27 November, 2020

Blog

රටේ සියළු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මෙවර අයවැය කෙරෙහි කාගෙත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්ථා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමගම ආණ්ඩුවේ ඇමතිවරුන් මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ගෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කලේය.

මේ අතරතුර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ලග එන බරපතල ජාතික උවදුරක පෙර නිමිතිය.

පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් දුන් ප්‍ර‍ධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්වත් මේ ප්‍ර‍ධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත. ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සදහනක්වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්ථා හයකි.

අයැවැයේ ගැටළු හරියට විසදන්නෙත් නැතුව ව්‍යවස්ථාව සංශෝධන ගැන කතාකිරීමේ අවස්ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සංශෝධන පිළිබද අනුකමිටු වාර්ථා කියවා බැලූ විටය.

අපේ ව්‍යවස්ථාවේ ‘ඒකීය ස්වභාවය’ නිසා පලාත් සභාවල කටයුතු වලට ‘බාධා’ පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටු වාර්ථාවේ එළිපිට සදහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඇතැම් අනුකමිටු විසින් ‘ඒකීය’ යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීය භාවය අවසන් කිරීම සදහා යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක් පමණක් ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

1. පලාත් ආණ්ඩුකාරවරුන්ගේ සියළු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබිද අනුකමිටුව විසින් යෝජනා කර ඇත. පළාත් සභාවල සම්මත කරන අනපන් වලට අනුමැතිය දීමේ බලය ආණ්ඩුකාරවරයගෙන් ඉවත් කොට පලාත් සභාවේ සභාපතිවරයාට පැවරීමටත්, තමාගේ අනුමැතිය සදහා එවන අණපනත් වලට සංශෝධන යෝජනා කරමින් ආපසු පලාත් සභාවට යැවීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත්, පලාත් සභා අණපනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයාට යොමු කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලයත් අහෝසි කිරීමට යෝජනා වී ඇත. එපමණක්ද නොව ආණ්ඩුකාරවරයා පත් කිරීම මහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කිරීමටත්, ඔහු සැමවිටම මහ ඇමතිවරයාගේ හා පලාත් ඇමති මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියාකල යුතු බවටත් යෝජනා වී ඇත. අපේ බලය බෙදීමේ ක්‍ර‍මය පදනම් වී ඇත්තේ ඉන්දියානු ආකෘතිය මතය. ලංකාවේ පලාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ බලතල සමග සම්පූර්ණයෙන්ම සමගාමී වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් පලාත්සභා හා ප්‍රාන්ත මධ්‍යම ආණ්ඩුව සමග සම්බන්ධ වන්නේ ආණ්ඩුකාර ධූරය හරහාය. ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසිකලහොත් ඉන්දියාවට මෙන්ම ලංකාවටත් ඒකීය රාජ්‍යන් හැටියට පැවතිය නොහැක.

2. මධ්‍යම ආණ්ඩුව මෙන්ම පලාත්සභා වලටත් හෙබවිය හැකි සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමටත් එම බලතල පලාත්සභා වලට දී පලාත්සභා‘වෙනම බලප්‍රදේශ’ බවට පත් කිරීමට යෝජනා වී ඇත. මේ පරමාර්තය මුදුන්පත් කිරීම සදහා මධ්‍යම ආණ්ඩුව යටතේ කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් පලාත් සභා යටතට පත්කල යුතු බවටත්, පලාත් රාජ්‍යසේවා කොමිසම් වලට තම පලාතට අවශ්‍ය රජයේ සේවකයන්ගේ ගණන මහා භාණ්ඩාගාරයේ අනුමැතියට යටත් නොවී ස්වාධීනව තීන්දු කිරීමට බලතල පැවරීමටත් යෝජනා වී ඇත.

3. මධ්‍ය හා පර්යන්තය පිළිබද අනුකමිටුවේ තවත් යෝජනාවක් වන්නේ රජයේ ඉඩම් සම්බන්ධ සියළු බලතල පලාත්සභා වලට පැවරිය යුතු බවයි. ඒ අනුව පලාතක තිබෙන රජයේ ඉඩමක් භාවිතා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුවට පලාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට සිදුවෙනු ඇත. ඉන්දියාවේ නම් මධ්‍යම ආණ්ඩුවට යම් ප්‍රාන්තයක ඇති ඉඩමක් අවශ්‍ය වුවහොත් ප්‍රාන්ත ආණ්ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා එම ඉඩම භාවිතා කිරීමට මධ්‍යම ආණ්ඩුවට සියලු බලතල ඇත.

4. පොලීසිය නීතිය හා සාමය අනුකමිටුව විසින් පොලිස් බලතල පලාත් සභාවලට ලබාදිය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව පොලිස් සේවය ජාතික පොලීසියත්, පලාත් පොලිස් සේවාවන් නවයකටත් බෙදෙනු ඇත. රජයට එරෙහි අපරාධ, රාජ්‍ය දේපල සම්බන්ධ අපරාධ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහි අපරාධ, මැතිවරණ හා මුදල් නෝට්ටු සම්බන්ධ කාරණා සහ ජාත්‍යන්තර අපරාධ ජාතික පොලීසියේ කාර්යභාර්ය වන අතර අනෙක් සියළුම වැඩ කටයුතු එනම් අපරාධ, වංචා, මත්ද්‍ර‍්‍ය, රථවාහන ඇතුළු සියළුම එදිනෙදා පොලිස් කාර්යභාර්යයන් පලාත් පොලිස් සේවාවන් වලට පැවරෙනු ඇත. යම්කිසි විමර්ශනයක් ජාතික පොලීසිය යටතේ පවතින ඒකකයකට මාරුකල හැක්කේ අදාල පලාතේ පොලිස් කොමසාරිස්වරයාගේ එකගතාවය මත පමණි. පලාත් පොලිස් සේවයන් තම තමන්ගේ පුහුණු කටයුතු කරගනු ඇති අතර ඒ ඒ පලාත්වල පොලිස් නිලධාරීන් භාවිතා කරන ගිනි අවි වර්ග හා ගණන තීන්දු කරනු ලබන්නේ පලාත් පොලිස් බලධාරීන්ගේ අනුමැතිය පරිදිය. පලාත් පොලිස් වල වැඩකටයුතු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කිසිදු අධීක්‍ෂණ බලයක් හිමිනොවනු ඇත. පලාත් පොලිස් සේවාවන්වලට සාමාජිකයන් බදවා ගැනීම සදහා භාෂාව හා පදිංචිය පිළිබද නිර්නායකයන් යෙදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පලාත්වල පොලිස් සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලීසියෙන් මෙන්ම සෙසු පලාත්වල පොලිස් සේවාවන් වලින්ද වෙන්වනු ඇත. පලාත් පොලිස් සේවාවන් අතර ස්ථානමාරු සිදු නොවන නිසා උතුරු නැගෙනහිර පොලිස් සේවාවන් හා රටේ සෙසු ප්‍රදේශවල පොලිස් සේවාවන් අතර සම්බන්ධතා නිරායාසයෙන්ම නැති වී යනු ඇත.

5. පොලීසිය නීතිය හා සාමය පිළිබද අනු කමිටුවේ තවත් යෝජනාවක් වන්නේ මාස තුනකට කට වඩා වැඩි කාලයක් එක දිගටම හදිසි නීතීය බලපැවැත්වීමට, එසේ නැතිනම් දින 180 ක් තුළ දින 90 කට වඩා වැඩි කාලයක් හදිසි නීතිය ක්‍රියාත්මක වීමට නම් එවැනි දිගු කිරීමක් පාර්ලිමේන්තුවේ ‘විශේෂ බහුතරයකින්’ සම්මත විය යුතු බවය. එපමණක්ද නොව හදිසි නීති ප්‍ර‍කාශනය මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කොට ඒවා අහෝසි කිරීමට වුවද අධිකරණයට බලය ලබාදීමට යෝජනා වී ඇත. යම්කිසි තත්වයක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද යන කාරණය ගැන තීන්දුවක් ගැනීමට අධිකරණයට හැකියාවක් නැත. මෙය සම්පූර්ණයෙන්ම විධායකයේ බලයක් විය යුතුය. අධිකරණ, ව්‍යවස්ථාදායක, විධායක වශයෙන් බලතල වෙන්කෙරෙන්නේද එක් එක් ක්‍ෂේත්‍ර‍වල කාර්යභාර්යයන් වෙනස් නිසාය. හදිසි නීතිය පිළිබද මෙවන් යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි තත්වයකට රජයට සුදුසු පරිදි ප්‍ර‍තිචාර දැක්වීමට නොහැකිවන ආකාරයට කටයුතු යෙදීමට බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ඒ ආකාරයට බෙලහීන කිරීම ඇතැම් පාර්ශව වල උවමනාව බව ජනතාව දනී.

6. ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එම තනතුරුවලට සුදුස්සන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට යෝජනා කල යුත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සෑදුණු මණ්ඩලයක් විසින් යැයි අධිකරණය පිළිබද අනුකමිටුව යෝජනා කර ඇත. මේ මණ්ඩලය අග්‍ර‍විනිශ්චයකාරවරයා විසින් පත්කල යුතු වන අතර එසේ කිරීමේදී නීතිපතිවරයාගෙන් හා නීතීඥ සංගමයේ සභාපති වරයාගෙන් අදහස් විමසා සිටිය යුතු වෙයි. නීතිඥ සංගමය යනු අතිශයින්ම දේශපාලනීකරණය වූ ආයතනයකි. වරක් මෙහි සභාපතිවරයා හැටියට සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට පසු එම තනතුර දැරෑ පුද්ගලයා මගේ ආණ්ඩුව පෙරලීමට නීතිඥ සංගමයත් භාවිතා කොට යහපාලන ආණ්ඩුවේ ඉහල දේශපාලන පත්වීමක් ලබා ගත්තේය. නීතිඥ සංගමය ලංකාවේ දේශපාලනයට ඍජුවම මැදිහත් වී සිටින විදේශීය බලවතුන්ගෙන් මුදල් හා විශේෂ ගමන් යනාදිය ලබා ගන්නා ආකාරය මාධ්‍යයේ පල වී ඇත. මෙවැනි ආයතනයකට මොනම හේතුවක් යටතේවත් ඉහලම අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බලයක් පැවරිය යුතු නැත. එමෙන්ම තමන්ගේ නඩු අහන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් බලයක් පුද්ගලික නීතිඥයන්ට ලබාදීමෙන් යුක්තිය පසිදලීමේ මුළු යාන්ත්‍ර‍යම දූෂණයට ලක්වී ඒ පිළිබදව මහ ජනතාවගේ විශ්වාසයද බිද වැටීමට ඉඩ ඇත.

7. අධිකරණය පිළිබද අනුකමිටුව විසින් කර ඇති තව චෝදනාවක් වන්නේ රටේ සාමාන්‍ය උසාවි පද්ධතියට පිටින් විනිශ්චයකාරවරුන් හා ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාමය උසාවියක් පිහිටවිය යුතු බවයි. ව්‍යවස්ථාව නිර්වචනය කිරීම, පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම,සම්මත කරන ලද පනත්වල ව්‍යවස්ථානුකූලභාවය තීන්දු කිරීම, මධ්‍යම රජය හා පලාත්සභා අතර ඇතිවන ආරවුල් විභාග කිරීම මේ ව්‍යවස්ථාමය අධිකරණයේ කාර්යභාර්යය වනු ඇත. ව්‍යවස්ථාවට අදාල ප්‍ර‍ශ්නයක් වෙනත් උසාවියක විභාගවන නඩුවකදී පැණ නැගුණහොත් ඒ නඩුව මේ ව්‍යවස්ථාමය උසාවියට යොමු වනු ඇත. වත්මන් ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාව නිර්වචනය කිරීමටත් පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමටත් බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. එහි මොනම වෙනසක්වත් නොවිය යුතු බව මගේ මතයයි. එපමණක්ද නොව මේ ව්‍යවස්ථාමය උසාවියට පත්කෙරෙන විනිශ්චයකාරවරුන් නොවන ‘ව්‍යවස්ථා පිළිබද විශේෂඥයන්’ කවුරුන් විය හැකිද යන්න ගැන බරපතල සැකයන් පැණ නගී. තවද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක ව්‍යවස්ථානුකූලභාවය විභාග කිරීමට කිසිවෙකුටත් බලය නැතිය යන්න අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ මූලධර්මයයි.

8. අළුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී රටේ බලපැවැත්වෙන නීති තවදුරටත් වලංගු වන්නේ ව්‍යවස්ථාවේ වගන්තිවලට එම නීති අනකූල වන්නේ නම් පමණක්ය යන සාමාන්‍ය සිද්ධාන්තය මේ රටේ ඇතැම් ජනකොටස්වලට අදාල පුද්ගලික නීති වලට බලනොපෑ යුතු යැයි මූලික අයිතීන් පිළිබද අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ඇතැම් ජනකොටස්වල පුද්ගලික නීති ව්‍යවස්ථාට පටහැනි වුවත් බලාත්මක වේ. කිසියම්ම හෝ ජනකොටසකගේ පුද්ගලික නීතියකට ව්‍යවස්ථාව හා මූලික අයිතීන් පිළිබද පරිච්ඡේදයටත් ඉහලින් සිටීමට ඉඩදුනහොත් එය අනෙක් ජනකොටස්වලට හිමි නැති වරප්‍ර‍සාදයක් තවත් ජන කොටසකට ලබාදීමක් වනු ඇත. මෙයින් අනවශ්‍ය ජාතික හා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවිය හැකිය.

9. ලංකාවේ නීති ක්‍ර‍මයට අනුව, ආණ්ඩුව අත්සන් කරන විදේශීය ගිවිසුම්වල විධිවිධාන එක්වරම දේශීය නීති පද්ධතියට ඇතුලත් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් එම ගිවිසුමේ වගන්ති අපේ නීතියට ඇතුලත් කරමින් නව නීති සම්මත කරගත යුතු වේ. අලුත් ව්‍යවස්ථාව බලාත්මක වන අවස්ථාවේදී ආණ්ඩව විසින් අත්සන් කොට තිබෙන නමුත් තවම පාර්ලිමේන්තුව විසින් අපේ නීති පද්ධතියට ඇතුලත් කරගෙන නැති සියළුම ගිවිසුම් අලුත් ව්‍යවස්ථාව සම්මත වී අවුරුදු දෙකක් ඉකුත් වූ පසු මෙරටේ නීති පද්ධතිය තුළට ස්වයංක්‍රීයව ඇතුලත් විය යුතු බවට මූලික අයිතීන් පිළිබද කමිටුව නිර්දේශ කර ඇත. මෙය 1998 දී නිසි සොයාබැලීමකින් තොරව අත්සන් කල නමුත්, මෙම ලියවිල්ල නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජිනාවාහි මානව හිමිකම් කමිටුවට යටත් වන බවට පසුව ඇති වූ අවබෝධය නිසා පාර්ලිමේන්තුව විසින් අපේ නීතියට ඇතුලත් නොකර සිටි; සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ප්‍ර‍ඥප්තියේ ‘අතුරු ලියවිල්ල’ පස්සදොරෙන් අපේ නීතියට ඇතුලත් කිරීමට ගන්නා නිරුවත් උත්සාහයකි. ඒ ලියවිල්ල ලංකාවේ බලාත්මක වුවහොත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය විදේශීය අධිකරණයකට යටත් වනවා පමණක් නොව මේ ආකාරයට අවිධිමත් ලෙස විදේශීය ගිවිසුම් ස්වයංක්‍රීයව අපේ නීතියට ඇතුල් වුවහොත් නීති පද්ධතිය තුළ විශාල වියවුලක් ඇති වීමද වැලැක්විය නොහැක.

10. මූලික අයිතීන් පිළබද අනුකමිටුවේ ප්‍ර‍ධානම නිර්දේශයක් වනනේ සිංහල හා දෙමළ භාෂා දෙකම ලංකාවේ රාජ්‍ය භාෂාවන් විය යුතු බවයි. 1957 දී එස්.ජේ.වී.චෙල්වනායගම් කලාප සභා ක්‍ර‍මය ඇති කිරීමට යෝජනා කල අවස්ථාවේදී උතුරු හා නැගෙනහිර පලාත්වල බහුතරයක් දෙමළ බස කථාකරන ජනතාව වාසය කරන නිසා එම කලාප සභා දෙකේ පරිපාලනයේ භාෂාව දෙමළ විය යුතු බවත්, එම ප්‍රදේශවල ජීවත් වෙන සිංහල සුළුතරය වෙනුවෙන් සිංහල භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමට යෝජනා කලේය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් මුළු රටටම ආදේශ කලේද එවැනි ක්‍ර‍මයකි. එනම් සිංහල රාජ්‍ය භාෂාව වන අතර දෙමළ භාෂාව පාවිච්චි කිරීම සදහා සාධාරණ විධිවිධාන යෙදීමයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන අතර දෙමළ, මළයාලම්, බංගලි වැනි භාෂාවන් භාවිතා කිරීම සදහා සාධාරණ විධිවිධාන යොදවා ඇත. දෙරටේම ක්‍රියාත්මක වන මේ සාධාරණ ප්‍ර‍තිපත්තිය අනවශ්‍ය අත්හදාබැලීම් තුළින් විනාශ නොකළ යුතු යැයි ආණ්ඩුවට අවවාද කර සිටීමට මම කැමැත්තෙමි.

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමිකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපති වරණයේදී දුන් ප්‍ර‍ධාන ව්‍යවස්ථාමය පොරොන්දු මුලින්ම ඉටුකල යුතු යැයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සදහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යැවීමට ශ්‍රීලනිප කණ්ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ ‘බෙදීම’ යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතිකවාදී ප්‍ර‍තිරෑපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.

තමන් මේ අවස්ථාවේදී එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුලුල්ලේ දැරෑ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    අනුමාන හරහා දේශපාලනයෙහි කොපමණ කලක් රැදිය හැකිද? එයඅපට අත්දැක ගත හැක්කේ මහින්ද රාජපක්ෂ හරහාය. විජේවීරට විප්ලවයක් සදහා කාලය උදාවන තෙක් සිටිය නොහැකි විය. ඔහු කාලයට පෙර විප්ලවයක් හදාගෙන විනාස විය. රනිල් දේශපාලනයෙහි රැදීම පිණිස ආර්ථිකය පෙන්වමින් සිටියි. එය හරියට නයි පනික්කියා නලාව සහ නයි මල්ල වාගේය. නයි පනික්කියා රනිල්ය. නලාව ඔහුගේ භාව හීන වාචාල දෙඩවීමක් වන කතාවය. මේ දෙක තිබුණාට මල්ලේ නයෙකු නැති නිසා කිසි විටෙක නයා නැටවිය නොහැකි වේ. මහින්ද මහින්ද කරන්නේ නව වසරක් රට පාලනය කොට දැන් රටේ ඒකීය භාවය සදහා ජනතාව රැස් කිරීමය.නව ව්‍යවස්ථාවකින් බුද්ධාගමට හිමි තැන ඉවත් නොකරන බව ඉතා පැහැදිලිය. එහෙත් මහින්ද සහ මහින්ද වෙනුවෙන් පේවීී සිටින චිවරධාරින් ඒකම කියමින් සිටිති. ඒකිය භාවය තවත් එකකි. අවාසනාව මහින්දට අලෙවි කළ කිසිවක් නැතිවීමය. ඔහු සියල්ල විකුණා හමාරය. මාධ්‍ය නිදහස ිවනාස කළේ ඔහුය. අධීකරණය විනාස කළේ ඔහුය. රටේ සහජිවනය විනාස කළේ ඔහුය. අල්ලස වංචදාව දූෂණය රටේ සමතික කළේ ඔහුය. අපි බලා සිටිමු.පිස්සෙකු නිරැවතින් පාරේ යනවිට අනුකම්පා කරනු හැර පල කඩප්පුලියා යයි නොකියති. එය මනුස්සකමය.මේ උසාව ඇත්තේ මහින්දට රටේ මිනිසුන් අනේ අපොයි කියන නිමේෂය යි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.