27 April, 2024

Blog

එට්කා ගිවිසුම හා ව්‍යවස්ථා සංශෝධන ගැන ජනතා මතයට ආණ්ඩුව ගරු කළ යුතුය

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

පසුගිය ඉරිදා රාත්‍රියේ විකාශනය වූ විශේෂ රූපවාහිනී වැඩසටහනකදී කතා කරමින් ඉන්දියාව සමඟ ඇතිකර ගැනීමට යෝජිත එට්කා ගිවිසුම ජනාධිපතිවරයාද අනුමත කළේය. ලංකාවට බරපතල ආනිසංශ ගණනාවක්ම ඇතිකරන මේ ගිවිසුම සම්බන්ධයෙන් තමන් ගන්නා ස්ථාවරය කුමක්දැයි ආණ්ඩුව තුළ සිටින සෑම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයෙකුටම වෙන වෙනම තීන්දු කිරීමට සිදුවනු ඇත. ඉන්දියාව සමඟ සීපා ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ කළේ පරණ ආණ්ඩුව යැයි ජනාධිපතිවරයා කී විට ඉන් අදහස් වූයේ මගේ ආණ්ඩුව නොවේ. සීපා ගිවිසුම සඳහා 2002 සාකච්ඡා ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ යූඑන්පී ආණ්ඩුවයි. මගේ ආණ්ඩුව මේ සාකච්ඡා ඉදිරියට ගෙන නොගියේ සිපා ගිවිසුමට ජනතාව අතරින් එල්ල වූ විරෝධය නිසාය.

දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ අපනයනය සිදුවුවත් ලංකාවෙන් ඉන්දියාවට භාණ්ඩ අපනයනය කිරීමේ දී ප්‍රමාණය සීමා කිරිම, බලපත්‍ර ක්‍රියාපටිපාටි, ප්‍රමිති සහතික පිළිනොගැනීම හා ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩුවලින් බදු පැනවීම වැනි විවිධ බාධා එල්ල වෙයි. ආණ්ඩුවට අප යෝජනා කර සිටින්නේ මේ දෙරට අතර වෙළඳ සම්බන්ධතාවය ඊලඟ අදියරට ගෙනයාමට පෙර පවතින නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටළු විසදිය යුතු බවයි. එට්කා ගිවිසුම යටතේ භාණ්ඩ පමණක් නොව සේවාවන්ද වෙළඳාම් වනු ඇත. නමුත් විවිධ වෘත්තීන් නියාමනයට අදාලව ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් නීති පද්ධතිවල ඇති විෂමතා හේතුවෙන් ඉන්දීය වෘතිකයන්ට ලංකාව විවෘත වන අතර ලාංකීය වෘතිකයන්ට ඉන්දියාවේ දොර වැසෙන තත්වයක් ඇතිවිය හැකි බවට ලංකාවේ වෘතිකයන්ගේ සංගම් දැනටමත් අනතුරු අඟවා ඇත.

දෙරට අතර වෙළඳාම සම්බන්ධයෙන් නොවිසඳුනු ගැටළු ගණනාවක්ම තිබියදී නිශ්චිත වගන්ති සාකච්ඡා කිරීම පසුවට කල් දමා කඩිමුඩියේ “එට්කා රාමුව” නමින් ගිවිසුමකට අත්සන් තැබීම අතිශයින්ම වගකීම් විරහිත ක්‍රියාවක් බව කිව යුතුය. ඉන්දියාව සමඟ මෙවන් ගිවිසුමකට එළඹීම සාධාරණීකරනය කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් අය සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාවේ ගාන්ධි පවුල සමඟ ඇතිකරගෙන තිබූ මිත්‍රකම ගැන ප්‍රසංශාත්මකව කතාකරන අතරම වත්මන් ආණ්ඩුව එවැනි සම්බන්ධතාවයක් මෝඩි අගමැතිවරයා සමඟ පවත්වාගෙන යාමට විරුද්ධ වන බවයි. බණ්ඩාරණායක මැතිනියට මෙන්ම අනුර බණ්ඩාරනායක මහතාටත් රජිව් ගාන්ධි මහතා සමඟ කිට්ටු පුද්ගලික සම්බන්ධතාවයක් තිබුණත් ඔවුන් දෙපලම 1987 ඉන්දු ලංකා සාම ගිවිසුමකට සහයෝගය දැක්වූයේ නැත. මෙවැනි කාරණා වලදි කවුරුත් කටයුතු කල යුත්තේ ජාතික අවශ්‍යතාවය හැමවිටම පෙරදැරි කරගෙනය.

මෙම රූපවාහිනී සාකච්ඡාවේදී ව්‍යවස්ථා සංශෝධන ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට මූලිකත්වය දිය යුතු බවයි. අගමැතිවරයාද දැන් බලය බෙදීම ගැන කතා කරනු අපට ඇසේ. නමුත් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආ ඊනියා යහපාලන ව්‍යාපාරයේ ප්‍රධානම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. දෙවැනියට වැදගත් වූයේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි. එම නිසා මා නැවත වරක් අවධාරණය කර සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් මුල්තැන දී බලතල බෙදීම වැනි මතභේදයට තුඩුදිය හැකි කාරණා පසුව සලකා බැලිය යුතු බවයි. තමන් විසින්ම ගොඩ නැගූ ජනමතයටවත් යහපාලන ආණ්ඩුව ගරු කළ යුතුය යන්න මගේ අදහසයි.

මා විදේශ ණය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මුදල් ඇමතිවරයා අවස්ථා කීපයකදීම මාධ්‍යට අදහස් දක්වමින් මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ වියදම ඩොලර් මිලියන 190 ක් හා ඩොලර් මිලියන 426 ක් හැටියට මා සඳහන් කර තිබුණත් ආණ්ඩුවේ වාර්තා වලට අනුව ඒවායේ සැබෑ වියදම් ඩොලර් මිලියන 210ක් හා 1,300 ක් හැටියට සඳහන් වන බවත් මෙය සැක කටයුතු වෙනසක් බවත් කියා සිටියේය. මත්තල ගුවන්තොටුපළේ මුළු වියදම ඩොලර් මිලියන 210කි. ඒ සඳහා චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 190ක ණයක් ලැබුණු අතර ඉතිරි මුදල ලංකාවේ ආණ්ඩුව විසින් දැරිය යුතු කොටසයි. අපි පසුගිය වතාවේදී කතා කළේ විදෙස් ණය ගැන පමණකි. හම්බන්තොට වරායේ පළමු අදියරේ මුළු වියදම ඩොලර් මිලියන 501 ක් වූ අතර ඉන් 15% ක් වරාය අධිකාරිය ගෙවන ලදී. එවිට විදෙස් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 426ක් පමණ වේ. හම්බන්තොට වරායේ වියදම ඩොලර් මිලියන 1,300ක් යැයි මුදල් ඇමතිවරයා කියන්නේ ඩොලර් මිලියන 808ක වියදමින් 2012 දී ආරම්භ කර තවමත් අවසන් කර නැති දෙවන අදියර ද එකතු කිරීමෙනි.

මා කළින් කියා සිටි ආකාරයටම 2015 මාර්තු සිට වත්මන් ආණ්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 6,361 ක් ණයට ගෙන තිබෙන බව ඇමතිවරුන් දෙදෙනෙක්ම මාධ්‍ය ඉදිරියේ පිළිගත් අතර මේ ණය ගැනීමට සිදු වූයේ මාගේ ආණ්ඩුව විසින් අධික පොළියට ගත් ණය ගෙවා දැමීමට බව කියා සිටියේය. මගේ ආණ්ඩුව විසින් ගත් දිගු කාලීන ව්‍යාපෘති ණය සෑමවිටම පාහේ ලබා ගත්තේ 2% කට හෝ ඊට අඩු පොළියකටය. එම නිසා ඒවා ගෙවීමට ණය ගැනීමට අවශ්‍ය නැත. මීට දින කිහිපයකට පෙර ආණ්ඩුව තවත් සංවර්ධන බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 375 ක් ලබා ගත්තේය. ඊයේ ඉන්දියාවෙන් අනුමත වූ ඩොලර් මිලියන 700 ක මාස තුනෙන් කල් පිරෙන මූල්‍ය ඒකක හුවමාරු ණයත් සමඟ 2015 මාර්තු සිට අද දක්වා මේ ආණ්ඩුව ඩොලර් මිලියන 7,436 ක විදේශ ණය ලබාගෙන තිබේ. ඉන් ඩොලර් මිලියන 3,298 ක් මේ අවුරුද්ද (එනම් 2016) තුළම ගෙවීමට සිදු වේ. ආණ්ඩුව මේ ආකාරයට ණය ගන්නේ කළින් ආණ්ඩුවල ණය ගෙවීමට නොව තමන් විසින්ම කිසිදු වගවිභාගයකින් හා කළමණාකරනයකින් තොරව ගත් කෙටි කාලීන ණය ගෙවා දැමීමටය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.