26 April, 2024

Blog

‘සිදුවීමේ සිදුවීම’ හරහා ‘දැන් සිදුවීම’ සිහිකරවන මහරජ ගැමුණු

නිශාන්ත කුලරත්න –

නිශාන්ත කුලරත්න

නිශාන්ත කුලරත්න

“දැන් සිදුවීම නොව, සිදුවීමේ සිදුවීම ලියා රග දක්වන්නැයි පස්වන සියවසේ සිට කාලය හරහා අපට පණිවිඩ එවූ මහානාම මහා ස්ථවිරයන් වහන්සේගේ ශ්‍රී නාමයට“

මහරජ ගැමුණු“ චිත්‍රපටය ඇරඹෙන්නේ ඒ පාඨයත් සමගිනි. මහානාම හිමියන් යනු “මහාවංශය“ කෘතියේ කතුවරයාය. පාඨයෙන් කියවෙන්නේ මහාවංශයේ ඇති කතාව, වර්තමානයට ගැලපෙන පරිදි නොව, මහාවංශයේ ඇති පරිද්දෙන්ම කීමට මහානාම හිමියන් සිනමාකරුවාට දැනුම් දී ඇති වගකි. ඉන්, “මේ චිත්‍රපටයේ ඇත්තේ මහාවංශ කතාවම මිස, වර්තමානය පිණිස වන කතාවක් නොවේ“ වැන්නක් ද ඇඟවේ. ඉතිහාස කතාවක් හෝ පුරාණෝක්තියක් මත පදනම්ව චිත්‍රපට කිරීමේ දී ලොව බොහෝ චිත්‍රපට කරුවන් තමන් ජීවත්වන වර්තමානයට අනුවර්තනය වන පරිදි කතා වෙනස් කොට තිබේ. එහි විශේෂ ගැටළුවක් මා දකින්නේ නැත. චිත්‍රපටය යනුම ප්‍රබන්ධයක් බැවිනි.

අනෙක් අතට වංශකතාවක් තුල “සිදුවීමේ සිදුවීම“ම අඩංගු වෙතැයි පැවසීමට ද හැකි නොවේ. වංශකතා යනු කිසියම් අතීතයක සිදුවූ සිදුවීම් සමූහයක්, විවිධ මූලාශ්‍රයන් හරහා එක් රැස්කර, ඒවාට සෑහෙන කාලයකට පසු යුගයකදී ලියන ලද අඛ්‍යානයන් වන බැවිනි. එහිදී බොහෝවිට එම කතාව ලියවෙන යුගයේ පවතින සමාජ දේශපාලනික සාධකවල බලපෑමට අදාල පුවත ලක්වීමේ වැඩි ඉඩකඩක් ද ඇත. (වර්තමානය වනවිට ඉතිහාසය ලියවෙන මෙවන් ආකාරයන් ගවේෂණය කිරීම දියුණු අධ්‍යාපන ආයතනවල විෂයක් ලෙස ද උගන්වනු ලබයි).

Jayanthaඑහෙත්, තමන් මහාවංශ කතාවම ඉදිරිපත් කරන්නේ යයි කියන චිත්‍රපටයක, මහාවංශයේ සදහන් කරුණු වෙනස් කොට ඇත්නම් එය බැරෑරැම් තත්වයකි. විශේෂයෙන් බාල පරම්පරාවන් පොතින් පතින් ඉතිහාසය ඉගෙන ගන්නවාට වඩා දෘශ්‍ය මාධ්‍ය හරහා ඉතිහාසය ඉගෙන ගන්නට යොමුව සිටින කාලයක එය සමාජීයව බරපතල දුර්විපාක ගෙනදිය හැකි වරදක් ද වේ.

“මහරජ ගැමුණු“ චිත්‍රපටය දුටු පසු මට සිතුනේ ප්‍රධාන අවස්ථා කිහිපයකදී ජයන්ත චන්ද්‍රසිරි සිනමාකරුවා මහානාම හිමියන්ගේ පණිවිඩය නොසලකා හැර ඇති බවයි. එනම් “සිදුවීමේ සිදුවීම“ට වඩා “දැන් සිදුවීම“ට ගැලපෙන පරිදි මහාවංශයේ සිදුවීම වෙනස් කෙරී ඇති බවයි. එනිසා තමන්ට වඩාත් නිර්මාණශීලි වීමට තමන්ට තිබුණු ඉඩකඩක් ජයන්තට මහහැරී ඇති බවයි. මෙය විශේෂයෙන්ම සිදුව ඇත්තේ එළාර සහ දුටු ගැමුණු අතර වන සබඳතාව සම්බන්ධයෙනි.

මහාවංශයේ නිරූපිත එළාර කෙබදු අයෙක්ද? නීතිය අකුරටම ක්‍රියාත්මක කල, ධාර්මික පාලකයෙකි. සියල්ලටමත් වඩා, නිසැකවම බුද්ධාගමට ගෞරව කල රජෙකි. තමන් ගමන් කල රථයේ විය ගස වැදී සෑයක කොටසක් බිඳී ගොස් ඇති බවක් දැනගත්විට, කම්පාවට පත්වී තමාවද එම රථයටම යට කරන්න යැයි ඉල්ලා සිටි අයෙකි. ධර්මිෂ්ඨබව දෙවියන්ට පෙන්වා රටට නිසි කලට වැසි ලබා දීමට ද සමත් වූවෙකි. චිත්‍රපටයේ නිරූපිත එළාර කෙබදුද? ජයසිරි මහ බෝධිය කැප්පවීමට, බුදු සසුන වැනසීමට කුමන්ත්‍රණ කල අයෙකි. මායිම් ගම්මානවල වසන අහිංසකයන් අනුකම්පා විරහිතව මරාදැමීමට මුල්වූවෙකි. මහාවංශය සහ චිත්‍රපටය අතර මේ කාරණා සම්බන්ධ වෙනස මතුවන්නේම “සිදුවීමේ සිදුවීම“ට වඩා ඉතිහාස පුවත තුලින් “දැන් කතාව“ කියන්නට යාමෙනි. එනම්, කාලය හරහා මහානාම හිමියන් තමන් වෙත එවූ පණිවිඩයට පරස්පර දෙයක් සිනමාකරුවා අතින් සිදුව ඇත.

දුටු ගැමුණු පුවත විවිධ වංශකතාවල අඩංගු වී ඇති ආකාරය පිළිබදව විශ්ලේෂණයක යෙදෙන මහාචාර්ය ගණනාථ ඔබේසේකර පෙන්වා දෙන්නේ එළාර ඇතුළු පිරිස බෞද්ධ වෙහෙර විහාර විනාශ කල තිරශ්චීන සාහසිකයන් පිරිසක් ලෙස නිරූපණය වන්නේ දාහත්වන සහ දහ අටවන සියවස්හි රචිත රාජාවලිය සහ රාජරත්නාකාරය යන කෘතීන් තුල බවයි. මේ කෘතින් විමසීමේදී ඒවා රචනා කරන ලද සමාජ දේශපාලනික පසුබිම සිහිතබා ගැනීම වැදගත් බව ද ඔහු පෙන්වා දෙයි. සිංහල රාජ්‍යත්වය, පසුව සිංහල බොද්ධයන් බවට පත්වූ දකුණු ඉන්දියානු රජ පවුල් අතට පත්වූයේ මේ යුගයේදීය. මෙලෙසම, දශක ගණනක දෙමළ ඊලාම් යුද්ධයකින් අනතුරුව නිමවෙන “මහරජ ගැමුණු“ද, “දැන් සිදුවීම“ නිසා “සිදුවීමේ සිදුවීම“ අමතක කරයි.

අනෙක් අතට දුටු ගැමුණු ද මහාවංශයේ වඩාත්ම කේන්ද්‍රිය වන චරිතයයි. ඔහු අන් සියළු රජවරුනට වඩා බුදු සසුනේ ශික්ෂණය යටතේ හැදී වැඩෙන්නකි. ජනඝාතක යුද්ධයකට අවතීර්ණවීම එවන් රජකු තුල වරදකාරීත්වයක් ඇති කරන්නට ඇතිවාට සැක නැත. (යුද්ධයේ දී මිය ගිය දහස් ගණන් මිනිසුන් සම්බන්ධයෙන් දුටු ගැමුණු තුල ඇති වන මේ වරදකාරීත්වය හා පසුතැවිල්ල මහාවංශය තුල සදහන්ය). එක් අතකින් ඔහු ආක්‍රමණික රජෙකුට එරෙහිව සටන් කල යුතුය. අනෙක් අතින් එසේ සටනකට එළැඹීම ඔහුව නිර්මාණය කරන බුදු දහම නම් අහිංසාව පෙරටු කොටගත් ධර්මයට පටහැණි වෙයි. මෙය තුල ඔහු පත්වනු ඇති මානසික ගැටුම, කලා නිර්මාණයක් සදහා සරුපසක් සපයන්නකි. ජයන්ත චන්ද්‍රසිරි ද මිනිස් මනසේ ඇතිවන මෙවන් ගැටුම් නිර්මාණාත්මක ලෙස ප්‍රති නිර්මාණය කිරීමට සමතෙකි. ඔහුගේ මීට පෙර නිර්මාණය වූ සමනල සංධ්වනිය තුල, තමන් සොරාගත් පෙම් හසුනක් නිසා හටගත් වරදකාරීත්වය සහ එම ලියුමේ හිමිකාරියගේ ආදරය සොයා යාමේ ආශාව අතර ගැටවරයෙකු තුල ඇතිවන මානසික ගැටුම ඔහු විසින් මනරම් සිනමා සිත්තමක් බවට පත්තර තිබිණි. කෙසේවුවද, “මහරජ ගැමුණු“ තුල ඉහත කී මානසික ගැටුම පිළිබද කිසිදු සඳහනක් නැත. ඒ වෙනුවට දේශපාලන වේදිකාවක් සදහා උචිත තර්කයක් වන “අපි මෙසේ සටන් කිරීමෙන් අපේ සසර ගමන දිගුවනවා. එහෙත් මේ උතුම් ධර්මය වෙනුවෙන් අපේ සසර ගමන අපි පරිත්‍යාග කරමු“ යන ප්‍රකාශය ඔහු දුටු ගැමුණුගේ මුවට නංවයි. මෙය, මෑත කාලයේ කඩාපණින මැරවර භූමිකාවක නියැලුණු චීවරධාරී බලසේනා කල්ලිවලට පවා තම හැසිරීම සුජාත කරගැනීම සදහා හොදින් යොදා ගත හැකි තර්කයකි. මෙතැනදී ද ප්‍රමුඛ වී ඇත්තේ “සිදුවීමේ සිදුවීම“ට වඩා “දැන් සිදුවීමේ“ ආනුභාවයයි.

අවසාන සටනට පෙරාතුව, තමා හා ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස ගැමුණු එලාරට අභියෝග කරන අතර, එළාර ද එය පිළිගනියි. මෙය විශිෂ්ට අවස්ථාවකි. තමන් සිය ජාතිය වෙනුවෙන් දිවි පුදන බවට දේශපාලකයන් කොතෙක් දිවුරා පැවසුවත් අවසානයේදී දේශපාලනය යනු බලය පිළිබද ක්‍රීඩාවකි. සිංහල ජාතිකවාදය සහ දෙමල ජාතිකවාදය එකිනෙකාගෙන් පෝෂණය වෙමින් ස්වකීය දේශපාලන බලය ගොඩ නගා ගත් ආකාරයත් ඒ ජනවර්ග දෙකට අයත් සාමාන්‍ය ජනතාව ඉන් විපතට වැටුනු ආකාරයත් අප දැක ඇත්තෙමු. ඒ අතින් මේ රජවරුන් දෙදෙනාම ශ්‍රේෂ්ඨයෝය. තමන් නිරතව සිටින්නේ බල ක්‍රීඩාවක බව තේරුම්ගන්නා ඔවුහු දෙදෙන, සිය ජනතාව අනතුරේ නොහෙලා තමන් දෙදෙනා අතර වන සටනකින් දිනුම තීරණය කිරීමට ගිවිස ගනිති.

මේ සටන මෙන්ම දුටු ගැමුණු හා එලාර අතර වන අවසාන සංවාදය ද ජයන්තගේ සුපුරුදු නිර්මාණාත්මක හැකියාවන් ප්‍රකට කරවන අවස්ථාවකි. දුටු ගැමුණුගේ දෙඅත්මත එළාර අවසන් සුසුම හෙලයි. තමන් ඔහු මිය ගිය ස්ථානයේ ඔහු වෙනුවෙන් සෑයක් ඉදිකරන බව ගැමුණු එළාරට පවසයි. ඒ ඇයිද යන්න සදහා එතරම් හේතු චිත්‍රපටය තුල හමුවන්නේ නැත. සෑයක් ඉදිකෙරෙනුයේ විශේෂිත හේතුන් මතය. සිය පියා වූ කාවන්තිස්ස රජු මිය යන තැනවත් සෑයක් ඉදිකිරීමට ගැමුණු රජු පෙළඹෙන්නේ නැත. එසේනම්, ශ්‍රී මහා බෝධිය කැප්පවීමට සොර සේනා යැවූ, අහිංසක ජනයා කුරිරු ලෙස ඝාතනය කල, තමාව මරන්නට ද දිගටම කුමන්ත්‍රණය කල එළාර වෙනුවෙන් සෑයක් බැදිය යුතු යයි දුටුගැමුණු සිතන්නේ ඇයි? මහාවංශය තුල නම් මෙයට පිළිතුරක් ඇත – එනම්, ආක්‍රමණික මිථ්‍යා දෘෂ්ඨිකයෙකු වුවත් ඔහු ධාර්මික, නීති ගරුක සහ බුදු දහමට ගරු කල රජෙකු බැවිනි. මනෝවිශ්ලේෂණය ඇසුරු කරගනිමින් දුටුගැමුණු පුවත පිළිබද විග්‍රහයක යෙදෙන මහාචාර්ය ඔබේසේකර පෙන්වා දෙන්නේ එළාර විසින් දුටුගැමුණු වෙත පීතෘ භූමිකාවක් රඟ දක්වන ලද බවයි. චිත්‍රපටයේ කතාව ගොඩනැගී ආකාරය සැලකීමට ගැනීමේ දී සෑයක් ගොඩ නැගීමට දුටුගැමුණු පෙළඹවූ හේතුව ලෙස ඉතිරිවන්නේ මේ සාධකය පමණකි.

අවසාන වශයෙන් තමන් එළාර යටතේ සිටි සාමාන්‍ය ජනතාවට කිසිදු හිරිහැරයක් නොකරන බවත්, ඔවුනට සාමාන්‍ය වැසියන් දිවිගෙවීමට ඉඩ සලසන බවත් දුටු ගැමුණු එළාරට පොරොන්දු වෙයි. මෙය ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය නැවත ප්‍රකට කරන අවස්ථාවකි. එසේම, “දැන් සිදුවීමේ“ දී අප නොදුටු දෙයකි. දෙමළ ඊලාම් යුද්ධය අවසානයේ ජයග්‍රාහකයා කියා සිටියේ දැන් රටේ ජාති දෙකක් නැති බවත්, ඇත්තේ රටට ආදරය කරන අය සහ රටට ද්‍රෝහි අය පමණක් බවත්ය. මේ තුල සිය අයිතිවාසිකම් ඉල්ලා සිටි ඕනෑම අයෙකු ජාති භේදයකින් තොරව රටට ද්‍රෝහි වූවෙකු ලෙස නම් කිරීමේ වරම ජයග්‍රාහකයා හිමිකරගත්තේය. මේ අවස්ථාවෙන් උපරිම ලෙස වාසිගත් පරපෝෂිත කුඩා දුටුගැමුණුලා සමූහයක් ද ඒ සමගම බිහිවූ අතර, රිසි ලෙස දේශද්‍රෝහීන් නම් කරමින් ස්වකීය අවස්ථාවාදී න්‍යාය පත්‍ර සපුරා ගැනීමට ඔවුහු සමත්වූහ. (මේ දිනවල ඔවුන් කියමින් සිටින්නේ ඉහත නැතැයි කියූ ජාති දෙකෙන් එකක් නිසා තමන් ඡන්දයෙන් පරාජය වූ බවයි.) යුද්ධයෙන් වසර පහක් ගෙවුන පසුව පවා එම ප්‍රදේශවල සිටි හමුදා ආණ්ඩුකාරයන් වෙනුවට පරිපාලන සේවයේ නිලධාරීන් එම ප්‍රදේශවලට පත් කිරීම ද්‍රෝහිකමක් බව පවසමින් කෑමොර දෙන මේ කුඩා දුටුගැමුණුලා, මේ චිත්‍රපටය බැලීම වැදගත්ය.

දුටුගැමුණු මරන්නට එන එළාරගේ මරාගෙන මැරෙන සටන්කරුවාගේ සිට, සටන් සංවිධානය කිරීමට වඩා, නාන තොටේදී පවා රජ පවුලට ආරක්ෂාව සැපයීමට සැදී පැහැදී සිටින දසමහා යෝධයන් කට්ටලය දක්වා බොහෝ දේ අපට සිහිපත් කර දෙන්නේ “සිදුවීමේ සිදුවීම“ට වඩා “දැන් කතාව“යි. ඒ නිසා චිත්‍රපටය නරඹන්නා චිත්‍රපටයේ සිටින මහරජ ගැමුණු, වර්තමානයේ සිටින දුටුගැමුණුලා සමග සසදන්නට නිතැතින්ම පෙළඹෙයි. සිය රචනාවේ අවසාන භාගයේ දී ඔබේසේකර පවසන පහත වාක්‍යය චිත්‍රපටය නැරඹා ආපසු එනවිට සිතට නැගුණේ එනිසා විය යුතු යයි සිතමි.

“දුටුගැමුණු නම් යලි ඉපදී ඇත. නමුත් මෙවර ඔහු තුල බෞද්ධ හෘද සාක්ෂියක් නැත.”

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.