26 April, 2024

Blog

නව ශ්‍රී ලංකාවක හැඩහුරුව

මංගල සමරවීර

මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය

මංගල සමරවීර – විදේශ කටයුතු අමාත්‍ය

මහ ලේකම් ආචාර්ය හැරල්ඩ් කින්ඩර්මන්ගෙන් ද
විදේශ සබඳතා පිලිබඳ ජර්මානු කවුන්සිලයේ සභිකයන්ගෙන් ද
සම්භාවනීය අමුත්තන්ගෙන් ද
මහත්ම මහත්මීන්ගෙන් ද අවසරයි.

විදේශ සබඳතා පිලිබඳ ජර්මානු කවුන්සිලය වෙත මා අද දින මෙලෙසින් කැඳවීම පිළිබඳ මාගේ ස්තූතිය ඵල කරමි.

වසර 60කට අධික කාලයක් ජර්මනියේ විදේශ ප්‍රතිපත්ති සැකසීමේ ලා ප්‍රමුඛ ජාලය වශයෙන් ඔබ ඉටුකරන කාර්යය පිළිබඳ මා බොහෝඅසා ඇත්තෙමි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වශයෙන් ඔබ රටට පැමිණි ප්‍රථම අවස්ථාවේදීම මෙම ආයතනයට පැමිණීමට හැකිවීම මා ගෞරවයක් කොට සලකන අතර බදාදා දින මාගේ පැමිණීමත් සමඟ මා හට ලැබුණු උණුසුම් ප්‍රතිචාර පිළිබඳ මා ඉමහත් ප්‍රීතියට පතවෙමි.

අද දින මාගේ කථාවේ මාතෘකාව වන්නේ “නව ශ්‍රී ලංකාවක හැඩහුරුව” යන්නයි.

ඔබ සියළු දෙනා දන්නා පරිදි ශ්‍රීලංකාව වනාහි අවුරුදු දහස් ගණනක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන සම්ප්‍රදාය හා සංස්කෘතිය මත පදනම් වූ පොහොසත් ශිෂඨාචාරයකින් හෙබි රටකි.

අප රට නැගෙනහිර – බටහිර හරහා වැටී ඇති ඓතිහාසික මුහුදු මාර්ග මධ්‍යයේ පිහිටි වැදගත් සංදිස්ථානයක් විය.

ජර්මනිය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා සියවස් ගණනාවක් ඈතට දිව යයි.

8 වන සියවසේ මුල් කාලයේ දී, අගරදගුරු, මෑන්ස් හි හාර්බනස් මෝරස් පියතුමා තැප්‍රොබේන් නම් මුතු මැණික් හා අලි ඇතුන්ගෙන් ආඪ්‍ය වූ දිවයිනක් පිළිබඳ ලියා ඇත.

“ලන්දේසි සෙලෝන් හි ජර්මානුවන්” යනුවෙන් තමා ලියූ පොතේ මේජර් රේවන් – හාර්ට් විසින් ලියා ඇත්තේ ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාව පිළිබඳ ලියැවී ඇති වැදගත් ලේඛණ සියල්ල පාහේ ලියා ඇත්තේ ලන්දේසි හමුදා වල සිටි ජර්මානුවන් විසින් බවයි.

1881 තම ශ්‍රී ලංකා සංචාරය පිළීබඳ අදහස් දක්වන ජර්මානු සත්වවේදී අර්නස්ට් හැකල් ශ්‍රී ලංකාව ගැන පවසා ඇත්තේ එය “ආශ්චර්යයේ දිවයින” බවයි.

පළමු ලෝක යුද්ධ සමයේ ශ්‍රී ලංකා ආර්ථිකය තුල වැදගත් ස්ථානයක් හිමිව තිබූ ෆෘදන්බර්ග් සහ සමාගම ජර්මානු ජාතික ෆිලිප් ෆෘදන්බර්ග් විසින් පිහිටුවන ලද්දකි. ෆෘදන්බර්ග් සෙලොන් හි කොන්සල්වරයා වශයෙන් පත්වීම් ලද අයෙකි.

මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා සිංහල භාෂාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යන කරන ලදි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ග්‍රන්ථය වන මහාවංසය ඔහු විසින් පරිවර්තනය කරන ලද අතර එය මෙතෙක් බිහිවූ නිරවද්‍යතාවයෙන් ඉහලම පරිවර්තනය වශයෙන් සැලකේ.

ශ්‍රී ලංකාවට සම්බන්ධ තවත් වැදගත් ජර්මානු චරිතයක් වන්නේ මාරි මියුසියස් හිගින්ස්ය. ඇය විසින් මීට ශතවර්ෂයකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රකට බෞද්ධ බාලිකාවක් ආරම්භ කරන ලදි. මෙම විදුහල ඇය නමින් නම් කර ඇති අතර අදටත් ශ්‍රී ලංකාව තුල ප්‍රධාන පෙලේ බෞද්ධ බාලිකාවක් වශයෙන් පවතී.

මෙවැනි පසුබිමක් තුල මා නව ශ්‍රී ලංකාවක් පිළිබඳ කතාකරනුයේ ඇයි ?

මහත්ම මහත්මීනි,

මා නව ශ්‍රී ලංකාවක් පිළිබඳ කථා කරනුයේ ජනවාරි 8වන දින පැවැති ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව තුල ඇතිවූ වෙනස්කම් සම්බන්ධයෙනි.

ඔබ සියළු දෙනා දන්නා පරිදි, 2009 මැයි 19 වන දින අප රටේ පැවැති 30 අවුරුදු යුද්ධයඅවසන් විය. නමුත් ඉන්පසු උදාවූ කාලය තුල අර්ථවත් ප්‍රතිසංවිධනයක් ඇති කර ගැනීමට අපට නොහැකි විය. 2009 මැයි මාසයෙන් පසු පසුගිය වසර 6 තුල ශ්‍රී ලංකාව ආඥාදායකත්වයේ මාර්ගයක් කරා යොමුවනු දක්නට ලැබිණි. ජර්මනියේ සක්‍රීය පනත බලහත්කාරයෙන් සම්මත කරගත් ආකරයට රාජපක්ෂ මහතා ද සදාකල් බලයේ රැඳී සිටීමට උත්සාහ කලේය. සිවිල් නිදහස සීමාකෙරිනි.අධිකරණය ඇතුළු ආයතනවල ස්වාධීනත්වය අහිමි විය.ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල විය.නීතියේ පාලනය යටපත් කෙරිනි.යහපාලනයක් නොමැති වූ අතර මානව හිමිකම් උල්ලංඝනය විය.

පසුගිය බදාදා දින පැවැති හයවන යුධ සමාප්ති සැමරුමේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කල පරිදි 2009 මැයි මාසයෙන් පසු පසුගිය රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනයේ ලා සැලකිය යුතු ප්‍රගතියක් ලැබුවද දීර්ඝකාලීන යුද්ධයෙන් දුක්විඳි ජනතාවගේ බිඳුනු හදවත් එක් කිරීමට ඔවුන්ට නොහැකි විය.

දීර්ඝකාලීනව සාමය ස්ථාපිත කිරීම, අර්ථවත් ප්‍රතිසංවිධානයක් ඇතිකිරීම සහ නැවත යුද්ධයක් ඇතිවීම වලක්වාගත හැකි පරිදි යුද්ධය ඇතිකරන හේතූන් වලට ප්‍රතිකර්ම යෙදීමට අප අපොහොසත් වුනෙමු. ආගම, ජාතිය වශයෙන් විවිධ‍ බෙදීම් ඇතිකරගන්නට යෙදුනෙමු.

නිදහසේ කථාකිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කෙරුනු අතර බිය හා සැකය විසින් සමාජය වෙලාගන්නා ලදි.

දිගුකලක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව අතර වැදගත් ස්ථානයක් හිමිකරගන සිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග සුහදව කටයුතු කිරීමේ විදේශ ප්‍රතිපත්තියෙන් බැහැරව ලෝකයෙන් වෙන්වූ හුදෙකලා මාවතක ගමන් කරන්නට යෙදිනි.

මෙවන් අසහනකාරී තත්වයක් තුල විපක්ෂයේ කොටස්කරුවන් එක්ව ඊට එරෙහිව නැගී සිටි අතර මෙම නැගිටීම මා දේදුනු විප්ලවය වශයෙන් හැඳින්වීමට කැමැත්තෙමි. විපක්ෂයේ සියළු දෙනා එක්ව, වෙනසක් ඉල්ලූ ජනහඩට සවන්දෙමින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයකු වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරවීය.

බෙහෙවින් දෝෂ සහගත වූ සහ පක්ෂග්‍රාහී වූ මැතිවරණ ව්‍යාපාරයක් තුල විපක්ෂයේ දේදුනු සංධානය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ‍සංශෝධනයක් පිළිබඳ ජනතාවට පොරොන්දුවක් ලබාදෙමින් ජනවාරි 8වන දින තීරණාත්මක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

ආසියාවේ පැරණිතම ප්‍රජාතාන්ත්‍රික රට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ආසියානු ක්‍රමයට යමින් ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඒකාධිපතිත්වය පරදවන ලදි. අරාබි වසන්තයේ මෙන් ගල්, මුල්, වෙඩි උණ්ඩ වලින් නොව ශ්‍රී ලංකාවේ දේදුනු විප්ලවය ජන්ද බලයෙන් ජයග්‍රහණය ලැබීය.

81% කට වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් ජනවාරි 8වන දින නිහඬව, සාමකාමීව හා තීරණාත්මකව තම ඡන්ද බලය භාවිතා කලහ. (මෙය මා සිතන ආකාරයට නිදහස ලැබීමෙන් පසු මෙතෙක් වාර්තාගත ඉහලම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වේ)

ජාත්‍යන්තර සබඳතා පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසක් වශයෙන් ජනවාරි 8වන දින පැවති ජනාධිපතිවරණයෙන් පසු අප රටේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව ඔබ සියළු දෙනා දැනුවත් විය යුතුය.

මෙම සරල ක්‍රියාවෙන් ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙන ඉතා වැදගත් පණිවිඩ කිහිපයකි. ඒවා නම්,

· ප්‍රජාතනත්‍රවාදය පිළිබඳ තමා තුල ඇති විශ්වාසය තහවුරු කරමින් මැතිවරණය ඒ සඳහා භාවිතා කල හැකි ප්‍රබල අවියක් බව ඔප්පු කරන ලදි.

· රට වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තුව යහපාලනය, නීතියේ ආධිපත්‍යය, ප්‍රබල ප්‍රජාතාන්ත්‍රික ආයතන, ප්‍රතිසංවිධානය, තිරසාර ආර්ථික සංවර්ධනය, සාමය ස්ථාපනය කිරීම මෙන්ම ඒ හැමටම වඩා බෙදුම්වාදයෙන් තොර නව දේශපාලන සම්ප්‍රදායක් බිහිකිරීම සඳහා කැපවූ නායකයෙක් පත්කිරීම බව ඔවුන් විසින් ලොවට පෙන්වා දෙන ලදි.

· එමෙන්ම මෙම මැතිවරණය හරහා ඔවුන් පාලකයන් විසින් පිලිපැදිය යුතු ප්‍රතිපත්ති මොනවාදැයි යන්න ද පෙන්වා දුන්හ. දඬුවම් නොලැබ බේරී යා හැකි දූෂිත පාලනයක් පරදවා, තමා විසින් පත්කරන දේශපාලනඥයන් හා නිලධාරීන් ඔවුන් විසින් සිදුකරනු ලබන සෑම ක්‍රියාවක් සඳහාම වගකියන පිරිසක් බවට පත්වීමේ අවශ්‍යතාව‍ය පෙන්වා දුන්හ.

ඒ අනුව ජනවාරි 8වනදායින් පසුව නැවතත් ශ්‍රී ලංකාව නිවැරදි හේතූන් සඳහා ලෝකයේ අවධානය දිනාගන්නා රටක් බවට පත්ව ඇත.

ඇත්තෙන්ම මෙම වෙනස හරහා නව රජය තමන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබඳ බරපතල වගකීමකට බැඳී සිටී. මේ පිළිබඳ ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු සමස්ත රජය හොඳින් අවබෝධ කරගෙන සිටී.

ඉතිහාසයේ පළමු වතාවට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය වැදගත් ජාතික අපේකෂාවන් සාක්ෂාත් කරගැනීම උදෙසා එක්ව කටයුතු කිරීමේ සම්මුතියකට එළ‍ඹ සිටී.

මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනපතිතුමන් විසින් සභාපතීත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වයට පත් වූයේය. ශ්‍රී ලංකාවේ කටයුතු පිළබඳ ‍උනන්දු වන අයට මෙය තරමක අමුතු අත්දැකීමක් වුවත් මෙම ක්‍රියාව හරහා නව ජනපතිතුමාට මෙන්ම රජයට ද පාර්ලමේන්තුවේ බහුතර බලයක් පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාගැනීමට හැකි විය.

විවිධ මත දරන පිරිසක් සමග එක්ව කටයුතු කිරීම නව රජයට අළුත් අත්දැකීමක් වන අතර ඒ අනුව සම්මුතීන් ගොඩනගාගනිමින් ප්‍රවේශම්කාරීව හා කල්පනාකාරීව ඉදිරියට යා යුතුය.

ජනවාරි 8වන දින ජනතාව විසින් අනුමත කරන ලද රජයේ දින 100 වැඩපිළිවෙළ මගින් පොරෙන්දු වූ පරිදි පසුගිය මාස 4ක කාලය තුල රටක් වශයෙන් ඉතා වැදගත් ජයග්‍රහණ රැසක් ලබාගැනීමට අපට හැකිවිය. මෙයින් ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ පාර්ලිමේන්තුව තුල වැදගත් නීති පැනවීම හා ජාතිය විසින් මුහුණ දුන් අමිහිරි අතදැකීම් වල මතකය ඉවත්කර ජනතාවගේ සිත් සුවපත් කිරීමට ක්‍රියා කිරීමයි.

ජනතාව අමතමින් කල ප්‍රකාශ සියල්ලකම පාහේ නව ජනපතිතුමන් විසින් අවධාරණය කරන ලද කාරණයක් වූයේ අප ජාතියේ තිරසාර ප්‍රගතිය සඳහා බලපාන එකම විසඳුම නම් අර්ථවත් ප්‍රතිසංවිධානයක් ඇතිකිරීම බවයි.

මෛත්‍රිපාල සිරිසෙන ජනපතිතුමා ප්‍රමුඛ රජය විවිධත්වය, විවෘතභාවය, අන් අය හා ඔවුන්ගේ වෙනස්කම් පිලිගන්නා නව රටක් ගොඩනැගීම සඳහා කැපවී සිටින අතර රටේ සංවර්ධනයේ දී කිසිදු පාර්ශවයක් හට අසාධාරණයක් නොවීමට ද වගබලා ගන්නවා ඇත.

නව ශ්‍රී ලංකාවක හැඩහුරුව, ප්‍රතිසංවිධානය වූ, ප්‍රජාතන්ත්‍රවාදී, සමෘද්ධිමත්, තමන් සමඟ මෙන්ම සමස්ත ලොකය සමඟද සාමකාමීව කටයුතු කල හැකි එක්සත් රටක් ගොඩනැගීම කෙරේ පදනම්ව ඇත. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් වැදගත් ජාත්‍යන්තර කටයුතු වලදී තම ක්‍රියාකාරී දායකත්වය ලබා දීම ද මෙහිදී අපේක්ෂිතය.

යුද්ධය නිමාකිරිමේ 6වන සංවත්සරය සපිරුණු අවස්ථාවේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේ සංවර්ධනය හා ප්‍රතිසංවිධානය ඇතිකිරීම රජයේ ප්‍රධාන අරමුණු දෙක වන අතර මෙය වනාහි මින් ඉදිරියට රටේ ජනතාව හා සන්නද්ධ හමුදා විසින් දෛනිකව තමන් විසින් තම රටට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් ඉටුකිරීමේ දී සිත්හි තබාගත යුතු කාරණයක් වන බවයි. ඔහු විසින් මෙහිලා අවධාරණය කරන ලද කාරණයක් වනුයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය, සත්‍යය සෙවීම, සාධාරණය, බිය හා සැකය නැතිකිරීම හා ජාතීන් අතර විශ්වාසය ගොඩනැංවීම සඳහා ඉලක්ක විය යුතු බවත්, විනාශ වුනු යටිතල පහසුකම් නැවත ගොඩනැංවියයුතු බවත්ය. ඉදිරියේ දී මෙම දිනය සියළු දෙනා විසින් සුහුණ දුන් වේදනාකාරී තත්වය සිහිපත්කිරීමටත් එම වේදනාව ඇතිකල හේතූන් පිළිබඳ සිහිකිරීමටත් පමණක් යොදාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

යුද්ධය නිමා කිරීමේ 6වන සංවත්සරයේ දී අවධාරණය කෙරුණු ප්‍රතිසංවිධානය හා සංවර්ධනය යන අරමුණු දෙක සමඟ යුද්ධය නිසා දිවි අහිමි වූ සියළු දෙනා සිහිපත් කරමින් නැවත කිසි දිනක අප රට එවන් තත්වයකට පත් නොකිරීමට වගබලා ගන්නා බවට සපත කරමින් නිදහස් දිනය දා (පෙබරවාරි 04) ප්‍රකාශයට පත්වූ සාමයේ ප්‍රකාශය ක්‍රියාවට නැංවීමටද අපේක්ෂිතය.

පසුගිය කාලය තුල අනුගමනය කල විජයග්‍රාහී පිළිවෙතින් බැහැරව ශ්‍රී ලාංකිකයන් හට යුද්ධයේ ශෝකාකූල මතකය අවධි කිරීමේ නිදහස දැන් හිමි වී ඇත. යුද්ධ‍ය නිසා දිවි අහිමි වූවන් හා විපතට පත්වූවන් පිළිබඳ නිදහසේ ශෝක වීමට අවස්ථාව හිමි වී ඇත. මෙහිලා නව රජය හා ජනතාව විසින් හොඳින් තේරුම් ගත් කරුණක් වන්නේ කෙදිනකවත් යුද්ධයකින් ජයග්‍රහණයක් ලැබිය නොහැකි බවයි. එබැවින් යලි යුද්ධයක් ඇති නොවීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට මෙම රජය කැපවී සිටී. අතීතයෙන් පාඩම් උගෙන අනාගතයේ සාර්ථකත්වය කරා ගමන් කිරීමට ජර්මනියෙන් ලබා දී ඇති පාඩම අනුගමනය කිරීමට අපි ද කැමැත්තෙමු.

අර්ථවත් ප්‍රතිසංවිධානයක් සඳහා සැලකියයුතු කාලයක් ගතවනු ඇති වුවත් එය රටේ ප්‍රගතිය සඳහා බලපාන අත්‍යවශය කාරණයක් වේ. මෙම අවශ්‍යතාවය හඳුනාගනිමින් රජය විසින් වැඩ භාර ගැනීමෙන් පසු ඉතාමත් ඉක්මනින් පෙර ගැටුම් පැවැති උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල සිවිල් පරිපාලනය සඳහා හිටපු ජ්‍යේෂ්ඨ සිවිල් සේවකයන් දෙදෙනෙක් ආණ්ඩුකාරවරුන් වශයෙන් පත්කරන ලදි. මෙම තනතුරු මීට පෙර දරන ලද්දේ හමුදා නිලධාරීන් විසිනි.

මෙම පියවරත් සමග මෙම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා හා දුක්ගැනවිලි පිළිබඳ කටයුතු කිරීම සඳහා අමතර පියවර රැසක් ගන්නා ලදි. ‍ඉඩම් හිමිකම් නමැති ඉතා සංවේදී කාරණය සඳහා විසඳුම් සෙවීම ද මීට අයත් වේ.

උතුරු පළාතේ අධි ආරක්ෂිත කලාප හොඳින් නිරීක්ෂණය කර පුද්ගලයන් සතු ඉඩම් නැවත ලබා දීම සිදුවෙමින් පවතී. මාර්තු 23 වන දින අක්කර 430ක භූමි ප්‍රමාණයක් මෙසේ නිදහස් කෙරුණු අතර තවත් අක්කර 570 ක් අප්‍රේල් 10 වන දින නිදහස් කෙරිනි. නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 818ක් නිදහස් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කලත් එය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාටිකරණ නියෝගයක් ලබා දී ඇත. මෙම අත්හිටුවීම් නියෝගය ඉවත් කෙරුණු වහාම එම ඉඩම් ද ඉදිරියේ දී නිදිහස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුවනු ඇත.

· පුද්ගලයන් හට උතුරේ සංචාරය කිරීම සඳහා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ඇත

· සිවිල් කටයුතු වලදී හමුදා මැදිහත්වීම ඉවත් කර ඇත

· අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්ගේ නැවත පදිංචි කිරීම හා සම්බන්ධ කටයුතු UNHCR ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වල උපදේශකත්වය යටතේ සිදුවේ

· ප්‍රතිසංවිධානය හා උතුරු පළාත් සභාවේ ධාරිතා වර්ධනය ආදී ප්‍රතිසංවිධාන ව්‍යාපෘති සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදලේ තාක්ෂණික දැනුම හා සහාය ලබාගැනීම සඳහා රජය විසින් අවශ්‍ය පියවර ගනිමින් පවතී

· පිටරටවල ජීවත්වන සියළු ශ්‍රී ලාංකික සරණාගතයන් හට ස්වේච්ඡා පදනම මත නැවත මෙරටට පැමිණීමට අවසර දී තිබේ. දකුණු ඉන්දියාවේ සිට දැනටමත් සරණාගතයන් පැමිණෙමින් සිටිති.

· ජනමාධ්‍ය නිදහස සුරැකීමේ තම ප්‍රතිඥාව අනුව යමින් මාධ්‍යවේදීන් සඳහා පනවා තිබූ සියළු තහනම් ඉවත් කර තිබේ.

· ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති ඕනෑම විදෙස් ජනමාධ්‍යවේදියකුට ඒ සඳහා නිදහස ලබා දී ඇති අතර බියෙන් හා සැකයෙන් තොරව රටේ ඕනෑම තැනකට යාමට හා රටේ ඕනෑම තැනක සිට වාර්තා කිරීමට නිදහස තිබේ.

· අවහිර කර තිබූ සියළු පුවත් වෙබ් අඩවි වල තහනම නව රජය පත්වී දින කිහිපයක් තුල ඉවත් කෙරිනි.

· රටින් පිටවී සිටින සියළු මාධ්‍යවේදීන්ට නැවත මෙරටට පැමිණීම සඳහා විවෘත ආරාධනයක් කෙරිනි.

· අප්‍රේල් 28 වන දින සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු ලබාගැනීමේ අයිතිය මූලික අයිතියක් බවට පත් කෙරිනි.

· සිවිල් සමාජය හා මානව හිමිකම් ක්‍රියාකාරීන් සමග සමීපව කටයතු කිරීමේ හැකියාව තහවුරු කරමින් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශයේ අධික්ෂණයෙන් ඉවත් කර ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පත් කරන ලදි.

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමේ ලා රජය විසින් පසුගිය මාස 4 තුල ක්‍රියාවට නැංවූ වැදගත්ම නිතිමය කටයුත්ත වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි.

මෙමගින් විධායක ජනපතිධුරයේ බලතල වැඩිකිරීම සඳහා සිදුකරන ලද මතභේදාත්මක 18 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කෙරිනි.

19 වන සංශෝධනය මගින් වැදගත් කොමිෂන් සභා වලට ස්වාධින ලෙද පත්කිරීම් සිදුකිරීම සඳහා නැවතත් අවස්ථාව හිමිවිය. මෙම සංශෝධනය පරිදි ව්‍යවස්ථාදා‍යක සභාවක් කඩිනමින් ස්ථාපිත කෙරෙනු ඇති අතර එමගින් ස්වාධීන අධිකරණ සේවා, ජාතික පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන හා ජාතික මානව හිමිකම් කොමිෂන් සභා ස්ථාපිත කෙරෙනු ඇත.

18 වන සංශෝධනයෙන් වැඩිකෙරුනු විධායක ජනාධිපතිධුරයට පත්විය හැකි වාර ගණන නැවතත් උපරිම වාර 2ක දක්වා පහත හෙලිනි. ජනපති මෙත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් වසර 6ක ධුර කාල සීමාව ද 5ක් දක්වා අඩු විය.

සියළු දෙනාගේ එකඟත්වයෙන් විපක්ෂව එක් ජන්දයක් පමණක් ලබමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වීම අප රටේ ජනතාව විසින් ලබාගත් දැවැන්ත ජයග්‍රහණයක් වශයෙන් හැඳින්විය හැකිය.

මෙම සංශෝධනය සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් වන අතර ඒ වෙනුවෙන් එක්ව කටයුතු කල පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාම අප රටේ නව දේශපාලන සංස්කෘතියක පෙරගමන්කරුවන් වූහ. මහ මැතිවරණයෙන් පසුව ද රටේ දීර්ඝකාලීන ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය වන වැදගත් ප්‍රතිපත්ති සැකසීමේ ලා ප්‍රධාන පක්ෂ දෙක මෙලෙසින් එක්ව කටයුතු කරනු දැකීම අපගේ බලාපෙරොත්තුවයි.

මෙතෙක් කලක් ක්‍රියාවට නැංවීම ප්‍රමාද වෙමින් පැවති වින්දිතයන් හා සාක්ෂිකරුවන් සඳහා සහයෝගය හා ආරක්ෂාව සැලසීමේ පනත සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් පෙබරවාරි මස දී සම්මත විය.

ඇතැම් රැඳවියන් දැනටමත් නිදහස් කර ඇති අතර රඳවාගන සිටින සියළු පුද්ගලයන් පිළිබඳ සමාලෝචනයක් සිදුවෙමින් පවතී. මෙම ක්‍රියාවලිය ICRC හි සොලිසිටර් ජෙනරාල්වරයාගේ සමීප අධීකෂණය යටතේ සිදුවේ.

ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ දී සහ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ දී රටින් පිට ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සහයෝගය ජාති භේදයකින් තොරව ලබාගැනීමේ වැදගත්කම අප විසින් වටහා ගෙන ඇත. අප රටේ ප්‍රගතිය උදෙසා ඔවුන්ගේ අර්ථවත් මෙන්ම සාධනීය දායකත්වය ලබාදෙන මෙන් අප ඔවුන්ට විවෘත ආරාධනයක් කරමු.

පසුගිය දශකය තුල සිදුවූ මහා පරිමාණයේ වංචා, දූෂණ හා විෂමාචාර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ද රජය කටයුතු කරමින් සිටී. මේවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග හා ව්‍යවස්ථාපිත කටයුතු සිදුවෙමින් පවතී. මේ හරහා සියළු දෙනාගේ යහපත උදෙසා යහපාලනයේ අවශ්‍යතාවය ජනතාව විසින් වටහාගැනීම අපේක්ෂා කෙරේ. සංවර්ධනය සඳහා වෙන්කෙරෙන දේශීය මෙන්ම විදේශීය අරමුදල් ද එම කාර්යය සඳහාම යෙදවෙන බවට තහවුරු කිරීමත් එම කාර්යයන් වඩාත් විනිවිධභාවයෙන් යුතුව සිදුකිරීමත් රජයේ අපේක්ෂාවයි. සියළු ක්‍රියාවන්හි දී අදාල නිවැරදි ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීම අපගේ බලාපොරොත්තුවයි.

නව ශ්‍රී ලංකාවත හැඩහුරුව තුල, විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත් භූමිකාවක් හොබවනු ඇත. වසර දහස් ගණනක අපගේ ප්‍රෞඨ ඉතිහාසය තුල ශ්‍රී ලංකාව සැම විටම ලෝකය සමඟ සුහදශීලිව සම්බන්ධතා ගොඩනගාගත් රාජ්‍යයක් වශයෙන් ප්‍රචලිතය. ඉතිහාසය පුරාවටම අප දිවයිනට පැමිණි සංචාරකයන් උණුසුම් ලෙස පිලිගනිමින් ඔවුන්ට ආගන්තුක සත්කාර කිරීම තුලින් අප රට ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනා ඇත.

අපගේ විදේශ ප්‍රතිපත්තිය සැකසීමේ දී සුළු පිරිසකගේ මනෝමතවාදයන්ට යටනොවූ එහෙත් සියළු දෙනාගේ අවශ්‍යතාවයන් මත පාදක වූ ආකාරයට සැකසීම ඉතා වැදගත් වන බව අපේ අදහසයි.

ජාත්‍යන්තරය තුල වගකිවයුතු රටක් වශයෙන් අප රටේ ප්‍රතිරූපය ගොඩනැගීම කෙරේ යලිත් අපගේ අවධානය යොමු වී ඇත.

නිදහසෙන් පසු බොහෝ කලක් දක්වා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තරය තුල ඉතා වැදගත් සාමාජිකයකු වශයෙන් කටයුතු කර ඇත.

මීට වසර 60කට පෙර 1955 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්ති සැකසීම ඇතුළු එම සංවිධානයේ වැදගත් ක්‍රියාවලීන් සඳහා තම ක්‍රියාකාරී දායකත්වය ලබා දී ඇත. එමෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීතිය පිළිබඳ සමුළුව ඇතුළු වැදගත් සමුළුන්හි සභාපතීත්වය දරමින් මහා මණ්ඩලයේ හා ආරක්ෂක මණ්ඩලයේ ද සභාපතීත්වය දරා ඇත. වෙළදාම මත යැපෙන කුඩා දිවයින් රාජ්‍යයක් වශයෙන් ජාත්‍යන්තර නීතිය අපට ඉතා ප්‍රයෝජනවත් වී ඇති අතර එය සුරැකීමට හා වර්ධනයට අප කැපවී සිටිමු.

නමුත් පසුගිය කාලය තුල මෙම සාම්ප්‍රදායික භුමිකාවෙන් බැහැරව එක්සත් ජාතීන් සමඟ පමණක් නොව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව සමඟම කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව පසමිතුරු පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබිණි. සහභාගීත්ව ප්‍රෙව්ශයෙන් බැහැරව සම්මුතීන් තනන්නකුගේ සිට ගැටුම්කාරී, දරඳඬු, හුදෙකලා තත්වයකට ශ්‍රී ලංකාව පත්විය. මෙය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අප රටේ සම්ප්‍රදායික පිළිවෙතට ව්‍යතිරේකයක් විය.

පොදු සුභසිද්ධිය සඳහා වන ජාත්‍යන්තර සංවාද හා සම්මුති සැකසුමේ දී එක්සත් ජාතීන්ගේ හා අනෙකුත් බහුපාර්ශ්වීය ආයතන වල වැදගත්කම අප හඳුනාගෙන ඇත්තෙමු. වැඩ භාරගැනීමේන් පසු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම ප්‍රථම නිල සංචාරය සඳහා අපගේ අසල්වැසි ඉනිදියාව තෝරාගත්නා ලදි.

එතුමා චීනය හා පාකිස්ථානය වෙත ද සංචාරය කල අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති වශයෙන් ලන්ඩනයේ පැවති පොදුරදමඩුළු දින සැමරුමට ද සහභාගී වූයේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිධුරයට පත්වී නොබෝ දිනකින්ම ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ලංකාගමනය සිදුවූ අතර ඉන්පසු උදාවූ මාස 4ක කෙටි කාලය තුල සම්භාවනීය විදේශීය අමුත්තන් රැසක්ම අප කුඩා දිවයිනට පැමිණියහ.

පසුගිය මාර්තු මස දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි අතර එය වසර 28 කට පසු ඉන්දීය අගමැතිවරයෙකු විසින් සිදුකල ප්‍රථම ද්වීපාර්ශ්වීය ශ්‍රී ලංකා සංචාරය වේ.

මීට අමතරව, භුතාන අගමැති, කටාර්හි එමීර්වරයා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් (වසර 43කට පසු), විදේශ අමාත්‍යවරු, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරු, මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද අප රටට පැමිණියහ.

මේ සියල්ල සිදුවූයේ අප වැඩභාරගැනීමෙන් පසු දින 100ක් වැනි කෙටි කාලයක් ඇතුලතය. මෙපරිද්දෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් අප හට ලැබෙමින් පවතින නොමද සහයෝගය අප ඉතා අගය කරන්නෙමු.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සමග ද අප දිගන් දිගටම සාකච්ඡා කරමින් සිටිමු. ඉකුත් පෙබරවාරි මස දී ස්වාධීන හා විශ්වාසනීය දේශීය ක්‍රියාවලියක් හරහා අතුරුදහන් වූවන් සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය උපදේශන ක්‍රියාවලියක් සැකසීම වෙනුවෙන් සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදීම සම්බන්ධයෙන් ද අපි ඉතා කෘතඥ වෙමු.

එක්සත් ජාතීන්ගේ සත්‍යය, යුක්තිය, වන්දි හා පුනරාගමනය වැලැක්වීම ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය පසුගිය මාර්තු මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි.

අගෝස්තු මස මුලදී බලහත්කාරයෙන් සහ අකමැත්තෙන් අතුරුදහන්කිරීම් සම්බන්ධ ක්‍රියාකාරී කණ්ඩායම ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සැප්තැම්බර් මසට පෙර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ද අප රටට පැමිණෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් හා වගවීම් ක්‍රියාවලිය සම්බන්ධ ගැටළු වලට අදාලව විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග අප විසින් ගනිමින් පවතී. අර්ථවත් ප්‍රතිසංවිධානයක් ඇතිකිරීම සඳහා මෙම ක්‍රියාවලීන් වල ඇති වැදගත්කම රජය හොඳින් අවබෝධ කරගෙන සිටී.

ඔබ සියළු දෙනා දන්නා පරිදි මෙම ක්‍රියාවලීන්හි සාර්ථකත්වය උදෙසා ප්‍රවේශමෙන් සිතා බලා විචක්ෂණශීලීව කටයුතු කිරීම අවශ්‍ය වේ. එමෙන්ම පුනරාගමනය වළක්වාගැනීමට නම් මෙම ක්‍රියාවලීන් සඳහා සියළුදෙනාගේ සහයෝගය හා පිලිගැනීම ද අත්‍යවශ්‍ය වේ. රජයේ වගකිවයුතු පාර්ශව මේ සමබන්ධයෙන් දැඩි අවධානයෙන් යුතුව ක්‍රියාකිරීම ද ඉතා වැදගත්වේ.

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමග සම්බන්ධ වී සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට ද රජය බලාපොරොත්තු වේ.

පෙබරවාරි මස දී දකුණු අප්‍රිකානු රජය සත්‍යය හා ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් තමන්ගේ අත්දැකීම් අප සමඟ බෙදා හදා ගත්තේය. ඒ අනුව ප්‍රතිසංවිධානය හා වගවීම සම්බන්ධයෙන් අප රටේ අවශ්‍යතාවයන්ට සරිලන යාන්ත්‍රණයක් සැකසීම සඳහා දකුණු අප්‍රිකාව ඇතුළු අනෙකුත් රාජ්‍යයන් සමඟ එකතු වී කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙමු.

මෑතදී නේපාලයේ ඇතිවූ හදිසි ආපදා තත්වයේ දී එරට ජනතාවට අවශ්‍ය සහන සැලසීමට අපගේ හමුදාවන් ක්‍රියා කලහ. ඉදිරියේ දී නේපාලය නැවත ගොඩනැගීමේ කටයුතු වලට ද ඔවුන්ගේ දායකත්වය ලබාදීමට අපේක්ෂිතය.

වාණිජ හා සිවිල් ක්‍රියාකාරකම් වලින් ඉවත් වීමත් සමඟ අපගේ හමුදා එක්සත් ජාතීන්ගේ සාමසාධනය ආදී මානුෂිය මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් සහභාගී කරවීමට අප ඉදිරියේ දී බලාපොරොත්තු වෙමු.

මෙපරිද්දෙන් විශාල වැඩකොටසක් පසුගිය මාස 4ක කාලය තුල අප රජය විසින් ඉටුකිරීමට සමත් වූවත් නව ශ්‍රී ලංකාවක හැඩහුරුව තිරසාර යථාර්තයක් බවට පත්කිරීම අප හමුවේ ඇති අභියෝගයකි.

නව රජයේ විදේශ ප්‍රතිපත්තියේ තවත් වැදගත් කොටසක් ඩයස්පෝරාව වෙනුවෙන් වෙන් කල යුතුය. ශ්‍රී ලංකාව සතුව ලෝකයේ විශාලතම මෙන්ම කීර්තිමත් වූද ඩයස්පොරෝවක් සිටී. නමුත් අවාසනාවකට මෙන් ඔවුන්ගේ ප්‍රාග්ධනය, සබඳතා, හා දැනුම අප රටේ සංවර්ධනයට හෝ විදෙස් ප්‍රතිපත්ති සැකසීමේ දී ප්‍රයෝජනයට ගෙන නොමැත. ඒ අනුව, මේ සඳහා ගන්නා පළමු පියවර වශයෙන් මෙම වර්ෂය අගදී කොළඹ දී ඩයස්පෝරා උළෙළක් පැවැත්වීමට නියමිතය. මෙම උළෙළ සඳහා ලොව පුරා වෙසෙන කලාකරුවන්, අධ්‍යාපනඥයන්, ව්‍යාපාරිකයන්, ආදී සියළු ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් අපගේ ඩයස්පෝරාවට අයත් සාමාජිකයන් පැමිණෙනු ඇති අතර එමගින් ඔවුන්ගේ සහය අප රටේ ප්‍රතිසංවිධානය හා සංවර්ධන ක්‍රියාවලිය සඳහා ලබාගැනීමට අපේක්ෂිතය.

පහල මධ්‍ය පරිමාණයේ ආදායම් ලබන රටක් වශයෙන් ශ්‍රී ලංකාව දැන් ඉහල මධ්‍ය පරිමාණයේ ආදායම් ලබන තත්වයට ලඟා වීමට උත්සාහ දරමින් සිටී. එහිදී අප මුහුණපාන ප්‍රධාන අභියෝග වශයෙන් මානව ප්‍රාග්ධනය ද ඇතුළු ආයෝජනය ඉහල නැංවීම, රාජ්‍ය වියදම් නැවත ප්‍රතිසංවිධානය කිරීම, පුද්ගලික අංශයේ භුමිකාව පුළුල් කිරීම, අපනයන හා නිෂ්පාදන වර්ධනය සහ තිරසාර සංවර්ධනය ළඟාකරගැනීම දැක්විය හැක. දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවට අප ආර්ථිකය පත්ව ඇත. නමුත් පසුගිය වසර 8ක කාලය තුල නිසි ප්‍රතිපත්තීන් අනුගමනය නොකිරීම හේතුවෙන් අප රට පසුබෑමට ලක්වී ඇත.

කලාපීය හා පහල මධ්‍යම ආදායම් තත්වයක සිටින අප රටේ මානව සංවර්ධනය ඉතා ඉහල මට්ටමක පවතී. 2015 සඳහා සැලසුම් කල සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ බොහෝමයක් අප විසින් ළඟාකරගෙන ඇත. නමුත් වයස්ගත වන ජනගහනය, සටන් පැවති දිස්ත්‍රික්ක ඇතුළු ඇතැම් දිස්ත්‍රික්ක වල පවතින දරිද්‍රතාවය, විරැකියාවට විසඳුම් සෙවීම, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණය ඇතුළු ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරන ක්‍රියාවට නැංවීම, රාජ්‍ය හා පුද්ගලික අංශවල හවුල්කාරීත්වය ඉහල නැංවීම, හා තරඟකාරීත්වය ඉහල නැංවීම ආදී අභියෝග රැසක් අප හමුවේ ඇත.

ඒ අනුව, ඔබ සියළු දෙනාට වැටහෙන කාරණයක් වන්නේ නව ශ්‍රී ලංකාව ඉදිරියේ අභියෝග රැසක් ද පවතින බවයි. එසේ වුවද එම බාධක සියල්ල ජයගනිමින් ජනවාරි 8වන දින ඇරඹුණු ඓතිහාසික ගමන ඉදිරියටම යමින් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම අප රජයේ අරමුණයි.

නමුත් මෙය අප වහට තනිවම කල නොහැක.

අප පසුගිය මාස 4ක කාලය තුල ලබාගත් ජයග්‍රහණ අහිමි නොවී තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය අපට නිරතුරුවම අවශ්‍ය වේ.

ලෝකයේ ප්‍රජාතනත්‍රවාදී රටවල් අප සමග පෙලගැසී අප රටේ ජනතාව ආඥාදායකත්වයට හා ජාතිවාදයට යට වීමෙන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදෙනු ඇතැයි අප අපේක්ෂා කරමු. තිරසාර සංවර්ධනය, ප්‍රගතිය හා සෞභාග්‍යය සඳහා ප්‍රතිසංවිධානය, සාමය, නීතියේ ආධිපත්‍යය හා යහපාලනය ස්ථාපිත කල යුතු බව අප ජනතාවට ඒත්තු ගැන්විය යුතුය.

මෙම කාර්යයේ දී වටහාගත යුතු වැදගත් කරුණක් වනුයේ ඇතැම් ක්‍රියාවලීන් සඳහා දැඩි ඉවසීමෙන් හා කලපනාකාරීව කටයුතු කිරීම අවහ්‍ය බවයි. එසේ නැතහොත් අප දිනාගත් දේවල් ද අපට අහිමි වී යනු ඇත.

ජර්මානු රජය හා ජනතාව වේලි ඉදිකිරීමේ සිට සංවර්ධන කටයුතු වලට සහය වීම, හා වෘත්තීය පුහුණුකිරීම් දක්වා පුළුල් පරාසයක් තුල අප රටට සහය දක්වා ඇත. එමෙන්ම පුද්ගලික වශයෙන් ද ශ්‍රී ලංකාවේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අපට සහයෝගය ලබාදෙන ජර්මානුවන් විශාල පිරිසක් සිටී. ලබන වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත කිලිනොච්චියේ ඉදිකරන ලද වෘත්තීය පුහුණු ආයතනය සම්බන්ධයෙන් ද ජර්මානු රජයට අප ඉතා කෘතඥ වෙමු. මෙම ක්ෂේත්‍රෙයෙහිලා ජර්මානු විශේෂඥතාවයට සමකල හැකි වෙනත් කිසිවෙක් නොමැති අතර මොරටුවේ ජර්මානු තාක්ෂණ පුහුණු ආයතනය හරහා සෑම වසරකම මෝටර් රථ සහ අනෙකුත් තාක්ෂණික පුහුණු කටයුතු සිය ගණනක් සිදුකරමින් දශක ගණනක් පුරාවට සිදුකල සේවය ඉතා අගනේය.

අද දින මාගේ සාකච්ඡාවලට වැඩිමනත් වශයෙන් ඉදිරියේ දී ජර්මනිය සමඟ අප රටේ පවතින සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා නව ප්‍රවේශයක් ලබාගැනීමට අප බලාපොරොත්තු වන බව පැවසීමට කැමැත්තෙමි. ලංකාවේ හා ජර්මනියේ නගර සම්බන්ධ කරමින් මහජන සබඳතා වර්ධනය කිරීම තුලින් අප අතර පවතින බහුවිධ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ අපේක්ෂාවයි. ඊට අමතරව රාජ්‍ය පාලනය, ආර්ථික සංවර්ධනය, තාක්ෂණය සහ අධ්‍යාපනය ආදී සියළු ක්ෂේත්‍රයන්හි දැනුම, යහපත් භාවිතයන් සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට අප බලාපොරෙත්තු වෙමු.

එමෙන්ම නව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් ද සියළු දෙනාගේ පොදු යහපත උදෙසා ක්‍රමාංකනය කිරීම අප විසින් අරඹා ඇත. පශ්චාත් යුදකාලීන වර්ධනය පරිභෝජනය හා ඉදිකිරීම් මගින් පසුබෑමට ලක්විය. අපගේ නව ප්‍රතිපත්තිය වනුයේ විදේශ සෘජු ආයෝජන, වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රවල වර්ධනය මගින් ආර්ථික හැකියාව පුළුල් කිරීමෙන් තිරසාර සංවර්ධනය ලඟාකරගැනීමයි.

ශ්‍රී ලංකාව දීර්ඝකාලීනව ජර්මානු සංචාරකයන් සඳහා පාරාදීසයක්ව පවතින අතර දැන් අපගේ අරමුණ වනුයේ එලෙසින්ම ජර්මානු ආයෝජකයන් ද අප රටට ගෙන්වා ගැනීමයි. සාපේක්ෂ වශයෙන් සංවර්ධිත යටිතල පහසුකම් හා මානව ප්‍රාග්ධනය සමග අපගේ ප්‍රමුඛතාවය ශ්‍රී ලංකාව දකුණු ආසියාව තුල සුරක්ෂිත, කාර්යක්ෂම හා තරඟකාරී ආයේජන ගමනාන්තයක් බවට පත්කිරීම සඳහා අප රටේ ආයෝජන පරිසරය නැවත සක්ස්කිරීම කෙරේ යොමුවී ඇත. මේ වනවිට අධිකරණයේ ස්වාධීනත්වය අප විසින් යලි ස්ථාපිත කර ඇති අතර, සියළු සමාගම් වෙත සමාන අවස්ථා ලඟා කරගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නීතිය මත පදනම් වූ ක්‍රමවේදයක් සකස්කිරීම කෙරේ අපගේ අවධානය දැනු යොමු වී ඇත. වඩාත් ඵලදායී රෙගුලාසි හරහා අපගේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරලීම සඳහා අප විසින් දැන් කටයුතු කරමින් තිබේ. “එක් වහලක් යට ආයෝජනය” යන සංකල්පය පුනර්ජීවනය කිරීම තුලින් කාර්යක්ෂමතාවය ඉහල යනු ඇතැයි අප අපේකෂා කරමු. විශේෂයෙන්ම ඉංදියාව හා පාකිස්ථානය සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් හරහා එම රටවල් දෙක වෙත ප්‍රවේශ වීමේ දොරටුවක් ලෙස ද ශ්‍රී ලංකාව හැඳින්වේ. එමෙන්ම පුළුල් ඉංදීය සාගර කලාපයට ප්‍රවිශ්ඨ වීමේ දොරටුවක් ලෙස ද ශ්‍රී ලංකාව හැඳින්වේ. ඉන්දියාව හා පාකිස්ථානය සමඟ සාර්ථක නිදහස් වෙළඳ ගිවිසුම් සඳහ අප විසින් අත්සන් තබා ඇති අතර දැන් අප විසින් බන්දියාව සමඟ ඇති මෙම නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් දක්වා වර්ධනය කරගැනීමට කටයුතු කරමින් සිටින්නෙමු. එමෙන්ම දැනට අප චීනය සමග ද නිදහස් වෙළඳ ගිවිසුමක් ආරම්භ කිරීම සඳහ වන සාකච්ඡා වටයන්හි 3වන වටය පසුකරමින් සිටිමු. ඊට අමතරව ඇමරිකාව සමඟ ද වෙළඳ ප්‍රවේශය සඳහා සාකච්ඡා පවත්වමින් තිබේ.

පසුගිය වසර තුල ජර්මානු සංචාරකයන් 100,000 කට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ලෝකය සමඟ නැවත සබඳතා වර්ධනය කරගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව ඉදිරියේ දී තවදුරටත් ඉහල යනු දැකීම අපගේ අපගේ අපේකෂාවයි. එමෙන්ම අප රට තුල ඒ සඳහා සුදුසු වාතාවරණය සකස්කීරීමෙහි අප නිරත වෙමින් සිටිමු. මෙම වසර තුල සංචාරක ව්‍යාපාරය පිළිබඳ තරඟකාරීත්ව දර්ශකයේ ස්ථාන 11 කින් ඉදිරියට ඒමට අපට හැකිව තිබෙන අතර එම සාර්ථකත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට ද අප අපේක්ෂා කරමු. පෙර යුද්ධය පැවති ශ්‍රී ලංකාවේ හොඳම වෙරළ තිරණයන් පිහිටා ඇති නැගෙනහිර පළාතේ නැවතත් හෝටල් විවෘත වී ඇති බවත් මෙහිල දන්වීමට සතුටු වෙමි.

සමාජ වෙළඳ පොළ ආර්ථිකයකින් හෙබි ජර්මානු මොඩලය තුලින් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම් බොහෝය. අප හ‍ට එක්ව කටයුතු කිරීම සඳහා සුදුසු පරිසරයක් දැන් නිර්මාණය වී තිබේ. අපගේ ජනතාව සඳහා දිගුකාලීන සාමය හා සෞභාග්‍යය ළගාකරගැනීම උදෙසා කැපවූ මාවතක් කෙරේ අවතීර්ණ වී සිටින අප හට දැන් පෙරටත් වඩා ඔබගේ සහයෝගය අවශ්‍ය කර තිබේ. ඒ අනුව දිගුකාලීනව අප හට අත හිත දුන් ජර්මානු රාජ්‍යය ඉදිරියට ද අප හට එලෙසින්ම සහයෝගය දක්වනු ඇතැයි දැකීම අපගේ දැඩි බලාපොරොත්තුවයි.

*විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ කථාවේ සිංහල පරිවර්තනය – විදේශ සබඳතා පිලිබඳ ජර්මානු කවුන්සිලය -2015 මැයි 22, බර්ලින් හි දී

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.