18 October, 2017

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතකින් මහ බැංකුවේ පාරදෘෂ්‍ය භාවයට වැට බැඳීම

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කෙටුම්පත: මහ බැංකුවේ පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ජනතා බලාපොරොත්තු සුන් වීමක්ද? – දෙවන කොටස

මහ බැංකුව පුරවැසියන්ට වගවිය යුතුය

විනිමය අනුපාතික, විදේශ විනිමය ගනුදෙනු, බැංකු සහ ණය නියාමනය වැනි ක්ෂේත‍්‍ර පිළිබඳ තොරතුරු මේ පනත තුළින් ජනතාවගෙන් ඉවත් කොට තිබීම නිසා, මහ බැංකුව පුරවැසියන්ට ළඟා විය නොහැකි තැනක් බවට පත්කොට ඇත. එම තොරතුරු ජනතාවගෙන් මෙසේ ඉවත් කිරීම පසුපස ඇති තර්කය, දැන් බොහෝ කලකට පෙර ලෝකයේ වෙනත් රටවල් අතහැර දමන ලද්දකි. අද මහ බැංකු ක‍්‍රමය තුළ පිළිගත් මතය වන්නේ, මහ බැංකුවක් ජනතාවගේ මිස දේශපාලඥයන්ගේ නොවන නිසා, මහ බැංකු ජනතාවට වගවිය යුතු බවයි. මහ බැංකු කෙරෙහි ජනතා විශ්වාසය ගොඩනැගෙන්නේ, ඒවා රාජ්‍ය සතු ආයතන නිසා නොව, ඒවා විසින් ගනු ලබන සෑම ක‍්‍රියා මාර්ගයක් සම්බන්ධයෙන්ම වගවීමෙන් බැඳ ගන්නා පාලනමය ව්‍යුහයකට අනුගතව ඕනෑම මහ බැංකුවක් කටයුතු කළ යුතු නිසා ය. මේ ලියුම්කරු, මීට පෙර ලිපියකින් මහ බැංකු ක‍්‍රමයක මූලධර්ම මෙසේ විග‍්‍රහ කොට තිබේ:

‘‘රටවල් විසින් මහ බැංකු ගොඩනගා ඇත්තේ සහ වගකීම් සහිත වෘත්තිකයන්ගෙන් එම බැංකු සමන්විත කොට ඇත්තේ, බලයේ සිටින අයවළුන්ගේ අවශ්‍යතා පරිදි, රටක ආර්ථිකයකට ඔරොත්තු දෙන ප‍්‍රමාණයට වඩා මුදල් නිර්මාණය කිරීමට සහ ඒ හේතුවෙන් එම මුදලේ අගය වෙළඳපොළේ කඩා වැට්ටවීමට නොවේ. තමන්ව තනතුරුවලට පත් කළ දේශපාලනික හාම්පුතුන්ට නොව, මහ බැංකුවක් බිහි කරනු ලබන සමාජයකට සේවය කිරීම තම වගකීම බව මහ බැංකු පාලනය කරන අයවළුන් දැන ගත යුතුය. එම වගකීම වටහා ගැනීමට නොහැකි වුවහොත් සහ ඊට පටහැනිව කටයුතු කළහොත් සිදුවන්නේ, ආර්ථිකයකට ඔරොත්තු නොදෙන තරමේ මුදල් නිර්මාණය කිරීමෙන් එම මුදලේ අගය වෙළඳපොළේ පිරිහෙලීමයි. අවසානයේදී මහ බැංකුව කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ වැටෙන අතර එම මහ බැංකුවේ මුදල් පිළිබඳව ඇති ජනතා විශ්වාසයත් බිඳ වැටෙයි.’’

‘‘මේ නිසා මහ බැංකු කළමණාකරුවන්ගේ පැත්තෙන් සුපිළිපන් භාවය, වෘත්තීයවේදීත්වය සහ යහපාලනික ව්‍යවහාරයන්ට අනුගත වීම වැනි කරුණු, මහජන විශ්වාසය දිනා ගැනීමේ සහ මහ බැංකුවල විශ්වසනීයත්වය ගොඩනගා ගැනීමේ අත්‍යාවශ්‍ය සාධක වන්නේය.’’

මහ බැංකුව ජනතාවට කතා කළ යුතුය

ජනතාව සහ වෙළඳපොළ සමග කතා කිරීම නූතන මහ බැංකුවලින් අපේක්ෂා කෙරේ. අතීතයේදී ඔවුන් අනුගමනය කළ ගුප්ත භාවය සහ රහස්‍ය භාවය තවදුරටත් වලංගු නොවේ. ජිනීවා නුවර පිහිටා ඇති ‘මූල්‍යමය සහ බැංකු කටයුතු අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය’ 2011 දී ‘මහ බැංකු කතා කරන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ නිකුත් කළ ප‍්‍රකාශනයක් තුළ, මහ බැංකු ක‍්‍රමය තුළ අලූතෙන් ඇති වෙමින් තිබෙන ප‍්‍රවණතාව මෙසේ සාරාංශගත කොට තිබේ: ‘‘මහ බැංකු ක්ෂේත‍්‍රයන් තුළ තවදුරටත් රහස්‍ය භාවය යන්න ආප්ත පාඨය නොවේ. දැන් මහ බැංකු කටයුතු කරන්නේ, තමන්ව අවබෝධ කැරැුවීම සඳහා කටයුතු කිරීමටයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, විවෘත භාවය සහ පාරදෘෂ්‍ය භාවය නව ප‍්‍රවණතාව බවට පත්ව තිබේ.’’ එම වාර්තාව තවදුරටත් මෙසේද කියයි: ‘‘පාරදෘෂ්‍ය භාවයේ ඇති වැදගත්කම පදනම් වන්නේ, ප‍්‍රතිපත්තිමය කාර්යක්ෂමතාව මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රීය වගවීම යන කාරණා ද්වය මතයි. මූල්‍ය ප‍්‍රතිපත්ති සම්පේ‍්‍රෂණය සඳහා අත්‍යාවශ්‍ය වෙළඳපොළ අපේක්ෂාවන් වඩාත් සාර්ථක අන්දමින් සැකසීමට මහ බැංකුවකට හැකි වන විට, මූල්‍ය ප‍්‍රතිපත්තියද වඩාත් බල සහිත වන්නේය. පාරදෘෂ්‍ය භාවය සහ වගවීම එකට ගමන් කළ හැක්කේ මහ බැංකුවක ස්වාධීනත්වය සමගයි. පෘථුල බලධාරීත්වයක් ඊට හිමිවන්නේ ඒ අන්‍යොන්‍ය භාවය හරහා ය.’’

මහ බැංකුවක අභ්‍යන්තරික සාකච්ඡුා පවා මහජනතාවට හෙළි කළ යුතුය

මේ නිසා, අද යම් මහ බැංකුවක් ‘රහස්‍ය භාවය’ සහ ‘ගුප්ත භාවය’ සරණ යන්නේ නම්, එය මහ බැංකුවටම සිදු කර ගන්නා අනර්ථයකි. එය තමන් සතු තොරතුරු ස්වේච්ඡුාවෙන්ම හෙළි කළ යුතුය. ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ මහ බැංකු දැන් කාලයක් තිස්සේ අනුගමනය කරන්නේ ඒ පිළිවෙතයි. 2000-2004 කාලය තුළ ලංකාවේ මහ බැංකුව ආරම්භ කළ නවීකරණ ක‍්‍රියාවලිය තුළද, තම සැලසුම් ගැන පුරවැසියන් සහ වෙළඳපොළ දැනුවත්ව තබා ගනු වස්, විවෘත සන්නිවේදන ප‍්‍රතිපත්තිය පිළිගත්තේය. ඊට, සිය ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳ තොරතුරු රාශියක් ජනතාවට සම්පේ‍්‍රෂණය කිරීම ඇතුළත් වෙයි. බැංකුව සාක්ෂාත් කරලීමට උත්සාහ කරන්නේ කුමක්ද, එය කරගන්නේ කෙසේද, එය අසාර්ථක වුවහොත් ඊළඟ ක‍්‍රියාමාර්ග කවරේද ආදිය ඊට ඇතුළත් ය. තමන්ගේ තර්කය සහ හේතුවාචකය ජනතාව ලවා අවබෝධ කරවනු වස්, නූතන මහ බැංකු තමන්ගේ අභ්‍යන්තරික ආවර්ජනා පවා ජනතාවට හෙළි කරයි. උදාහරණයක් වශයෙන්, එංගලන්තයේ මහ බැංකුව ස්වකීය මාසික මූල්‍ය ප‍්‍රතිපත්ති කාරක සභාවෙන් පසු, ඒ පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ප‍්‍රසිද්ධියට පත්කරනු ලැබේ.

මහ බැංකුවලට වඩා වෙළඳපොළවල් කඩිසර ය. හුරුබුහුටි ය.

ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ කෙටුම්පතේ දැක්වෙන පරිදි මහ බැංකුව තමන්ගේ ක‍්‍රියාකාරකම් රහස්‍ය සහ ගුප්ත දේවල් වශයෙන් මහජනතාවගෙන් වසං කරගෙන සිටියොත්, නිසැකවම විවෘත වෙළඳපොළ තමන්ගේම වන සමපේක්ෂණයන්ට (එසේ හෝ මෙසේ විය හැකි යැයි තමන්ම උපකල්පනය කිරීමට) අවතීර්ණ වනු ඇත. එය හානිදායකයි. ඒ මගින් ‘ආර්ථිකයට බරපතල අගතියක් සිදුවිය හැකිය’. තොරතුරු දැන ගැනීමේ කෙටුම්පතකින් වැළැක්වීමට බලන්නේද එවැනි අගතියක්මයි. මේ මොහොතේ ශ‍්‍රී ලංකාව මුහුණදී ඇති විනිමය අනුපාතික ව්‍යාජය ඊට හොඳම නිදසුනකි. ඇමරිකානු ඩොලරයකට රුපියල් 143 ක ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීමට මහ බැංකුව උත්සාහ කෙළේය. වාණිජ බැංකුවලට තත්කාලීන අනුපාතිකයන් නියෝග කිරීමේ අසම්මත ක‍්‍රමවේදයක් ඒ සඳහා යොදා ගන්නා ලදි. එහෙත් මහ බැංකුවට වඩා කාර්යශූර විවෘත වෙළඳපොල එක සතියක ඉදිරි අනුපාතිකයන් තුළින් පවතින අනුපාතිකය අවප‍්‍රමාණය වීමට ඉඩ හැරියේය. ඒ අනුව, ඇමරිකානු ඩොලරයට රුපියල් 147 ක් වන පරිදි රුපියල අවප‍්‍රමාණය විය. ඒ වෙනස, එක සතියක රුපියලේ සහ ඇමරිකානු ඩොලරයේ පොලී අනුපාතික වෙනස තුළ නිරූපණය කෙරුණේ නැත. මේ ආකාරයට, මහ බැංකුව ජනතාවගෙන් තොරතුරු වසං කොට තබා ගත්තත්, වෙනත් මාර්ගවලින් තමන්ට ලැබෙන තොරතුරු මත ස්වකීය විනිශ්චයන් ඇති කරගන්නා විවෘත වෙළඳපොළ හිතුමතේ මෙහෙයවීමට මහ බැංකුව සමත් වන්නේ නැත.

ජෝන් එක්ස්ටර්: වෙළඳපොළ සහ මහ බැංකුව අතරේ ඔට්ටු ඇල්ලීමට ඇතොත් හැම විටකම වෙළඳපොළ පැත්තෙන් ඔට්ටු අල්ලන්න

අනවශ්‍ය මැදිහත් වීම් හරහා වෙළඳපොල ස්ථාවරත්වය පවත්වා ගැනීමට මහ බැංකු ගන්නා අසාර්ථක ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිවිපාක ගැන, ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ ප‍්‍රථම අධිපති ජෝන් එක්ස්ටර් 1988 දී දුන් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කීය: ‘‘මුදල් ගලා යන්නේ වතුර වගේ නිසා, වෙළඳපොල බලවේග බලන්නේ, ගත වන මිනිත්තුවක් ගානේ යම් සමතුලිතතාවක් ස්ථාපනය කර ගැනීමටයි. ඒ අතර ලෝකය පුරා තිබෙන මහ බැංකු බලන්නේ, එය වැළැක්වීම සඳහා මැදිහත් වීමටයි. එවිට අස්ථාවරත්වය රජයයි. වෙළඳපොලවල් අස්ථාවරත්වයට කැමති නැත. එම නිසා අවසානයේදී ජය ගන්නේ වෙළඳපොලයි. ඒ අනුව, වෙළඳපොල පැත්තේ සිට ඔට්ටු අල්ලන්නා කවදත් දිනයි.’’

මහ බැංකුව 3.0 සන්නිවේදන ප‍්‍රතිපත්තියක් ඇති කර ගත යුතුය

තොරතුරු දැන ගැනීමේ කෙටුම්පත හරහා මේ රටේ පුරවැසියාව තල්ලූ කිරීමට බලන්නේ එකී බොරු වළටයි. මහ බැංකුව අද ස්වකීය කැමැත්තෙන්ම තොරතුරු රටට ඉදිරිපත් කරයි. දැන් ඇති කර ගැනීමට යන අලූත් පනතේ ව්‍යතිරේකයන් නිසා මින් මතුවට ඒ තොරතුරු පවා දීමෙන් වැළැකී සිටීමට මහ බැංකුවට පුලූවන. මහ බැංකුවේ වර්තමාන වෙබ් අඩවිය 1.0 එකකි. එනම්, තමන්ගේ ප‍්‍රකාශන ජනතාවට ඉදිරිපත් කිරීමේදී එක දිසාවකට පමණක් යොමු වූවකි. යහපාලනයේ නාමයෙන් දැන් කළ යුතුව ඇත්තේ, 3.0 සන්නිවේදන ප‍්‍රතිපත්තියකට මාරු වන ලෙස මහ බැංකුවට බල කිරීමයි. එනම් මහ බැංකුව සහ රටේ ජනතාව අතර අන්තර්-සන්නිවේදනයක් ඇති කර ගැනීමයි. මේ නිසා මහ බැංකුව සම්බන්ධයෙන් ගත් විට මේ කියන තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කෙටුම්පත වනාහී පියවරක් ඉදිරියට නොව, ආපස්සට යන අවස්ථාවකි.

සංවේදී තොරතුරු පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න ඉන්දියාවෙන් ඉගෙන ගන්න

තොරතුරු දැන ගැනීමේ පනත් සම්බන්ධයෙන් ඉතා විශිෂ්ඨ ගනයේ එකක් වශයෙන් සැළකෙන ඉන්දියානු තොරතුරු පනත තුළ මෙවැනි සීමාවන් නැත. තොරතුරු පනතේ විධිවිධානයන්ට මුළුමණින් යටත් වන ඉන්දියාවේ මහ බැංකුව, තම වෙබ් අඩවිය හරහා තමන්ගේ වැටුප් සහ දීමනා ඇතුලූ සියලූ ක‍්‍රියාකාරකම් ඇතුළත් වාර්තාවක් පළ කොට තිබේ.

මේ මෑතකදී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා බැංකුවේ තොරතුරු ජනතාවට සපයන්නැයි නියෝග කෙළේය. ‘‘පොදුවේ මහ ජනතාවගේත්, තැන්පත්කරුවන්ගේත්, රටේ ආර්ථිකයේ සහ බැංකු ක්ෂේත‍්‍රයේ උවමනා එපාකම් ආරක්ෂා කිරීම මිස තනි තනි බැංකුවේ උවමනා එපාකම් පිරිමැසීම මහ බැංකුවේ වගකීම නොවේ.’’ යැයි අධිකරණය කීවේය. ඇතැම් තොරතුරු හෙළිදරව් කිරීමෙන් රජයේ ආර්ථික අවශ්‍යතාවන්ට අගතියක් විය හැකි බවට මහ බැංකුව ඉදිරිපත් කළ තර්කයත් පදනම් විරහිත තර්කයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කෙළේය. ඒ වෙනුවට, එවැනි තොරතුරු සැපයීමෙන් ජනතාවට සේවයක් සැළසෙන බව කියා සිටියේය.

මේ නිසා, ආර්ථිකමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන්, මහ බැංකුවෙන් ජනතාවට තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය වළකාලන අශෝභන නියෝග ඉවත් කළ යුතුව තිබේ.

*2016 මාර්තු 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු RTI Bill: A Defeat Of Public Aspirations For Transparency In The Central Bank? නැමැති ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.