24 April, 2024

Blog

කිසිත් නොදන්නා මහින්ද රාජපක්ෂ හා වාසු,විමල්, දිනේෂ්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ජනවාරී 09 වැනිදා ජනාධිපතිවරණයෙන් පැරදී මැදමුලනට පළා යනවිටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණේ නොසිතූ පරාජයේ වේදනාව හා කෝපය මිස පෙරලා පහරදීමේ අවශ්‍යතාව නොවේ. එසේම තම පුත් නාමල් රාජපක්ෂගේ ඉදිරි දේශපාලන ජීවිතයට කළු පැල්ලමක් එක් කරන්නටත් ඔහුට අවශ්‍යතාවක් නොතිබුණි. එහෙත් මේ වනවිට රාජපක්ෂවරුන්ගේ දේශපාලන උරුමය පවා පරදුවට තබමින් ඔහු කියන කරන දෑ අනුව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන අවශ්‍යතාව බාහිර බලවේගයක අවශ්‍යතාවක් බවයි.

කොහොමටවත් මහින්ද රාජපක්ෂ යනු දේශපාලන කියවීමක් තිබූ චරිතයක් නොවේ. 2002 තරම් ඈතක එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එල්.ටී.ටී.ඊය හා සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන විට මහින්ද රාජපක්ෂට ඒ ගැන මතයක් නොතිබුණි. 2005 දී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සුනාමි සහන මණ්ඩලය ඇති කරන්නට යන විට මහින්ද රාජපක්ෂට ඒ ගැන මතයක් නොතිබුණි. 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද චින්තනය සම්බන්ධයෙන් පවා මහින්ද රාජපක්ෂට මතයක් නොතිබුණි. ඒ සෑම අවස්ථාවකම ඔහු නියෝජනය කළේ වඩා ජනප්‍රිය වඩා ආකර්ශනීය අනෙකාගේ මතයයි.

සියම් මහා නිකාය ජනරංජන සම්මානය පිරිනමමින් සිංහලබෞද්ධ නායකයා ලෙස අභිෂේක කරන්නට ආරම්භ කළ මොහොතේ සිටම ආ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ගමන් මග තුළ මහින්ද රාජපක්ෂ නියෝජනය කළේ අනෙකාගේ මතය මිස තමන්ගේ මතයක් නොවේ. තමන්ට මතයක් නොතිබුණ ජනප්‍රිය හා ආකර්ශනීය අනෙකාගේ මතය තමන්ගේ කර ගත් ඔහුට දේශපාලන ගැටුම් වලට මුහුණ දෙන්නට ද සිදුවූයේ නැත.

Mahinda2015 ජනවාරී 09 දා ජනාධිපතිවරණයෙන් පරාජය වී මැදමුලනට පසු බසින විටත් නිහඩව සිටි මහින්ද රාජපක්ෂට මතයක් නිර්මාණය කරදුන්නේ ඒ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පෝෂණය කර ලොකු මහත් කර තිබූ පාදඩ සමාජ තීරුවයි. ඒ සමාජ තීරුවේ දාර්ශනික මොළය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය විසින් නියෝජනය කරන විට හදවත නියෝජනය කළේ යුද්දය ජයග්‍රහණය කළ සිංහලබෞද්ධ වීරයා විසිනි. දිනේශ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ එහි කසකරුවෝ වූහ.

මහින්ද රාජපක්ෂ සමග යළි නැගිටින්නට තැත් කරන බලවේගයට අලුත් දේශපාලන වැඩපිළිවෙලක් ඇති බවක් ද නොපෙනේ. තමන් මෙතෙක් නියෝජනය කළ දේශපාලන වැඩපිළිවෙල ජනාධිපතිවරණයේ දී ප්‍රතික්ශේප වුවද එය තේරුම් ගනිමින් ඊට වෙනස් ගමනක් යෑමේ අවශ්‍යතාව ද පිළිගෙන ඇති බවක් දක්නට නොමැත. එසේම ජනාධිපතිවරණයේ දී ජනතාව සම්මුති ගතවූ වැඩපිළිවෙල තමන් ප්‍රතික්ශේප කරන්නේ නම් ඊට විකල්පයක් ඉදිරිපත් කරන්නට ද මේ දේශපාලන බලවේගයට අවශ්‍යතාවක් ඇති බවක් නොපෙනේ. එකම් අවශ්‍යතාව ජනාධිපතිවරණයේ දී ප්‍රතික්ශේප වූ දේශපාලන වැඩපිළිවෙල අගති විරහිතව පිළිගනිමින් ඉදිරියට යන්නටය.

සමාජයක් තුළ විවිධ සමාජ තීරු පවතී. ඒ ඒ යුගය තුළ දේශපාලන බලය රැක ගන්නා සමාජ තීරුවට ශක්තිමත් පිළිගැනීමක් ලැබේ. ඒ අනුව රාජපක්ෂ යුගය තුළ රාජ්‍ය බලය ලැබුනේ පාදඩ සමාජ තීරුවටයි. ඒ අනුව සමාජයේ කෙළවරට තල්ලු කළ යුතු සමාජ කොටසකට රාජ්‍ය බලය ලබාදීමේ මහින්ද සංස්කෘතිය ඉදිරියටත් සමාජය තුළ ශක්තිමත් කර ගැනීම මේ බලවේගයේ අරමුණ බව පැහැදිලි ය.

ගමෙන් නගරයට ආ මධ්‍යම පාන්තික සමාජ තීරුව මුහුණදෙන බරපතලම ගැටළුව වන්නේ ඔවුන් මුහුණ දෙන අනන්‍යතා අර්බූදයයි. ගමේ සිංහලබෞද්ධ සංස්කෘතිය තුළ පෝෂණය වූ මොහුන් ආර්ථික අතින් ශක්තිමත් වී ඇත්තේ නගරය තුළ ය. එහෙත් නගරයේ සංස්කෘතිය තුළ ඔවුන් නියෝජනය නොවන නිසා ඒ සමාජයේ ශක්තිමත් පිළිගැනීමකට ඔවුන් ලක් නොවීම ලොකුම ඛේදයකි. ඒ නිසා පෙරලා ගමේ සංස්කෘතියට ආපසු යා නොහැක්කේ එවිට ඔවුන්ගේ ආර්ථික පදනම් බිද වැටෙන බැවිනි. එනිසා මේ සමාජ තීරුව වැර යොදා උත්සාහ ගන්නේ නගරය තුළ රැදී සිටීමට තරම් ශක්තිමත් අනන්‍යතාවක් ගොඩනගා ගැනීමටයි.

මහින්ද සංස්කෘතිය ජනපදනමක් ගොඩනගා ගන්නේ මෙලෙස අනන්‍යතා අර්බූදයකට ලක්වූ සමාජ තීරුව කේන්ද්‍ර කර ගත් චින්තන ධාරාවක් වටා ය. රට බේරා ගත් නායකයා යැයි මහින්ද රාජපක්ෂව ඉහළට ඔසොවා තබන ජනවිඥාණය එහි පෝෂක බලවේගයකි. ඒ අනුව ඈත ගමබද වන්නි හත්පත්තුවේ සිට කොළඹ මහරගම දක්වා මහින්ද සංස්කෘතියට ජනපදනමක් නිර්මාණය වී තිබේ.

එක් විශේෂිත සමාජ තීරුවක සිතුම් පැතුම් නියෝජනය කිරීම, මහජන නියෝජනයට යම් ඉඩකඩක් සැපයුව ද රාජ්‍ය බලය ලබා ගැනීමට එවැනි ජනපදනමක් ප්‍රමාණවත් වේ යැයි කිව නොහැක. මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ කාලය තුළ රාජ්‍ය බලයේ ශක්තියෙන් විවිධ සමාජ තීරු නියෝජනය කළ බලවේගයන් එකිනෙකට පරස්පර වුවද රාජ්‍යය තුළ කොටුකර ශක්තිමත්ව තබා ගැනීමට සමත් වුණි. එහෙත් රාජ්‍ය බලය අහිමි වකවානුවක සිංහලබෞද්ධ සීමාන්තික ජනපදනමක් නියෝජනය කරන මතවාදයක් වටා රාජ්‍ය බලය ලබා ගැනීම සදහා වූ ජනවරමක් ගොනු කළ නොහැක. 2005 දී එවැන්නක් කළේ එල්ටීටීය හා සම්මුති ගතව අහඹු ලෙසය. එහෙත් එවැනි වාතාවරණයක් නොමැති වකවානුවක රාජ්‍ය බලය ලබා ගැනීමට එක් විශේෂිත සමාජ තීරුවක සිතුම් පැතුම් ඉක්මවා යෑම අනිවාර්ය අවශ්‍යතාවකි.

මේ දේශපාලන ධ්‍රැවීකරණය තුළ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ තරග කිරීම වටා ජනපදනමක් ගොඩනැගීමේ විභවයක් ඇත්තේ සිංහලබෞද්ධ ජනතාවගේ බහුතර බලය ඇති ප්‍රදේශයන්හි පමණි. ඒ ප්‍රදේශයන්හි වුවද බහුතරය වන සිංහලබෞද්ධ සමාජ තීරුව මුළුමනින්ම මහින්ද සංස්කෘතියට එකග වෙතැයි කිව නොහැක. ඒ අනුව විවිධ ජනකොටස් ජීවත්වන ප්‍රදේශයන්හි මහින්ද රාජපක්ෂට ශක්තිමත් බලයක් ගොඩනැගේ යැයි සිතීම උගහටය.

ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගෙන්නේ සියළු ජනකොටස් නියෝජනය වන්නා වූ දේශපාලන ව්‍යාපාරයක් වටා ය. ඒ අර්ථයෙන් මහින්ද සංස්කෘතියට දිවයිනේ වැඩි ප්‍රදේශයක ජන බලයක් ඇති වන්නේ යැයි ගණන් බැලීම අර්ථ විරහිත ක්‍රියාවකි. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානය හා සම්මුති ගතව හෝ වෙනම ව්‍යාපාරයක් ලෙස හෝ තරග කිරීම රාජ්‍යයේ බලය ලබා ගැනීමට දරන ශක්තිමත් උත්සාහයක් නොවේ.

මහින්ද රාජපක්ෂ ඉදිරි මහා මැතිවරණයේ දී තරග කිරීම, වඩා වාසිසහගත වන්නේ ඔහු වටා පෙළ ගැසී ඉන්නා අවස්ථාවාදී පුද්ගල චරිතයන්ට මිස ඔහු පදනම් වී ඇති සමාජ බලවේගයට නොවන බව අමුතුවෙන් කිය යුතු නොමැත. උදාහරණයකට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මනූෂ නානායක්කාරට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට නම් මහින්ද රාජපක්ෂ වෙනම තරග කළ යුතු වීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ හැරෙන්නට ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකේ කිසිම ලැයිස්තුවකින් මනූෂ නානායක්කාරට ශක්තිමත් ජනපදනමක් ගොඩනගා ගැනීම අසීරු ය.

ගාල්ලේ මනූෂ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි එවැනි නන්නත්තාර දේශපාලන චරිත පවතී. රත්නපුරේ වාසුදේව නානායක්කාර, මහනුවර කෙහෙළිය රඹුක්වැල්ල, කොළඹ ගාමිණී ලොකුගේ තවත් උදාහරණ කිහිපයකි. ඒ චරිතයන්ට ජන බලයක් ගොඩනැංවෙන්නේ මහින්ද රාජපක්ෂගේ වෙනම තරග කිරීම තුළ පමණක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

අනුන් නිර්මාණය කළ දේශපාලන වේදිකාවක කරළියට පැමිණීම මහින්ද රාජපක්ෂට උදාකර දෙන්නේ හුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම පමණි. සිංහලබෞද්ධ සීමාන්තික මතවාදයක් නියෝජනය කරන මහින්ද රාජපක්ෂට කොහොමත් සිංහල බෞද්ධ සියළු ඡන්ද ලබාගත නොහැක. සුළු ජාතික ඡන්ද කෙසේවත් ලබාගත නොහැක. ඒ අර්ථයෙන් අගමැති සිහිනය තබා තමන් තරග කරන පිළට බහුතර බලයවත් ලබා ගත නොහැකි බව මහින්ද රාජපක්ෂ විසින් තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි. එහි අනිවාර්ය හානිය වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයට කළු පැල්ලමක් එකතුවීමයි.

ජනවාරී අට වෙනිදා මේ රටේ සිටි භයනක ඒකාධිපතියකු ගෙදර යැවීම සමාජය අත්කර ගත් විශිෂ්ඨ ජයග්‍රහණයකි. තමන් ලබා ගත්තේ පරාජයක් නොවන්නේ යැයි ඒ ඒකාධිපතියා සිතන්නේ නම් තවත් අලුත් වටයකින් ඔහුව පරාජය කිරීමට සමාජය පසුබට වන්නේ නැත.

*shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.