25 April, 2024

Blog

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් – V

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි මාලාවේ සිව්වන කොටස නොවැම්බර් මස 23 වන බ්‍රහස්පතින්දා පළ කොට ඇත.]

ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු ගැන තව දුරටත්

  1. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු සුළුතර ජන ප්‍රජාවක් වාර්ගිකත්වය පදනම් කොට ගෙන වෙනස්කම් කිරීමක් ගැන පැමිණිලි කරන බවක් නොපෙනේ; වාර්ගිකත්වය මත පදනම්ව කිසිදු වෙනස්කම් කිරීමක් ඇත්තේ නැත; එය සැඟවුනු අභිප්‍රායක් සහිතව (දෙමළ දේශපාලණ නායකත්වය විසින්) ගෙන යන හුදු දේශපාලන ප්‍රචාරයක්.

“වෙනත් කිසිදු සුළුතර ජන ප්‍රජාවක් වාර්ගිකත්වය පදනම් කොට ගෙන වෙනස්කම් කිරීමක් ගැන පැමිණිලි කරන බවක් පෙනෙන්නට නැතැ” යි යනුවෙන් ආචාර්‍ය ගොඩහේවා කරන ප්‍රකාශය කරුණු මුළුමණින්ම වැරදි සහගත ලෙස ඉදිරිපත් කිරීමකි. ශ්‍රී ලංකාවේ බහුතරය නොවන ජන ප්‍රජාවෝ බොහෝ ආකාර වෙති. ඒ අය අතර දමිල, මුස්ලිම් සහ බර්ගර් වශයෙන්ද හින්දු, ක්‍රිස්තියානි, මැලේ, චීන, කෆීර් යනාදීහු ද සිටිති. මොවුන් අතරෙන් දමිල, මැලේ, චීන සහ කෆීර් ජාතිකයෝ පමණක් වාර්ගික වශයෙන් පදනම් වන බව සැලකිය හැකිය. අනෙක් අය වාර්ගික වශයෙන් පදනම් නොවන නමුත්, ඔවුහු විශ්වාස මත පදනම් වෙති. බහුතරය නොවන ජන ප්‍රජාවන්ට එරෙහිව, ඔවුන් කිතුනුවන්[1] හෝ මුස්ලිම්වරුන්[2] වන නිසාම පමණක් මෑත දී දකුණේ ඇති කරන ලද නොයෙක් කැරලි කෝලාහල පිළිබඳව කිසිවෙකු දැන සිටිය නොහැක්කේ කෙසේද? 2014 ජූනි මාසයේ බොදුබල සේනා විසින් අළුත්ගම මුස්ලිම්වරුන්ට එරෙහිව ගැටුම් අවුළුවා ලීම පුළුල් ලෙස හෙළා දකින ලද අතර, මාරාන්තික කැරලි වළක්වන්නට කඩිනම් පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව බල කර සිටියේය. යුද්ධයේ අවසානයෙන් පසුව පවා, දමිල ජනයා[3] සහ මලයියහ (කඳුරට) දමිල ජනයාට[4] එරෙහිව ඕනෑකමින් ඇති කරන ලද කැරලි කෝලාහල දකුණේ සමහර වතුවල දිගටම සිදු වෙයි; ඒ සඳහා කිසිදු සාධාරණ යුක්තිසහගත හේතු දැක්වීමක් නැත.

  1. රාජ්‍ය​ හා පෞද්ගලික අංශවල, දේශපාලණ, අධිකරණ සහ ශාස්ත්‍රීය​ අංශවල, දමිලයෝ ඉහළ තනතුරු දැරීම වෙනස්කම් නොකරන බවට සාක්ෂි දරයි;

ඉහළ තනතුරු දැරීම අන්තර්ග්‍රහණය (inclusiveness) පිළිබිඹු නොකරයි

බහුතරය නොවන ජනප්‍රජාවල සාමාජිකයෝ රාජ්‍ය හා පෞද්ගලික අංශවල උසස් තනතුරු දැරීම, රටක වෙනස්කම් නොකරනු ලැබීම හෝ සමානාත්මතාවය තිබීම මිණිය හැකි මිණුම්දණ්ඩක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ, අප්‍රිකානු-ඇමරිකානුවෝ වහල්භාවයේ කාල පරිච්ඡේද හා වාර්ගික වෙන්කිරීමේ ජිම් ක්‍රෝග් නීති පසු කොට බොහෝ දුරක් ගමන් කොට ඇත. බොහෝ අය බලය සහ සම්පත් අතින් ප්‍රමුඛ තනතුරු දරා ඇත. බැරැක් ඔබාමා, මිෂෙල් ඔබාමා, කොලන් පවල්, කොන්ඩලීසා රයිස්, මුහම්මද් අලි, ජෙසි ජැක්සන්, මයිකල් ජැක්සන්, පැට්‍රීෂියා රොබට්ස් හැරිස්, ඔප්‍රා වින්ෆ්‍රි, ටයිගර් වුඩ්ස්, නීල් ඩි ග්‍රාස්ස ටයිසන්, ලොරේටා ලින්ච් සහ සුසෑන් රයිස් යනු දේශපාලනයේ, අධිකරණයේ, ශාස්ත්‍රීය අංශයේ, සංගීතයේ, කලාවේ, මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සහ ක්‍රීඩාවේ බැබලී ඇති සැලකිය යුතු ප්‍රසිද්ධ පුද්ගලයෝ සමහරෙක් වෙති. එහෙත්, වෙනස්කම් කරනු ලැබීම සහ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක්සත් ජනපදයෙහි පෞද්ගලික හා ආයතනික යන දෙමට්ටමේ ම කෙරීගෙන යයි. උසස් තනතුරු දරා තිබුණද, බොහෝ දෙනෙක් වෙනස්කම් කරනු ලැබීම නිසා හෝ වෙනස්කම් කරනු ලැබීමට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් හෝ දැවැන්ත කැපකිරීම් කරමින් සිය ජීවිත පරිත්‍යාග කොට තිබුණි. කිහිපදෙනෙකු පමණක් සඳහන් කළහොත්: ක්‍රිස්පස් ඇටක්ස්, ආචාර්‍ය මාටින් ලූතර් කිං කණිෂ්ඨ, මැල්කම් X, මුහම්මද් අලි සහ ආචාර්‍ය මායා ඇන්ජිලෝ. ඔවුන් බොහෝ දෙනෙකුට කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් රැක ගැනීම සඳහා රාජ්‍යයට එරෙහිව කැරලි ගසන්නට සිදු විය. 47 හැවිරිදි අප්‍රිකන්-ඇමෙරිකානු ටැක්සි රියැදුරු රොඩ්නි කිං ට ම්ලේච්ඡ ලෙස පහර දී මරා දැමීම පිළිබඳ නඩුවේදී සුදු පොලිස් නිලධාරියෙකු 1992 දී නිදහස් කිරීම, මෙම කරුණ උචිත ලෙස සනාථ කරයි.

ඔස්ට්‍රේලියාවේ බොහෝ මුල් වැසියෝ (ආදිවාසී ජනතාව) සමාජයේ ප්‍රකට සාමාජිකයන් වූහ. ඔවුහු විවිධ ශික්‍ෂාවන් තුළ විශිෂ්ඨත්වය දක්වා ඇති නමුත් මුල් වැසියන්ට එරෙහි වෙනස්කම් කිරීමේ ගැටලුව කිසි විටෙකත් අවසන් වී නැත. දැනුදු, ආදිවාසී නායකයෝ විශේෂ ආදිවාසී උපදේශක සභාවක් ස්ථාපිත කිරීම ගැන ජනමත විචාරණයක් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ, අප දන්නා පරිදි, දමිල ජාතික කැබිනට් ඇමතිවරුන්, කැබිනට් ලේකම්වරුන්, විපක්‍ෂ නායකයන් දෙදෙනෙක්, රජයේ ඒජන්තවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ශාස්ත්‍රඥයින්, කලාකරුවන් සහ ක්‍රීඩක පිරිස් බොහෝ දෙනෙක් සිට ඇත. දෙමළ දේශපාලන පක්‍ෂ සභාග සාදමින් බොහෝ ආණ්ඩු සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ ප්‍රමුඛ තනතුරු සඳහා තේරී පත් වූ හෝ පත් කර ගන්නා ලද කීර්තිමත් දමිලයෝ බොහෝ දෙනෙක් සිට ඇත. මෙම පුද්ගලයෝ පසුගිය අවුරුදු හැත්තෑව තිස්සේ වරින් වර බලය දරා සිට ඇත. එහෙත් මෙයින් දමිල ජනප්‍රජාව සහ එහි සාමාජිකයින්ට දැරීමට සිදුව තිබූ ආයතනගත සංස්කෘතික අගතිය සහ වෙනස්කම් කිරීම වෙනස් වී නැත.

1956 දී භාෂා ප්‍රතිපත්ති රාමුව[5] සැළසුම් කරන ලද්දේ සිංහල බෞද්ධයන් යටත් විජිතවාදය යටතේ පීඩාවට පත් වූ නිසා ඔවුන්ගේ දුක් ගැනවිලිවලට විසඳුම් ලබා දීමට ගත් ක්‍රියා මාර්ගයක් වශයෙන් නම්, යටත් විජිත පාලනය යටතේ එවැනිම ඉරණමකට ගොදුරු වූ දමිළ හින්දු භක්තිකයන්ටද එම සත් ක්‍රියා මාර්ගයම ලබා දිය යුතුව තිබිනි. ශ්‍රී ලංකාවේ යටත් විජිත ආර්ථිකය මූලික වශයෙන් පදනම් වූයේ වැවිලි අංශය මතය; රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සැලසුම් කරන ලද්දේ මෙම ආර්ථිකයේ අවශ්‍යතා පිරිමසා ලන්නටය. උතුරු නැගෙනහිර වියළි බිම්වල ඇති වඩා කටුක දේශගුණයට, වතුවැවිලි ඉවහල් කර ගත් මෙම යටත් විජිත ආර්ථිකය වෙත ලාභදායක ලෙස දායක විය නොහැකි විය; ඒ නිසා කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය ඉතා නොවැදගත් වූයේය. මෙම තත්ත්වයන් යටතේ, දමිලයෝ සමාජයේ ඉහළට නැඟීම සඳහා තිබෙන එකම මාවත් ලෙස අධ්‍යාපනය හා රාජ්‍ය සේවය සලකනු ලැබූහ. 1948 න් පසු බලයේ සිටි යටත් විජිත පාක්‍ෂික, පශ්චාත්-නිදහස් පාලන තන්ත්‍රය පවා උතුරේ හා නැගෙනහිර එතරම් සංවර්ධනයක් සිදු නොකළේය. ආර්ථික වශයෙන් දකුණේ සිංහලයන්ගේ තත්වය බෙහෙවින් සමාන වූ අතර, වෙනස්කම් කරන භාෂා ප්‍රතිපත්ති රාමුව දමිලයන්ගේ තත්වය සංකීර්ණ කලේය.

කලින් සඳහන් කළ පරිදි, යාපන අර්ධද්වීපය ප්‍රධාන වශයෙන් ශුෂ්ක භූමි ප්‍රදේශය, ජල හිඟය, අඩු අක්‍රමවත් වර්‍ෂාපතනය, පාරිසරික පරිහානිය, නොගැඹුරු වැලි පස හා ලවණතාව ආදියේ බලපෑමට ලක්වූ කලාපයකි. කෘෂිකාර්මික වර්ධනය සඳහා ඉඩම් වෙන් කිරීමේ ප්‍රතිපත්ති අසමර්ථවීම් නිසා ගොවිතැනෙන් ලැබුන ආදායම, රැකියා අනුපාතය සහ භෝග ඵලදායිතාව නොකඩවාම අසතුටුදායක විය. එවැනි පරිසරයක් තුළ හොඳ අධ්‍යාපනයක් ලැබීම, දීප්තිමත් අනාගතයක් සඳහා හොඳම අවස්ථාව උදාකරදෙන බවට සලකන ලදි. එබැවින්, 70 දශකයේ ආණ්ඩුවේ ප්‍රමිතිකරණ ප්‍රතිපත්ති පැහැදිලිවම වෙනස්කම් කරන ඒවා වශයෙන් දමිල ජනප්‍රජාව වටහා ගැනීම පුදුමයක් නොවේ. දෙමල තරුණයන් විසින් මෙයට දැකිවූ ප්‍රතිචාරය වූයේ, වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම තුල කුලුගැන්වුනු දෙමල ජාතිකවාදී දේශපාලනයට වැඩි වැඩියෙන් සහාය දීම යි. එවැනි අසාධාරණ වෙනස්කම් කරන ප්‍රතිපත්ති සහ ඵලදායී ලෙස රැකියා ලබා ගැනීම සඳහා ප්‍රයෝජනවත් නොවුනු විෂය පාඨමාලා සහිත අධ්‍යාපනික ආයතන මහා පරිමාණයෙන් විවෘත කිරීම – දකුණේ මෙන්ම උතුරේ ද තරුණ නැගිටීම් වලට දායක විය.

ආචාර්ය ගොඩහේවාගේ අති සරළ තර්ක කෙතරම් ලාභදායීද, විකාරසහගතද යත් ඒවා කිසි සේත් අදහාගත නොහැකි තරම් ය. රටේ පොදු හා සිත්ගන්නා සිදුවිම් ලෙස හුවා දක්වමින් අවාසිදායක තත්ත්වයන් ජයගත් මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමෙන් සමානාත්මතාවය ඔප්පු කළ නොහැකිය. විවිධත්වයට ගරු කිරීමෙන් සහ අන්තර්ග්‍රහණය වැලඳ ගැනීමෙන් පමණකි, රට දියුණු කරනු ඇත්තේ.

ඇමෙරිකන් මිෂනාරීහු

ඇමරිකානු මිෂනාරිවරු 1813 දී දිවයිනට පැමිණි අතර, යාපනයේ ඇමරිකානු ලංකා මීසම (ACM) පිහිටුවා ලූහ. භූ-දේශපාලන හේතූන් නිසා, බ්‍රිතාන්‍යයෝ වසර 40 ක පමණ කාලයක් තිස්සේ මෙතෝදිස්තවරුන්, ප්‍රෙස්බිටේරියන්වරුන් සහ එපිස්කෝපලියන්වරුන් ගෙන් සමන්විත ඇමෙරිකානු මිෂනාරිවරුන් යාපන අර්ධද්වීපය වෙතට සීමා කලහ. කෙසේවෙතත්, මෙතෝදිස්ත, බැප්ටිස්ට් සහ ඇඞ්ලිකන් නිකායන්ගෙන් සමන්විත බ්‍රිතාන්‍ය මිෂනාරිවරු දිවයිනේ සෙසු ප්‍රදේශවල සිටියහ. ඇමරිකානු මිෂනාරිවරුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ හින්දූන් ක්‍රිස්තියානි ආගමට හැරවීමයි. මෙම ක්‍රියාවලියට පිටිවහලක් වෙන්නට ඔවුහු කලාපයේ විශිෂ්ට ගණයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ආයතන බොහොමයක් පිහිටුවා ලූහ.

මිෂනාරිවරු පරිවර්තන, මුද්‍රණ සහ ප්‍රකාශණ කටයුතු කිරීමේ, ප්‍රාථමික, ද්විතයික හා තෘතීයක අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීමේ සහ ප්‍රදේශයේ අයට සෞඛ්‍ය සේවා සැපයීමේ නියැලී සිටියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දිවයිනේ සෙසු පළාත්වලට සාපේක්‍ෂව ඔවුන්ගේ සාක්‍ෂරතා මට්ටම ඉහල ගියේය. සිංහල ජාතිකවාදී චෝදනා පැවතුනද, දමිලයන්ට මෙම අසමතුලිතතාවය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් තිබුනේ නැත. ඇමරිකන් මිෂනාරිවරුන් යාපනයට කොටු කොට තබන ලද සීමාවන් ඉවත් කිරීමෙන් පසුව පවා, දිවයිනේ උතුරේ සහ දකුණේ මිෂනාරිවරු අතර බෙදීම් දිගටම පැවතුනි. මිෂනාරි කටයුතු තුල ඇමරිකානු මැදිහත් වීම අද දක්වාම පවතින නමුත්, එහි තීරනාත්මක මෙහෙවර 20 වන සියවසේ අවසානය සමඟ නිමාවට පත් විය.

1816 දී යාපනයේ තෙල්ලිපලෙයිහි පළමුවන ඇමරිකානු මිෂනාරි පාසල ද, 1824 දී ආසියාවේ ප්‍රථම නේවාසික බාලිකා පාසැල වූ උඩුවිල් බාලිකා පාසැල ද පිහිටුවන ලදි. ඉංග්‍රීසි වෛද්‍ය පෙළපොත් වල කොටස් දෙමළ භාෂාවට පරිවර්තනය කළ ඔවුහු, 1848 දී මනිපායිහි රෝහලක් ද ආරම්භ කලහ. පසුව මෙය ග්‍රීන් අනුස්මරණ රෝහල බවට පත්විය. බටහිර වෛද්‍ය සම්ප්‍රදායට අනුව යමින් වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා යොදාගන්නා ලද දිවයිනේ ප්‍රථම වෛද්‍ය පාසැල වූයේ මෙයයි. 1848 වන විට, ඇමෙරිකානු මිෂනාරිවරු දමිළ පාසල් 105 ක්ද, ඉංග්‍රීසි පාසැල් 16 ක්ද පිහිටුවා ලූහ. ඔවුන් විසින් ගොඩනගනු ලැබූ බැටිකොට්ටා සෙමනේරිය ශ්‍රේණිය අතින් යුරෝපීය විශ්වවිද්‍යාලවලට සංසන්දනය කළ හැකි බවට සළකණ ලදි. ඇතුලත්වීම ධනවත් පවුල් කිහිපයකට සීමා කිරීමත්, හින්දු ආගම ඇදහූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රිස්තියානිය වෙත හරවා ගැනීමට තිබුනු නොහැකියාවත් හේතුවෙන් එය පසුව වසා දැමිණි. එය නැවත විවෘත කරන ලදුව, යාපනය විද්‍යාලය ලෙස හඳුන්වනු ලැබීය.

මිෂනාරි වැඩ කටයුතු ත්, යාපනයේ රෙපරමාදු මිෂනාරි පාසල් පිහිටුවීම ත් ආරුමුග නාවලාර් විසින් මෙහෙයවන ලද ප්‍රාදේශීය හින්දු පුනර්ජීවන ව්‍යාපාරයකට මඟ පෑදීය. මෙම පුනර්ජීවනය පොළඹවාලන ලද්දේ විශේෂයෙන් ස්වාමී මුරුගන් ඉලක්ක කර ගෙන, දේශීය ආගම් හා භාවිතාවන්ට අපහාස කරමින් මිෂනාරිවරුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපි ලේඛන වලිනි. පුනර්ජීවන ව්‍යාපාරය වැඩි වැඩියෙන් හින්දු පාසැල් ගොඩනගමින් ආගමික හැරවීම්වලට ප්‍රතිචාර දක්වන්නට පටන්ගැනීමත් සමග එය මිෂනාරි ව්‍යාපාරයට එරෙහි ප්‍රතිප්‍රහාරයක් කරා මගපෑදිය. යාපනයේ කතෝලිකයන්ද තමන්ගේම පාසල් ආරම්භ කළහ. රජය ද ප්‍රාථමික හා ද්විතයික පාසැල් පවත්වාගෙන ගියේය. මෙය, දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනික අවස්ථා බොහොමයක් උදා කර දෙමින්, ඔවුන්ගේ සාක්‍ෂරතා මට්ටම ඉහළ නංවා ලන්නට හේතුකාරක විය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය මෙම වාතාවරණය සිය වාසියට උපයෝගී කර ගත්තේය. ඔවුහු ලංකාවේ පමණක් නොව, ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුවේ රාජ්‍ය සේවයට ද තවත් දමිලයන් බඳවා ගත්හ. 1948 දී නිදහස ලබා දුන් විට, ජනගහනයෙන් සියයට 15 ක් පමණ සමන්විත කළ දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා තනතුරුවලින් දල වශයෙන් සියයට 60 ක් පමණ දරා සිටි බව කියැවේ. කෙසේ වෙතත්, මේ විසමාකාර තත්වයට දමිලයන්ට දෝෂාරෝපණය කළ හැකිද? අනික් අතට, සිංහල නායකයෝ මෙය දුටුවේ පිළියම් කළ යුතුව ඇති, බ්‍රිතාන්‍යන් සිංහල බහුතරය පාලනය කරන්නට යොදා ගත් වංචනික හසුරුවා ගැනීමේ උපාය මාර්ගයේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙයින් දිවයිනේ සිංහල හා දමිල ජන ප්‍රජාවන් අතර සබඳතාවය තවදුරටත් පිරිහී යෑමකට තුඩු දුන්නේය.

(මතු සම්බන්ධයි)

[1] https://thediplomat.com/2017/06/mounting-religious-violence-in-sri-lanka/

[2] https://www.reuters.com/article/us-sri-lanka-violence-muslims/diplomats-in-sri-lanka-urge-government-action-against-anti-muslim-attacks-idUSKBN18S66P

[3] http://time.com/38179/sri-lanka-tamils-face-torture-violence-sexual-attacks/

[4] https://www.wsws.org/en/articles/2015/02/18/esta-f18.html, and http://dbsjeyaraj.com/dbsj/archives/20339

[5] රාජ්‍ය භාෂා පණත (1956 අංක 33)

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.