මිගමුව උසාවි සංකීර්ණය පිහිටා තිබෙන්නේ කලපුවට කෙටි දුරකින් ය. මාළුන්ගේ වරල් හඩ මෙන්ම කලපුවේ පිලි ගද ද අධිකරණයට දැනෙන තරම් ය. එහෙත් මගේ මෙම සති සටහන මිගමු උසාවිය ගැන නොවේ. නීතියේ සිමාවෙන් ඔබ්බට යන මුලික මානව සහ ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් පිළිබද ප්‍රශ්නයකි. ඒවා නීතියේ සිමා තුල හිර වීමෙන් විසදිය නොහැක.
කුමාර් ගුණරත්නම් නඩුව පුදුම අව නඩුවකි. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට යැයි සද්ද දමා බලයට ආ යහපාලන ආණ්ඩුව මෙම අවනඩුව දිගින් දිගටම ඉදිරියට ගෙන යන්නේ ය. ආණ්ඩුවත්, පොලිසියත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් එක කරුණක් පැහැදිලිව දනිති. එනම් කුමාර් ගුණරත්නම් උපන්නේ ලංකාවේ බවත් හේ පාසල් ගියේ සහ හැදුනේ වැඩුනේ ලංකාවේ කෑගල්ල තදාසන්නයේ බවත් ය. එම පුරුෂයා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවකට මා දන්නා තරමින් නිල වාර්තාවක් ද නැත. එහෙත් ඔහු ලංකාවේ සිටි බවට අපමණ වාර්තා ඇත. ඒ අතර ආරක්ෂණ සේවාවේ වාර්තා ද වේ. එවැන්නෙක් ලංකාවේ සිටි බව නොදන්නා දේශපාලන තලයේ එකම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පමණක් විය යුතු ය. 
ලංකාවේ ඉපිද, පාසල් ගොස් ඉගෙන ගෙන, හදුනා වැදුන සහ දේශපාලනය කල කුමාර් ගුණරත්නම් ගැන එසේනම් ඇති ප්‍රශ්නය කුමක් ද? අප අසා ඇති විධියට ප්‍රශ්නය මෙය ය. 1987-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙය වූ කැරැල්ල මර්ධනය කිරීම සමග එහි ප්‍රධාන පෙලේ නායකත්වය එක්කෝ ඝාතනය කෙරින. නැත්නම් අතුරුදහන් කෙරින. නැත්නම් දගගෙට යැවින. මෙම තත්ත්වය තුල ජනතා විමුක්ති පෙරමුන සංවිධානයක් ලෙස යලි ගොඩ නැගීම සදහා මැදිහත් වූවෙකි, කුමාර් ගුණරත්නම්. ඔහුගේ සොහොයුරු රජිතම් ගුණරත්නම් 1987- 89 සමයේ ආණ්ඩුව විසින් ඝාතණය කෙරින. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරියෙකු ලෙස කටයුතු කලේ ය. ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තර බෙදීම් සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරිත්වය හමුවේ කිහිප විටක් ජිවිත අනතුර අද්දරටම ආ කුමාර් ගුණරත්නම් ට රටින් පිටවන්නට සිදුවී ය. මගේ දැනුමේ හැටියට හේ රටින් පිටව ගියේ වෙනත් නමකිනි. එය වරදෙක් ද? රාජ්‍යය විසින් කෙරෙන ජිවිත අනතුරක සිටින්නෙකුට තම නියම නමින් රටින් පිටවිය හැකි ද?
මට මෙතැන් දී එක සාදෘශ්‍යයක් සිහියට නැගේ. ලෙව් බ්‍රොන්ස්ටයින් නමැති රුසියානු විප්ලවවාදී තරුණයෙකු සාර් පාලනය යටතේ විප්ලවවාදී ප්‍රචාරණ ක්‍රියාවන්හි නිරත වීමේ “වරදට” අත්අඩංගුවට ගෙන සයිබීරියාවට පිටමං කෙරින. විප්ලවීය කටයුතු සංවිධානය කිරීමට රුශියානු නමගිය විප්ලවවාදිනට රටින් බැහැරට යන්නට සිදුවී ය. සිරෙන් පැනගත් ලෙව් බ්‍රොන්ස්ටයින් ගොවියෙකුගේ ආධාරයෙන් සැගවී ආසන්න දුම්රිය ස්ථානයකට පැමිණ රටින් පිටව ගියේ ය. එසේ රටින් නීති “විරෝධිව” පිටව යද්දී ඔහුට තම ලෙව් බ්‍රොන්ස්ටයින් නම පාවිච්චි කල නොහැකි බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි කරුණෙකි. හේ තම පාස්පෝර්ට් එකේ නැත්නම් ගමන් බලපත්‍රයේ නම ලෙස ඇතුල් කලේ ට්‍රොට්ස්කි යන නම ය. ඉනික්බිති ඉතිහාසය හේ හැදින්වුයේ ඔහුට තම මව් පියන් දුන් නමින් නොව රටින් පිටව යාමට පාවිච්චි කල ට්‍රොට්ස්කි යන නමිනි. ඒ ඉතිහාසයේ අරුමය ය.
මට පෙනෙන හැටියට කුමාර් ගුණරත්නම් කර ඇත්තේ ද මෙම “වරද” ම ය. හේ රටින් පිටව ගියේ හරිත තණ බිමක් සොයාගෙන නොවේ. සැප සම්පත් සොයාගෙන නොවේ. රටින් පිටව ගොස් පලවෙනි වරට සිය රටට පැමිණි ඔහු රාජ්‍ය ආරක්ෂක හමුදා විසින් පැහැර ගෙන යනු ලැබිණ. එයින් පසු රටින් පිටමං කෙරින. ජනාධිපති මැතිවරණ සමයේ ලද සුළු ඉඩකඩ ප්‍රයෝජනයට ගත හේ යලි සිය රටට පැමිණියේ ය. යහපාලන ආණ්ඩුව තම ප්‍රජාතන්ත්‍ර වාදී පොරොන්දු සහ නීතියේ පාලනය ආරක්ෂා කිරීමට දෝ හේ නැවත අත් අඩංගුවට ගනු ලැබිණ. මේවන විට දින සියයක් පමණ දිගු කාලයක් හේ කෑගල්ල බන්ධනාගාරයේ රදවා තබා ගත්තේ ය.
කුමාර් ගුණරත්නම් සිරකර තබා ගැන්මේ ප්‍රශ්නය නෛතික ප්‍රශ්නයකට බාල්දු කල නොහැක. මෙම ක්‍රියාවලිය තුල රෙගුලාසි වලින් පිට පැනීමක් දෙකක් තිබිය හැක. එම පිට පැනීම් සුජාත කරණය කල හැක්කේ එය ඔහුගේ ජීවිතය සම්බන්ධ අනතුර සමග සම්බන්ධ හෙයිනි. කිසියම් අහඹ හේතුවකින් හෝ ලැබෙන අවකාශය ප්‍රයෝජනයට ගනිමින් නැවත තම උපන් බිමට පැමිණීම පෙන්වන්නේ හේ රට හැර ගියේ තම කැමැත්ත මත නොවන බව ය. ඇත අඩංගුවට ගැනීමේ අනතුර තිබියදීත් හේ රට තුල රැදී සිටියේ හේ මෙය තම රට ලෙස සලකන නිසා ය.
එසේ තිබියදී කුමාර් ගුණරත්නම් සිරකර තබා ගන්නේ මන් ද? කුමන හේතුවකට ද? පොලිසියවත්, අධිකරනයවත් මෙම ප්‍රශ්න වලට උත්තර දන්නේ ද? මට පෙනෙන හැටියට නම් කුමාර් ගුණරත්නම් සිරකර තබා ගැන්ම මුළුමනින්ම දේශපාලන මර්ධනයක ප්‍රතිපලයක් බව ය. සමස්ත සමාජය මෙම ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් ලෙසත් මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්නයක් ලෙසත් බැලිය යුතු ය. දැකිය යුතු ය. අවාසනාවකට මෙන් කොළඹ සිවිල් සමාජය මෙම ප්‍රශ්නය ගැන කට අරින්නේ “නමුත්” යන නිශේධනීය පදයෙනි. මෙයට හොදම උදාහරණය කලකට පෙර වාම විකල්ප පුවත්පතක් ව ආරම්භව අද නව ලිබරල්වාදයේ සවිඥානික ප්‍රකාශණය බවට පත්ව ඇති “රාවයේ” සමහර රචකයන්ගේ ආකල්පය ය.
කුමාර් ගුණරත්නම් ට මේර ජිවත් වීමටත් දේශපාලනය කිරීමටත් සුජාත අයිතියක් ඇත. එම අයිතිය ඔබටත් මටත් ඇති අයිතියම ය. එම අයිතිය ට තහංචි දැමීම සදහා රෙගුලාසිවල වගන්ති වලට ඉඩ දිය නොහැකිවා මෙන්ම දේශපාලන නායකයන්ගේ අපිරිසුදු ගනුදෙනු වලට ද ඉඩදිය නොහැක. විනිශ්චය ඔබේ ය. ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ විදේශ ඇමතිවරයාට නීතියට සහ රෙගුලාසිවලට මුවාවී මෙම මුලික අයිතිවාසිකම් ප්‍රශ්නයෙන් පන යාමට ඉඩ දිය නොහැක.
ඊමේල්: sumane_l@yahoo.com

S.ATHURALIYAGE / April 18, 2016
I TOTALLY AGREE WITH WHAT Dr SUMANASIRI LIYANAGE HAD STATED ABOUT THE PLIGHT OF KUMAR GUNARATHNAM.WHEN PEOPLE FLEE THEIR COUNTRIES, IT IS OBVIOUS THAT THEY CHANGE THEIR NAMES. KUMAR’S RIGHT TO SRI LANKAN CITIZENSHIP SHOULD BE RESTORED EXCEPTIONALLY IF THE PREVAILING LAW DOES NOT ALLOW HIS APPLICATION TO BE GRANTED.
WHEN FIELD MARSHAL FONSEKA WAS DETAINED FOR POLITICAL REASONS I TOO PARTICIPATED IN DEMONSTRATIONS IN LONDON TO GET HIM RELEASED. KUMAR IS ALSO A POLITICAL PRISONER LIKE FONSEKA BUT KUMAR BELONGS TO A DIFFERENT CATOGORY.
FONSEKA HAS AN OBLIGATION TO STAND AGAINST THE UNJUST IMPRIONMENT OF KUMAR. UNFORTUNATELY HE IS SILENT ABOUT KUMAR. I FEEL THAT I WASTED MY TIME IN FONSEKA’S DEMONTRATION.
/