
කොළඹ කොටුව අවට ඇවිද යන විට මාවත අයිනෙන් රහසින් වගේ “ඩොලර්ස්” “ඩොලර්ස්” කියන හඬවල් ඔබටත් සමහර විට ඇහිලා ඇති. මෙහෙම “ඩොලර්ස්..ඩොලර්ස්”, “ඩොලර්ස් ඕනද?” එහෙමත් නැත්නම් “ඩොලර්ස් ගන්නවා” වැනි දේ කියමින් පටු වීදිවල පදිකයන් අතර ගැවසෙන්නෙ අවසර නැතුව විදේශ මුදල් මාරු කරන්නන් හෝ එවැනි අයගෙ තැරැව්කරුවන්. එහෙම උත්සාහ කරන්නෙ යමෙකු ළඟ විදේශ මුදල් තියෙනව නම් ඒව අරගෙන රුපියල් දීමට හෝ රුපියල් අරගෙන විදේශ මුදල් දීමටයි. මේ හුවමාරුවෙදි කොමිස් තබාගෙන ආදායමක් උපයන එකයි ඔවුන්ගෙ අරමුණ.
ඒත් මේ විදේශ මුදල් මාරු කිරීමේ ව්‍යාපාරය හිතුණු හිතුණු තැන්වල ඩෙස් බැංකු තියාගෙන හෝ පාරවල් ගාණෙ ඇවිදිමින් හිතු මනාපෙට සිදු කිරීමට නම් කිසිම කෙනෙකුට නීතියෙන් අවසර නැහැ.
අපේ රට තුළ විදේශ මුදල් විකිණීමට හා මිල දී ගැනීමට 2017 අංක 16 දරණ විදේශ විනිමය පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ බලපත්‍රයක් අවශ්‍යයි. මේ අවසරය බලපත්‍රලාභී සියලුම වාණිජ බැංකුවලටත් ඇතැම් බලපත්‍රලාභී විශේෂිත බැංකුවලටත් ලබා දී තියෙනවා. එසේ විකිණීමට/ මිල දී ගැනීමට අවසර ඇත්තේත් මහ බැංකුව අනුමත කළ විදේශ මුදල් වර්ග පමණයි.
මෙම බැංකු ආයතනවලට අමතරව විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් බලපත්‍ර ලබා දුන් විදේශ මුදල් හුවමාරුකරුවන් ද සිටිනවා. මනි චේන්ජර්ස්ලා (Money Changers) ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඔවුන්වයි. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙහෙම බලපත්‍ර ලබා දෙන්නෙ මුදල් මණ්ඩලය නිර්දේශ කරල තිබෙන සුදුසුකම් සපුරා තිබෙන ආයතනවලට පමණයි. එවැනි ඇතැම් අවසරයන් ලබා දී ඇත්තේත යම් යම් සීමාවන්ට යටත්වයි. මෙවැනි අවසර ලත් ස්ථානවල සුදු රවුමක් ඇතුළෙ ‘Authorized Money Changer’ (බලයලත් මුදල් හුවමාරුකරුවෙකි) යනුවෙන් සඳහන් කළ ලාංඡනයක් ප්‍රදර්ශනය කරන ලෙස මහ බැංකුව නියෝග කරල තියෙන නිසා නීත්‍යනුකූලව මෙම ව්‍යාපාරය කරන ස්ථාන මොනවද කියලා හඳුනා ගැනීම පහසුයි.
මහ බැංකුවෙන් ලබාගත් බලපත්‍ර නොමැතිව අර කලින් සඳහන් කරපු විදිහට මුහුදු වෙරළ හෝ සමාජ ශාලා, හෝටල් ආදිය අසළ, එහෙමත් නැත්නම් මං මාවත්වල හිතුමතේට විදේශ මුදල් මිලදී ගැනීම හෝ විකිණීම නීති විරෝධියි. එබඳු කටයුතුවල යෙදෙන අයෙකු සමඟ ගනුදෙනු කිරීමත් නීති විරෝධියි.
මෙතනදි ආර්ථික වශයෙන් හානිකර තත්වය තමයි එහෙම අයට ඔබ විකුණන විදේශ මුදල් අපේ නීත්‍යනුකූල බැංකු පද්ධතියට ඇවිත් රටේ විදේශ විනිමය සංචිත වලට එකතු වෙන්නෙ නැති එක. බොහෝ විට ඒ මුදල් එකතු වෙන්නෙ නීත්‍යනුකූල නොවන එහෙමත් නැත්නම් ‘කළු’ ආර්ථික කටයුතුවලට.
බලයලත් විනිමය හුවමාරු ආයතනයක් සමඟ ගනුදෙනු කිරීමේදී ඒ සඳහා රිසිට් පතක් නිකුත් කිරීමටත් ඔවුන් බැඳී සිටිනවා. ඔවුන් මහජනතාවගෙන් මිලදී ගන්නා විදේශ මුදල් බැංකුවක තැන්පත් කිරීමත් අනිවාර්ය කොන්දේසියක්. එම මුදල් හුවමාරු කරුවන් පත් කිරීමේ මූලික අරමුණත් එයයි. විදේශ මුදල් විකිණීමේදී ඔබේ ගුවන් ගමන් බලපත්‍රයේ ඒ බව සටහන් කිරීමටත් එම මුදල් හුවමාරු කිරීමේ ආයතනවලට වගකීමක් තිබෙනවා. එබඳු තහවුරු කිරීම් ඔබේ විදේශ මුදල් ගනුදෙනුවල නීත්‍යනුකූලභාවය පෙන්වන වැදගත් සාක්ෂි.
අපේ රටට පැමිණෙන විදේශ සංචාරකයින්වත් මුදල් හුවමාරු කටයුතු සඳහා යොමු කළ යුත්තේ මෙම බලපත්‍රලාභී මුදල් හුවමාරු කරුවන් සහ බැංකු ආයතන වෙත පමණයි. සංචාරක ව්‍යපාරය රටට සැබෑ සම්පතක් වන්නේ එයින් ලැබෙන විදේශ විනිමය නිල ආර්ථික ගිණුම් වලට එකතු වූ විට පමණයි.
මහ බැංකුව මෙවන් බලතල නිසි ලෙස ලබා දී තිබියදීත් නීත්‍යනුකූල ආයතනවල ඇතැම් දුර්වලතා නිසා මහජනතාව විදේශ මුදල් මාරු කිරීමට නීතිවිරෝධී ආයතන වෙත ඇදී යන අවස්ථා තිබෙනවා. බලපත්‍ර ලැබූ ආයතන (බොහෝ විට බැංකු) නිසි පරිදි විදේශ විනිමය නීති වටහා නොගෙන වැරදි ලෙසට අර්ථ නිරූපණය කිරීමත්, විදේශ මුදල් ගනුදෙනුවලට අදාළ නොවන දැඩි කොන්දේසි පැනවීම, අසාධාරණ හා අධික සේවා ගාස්තු අයකිරීම ආදිය එවැනි දුර්වලතා ලෙස හඳුනා ගත හැකියි. එම තත්ත්වය නීති විරෝධී ආයතන ප්‍රචලිත වීමට හේතු වෙනවා.
මහජනතාවගේ විදේශ මුදල් අවශ්‍යතා පවත්නා නීති රාමුව යටතේ සාධාරණ ලෙස සපුරා ගැනීමට සැලසීම සඳහා අදාළ බලය ලත් ආයතන කැප විය යුතුයි. එම ආයතනවල සේවකයන්ගේ අනවබෝධය හෝ නොසැලකිල්ල නිසා එය ඉටු නොවේ නම් ඒකත් බරපතළ ගැටළුවක්. එබැවින් සුහදශීලීව, කාර්යක්ෂමව එමෙන්ම අදාළ විදේශ විනිමය නීති සහ මහ බැංකුවේ මාර්ගෝපදේශ ඉතා නිවැරදිව වටහාගෙන ජනතාව අපහසුවක් නොවෙන ලෙසට කටයුතු කිරීමට දැඩි වගකීමක් නීත්‍යනුකූල ආයතනවලට තිබෙන බව අවධාරණය කළ යුතුයි.
ගෝලීය කොවිඩ් අවදානම අතරේ අපේ රට මේ පසු කරමින් සිටින්නේ සෑම විදේශ මුදලක්ම නීත්‍යනුකූල මුල්‍ය පද්ධතියෙන් ගිලිහී යා නොදී රැක ගැනීමට කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක්.