2 October, 2020

Blog

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව නොව, පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන්න

ලසිල් ද සිල්වා –

අපේ පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දයෙන් සමානුපාතික ක‍්‍රමයට තෝරාගන්නා මන්ත‍්‍රීවරුන් 225 කින් සමන්විත ඒක-මණ්ඩල සභාවකි. මේ සංඛ්‍යාවෙන් 196 දෙනෙකු තෝරා ගැනෙන්නේ සමානුපාතික නියෝජනය ක‍්‍රමය යටතේ ය. තව සමාජිකයන් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවකින් පත්කෙරේ. එම ප‍්‍රමාණය ඒ ඒ දේශපාලන පක්ෂ මහ මැතිවරණයේදී ලබාගන්නා ඡන්ද ප‍්‍රමාණයට සමානුපාතිකව බෙදා හැරේ.

පාර්ලිමේන්තුවේ වර්තමාන සංයුතිය දක්වා පසුගිය කාලයේ මන්ත‍්‍රී සංඛ්‍යාව වරින් වර වෙනස් වී ආ සැටි පහත දැක්වේ.

1833-1931 ව්‍යවස්ථා මණ්ඩලය: සාමාජික සංඛ්‍යාව 49
1931-1947 රාජ්‍ය මන්ත‍්‍රණ සභාව: සාමාජික සංඛ්‍යාව 61
1947-1972 නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය: සාමාජික සංඛ්‍යාව 101
1972-1978 ජාතික රාජ්‍ය සභාව: සාමාජික සංඛ්‍යාව 168
1978-1988 පාර්ලිමේන්තුව: සාමාජික සංඛ්‍යාව 168
1988-අද දක්වා පාර්ලිමේන්තුව: සාමාජික සංඛ්‍යාව 225 (14 වැනි ව්‍යවස්ථා සංශෝධනය)

මැතිවරණ ක‍්‍රමයේ ඇති කළ යුතු වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් සහ සියලූ පක්ෂ නියෝජනය වන සාමාජිකයන් 19 දෙනෙකුගෙන් සමන්විතව 2003 දී පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, 2003 සැප්තැම්බර් 1 වැනි දා පළමු වරට රැුස් විය.

Parlimentමේ තේරීම් කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීම් 300 ක් සිදුවිය. ඒ වන විට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 51 ක් වුවද, මේ අරභයා නිර්දේශ ඉදිරිපත් කෙළේ පක්ෂ 17 ක් පමණි. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස්, කොමියුනිස්ට් පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ලංකා වතු සේවක සංගමය සහ හෙළ උරුමය ඒ ඉදිරියේ කරුණු දැක්වීය. ඊට අමතරව, මැතිවරණ කොමසාරිස්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සහ තවත් ප‍්‍රධාන අමාත්‍යාංශ ගණනාවක රාජ්‍ය නිලධාරීහූ එහිදී සාක්ෂි දුන්හ. නීතිපතිවරයා මේ තේරීම් කාරක සභාවට සහාය විය.

(1) පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයට අදාළ සංශෝධන (2) පාර්ලිමේන්තුවේ සිටිය යුතු මන්ත‍්‍රීන් සංඛ්‍යාව (3) ඡන්දය සඳහා ජාතික හැඳුනුම්පත හඳුන්වා දීම (4) ඡන්දය පාවිච්චි කෙරෙන විද්‍යුත් යන්ත‍්‍ර හඳුන්වා දීම සහ (5) කලබල ඇති වන ඡන්ද පොළවල ඡන්දය අවලංගු කිරීම ආදී ප‍්‍රශ්න ගණනාවක් එහිදී නිසි සැළකිල්ලට ගැනුණු අතර ඊට අදාළ අවසාන වාර්තාවේ වැදගත් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කෙරුණි.

වර්තමාන මැතිවරණ ක‍්‍රමය වෙනුවට, කේවල ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ මිශ‍්‍රණයක් සහිත ඡන්ද ක‍්‍රමයක් හඳුන්වා දීමට එම තේරීම් කාරක සභාවේ බහුතරයක එකඟත්වය ලැබුණි. ඒ අතරේ, සුළු පක්ෂවලට සහ සුළු ජාතික පක්ෂවලට සාධාරණ නියෝජනයක් සහතික වන බවට වගබලා ගැනීමටත්, පවතින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැති බවටත් ඔවුහූ එකඟ වුහ. මේ අවසාන කාරණය සම්බන්ධයෙන් එකී නිගමනයට තේරීම් කාරක සභාව පැමිණියේ. 1987 දී අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුම ප‍්‍රකාරව 1987 නොවැම්බර් 14 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැළකිල්ලට ගැනීමෙනි.

14 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක වුණේ 1988 මැයි 24 වැනි දා ය. ජනාධිපතිවරයාගේ මුක්තියේ පරාසය මේ මගින් පුළුල් කෙරුණු අතර, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව 225 දක්වා වැඩි කරන ලදි. මේ වන විට පළාත් සභාද පිහිටුවා ඇති තත්වය තුළ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව මෙසේ වැඩි කිරීම අනුවණ සහ අනවශ්‍ය දෙයක් වශයෙනුත්, පළාත් සභා ක‍්‍රමය කෙරෙහි දැක්වූ කුඩම්මාගේ සැළකිල්ලක් වශයෙනුත් එදා විවේචනයට ලක්විය. පවතින ආණ්ඩුකරණ ධූරාවලිය තුළ පළාත් සභා යනු, ජාතික සහ ප‍්‍රාදේශීය නියෝජනය අතරමැද පවතින නියෝජන ස්ථරයකි. එය ස්වායත්ත ආයතනයක් වන අතර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප‍්‍රකාරව නීත්‍යානුකූලව පිහිටුවා තිබෙන්නකි. එසේම ඊට බලය ලැබෙන්නේද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් විවිධ පාර්ලිමේන්තු පනත් මගිනි.

දැන් මේ පළාත් සභා මොන තත්වයක් යටතේවත් ආපසු හැරවිය නොහැක. එය තවත් ශක්තිමත් කළ යුතුව ඇති අතර, නිරවුල්ව නියාමනය කළ යුතුව තිබේ. එය සිදු කළ යුත්තේ අවංකවයි.

1987 අංක 42 දරණ පනත සම්මත කර ගැනුණේ, පළාත් සභා සඳහා වන මෙහෙයුම් කාර්ය පරිපාටි නිශ්චිත කරලීමටත්, එතෙක් මධ්‍යම රජය අභ්‍යාස කළ ඇතැම් බලතල පළාත් සභාවලට පවරා දීමට සහ පළාත් සභාවල අධිකාරය යළි සංස්ථාපනය කිරීමටත් බව අපි හොඳින් දනිමු. එසේම, මේ පනතට බරපතල විවේචන එල්ල වීමත් වැදගත් කාරණයකි. එම විවේචනයෙන් කියැවුණේ, එම පනත තුළින් පළාත් ආණ්ඩුකාරයා වෙත පැවරුණු බලතල නිසා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභාවලට පැවරී තිබූ බලතල යටපත් කෙරුණු බවයි. එනිසා පළාත් සභා සංකල්පය යළි වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය කෙරේ.

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි කිරීමේ නව යෝජනාව, ඒ අනුව බැලූ විට, 14 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කළා සේම, නැවතත් මධ්‍යම රජයේ ශක්තිය තර කිරීමක් වීම කණගාටුවට කාරණයකි. රට දැනටමත් තිබෙන්නේ, නිරර්ථක සහ අයෝග්‍ය දේශපාලනික පිලීපැනීම් නිසා ඇති වී තිබෙන අර්බුදයකයි.

ශ‍්‍රී ලංකාවේ රාජ්‍යකරණයේ දත්ත පිළිබඳ විශ්ලේෂණයකදී පෙනී යන එක් වැදගත් කාරණයක් තිබේ. එනම්, ජනගහනයට සමානුපාතිකව ලංකාවේ ජනතාවට දැරීමට සිදුවන මන්තී‍්‍රවරුන්ගේ බර, ඉන්දියාවේ ජනතාවට දැරීමට ඇති මන්ත‍්‍රීවරන්ගේ බර මෙන් 17 ගුණයක් වන බවයි. පවතින පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව යෝජිත 20 වැනි සංශෝධනය පරිදි 255 දක්වා වැඩි කළහොත්, මේ බර ඉන්දියාවේ මෙන් 19 ගුණයක් දක්වා ඉහළ යනු ඇත.

පහත සඳහන් වන්නේ රටවල් කිහිපයක ජනගහනය සහ ඒ රටවල පාර්ලිමේන්තුවේ සංඛ්‍යාවන් ය:

චීනය: ජනගහනය මිලියන 1362- මන්ත‍්‍රී සංඛ්‍යාව 2987
ඉන්දියාව: ජනගහනය මිලියන 1283- මන්ත‍්‍රී සංඛ්‍යාව 545
ඇමරිකාව: ජනගහනය මිලියන 323- මන්ත‍්‍රී සංඛ්‍යාව 435
ඉන්දුනීසියාව: ජනගහනය මිලියන 256- මන්ත‍්‍ර‍්‍රී සංඛ්‍යාව 560
නයිජීරියාව: ජනගහනය මිලියන 184- මන්ත‍්‍රී සංඛ්‍යාව 360
ජපානය: ජනගහනය මිලියන 126- මන්ත‍්‍රී සංඛ්‍යාව 480
ඔස්ටේ‍්‍රලියාව: ජනගහනය මිලියන 23- මන්ත‍්‍රී සංඛ්‍යාව 150
ලංකාව: ජනගහනය මිලියන 22- මන්ත‍්‍රී සංඛ්‍යාව 225

ඉහත සටහන අනුව, අපේ අසල්වැසි ඉන්දියාව පිළිබඳ අපූරු චිත‍්‍රයක් ඇඳ ගත හැක. 2015 ඉන්දියාවේ ජනගහනය මුළු ලෝක ජනගහනයෙන් සියයට 17.5 කි. එතරම් විශාල ජනගහනයක් සඳහා එරට පාර්ලිමේන්තුවේ (ලෝක් සභාවේ) ඉන්නේ මන්ත‍්‍රීවරුන් 545 ක් පමණි. එම සංඛ්‍යාව, ඔවුන්ගේ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පනවා ගත් 1950 වසරේ සිට මේ දක්වා වෙනස් වී නැත.

එසේ තිබියදී, අපේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන් සංඛ්‍යාව 1972 දී 101 සිට 168 දක්වාත්, නැවත වරක් එම ප‍්‍රමාණය 1988 දී 225 දක්වාත් වැඩි කර ගැනීම කණගාටුදායක ය. ඒ වනාහී, සියයට 300 ක වැඩි වීමකි.

අපට වඩා වැඩි ජනගහනයක් ඇති ඔස්ටේ‍්‍රලියාව මන්ත‍්‍රීවරුන් 150 කින් පමණක් එරට පාලනය කර ගැනීම මොන තරම් ආදර්ශමත්ද/. ලංකාව වැනි රටකට 255 ක් වැනි විශාල මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් නඩත්තු කළ නොහේ. මේ නිසා කළ යුතුව ඇත්තේ, බලය බෙදා හැරිම වඩාත් අර්ථවත් කරමින්, පළාත් පාලනය සුළු ජාතීන්ට සහ සුළු ජාතික පක්ෂවලට කරගෙන යා හැකි පරිසරයක් ගොඩනගා දීමයි.

බිම් මට්ටමේ සිට වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් රට පාලනය කිරීම සඳහා සුළු ජාතික ප‍්‍රජාවන් සහභාගි කර ගැනීම අත්‍යාවශ්‍ය කෙරේ. දැනට මධ්‍යම ආණ්ඩුව කෙරෙහි පළාත් සභා බෙහෙවින් පරායත්ත වන බව බොහෝ දෙනා පෙන්වා දෙති. එසේම ඒ සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් සියයට 90 ක්ම වැය වන්නේ පුනරාවර්තන වියදම්, එනම් වැටුප් සහ නඩත්තු කටයුතු ආදිය සඳහා බවත් පෙන්වා දෙති. සංවර්ධනය සඳහා වැය කෙරෙන්නේ සියයට 10 ක් පමණි. තවද, බස්නාහිර පළාත් සභාවේ වැය ශීර්ෂයෙන් මධ්‍යම ආණ්ඩුව සපයන්නේ සියයට 50 ක් පමණක් බවත්, ඉතිරි සියල්ල පළාත් සභාව විසින්ම උපයා ගන්නා බවත් දැනගන්ට තිබේ. ව්‍යවස්ථාමය වශයෙන් පළාත් සභාවකට පත්කර ගත හැක්කේ ඇමතිවරුන් 5 දෙනෙකු පමණි. පාර්ලිමේන්තුවේ සංඛ්‍යාව අඩු කරගත හැකි නම්, මුදල් ඉතිරි කර ගැනීමට පමණක් නොව, කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමටත් එය හේතු විය හැකිය.

එසේ වන හෙයින්, 1972 ට පෙර පැවතියා සේ, සුළු ජාතීන්ට සාධාරණය ඉටු කරනු වස්, බහු-ආසන ඇති කළ යුතුව තිබේ. දේශපාලඥයන්ගේ සංවර්ධනය වෙනුවට, මානව සංවර්ධනය සඳහා වන උපාය මාර්ග සකසා ගැනීමේ හදිසි අවශ්‍යතාව අප හඳුනා ගත යුතුව ඇත. එය පටන්ගත යුත්තේ බිම් මට්ටමිනි. ඒ වූ කලී, ජාති භේදයකින්, ආගම් හෝ කුල භේදයකින් තොරව, තමන්ගේ සැබෑ ශක්‍යතා අත්පත් කර ගැනීම සඳහා වන වාතාවරණයක් ජනතාවට සකසා දීමකි. ඒ සඳහා ඇති එකම ප‍්‍රතිකර්මය වන්නේ, බලය කාර්යක්ෂම ආකාරයෙන් සහ විධිමත්ව බෙදාහැරීම තව තවත් ශක්තිමත් කිරීමයි. ඒ සඳහා පාර්ලිමේන්තුව තවත් තර කළ යුතු නැත. ඇත්ත වශයෙන්ම, අළුතෙන් පත්වූ ජනාධිපතිවරයාට අවශ්‍ය කෙළේද එවැන්නකි. එවැනි යහපාලනයකට අපි ඉත සිතින්ම උරදෙමු.

*2015 මැයි 2 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ“Increase PC members; Not MPs”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.