26 April, 2024

Blog

අප්‍රියජනක වූ ජනකපුර ජනජීවිතය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ජනකපුර බලා යන පෞද්ගලික බසයක් අනුරාධපුර අලුත් බස් නැවතුම් පළෙහි පසෙක නවතා තිබුණි. පිටත් වන වේලාව පිළිබදව විමසීමේ දී ප්‍රියජනක අන්දමින් ප්‍රතිචාර දැක්වූ කොන්දොස්තර හා රියදුරු මහත්වරුන් පැවසූවේ බසයට ගොඩවී අසුන්ගෙන සිටින ලෙසයි. බසයේ සිටියේ මැදිවිය ඉක්මවූ කාන්තාවක හා පිරිමියකු පමණක් වන අතර බසය පිටත් වන්නට තවත් පැයකට අධික කාලයක් ඉතුරුව තිබුණි. කාන්තාවගේ තොරතෝන්චියක් නැති කතාබහ මෙන්ම වේලාව උදෑසන 9.30 වුවත් දැඩි හිරු රශ්මිය ද ඇති කළේ කරදරකාරී පරිසරයකි.

බසයට ගොඩ වූ තවත් මගියකු තම ගමන් මල්ල අසුනක් මත තබා බිමට බැස්ස අතර ඔහු අනුගමනය කරමින් මම ද බසයෙන් බැස්සෙමි. පෙරකී මගියා බසය අසල හිටගෙන සිටියේ බසයේ ගමනාරම්භ කරන තෙක් කරන්නට දෙයක් නොමැති නිසා වන්නට ඇත. ඔහු දෙස බලා මා පළ කළ සිනහවට ලැබුනේ උණුසුම් ප්‍රතිචාරයකි.

“පුදුම රස්නයක් තියෙන්නෙ. අයිය යන්නෙත් ජනකපුරට ද? ”

“නෑ. ඊට පොඩ්ඩක් මෙහායින් මම බහිනවා”

අනතුරුව වූ කතා බහෙන් මා තේරුම් ගත්තේ ඔහු වැලිඔය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බවයි. වකුගඩු රෝගයෙන් පියා මිය ගොස් ඇති ඔහු දැනට ඇදුම් මසන රැකියාවේ යෙදී සිටින්නෙකි. පාළුවත් ගමනාරම්භය තෙක් කරන්නට කිසිවක් නොමැතිවීමත් නිසා

ඔහු හා දොඩමළුවීම හැර වෙනත් විකල්පයක් මට නොවීය. වැලිඔය මිනිස් ජීවිත වල කටුක බව කතා කරමින් සිටින විට ඔහුගේ අධ්‍යාත්මය අවදි වුණි.

” මොන විසදුම් ද මහත්තයෝ, රට බේරා ගත්ත මිනිහ එළවල දාල මොකක්ද මේ මෙත්‍රී පාලනය කියල කරන්නෙ? මහින්ද මහත්තය එළව ගත්ත, හාමුදුරුවරු හිරේ දානව, මුං බුද්ධාගම විනාස කරල නතර වෙන්නෙ”

“ඉතින් මහින්ද මහත්තය අවුරුදු දහයක් කරලත් බැරි උනානෙ වකුගඩු ලෙඩේට විසදුමක් හොයා ගන්න.” මම අගුල් පත් තැබුවෙමි.

” මොන වකුගඩු ලෙඩක් ද? ඒ මනුස්සය කළේ යුද්දෙ ඉවර කරන එකනෙ. වෙන වෙලාවක් තිබුන ද යුද්දෙ කරනව ඇරෙන්න? යුද්දෙ ඉවර කිරිල්ලම මදිද ඒ මනුස්සය කළ දේ වලින්.”

“යුද්දෙ ඉවර කළේ 2009 දිනෙ, යුද්දෙ ඉවර වෙලා අවුරුදු පහක්ම ගෙවිල ගියේ නිකංමනෙ. කරනව නම් කරන්න තිබුනනෙ. එයත් කිසිම මහන්සියක් ගත්තෙ නෑනෙ වකුගඩු ලෙඩේට විසදුමක් දෙන්න”

මැදිවියේ සිටි තාවකාලික මිත්‍රයාගේ කතා බහ අඩු වුණි. අනතුරුව රස්නෙ ගැනත් පෑවිල්ල ගැනත් කතා කළේය. ඊටත් පසුව ඔහු ගොස් බසයෙන් අසුන් ගත්තේ ය. තවත් ටික වේලාවක් බලා සිටි මම ද බසයට ගොඩ වූයේ ජනකපුර බලා යෑමට වේලාව ආසන්න බැවිනි.

මානෙල් ආරු සිට වැලිඔය දක්වා

මගී ප්‍රවාහන බසය අනුරාධපුරයේ සිට රඹෑව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව හා පදවිය පසුකරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරට පැමිණෙමින් සිටී. ඒ වනවිට හැල්මේ ආ බසය කිලෝමීටර් 93ක් මග ගෙවා පදවි පරාක්‍රමපුරට ළගා වී තිබුණි. පරාක්‍රමපුර පසුකළ විගස වැලිඔය ප්‍රදේශයට පිවිසේ. මුළුමනින්ම වී වගා ගොවි බිම් පසු කරමින් යන මේ ගමන වැලිඔයේ දී විශේෂත්වයක් ගන්නේ එම ප්‍රදේශය දිස්ත්‍රික්ක කිහිපයකම මායිමක පිහිටන නිසාය.

Welioyaඅනුරාධපුරයේ සිට වැලිඔයට දුර කිලෝමීටර් 105ක් පමණ පවතී. වැලිඔය සිට මුලතිව් නගරයට කිලෝ මීටර් 48ක් පවතී. අනුරාධපුර, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමළය යන දිස්ත්‍රික්ක හතරක සීමා මායිම් පිහිටි අහු කොනක වැලිඔය ප්‍රදේශය පිහිටා තිබෙන අතර මේ ප්‍රදේශයේ සිංහල ජනතාව හත්දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වේ. 1988 අප්‍රේල් මස 16 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකට අනුව වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කයන්ට අයත්ව තිබූ මානෙල් ආරු නම් ප්‍රදේශයක් වැලිඔය ලෙස සිංහලෙන් නම් කෙරි ඇත. එම ප්‍රදේශය පරිපාලන කටයුතු සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයට අනුයුක්ත කළත් මැතිවරණ කටයුතු වල දී වව්නියාව දිස්ත්‍රික්කයට සම්බන්ධ කෙරුණි. එසේම කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතට මෙම ප්‍රදේශය යටත් කළ අතර මහවැලි එල් කලාපය ලෙස එය නම් කෙරිණි.

අලුතින් නම් කළ වැලිඔය ප්‍රදේශයේ සිංහල ජනාවාස කටයුතු සිදු කෙරුණේ ගම්මාන 42ක පාරම්පරිකව පදීංචිව සිටි දෙමළ පවුල් 13,288ක් බලහත්කාරයෙන් එළවා දමමිනි. ඒ අතර කොක්කුලායි ග්‍රාම නිලධාරී වසමේ දෙමළ පවුල් 1516ක් ද කොක්කු තුඩුවායි ග්‍රාම නිලධාරී වසමේ දෙමළ පවුල් 3306ක් ද වවුනියා උතුර ග්‍රාම නිලධාරී වසමේ දෙමළ පවුල් 1342ක් ද මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නයාරු හා කුමුලමුලයි ග්‍රාම නිලධාරී වසම් වලින් දෙමළ පවුල් 2011 ක් ද වුණි. ඒ එක්කම 99 අවුරුදු බදු ක්‍රමයක් යටතේ කෙන්ට්ෆාම් හා ඩොලර්ෆාම් ආදී ප්‍රදේශයන්හි දෙමළ ව්‍යවසායකයන්ට ලබා දී තිබූ ඉඩම් ද ආපසු රජයට පවරා ගැණුනි.

වැලිඔය ප්‍රදේශයේ සිංහලයන් පදිංචි කිරීම ඉඩම් කොමිසම හරහා සිදුකළත් පසුව එම කටයුතු මහවැලි ආර්ථික ඒජන්සියට පැවරුණි. මෙම මහවැලි එල් කලාපය විශේෂයෙන් පොල් වගාව සදහා ස්ථාපිත කෙරුණ අතර පදිංචිකරුවනට ඉඩම් අක්කර පහ බැගින් ප්‍රදානය කෙරුණි. ඉන් ඉඩම් අක්කර බාගයක් පදිංචිය සදහා ද වාරි ඉඩම් වලින් අක්කරයක් ද පොල් වගාව සදහා අක්කර තුනහමාරක් ද ද ප්‍රදානය කෙරුණි. මහවැලි ආර්ථික ඒජන්සිය සංවර්ධන ව්‍යාපෘති සදහා මුදල් ලබාදුන් අතර මහවැලි ඉංජිනේරු හා ඉදිකිරීම් කටයුතු මහවැලි ඉදිකිරීම් හා ආර්ථික ඒජන්සිය යටතට පත් කෙරුණි.

වැලිඔය යුද – දේශපාලනික වශයෙන් උපක්‍රමිකවීම

උතුරු හා නැගෙනහිර පළාත් එකට යා කරන ජනාවාස භූමියක් ලෙස වැලිඔය යුද දේශපාලනික වශයෙන් වැදගත් බව අසූව දශකය වනවිට රජය හදුනාගෙන තිබුණි. වැලිඔය ප්‍රදේශය පුරා සිංහලයන් පදිංචි කිරීම මගින් පළාත් දෙක අතර එල්ටීටීඊ සංවිධානයේ ගමන් මග අවහිර කිරීම සිදුකෙරිණ. මේ සදහා ආරක්ෂක හමුදාවේ කොටස් මෙන්ම දේශපාලකයන් ද එකට එකතු වුණි.

මාලිංග හර්මන් ගුණරත්න ලියූ “ඒකීය රාජ්‍යයක් කරා” නම් පොතෙහි දැක්වෙන පරිදි එවකට මහවැලි සංවර්ධන ඇමති ගාමිණී දිසානායකගේ හා මහවැලි ආර්ථික ඒජන්සියේ සභාපති හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වූ එන්.ජී.පී පණ්ඩිතරත්නගේ උපරිම සහාය මේ යුද දේශපාලනික උපායන් ජයග්‍රහණයේලා ලැබුණි. ඒ අනුව තණ්නිමුරුප්පු නම් දෙමළ ජනාවාසය ඉවත් කිරීමෙන් පසුව ජනකපුර බිහි කළේ එවකට වැලිඔය ආරක්ෂක හමුදාවට නායකත්වය දුන් බ්‍රිගේඩියර් ජනක පෙරේරාගේ නමිනි. කල්‍යාණපුර ද සම්පත් නුවර ද බිහිවූයේ ඒ අයුරිනි.

ඒ උපක්‍රමික වැදගත්කම සාධනයේ ලා යොදා ගත් බොහොමයක් වූයේ නීතියෙන් වරදකරුවන් වී සිරගතව සිටි අපරාධකරුවන් ය. විවෘත සිරගෙයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් මේ පිරිස් ජනකපුර ප්‍රදේශයේ පදිංචි කෙරිණි.

වැලිඔය පළාතේ ජනජීවිතය

අද වනවිට සම්පත්නුවර ලෙස නවීකරණය වී ඇති පැරණි වැලිඔය ප්‍රදේශය යුද්දය නිමාවීමත් සමග ටිකෙන් ටික මිනිස් ක්‍රියාකාරීත්වය ශක්තිමත් වෙමින් පවතින ප්‍රදේශයකි. මේ ප්‍රදේශය වර්ග කිලෝමීටර් 175කින් පමණ යුක්ත වන අතර ග්‍රාම නිලධාරී කොට්ඨාශ නවයකට බෙදා ඇත. ගජබාපුර, ඇතාවැටුනවැව, නිකවැව දකුණ, නිකවැව වම, කල්‍යාණපුර, ඇහැටුගස්වැව, නව ගජබාපුර, කිරි ඉබ්බන් වැව, ජනකපුර ලෙස ඒවා හැදින්වේ. ඒ ග්‍රාම නිලධාරී කොට්ඨාශයන් අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සම්පත් නුවර ලෙස නම් කර ඇත. ඊට අයත් වන්නේ වැලිඔය ප්‍රදේශයයි.

අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කයට අයත්ව තිබූ සම්පත් නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කයට සම්බන්ධ කරන්නේ 2013 දී පමණය. ඒ නිසා වැලිඔය වැසියන්ට පරිපාලන කටයුතු සදහා කිලෝමීටර් 105ක් දුර යෑමට තිබූ කරදරය දැන් අඩුවී ඇති අතර යෑමට තිබෙන දුර කිලෝ මීටර් 48කට සීමාවී තිබේ. එහෙත් වැලිඔය වැසියන් මුහුණදෙන සැබෑ ප්‍රශ්න පරිපාලන දිස්ත්‍රික්කයේ අග නගරයට යෑමට සිදුවන කිලෝමීටර් ගණනත් සමග අඩුවන්නක් නොවේ.

සම්පත්නුවර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශය අයත් වූයේ ද අනුරාධපුරයට ය. 2013 දී එය ද මුලතිව් අධ්‍යාපන කළාපයට ඈදුවේ ය. ඒ අනුව 2013න් පසුව පත්වීම් ලත් කොට්ඨාශයේ පාසැල් ගුරුවරුන්ට වේතන ලබාදෙන්නේ උතුරු පළාත් සභාවෙනි. ඒත් 2013ට පෙර පත්වීම් ලැබූ ගුරුවරුන් තවමත් වේතන ලබා ගන්නේ උතුරු මැද පළාත් සභාවෙනි.

රාජ්‍ය පරිපාලන කටයුතු ක්‍රමවත් නොවීම නිසා වැලිඔය වැසියන් මුහුණ දෙන හිරිහැරය අපමණය. දිස්ත්‍රික්කයන් හතරක අහුමුලු මේ ප්‍රදේශයට අයත් නිසා ඒ ගැටළු තවත් උග්‍ර කරයි. විවිධ විෂයන්ට අයත් ගැටළු සදහා විවිධ දිස්ත්‍රික්කයන්ගේ අග නගරයට යෑමට සිදුවීම බරපතල ගැටළු ඇති කර තිබේ.

මුළුමනින්ම දෙමළ භාෂාව කතා කරන පරිපාලන දිස්ත්‍රික්කයක් වන මුලතිව් කලාපයට වැලිඔය අධ්‍යාපන කටයුතු අයත් නිසා එහි අධ්‍යාපන පරිපාලනයට සිදුව ඇති අගතිය නොසලකා හැරිය නොහැක. සම්පත් බෙදාදීමේ දී මෙන්ම අධ්‍යාපනයට අදාළ කළමනාකරණයේ දී විවිධ ගැටළු පැන නැගී ඇත. භාෂා ප්‍රශ්නය නිසා සන්නිවේදනය දුර්වලවීම ද ප්‍රබල ප්‍රශ්න ඇති කරයි.

2009 දී එල්ටීටීඊ සංවිධානයේ පරාජයත් සමග වැලිඔය ජනතාවගේ හිසට ඉහළින් සිටි යක්ෂයන් තිදෙනෙකුගේ බර ඉවත් වුණි. යුද්දය කාලයේ වැලිඔය මිනිසුන් නිතරම බියෙන් සිටියේ එල්ටීටීඊයේ ආර්ටිලරි ප්‍රහාරයකට තමන් කොයි මොහොතේ ඉලක්කවේ ද යන්න සැකසහිත වූ නිසාය. එසේම එල්ටීටීඊය හා ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුවකට කොයි මොහොතේ මැදිවේද යන බියත් ඔවුනට තිබුණි. එසේම එල්ටීටීඊයේ ප්‍රහාරයක් වැලිඔයට එල්ලවේදැයි බිය ද ඔවුන්ට තිබුණි.

යුද්දය දරුණු ලෙස පැවැති 2008 වර්ෂයේ දී පමණ වැලිඔය ප්‍රදේශයේ බොහෝ ගම්මානයන්හි ආහාර හිගයක් පැවතුණි. ඒ නිසා ප්‍රදේශයේ ජනයාගෙන් 70% පමණ ආහාර සොයා ගැනීම වෙනුවෙන් දුෂ්කරතාවන්ට මුහුණු දුන් අතර එනිසා දිනකට ලබා ගන්නා ආහාර වේල් ගණන සීමා කරගෙන තිබුණි. විශේෂයෙන් ඇතාවැටුනවැව ගම්මානයේ ජනයා මෙවැනි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේ වගා කටයුතු කිරීමට තරම් ආරක්ෂාවක් නොතිබුණ බැවිනි. වේලක ආහාර ප්‍රමාණය අඩු කිරීම හා දිනක වේල් ගණන අඩු කිරීම ආදී වශයෙන් වූ උපක්‍රමික ක්‍රම නිසා ජනයාගේ සෞඛ්‍යයට මෙම තත්ත්වය අහිතකර ලෙස බලපෑවේ ය.

ශ්‍රී ලංකා රජයේ යුද හා දේශපාලන උපක්‍රමික අවශ්‍යතාවකට වැලිඔයට ආ මේ මිනිසුන් මේ තුන් බියෙන් ගලවා ගැනීමට ආණ්ඩුවට ලොකු වෑයමක් දරන්නට සිදුවුණි. ඒ අනුව වැලිඔය බොහෝ නිවෙස්වල ආණ්ඩුවේ වියදමින් බංකරයක් ඉදිවූයේ නොසිතූ මොහොතක එල්ල වන සතුරු ප්‍රහාරයකට මුහුණදීමටය. ඒවායේ අද ඉතුරුව ඇත්තේ නටඹුන් පමණි.

ගජබාපුර යුද්දයේ කඨෝරභාවය තදින් විදි ජනතාවක් සිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශයකි. එහෙත් අවසානයේ එල්ටීටීඊය විසින් එම ප්‍රදේශය අල්ලා ගන්නා ලදි. එවිට ජනයා ගම්මානය හැරගිය අතර ඔවුන් ජනකපුරට ආසන්නව නව ගජබාපුර ලෙසින් වූ අලුත් ගම්මානයක පදිංචි කරවන ලදි. 2009 දී යුද්දය අවසන් වූ පසුව ගජබාපුර ගම්මානයට පෙර පදිංචිකරුවන් නැවත පැමිණි අතර ඔවුන්ගේ දෙවැනි පරම්පරාව නව ගජබාපුරෙහි නතර වූහ.

ඒ යුද අත්දැකීම් සිහිනෙන් දුටු භීෂණයක් ලෙස අතීතයට එක්වෙද්දී වැලිඔය ජනතාව අලුත් පරපුර හා මුහුණ දෙන්නේ වෙනත් ප්‍රශ්නයන්ට ය. නොනවත්වා ව්‍යාප්තවන වකුගඩු රෝගය නිසා දිනෙන් දින ජනයා මිය යන අතර දිස්ත්‍රික්ක හතරකට මැදිවී දෙමව්පියන් නැති අසරණ වූ දරු පිරිසක් බවට වැලිඔය ජනතාව පත්ව සිටී. සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි පවුල් සංඛ්‍යාව දෙදහසකට ආසන්න වන අතර එම සංඛ්‍යාවෙන් 19%ක් පමණ මාතෘ මූලික පවුල්වීම ද 69%ක් පමණ ආණ්ඩුවේ ආධාර ලබන පවුල්වීම ද සැලකිය යුත්තකි. ගජබාපුර ගම්මානය එල්ටීටීයේ පාලනයට යටත් වූ පසුව එම ගම්මානය හැරදා ගිය පිරිසගේ දෙවන පරම්පරාව නව ගජබාපුර ලෙස ජනකපුර ගම්මානයට ආසන්නව පදිංචි කර ඇත. එම ගම්මානයේ පවුල් 112ක් පමණ වාසය කරන අතර එම සංඛ්‍යාවෙන් 33%ක පමණ පවුල් සංඛ්‍යාවක් මාතෘ මූලික පවුල් ය. එහි 88%ක පවුල් සංඛ්‍යාවක් රජයේ ආධාර ලබන පවුල් ය. මේ සංඛ්‍යාලේඛන හෙලිකරන්නේ යුද්දය විසින් මේ ජනයාගේ පත් කර ඇති දුෂ්කර තත්ත්වයයි. එහෙත් “පැමිණි දුක් පැණි රසය” කියමින් ඒ දුකම වළදමින් සිටිනවා මිස එහි ඇති කඨෝර ජීවිතය ගැන මේ ගම්මු උනන්දු නොවෙති.

වැලිඔය ප්‍රදේශයට රාජපක්ෂ රෙජීමයේ චීන ප්‍රාග්ධනය එහෙමට ගලාවිත් නොමැත. එහි ජනතාව තවමත් ගමන් කරන්නේ ගල් අතුරා තාර දැමූ මහා මාර්ගයන්හි ය. වැලිඔය සිට මුලතිව් කරා දිවෙන මාර්ගයේ ඇහැටුගස්වැවට ඔබ්බෙන් කිරි ඉබ්බන්වැවට ආසන්නව කාපට් අතුරා මාර්ග ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති අතර එම කාපට් මග මුලතිව් කරාම දිව යයි. එහෙත් වැලිඔය මහාමාර්ගයන් එලෙස ප්‍රතිසංස්කරණයට ලක්ව නොමැත.මුලතිව් කරා යන මාර්ගයේ කිරි ඉබ්බන් වැව් බැම්ම උඩින් මාර්ගය කාපට් කිරීමේ දී වැව් බැම්මේ ආරක්ෂාව නොතකා හැර ඇති නිසා එය ඉරිතලා ඇත.

යුද්දය අවසන් වූ පසුව ප්‍රවාහන කටයුතු යළි ආරම්භවීමෙන් දකුණේ සිට මුලතිව් යෑමට වැලිඔය හරහා වැටී තිබූ මාර්ගය යළි එළිපෙහෙළි වුණි. ඒ නිසා අනුරාධපුරයෙන් ද මහනුවරින් ද පමණක් නොව තංගල්ලෙන් ද ආරම්භවන මගී ප්‍රවාහන බස් රථ වැලිඔය හරහා මුලතිව් කරා හැල්මේ ගමන් කරයි. මේ බස් රථ වලින් බොහෝවිට ගමන් කරන්නේ දකුණේ පදිංචි ආරක්ෂක හමුදා සාමාජිකයන් ය.

පාරම්පරික දෙමළ ජනයා යළි පැමිණේ

යුද්දය අවසන් වී වැලිඔය යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබූ 2013 දී පමණ ජනකපුර ප්‍රදේශයේ කළින් පදිංචිව සිටි හා පසුව පළවා හැරි දෙමළ ජනයා තම බිම් කරා යළි පදිංචියට ආවත් ඊට අඩක් ලැබී නොමැත. ප්‍රදේශයේ පදිංචි සිංහල ජනයාගේ මැදිහත්වීමෙන් සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීම මත ඔවුහු එම බිම් වලින් ඉවත්ව ගොස් තිබේ. එහෙත් පළවා හැර අනාථ වූ දෙමළ ජනයාට සාධාරණය ඉටු නොකරන තාක් වැලිඔය සිංහල ජනයාට අමුතු සාධාරණයක් ඉටු වේ යැයි කිව නොහැක. ඒ නිසා අද වැලිඔය බිමෙහි අසරණව සිටින සිංහලයන්ට සාධාරණය ඉටු විය යුත්තේ හා ඉටුවන්නේ එම බිම් වලින් එළවා දැමූ සහෝදර දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුවීමට සමාන්තරව ය. තම බිම් වලින් පළවා හැරි දෙමළ ජනයා හූල්ලන තාක් කල් වැලිඔය සිංහල ජනයාටද සිදුවන්නේ හූල්ලන්ට ය.

දෙමව්පියන් අහිමි වූ දරුවන් කැළක්

රජයේ යුද හා දේශපාලන අවශ්‍යතා සදහා වැලිඔය ජනාවාස කිරීමේ දී ආරක්ෂක හමුදාව ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද වර්ගවාදී දේශපාලකයෝ ද තම අරමුණු මුදුන් පත් කර ගැනීම සදහා වූ අරමුණින් හෝ වැලිඔය ජනතාවගේ පිහිටටට සිටියහ. එහෙත් යුද්දය අවසන්ව ගොස් ඇති අතර මේ වනවිට ජනයාගේ අසරණකම් වලට පිහිටවන්නට බලධාරියකු නැත්තාසේ ය. පළාත් සභා මැතිවරණයේ දී මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්ක වෙන වෙනම වූ මැතිවරණ දිස්ත්‍රික්කයන් වන නිසා වැලිඔය අයත් වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයට ය. මුලතිව්හි සිංහල ජාතිකත්වයේ මහජන නියෝජනයක් සදහා වූ ප්‍රමාණවත් ඡන්ද නොපවතී. වව්නියාවේ සිංහල ඡන්ද ප්‍රමාණය පළාත් සභා මන්ත්‍රී ධූරයන් දෙකක නියෝජනයක් ලබා ගත්තත් ඔවුන් වැලිඔය නියෝජනය කරන්නෙ නැත.

පාර්ලිමේන්තු මැතිවරණයේ දී වව්නියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කයන් දෙකම අයත් වන්නේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට නිසා වව්නියාවේ සිංහල දේශපාලකයන් වැලිඔයට පැමිණ ඡන්ද ටික ලබා ගත්ත ද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තරම් හැකියාවක් ඔවුන්ට නොමැත. ඒ නිසා වැලිඔය නියෝජනය කිරීමට සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද තේරී පත් නොවේ.

වැලිඔය සිංහල ජනයාගේ මේ අවාසනාවෙන් ප්‍රයෝජන ගන්නේ වව්නියාවේ මුස්ලිම් දේශපාලකයන් ය. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ බලය දෙමළ ජාතික සංධානය නතු වන විට මුස්ලිම් දේශපාලකයෝ මුදල් වීසි කර වැලිඔය සිංහල ඡන්ද ටික තම ගොඩට එකතු කර ගනිති. ප්‍රධාන පක්ෂ දෙකෙන්ම වන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මුස්ලිම් මන්ත්‍රීවරු වැලිඔය සිංහල ඡන්ද සමග සබදතාවක් පැවැත්වූවද එය මැතිවරණ සමයට සීමා වන ගනුදෙනුවක් පමණි. සිංහල ජනයා සතුටු කිරීමට පොඩි පොඩි අල්ලස් කිහිපයක් මහජන මුදලින් ලබාදුන්නත් ඒ ජනයාගේ සැබෑ ජන නියෝජිතයන් ලෙස ඔවුහු කටයුතු නොකරති.

සිංහල වාර්ගික දේශපාලනයේ යුදමය හා දේශපාලනික අවශ්‍යතාවන්ට වැලිඔය ජනයා යොදා ගත්තද ඔවුන් ප්‍රධාන ධාරාවට සම්බන්ධ කර නොගෙන කොන්කර තැබීම වගකිව යුතු සමාජයකට තරම් නොවන්නකි. වැලිඔය සිංහල ජනයා රාජ්‍ය මැදිහත්වීමෙන් පදිංචි කිරීම දේශපාලන වැරැද්දක් බව සත්‍ය වුවත් ඒ වැරැද්දට ඔවුන් වගකිව යුතු නොවේ. එහෙත් තව තවත් සිංහල ජනයා වැලිඔය ප්‍රදේශයේ පදිංචි කරවමින් ප්‍රශ්නය දුරදිග ගෙනයෑම ද විසදුමක් නොවේ.

වැලිඔය සිංහල/දෙමළ ජනතාවට සිතට නිවනක්

වැලිඔය ජීවත්වන සිංහල ජනතාවට සාධාරණය ඉටු කරමින් ඔවුන්ගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම හුදකලා කටයුත්තක් නොවේ. එය අනිවාර්යෙන්ම වැලිඔයෙන් පන්නා දමා උන්හිටිතැන් අහිමි කළ පාරම්පරික දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට සමාන්තරව සිදුවිය යුතුය. ජනකපුරෙන් ඔබ්බේ පාරම්පරික දෙමළ බිම්වල සෝසුසුම් හෙළන දෙමළ ජනතාවට ඔලොක්කු කියමින් වැලිඔය සිංහලයන්ට ඉටු කළ හැකි සාධාරණයක් නොමැත. එසේම ජනකපුරට ඔබ්බෙන් වූ දෙමළ බිම්වලට අනේක විද පහසුකම් සලසා දී වැලිඔය සිංහලයාට ඔලොක්කු කීම ද වගතුවක් ඇති නොකරයි. ජාතීන් අතර සමගි සංධාන ක්‍රියාවලියක දී අනිවාර්යෙන්ම ජන කොටස් දෙකෙහිම ජනයාට සම වරප්‍රසාදයන් හිමි විය යුතුය.

අවාසනාවකට මේ කරුණ දේශපාලකයන්ට තේරෙන්නෙ නැත.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    1

    ඩෙමෙල්ලුන්ට කඩේ යන එකේ සීමාවක් නෑ…..[Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.