය පැවතියේ සියයට 28.9 ක් පමණි.

ලන්ඩනයේ දෙවැනි විශාලතම ආගම වන්නේ ඉස්ලාම් දහමයි. එම නගරයේ මුස්ලිම් ප‍්‍රතිශතය සියයට 12.4 කි. එය සමස්ත එංගලන්තයේ වෙසෙන මුළු මුස්ලිම් ප‍්‍රජාවෙන් සියයට 38 කි. එහෙත් ලන්ඩන් නුවර ජනතාව තම පුරපති වශයෙන් පත්කර ගත් සදික් ඛාන් මුස්ලිම් ජාතිකයෙකි. ලන්ඩන් නුවර ඡුන්ද නාම ලේඛනය අනුව අති බහුතරයක් ජනතාව ඇන්ග්ලෝ-සැක්සන් සුදු ජාතිකයන් ය. එංගලන්තය යටත්විජිතවාදී මහ බලවතෙකු වශයෙන් සැළකුණු 19 වැනි සහ 20 වැනි සියවස්වල සිට ජාත්‍යන්තර තලයේ ක‍්‍රියාත්මකව පැවති ‘සුද්දන්ට පමණයි’ කුලකයේ ප‍්‍රධාන පාර්ශ්වකරු වූයේ එංගලන්තයයි. තම යටත් වැසියන්ට ඔවුන් සැළකූ කුරිරු සහ නිර්දය ආකාරය, විශේෂයෙන් යටත් විජිත ඉන්දියාවේ වැසියන්ට සැළකූ කුරිරි සහ නිර්දය ආකාරය, අනාගත පරම්පරාවලට කියැවීම සහ පාඩම් උගෙනීම සඳහා වාර්තාගතව තිබේ. මිනිසා ගල් ගුහාවේ සිට ශිෂ්ඨාචාරය දක්වා ගිය ගමනේදී එංගලන්තය අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය විශිෂ්ඨ ය. එසේ වෙතත්, ඉහත කී අහිංසක ඉන්දියාවනුවෙන් කෙරෙහි විටින් විට ඔවුන් දැක්වූ කුරිරු භාවය ඉතිහාසයෙන් මකා දැමිය නොහේ. 1930 තරම් ඈතකදී, වින්ස්ටන් චර්චිල් ප‍්‍රකට ඉන්දියානුවෙකු වූ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයක් ආන්දෝලනාත්මක විය: ‘‘නැගෙනහිර ලෝකයේ හොඳින් දන්නා, කැරලිකාරී නීතිඥයෙකු වන ගාන්ධි මහතා, සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් සංවිධානය කොට මෙහෙයවන අතරේම, රාජාධිරාජයාගේ නියෝජිතයා සමග සමානයෙකු සේ සාකච්ඡුා කිරීම සඳහා අඩ නිරුවතින් විසුරේ මාළිගාවේ පඩි පෙළ දිගේ ගමන් කරනු දැකීම භයානක සේම ජුගුප්සා ජනක දර්ශනයක් වන්නේය.’’ යම් කලක් ඔහුම නායකත්වය සැපයූ ඒ ඉංග‍්‍රීසි ජාතිය එකී පුරසාරම්කාරී සහ නිග‍්‍රහශීලී චර්යාව පසු කොට මේ වන විට වඩාත් නිහතමානී, වඩාත් සමානාත්මතාවාදී සහ වඩාත් යථාර්ථවාදී ආකල්පයකින් තමන්ගේ සුළු ජාතීන් දෙස බැලීමේ තත්වයකට වර්ධනය වී තිබේ.

ඇමරිකාවේ ජන සංයුතිය දෙස බැලීමත් මෙහිදී වැදගත් ය.

2008 මැතිවරණ නාම ලේඛනයට අනුව, ඇමරිකාවේ ඡන්දදායකයන්ගෙන් සියයට 74 ක් සුදු ජාතිකයන් ය. ඉතිරි පිරිසෙන්, අප‍්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන් සියයට 13 ක් වන අතර ස්පාඤ්ඤ සම්භවයක් සහිත ජනතාව සියයට 9 ක් ද, ආසියාතිකයන් සියයට 2 ක් ද වන්නේය. සුදු ජාතිකයන් සියයට 74 කින් සමන්විත එම රට, සියයට 13 ක් පමණක් වන අප‍්‍රිකානු-ඇමරිකානුවන්ගෙන් කෙනෙකුව තමන්ගේ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්තේය. අති විශාල සුදු ජාතිකයන් බහුතරයක් විසින් සුළු ජාතික නියෝජිතයෙකු තම නායකයා වශයෙන් පත්කර ගැනීම මේ අවස්ථා දෙකේදීම අපට දැක ගත හැකිය.

දැන්, ඇමරිකාවේ සහ ලන්ඩන් නුවර එම සාදෘෂ්‍යය, ලංකාවට ආදේශ කරන්න. ලංකාවේ ජනගහනයෙන් සිංහලයන් සියයට 74.9 කි. ශී‍්‍ර ලාංකීය දෙමළ සියයට 11.2 කි. ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ප‍්‍රජාව සියයට 9.2 කි. ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප‍්‍රජාව සියයට 4.2 කි. දෙමළ ජනගහනය සමස්තයක් වශයෙන් ගත් විට, එනම් ලාංකීය දෙමළ සහ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ප‍්‍රජාව එකට ගත් විට, සියයට 15.4 කි. එසේ තිබියදීත් දෙමළ ජාතිකයෙකු ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට ලංකාව සූදානම් ද?

මම එය සැක කරමි.

කෙසේ වෙතත්, මෙම විග‍්‍රහය තුළ සන්සන්දනයට ගැනුණේ 1931 දී සර්වජන ඡුන්ද බලය ලබා ගත් ශ‍්‍රී ලංකාවත්, ශත වර්ෂ එක හමාරකට වැඩි කාලයක් තිස්සේ සර්වජන ඡන්ද බලය භුක්ති විඳ ඇති ඇමරිකාව සහ ලන්ඩන් නුවරත් බව සිහියේ තබා ගත යුතුය. ශ‍්‍රී ලංකාවේ ජන සංයුතිය තුළ ප‍්‍රමුඛ වන්නේ සිංහල බෞද්ධයන් ය. අපේ ජනගහනයෙන් සියයට 70 ට ආසන්න ප‍්‍රමාණයක් ඔවුන් ය. ඔවුන්ගේ මනස සකස් කොට ඇත්තේ මහාවංශ කතාවලිනි. මහාවංශ කතුවරයා වශයෙන් සැළකෙන මහානාම හිමියෝ ශ‍්‍රී ලංකාවේ විවිධ සහ විසම වූ සිදුවීම් තමන්ට රිසි පරිදි මූට්ටු කොට, බලයේ සිටි රජතුමාගේ ප‍්‍රසාදය සඳහා ඉතිහාසය වියද්දී, සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයන් කටපුරා වර්ණනා කෙළේය. ඉතිහාසඥයන්ගේ මේ ස්වභාවය එක ජාතියකට හෝ රටකට පමණක් සීමා වන්නක් නොවේ. කවදත් පෙන්වා දී ඇති පරිදි, ඉතිහාසය ලියැවෙන්නේ ජයග‍්‍රාහකයාගේ අවශ්‍යතා අනුව මිස පරාජිතයාගේ අවශ්‍යතා සඳහා නොවේ. ඉතිහාසය යනු ජයග‍්‍රාහකයාගේ ඉතිහාසයකි. ඒ මනෝ භාවය, සිංහල බෞද්ධයන් බහුතරයක් තමන්ගේ සමාජයේ වෙසෙන සුළු ජාතිකයන්ව තමන්ගේ සමානයන් වශයෙන් සැළකීමෙන් වළකාලීය. මනුෂ්‍යත්වයේ හුදු පැවැත්ම සඳහාම වුව සමානාත්මතාව මොන තරම් ශ්‍රේෂ්ඨ සහ උත්තුංග කාරණයක් වන්නේද යන්න බුද්ධ ධර්මයේ මූලික ප‍්‍රතිපදාවන් තුළ ඉතා පැහැදිළිව ඇතුළත්ව ඇතත්, ඒ උත්තුංග කල්පනාව සහ සියලූ වාර්ගිකයන් අන්තර්ග‍්‍රහණය කර ගැනීමේ අවශ්‍යතාව, පුහු ගර්වයෙන් පිරුණු ආත්මාර්ථකාමී ප‍්‍රාථමික අවශ්‍යතා විසින් යටපත් කරනු ලැබීය. රාජ්‍යකරණයේ අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් වාර්ගික පවිත‍්‍රකරණය සහ ජනසංහාර යොදාගෙන ඇති බව ලෝක ඉතිහාසය දෙස් දෙයි. සමහර අප‍්‍රිකානු රටවල් ද, 70 දශකයේ කාම්බෝජය ද, 20 වැනි සියවස මුල් කාලයේ ස්ටැලින් ද, එම සියවසේ අවසාන භාගයේදී බොස්නියාව ද, මිනිස් සාරධර්ම අඥාන අන්දමින් පාගා දැමීම සහ බෞද්ධ ප‍්‍රතිපත්ති, සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ උතුම් දේශනා, අනර්ථකාරී ලෙස විනාශ කළ අවස්ථාවන්ට සාක්ෂි වශයෙන් පවතී.

අනිත් අතට, සමස්ත සමාජයේ ආකල්පමය වෙනසක අවශ්‍යතාවට අමතරව, මේ රටේ තනි නායකයෙකු වශයෙන් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු පත්කර ගැනීම වළකාලන තවත් සාධකයක් වන්නේ, ශ‍්‍රී ලංකාවේ දේශපාලනික ව්‍යුහයන් ඒ සඳහා සන්නද්ධව නොතිබීමයි. ඉතා මෑතකදී දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දේපල සහ ජීවිත විනාශ කළ ‘බලකායවල්’ සහ විවිධ ‘සේනාවල’ කෙරුවාව දෙස බලද්දී, ශ‍්‍රී ලංකාව වැනි රටක දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු රටේ දේශපාලනික නායකත්වයට පත්වීමේ සිහිනයක් දැකීමේ හැකියාවක් පවා අපට නැති බව තේරුම් ගැනීමට, 1958, 1977 සහ 1983 වැනි ඈත කලකෝලාහල ඉතිහාසය දක්වා යා යුතු නැත.

එය ඇත්තෙන්ම සිංහල බහුතරයේ අගතිගාමී මානසිකත්වය පිළිබඳ කැළල් සහගත සංසිද්ධියකි. සිංහල නායකත්වය සේම සාමාන්‍ය සිංහල බහුතරය ද සුළු ජාතිකයන් දෙස සමානයන් සේ බැලීමේ හැකියාවෙන් වියුක්ත වීම ලාංකිකයන්ගේ අනාගතයට මාරක බාධකයකි. වර්තමාන සිංහල ජනගහනයෙන් වැඩි දෙනාගේ සම්භවය ඇත්තේ කේරලය, තමිල්නාඩු සහ වෙනත් දකුණු ඉන්දීය ප‍්‍රදේශවල බවට සාක්ෂි තිබියදීත්, නූතන ඔරිස්සාව හෙවත් බංගලිදේශයෙන් සංක‍්‍රමණය වූ බවට කිසි පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අසමත්ව තිබියදීත්, ඊනියා ‘ආර්ය’ උරුමයක් ගැන විකාර කතා කීම වනාහී, අතීත ශ‍්‍රී විභූතියක් ගැන පුරසාරම් පුරාතන කතාවල එල්බ සිටීම සහ අපැහැදිළි ඓතිහාසික පුරාවෘත්ත විසින් නිර්මාණය කොට ඇති තත්වයකි. සමාධි බුදු පිළිමය, අවුකණ බුදු පිළිමය, රැුස්වෙහෙර සහ සීගිරිය වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණවල සහ කලා වැව, පරාක‍්‍රම සමුද්‍රය සහ මින්නේරිය වැව වැනි මහා ජලාශ පද්ධතියක ඇති වටිනාකම මොන විදිහකින්වත් අවතක්සේරු නොකරන අතරේම, එවැනි ශ්‍රේෂ්ඨ නිර්මාණ සහ ඓතිහාසික ගොඩනැගීම් කළ චින්තනයම, ස්වකීය උතුරු සහ නැගෙනහිර සගයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම ලැජ්ජාවට කාරණයකි.

සිංහල බෞද්ධ ගොවියා උදේ රැුයින් අවදි වී, කුකුළා අතින් ගෙන බොරළු පාර දිගේ කිලෝ මීටරයක් පමණ ඈතින් පිහිටි බස් නැවතුම් පොළට ගොස්, තවත් කිලෝ මීටර් ගණනක් බසයෙන් ගමන් කරයි. ඔහුගේ දවස සුන්දර නැත. ඔහු යන්නේ, දෙමළ සම්භවයක් සහිත පොලී මුදලාලි ළඟට ය. ඒ මුදලාලිට, පොන්නම්බලම් රාමනාදන් ගැන හෝ පොන්නම්බලම් අරුණාචලම් ගැන හෝ අඩු වශයෙන් අමිර්තලිංගම් ගැනවත්, ඊටත් අඩු වශයෙන් ප‍්‍රභාකරන් ගැනවත් වගේ වගක් නැත. ඔහුගේ දවසේ එල්ලය වන්නේ, වැඩිම පොලියක් එකතු කර ගැනීමයි. ගොවියාගේ එල්ලය වන්නේ තමාගේ පොහොර සහ වී මිළදී ගැනීම සඳහා ණයක් ඉල්ලා ගැනීමයි. මිනිස් සම්බන්ධතා නිශ්චය කරනු ලබන ප‍්‍රබලම සාධකය ද්‍රව්‍යමය අවශ්‍යතාවන් ය. ගොවියා ණයට ගන්නා මුදලට සහ මුදලාලි ණයට දෙන මුදලට ජාතියක්, ජම්මයක් හෝ ආගමක් නැත. ඊට ඇත්තේ හුවමාරු වටිනාකමක් පමණි.

එවැනි අකාරුණික සැබෑ ලෝකයක ශ‍්‍රී ලාංකීය ඡුන්දදායකයන්ගෙන් බහුතරයක් සහ සිංහල, දෙමළ, මුස්ලිම් නායකකාරකාදීන් රොත්තක්, ඉතා භයානක සහ කුරිරු ක‍්‍රීඩාවක ගැලී සිටිති. දේශපේ‍්‍රමය වශයෙන් පොට පටලවාගෙන ඇති මේ පාපතර අවදානම අපව වල්මත් කරනු ඇත. එය නිසගයෙන්ම පාපිෂ්ඨ ය. අතිශය මූසල ය. ඊනියා ජාතික වීරයන් සාමූහික සිංහල බෞද්ධ මානසිකත්වය කෙලසා ඇති අතර, නූගත් සහ දැනුම් තේරුම් නැති ජනතාව ඔවුන් විසින් සූරාකනු ලැබේ. ඒ ආකාරයෙන්ම, ප‍්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් වැනි තිරශ්චීන මිනීමරු ත‍්‍රස්තවාදීන් අපේ රටේ අනිත් පළාතේ ජනතාව ස්වකීය බිල්ලට ගෙන ඝාතනය, විනාශය සහ සමාජ නිස්සාරත්වය ඔවුන්ට උරුම කර දී ඇත.

මේ ජනතා තුන් කට්ටුව සමහන් කිරීම, බැලූ බැල්මට අසීරු ය. සිංහලයන් අතරේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් බහුතර සිංහලයන් සමග සංකලනය වීමේ වැඩි සූදානමක් පෙන්නුවත්, ඓතිහාසිකව ගත් විට, කොළඹ සහ තදාසන්න පෙදෙස්වල වෙසෙන දෙමළ ජනතාව හැරුණු කොට සෙසු දෙමළ ජනතාව එසේ කිරීමට පසුබට වෙති. මේ අන්ත දෙක පිළිබඳව අප සංවේදී විය යුතුව ඇත්තේ, ඔවුන් තමන් තුළ පැසවන කෝපයක් හෝ පළිගැනීමේ චේතනාවකට වඩා, තමන්ගේම අතීත අපකීර්තිමත් අතීතයක් විසින් මෙහෙයවනු ලැබීම නිසා ය.

තමාගේ ගමේ, පේදුරු තුඩුවේ වෙසෙන කදිරේසන්ට සිංහල හමුදා නිලධාරියෙකු මුලිච්චි වන විට ඔහුට හැෙඟන්නේ සිංහල හමුදාවේ සොල්දාදුවෙකුගේ අණසකට යටත්ව විසීම මොන තරම් අර්ථවත්ද යන්නයි. ලංකාවේ ආරක්ෂක හමුදාවන් මොන තරම් අද එක ජාතියක බූදලයක් වී ඇත්ද යත්, මේජර් තනතුරෙන් ඔබ්බට කිසි දෙමළ නිලධාරියෙකු සොයා ගැනීමට නැති තරම් ය. හමුදාමය වශයෙන් යුද්ධය ජයගෙන තිබේ. තුවක්කු නිහඬව තිබේ. එහෙත් ලිපවල් දෙකේම වෛරයේ ගිනි අඟුරු දැවෙමින් තිබේ. එවැනි සමාජ-දේශපාලනික පසුබිමක් තුළ දෙමළ හෝ මුස්ලිම් ජාතික නායකයෙකු රටේ නායකත්වයට පත්වීමක් ගැන සිතා ගැනීමටත් උගහට ය. එහෙත් නිසැකවම කිව යුතු දෙයක් තිබේ. නිසි සුදුසුකම් සහිත එවැනි නායකයෙකු ඉදිරිපත් වෙතොත් ඔහුව හෝ ඇයව රටේ ජනාධිපති තනතුරට තෝරා ගැනීමට ජාතියක් වශයෙන් ශ‍්‍රී ලංකාව පසුබට විය යුතු නැත. එසේ නොකිරීම සහගහන පාපයකි.

*2017 මාර්තු 31 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ Is Sri Lanka Ready To Elect A Tamil Or A Muslim As President? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

 

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    කමෙට් එකක් ලියන්න ඉස්සෙල්ලා ලංකාමිත්‍ර ගෙන් එක ප්‍රශ්ණයක් කෙටියෙන් අහන්න කැමතිය්. සිංහල බෞද්ධ අපට සංහිඳියාව ගැන බහුබූත කියල මහාවංශය ලියු අයට අපහාස කොරන්න ඉස්සෙල්ලා මුස්ලිම් බහුතරය සහිත රටක් පාලනය කිරීම සඳහා මුස්ලිම් නොවන අයෙක් (රජෙකු හෝ ජනාධිපති හෝ අගමැති) පත්කර ගත් එක රටක් නම් කොරන්න.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.