25 April, 2024

Blog

එල්ලලා මරමුද? එල්ලිලා මැරෙමුද?

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

එකෙකු

මරා 

මිණී මරුවෙකු වූ 

තවකෙකු 

මරා 

අපද මිනීමරුවන් වෙමු ? 

එක එක කාලයේ එක එක රටවල භාවිත වූ එක එක ජාතියේ එල්ලුම් ගස් ඇත. කනප්පුවක සිටුවා බෙල්ලට ලනුව දමා කනප්පුව අයින් කිරීමෙන් ගෙල සිරවීමට සලස්වා ඝාතනය කිරීම, කනුවක මුදුනේ බෙල්ල හා දෙපා ගැට ගසා දෙපා බැඳි ලනුව ලිහිල් කිරීමෙන් ඝාතනය කිරීම හා 1872 දී ඉංග්‍රීසි ජාතිකයින් හඳුන්වා දුන් අදටත් වලංගු පෝරකය ඒ අතර බහුලව භාවිත වූ ක්‍රමය. මේ මොන ක්‍රමයෙනුත් අවසානයේ සිදුවූයේ මිනිසෙක් තවත් මිනිසෙකු අතින් දැනුවත්ව හා සැලසුම් සහගතව ඝාතනය වීමයි. 

සිංහල බෞද්ධ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති තැන්පත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාඩම්බරයෙන් යුතුව යළි ක්‍රියාත්මක කිරීමට යන්නේ දශක හතරක් තිස්සේ අත නොතැබූ ඉන්ග්‍රීසි මාදිලියේ පෝරකයයි. ඉන්ග්‍රීසීන් පවා සිය රටෙහි 1965 සිට  මුලුමනින්ම තහනම් කළ පෝරකයයි. 

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමී” ලෙස බුදු බනේ කියවෙයි. ඒ නිසා අන් කෙනෙකුගේ නියෝගයක් ක්‍රියාවට යොදවන, මැරීමේ චේතනාවක් නොමැති අලුගෝසුවා මේ කර්මයෙන් නිදහස් වන්නේය. එසේනම් ඒ පාපය යම් අයෙකු එල්ලා මැරීමට අණ​ කරනු ලබන හා ඊට අනුමැතිය හා අවසරය ලබා දෙන පාර්ශවය​ටම හිමි වන්නේය. සිරිසේන ජනාධිපතිවරයා සිංහල බෞද්ධයෙක් වන නිසා මේ දහම් කරුණූ දත යුත්තේය. 

මරණ චේතනාවක් නොමැති නිසා පවෙන් නිදහස් වුවත් අලුගෝසු රස්සාවට මිනිස්සු කැමති නැත. එල්ලා මැරීම සක්‍රීයව ක්‍රියාත්මක නොවූ කාලයේ පවා එල්ලුම් ගස දැක පුහුණු කාලයේම බයෙන් පලා ගිය අය ගැන අසන්නට ඇත. 

කුන්ඩලකේෂී නම් රාජකුමාරියක් එසමයෙහි රාජ උදහසට ලක්ව සිර ගත කොට සිටි ජවසම්පන්න සොර දෙටුවෙකු හා පෙමින් වෙළුනාය. ඔහු නිදහස් කරන ලෙස පිය රජුට ඇවිටිලි කරමින් ආහාර වර්ජනය කරමින් නිදි වර්ජිතව සිටියාය. සුසුම් හෙලමින් කඳුලු වගුරුවමින් හැඩුවාය. සිය දියණිය​ මේ ප්‍රේම උන්මාදයෙන්ම මියෙතියි බිය වූ රජ්ජුරුවෝ රාජ පුරුෂයින් කැඳවා සිරකරු නිදහස් කරගැනීමට උපාය සෙවුවේය. අවසන ඒ සොර දෙටුවාට සමාන රූපයක් ඇති පුරුෂයෙක් දෑත් පිටිකර හයා බැඳගෙන අවුත් වදක බෙර ගසා වද මල් මාලා දමා ප්‍රසිද්ධ ස්ථානයකදී එල්ලා මරන්නට යෙදුනි. සැබෑ සිරකරුවා නිදහස්ව රාජ කුමරිය හා සරණ ගියේය. සරණ ගියාට හොඳක් වූයේ නැත. ඒත් ඒ කතාව මේ කතාවට අදාල නොවන බැවින් නොලියමි.

1779 වසරේ සැප්තැම්බර් 23 දා මරණ දඬුවම පිළිබඳව ආඥා පනත අනුව ප්‍රාණය නිරුද්ධ වනතුරු ගෙලෙන් එල්ලා වරදකරුවන් මැරීමට නීතියෙන් අවසර ලැබිණ. ඉංග්‍රීසි පාලනයට විරුද්ධව රටේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ඉංගිරියේ කලු අප්පු 1812 පෙබරවාරි 10 වෙනිදා එල්ලා මරන්නේ ඒ අනුවයි. 1885 සිට 1976 දක්වා කාලය තුළ මේ රටේ ජීවිත 2173 ක් පොරකයක එල්ලා ඝාතනය කර ඇත. 1976 ජුනි 23 වනදා තිස්සමහාරාමයේ ගොවියෙකු වූ හොඳ පපුවා නමින් ප්‍රසිද්ද අයෙකු එල්ලා මැරීමෙන් පසු මෙරට කිසිවෙකු එල්ලා මරා නැත. හොඳ පපුවා එල්ලා මරා දැමීම ගැන වෙනම කතා කළ යුතුය. 

ජීවත් වීමට සුදුසු රටක් සැදීම උදෙසා එල්ලා මැරීම යළි සක්‍රීය කරන බවට ජනාධිතිවරයා කියයි. මිනිසෙකු ඝාතනය කොට උදාකිරීමට හැක්කේ කුමන සතුටක්ද, කුමන නිදහසක්දැයි යළි සිතා බැලීමට ජනාධපතිපතිවරයා පෙළබෙනු ඇතැයි සිතමි. අශිෂ්ඨත්වයට යළි යාමෙන් ජීවත් වීමට සුදුසු රටක් කෙසේ නිර්මාණය වේද? 

අද වන විට ජීවත්වීමේ අයිතිය මූළික මිනිස් අයිතීන් අතර වඩාත්ම වැදගත්ම අයිතිය බව ශිෂ්ඨසම්පන්න ලෝකය පිළිගෙන ඇත. සියලු මූලික අයිතිවාසිකම් අවසානයේ ගොනු වන්නේද ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම උදෙසාය. ඒ නිසාම යම් කිසි අපරාධයක් උදෙසා ලබාදෙන දඩුවමක් ලෙස ජීවිතය අහිමි කිරීම කෙතරම් ගෝත්‍රික ද යන්න විමසිය යුතුය. 

යම් අපරාධකරුවෙකුට දඩුවම් පැමිණවීමේ මූලික අරමුණ ඔහු පුනරුත්තාපනය කිරීම මිස අන් කවරක්ද? 

මරණ දඩුවම අපරාධ පාලනය සඳහා කෙතරම් ප්‍රායෝගිකද යන්න අමෙරිකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වන හා නොවන ප්‍රාන්ත වල අපරාධ තත්වය ගැන වාර්ථා පිරික්සීමෙන් පැහැදිළි වේයි. එම වාර්ථා වලට අනුව පෙනී යන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක වන ප්‍රාන්ත වලට සාපේක්ෂව මරණ දඩුවම ක්‍රියාත්මක නොවන ප්‍රාන්ත වල අපරාධ අවම මට්ටමක පවතින බවයි. එසේම ලොව වැඩියෙන්ම සතුටින් ජීවත්වන මිනිසුන් සිටින සාමකාමී රටවල් එම තත්වයට පත්වීම සඳහා හෝ එම තත්වය පවත්වාගැනීම උදෙසා මරණ දඩුවම භාවිත කර නැත.  

සිරිසේන ජනාධිපතිවරයා ලගදී පිලිපීනයේ සංචාරයක නිරත විය. මේ දිනවල පිලිපීනය මානව හිමිකම් පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාගේ දැඩි විවේචනයට ලක්ව ඇත්තේ ජනාධිපති රුද්‍රිගු ගේ රුදුරු පාලනය නිසාය. මිනිසුන් ඉවක් බවක් නැතිව මරා දමන රුද්‍රිගු, සිරිසේන ජනාධිපතිවරයාට වීරයෙක් ලෙස පෙනෙන්නට ඇත. වීරයෙක් වගේ රට පාලනය කරන හැටි පිලිපීන පාලකයාගෙන් ඉගෙන ගන්නට ඇත. 1988/ 89 කාලයේ ලංකාව පාලනය කළ ආර්. ප්‍රේමදාස මහතාද ගෙන ගියේ ඝාතනයෙන් පිළිතුරු දෙන පාලන ක්‍රමයකි. යළි මේ රටේ ප්‍රේමදාස යුගයක් නිර්මාණය කරන බවට සජිත් ප්‍රේමදාස කියන විට ඇග හිරිවැටෙන්නේ ඒ නිසාය. නමුත් එහෙවු ප්‍රේමදාසවත් එල්ලා මැරීම යළි සක්‍රීය කිරීමට ගියේ නැති බව සිරිසේන ජනාධිපතිවරයා විසින් සලකා බැලිය යුතුය. 

අප දැන් පිවිසිය යුත්තේ ශිෂ්ඨ සම්පන්න ලෝකයකටය. ඝාතනයෙන් සමාජයක් මෙල්ල කිරීම නොදියුනු ගෝත්‍රික ක්‍රියාවකි. ආර්ථික වශයෙන් රටක් පිරිහීමට වඩා සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් රටක ඇති වන පිරිහීම දිගුකාලීනව අහිතකරය. පරම්පරා ගණනක් දරුවන්ටද අශිෂ්ටත්වයේ විපාක විඳින්නට සිදුවනු ඇත. 

දැන් මේ එල්ලා මැරීම සිරිසේන ජනාධිපතිවරයාගේ තනි මතයට අනුව සිදුවන්නි. ව්‍යාවස්ථාවෙන් ඔහුට ඒ සඳහා අධිකාරීමය බලය පවරා ඇතත් පොදු මතය සලකා බැලීමේ ව්‍යවස්ථව හා බැඳි මානව දර්ශනය යළිත් ජනාධිපතිවරයාට අමතක වී ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය, විපක්ෂය හා සෙසු පක්ෂ ගණනාවක්, එනම් පාර්ලිමේන්තුවේ අති බහුතරයක් ජනාධිපතිවරයාගේ මෙම තීරණයට විරුද්ධය. යළිත් ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර සීතල යුද්ධයකි. කථානායකවරයාට යළි පාර්ළිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රධාන භූමිකාවක් රගදක්වන්නට සිදු වනු ඇත. ඔහු එය කලු නොවැම්බරයේ කලාක් මෙන් විශිෂ්ඨ අන්දමින් කරනු ඇතැයි ඝාතනයට එරෙහි ශිෂ්ඨත්වයට හිතැති මිනිසුන් බලා සිටිති. 

කෙසේ හෝ සිරිසේන ජනාධිපතිවරයා එල්ලුම්ගහට පන දුන්නොත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ එල්ලීලා මැරෙන්නටය. 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    3

    මේක විකාර කතාවක් නෙ.
    යමෙක් සැලසුම් කරලා තව කෙනෙකු මරණවා. අධිකරනය ඒ බව තේරුම් ගෙන ඒ අපරාධකරුට මරණ දඩුවම දෙනවා. ඒක ශිෂ්ට සම්පන්න නැතිලු. ඒහෙනම් අදිකරනයත් මරණ දඩුවම දෙන ඒක නවත්වන්න අවශ්‍යයි නේද?
    වැඩිහිටියෙකු වරදක් කළාම දෙන දඩුවමත් ඒ වරදට ගැලපෙන්න සමාන වෙන්න අවශයි.
    ජනාදිපති ඒ දඩුවමට අත්සන් කරන්නේ ඒ මිනිහත් එක්ක තියෙන පුද්ගලික තරහකට නොවේ. ඔහුගේ නිල තනතුරට පැවරී ඇති සමාජ වගකීමක් ඉටු කිරීමටයි.
    ලංකාවේ වැඩි දෙනා නීතිය කඩන්නේ නැත්තේ ඔවුන් හොද අය නිසාවත් පුනරුත්තාපනය වූ නිසාවත් නොවෙයි. දඩුවම් ලැබෙයි කියන බයටයි.

  • 1
    0

    බුදු දහමට අනුකුලව බැලුවත් වරදට දඬුවම නියත බව පැහැදිලිව සඳ හන්වේ. ඒ අනුව වරද අකුසලයක් ලෙස නිර්වචනය වේ. වරදෙහි ස්වභාවය අනුව දඬුවම නිශ්චය කෙරේ. එය දහමට අනුව ස්වභාව ධර්මය විසින් ලබාදෙන දඬුවම වන්නේය. මෙය දහමට අනුව කියැවෙන්නේ විපාකය වශයෙනි. විපාකය නියත වුවද විපාක විඳින්නට සිදුවන මොහොත ගැන පෘතග්ජන අපහට ඇති දැනුම ඉතාම අල්පය. මන්ද අප සිදුකරන කර්ම වල විපාක අතිවිශාල සංඛ්‍යාවක් දැනටත් අප පිටුපස පෝලිමේ හඹා එමින් සිටි. කරත්ත කරුගේ ගැල පිටුපස නිරන්තරයෙන් ඇදී එන රෝද දෙකක් ලෙසිනි. එහෙත් මෙකි න්‍යාය ධර්මය සාමාන්‍ය මිනිසෙකුට පියවි ඇසින් දැකිය නොහැකිය. මන්ද විපාක ගලපනු ලබන්නේ උසාවි වලින් නොව ස්වභාව ධර්මය විසින් එක් එක් කර්මවල පවතින බරපතල ස්වභාවය අනුවය. ඇතැම් විපාක (දඬුවම්) දිට්ට ධම්ම වේදනීය කම්ම යෑයි අප හඳුන් වන්නේ එබැවිණි එහෙත් මෙකි ස්වභාවය පියවි ඇසට නොපෙනෙන දෙයක් බැවින් මිනිසා ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් කිරීම සඳහාත් වරදෙහි බැඳීම වලක්වා ගැනීම සඳහාත් මිනිසා විසින් සකසා ගත් නීති පද්ධතියක් ක්‍රියාත්මක කෙරේ. එක් එක් රටවල නිතිය ක්‍රියාත්මක වන ආකාරය වෙනම විශ්ලේෂණය කල යුතු විෂයයකි. කෙසේ වුවද මෙහි ඇති සාධනීය බව කිසිසේත් ලඝු කොට සැළකිය නොහැක.
    අප විසින් වරදෙහි ස්වභාවය අනුව දෙනු ලබන උපරිම දඬුවම කිසිසේත්ම මරණ දඬුවම විය යුතු නැත. ශිෂ්ට සම්පන්න සමාජය මරණීය දණ්ඩනය පිළිකුල් කරනු ලබයි. ඒ වෙනුවට දුෂණයෙන් භීෂණයෙන් වංචාවෙන් තොරවූ සික්ෂා කාමී ශිෂ්ට සමාජයක් බිහි කල යුතුය. ඒ සඳහා ජනතාව පෙරමුණ ගතයුතු කාලය දැන් උදාවී ඇත. මන්ද මරණ දඬුවම යනු ම්ලේච්ච් පාලනයේ පිළිකුල් වුද ඇති භයංකර වුද ජනතා හිතකාමී නොවන අශිෂ්ඨ පියවරක් වන බැවිණි .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.