26 April, 2024

Blog

ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමේ සටන සිවිල් තලයෙන් දේශපාලන තලයට

මහින්ද රත්නායක –

රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ දෙවැනි ධූර කාලය සම්පුර්ණ වීමට වසර දෙකකට මත්තෙන් එනම් ලබන වසර මුල දී ජනාධිපතිවරණක් පැවැත්වීමට සූදානමක් ඇති බවට මාස කිහිපයකට පෙර සිට ම ඉඟි පළ විය. ඉදිරි වසර දෙක තුළ රටේ සමාජ ආර්ථිකය මීටත් වඩා අයහපත් වන හෙයින් දෙවැනි ධූර කාලය සම්පුර්ණවීමෙන් අනතුරුව තෙවැනිවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයගත හැකි ද යන සැකය මෙයට හේතු වූවා විය හැක. ඉල්ලාගෙන කා ගෙදර යනවාට වඩා දෙවැනි ධුරකාලයේ ඉතිරි වසර දෙකත් සමග ඉදිරියට වසර අටක් ජනාධිපති ධූරය දැරීමට නම් හොඳම දෙය වන්නේ ලබන වසර මුල ජනාධිපතිවරණය පැවැත්වීම බව රාජපක්ෂ ජනාධිපතිවරයා කල්පනා කළා ට සැකක් නැත. මේ අතර හිටපු අගවිනිසුරු සරත් සිල්වා ඇට වූ කාල බෝම්බය මේ සැලසුම වෙනස් කරයි ද? එසේ නැති නම් සමහරු කියන ආකාරයට කිසියම් උප්පර වැට්ටියක් සඳහා ජනාධිපති රාජපක්ෂ සරත් සිල්වා ලවා කාල බෝම්බය අටවා ගත්තා ද යන්න අපි නොදනිමු.
ජනපති ක‍්‍රමය ඉවත් කිරීම

Mahinda Rajaඑහෙත් අප දන්නා එක් දෙයක් ඇත. එනම් මේ වසර අග හෝ ලබන වසර මුල ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට ඉඟි පලවීමත් සමඟ ම ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ යුතු බවට හඬක් මතුවීම ය. මෙය අලූත් හඬක් නොවූ නමුත් මෙවර එය කරළියට පැමිණිියේ මාදොළුවාවේ සෝභිත හිමියන් නායකත්වය දරණ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය තුළිණි. ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමේ පොදු අපේක්ෂකයා සෝභිත හිමියන් වී ම ඇතැම් අය අනුමත නොකළේ වී නමුත් සියලූ දෙනාම පාහේ ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ යුතු බවට පක්ෂ වූවෝ වෙති. රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩුකරණයේ දී ලිබරල් අගයන් තුට්ටුවකට මායිම් නොකිරීමෙන් හටගත් පීඩනය හා කම්පනය මෙයට හේතු වූවාට සැක නැත. බුද්ධිමතුන්, නීතිඥයින් කලාකරුවන්, ඇතැම් මාධ්‍යවේදීන් ඇතුළු නම්බුකාර ජීවිතයක් අපේක්ෂා කරන වැඩි පිරිසකට මෙවැනි අසෝබන පාලනයක් නොරිස්සීම පුදුමයක් නොවේ. රටේ දරුවන්ගේ අධ්‍යාපනය වලපල්ලට යමින් ඇති මොහොතක රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුතුන්ට පමණක් නොව හතර වරිගයාටම රට ම බෝල පිට්ටනියක් වන විට මේ සියල්ලට හේතු වී ඇතැයි සිතෙන ජනපති ධුරය ඉවත් කළ යුතු බවට හැඟීමක් ඇති නොවන්නේ කාට ද?

මේ නිසාම මෙතෙක් කල් ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් හොර ගල් අහුලමින් සිටි විපක්ෂ නායකය රනිල් වික‍්‍රමසිංහට ද තමන් බලයට පත් වූ පසු ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන බව පැවසීමට මේ වන විට සිදු වී තිබේ. ඔහු බලයට පත්වුවහොත් එය ඉවත් කරයි ද නැති ද යන්න අනාවැකි කීමට නොහැකි නමුත් අඩුම තරමේ මෙතෙක් කළක් කට නොහැර සිට දැන් එය ඉවත් කරන බව පැවසීමට සිදුවීම ද ජනතාවගේ පැත්තෙන් යම් ජයග‍්‍රහණයකි. ඒ අනුව සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුලූ පිරිස ගත් එම උත්සහාය අපතේ නොගියා වේ.

සටන ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඔබ්බට යෑම

ආණ්ඩුවේ ජනපදනම දෙරන බව දකුණු සහ බස්නාහිර පලාත් ඡුන්ද වලින් සනිටුහන් වූ අතර ඌවේ පලාත් සභා ඡුන්දයෙන් එය නාය යෑමේ සලකුණු පෙන්නුම් කිරීමට පුළුවන. මෙයින් ඇඟවෙන්නේ හුදෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමණක් නොව රාජපක්ෂ ගේ සංවර්ධනයේ ප‍්‍රතිවිපාක ජනතාව ගේ ඇඟට දැනෙන්නට පටන්ගෙන ඇති බව ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා දැන උගත් පිරිස කොළඹ හා නගර ආශ‍්‍රිත ව ගොඩනැගූ සටන එසේ තිබිය දීම පහළ ජන කොටස් තම සමාජ ආර්ථික ප‍්‍රශ්න මුල්කරගෙන සටනට අවතීරණය වන බවයි මෙයින් ඇඟවෙන්නේ. මේ සමඟ ම රාජපක්ෂ පාලනයට එරෙහි සටනේ හැඩ තල වෙනස් වන අතරම එහි නායකත්වය ද සිවිල් සමාජයෙන් දේශපාලන සමාජයට මාරුවෙමින් ඇති බව අප අවබෝධ කරගත යුතු ය. පොදු අපේක්ෂක කථාව යට යන්නෙත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරියට එන්නේ ත් මෙම තතු යටතේ ය. පසු ගිය සතියේ වමේ වේදිකාවෙන් දැක් වූ ලෙසට ඌවේ ඡුන්ද ප‍්‍රතිඵලය මෙහි දි එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක වනු ඇත. ඒ සමඟ ම එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ඇතිව පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දැරූ උත්සහාය අවලංගු වන්නේ ය. විටින් විට පැවැත් වූ ඇල් මැරුණු විරෝධයන් හැරුණු විට වසර ගනනාවක් නිහඩව සිට හැරවුම් ලක්ෂයේ දී කටුව ගැසීම පිළිබඳ ව රනිල් වික‍්‍රමසිංහට ආඩාපාලි කියා ඵලක් නැත. දුර්වල ව හෝ රට පුරා විහිදුණු සමාජ ව්‍යුහයක් නොමැති නම් කිසිදු සිවිල් සංවිධානයකට මෙම අභියෝගය ජය ගන්නට නොහැකි බව කලින් ම තේරුම් ගතහැකිව තිබුණි. ඌවේ ප‍්‍රතිඵලය ලැබෙන තුරු තව දින කිහිපයක් ඉවසිල්ලෙන් බලා සිටිය හැක. කෙසේ නමුත් අප සිතූ දෙසට සටන විතැන් නොවුනත් ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ යුතු ය යන සටන් පාඨය ඉදිරියටත් වලංගු ය. එහෙයින් ඉදිරියේ දී සටන අපගේ පාලනයෙන් තොරවූවත් එය අතහැර දමා ජනතාවට පිටු පා රාජපක්ෂගේ පාලනය තව වසර 8කට ස්ථාපිත කිරීමට දායකවීමට කිසිවෙකුට සදාචාරමය අයිතියක් නැත. එහෙයින් දැන් අප සුදානම් විය යුත්තේ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට සහ එක්සත් ජාතික පක්ෂයට ජනතාවට කොකා පෙන්වීමට ඉඩ නොදීමට ය.

ජනාධිපති ක‍්‍රමය වෙනුවට විධායක අගමැති ක‍්‍රමක් එපා

ගජ මිතුරු ධනවාදය සහ අධිකාරිවාදි පාලනය අතර සබඳතාවයක් ඇතත්, නව ලිබරල් ආර්ථිකය හා අධිකාරිවාදී පාලනය අතර සම්බන්ධයක් නොමැති බව පවසන අය සිටිති. ඒ අනුව නව ලිබරල් ආර්ථිකය ඉදිරියට ගෙන ගියත් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතැමෙකුට තිබේ. ඇතැම් වාමාංශිකයන් ද මේ අතර සිටියන බව අපි දනිමු. කෙසේ නමුත් අපගේ පිළිගැනීමට අනුව හියුගෝ චාවේස් පැවසූ පරිදි නව ලිබරල්වාදය යනු ආර්ථික ක‍්‍රමයක් පමණක් නොව එකිනෙක අංගයන් ඓන්ද්‍රීයව එකට බැදුණු ප‍්‍රපංචයකි ඒ. ආත්මාර්ථය, දුෂණය, කළු සල්ලි, අපරාධ සහ අධිකාරිවාදය යනාදී සංරචකයන් මේ අංගයන්ට අයත් ය. මේ හේතුකොටගෙන නව ලිබරල්වාදය අධිකාරිවාදය කැටුව එන්නේ ය. එම නිසා කොන්දේසි විරහිතව රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු අතරම ජනතාව ගේ අවශ්‍යතාවය ගසා කමින් පාර්ලිමේන්තු ක‍්‍රමය පෙරට දමා විධායක අගමැති ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතු ය. වෙස්මිනිස්ටර් ආකෘතියේ ආණ්ඩු ක‍්‍රමක් එජාපය යෝජනා කරන්නේ නම් පාර්ලිමේන්තුවට වග කියන අගමැත්වරයෙකු ගැන කථා කිරීමේ අවශ්‍යතාවයක් නැත. මක්නිසා ද යත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයේ අනුමැතිය ලබන්නා වන හෙයින් ඔහු පාර්ලිමේන්තුවට වගකීමට බැඳෙන්නේ ය. මේ නිසා වහෙන් ඔරෝ භාෂාවෙන් කියන පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු නොව අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් අතරින් පත්වන අගමැතිවරයෙකු සහිත කැබිනට් ආණ්ඩු ක‍්‍රමයකි. ඉදිරි ජනාධිපතිවරණය දී මේ හඬ ඉදිරියට ගන්නට වේදිකාවක් තනාගන්නේ කෙසේ ද යන ගැටළුව අප ඉදිරියේ ඇත.

ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ වහාම ලිබරල් රාමුවෙන් කැඞී ගිය 72 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මාදිළියේ ව්‍යවස්ථාවක් නොව අඩුම තරමේ ඒකීය නොවූ සහ අනාගාමික වූ සොල්බරී ව්‍යවස්ථාව මාදිලියේ ව්‍යවස්ථාවක් වෙනුවෙන් සියළු දෙනා ම හඩ නැගිය යුතු ය. ඒ සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැඳවීමට බල කළ යුතු අතර අඛණ්ඩ ජනතා ක‍්‍රියාකාරිත්වයකින් තොරව මේවා අත්කරගත නොහැක. අවසාන වශයෙන් ඌවේ ඡුන්ද ප‍්‍රතිඵලය මත ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන සටනේ ඉදිරි ගමන තීරණය වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.