25 April, 2024

Blog

කොරෝනා සහ​ පිළියන්දල ජන ජීවිතය

බන්දුල චන්ද්‍රසේකර 

බන්ධුල චන්ද්‍රසේකර

“පිළියන්දල හුදෙකලාවීද? මරු වසඟයට ගත්තේද?” මැයෙන් මා ලියූ ලිපිය විශාල ආන්දෝලනයක් ඇති කළේය. විවිධ වෙබ් අඩවි හරහා ප්‍රචාරයට පත් වූ එම ලිපියෙන් පසු ඇමති ගාමිණි ලොකුගේ ගේ මුග්ධ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රධාන ධාරවේ මාධ්‍යය තුළ ද එය ප්‍රමුඛ පුවතක් බවට පත්විය. කතාවේ සුල මුල සොයා ගවේෂණයේ යෙදුන මාධ්‍යවේදීන් ගාමිණී ලොකුගේ නිරුවත් කළේ එවන් උද්ධච්ච ක්‍රියාවක් සිදුකිරීමට කිසිදු දේශපාලඥයෙකුට ඉඩ නොතබාය. ඇත්තෙන්ම, සිදුවිය යුත්තේද එයමය.

දැන්, පිළියන්දල පොලිස් වසම කෙසේවෙතත්, පිළියන්දල නගර බල ප්‍රදේශයට අයත් ග්‍රාමසේවා කොට්ඨාශ එකින් එක හුදෙකලා කිරීමට පටන්ගෙන ඇත. වාර්තාවන රෝගී ප්‍රමාණයද වැඩි වී ඇත. පිළියන්දල දිසා රෝහල කෝවිඩ් රෝහලක් බවට පරිවර්තනය වී ඇත. පිළියන්දල වෙළඳ පොලේ පළතුරු කඩේ වෙළඳ මහතෙකු ද මිය ගිය බව ද සැලය. දැන් පිළියන්දල ජනතාවගේ ජන ජීවිතය ගාමිණී ලොක්කාට තියා වයිමාටත් බේරාගැනීමට බැරි ගානට කොරෝනා වසංගතයට බිලි වෙමින් ඇත.

පසුගිය මැයි 2 දින, කැස්බෑව වෛද්‍ය නිලධාරිගේ නිර්දේශ මත, පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් පසු, පැය 24 ක් යාමටත් මත්තෙන් එය විවෘත කරගනු ලැබුවේ ඇමති ගාමිණි ලොකුගේ දේශපාලන බලපෑම මතය. අදාල ඉහළ බලධාරීන්ට ඒ බලපෑම කළේ, “ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය ගැන සොයා බැලීමට තමාට වගකීමක් ඇති නිසාත්, ඒ වගකීම හෙට දිනයේ වුවත් කිරීමට තමා නොපැකිලෙන බවත්” උද්ධච්ච ලෙස පාරම්බාමින් ය. එය එසේ නම්, කෝවිඩ් උවදුර පාලනයට ප්‍රදේශය හුදෙකලා කළ සෞඛ්‍ය බලධාරීන් ගත් තීන්දුව, ජනතාවට හිතකර එකක් නොවන බැව් ඉන් වක්‍රව කියවේ. අනික, ප්‍රදේශයේ පවතින්නේ සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත්, මාරන්තික විය හැකි කෝවිඩ් ප්‍රහේදයක් විසින් ප්‍රදේශය ගිලගනිමින් සිටින බවවත් තේරුම් ගැනීමට මෙම මුග්ධ බලවේගයට නොහැකි වී ඇත.

සියළු දේ සාමාන්‍යකරණය කොට දේශපාලන ඇසකින් පමණක්, කෝවිඩ් ගැටළුව දෙස බැලීමේ අණුවනකම දැන්වත් වටහාගෙන ඇතැයි කිව නොහැක. ඇමති ලොකුගේ ගේ මේ මුග්ධ ක්‍රියාව පසුපස, ඔහුගේ දේශපාලන අන්තේවාසිකයෝ සිටින බවට සැකයක් නැත. ඔවුන් අතර, කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා නටා ඇති විගඩම සුළු පටු එකක් නොවන බැව් කියන්නේ ප්‍රදේශයේම අසරණ ජනතාවය. පුරවැසි ජනතාවට වඩා නගරයේ ව්‍යාපාරිකයෝ හිස මත තබාගත් නගර සභාපති කෙනෙකුගෙන් වෙන කුමක් බලාපොරොත්තු විය හැකිද යන්න අසන්නේ ඔහුගේම පාක්ෂිකයෝ ය.

මෙම මුග්ධ තීන්දුව ගත් ගාමිණි ලොකුගේ බේරා ගැනීමට, අප මිත්‍ර හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක ද පෙණී සිටියේය. හුදෙකලා කිරීමට තීන්දුව ගත් සෞඛ්‍ය වෛද්‍යතුමියට දොස්පවරමින් ඔහු ප්‍රදේශයේ ජනතාව රකිනවාට වඩා තම ප්‍රතිවිරුද්ධ දේශපාලඥයා රකින්නට ක්‍රියා කළේ ඇයි දැයි නොදනිමි. ගාමිණි ලොකුගේ ගේ ආදර්ශය මුළු රට පුරාම ක්‍රියාත්මක කිරීමට පොහොට්ටුවේ දේශපාලකයෝ ක්‍රියා කළේ නම්, රටට වන විපත කුමක් විය හැකිද? මේ මුග්ධ දේශපාලන තීන්දු ලත් තැනම ලොප් කිරීමේ වගකීම ඇත්තේ විපක්ෂයට මිස අන් කවරෙකුටද? එවන් විපක්ෂයක් නොමැති තැන විපක්ෂයකුත් නැත. රටකුත් නැත.

හදිසියේ පෙදෙසක් හුදෙකලා කළේ නම්, ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනම ම යාන්ත්‍රණයකින් සිදු කිරීම අදාල බලධාරීන්ගේ වගකීමය. ඒ සඳහා මහජන නියෝජිතයන් පෙරමුණ යුතුය. එසේ නොමැතිව, ජනතාව මරු තුළට කැඳවන මැර තීන්දු ගන්නා මහජන නියෝජිතයන්ගෙන් කවර සෙතක් ද?

අකාර්යෂම ආණ්ඩුවක, තකතීරු තීන්දු නිසා අද මුළු රටම අදෝනාවක් බවට පත්ව ඇත. එහි සිටින, ලොකුගේලා වැනි උද්ධච්ච දේශපාලකයෝ නිසා එම අදෝනාව ඛේදයක් බවට පත්ව ඇත. එවැනි දේශපාලකයෝ රකින විපක්ෂයේ සංවිධායකයෝ එම ඛේදය විනාශයකින් ම කෙළවර කරනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.