23 October, 2019

Blog

ගෝටාභය රාජපක්ෂ හා අනුෂ්ක දිල්හාර

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ගෝටාභය නන්දසේන රාජපක්ෂ තම සහෝදර මහින්ද රාජපක්ෂගේ රෙජීමය කාලයේ දී කරන ලදැයි කියන බරපතල වැරදි රැසක චෝදනාලාභියෙකි. නමුත් ඔහුට එරෙහිව එල්ල වී ඇති කිසිම චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඔහුව මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැත. එමගින් කියවෙන්නේ ගෝටාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්නට තරම් බරපතල චෝදනාවක් එල්ල වී නොමැතිය යන්න නොවේ. ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගන්නේ නම් ඔහුට එරෙහිව බරපතල චෝදනා රැසක් තිබේ. එහෙත් ඔන්න අත් අඩංගුවට ගන්නවා මෙන්න අත් අඩංගුවට ගන්නවා යැයි කොතෙක් ආරංචි පැතිර ගියත් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත.

බරපතලම කාරණාව වන්නේ ගෝටාභය රාජපක්ෂට එරෙහිව කුමන චෝදනා එල්ල වුවත් ඔහුව අත්අඩංගුවට නොගත යුතුය යන මනෝභාවයක් සමහර සමාජ කොටස් තුළවීම ය. ඊට හේතුව කොටි සංවිධානය පරාජය කර එහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරන විට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ගෝටාභය රාජපක්ෂ කටයුතු කිරීම ය. ඒ නිසා රටේ නීතිමය ක්‍රියාදාමය තුළ ඔහු සුවිශේෂී පුරවැසියකු බවට පත්ව තිබේ. ඒ සුවිශේෂත්වය නිසා නීතියට ඉහළින් සිටීමේ හැකියාව ද ඔහුට ලැබී තිබේ.

නමුත් පසුගිය අප්‍රියෙල් 21 දා පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ සිවිල් පුරවැසියන් බල්ලන් බළලුන් ගණනකට සලකමින් පොලීසියේ අභිමතය මත අත්අඩංගුවට ගන්නට පෙළඹුණි.  ඒ අතර රත්නපුරයේ අනුෂ්ක දිල්හාර ඇතුළු තරුණයන් ද මහියංගනයේ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන බරපතල ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සුවිශේෂ ය. එසේම එම ප්‍රහාරයට පෙර පටන්ම පසුගිය අප්‍රියෙල් මස ආරම්භයේ දී සම්මානනීය ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලදි. මේ සියළුදෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නීතියේ පවතින නිසි ක්‍රියාදාමයෙන් බැහැරව ද්වේශ සහගතව ය.

මහියංගනය ප්‍රදේශයේ කාන්තාවකගේ ඇදිවතෙහි වූ ධර්ම චක්‍රයකට සමාන රූපයක් නිසා ඈ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් පොලීසිය නිවට විය. පොලීසියේ ඉල්ලීම මත ඈ බන්ධනාගාර ගත කළ අතර ඈට එරෙහිව එල්ල කරන්නට ද නිශ්චිත චෝදනාවක් පොලීසියට හෝ නීතිපතිට නොවීය. එම මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ඇමිනෙස්ටි ජාත්‍යන්තරය පවා විරෝධය පළ කළේ ය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ, කාන්තාව හැඳ සිටි ඇඳුමේ තිබූ අදාළ රූපය ධර්ම චක‍්‍රයකට සමාන බව ය. ‘ඒ මගින් මිනිසුන් අතරේ නොසන්සුන්තාවක් ඇති වීමට ඉඩ ඇති නිසා ඇයව අත්අඩංගුවට ගත්තා. අධිකරණයට ඉදිරිපත් කොට මේ වන විට ඈ රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.’ යි ඔහු කීය.

ඇයව අත්අඩංගුවට ගත්තේ මොන නීතිය යටතේදැ යි ‘ඬේලි මිරර්’ ප‍්‍රශ්න කොට සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ‘පොලීසියේ නීති අංශය භාර අධ්‍යක්ෂවරයා විසින් එය තීන්දු කරන’ බවයි. ‘මේ කියන රූපය ධර්ම චක‍්‍රයකට වෙනස්ව වෙනත් දෙයක් වගෙත් පේන නිසා ඒ ගැන පරීක්ෂා කොට, ‘බී’ වාර්තාව බලා ඒ ගැන තීරණයක් ලබා දෙන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා තිබෙනවා’ යි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබුණි.

එසේම පසුගිය මැයි විසිවැනි දින රත්නපුර පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ පසුව බන්ධනාගාර ගත කළ අනුෂ්ක දිල්හාර ඇතුළු තරුණයන් පිරිසට චෝදනා එල්ල කරන ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. දිගින් දිගටම ඔවුන් බන්ධනාගාර ගතව සිටියත් ඔවුන්ට එරෙහිව නිශ්චිත චෝදනාවක් අදාළ පනත යටතේ එල්ල කිරීමට පොලීසිය හෝ නීතිපති හෝ සමත් නොවීය. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අවවරප්‍රසාදිතයන්ට ද්වේශසහගතව සැලකීමට ශ්‍රී ලංකා පොලීසියටත් නීතිපතිටත් හැකියාවක් පවතී. ඒ නිසා මාසයකට අධික කාලයක් නිශ්චිත චෝදනාවක් හෝ නිශ්චිත සාක්ෂියක් හෝ නොමැතිව හුදු පැමිණිල්ලක් මත මේ තරුණයන් පිරිස බන්ධනාගාරයට ගාල් කිරීමට පාලකයන්ට හැකිවිය.

අනුෂ්ක දිල්හාර ඇතුළු තරුණයන් පිරිසට යුක්තිය ඉෂ්ඨ වෙමින් ඇප ලැබුනේ පසුගිය 26 වන දා බදාදා එම සිද්ධියට රත්නපුරයේ අලුත් පොලිස් අධිකාරිවරයා පෞද්ගලිකවම මැදිහත් වූ නිසා ය. ඔහු අදාළ ලිපි ගොනුව විමර්ශනය කර රතපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකට උපදෙස් ලබාදී ඇත්තේ වහාම චෝදනා සංශෝධනය කොට තරුණයන්ට ඇප ලබා ගැනීමට ඉඩ දෙන ලෙසයි. ඒ අනුව පොලිසිය විසින්  තරුණයන්ට මීට පෙර එල්ල කළ චෝදනා සංශෝධනය කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් නොලැබීම නිසා මෙම තරුණයන්ට අදාළ චෝදනා සංශෝධනය කළ නොහැකි බව පොලිසිය පාර්ශ්වයෙන් මිට පෙර නඩු වාරයේදී පවසා තිබිණි. මීට පෙර අදාළ තරුණයන්ට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර තිබු නිසා, මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබා දීමට බලයක් නොතිබිණි. රත්නපුර නව පොලිස් අධිකාරිවරයා මෙම සිද්ධියට මැදිහත්වීම නිසා නිශ්චිත චෝදනාවක් නොමැතිව තම මානව අයිතීන් උල්ලංඝනය වෙමින් තිබූ තරුණ පිරිසකට සාධාරණය ඉෂ්ඨ විය. 

කෙටි කතාවක් ලියා එය ෆේස්බුක් අවකාශයේ පළ කළ සම්මානනීය ලේඛක ශක්තික සත්කුමාරට ද අත්වූයේ මෙවැනිම අභාග්‍ය සම්පන්න ඉරණමකි. එම කෙටි කතාවේ අඩංගුව මගින් බුදුන් වහන්සේට අපහාසයක් වූවා යැයි පවසමින් පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් කෝප වූහ. ඔවුන් විසින් පොලීසියට කළ පැමිණිල්ල මත පිහිටමින් පොලීසිය ඉවක් බවක් නොමැතිව ශක්තිකව අධිකරණයට ඉදිරිපත් කළේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියට අදාළ පනත යටතේ ලැබී ඇති නීතිමය ප්‍රතිපාදන මගිනි.

එනිසා මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියේ ඉල්ලිම මත ශක්තිකව බන්ධනාගාර ගත කළේ ය. ශක්තිකට එරෙහිව නිශ්චිත චෝදනාවක් තබා ශක්තික ලියා ප්‍රසිද්ධ කළ කෙටි කතාව හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය අපොහොසත් විය. පසුව හෙළිදරව් වූයේ ශක්තිකව අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර නීතිපතිගෙන් උපදෙස් ලබා ගැනීමට තරම් හෝ පොල්ගහවෙල පොලීසිය උනන්දු වී නොමැති බව ය. 

ශක්තිකට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගෙන ඇත.  එසේම ඇප ලබා ගැනීම සදහා වූ ඉල්ලීමක් කුරුණෑගල මහාධිකරණයේ විභාගයට ගෙන ඇත. අධිකරණ ක්‍රියාවලියේ පවතින සංකීර්ණ පටිපාටීන් නිසා ශක්තිකට ක්ෂණිකව සහනයක් ලැබෙන්නේ නැත. එහෙත් නීතිපතිවරයාගේ ලැජ්ජා නොමැති රාජකාරීමය භාවිතාව නිසා ශක්තික සත්කුමාරගේ මානව අයිතීන් උල්ලංඝනය වන බව ඉතා පැහැදිලි ය. 

පසුගිය 26 වන දා බදාදා කුරුණෑගල මහාධිකරණයේ දී ශක්තිකගේ ඇප ඉල්ලීම සලකා බැලූ විට නීතිපතිවරයාගේ සුපුරුදු ද්වේශ සහගත භාවිතාව නිසා ඔහුට ඇප ලබා ගැනීමට අපහසු විය. ශක්තික ලියූ කෙටි කතාව නඩු ගොනුවේ ඉදිරිපත් කර තිබිය දී ත් නීතිපතිවරයා ප්‍රකාශ කළේ එම කෙටි කතාවේ මුල් පිටපත ලබාගෙන අධ්‍යයනය කිරීමට සාධාරණ කාලයක් අවශ්‍ය නිසා ශක්තිකව තවදුරටත් බන්ධනාගාරයේ තබන ලෙස ය. ෆේස්බුක් අවකාශයක පළ කළ කෙටි කතාවක මුල් පිටපතක් ගැන කතා කිරීමට තරම් නීතිපතිවරයා මුග්ධවීම කනගාටුදායක කරුණකි. එසේම එම කෙටි කතාව කියවා අධ්‍යයනය කිරීමට සති තුනක කාලයක් ඉල්ලා සිටීම ද ශක්තිකව හිරිහැරයට ලක් කිරීමේ නීතිපති වෑයමේ උත්සාහයකි.

ගෝටාභය රාජපක්ෂට බරපතල චෝදනා තිබියදී ත් නඩු පවරද්දීත් ඔහුව අත් අඩංගුවට ගන්නේ නැත. එහෙත් ශක්තික සත්කුමාරලා, අනුෂ්ක දිල්හාරලා සාක්ෂි නැතිවත් නිශ්චිත චෝදනා නැතිවත් බන්ධනාගාර ගත කෙරේ. ගෝටාභය රාජපක්ෂ සම්බන්ධයෙන් භයෙන් ත්‍රස්තව වෙව්ලන නීතිපතිවරයා ශක්තිකලා, අනුෂ්කලා සම්බන්ධයෙන් වීරයන් ලෙස කටයුතු කරයි. මෙය පැහැදිලිවම වරප්‍රසාදිතයන්ට එක ක්‍රමයකටත් අවවරප්‍රසාදිතයන්ට තවත් ක්‍රමයකටත් සැලකීමේ නින්දිත වෑයමකි.

සමාජයේ වරප්‍රසාදිතයන්ට පොලීසියත් නීතිපතිත් බියවීම තේරුම් ගත හැකිය. එහෙත් මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩුව ද වරප්‍රසාදිතයන්ට බිය වී අවවරප්‍රසාදිතයන් හමුවේ වීරයන් ලෙස උඩ පැනීම නින්දා සහගත ය.  රත්නපුරයේ දී පොලිස් අධිකාරිවරයාට කරන්නට පුළුවන් දේ මුළු රටේම පීඩා විදින අහිංසකයන් සම්බන්ධයෙන් නීතිපතිට කරන්නට නොහැකිවීම කනගාටුදායක ය. එසේම ඒ අහිංසකයන් සම්බන්ධයෙන් සාධාරණය හා යුක්තිය ඉටු කරන්නට ආණ්ඩුවට නොහැකිවීම ආණ්ඩුවේ නිවටකම ය.

අහිංසකයන් පසුපස මර්දනය දියත් කරමින් ආණ්ඩුව උත්සාහ ගන්නේ වර්ධනය වී ඇති මුස්ලිම් විරෝධී සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ජන මනස දිනා ගැනීමට ය. එහෙත් ආණ්ඩුවට ජනවරම ලැබුනේ රාජපක්ෂවරුන් විසින් රාජ්‍යයේ දේශපාලන දෘෂ්ටිය ලෙස සිංහලබෞද්ධ ස්වොත්තමවාදය භාවිතා කිරීමට එරෙහිව ය. ජාතීන් අතර සංහිදියාව ඇති කරන්නට නම් පළමුව රාජ්‍යය ජාතිවාදීවීමෙන් බැහැර විය යුතු ය. මැතිවරණ ජයග්‍රහණය පතා සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට ආවැඩීමට ආණ්ඩුව පෙළඹේ නම් එය ආණ්ඩුවේ පමණක් නොව රාජ්‍යයේ ද සමස්ත සමාජයේ ද අවසානය බව සටහන් කර තැබිය යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.