24 September, 2018

Blog

තඹුත්තේගම රාජපක්ෂ ගමේ හොල්මන් කතාවේ සැබෑ සුළමුල

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

අප සමාජයේ කිසියම් පිරිමියකු කාන්තාවක හෝ දරුවකු හෝ දැරියක ප්‍රකෘති නොවන නිමිත්තක් මුල්කොට බියකට, තැති ගැනීමකට පත්වීම අතිශය සරල, ස්වාභාවික සිදුවීමකි. වර්තමානයට සාපේක්ෂව අතීතයේ බහුලව අසන්නට දකින්නට ලැබුණු මෙබඳු සිදුවීම් එකල ගම් මට්ටමින් පිටතට පැන ගියේ නැත. ගමේ කට්ටඩි රාළගෙන් ලැබුණු සරල නොවිධිමත් මනෝ චිකිත්සාවකින් ඒ ගැටලු නිමාවට පත් විය. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. අප සමාජයේ කිසියම් පිරිමියෙකු කාන්තාවක හෝ දරුවෙකු මෙබඳු මායාකාරී අත්දැකීමකට මුහුණ දීමත් සමග එම ප්‍රවෘත්තියට ලැබෙනුයේ ජාතික මට්ටමේ ප්‍රසිද්ධියකි. 

අතීතයේ අතිශය සරල සහ ස්වාභාවික සිදුවීම් ලෙස හැඳින්වුණු මෙබඳු ‘සිල්ලර ගණයේ’ පුද්ගල අත්දැකීම් මේ වන විට මෙරට ජාතික පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල ලෙස ඉහළට එසවී ඇති අවස්ථා පසුගිය දිනවල අපට දැකිය හැකිවිය.

එමෙන්ම රූපවාහිනී සේවාවල ප්‍රවෘත්ති විකාශයන් අතර ප්‍රධාන ප්‍රවෘත්ති අතරට එක්වීමට තරම් මෙම සිදුවීම් “බල සම්පන්න” වී තිබිණ. ඊටත් අමතරව මෙවැනි ප්‍රවෘත්තියක් පිළිබඳ හෝඩුවාවක ඉව වැටුණු සැනින් ඒවා සිංහල වෙබ් අඩවි අතරේ ‘වසංගතයක්’ සේ පැතිර යාමේ සම්භාවිතාවක් ද මේ දිනවල දක්නට ලැබේ.

සිංහල මාධ්‍ය භාවිතයේ මෙම අද්භූතවාදී ප්‍රවණතාව මෙතරම් ශීඝ්‍ර ලෙස ඉහළ නැංවුණු යුගයක් මීට පෙර උදාවී නොතිබිණි. මේ සම්බන්ධ අලුත්ම සංසිද්ධිය මීට සති කිහිපයකට ඉහත වාර්තා වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම රාජපක්ෂ ගමෙනි. එම ගම්මානයේ පනස් එක් හැවිරිදි කාන්තාවක මහ දවා‍ලේ කුඹුරේ වතුර බැඳීමට ගිය අතරේ දුටු මායාකාරී රූප තුනක් මුල්කර ගනිමින් ඇතිවූ මාධ්‍ය කලබැගෑනිය මුළු මහත් ජාතියේම ගුප්ත භීතිය යම් තරමකට ඔසවා තබන්නට සමත් විය.

ghost attack“මම කුඹුරට වතුර බඳින්න යන කොට පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි තරමක ළමයෙකුයි මගේ ඉස්සරහ පෙනී ඉඳලා එක පාරටම පේන්නේ නැතුව ගියා.’ එම කාන්තාව ප්‍රකාශ කොට තිබිණ. එහෙත් පසුව ඇගේ එම ප්‍රකාශය රටේ ජනගහනයෙන් වැඩිම පිරිසකගේ නෙත් සහ සවන් පත්හි ගැටීමට අවශ්‍ය කටයුතු අපගේ මාධ්‍යකරුවන් අප්‍රමාදවම සම්පාදනය කොට තිබිණ.

මෙම සිදුවීමත් සමග අපගේ මතකයට නැංවෙනුයේ පසුගිය කාලයේ අප රට දෙවනත් කළ “ග්‍රීස් යකා”ගේ භූමිකාවය. මෙම ග්‍රීස් යකා පිළිබඳ භීතිය පසුගිය කාලය පුරා සමාජයේ කෙතරම් තදින් පැතිර ගියේද යත් “ග්‍රීස් යකුන්” සේ වරදවා වටහාගත් අහිංසකයන් කිහිප දෙනකු නිරපරාදේ මරු තුරුලට යැවීමට පවා භීතියෙන් සසල වූ ගැමියෝ පසුබට නොවූහ. මේ සමහර ඝාතන කවුරුන් විසින් කරන ලද්දේ දැයි තවමත් සොයා ගත නොහැකි වී තිබේ. එමෙන්ම පසුගිය කාලයේ ප්‍රබල සමාජමය සංසිද්ධියකට මුල් වූ ග්‍රීස් යකා පිළිබඳ කිසිදු විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් මේතාක් සිදු වී නැත. ඒ සම්බන්ධයෙන් අපගේ සමාජ මනෝ විද්‍යාඥයන් (Social Psychologist), වෝහාරික විද්‍යාඥයන් (Forensic Scientist), වෝහාරික වෛද්‍යවරුන් (Forensic Pathologist), සමාජ විද්‍යාඥයන් (Sociologist) ආදීන් ලජ්ජා විය යුතුය. අදාළ විෂය ක්ෂේත්‍රයට යම් සබඳතාවයක් ඇති මාධ්‍යවේදියකු වශයෙන් මම ද එම ලජ්ජාවේ සම උරුමක්කාරයෙක් වෙමි.

සාමාන්‍යයෙන් මෙබඳු සිදුවීමක් මුල්කොට ඊට මුහුණ දුන් තැනැත්තා හෝ තැනැත්තිය කරනු ලබන ප්‍රකාශ කෙරෙහි පෙර සිටම සමාජයේ මූලික අවධානය යොමු විය. එහෙත් ඒවාට සවන් දෙන සැවොම ඒවා එක ලෙසින් විශ්වාස නොකළහ. තම තමන්ගේ දැනුම්, බුද්ධි සහ අධ්‍යාපන මට්ටම් අනුව ඒවාට විවිධ අර්ථකථන දීමට සමාජයේ විවිධ පිරිස් පසුබට නොවූහ. එහෙත් වර්තමානයේ එවන් සංසිද්ධීන් සම්බන්ධ ඛේදවාචකය වන්නේ එවන් පුද්ගලයන් විසින් කරනු ලබන ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය වේවා කිසිදු විචාරවත් බවකින් තොරව ඒවා මාධ්‍ය මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමය. එවිට ‘අසවල් පත්තරෙත් තිබුණා. අහවල් ටී.වී. චැනල් එකෙත් කිව්වා.’ යනාදී වශයෙන් ඒවාට යම් ප්‍රමිතියක් ලබාදීමට සාමාන්‍ය ජනතාව කටයුතු කරති. එහෙත් ඊට සමගාමීව ඒවා ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍යයේ ප්‍රමිතිය බාලවීමේ ඛේදවාචකය පිළිබඳව මාධ්‍යවේදීහු නොසිතති. නොතකති. එය ‘බාගෙන කන්නට ඇති වල ඉහගෙන කෑමක්’ යැයි සිතන කිසිවකුත් ඇති බවක් පෙනෙන්නට නැත. එමෙන්ම මෙවන් අද්භූත සංසිද්ධීන්ට හිතුවක්කාර අර්ථකථන සැපයීමටද සමහර මාධ්‍යයන් ඉදිරිපත් වී ඇති අයුරු පසුගිය දා මනාව ප්‍රදර්ශනය කෙරිණි. ඒ පසුගිය දිනවල තඹුත්තේගම කාන්තාව දුටු මායාකාරී දර්ශනය ‘පිටසක්වල ජීවීන්ගේ පැමිණීමක්’ සේ අර්ථ ගැන්වීමට පවා ඇතැම් මාධ්‍ය ක්‍රියා කිරීමෙනි.

ඉහත සඳහන් ආකාරයේ සිදුවීම් සම්බන්ධ ප්‍රාථමික වාර්තාකරණයෙන් බැහැර ගවේෂණාත්මක මාධ්‍යවේදයේ යෙදෙන්නවුන් අප රටේ නැත්තටම නැති තරම්ය. එසේම ගවේෂණාත්මක මාධ්‍යවේදය ඇසුරු කොට මෙවන් සිදුවීම් වත්මන් සමාජය හමුවේ විග්‍රහ කිරීමට යාම බීරි අලින්ට වීණා වැයීමක් සේ සිතන ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු ද අප අතර සිටිති. නූතන මාධ්‍ය භාවිතය තුළ මෙම අද්භූත සංසිද්ධීන් බහුලව වැපිරීමට එය ද හේතුවී තිබේ. කොටින්ම ජනතාවගේ ප්‍රඥාව පුබුදුවන ලිපි විශේෂාංගවලට වඩා ඔවුන්ගේ සිරුරුවල “මයිල් කෙළින් සිටුවන” වාර්තා ලිපි විශේෂාංගවලට වැඩි ඉල්ලුමක් පවතින බව නූතන ක්‍රියාකාරී මාධ්‍යවේදීහු ඉතා හොඳින් දැන හිඳිති.
තඹුත්තේගම රාජපක්ෂගමදී ඉහත කී කාන්තාව දුටු බවට පැවැසෙන මායාකාරී රූප තුන සම්බන්ධ එක් නිදාන කතාවක්ද තිබේ. එය මීට සති කිහිපයකට පෙර සිදුවූවකි.
ඒ සිද්ධිය සැකෙවින් මෙසේය.

තඹුත්තේගම ප්‍රදේශයේ එක් තරුණයෙකු තම වැඩිහිටි ඥාතියෙකුගේ අවමඟුලකට මතක වස්ත්‍ර පූජාවක් සඳහා භික්ෂූන් වහන්සේ වැඩම කිරීමට තම ත්‍රිරෝද රථයෙන් යමින් සිටියේය.

ඒ අතරතුර තඹුත්තේගමට නුදුරු සෝලම හන්දියේදී එක්තරා කාන්තාවක් ඊට අත පෙව්වා ය. සාමාන්‍යයෙන් මෙබඳු ග්‍රාමීය ප්‍රදේශවල රියැදුරෝ ගමනක් බිමනක් යනතුර අතරමග දී මෙලෙස රථයට අත ‍පොවන අයකු තමන් ගමන් කරන මගෙහි අතරමග ස්ථානයකට ගෙන ගොස් දමති. ඒ සඳහා එම ප්‍රදේශවල පවත්නා ප්‍රවාහන දුෂ්කරතාව සහ ඔවුන් තුළ පවතින මිනිසත්කම යම් යම් ප්‍රමාණවලින් සුසංයෝග වන්නට ඇත. කෙසේ හෝ තම රථයට නංවාගත් මෙම කාන්තාවට “අක්කේ” යනුවෙන් ආමන්ත්‍රණය කළ තරුණයා ඇයට යාමට අවශ්‍ය ස්ථානය පිළිබඳව ද විමසා තිබිණ. එවිට ඇය පවසා ඇත්තේ ‘කනත්ත ළඟට’ යනුවෙනි. බාහිර පෙනුම අනුව මෙම කාන්තාවගේ සම වියළී දුර්වර්ණ ස්වභාවයක් ගෙන තිබූ බව එම තරුණයාට පෙනිණ. රථය ගමන් කරන අතරතුරදී ත්‍රිරෝද රථ රියැදුරා “අක්කේ ඔය හමට මොකද වෙලා තියෙන්නේ?” යනුවෙන් අසා ඇත්තේ ඒ අනුවය. ඊට ඇය පිළිතුරු දී ඇත්තේ “මම ලෙඩෙක් මල්ලී”යනුවෙනි. ඉන්පසු එම කාන්තාව පැවැසූ පරිදිම ඇය තමන්ට අවශ්‍ය තැනින් බැස ගොස් තිබේ. එය ඉතා ස්වාභාවික සංසිද්ධියකි. එහෙත් ඊට පසුව එම අවමඟුලට සහභාගී වූ තරුණයාගේ සිත තුළ තමන් මුහුණ දුන් එම සිද්ධිය මුල් කොට කිසියම් භීතියක් ආරෝපණය වී ඇත. ඒ සඳහා එම සිදුවීමට මුහුණ දෙන අතරේ ඔහු සහභාගිවෙමින් සිටි ඥාතියාගේ අවමඟු‍ලේදී ඔහුගේ සිත තුළ පැවැති මරණාශය (death instinct) පිබිදීම වැනි සාධක ගෙන හැර දැක්විය හැක.

අවමඟුල් උත්සව ඇතුළු මළවුන් සම්බන්ධ සංසිද්ධීන්වලදී බොහෝ දෙනෙකුගේ සිත් තුළට හොල්මන් අවතාර වැනි මිථ්‍යා විශ්වාස පිවිසෙනුයේ ඕනෑම අයෙකු සතු ආත්ම සංවේදීතාව (Self -Conscious) මුල්කොට මෙම මරණාශය පිබිදෙන බැවිනි. මෙම මරණය පිළිබඳ වූ සංවේදීතාව (thanatos) සහ ජීවිතය පිළිබඳ සංවේදීතාව (eros) අපගේ මනැස් තුළ නිරතුරුවම දෝලනය වෙයි. එසේ මරණ සංවේදීතාව අපගේ මනැස් තුළ ක්‍රියාත්මක වනුයේ අපගේ ජීවිත පවත්වාගෙන යාමට උපකාර වන සංරක්ෂණ උපයෝගයක් (defense mechanism) වශයෙනි. නිරන්තරයෙන් පවතින මෙම මරණ සංවේදීතාව අපගේ මනැස්වල ක්‍රියාත්මක නොවන්නට අඩුම තරමින් අපට ආරක්ෂාකාරී ලෙස නගරයක පාර හරහා වැටුණු කහ ඉරක් පැන ගැනීමටවත් නොපුළුවන. එවිට මරණ සංවේදීතාව නොමැති වීම මත අපේ ස්වයං ආරක්ෂාව අප කෙරෙන් ගිලිහී යයි.

දැන් අපි ඉහත සඳහන් ත්‍රිරෝද රථය පැදවූ තරුණයා මුහුණ දුන් එම අත්දැකීම පිළිබඳව විමසා බලමු. ඒ සම්බන්ධයෙන් එළැඹිය හැකි සරල අනුමානයන් කිහිපයක් මෙසේය.

එය එම තරුණයා මුහුණ දුන් අතිශය සාමාන්‍ය අත්දැකීමකි. එහෙත් ඉන් පසුව ඇති කර ගත් භීතිය නිසා ඒ පිළිබඳ වැරදි අර්ථකථනයක් (misinterpretation) වීමට පුළුවන. ඇතැම් විට පසුව ඇතිවූ තිගැස්ම මුල්කොට ඔහුගේ සිත තුළ ව්‍යාජ මතක තත්ත්වයක් (False memory) නිර්මාණය වීමට පුළුවන. නිදසුනක් ලෙස එසේ ත්‍රිරෝද රථයට නැගි කාන්තාව සාමාන්‍ය තත්ත්වයේ තැනැත්තියක මුත් ඇය මළ සිරුරක් බඳු දුර්වර්ණ සමකින් යුතු තැනැත්තියක ලෙස එම ව්‍යාජ මතකයේ සනිටුහන්ව තිබිය හැක. නොඑසේ නම් ඇය වෙනත් ස්ථානයකදී රියෙන් බැස ගියමුත් එය “කනත්ත ළඟ” බව පසුව තරුණයාට මතකයට නැගීමට පුළුවන.

එම සිදුවීම ත්‍රිරෝද රථය පැදවූ තරුණයා අත්දුටු ව්‍යාජ භ්‍රාන්තියක් වීමට පුළුවන. එවන් භ්‍රාන්තිමය තත්ත්වයන් ඇති වීමට ඒ පුද්ගලයාගේ පෞරුෂ, කායික හෝ මානසික සාධක ඉවහල් වෙයි. නිදසුනක් ලෙස මායා රෝගී පෞරුෂයෙන් (hysterical Personality) පෙනී සිටින්නෝ එබඳු භ්‍රාන්තීන්ට මුහුණ දීමේ වැඩි නැඹුරුවක් පළ කරති. එසේ නොමැති නම් පැ‍පොල, සරම්ප, ඩෙංගු ඇතුළු වෛරස් උණ තත්ත්වයන්ගේ පසුකාලීන ප්‍රතිවිපාක ලෙසත් මත් ද්‍රව්‍ය භාවිතය නිසාත් මත්පැන් භාවිතයේ පශ්චාත් ප්‍රතිඵල ලෙසත් ඇතැම් ඖෂධ සහ ආහාර පානවල ප්‍රතිඵල ලෙසත් අධික නිදිමත ආදී වෙනත් කායික තත්ත්වයන් නිසාත් සමහරුන්ට මෙවැනි භ්‍රාන්තිමය අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවෙයි. මෙම ත්‍රිරෝද රථය පැදවූ තරුණයා ද ඉන් එක් තත්ත්වයකට පත්ව සිටියේද යන්න වෙනම විමැසිය යුත්තකි.

ඒ කෙසේ හෝ මෙම රාජපක්ෂගම හොල්මන් සිද්ධිය රට පුරාම ප්‍රචලිත වූයේ එක් කාන්තාවක මහ දවා‍ලේදී මුහුණ දුන් මායාකාරී අත්දැකීමක් මුල්කොට බව මම ඉහත කීවෙමි. ඒ සඳහා ඉහත සඳහන් තරුණයා මුහුණ දුන් මායාකාරී ඇත්දැකීම මුල්කොටගත් භීතිය ප්‍රදේශය පුරා පැතිර යන අතරේ මෙම කාන්තාවගේ මනස තුළට සම්ප්‍රේෂණය වීම ද ඉවහල් වන්නට ඇත. එසේ කිනම් හෝ හේතුවක් මත සමාජයට පිවිසෙන වැරදි විශ්වාසයන් සමාජය පුරා පැතිර යාම සමූහ මිථ්‍යා (mass, collective or group hysteria) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙවන් පැතිර යාම් එම සමාජයේ හෝ සමාජ ඒකකයේ මානසික සෞඛ්‍යය අඩාල කිරීමට හේතුවන බව ඇත්තකි. එහෙත් එම තඹුත්තේගම සිද්ධිය පිළිබඳව නිරීක්ෂණය කිරීමට මනෝ විද්‍යාඥයකු සේ ‘වෙස් වලාගෙන’ පැමිණි කිසිවකු විසින් කරන ලද පදනම් විරහිත ප්‍රකාශයක් මුල් කොට මෙය ‘මාස් හිස්ටීරියා’ නම් ‘රෝග තත්ත්වයක්’ ලෙස පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබිණ. එහෙත් එවැනි රෝගයක් පිළිබඳ ලොව කිසිදු මානසික රෝග ලැයිස්තුවක නැත. ඒ අනුව ඉහත සඳහන් සංසිද්ධීන්ගෙන් අපට පැහැදිලි වනුයේ අප නොදියුණු යැයි සළකන අතීත ජන සමාජයට සාපේක්ෂව අප දියුණු යැයි සිතන වර්තමාන ජනසමාජයේ මිථ්‍යා විශ්වාස පැතිර යාමේ ශීඝ්‍ර ප්‍රවණතාවයක් පවතින බවය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    oba mass hysteria yana wachana paavichchi kalaa. namuth ema chedayeyma aga kotasey oba kiyanawa mass hysteria kisima waidya pothaka sandahan nethi bawa?

  • 0
    0

    Mass Hysteria යනු වැරදි හෝ පදනම් විරහිත විශ්වාසයක් පදනම් කරගනිමින් කිසියම් ජන කොටසක් හෝ ජන සමාජයක් පුරා පැතිර යන සමූහ මායාවකි. නමුත් කිසිදු වෛද්‍ය සංග්‍රහයක Mass Hysteria නම් ‛රෝගයක්’ පිළිබඳව සඳහන් නොවේ.

  • 0
    0

    මිත්‍යාව ඔඩුදුවා ඇති සමාජයක එය දෙදරවා හරින්නට නම් ඒ පිළිබඳ විවෘත කතිකාවක් ඇතිවිය යුතුය.ඒ සදහා මෙවැනි ලිපි වඩවඩාත් ජනතාව අතරට යැවීම අත්‍යවශ්‍යය.අවාසනාවට අද සිදුවන්නේ සියලු මාධ්‍ය මිත්‍යාව වවාගෙන කෑමය.

  • 1
    1

    මෙය පදනම් විරහිත සිදුවීමක් බව නැවත නැවතත් කිවයුතු නොවේ. මෙම සිද්ධිය සිදු වූ කාලයේ විවිධ පුද්ගලයන් ඒ පිළිබ‍ද සෙවීම සදහා තඹුත්තේගමට ගොස් තිබිණි. නමුත් ඒ කිසිවකු එවැන්නක් සෙවීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයෝ නොවූහ. මේ සම්බන්ධයෙන් කතා කළයුතු කිසිම කෙනෙකු කතා කළේ ද නැත.මෙම ලේඛකයා පවා මේ පිලිබදව එම කාලයේදී කතා කළේ නැත. ඔහු ද කළේ මුනිවත රැකීම පමණි.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.