23 October, 2017

ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙල්ලමට අරගෙන

ටේලර් ඩිබෙර්ට් –

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසි වාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී ඇති බවක් පෙනේ. මානව හිමිකම් සහ සංක‍්‍රාන්ති යුක්තිය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ඊට කලින් මෙම කවුන්සිලයේදී සම්මත කර ගත් යෝජනාව ගැන ශ‍්‍රී ලංකා රජය කොතෙක් අනුගතව ඇත්ද යන්න එහිදී සැළකිල්ලට ලක්විය.

පෙබරවාරි 28 වැනි දා ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර සැසි වාරය ඇමතූ අතර මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විවේචනාත්මක තක්සේරුවක් සභාවට ඉදිරිපත් කෙළේය. බලාපොරොත්තු වූ පරිදිම, ශ‍්‍රී ලංකාව පිළිබඳ තවත් සමඅනුග‍්‍රහයෙන් යුත් යෝජනාවක් සම්මත කර ගැනුණි.

සැළකිල්ලට ගත යුතු සීමාව එයයි: 2012 සිට පස් වැනි වරටත් තවත් යෝජනාවක් සම්මත කර ගැනීම දරදඬු සිහි කැඳවීමක් වශයෙන් ගත යුතුව තිබේ. මානව හිමිකම් කවුන්සිලය හරහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරයට කළ හැකි බලපෑමේ සීමාවත්, දැන් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සමග ගනුදෙනු කළ යුතු වෙනත් මාර්ග ගැන ජාත්‍යන්තරය සිතා බැලීමේ සීමාවත් එළැඹ ඇති බව වටහා ගත යුතුය.

පුළුල් පරාසයක විහිදුණු ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය දැන් කාලයක සිට එක තැන පල් වෙයි. එය වඩාත් හොඳින් කැපී පෙනෙන්නේ, සංක‍්‍රාන්ති යුක්තිය පිළිබඳ කාරණයේදීත්, 1983 සිට 2009 දක්වා බෙදුම්වාදී දෙමළ කොටි සංවිධානය සහ ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාව අතර ඇති වූ දරුණු සිවිල් යුද්ධයකින් පසුව තිරසාර සාමයක් ගොඩනැගීමේ කර්තව්‍යය පිළිබඳ කාරණයේදීත් ය.

නොසිතූ විරූ ආකාරයකින්, 2015 ජනවාරියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව මෛත‍්‍රීපාල සිරිසේන පරාජයට පත්කෙළේය. එසේ වෙතත්, යුද්ධය ජය ගැනීම ගැන මහින්ද රාජපක්ෂට තවමත් බහුතර ජනතාව වන සිංහලයන්ගෙන් බොහොමයක් දෙනා ගරු කරති. එහෙත් බලයේ සිටියදී ඔහු කෙළේ එම ජනප‍්‍රියත්වය හරහා වඩ වඩාත් අධිකාරීවාදී, දූෂිත සහ ඥාති සංග‍්‍රහය සහිත පාලන තන්ත‍්‍රයක් ගොඩනගා ගැනීමයි. එය අවසානයේදී ඔහුගේ පරාජයට හේතු විය.

2015 ඔක්තෝබර් මාසයේ සමඅනුග‍්‍රාහකත්වයෙන් සම්මත කරගත් යෝජනාවට අනුගතව වඩාත් පෘථුල සංක‍්‍රාන්ති යුක්ති න්‍යාය පත‍්‍රයක් සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රතිඥා දුන්නේය. සත්‍යය කොමිසමක්, යුද්ධ කාලයේ ඇති වී යැයි කියන අක‍්‍රමිකතා සොයා බැලෙන අධිකරණ යාන්ත‍්‍රණයක්, අතුරුදහන් වූවන් ගැන සොයා බැලෙන කාර්යාංශයක් සහ හානිපූරණ කාර්යාංශයක් යන ඉතා වැදගත් යාන්ත‍්‍රණ හතරක් එකී සංක‍්‍රාන්ති යුක්ති න්‍යාය පත‍්‍රයට ඇතුළත් විය. එහෙත් මේ කියන කිසි යාන්ත‍්‍රණයක් තවම ක‍්‍රියාන්විතව නැත. ඒවාට අමතරව, සංක‍්‍රාන්ති යුක්තිය වෙනුවෙන් ඇති තමන්ගේ සද්භාවය පෙන්නුම් කිරීම සඳහා ආණ්ඩුවට කළ හැකිව තිබූ තවත් දේවල් බොහොමයක් තිබුණි.

දෙමළ ජනතාව බහුලව වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්, මුළුමණින් පාහේ සිංහලයන්ගෙන් සමන්විත හමුදාවකින් වෙලාගෙන සිටීම බරපතල ප‍්‍රශ්නයකි. ඊටම අදාළව ගත් විට, සිවිල් ජනතාවට අයත් ඉඩම් එක දිගටම හමුදාව අත්කරගෙන සිටීම තවත් විශාල ප‍්‍රශ්නයකි. ඒ අතරේ, ආරක්ෂක අංශවල සිදුවිය යුතු ප‍්‍රතිසංස්කරණ තවමත් නොසළකා හැරෙමින් තිබේ.

කොළඹ සිටින මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙකු සමග මා හුවමාරු කරගත් අදහස් අනුව, රට පුරා ඇති විවිධ රැුඳවුම් මධ්‍යස්ථානවල තවමත් දෙමළ දේශපාලන සිරකරුවන් 50-70 ත් අතර ප‍්‍රමාණයක් රඳවාගෙන සිටින බව කියැවේ. ආණ්ඩුව මේ පුද්ගලයන්ව වහාම නිදහස් කළ යුතුව තිබෙන අතර, එසේ නොකරන්නේ නම්, අඩු වශයෙන් ඔවුන්ට නඩු පැවරිය යුතුව තිබේ.

පොදුවේ ගත් විට, සංක‍්‍රාන්ති යුක්තිය පිළිබඳ ක‍්‍රියාවලියේදී ජාත්‍යන්තර සහභාගීත්වයට එරෙහි දැඩි ස්ථාවරයක කොළඹ ආණ්ඩුව සිටී. එහෙත් එම ක‍්‍රියාවලිය කෙරෙහි යම් විශ්වසනීයත්වයක් ඇති කිරීමට නම් යම් තරම විදේශ සහභාගීත්වයක්වත් තිබිය යුතුය. ඒ සියල්ලට අමතරව, අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ ගැන ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත් පැහැදිළි වචනයක් කියන්නේ නැත. සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලිය බරපතල අර්බුදයකට මුහුණදී සිටී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් තව තවත් නිරීක්ෂණ කළ පමණකින් එම තත්වයේ වෙනසක් ඇති වෙතැයි සිතිය නොහැක. 2012 සිට 2014 දක්වා ශ‍්‍රී ලංකාව පිළිබඳ ඇති කරගත් යෝජනා තුනක්ම එදා රාජපක්ෂ පාලනය එකහෙලා ප‍්‍රතික්ෂේප කෙළේය. දැන් සිරිසේන පාලනය අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ, තමන්ගේ සමඅනුග‍්‍රාහකත්වයෙන් සම්මත කර ගත් යෝජනාවක් ගැන පවා කිසිවක් නොකර සිටී. හොඳට හෝ නරකට, මේ යෝජනා පහම ගෙන ඒම සඳහා ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කෙළේ ඇමරිකාවයි.

ශ‍්‍රී ලංකාව කරන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හෑල්ලූවට ලක් කිරීමයි. ලංකාව කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමේ වුවමනාවක් ජාත්‍යන්තරයට ඇතොත් දැන් කළ යුතුව ඇත්තේ, නීතියෙන් කිසි බැඳීමක් නැති යෝජනා සම්මත කර ගැනීමෙන් එහාට යන පියවරක් ගැන සිතා බැලීමයි. බාගෙ විට, (රාජ්‍ය තාන්ත‍්‍රික, හමුදාමය සහ ආර්ථික අංශයෙන් පවා) ද්විපාර්ශ්වීය මට්ටමින් තමන්ගේ සම්බන්ධතා ගැන නැවත සළකා බැලීමක් කළ හැකිය. එහෙත් එවැන්නක් සිදු වෙතැයි දැන් පවතින තත්වයේ හැටියට අපේක්ෂා කළ නොහේ.

ශ‍්‍රී ලංකාවේ යුධ වින්දිතයන්ගේ, විශේෂයෙන් යුද්ධයෙන් හොඳටම බැටකෑ උතුරු සහ නැගෙනහිර වෙසෙන වින්දිතයන්ගේ දෛනික ජීවිත, සිරිසේන බලයට පත්වීම නිසා ලොකු වෙනසකට පත්ව නැත. සමහර විට ඔහුගේ මුළු පාලන කාලය තුළත් එවැන්නක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක. සංක‍්‍රාන්ති යුක්ති ව්‍යාපෘති සඳහා විදේශාධාර අවශ්‍ය පමණින් රටට ගලාගෙන එන තත්වයක් තුළ, එය කෙනෙකුට සතුටු විය හැකි තත්වයක් නොවේ.

*2017 අපේ‍්‍රල් 29 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ “Sri Lanka Makes A Mockery of the UN Human Rights Council” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    I don’t see any thing wrong in that. When the so called super powers bomb schools and hospitals in other countries killing thousands of innocent civilians, they call it fighting terrorism; and when Sri Lanka completely ERASED a ruthless Terrorist out fit from her soil, they become innocent Terrorists. Isn’t it a joke?

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.