20 April, 2024

Blog

ජාතිකවාදය හා ලාංකික මධ්‍යම පන්තියේ උභතෝකෝටීකය

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පානම පත්තුවේ ඈත වනගත කුඩුම්බිගල සේනාසනයට 2003 වෙසක් පොහෝ දා එක් වූ මහ සෙනග අතර දී ඔහු මා හා කතා බහට එක් වුණි. ඒ වනවිට ලාහුගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා වූයේ ඔහුය. හේ මට විස්තර කරමින් සිටීයේ ඔහුගේ දේශපාලන සම්බන්ධතාය. පැයක පමණ කතා බහකින් අනතුරුව මම මෙසේ විමසීමි.

“ඔබතුමා මහින්ද මහත්තයගෙ ලග හිතවතෙක්නෙ, එහෙනම් ඉතින් පාඩු නැහැ නේද?”

දත් යුගලම පෙන්වමින් සිනහවක් පෑ ඔහු මට සමු දී යන්නට ගියේ ය.

එවකට විපක්ෂ නායකයා වූ මහින්ද රාජපක්ෂ අනතුරුව ජනාධිපති ධූරයට පත් වූ පසුව පානම පත්තුවේ තම මිත්‍රයාට යහමින් සලකන්නට ඇතුවා නො අනුමානය. ඒ අනුව දෝ පසුකලෙක ඔහු ලාහුගල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත් වුණි. එහෙත් රාජපක්ෂ රෙජීමයේ බමරා වැල්ලෙත් කැරකැවෙන යුගයක තම සභාපති ධූරය අත්හරින්නට ඔහුට සිදුවූයේ 2011 පළාත් පාලන මැතිවරණයේ දී ලාහුගල ප්‍රාදේශීය සභාවේ බලය රුක ගන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය අපොහොසත් වූ බැවිනි.

ලාහුගල ප්‍රාදේශීය සභාවේ බලය රුක ගැනීමට රාජපක්ෂ රෙජීමයට නොහැකි වූයේ පානම් පත්තුවේ සිංහල ගැමියන්ගේ පාරම්පරික ඉඩකඩම් ඔවුන්ගෙන් උදුරා ගනිමින් තිබීම නිසාය යන්න රහසක් නොවේ. එහෙත් එය හුදු ඉඩකඩම් උදුරා ගැනීමක් පමණක් නොව ගෝලීය ප්‍රාග්ධනයේ ආසියානු ස්වරූපයේ තවත් පැතිකඩක් බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙකු බව නො අනුමානය. එල්.ටී.ටී.ඊ ෆැසිස්ට්වාදය හා එක මිටට ගනිමින් දෙමළ විමුක්ති ව්‍යාපාරය ලෙයින් හා කදුළින් සමූල ඝාතනය කළ රාජපක්ෂ රෙජීමය “නැගෙනහිරට උදකර දෙමින් සිටියේ නවෝදයකි”. මේ නවෝදය යටතේ නැගෙනහිර මුහුදු තීරයේ ඉඩම් පාරම්පරික ගැමියන්ගෙන් උදුරාගෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු දෙමින් සිටියහ. මේ ව්‍යාපෘතිය තුළ තම පාරම්පරික වාසභූමි අහිමි වන ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන්ට සංවේදී ධනපති පන්තියක් නොවීම කනගාටුදායක කරුණකි.

Mahinda Rajapaksa R1818 දී සුදු අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුන වෙල්ළස්සේ සිංහලයන් මර්දනය කෙරුනේ තිරස්චීන ලෙසිනි. ඒ මර්දනයට මුහුණ දිය නොහැකි වූ වෙල්ළස්සේ සිංහලයන් පසුබැස ගොස් නතර වූයේ පානම් පත්තුවේ කටුක බිම් පෙදෙස් වලය. වරක් සුදු අධිරාජ්‍යවාදීන් විසින් ද තවත් වරක් රාජපක්ෂ රෙජීමය විසින් ද ආන්තීකරණයට ලක් කළ මේ ජනතාව පාලකයන්ගේ තිරස්චීන දඩු අඩුවට දෙවරක් ගොදුරු වුණි.ඒ අර්ථයෙන් පානම් පත්තුවේ ජනතාව ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී ජන කොටසකි. රාජපක්ෂ රෙජීමය විසින් පානම් පත්තුවේ ජනතාව තමන්ගේ පාරම්පරික ඉඩකඩම් වලින් එළවා දැම්මේ සුදු අධිරාජ්‍යවාදීන්ට ද නොදෙවෙනි ලෙසිනි.

2005 දී ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය ලබා ගත් රාජපක්ෂ රෙජීමය රාජ්‍යයේ ද්‍රෂ්ඨිමය මතවාදය ලෙස තබා ගත්තේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදයයි. ඒ අනුව රාජ්‍යයේ මතවාදී අනුශාසකයන් වූයේ ජාතික චීන්තනය, හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ වැනි ආන්තිකවාදී මතවාදයන් කර පින්නා ගත් පක්ෂ හා සංවිධානයන් ය. මේ පක්ෂ හා සංවිධානයන් අතර ඇත්තේ සියුම් වෙනස්කම් පමණක් වුවත් පවතින සමානකම් වඩා ශක්තිමත් ය. ඒ අනුව සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතවාදයේ පෝෂක සමාජ තීරුව වූයේ අතරමැදි සමාජ පන්තියයි.1978 දී ලාංකික සමාජය කරා ආ ගෝලීය ප්‍රාග්ධනයට ඊටම අනන්‍ය වූ මුහුණුවරක් තිබුණි. නිෂ්පාදන ආර්ථිකයක් තුළින් සේවා ආර්ථිකයක් කර විතැන් වූ ගෝලීය ප්‍රාග්ධනයේ මේ මුහුණුවර තුළ ප්‍රබල ලෙස ශක්තිමත් වූයේ මෙම අතර මැදි පන්තියයි. මේ පන්තියේ ද්‍රෂ්ඨිමය මතවාදය විසින් රාජ්‍යයේ බලය අල්ලා ගැනීම 2005 ජනාධිපතිවරණය දී සිදු වුණි.

එතැන් පටන් ලාංකීය රාජ්‍ය පෙනී සිටීයේ සිංහල බෞද්ධ ජාතිකවාදයක් වෙනුවෙනි. ජාතික ආර්ථිකයක් වෙනුවෙනි. ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවළිය තුළ ජාතික රාජ්‍යයේ යළි ගොඩනැංවීමක් වෙනුවෙනි. එහෙත් පානම් පත්තුවේ සිංහල ජනතාව තම පාරම්පරික ගොවි බිම් වලින් බලහත්කාරයෙන් එළවා දමද්දී සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය කන් බිහිරි කරවන නිෂ්ශබ්දතාවක ගිලී සිටියහ. තමන් විසින් ආරක්ෂා කළ යුතු ජන කොටසක් තම මතවාදයේ ග්‍රහණයට ලක්ව ඇති රාජ්‍යය විසින් පීඩනයට ගොදුරු කර ගැනීමම එක් ප්‍රශ්නයකි. ඒ අවස්ථාවේ දී ජාතිකවාදී ව්‍යාපාරය නිහඩව සිටීම තවත් ප්‍රශ්නයකි. මේ සංවේදී නෝනා මහත්වරුන්ගේ නිහඩතාව ඇත්තටම උභතෝකෝටීකයකි.

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතික ව්‍යාපාරය නිහඩ වූයේ මේ අවස්ථාවේ දී පමණක් නොවේ. ලාංකික ආර්ථිකයේ ප්‍රධානම ආදායම වී ඇත්තේ විදෙස් ගෘහසේවිකා වෘත්තිය හා ඇගලුම් අපනයනයයි. මේ ක්ෂේත්‍රයන් දෙකෙහිම බහුතර ශ්‍රමිකයන් පිරිස සිංහල බෞද්ධ කාන්තාවන් ය. මේ වෘත්තීන් දෙකම නිසා සිංහල බෞද්ධ කුටුම්භයේ පැවැත්මට එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයකි. එහෙත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදී ව්‍යාපාරය මේ තර්ජනයන්ට සංවේදී නොවුණි. ඒ නිසා මේ සම්බන්ධයෙන් කිසිම මැදිහත්වීමක් නොදැක්වූ අතර ආරක්ෂා කළේ දැඩි නිහඩ බවකි. මේ අනුව පැහැදිලි වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය සිංහලයන්ගේ සැබෑ ප්‍රශ්න කෙරෙහි සංවේදීභාවයක් නොමැති බවකි.

එහෙත් මේ ජාතිකවාදී ව්‍යාපාරය වරෙක දෙමළ ජනතාවගෙන් ද තවක් වරෙක මුස්ලිම් ජනතාවගෙන් ද ඉල්ල විය හැකි තර්ජනයන් ගැන නිතර මත පළ කරති. එසේම බටහිර ජාතීන්ගෙන් එල්ල වන්නා වූ තර්ජනයන් ගැන බිය පළ කරති. ඒ අර්ථයෙන් තමන්ගේ අභ්‍යන්තර සතුරාගේ භෞතිකය වෙනුවට ඊනියා බාහිර සතුරෙකුගේ පාර භෞතිකය බිල්ලෙකු ලෙස පෙන්වීම මෙම ව්‍යාපාරයට ආවේනික වූවකි. ජාතිකවාදී ව්‍යාපාරයක් අභ්‍යන්තර සතුරන් ද තම ජාතියේ ගොඩනැංවීමට පවතින බාධා ද හදුනා ගනිමින් යම්කිසි ජාතියක ජාතික අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීය යුතුය. එය අන් ජාතිකයන් හදුනා ගත යුත්තේ තම ජාතිය හා සුහදව සිටීය යුතු අසල්වැසියකු ලෙස මිස තම ජාතිය විනාශ කිරීමට තැත් කරන්නා වූ සතුරකු ලෙස නොවේ. එහෙත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතිකවාදී ව්‍යාපාරය නිතරම කටයුතු කළේ අන් ජාතීන් තුළින් සතුරෙකු ගොඩ නංවා ගැනීමටත් ඒ සතුරා මතින් තම ජාතියේ ජන කොටස අතර පදනමක් ගොඩනගා ගැනීමටත් ය.

සිංහල ජාතිකවාදී ව්‍යාපාරය එවැනි ව්‍යාපාරයක තිබිය යුතු මූලික ඉලක්කයන්ගෙන් බැහැරවීම හදුනා ගත හැක්කේ ඊටම ආවේනික ද්‍ර්‍යෂ්ඨිමය උභතෝකෝටීකයක් ලෙසිනි. අතරමැදි පන්තීන්ගේ මතවාදයක් ලෙස සිංහල ජාතිකවාදී ව්‍යාපාරය ගොඩනැංවී තිබීම මේ උභතෝකෝටීකයට මූලික හේතුවයි. දියුණු ධනේශ්වර සමාජයන් තුළ ජාතිකවාදී ව්‍යාපාරයන් ගොඩනැංවෙන්නේ ධනපති පන්තිය තුළිනි. ඒ මතවාදය පෝෂණය කිරීමේ ලා යම් සැලකිය යුතු කාර්යක් අතර මැදි පන්තීන් විසින් සිදු කළත් මතවාදය හැසිරවීමේ ලා තීරණාත්මක බලය රුදී ඇත්තේ ධනපති පන්තියේ ආධිපත්‍යය මතය. එහෙත් ලාංකික සමාජය මුහුණ දෙන්නේ ඊට වෙනස් අත්දැකීමකටය. ඒ අනුව ලාංකික සිංහල බෞද්ධ ජාතිකවාදයේ මතවාදී ආධිපත්‍ය රුදී ඇත්තේ මුළුමනින්ම අතර මැදි පන්තිය මතය.

මේ අතර මැදි පන්තියේ පන්ති අවශ්‍යතා ධනේශ්වර පන්තියේ පන්ති අවශ්‍යතාවන්ගෙන් මුළුමනින්ම වෙනස් වේ. ඒ නිසා අතර මැදි පන්තියේ ආධිපත්‍යට ලක්ව ඇති ලාංකික ජාතිකවාදී ව්‍යාපාරය ජාතියේ සැබෑ ප්‍රශ්නයන් කෙරෙහි සංවේදී නොවීම ස්වාභාවිකය. මේ ජාතිකවාදී ව්‍යාපාරය මුළුමනින්ම රදා පවතින්නේ බාහිර සතුරෙකු මතය. ඒ අර්ථයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය වර්ගවාදී සුළු ධනේශ්වර සමාජ ව්‍යාපාරයක් බව ද්‍රෂ්ඨිවාදීමය ලෙස හදුනා ගත හැකිය.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.