28 March, 2024

Blog

ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ වැදගත්කම​

මංගල සමරවීර

මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය

මංගල සමරවීර – විදේශ කටයුතු අමාත්‍ය

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මැතිතුමනි,
විදේශ කටයුතු, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය
ගරු අජිත් පෙරේරා මැතිතුමනි,
විදේශ කටයුතු, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
චිත්‍රාංගනී වාගීස්වර මැතිනියනි,
මහජන සාමය හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ඩබ්.කේ.චූලානන්ද පෙරේරා මහතාණෙනි,
ආගමන හා විගමන පාලන ජෙනරාල්, එම්.එන්.රණසිංහ මහතාණෙනි
සම්භාවනීය අමුත්තනි,
මිත්‍රවරුනි,

අද දින මෙම අමාත්‍යාංශයේ දී ඔබ සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීම මා ලත් භාග්‍යයක් ලෙස සලකමි.

අද ඔබ අලුත් වාසස්ථාන වශයෙන් ඔබ විසින් තෝරා ගනු ලැබූ රටවලට අමතරව, ඔබේ මුල්ම ජන්ම භූමිය වන ශ්‍රී ලංකාව සමඟ ඔබ පවත්වන සබඳතා විධිමත් ලෙස නැවත අලුත් කරගන්නා අතර යළිත් වරක් මෙරටේ පුරවැසියන් බවට පත්වෙයි.

සංවර්ධනය, ප්‍රතිසන්ධානය, සාමය හා සෞභාග්‍ය කරා ශ්‍රී ලංකාව යන ගමන ඔබේම පමණක් බවට පත්කර ගැනීමට ඔබ විසින් ගනු ලැබ ඇති තීරණය ගැන මම අතිශයින් සතුටට පත්වෙමි.
මෙය, මිලියන එකහමාරක බලවත් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් මෙවැනි පියවරක් ගෙන ඇති විරල අවස්ථාවන්ගෙන් එකකි. ඇත්ත වශයෙන්ම 1987 න් පසුව මෙවැනි අචල කැප කිරීමක් කර ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයින් 34,000 ක් පමණි.

ඇත්ත වශයෙන්ම, ඔබ අතුරෙන් සමහර දෙනෙක් මෙරට පුරවැසි නාමය ලබාගන්නට මෙයට පෙර කැමැත්තක් දක්වමින් සිටි බව අපි දනිමු. එහෙත් පසු ගිය කාලය තුළ දී එම පහසුකම් සීමා කර තිබුණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රජය, ඩයස්පෝරා ප්‍රජාවගේ වටිනාකම අවබෝධ කරගෙන සිටින අතර ඔබ හැම අපේම පුරවැසියන් ලෙස පිළිගනිමු. ඔබ හැමදෙනාම ශ්‍රී ලංකා ධජය විදේශවලට ගෙන යන මේ රටේ පුරවැසියන්ය.

ශ්‍රී ලංකාවේ ප්‍රජා පාලන, ආර්ථික හා සංස්කෘතික දිවිය යන සියලුම අංශවල සහභාගිත්වය ඔබ විසින් අලුත් කරගනු ලබන අතර එය අපි අගේ කොට සලකමු.

ඔබට දායකත්වය ලබාදිය හැකි තවත් බොහෝ දේ තිබෙන අතර ඔබ ලද අත්දැකීම්වලින් අපට ඉගෙන ගත හැකි දේ බොහෝය.

විවිධ දේශපාලන, ආර්ථික හා සමාජයීය පද්ධතීන් පිළිබඳ අත්දැකීම්; විද්‍යාව හා කර්මාන්ත පිළිබඳ උසස්තම පරිචයන් හා ශාස්ත්‍රීය දැනුම හා සංස්කෘතිය පිළිබඳ නවතම අදහස්, සංවර්ධන කටයුතු හා ප්‍රවණතා අපට ලබා දෙන්න.

විශේෂයෙන්ම, වෙනත් පිරිස් විසින් කරන ලද වැරදි ඇතැම්විට ඔබට පෙනී යනවා ඇත. මෙහිදී අප විසින් පිළිගනු ලැබ ඇති දේ අගය කිරීම සඳහා ඔබේ සහාය අපේක්ෂා කරමු.

ඔබ විසින් ඔබේ දෙවන නිජබිම වශයෙන් තෝරා ගනු ලැබ ඇති රටත්, ඩයස්පෝරාවත්, ශ්‍රී ලංකාවත් අතර පවතින සම්බන්ධතා වැදගත් වේ. එක් පාර්ශ්වයකට අයත් වන වාසිය අනෙක් පාර්ශ්වයට අවාසියක් ගෙන දෙන ක්‍රීඩාවක් නොවිය යුතුය. අප සැමට සාමය අවශ්‍යය. අප සැමට අවශ්‍ය වන්නේ සමානත්වය හා සාධාරණත්වය පවතින සමාජයකි. ලෝකයකි.

ශ්‍රී ලංකාව අපේ මාතෘ භූමියයි. නිදහස ලැබීමෙන් පසුව වර්ෂ ගණනාවක් තුළ ජනවර්ග, ආගම්, භාෂා, පංති ආදී වශයෙන් අපි විවිධාකාරයෙන් බෙදී වෙන්වී සිටියෙමු. අපි වේදනාවට පත් වූයෙමු. අපේ රටේ සියලුම ප්‍රදේශවල වැදගත් කොටස් ප්‍රචණ්ඩත්වය නිසා විනාශ විය. අපි ප්‍රචණ්ඩත්වයේ තත්ත්වය මනාව දැක ඇත්තෙමු. චෛතසිකව හා අධ්‍යාත්මිකව එක්සත්වීමට අපට කාලය එළඹ තිබේ. දැනට ශ්‍රී ලංකාවේ වාසය කරන අයත්, රට හැර ගොස් විදේශගතව සිටින ඔබත් යන දෙපිරිසම එක්සත් කළ හැකි පොදු අවකාශය මෙම භූමියයි.

අතීත වැරදි නැවතත් සිදු නොවන බවට අප විසින් තහවුරු කරගත යුතුය. ප්‍රචණ්ඩත්වය නිසා අපගේ දූ දරුවන් අහිමිවීම මේ ජාතියට තවදුරටත් දරාගත නොහැකිය. සංහිඳියාවෙන් හා එකමුතුකමින් යුතු ජාතියක් ලෙස, මෙම රටේ වර්තමාන මෙන්ම අනාගත පරම්පරාවල ද යහපත උදෙසා වූ පොදු අරමුණු ඉටු කර ගැනීමටත්, ශ්‍රී ලංකාවට සියලු ක්ෂේත්‍රයන්හි දී සිය උපරිම ශක්‍යතාවය ළඟා කර ගැනීමටත් හැකිවන පරිදි අපි එක්වන්ව වැඩ කළ යුතුය.

ඔබගේ සහායෙන් හා ඔබගේ සහභාගිත්වයෙන් අප විසින් තනිව කටයුතු කරනවාට වඩා එම අරමුණු වඩාත් ඉක්මණින් හා පහසුවෙන් ඉටු කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.

අප යන මේ ගමන් මග තුළ ඔබට වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. ශ්‍රී ලංකාව හා සත්කාරක රටවල් අතර පාලමක් ලෙස කටයුතු කරන්නේ ඔබයි. ඔබ එකිනෙකා සත්කාරක රටෙහි දී මෙම රට නියෝජනය කරන තානාපතිවරයන් වෙයි. එමෙන්ම විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මිලියන එකහමාරක් පමණ වූ ජනතාවට ද තානාපතිවරයන් වෙයි.

ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව ලෝකයේ විශාලතම, එමෙන්ම බොහෝ කීර්තිමත් ඩයස්පෝරාවන්ගෙන් එකකි.

ඇත්ත වශයෙන්ම, ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයේ (OECD) 2006 දත්තවලට අනුව, ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට අයත් සාමාජික සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙක්ම උගත් වෘත්තිකයෙකි.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නීති සම්පාදකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කළමනාකරුවන් 8000 කට වඩා ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයට (OECD) අයත් වන බව ද එම සංවිධානය ගණන් බලා ඇත.

කෙටියෙන් සඳහන් කළහොත්, වෙහෙස වී වැඩ කරන, කුසලතා පූර්ණ හා වගකීම් දැරිය හැකි පුද්ගලයන්ගෙන් ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමන්විතය. දැඩි උත්සාහය හා බලපෑම් තුලින් ඔවුන් තමන් වාසය කරන රටවල්වලට ධනාත්මක ලෙස දායකත්වය ලබා දී තිබේ.

අපගේ ඩයස්පෝරාව, බොහෝ විදේශ රටවල විද්‍යාව හා තාක්ෂණයේ සංවර්ධනය, යුක්තිය ඉටුකිරීම හා සම්පත් නිෂ්පාදනය සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.

දැන් ශ්‍රී ලංකාව ඔවුන් පිළිගැනීම සඳහා දොරටු විවර කර ඇති හෙයින්, ලංකාවේ සාමය, ප්‍රතිසන්ධානය හා සංවර්ධනය උදෙසා වූ නව ගමනේ පාර්ශ්වකරුවන් බවට පත් වනු වස් නැවත සියරට පැමිණීම මඟින් ඔවුන් අප වෙත සුභවාදී ප්‍රතිචාරය දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

රටේ සංවර්ධනය කඩිනම් කිරීමට හා අපගේ චින්තනය පුළුල් කිරීමට උපකාරී කිරීම පිණිස, වසර ගණනාවක් මුළුල්ලේ ඔවුන් ලබාගෙන ඇති දක්ෂතාවයන් හා කුසලතාවයන් උපයෝගී කරගත හැකි වේ යැයි අපි අපේක්ෂා කරමු.

ගැටුම් පැවති දිගු කාලය පුරාවට සිදුවූ බුද්ධිගලනය ආපසු හැරවීමට අප උත්සාහ දැරිය යුතු අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් වැදගත් කාලසීමාවක් වන මේ කාල පරිච්ඡේදයේ දී මෙම බුද්ධි ප්‍රතිගලනයේ සියලු ප්‍රතිලාභ උපරිමයෙන් ලබාගන්නා බවට තහවුරු කර ගත යුතුය.

ද්විත්ව පුරවැසිභාවය ලත් පුරවැසියන් අප හැම සමීප කළ හැකි ආකාරයෙන් හා අප සැමට එක්ව යළිත් වරක් සංචාරය කිරීමට අවස්ථාව සලසා දිය හැකි ආකාරයට එක් වරප්‍රසාද ලත් පිරිසකි.

දෙලොවම යහපත ඔබට ලැබෙන බව බොහෝ දෙනා පවසති. එහෙත් රටක් වශයෙන් අපට දෙලොවම යහපත සලසා දෙන තත්ත්වයක් ඔබ තුල ඇත.

ඩයස්පෝරාව අතර මෙන්ම ලෝකයේ වඩාත් සංවර්ධිත රටවල නායකයන් හා පුරවැසියන් අතර ඔබ ජීවත්වන්නෙහිය. එහෙත් අපගේ දිවයින සමඟ ද සමීප සබඳතා පවත්වාගෙන යන්නෙහිය.

ඔබගේ දෙමුහුන් අනන්‍යතාවය මගින්, විශ්වසනීය තොරතුරු ලබාදීමට මෙන්ම සංචාරක කර්මාන්තය, වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීමට ද ශ්‍රී ලංකාවට පිවිසුම් දොරටුවක් ලෙස කටයුතු කිරීමට ද ඔබට ඉඩකඩ සලසාලයි.

නමුත්, සියල්ලටම වඩා ශ්‍රී ලංකාවට අවශ්‍යවන්නේ ඔබගේ ලැදියාවයි. නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමෙහි ලා අපගේ ගමන් මගෙහි දී ලෝකය හා ඩයස්පෝරාව ඒ සඳහා අභිප්‍රේරණය කිරීම හා ඒකරාශී කිරීම පිණිස ඔබ දක්වන ලැදියාවයි.

නූතන ශ්‍රී ලාංකීය රාජ්‍යතාන්ත්‍රිකයෙකුට විකුණුම් ශාස්ත්‍ර ඥානය මෙන්ම දේශපාලන ශාස්ත්‍ර ඥානය ද අවශ්‍ය යැයි මගේ පෙර දේශනයක දී මම විග්‍රහ කළෙමි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස විදේශයන්හි දී මෙරට නියෝජනය කරන පුරවැසියන් වශයෙන් තානාපතිවරුන් වන ඔබට ද එය අදාළ වෙයි.

ශ්‍රී ලංකාව සංචාරකයන්ට පාරාදීසයක් පමණක් නොව ආයෝජකයන් සඳහා ද පාරාදීසයක් බවට පත්වෙමින් තිබෙන බව ලෝකයාට ඒත්තු ගැන්වීමේ කාර්යභාරය ඔබ විසින් ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අපගේ කථාව, අප ජාතියේ කථාව පිළිබඳව ඔබ ලොව අන් රටවල් දැනුවත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ගැටුම් හේතුවෙන් අප අත්විඳ ඇති වේදනාව පිළිබඳවත් නැවත බලාපොරොත්තු තැබිය හැකි අප ගමනේ අර්ථාන්විතව ඉදිරියට යා හැකි එකම මාර්ගය ප්‍රජාතන්ත්‍රවාදය බව වටහාගෙන ඒය යළි ස්ථාපිත කිරීම සඳහා දැරූ උත්සාහයන් ගැන ඔවුන්ට පවසන්න.

අප දිවයිනේ සුන්දරත්වය, එහි පෞරාණික ඉතිහාසය, අයෝජකයන්ට ආයෝජන සිදුකිරීමට ඇති ඉඩකඩ, එහි වර්ධනය වී ඇති මානව සම්පත් රටේ පිහිටීම හේතුකොට ලැබී ඇති වාසිදායක තත්ත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න.

මේ සම්බන්ධයෙන් එකම ප්‍රායෝගික පියවරක් අනුගමනය කරන ලෙස අද දින මම ඔබගෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකාව තුළ දී හා පිටතදී ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීමේ පියවර වැඩි දියුණු කිරීම සඳහා පැවති සාකච්ඡාවලින් අනතුරුව දෙමළ ජාතික සන්ධානය හා ගෝලීය දමිළ සංසදය ලන්ඩනයේ දී නිකුත් කළ ප්‍රකාශය ඔබ සියලු දෙනාම දකින්නට ඇති.

ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රජාවන්ට උපකාර කිරීමට ඉදිරිපත්වන විදේශ රටවල සිටින මෙම කණ්ඩායම්වල සහාය අපට ලැබෙමින් පැවතීම පිළිබඳව අපි සත්‍ය වශයෙන්ම සතුටු වෙමු. ඔවුහු අලුතෙන් නිදහස් කළ ඉඩම්වල පවුල් සඳහා නිවාස ඉදිකිරීමට අරමුදල් රැස්කිරීමට විධික්‍රම සොයමින් සිටිති. දීර්ඝ කාලයක් මුළුල්ලේ ගැටුමෙන් දැඩි ලෙස පීඩාවට පත් මෙරටේ ජනතාවට උපකාර කිරීමට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනැංවීමට හා ඔවුන්ගේ ජීවන වෘත්තීන් යළි ස්ථාපිත කිරීමට තම හැකියාවන් යොදාගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ඔවුහු සොයා බලමින් සිටිති.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින කටයුතු සඳහා සම්බන්ධවී කටයුතු කිරීමට හා දායකවීමට ඩයස්පෝරාවේ සාමාජිකයන් දිරිමත් කිරීම සඳහා මෙම වර්ෂය අගභාගයේ දී ඩයස්පෝරා උළෙලක් සංවිධානය කිරීමට මෙම අමාත්‍යාංශය මහත් උනන්දුවක් දක්වයි.

ක්‍රමවත් ආකාරයෙන් වාර්ෂිකව පවත්වන උළෙලක මුහුණුවරක් ගත හැකි ශ්‍රී ලංකාවට එහි ඩයස්පෝරාව මුණ ගස්වන මෙවැනි අංගයක් මගින්, මෙරටේ ජීවත්වන ප්‍රජාවන්ට තම දැනුම, හැකියාව, විශේෂඥභාවය හා කුසලතා තුළින් ප්‍රතිලාභ ලබාගැනීමට හැකිවනු ඇත.

ඔබ දන්නා පරිදි, මෙවැනි උළෙලවල් සංවිධානය කිරීමෙන් ප්‍රතිලාභ ලබා ඇති රටවල් කීපයක් තිබේ. ඉන්දියාව හා අයර්ලන්තය ද මේ අතර වෙයි. ඔබ වැළඳ ගැනීමට හා ඔබ සමඟ කටයුතුවල නියැලීමට නව මාර්ග පිළිබඳව සිතාබැලීම අප වෙහෙසෙන අතරවාරයේ, මෙම ගමන යාමට අප සමඟ එක්වීමේදී නව අදහස්වලින් යුක්ත හා නිර්මාණශීලී වන ලෙස ද මම බැගෑපත්ව ඉල්ලා සිටිමි.

සමහරවිට, ඔබ සත්කාරක රටවල පිහිටි අපගේ තානාපති කාර්යාලවල සහාය ඇතිව, විදේශ රටවල සිටින ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කිරීමට ඔබට උත්සාහ දැරිය හැකිය. අප ජාතියේ ප්‍රගතිය හා සමෘද්ධිය උදෙසා පොදු සාම මාවතක ගමන් කිරීමට ශ්‍රී ලංකාව, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හා ලොව අන් රටවල් ඒකරාශී කරන සංවිධානයක් බිහි කරන්න.

ස්තුතියි.

*විදේශ කටයුතු අමාත්‍ය විසින් ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානොත්සවයේදී කල කථාව 11-06-2015

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.