20 February, 2025

Blog

2017 ලංකාවට තීරණාත්මක වසරක් වෙනු ඇත

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

2017 වසරේදී ශ්‍රී ලංකාවේ අනාගතය තීන්දු වෙනු ඇත. රට ‘වෙනම බල ප්‍රදේශ’ වලට වෙන් කිරීමට ගෙනවිත් තිබෙන බලය බෙදීමේ පැකේජයත්, ඉන්දීය සේවා සපයන්නන්ට හා සේවකයන්ට ලංකාව විවෘත කරන එට්කා ගිවිසුමත්, හම්බන්තොට වරාය හා වෙනත් රජයේ දේපොල විජාතිකකරණය කිරීමත්, 2017 වසර තුළ ආණ්ඩුව විසින් සිදුකිරීමට නියමිත විනාශකාරී වෙනස්කම් වලින් කිහිපයක් පමණි. මේ සියල්ල එන්නෙ පසුගිය වසර දෙක ඇතුළත සිදු වූ ආර්ථික අවපාලනය, වර්ධන වේගයේ කඩා වැටීම, විදේශ සංචිත බිඳ වැටීම, රුපියලේ අවප්‍රමාණය, බදු වැඩිකිරීම්, පොලී අනුපාත වැඩිවීම, බඩු මිල වැඩිවීම හා පෙර නොවූවිරූ ආකාරයට ජාතික ණය බර වැඩිවීම මධ්‍යයේය.

එජාප විරෝධී, ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තියක් මත පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව එජාප නායකත්වය යටතේ ආණ්ඩුවට එක්වුණු ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ගෙන් ඇතැම් අය දැන් තම හෘද සාක්‍ෂිය සමඟ විශාල පොරබැදීමක් කරන බව මට පෙනේ. අද එම කණ්ඩායම ඒ පැත්තට මේ පැත්තට දෝලනය වේ. බැදුම්කර සිද්ධිය ගැන අර්ජුන මහේන්ද්‍රන්ට දොස් පවරන අතර ඔවුන් අගමැතිවරයා ආරක්‍ෂා කරයි. එජාපය ප්‍රසිද්ධියේ විවේචනය කරන අතර ඔවුන් VAT පනතටත්, අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතටත්, අයවැයටත් පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරයි. ආණ්ඩුවේ සුපිරි ඇමති පනත පරාජය කිරීමට විපක්‍ෂයට සහයෝගය දක්වන අතර, ඔවුන් අනෙක් අතට බලය බෙදීමේ පැකේජයට සහයෝගය දක්වයි. මේ තීරණාත්මක අවස්ථාවේදී අනෙක් සියළුම දේට වඩා, අපේ රටේ අනාගතය ගැන ඔවුන් සිතිය යුතුය.

තමන් සමඟ ආණ්ඩු කරන වෙනත් පක්‍ෂ හා ඇමතිවරුන් ගැන මොන ප්‍රසිද්ධ විවේචනයක් කලත්, ආණ්ඩුවේ ඇමතිකම් දරමින්, ආණ්ඩුව සමඟ වැදගත් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කරන හැමෝම සිටින්නේ ආණ්ඩුව සමඟය. ආණ්ඩුව ගැන කළකිරී සිටින මැති ඇමතිවරුන් ශ්‍රිලනිප ආණ්ඩු පාර්ශවයේ මෙන්ම එජාපයේද සිටි. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් තීන්දු කරන දිනක මේ සියළුම පිරිස්වලට ආණ්ඩු විරෝධී බලවේගයේ දොර විවෘත වෙනු ඇත. එන්න එන්නම පිරිහෙන මේ ආණ්ඩුව යටතේ අපේ රටේ සෛවරී භාවයත්, භෞමික අකණ්ඩත්වයත් 2017 වසරේදී ඉතා අවිනිශ්චිත තත්වයකට පත් වෙනු ඇත. නව වසරේ පළමු සතියේ සිටම එන අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ජනතාවට ශක්තියත්, ධෛරයත් ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.